භාජනයේ තිබූ සඳ
එකෝමත් එක කාලෙක අරි අතොළුවේ දගෙති දූපතේ සේකු වසල්ලි කියල මනුස්සයෙක් ජීවත් වුනා. ඔහු උස මහත කළු මනුස්සයෙක්. දත් ටික සුදුම සුදුයි. හැමෝම කිව්වෙ ඔහුට ටිකක් පිස්සු කියල. ඒත් ඔහු හරිම හිත හොඳ මනුස්සයෙක්. ඒ නිසා හැමෝම ඔහුට ප්‍රිය කලා.
දෙමාපියන් මැරුනට පස්සෙ ඔවුන් සතුව තිබ්බ විශාල පොල් වත්ත සේකු වසල්ලිට අයිති වුනා. ඒ විතරක් නෙවෙයි, ඔහුට ධීවර බෝට්ටුවකුත් තිබුනා. මේ වත්කම් වල පිහිටෙන් ඔවුන් බොහොම සැප පහසුවට ජීවත් වුනා. සේකු වසල්ලි ගේ බිරිඳ ගේ නම මාරියම්බු. ඔවුන්ට දූවරු දෙන්නෙක් හිටියා.
එක සිකුරාදා දවසක සේකු වසල්ලි ගේ බෝට්ටුව අළුත් වැඩියාවට ගොඩට අරගෙන තිබුනා. සේකු වසල්ලි අත් උදව්වට හිටපු කොළු ගැටව් දෙන්නෙක් එක්ක බෝට්ටුවේ වතුරට වැහෙන කොටසේ බැඳිල තිබුන මුහුදු පැලෑටි සහ බෙල්ලන් හූරමින් හිටියා.
මද්දහන් වෙද්දි සේකු වසල්ලි කොල්ලො දෙන්නට කතා කලා.
"අද සිකුරාද නොවැ. දැන් උඹල හුකුරු යාඥාවට (සිකුරාදා ජුම්මා යාඥාව) පලයල්ල. යන්න කලින් මතක ඇතුව ඇඟ හෝදගනිල්ලා. මම යනව මුහුදෙ නාන්න. මම නාල ඉවරවෙලා පල්ලියට එන්නම්."
කොල්ලො දෙන්නා ගියාට පස්සෙ සේකු වසල්ලි වෙරළේ ඇවිදින්න ගියා. සුදු පාට වැලි තලයට වැටෙන මද්දහන් හිරු රැස් ඇස් කඩාගෙන යනවා.
ඔහු එකපාරටම රැල්ලට තෙමෙන හරියේ වැලි වලට යට වෙලා තිබ්බ මොකද්දෝ දිලිසෙන දෙයක් දැක්කා.
"ඒ මොකද්ද?"
සේකු වසල්ලි එතැනට ළං වුනා. එතකොට ඔහු දැක්කා ඒ අමුතු හැඩයේ සිප්පි කටුවක් බව.
ඔහු ඒක අතට අරගෙන පිරික්සලා බැලුවා. ඒ වගේ සිප්පි කටුවක් ඔහු කවදාවත් දැකල තිබුනේ නෑ. ඒක හරිම ලස්සනයි.
"මේක හරිම දුර්ලභ සිප්පි කටුවක්. මම මේක රදුන් (රජතුමා) ට තෑගි කරන්න ඕනෙ. එතුමා මට වටිනා තෑග්ගක් දෙයි."
මුහුදේ නාන එක අමතක කරල සේකු වසල්ලි හනිකට ගෙදර ගියා. මාරියම්බු ඈත තියාම දැක්කා ඔහුගේ මූණෙ තිබුන ලොකු හිනාව.
"මොකද අද ලොකු සන්තෝසෙකින්?"
"මේං බලනව මට වෙරළෙ තිබිල හමුවන එක"
ඔහු මිට මොලවගෙන හිටපු අත දිග ඇරල මාරියම්බු ට සිප්පි කටුව පෙන්නුවා.
"ආනේ හරිම ලස්සනයි. ඔයා මේකට මොකද්ද කරන්නෙ?"
"මම මේක මාලේට අරගෙන ගිහින් රදුන්ට දෙනවා. එතුමා මට ගොඩක් තෑගි බෝග දෙයි."
"ඒක හොඳයි. එතකං මම මේක පරිස්සමට අරං තියන්නං."
මාරියම්බු සිප්පි කටුව පරිස්සමට ඔතල පෙට්ටගමේ පතුලෙ හැංගුවා.
දගෙති දූපතේ ඉඳල මාලේ බලා පිටත් වෙන ඊළඟ වෙළඳ බෝට්ටුවෙ නැගිල සේකු වසල්ලි මාලේ දූපතට ගියා. ඔහු ගොඩ බැහැල කෙලින්ම ගියේ රදුන් ගෙ මාළිගාවට. එතැන හිටපු "දොරුවාන්" (දොරටු පාලයා) අමතලා ඔහු මෙහෙම කිව්වා.
"මම ආවෙ රදුන් බැහැ දකින්න"
"මොකද්ද උඹේ නම?"
"දගෙති සේකු වසල්ලි"
ඔහු බොහොම ආඩම්බරෙන් කිව්වා.
දොරුවාන් මාළිගාව ඇතුලට ගිහින් රදුන් හමුවුනා.
"දගෙති දූපතේ ඉඳල සේකු වසල්ලි කියල මිනිහෙක් ඔබතුමා බැහැ දකින්න ඇවිල්ල ඉන්නවා"
රදුන් එදා හිටියෙ හරිම කම්මැලි කමෙන්.
"මම දගෙති දූපතේ කාවවත් අඳුනන්නෙ නෑ. ඒත් කමක් නෑ මිනිහව ඇතුළට එවන්න."
සේකු වසල්ලි රදුන් ඉදිරිපිටට ආවා. සේකු වසල්ලි ව දැකපු ගමන් රදුන් දැනගත්තා ඔහුව හමුවෙන්නෙ ගත්ත තීරණය නිවැරදි එකක් කියල. සේකු වසල්ලි ගෙ විසිළු පෙනුම දැකල රදුන්ට එක පාරටම හිනා ගියා.
"උඹ ආවෙ මොකද?"
"මම ඔබතුමාට තෑග්ගක් ගෙනාවා"
සේකු වසල්ලි බයෙන් පැකිලෙමින් උත්තර දුන්නා.
"කෝ ඒ තෑග්ග?"
සේකු වසල්ලි හෙමින් හෙමින් රදුන් ළඟට ගිහින් මිට මොළවාගෙන හිටපු අත දිග ඇරල සිප්පි කටුව රදුන්ට පෙන්නුවා. සිප්පි කටුව දැකපු රදුන් පුදුමයටත් සන්තෝසයටත් පත් වුනා.
"කොච්චර ලස්සන කටුවක් ද? මේක බොහෝම දුර්ලභ එකක් වෙන්න ඕනෙ. මේ වගේ සිප්පි කටුවක් මගේ මුළු රාජධාණියෙම හමුවෙලා නෑ."
රදුන් බොහෝම කැමැත්තෙන් සිප්පි කටුව බාරගෙන සේකු වසල්ලි ට වටිනා තෑගි බෝග දෙන්න සේවකයන්ට අණ කලා.
"ඊළඟ පාර මාලෙට ආවම කෙලින්ම මාව හමුවෙන්න එන්න. දැන් අපි යාළුවෝ"
සේකු වසල්ලිට සමුදෙමින් රදුන් එහෙම කිව්වා.
ඇත්තෙන්ම රදුන් සිප්පි කටුවටත් වඩා කැමති වුනේ සේකු වසල්ලි ගෙ විහිළු සහගත ස්වරූපයට. නමුත් ඔහු ඒ බවක් සේකු වසල්ලිට ඇඟෙව්වෙ නෑ.
සේකු වසල්ලි බරටම තෑගි අරගෙන ආපහු දගෙති දූපතට ගියා. දූපත් වාසීන් ඔහුගෙ කතාව අහල පුදුම වුනා.
"මේ පිස්සු යකා. ඒත් දැන් මිනිහ රදුන් ගෙ යාළුවෙක්!"
ඔය විදිහට අවුරුද්දක් විතර ගත වුනා. බොදු ඊදු (රාමදාන් උපවාසය අවසන් වෙන ඊද් උත්සවය) උත්සවයට සූදානම් වෙන්න දගෙති දූපතේ ගොඩක් දෙනා මාලෙ නගරයට යන්න ලෑස්ති වුනා. සේකු වසල්ලිත් මාලෙ යන්න සූදානම් වුනා.
මේ සැරේ ඔහු ගියේ ඔහුගේම රුවල් බෝට්ටුවේ. ඔහු රදුන්ට තෑගි විදිහට මාළු, රිහාකුරු සහ පැණි අරගෙන ගියා. බෝට්ටුව අරි අතොළුව සහ මාලේ අතොළුව අතර තියෙන ගැඹුරු මුහුදු තීරය පහු කරද්දි සේකු වසල්ලි හිටියේ බෝට්ටුවේ තට්ටුව මත දිගෑදිලා මැදියම් රැයේ සීතල සුළං රැල් විඳිමින්. ඉතාම ලස්සනට පුර හඳක් අහසේ පායලා තිබුනා. සේකු වසල්ලි තමාගෙ තෑගි අරගෙන රදුන් බැහැදකිද්දි එතුමා සතුටට පත්වෙන හැටි සිතමින් අහස දිහා බලාගෙන හිටියා.
හදිසියේම සේකු වසල්ලිට තිබහක් ආව. බෝට්ටුවේ පිටිපස්සට වෙන්න ලොකු වතුර භාජනයක් තියල තිබුනා. සේකු වසාලි ඒ පැත්තට ගියා.
වතුර භාජනයේ මූඩිය ඇරිය විතරයි දැකපු දෙයින් ඔහු ගල් ගැහුනා. භාජනය ඇතුලේ ලස්සන පුර හඳක්!
"මම ගෙනාපු තෑගි මොන තෑගි ද? මේ හඳ රදුන්ට ගිහින් දුන්නොත් එතුමා බොහොම සතුටු වෙයි."
සේකු වසල්ලි ලොකු රෙදි කඩක් අරගෙන පරිස්සමෙන් භාජනයේ කටට තියල කණුවකින් ගැට ගැහුවා. දැන් හඳ කොහෙවත් යන්නෙ නෑ. ඔහු තමාගැනම ඇතිවුන ස්වයං තෘප්තියෙන් ඔළුව වැනුවා. "සේකු වසල්ලි - රදුන්ට අමුතු දුර්ලභ තෑගි ගෙන එන මිනිහා".
බෝට්ටුව මාලේ වරායෙ නැංගුරම් දාපු සැනින් සේකු වසල්ලි කෙලින්ම ගියේ රදුන් බැහැදකින්න.
සේකු වසල්ලි දැකපු හැටියෙ රදුන් බොහොම ප්‍රීතියෙන් ඔහුව පිළිගත්තා.
"ආ සේකු වසල්ලි. මගේ මිත්‍රයා. එමු ඇතුළට."
"මම තෑගි ගෙනාවා"
"කොච්චර හොඳද. ඒව අරගෙන එනවා."
සේකු වසල්ලි බෝට්ටුවෙ තිබුන මාළු, රිහාකුරු සහ පැණි රදුන් ඉදිරිපිටට ගෙනාවා. රදුන් ඒවා පිළිගත්තා. ඒ වගේ තෑගි දුර බැහැර දූපත් වල ඉඳල ඔහුව බැහැ දකින්න එක මිනිස්සු නිතරම අරගෙන එන දේවල්. බොහොම සාමාන්‍යය තෑගි.
"බොහොම ස්තූතියි සේකු වසල්ලි. ඒත් තමුසෙ මට තෑගි ගේන්න ඕනෙ නෑ. අපි දැන් යාළුවො නොවැ. මට තමුසෙව දැකගන්න තිබුනොත් ඇති."
සේකු වසල්ලි හිනා වුනා.
"පොඩ්ඩක් ඉන්න. මම තව තෑග්ගක් ගෙනාවා. ඒක දැක්කොත් ඔබතුමා පුදුම වේවි."
"ඒ මොකද්ද?"
සේකු වසාලි ගේ මූණේ ලොකු හිනාවක් ඇඳුනා. ඔහුගේ පපුව ප්‍රීතියෙන් පිම්බුනා.
"මම ඔබතුමාට තෑග්ගක් විදිහට හඳ අරගෙන ආවා"
"හඳ?"
රදුන් ඇහි බැම හකුළුවා ගනිමින් ඇහුවා.
"ඔව්. මම ඊයෙ රෑ බෝට්ටුවෙන් එනකොට මේ භාජනේ ඇතුලෙ හඳ තියෙනව දැක්කා. ඉතිං මම ඒක ඉක්මනින්ම අල්ල ගත්තා."
සේකු වසල්ලි තමා ළඟ තිබුන වතුර භාජනයට තට්ටු කරමින් කිව්වා.
"නෑ නෑ නෑ සේකු වසල්ලි. තමුසෙට වැරදිලා."
රදුන් කිව්වෙ අමාරුවෙන් හිනාව නවත්තගෙන.
"හඳ තියෙන්නෙ භාජනය ඇතුලෙ. ඔබතුමාම කඩවැස්ම ඇරල බලන්න."
සිද්ධ වුනේ මොනවද කියල රදුන්ට තේරුනා. ඒත් මේ නාඩගමෙන් අපූරු විනෝදයක් විඳිමින් සිටි නිසා නාඩගමේ තමාගෙ කොටස රඟපාන්න ඔහු තීරණය කලා. ඔහු ඉතාම පරිස්සමෙන් භාජනය අරගෙන හෙමින් හෙමින් කඩවැස්ම අයින් කරල භාජනය ඇතුලෙ බැලුවා.
"මේක ඇතුලෙ මොකුත් නෑ නෙ"
"මොකුත් නෑ?"
සේකු වසල්ලි හනිකට භාජනය ඇතුලෙ බැලුවා. භාජනයේ තිබුනෙ වතුර විතරයි. ඔහු පුදුමයෙන් රදුන් දිහා බලාගෙන හිටියා. ඔහුගේ කට බාගෙට ඇරිල කියලවත් ඔහුට ගානක් තිබුනෙ නෑ.
"මම කිව්වනෙ සේකු වසල්ලි. මට තමුසෙගෙ තෑගි ඕනෙ නෑ. තමුසෙ මට දීපු සිප්පි කටුව බොහොම වටිනවා. මට ඒක මගෙ ළඟ තියෙනකං තමුසෙව අමතක වෙන්නෙ නෑ."
රදුන් ඔහුගේ පිටට අනුකම්පාවෙන් තට්ටු කරමින් කිව්වා.
ඒත් සේකු වසල්ලි මාළිගාවෙන් ආවෙ බොහොම කනස්සල්ලෙන්. ඔහු කඩ වීදියෙ ඉන්න තමාගෙ යාළුවන් ව මග ඇරල කෙලින්ම තමාගෙ බෝට්ටුවට ආවා. මුළු දවසම ඔහු ගත කලේ බෝට්ටුවෙ. රෑ බෝ වුනාම ඔහු බෝට්ටුවේ තට්ටුව මත දිගෑදුනේ නිදාගන්න හිතාගෙන.
රැළි වලින් බෝට්ටුව ඇතුලට ගහපු වතුර බෝට්ටුව ඇතුළෙ රැඳිල තිබුනා. එකපාරටම ඔහු දැක්කා හඳේ ප්‍රතිබිම්බය ඒ වතුරට වැටිල තියෙන හැටි. ඔහු වියරුවෙන් නැගිටලා "හඳේ ප්‍රතිබිම්බයට" මහා හඬින් බැණ වැදුනා.
"උඹ කපටි අධමයා. කොහොමද උඹ එළියට පැන්නේ? උඹ නිසා අද මම රදුන් ඉස්සරහපිට බොහොම ලැජ්ජා වුනා. හිටපං උඹට මම පෙන්නන්නං."
ඔහු ළඟ තිබුන ලොකු පොල්ලක් අරගෙන "හඳේ ප්‍රතිබිම්බයට" හොඳටම තඩිබෑවා.
ටික වෙලාවකින් බෝට්ටුවෙ පතුල හිල් වුනා. වැඩි වෙලා යන්න කලින් සේකු වසල්ලිත් එක්කම බෝට්ටුවෙ ගිලිල ගියා.
- කතව කිව්වේ ගාගේ අයිෂාත් නාස්නීන් (මාලේ දූපත)
1. රිහාකුරු
රිහාකුරු කියන්නෙ මාලදිවයිනටම විශේෂ කෑම වර්ගයක්. ඒවා හදන්නෙ බලමාළු වලින් උම්බලකඩ හදද්දි අතුරු ඵලයක් විදිහට.
උම්බලකඩ හදන්නෙ ටූනා මාළු කූරි දීර්ඝ කාලයක් ලුණු වතුරේ තම්බලා. තැම්බිල ඉවර වුනාම මාළු කූරි වතුරෙන් ඉවත් කරල අව්වේ වේලනවා. මාළු තම්බපු වතුර ලුණු රසැති සුප් එකක් විදිහට ඉතුරු වෙනවා. මාළුවගේ ලේ සහ වෙනත් කොටස් මේ වතුරට කාවැදිල තියෙන නිසා මේක පෝෂන ගුණයෙන් උසස්.
ඒකට "බොන්ඩි"හෙවත් මාළුකටු වලින් සූරා ගන්න මාළු කොටස් වලින් හදපු බෝල එක් කරලා වතුර සම්පූර්නයෙන්ම වගේ හිඳෙනකන් මද ගින්නේ දීර්ඝ කාලයක් තැම්බීමෙන් තමයි රිහාකුරු හදන්නෙ. රිහාකුරු වල පාට සහ සොබාවය මාමයිට් වලට සමානයි. තරමක තිත්ත රසක් සහ මාළු රස මුසු වුන රසයකින් යුක්තයි. බත්, රොෂී, අල හෝ දෙල් වගේ ප්‍රධාන කෑමක් කනකොට රස කාරකයක් විදිහට රිහාකුරු පාවිච්චි කරනවා.
+++++++++++++++++
ReplyDeleteඒ කාලෙ බෝල බෝල වැලක් බොන්ඩි අලුවා කියලා අපේ පැති වල විකුනුවා...
ReplyDeleteමේ රිහාකුරු ද?
බොන්ඩි අළුව වෙනයි. ඒක පැණිරස කෑමක්.
Delete