Sunday, September 30, 2018

ජපන්නු කන හැටි - නූඩ්ල්ස්


නූඩ්ල්ස් කියන්නෙ ජපානයේ වැඩිපුරම ආහාරයට ගැනෙන කෑම​.

ජපානයේ නූඩ්ල්ස් කන්නෙ බොහෝ විට නූඩ්ල්ස් සුප් විදිහට​. ඒ වගේම ජපානයේ නූඩ්ල්ස් කන ක්‍රම දෙකක් තියෙනවා. ඒ උණුසුම්වට සහ සීතලට​.

නූඩ්ල්ස් මුලින්ම බිහි වෙන්නෙ චීනයේ. ඒ පළවෙනි සියවසේදී. බෞද්ධ භික්‍ෂුවක් විසින් චීනයේ ඉඳල ජපානයට මුලින්ම නූඩ්ල්ස් ගේන්නෙ 9 වෙනි සියවසේ දී.

මුල්ම නූඩ්ල්ස් හැදුවේ තිරිඟු පිටි යොදාගෙන​. පසුව වෙනත් අමුද්‍රව්‍යය වලින් හදන නූඩ්ල්ස් ක්‍රමයෙන් ජනප්‍රිය වුනා.


නූඩ්ල්ස් වර්ග​


ජපානයේ සියළුම නූඩ්ල්ස් වර්ග ප්‍රධාන වර්ග හතකට බෙදන්න පුළුවන්.

1. උදොන්




උදොන් හදන්නේ තිරිඟුපිටි වලින්. උදොන් නූඩ්ල්ස් රැළි සුදු පාටයි සහ ගොඩක් මහතයි. මේ නිසා හොඳට හැපෙන මෘදු සොබාවය උදොන් වල සලකුණක්.

උදොන් තමයි ජපානයට මුලින්ම ආපු නූඩ්ල්ස් වර්ගය​.


2. රාමෙන්




රාමෙන් තමයි ජපානයේ ජනප්‍රියම නූඩ්ල්ස් වර්ගය​. රාමෙන් හදන්නෙ තිරිඟුපිටි, ලුණු, වතුර සහ කන්සුයි කියල හැඳින්වෙන ලවණ මිශ්‍ර දියරයක් උපයෝගී කරගෙන​. රාමෙන් වලට ආවේනික රස ලැබෙන්නෙ කන්සුයි වලින්.

රාමෙන් නූඩ්ල්ස් උදොන් වලට වඩා මහතින් අඩුයි. ඒ වගේම ලා කහ පාටයි. මෘදු සොබාවයෙන් යුක්තයි.

රාමෙන් නූඩ්ල්ස් ජපානයට එන්නෙ චීනයේ ඉඳල 1900 දී පමණ​.


3. සොබා




සොබා නූඩ්ල්ස් හදන්නෙ බක්වීට් ධාන්‍යයෙන්. සොබා නූඩ්ල්ස් රැලි උදොන් වලට වඩා මහතින් අඩුයි. පැහැයෙන් දුඹුරු පාට සොබා නූඩ්ල්ස් තරමක් කටුක රසින් සහ රළු සොබාවයෙන් යුක්තයි. නමුත් පෝෂ්‍ය ගුණයෙන් ඉතා ඉහළයි.

ගොඩක් නූඩ්ල්ස් වර්ග චීනයේ ඉඳල ජපානයට ආවත්, සොබා නූඩ්ල්ස් වල උපත ජපානය මයි.

4. සෝමෙන්




තිරිඟු පිටි වලින් හදන සෝමෙන් නූඩ්ල්ස් ඉතාම සිහින්. පැහැයෙන් සුදු පාට සෝමෙන්, සොබාවයෙන් මෘදුයි. සෝමෙන් නූඩ්ල්ස් සෑදීමේදී රැළි සිහින් කිරීම පහසු කරවන්න එළවළු තෙල් එකතු කරනවා.


5. හියාමුගි




හියාමුගි හදන්නෙ බක්වීට් වලින්. රැළි උදොන් වලට වඩා සිහින්, නමුත් සෝමෙන් වලට වඩා මහතයි. පැහැයෙන් සුදු හෝ ලා දුඹුරු පාටයි. හියාමුගි එතරම් ජනප්‍රිය නූඩ්ල්ස් වර්ගයක් නෙවෙයි.


6. ෂිරතකි




කොන්ජැක් අල වලින් හදන ෂිරතකි නූඩ්ල්ස් තරමක් විනිවිද පෙනෙන සුළු සුදු පැහැයෙන් යුක්ත සිහින් නූඩ්ල්ස් වර්ගයක්. ඒවා සොබාවයෙන් ජෙලටින් වගේ. තරමක් තද ගතියෙන් යුක්ත මේ නූඩ්ල්ස් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් විදිහට සැලකෙනවා.


7. හරුසමෙ




අල​, බතල​, බෝංචි ඇට​, මඤ්ඤොක්කා වැනි ආහාර වල පිෂ්ඨ ධාතුවෙන් නිපදවන හරුසමෙ නූඩ්ල්ස් සිහින්, ඒ වගේම විනිවිද පෙනෙන සුළුයි. මේ විනිවිද පෙනෙන සුළු සොබාවය නිසාම ඒවා "සෙලෝපේන් නූඩ්ල්ස්" කියලත් හැඳින්වෙනවා.


නූඩ්ල්ස් පිළියෙල කරන ක්‍රම​


නූඩ්ල්ස් පිළියෙල කරන ක්‍රම සිය ගාණක් තියෙනවා. මේ එයින් ජනප්‍රිය ක්‍රම කීපයක්. බොහෝ විට මේ ක්‍රම එකිනෙකෙන් වෙනස් වෙන්නෙ නූඩ්ල්ස් සුප් එකට එකතු කරන දේ අනුව​. සුප් විදිහට පිළියෙල නොකරන ක්‍රමත් තියෙනවා.

1. උදොන් පිළියෙල කරන ක්‍රම​


නූඩ්ල්ස් සුප් වර්ග 


උදොන් නූඩ්ල්ස් සුප් හදද්දි සිහින්ව කපා ගත් ළූණු කොළ අනිවාර්‍ය අංගයක්.  ඊට අමතරව එළවළු වර්ගත් එකතු කරනවා. එකතු කරන විශේෂ දෙයක් අනුව තමයි නූඩ්ල්ස් වර්ගය නම් කෙරෙන්නෙ.

කකෙ උදොන් : නූඩ්ල්ස් සහ ළූණු කොළ පමණයි
තනුකි උදොන් : බදින ලද පිටි කැබලි
කිත්සුනෙ උදොන් : සිහින්ව කැපූ බදින ලද ටෝෆු


ත්සුකිමි උදොන් : අමු බිත්තරයක්
තෙම්පුරා උදොන් : පිටි වලින් වහල බැදපු ඉස්සන්
කරේ උදොන් : මස් සහ එළවළු සමඟ ජපන් කරි


චිකර උදොන් : මෝචි හෙවත් බත් කේක්
නබෙයකි උදොන් : බිම්මල්, බිත්තර සහ තවත් දේ සමඟ තාච්චියක පිළියෙල කරන උදොන් වර්ගයක්.
වකමෙ උදොන් : වකමෙ නමින් හැඳින්වෙන මුහුදු පැළෑටි




සුප් නොවන ආකාර


සරු උදොන් :
ශීත කළ උදොන් කුඩා නොරි කැබැලි සමඟ​. පිළිගන්වන්නේ උණ පතුරු වලින් හදපු තැටියක තියලා. කන්න කලින් සෝස් වල ඔබා ගත යුතුයි.

කමාගෙ උදොන් :
උණුවතුරේ ගිල්වූ උදොන් නූඩ්ල්ස්. පිළිගන්වන්නේ විශාල ලී බඳුනක​.


2. රාමෙන් පිළියෙල කරන ක්‍රම​


රාමෙන් පිළියෙල කරන්නෙ සුප් විදිහට විතරයි. ඒ වගේම රාමෙන් හැම විටම කන්නෙ උණුවෙන්.

ෂෝයු (සෝයි) රාමෙන්:
ෂෝයු සෝස් සහ කුකුළු මස්. ඊට අමතරව ඌරු මස්, හරක් මස්, මාළු, බිත්තර සහ එළවළු වර්ග තියෙන්න පුළුවන්. වඩාත්ම ජනප්‍රිය රාමෙන් වර්ගය ෂෝයු රාමෙන්.

ෂියෝ (ලුණු) රාමෙන්:
ලුණු සහ කුකුළු මස්. ඊට අමතරව බිත්තර, ඌරු මස් සහ හරක් මස් තියෙන්නත් පුළුවන්.


මිසෝ (සෝයි ඇට​) රාමෙන්:
සෝයි බෝංචි ඇට වලින් හදන මිසෝ සුප්. ඊට අමතරව බඩ ඉරිඟු ඇට​, ඌරු මස්, බිත්තර සහ එළවළු වර්ග තියෙන්න පුළුවන්. උතුරු ජපානයේ බිහිවුන නූඩ්ල්ස් පිළියෙල කිරීමේ ක්‍රමයක්.

තොන්කොත්සු (ඌරු කටු) රාමෙන්:
උණු වතුරෙ දාල මස් දියවෙන තුරු තම්බපු ඌරු කටු. මේකට ඌරු මේද කැබැලි සහ කුකුළු මසුත් එකතු කරනවා. තොන්කොත්සු රාමෙන් සුප් ඉතාම උකු ගතියෙන් යුක්තයි. දකුණු ජපානයේ බිහිවුන නූඩ්ල්ස් පිළියෙල කිරීමේ ක්‍රමයක්.


3. සොබා පිළියෙල කරන ක්‍රම​


නූඩ්ල්ස් සුප් වර්ග


කකෙ සොබා : සිහින්ව කැපූ ළූණු කොළ. සමහර විට මාළු.
තනුකි සොබා : බදින ලද පිටි කැබලි
කිත්සුනෙ සොබා : සිහින්ව කැපූ බදින ලද ටෝෆු


ත්සුකිමි සොබා : අමු බිත්තරයක්
තෙම්පුරා සොබා : පිටි වලින් වහල බැදපු ඉස්සන්
කරෙනංබන් : මස් සහ එළවළු සමඟ ජපන් කරි


වකමෙ සොබා : වකමෙ නමින් හැඳින්වෙන මුහුදු පැළෑටි
සන්සයි සොබා: කැලෑ එළවළු සහ උණ දළු
නංබන් සොබා: ලීක්ස් සහ කුකුළු මස් හෝ තාරා මස්

නමෙකො සොබා: නමෙකො බිම්මල්
නිෂින් සොබා: හෙරිං මාළු



සුප් නොවන ආකාර​


සරු සොබා :
ශීත කළ උදොන් කුඩා නොරි කැබැලි සමඟ​. පිළිගන්වන්නේ උණ පතුරු වලින් හදපු තැටියක තියලා. කන්න කලින් සෝස් වල ඔබා ගත යුතුයි.

මොරි සොබා:
සරු සොබා වලට සමානයි, නමුත් නොරි කැබලි නෑ.

තොරොරො සොබා:
ශීත කළ සොබා සමඟ සිහින්ව ලියා ගත් අල වලින් තැනූ උකු ක්‍රීම්. මේ ක්‍රීම් නූඩ්ල්ස් මත වත් කරල වගේම වෙනම කෝප්පයකත් පිළිගන්වන්න පුළුවන්.




නූඩ්ල්ස් කන විදිහ​



අනෙක් හැම කෑමකටම වගේ නූඩ්ල්ස් වලටත් කන්න ඕනෙ විදිහක් තියෙනවා.

නූඩ්ල්ස් අනිවාර්‍යයෙන්ම කන්න ඕනෙ කෝටු දෙකෙන්. කිසිම වෙලාවක අතින් කන්න බෑ.

කෑමට පෙර සෝස් වල ඔබාගත යුතු නූඩ්ල්ස් වර්ගයක් නම්, නූඩ්ල්ස් රැළි කීපයක් කෝටු දෙකේ ඔතාගෙන සෝස් දීසියේ මද වශයෙන් ඔබාගෙන කන්න ඕනෙ. වසාබි අවශ්‍යය නම් සෝස් දීසියට කලවම් කරගන්න ඕනෙ.

නූඩ්ල්ස් සුප් එකක් නම්, නූඩ්ල්ස් රැළි කීපයක් කෝටු දෙකෙන් අරගෙන කටට දාගන්න ඕනෙ, ඒවායේ අනෙක් කෙලවර සුප් එක තුලම තියෙද්දි. ඊට පස්සෙ කෝටු දෙකෙන් නූඩ්ල්ස් එහෙ මෙහෙ යන්න නොදී මෙහෙයවන ගමන් කටට උරන්න ඕනෙ. මෙහෙම උරද්දි ශබ්දය පිට වෙනව නම් ඉතාමත් හොඳයි. ඒකෙන් ඔබ නූඩ්ල්ස් රස විඳින බව අනෙක් අයට​, විශේෂයෙන්ම කෝකියාට​, ඇඟවෙනවා. නූඩ්ල්ස් මේ විදිහට උරල කන එකෙන් නූඩ්ල්ස් නිවෙනවා වගේම රස වඩා හොඳින් දැනෙනවා.

බොහෝ විට නූඩ්ල්ස් සුප් කෝප්පය එක්ක පොඩි හැන්දකුත් දෙනවා. ඒ කෝටු දෙකෙන් ගන්න අමාරු පොඩි එළවළු කෑලි කන්න​.

නූඩ්ල්ස් කාල ඉවරවෙලා කෝප්පයේ ඉතුරු වෙන සුප් කෝප්පයෙන්ම බොන්න ඕනෙ. සුප් සියල්ලම බොන්න අවශ්‍යය නෑ. නමුත් එහෙම කිරීම කෝකියාට කරන ප්‍රසංශාවක් විදිහටයි සලකන්නේ.


Saturday, September 29, 2018

ජපන්නු කන හැටි - සුෂි



සුෂී කියන්නෙ ජපානයේ බත් සහ අමු මාළු යොදාගෙන හදන කෑම වර්ග ගණනාවක්.

සුෂී ගැන තියෙන දුර්මත දෙකක් ගැන මුලින්ම කියල ඉන්නම්.

සුෂී කියපුවාම අද ලෝකයේ අදහස් කෙරෙන්නෙ අමු මාළු. ඒත්, නියම ජපන් සුෂී වල මුල් තැන ලැබෙන්නේ බත් වලට​. ඒ වගේම බත් නොමැතිව නිකම්ම අමු මාළු පමණක් යොදා ගෙන හදන කෑම වර්ගයකුත් තියෙනවා. ඒකත් බොහෝ තැන් වල සුෂී කියල හැඳින්වුනත් ඒකෙ නියම නම සෂිමි. සෂිමි සහ සුෂී කියන්නෙ කෑම වර්ග දෙකක්.

බොහෝ විට ජපානයේ ප්‍රසිද්ධම ජපන් කෑම වර්ගය ලෙස සුෂී හැඳින්වුනත්, ජපානයේ ජනප්‍රියම කෑම වර්ගය සුෂී නෙවෙයි. නූඩ්ල්ස්.


ඉතිහාසය​




සුෂී වල මූලාරම්භය තියෙන්නෙ අග්නිදිග ආසියාවේ. මීකොං ගඟ ආශ්‍රිතව කුඹුරු ගොවිතැන් කරපු ගොවියෝ මාළු කල් තබා ගැනීමේ උපක්‍රමයක් විදිහට සිහින්ව කැපූ අමු මාළු තීරු හාල් අස්සෙ තැන්පත් කළා. මේ ක්‍රමයෙන් මාළු මාස ගානක් කල් තබා ගන්න ඔවුන්ට පුළුවන් වුනා. ආහාරයට ගැනීමේදී හාල් ඉවත දාලා මාළු පමණක් කෑමට ගත්තා. මාළු සකස් කිරීමේ මේ ක්‍රමය හැඳින්වුනේ "නරෙසුෂි" කියලා.

නරෙසුෂි චීනය හරහා ජපානයට එන්නේ 8 වෙනි සියවසේදී.

14 වෙනි සියවසේ දී ජපන්නු නරෙසුෂි ඇසුරෙන් අළුත් කෑමක් හැදුවා. "නමනරෙ" ලෙස හැඳින්වුන මේ කෑම සකස් කලේ අමු මාළු කැබලි බත් ගුලි අස්සට එබ්බවීමෙන්. බත් වල රස්නයෙන් බාගෙට තැම්බුන මාළු බත් ගුලියත් සමඟම ආහාරයට ගත්තා.

අද අපිට දකින්න ලැබෙන සුෂි මුලින්ම හමුවෙන්නේ 17 වෙනි සියවසේදී. මේ වෙද්දි සුෂි වල මූලික අංගය වෙන්නෙ මාළු නෙවෙයි - බත්. "හයා-සුෂි" නමින් හැඳින්වුනු මේ ආහාරය සකස් කෙරුනේ අළුත් අමු මාළු තීරු ලුණු සහ විනාකිරි යොදා සකස් කළ බත් ගුලි අස්සට එබ්බවීමෙන්. ඊට අමතරව කුඩා එළවළු කැබලිත් ඊටම එකතු කෙරුනා.


ප්‍රධාන සංඝටක​


බත්


සුෂි සඳහා යොදා ගන්නේ ජපන් සුදු බත්. මේවා ජපන් බසින් හැඳින්වෙන්නේ සුෂි-මෙෂි කියලා. කුඩා ඇට සහිත ජපන් හාල් පිසීමෙන් පසු ඇලෙන සුළු බවක් දැක්වීම නිසා සුෂි හදන්න ඉතාම සුදුසුයි. සුෂි සඳහා යොදා ගන්න බත් විනාකිරි, සීනි සහ ලුණු යොදාගෙන පදම් කිරීමකට ලක් කරනවා. මේ සඳහා යොදා ගන්නෙ හාල් වලින් හදපු විශේෂ විනාකිරි වර්ගයක්. සමහර අවස්ථා වලදී මේ සඳහා සකේ සහ මුහුදු පැලෑටි වර්ගත් යොදා ගන්නවා. මේ පදම් කිරීම අවසානයේ බත් වලට ඇඹුල් රසයක් ලැබෙනවා. ඇත්තෙන්ම "සුෂි" කියන ජපන් වචනයේ තේරුම "ඇඹුල් රසැති" කියන එක​.


මාළු



සුෂි සඳහා යොදා ගන්න විවිධ මාළු සහ මුහුදු කෑම වර්ග ජපන් බසින් හඳුන්වන්නේ "නෙත​" කියලා. වර්තමාන සුෂි ශාස්ත්‍රය අනුව මේවා යොදා ගන්නෙ අමුවෙන් සහ අළුත් පිට​. මේ සඳහා යොදා ගන්න මාළි වර්ග රාශියක් තියෙනවා. වඩාත් ජනප්‍රිය වෙන්නේ බලයා (මගුරෝ), යෙලෝටේල් (හමාචි), ස්නැපර් (කුරොදයි), මැකරල් (සබ​), සැමන් (සකෙ), දැල්ලා (ඉක​), ආඳා (උනගි), බූවල්ලා (තකො), ඉස්සා (අමඑබි), බෙල්ලා (මිරුගයි), මාළු බිත්තර (ඉකුර​), මුහුදු කැකිරි (උනි) සහ  කකුළුවා (කනි). එළවළු පමණක් කන අය සඳහා පිපිඤ්ඤා වැනි එළවළු පමණක් යොදාගෙන හදන සුෂි වර්ගත් තියෙනවා. නමුත් ඒවා එතරම් ජනප්‍රිය නෑ.


නොරි



නොරි කියල හඳුන්වන්නේ ඇල්ගී වර්ගයකින් හදන සිහින් කඩදාසි වර්ගයක්. සමහර සුෂි වර්ග ඔතන්න මේ කඩදාසි භාවිතා වෙනවා.


කටගැස්ම​



සුෂි සමඟ භාවිතා කරන කටගැස්ම වර්ග කීපයක් තියෙනවා.

1. සෝයා භාවිතා කරල හදන සෝස් වර්ගයක් වන ෂෝයූ සෝස්
2. රාබු අල වර්ගයකින් හදන සැර රසකාරකයක් වන වසබි
3. ලුණු දමා සකස් කළ සිහින්ව කැපූ ඉඟුරු පෙති හෙවත් ගරි
4. ජපන් තේ හෙවත් ඕචා

මීට අමතරව තවත් එළවළු වර්ගත් කට ගැස්ම විදිහට භාවිතා කරන්න පුළුවන්. මේවායින් බලාපොරොත්තු වෙන්නෙ රස එක් කිරීම​, ආහාර ජීර්ණය පහසු කිරීම සහ විෂ නැසීම​.


සුෂි වර්ග​


සුෂි වර්ග සිය ගානක් තියෙනවා. මේ වඩාත් ජනප්‍රිය වර්ග කීපයක්.

1. නිගිරි (නිගිරිසුෂි)



බත් බෝලයක් උඩ මාළු කෑල්ලක් තියලා හදන සුෂි වර්ගයක්. සමහර විට සිහින් නොරි පටියකින් මේක බඳිනවා.


2. ගුන්කන්



ගුන්කන් හදන්නේ නොරි වලින් හදපු කුඩා කෝප්පයකට බත් සහ මාළු කැබලි පිරවීමෙන්. මේ සඳහා බහුලවම භාවිතා කරන්නෙ මාළු බිත්තර​.


3. නොරිමකි (ෆුතොමකි)




මේක තමයි ජපානයේ වඩාත්ම සුලභ සුෂි වර්ගය​. නොරිමකි හදන්නෙ මාළු කැබලි මැදි කරගත් බත් රෝලක හැඩයට හදලා නොරි වලින් ඔතලා.


4. තෙමකි




නොරි වලින් හදපු ගොට්ටකට බත් සහ මාළු පුරවල හදන සුෂි වර්ගයක්.


5. ඔෂිසුෂි




කුඩා ලී පෙට්ටියක පතුලේ මාළු කැබලි අතුරලා ඒ මතින් බත් අතුරලා බත් මතට ලෑලි කැබැල්ලක් තියල තෙරපීමෙන් තමයි ඔෂිසුෂි හදන්නේ. පස්සේ මේවා විවිධ හැඩයන්ට කපා ගන්නවා. මේ නිසා ඔෂිසුෂි වලට තියෙන්නෙ "අච්චුවෙ දාල හැදුව​" වගේ පෙනුමක්. මේ වර්ගය කන්සායි ප්‍රාන්තයේ සහ විශේෂයෙන්ම ඕසකා නගරයේ ජනප්‍රියයි. ඔෂිසුෂි වල විශේෂත්වය තමයි ඊට යොදාගන්න මාළු තම්බල තිබීම​.


6. ඉනරිසුෂි




බැදපු ටෝෆු වලින් හදපු කුඩා පැසකට බත් පිරවීමෙන් තමයි ඉනරිසුෂි හදන්නේ. සමහර විට මේ සඳහා ටෝෆු වෙනුවට ඔම්ලට් යොදා ගන්නවා.


7. චිරෂිසුෂි




බත් කෝප්පයක් උඩට මාළු සහ එළවළු කැබලි දැමීමෙන් හදන සුෂි වර්ගයක්. සමහර අවස්ථා වල මේ සඳහා තම්බපු මාළු යොදාගන්නවා. ඒ ක්‍රමය තෝකියෝ නගරයේ ජනප්‍රියයි. කන්සායි ප්‍රාන්තයේ චිරෂිසුෂි හදන්නේ මාළු සහ එළවළු බත් සමඟ කලවම් කිරීමෙන්. දකුණු ජපානයේ පිළියෙල කරන සකේ-සුෂි හදද්දි විනාකිරි වෙනුවට සකේ භාවිතා කරනවා. ඒ එක්කම මාළු සහ එළවළු වලට අමතරව බිම්මල්, උණ දළු සහ ඔම්ලට් යොදා ගන්නවා.


මීට අමතරව සුෂි සඳහා යොදා ගන්නා මාළු හෝ මුහුදු කෑම වර්ගය අනුව විවිධ නම් වලින් සුෂි හැඳින්වෙනවා. උදාහරණයකට සැමන් වලින් හදන නිගිරිසුෂි සකෙ සුෂි ලෙසත්, ඉස්සන් ගෙන් හදන නිගිරි සුෂි අමඑබි සුෂි ලෙසත් හැඳින්වෙනවා. ඒත් ඒ දෙවර්ගයම පිළියෙල කරන්නේ නිගිරිසුෂි ක්‍රමයට​.

මීට අමතරව බටහිර රටවල, විශේෂයෙන් ඇමරිකාවේ, විවිධ ක්‍රම වලට සුෂි සකස් කරනවා. ඒවා ජපානයේ ජනප්‍රිය නෑ.


සුෂි කන හැටි




නියම ජපන් අවන්හලක සුෂි කනකොට පිළිපදින්න ඕන පිළිවෙත් තියෙනවා. ඒවා සුෂි වල රසය නියම ආකාරයට විඳගන්න වගේම ඔබේ ආචාරශීලීත්වය විදහා පාන්න උදව් වෙනවා. ජපන්නු තමාගේ සම්ප්‍රදායන් තදින් රකින ජාතියක්.

සුෂි කන්න මේසෙට ඉඳගත්තම මුලින්ම ලැබෙන්නෙ කට ගැස්ම​. ෂෝයූ සෝස් කුඩා දීසියක්, ගරි (ඉඟුරු) සහ වසබි.

සුෂි හදනකොට වසබි කොහොමත් එක් කරන නිසා අමුතුවෙන් මේසයේදී වසබි එක් කිරීම අනවශ්‍යයයි. ඒත් ඔබ වසබි වල සැරට ප්‍රිය කරනවා නම් වසබි ටිකක් එකතු කරගැනීමේ වැරැද්දක් නෑ.නමුත් හැම විටම මතක තියා ගන්න කෝකියා ඔබට වඩා සුෂි ගැන දන්න බව සහ ඔහු අවශ්‍යය නියම වසබි ප්‍රමානය දැනටමත් එකතු කර ඇති බව​.

බත් වල උෂ්නත්වය අනුව සුෂි වල රස වෙනස් වෙන නිසා සුෂි මේසය උඩ ගොඩක් වෙලා සීතල වෙන්න දෙන්න හොඳ නෑ.

සමහර සුෂි වර්ග කන්න ඕනෙ අතින්. සමහර වර්ග කෝටු දෙකෙන්. සාමාන්‍යයෙන් නොරි කොළයකින් ඔතල තියෙන ගුන්කන්, නොරිමකි, තෙමකි වගේ සුෂි වර්ග කන්නෙ අතින්.  ඒත් ඕනම සුෂි වර්ගයක් අතින් කෑවට ප්‍රශ්නයක් නෑ.

සුෂි කන්න කලින් ෂෝයූ සෝස් වල ඉතා මද වශයෙන් ඔබන්න ඕනෙ. හැකි සෑම විටම බත් සහිත කොටස් සෝස් දීසියේ එබීමෙන් වලකින්න වග බලා ගන්න​. නොරිමකිසුෂි වලදී නං මේකට කරන්න දෙයක් නෑ - බත් සහිත පැත්තක් ඔබන්නම වෙනවා. ඒත් නිගිරිසුෂි වලදී අනිවාර්‍යයෙන්ම සෝස් වල ඔබන්නෙ ඕනෙ මාළු සහිත පැත්ත​.

ආඳා මාළු (උනගි) වලින් හදන සුෂි ෂෝයූ සෝස් වල ඔබන්නෙ නෑ.

ෂෝයූ සෝස් වල එබුවට පස්සෙ ගසන්න හොඳ නෑ. කෙලින්ම සම්පූර්න සුෂි කෑල්ලම කටේ දාගන්න ඕනෙ. කිසිම හේතුවක් නිසා සුෂි කෑල්ලක් කටවල් දෙකකට කන්නෙ නෑ.


සුෂි කෑල්ල කටේ දාගද්දි මාළු තියෙන පැත්ත දිවටත්, බත් තියෙන පැත්ත තල්ලටත් එන විදිහට කටේ දාගන්න ඕනෙ.

වසබි ටිකක් එකතු කරනවා නම්, සුෂි කෑල්ල සෝස් වල ඔබන්න කලින් කෝටුවක ආධාරයෙන් වසබි ටිකක් සුෂි කෑල්ලේ ගාන්න ඕනෙ. කිසිම අවස්ථාවක වසබි සෝස් දීසියේ දිය කරන්න හෝ කෝටුවේ ඉතුරු වන වසබි ලෙව කන්න හොඳ නෑ. ඒ දෙකම ඉතාමත් අවිනීත හැසිරීම්.

සුෂි කෑල්ල කෑවට පස්සෙ ඉඟුරු කෑල්ලක් කටේ දාගෙන හොඳට හපල කන්න ඕනෙ. හැම සුෂි කෑල්ලකටම පස්සෙ ඉඟුරු කෑල්ලක් කන්න ඕනෙ. ඉඟුරු කෑල්ල අතින් හෝ කෝටු දෙකෙන් ගන්න පුළුවන්. ඒත් කිසිම අවස්ථාවක ඉඟුරු කෑල්ල සුෂි එක්ක එකට කන්නෙ නෑ.

අවසාන වශයෙන්, සුෂි කෝකියට ස්තූති කරන්න අවශ්‍යය නම් ඔහුත් එක්ක සකේ අඩියක් ගහන්න​. ඒක මිලදී ගන්න ඕනෙ ඔබ​!

Friday, September 28, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 71 (හව්වා දීදී)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හව්වා දීදී

(සත්‍ය කතාවකි)

එකෝමත් එක කාලෙක ෆුවා මුලාකු දූපතේ බොහෝම ලස්සන තරුණියක් වාසය කළා. ඇගේ නම "හව්වා දීදී". ඇය විවාහ වෙලා ඇගේ තරුණ සැමියත් එක්ක ඉතාම සතුටින් වාසය කළා. ඇයට පොඩි පුතෙක් හිටියා. හව්වා දීදී ඉතාම දක්‍ෂ සකසුරුවම් ඇති ගෘහණියක්. මේ නිසාම ඇගේ ගෙදර කිසිම අඩුපාඩුවක් තිබුනෙ නෑ. ඇගේ සැමියා ඇයට බොහෝම ආදරය කළා.

එක දවසක් ඇය කුස්සියේ උයනකොට අසල්වැසි කාන්තාවක් අඩුපාඩුවක් ඉල්ලගන්න කුස්සියට ඇවිල්ල හිටියා. හව්වා දීදී ලිපේ තිබුන උතුරල ගොජ දාන හැළියක් රෙදි කෑල්ලක් නැතුව නිකම්ම අත් දෙකෙන් අරගෙන පැත්තක තියන හැටි අසල්වැසි කාන්තාව බලාගෙන හිටියෙ ඇස් දෙක ලොකු කරගෙන​. හව්වා දීදී ගෙ අත පිච්චුනේ නෑ.

අසල්වැසි කාන්තාව හනිකට කුස්සියෙන් පිට වුනා. දූපතේ අනික් ගෑණු එක්ක තමන් දැකපු දේ කිව්වා. කතාව අහපු හැමෝම භීතියෙන් ගල් ගැහුනා. ඒ දිවෙහි රාජ්ජේ වැසියො වඩාත්ම බයවුන රෝගයේ ලකුණක්.

කතාව කටින් කට පැතිරිලා දූපතේ ප්‍රධානියාගෙ කණටත් වැටුනා. ඔහු දූපතේ වැඩිහිටියන්ව එක් රැස් කළා මේ ගැන සාකච්ඡා කරන්න​. ඔවුන් ගොඩක් වෙලාවක් තිස්සේ බැරෑරුම් විදිහට ඒ ගැන සාකච්ඡා කළා. හැමෝම එකඟ වුනා හව්වා දීදී ට නිදහසේ දූපත පුරා ඇවිදින්න දෙන්න බැරි බව​. එහෙම වුනොත් මේ බියකරු ලෙඩේ වතුරට වැටුණු තෙල් වගේ පැතිරිලා යයි.

ඔවුන් අන්තිමට තීරණය කළා ඇයව ෆුවා මුලාකු දූපතේ දකුණු කොණේ තියෙන "කුඩුහෙරවාලි" කියල හැඳින්වුන තැන ඇති කැලෑවකට ගෙනියන්න​. එතැන කැලේ මැද පොඩි එළිමහනක් තියෙනවා. එතැන මිනිස් වාසයෙන් ගොඩක් ඈතයි. හව්වා දීදී ට වැඩි කරදරයක් නැතුව එතැන ඉන්න පුළුවන්.

ඔවුන් හොර රහසේම කැලේ මැද්දට ගිහින් පොඩි පැලක් හදල ඒ ළඟින් ළිඳකුත් හෑරුවා.

මේ අතරෙ හව්වා දීදීට දූපතේ මිනිස්සුන් ගෙ හැසිරීමේ ලොකු වෙනසක් තේරුනා. ඇගේ නෑයෝ පවා ඇයව මග ඇරියා. ඇය ගෙදරකට ආවොත් ගෙදර මිනිස්සුන් ගෙ කතා බහ එකපාරටම නැවතුනා. ඇය පාරෙ යනකොට මිනිස්සු පිරිසක් පහු කරගෙන ගියොත් ඔවුන් ඇය පහුවුනාට පස්සෙ රහසින් කතා වෙන සද්දෙ ඇයට ඇහුනා. ඇගේ ගෙදරට අමුත්තො ආවෙ නෑ.

එක දවසක් අල්ලපු ගෙදර දෙළොස් හැවිරිදි ගෑණු ළමයා, සන්ෆා දියේ (සන්ෆා කෙල්ල​), හව්වා දීදී ගෙ ගෙදර දොරකඩට ඇවිත් දුක පිරුණු ඇස් දෙකෙන් ඇය දිහා බලාගෙන ඉන්න හැටි හව්වා දීදී දැක්කා. සන්ෆා දියේ තමයි හව්වා දීදී ට මේ ලෝකෙ හිටපු හොඳම යාළුවා.


"සන්ෆා දියේ, ඔයා දැන් වැඩිය මේ පැත්තෙ එන්නෙ නෑ නේද​?"

සන්ෆා දියේ උත්තර දෙන්නෙ නැතුව අහක බලාගත්තා.

"ඔයා මාත් එක්ක තරහ වෙලාද​?"

"ඔයා දන්නව මම ඔයාගෙ හොඳම යාළුව කියල​. ඔය වගේ කතා කියන්නෙ ඇයි?"

සන්ෆා දියේ සුසුමක් හෙළලා කඳුළු පිරුණු ඇස් වලින් බිම බලාගෙන උත්තර දුන්නා.

හව්වා දීදී බිම බලාගෙන පොල් ගාන ගමන් හැඬුම්බර ස්වරයකින් කතා කළා.

"මම දන්නෙ නෑ මොනව වෙලාද කියල​. කවුරුත් මට කතා කරන්නෙ නෑ. කවුරුත් අපේ ගෙදර එන්නෙත් නෑ. ඉස්සර නං ඔයා හැමදාම අපේ ගෙදර ඇවිත් කුස්සියට වෙලා මාත් එක්ක වරු ගණන් කතා කර කර ඉන්නව​. ඒත් මම දැන් ඔයාව දකින්නෙත් කලාතුරකින්. මම හිතුවෙ ඔයත් අනිත් අය වගේ එන්නෙ නැතුව ඇති කියල​. දැන් ඔයා එක පාරටම ආපහු ඇවිත්."

සන්ෆා දියේට මිනිස්සු හව්වා දීදී එක්ක කතා නොකරන හේතුව කියන්න ඕනෙ කියල හිතුනත්, ඇයට දුක හිතෙයි කියල කියන්න බය වුනා. ඇය අහක බලාගෙනම හිටියා. ඇගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියා.

"මට කියන්න මොකද්ද වෙලා තියෙන්නෙ කියල​. මම ඇහුවට කවුරුවත් කියන්නෙ නෑ. මොකක් හරි නරක දෙයක් වෙලා තියෙනව​. මට ඒක දැනෙනවා. ඔයාවත් මට කියන්න​."

සන්ෆා දියේ අහක බලාගෙනම හීනි කටහඬින් උත්තර දුන්නා.

"ඔව්. නරක දෙයක් වෙලා තියෙනවා. ඒ ඔයාට​. හැමෝම හිතන්නෙ ඔයාට හොඳ කරන්න බැරි භයානක ලෙඩක් හැදිල කියල​. ඔයා ළඟින් හිටියත් ඒක අනිත් අයට හැදෙන්න පුළුවන් ලු. ඔයාට මතකද ගිය සතියෙ ඔයා අපේ ගෙදරට ඔල්හු අල​ (කිරි අල​) උයාගෙන ආව​? ඔයා ගිය හැටියෙ අපේ අම්ම ඒක ලිපට විසි කළා. මට ඔයාට කිසි දෙයක් කියන්න එපා කිව්වා. මේ කතාව ඇහුවට පස්සෙ මමත් මෙහෙ එන්න බයෙන් හිටියෙ."

හව්වා දීදී හිනා වෙන්න උත්සහ කලා. ඒත් ඒක පෙනුනේ බියකරු දත් විළිස්සීමක් වගේ. ඇගේ ඇස් දෙකෙන් ඇගේ බය හොඳට පෙනුනා. එහෙනං ළඟකදි ඉඳල පිහියට අත කැපුනම ඇයට රිදෙන්නෙ නැත්තෙ මේකයි. ඇයට ලාදුරු රෝගය හැදිලා!

හව්වා දීදී ගෙ ඔළුව කැරකෙන්න වුනා. ඇය ඉතාම අමාරුවෙන් කටහඬ අවදි කළා.

"ඉතින් ඔයා මෙච්චර මට බයයි නං, ඔයා මෙහ ආවෙ ඇයි සන්ෆා දියේ?"

සන්ෆා දියේ හිටියෙ අඬන්න ඔන්න මෙන්න​.

"මට ඔයා ගැන දුක හිතුනා. සමහරදාට රෑට මට නින්ද යන්නෙ නෑ. ඔයා තමයි මගේ හොඳම යාළුවා. මට ඔයාව දකින්න බැරි එක දරා ගන්න බෑ."

සන්ෆා දියේ ඉකි ගහමින් අඬන්න පටන් ගත්තා. ඇය ඇඬුම අතරින්ම කතා කළා.

"මිනිස්සු කියනව ඔයාව කැලේ මැද්දෙ පුංචි පැලකට ගෙනිහින් දානව ලු. ඊයෙ ඒ ගොල්ලො ළිඳ කපල ඉවර වුනාලු. හෙට වහලෙ හෙවිල්ලන්න ලු ඉන්නෙ. අපේ අයියත් එතන වැඩට ගියා. අපේ අම්මල මට මෙහෙ එන්න දෙන්න නෑ. ඒ නිසා මට ආයෙ ඔයාව දකින්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ."

සන්ෆා දියේ ඉකි ගහමින් ගෙදර පැත්තට ඇවිදින හැටි හව්වා දීදී බලාගෙන හිටියා. සන්ෆා දියේ ගියාට පස්සෙ ඇය අත් දෙකෙන් මූණ වහගෙන මහා හඬින් හඬා වැලපුනා.

හව්වා දීදී ගෙ හිත යකාගෙ කම්මල වගේ. ඇය ඉපදුනේ, හැදුනෙ වැඩුනේ මේ දූපතේ. මේ දූපතේ මිනිස්සුත් එක්ක​. ඇය හැමදාම ඔවුන්ට සැලකුවේ කරුණාවෙන්. ඒත් දැන් ඔවුන් ඇයට සලකන්නෙ මේ විදිහට​. ඇගේ සැමියත් මේ ගැන දැනගෙන ඉන්න ඇති. ඔහු නොදැන ඉන්නෙ කොහොමද​? ඒත් ඔහුවත් ඇයට මේ ගැන කිව්වෙ නෑ. මේ මොන විදිහෙ මිනිස්සු ද​? ඇගේ හිත කෝපයෙන් දැවුනා. ඒ එක්කම ඇයට ඇය ගැනම මහා දුකක් ඇති වුනා.

අන්තිමේදී ඇය හිත තද කරගත්තා. "මේ විදිහට දුක් වෙන එකේ තේරුම මොකද්ද​? මේක නැවැත්තුවෙ නැත්තං මට පිස්සු හැදෙයි."

ඊළඟ දින කීපයේ හව්වා දීදී හිටියේ හැඟීම් නොදැනෙන කෙනෙක් වගේ. ඇගේ මූණේ තිබුනේ බොහොම බැරෑරුම් පෙනුමක්. ඇගේ ඇස් දෙක අත්භූත පෙනුමකින් වැහිල තිබුනා.

එක දවසක් ඇගේ සැමියා දූපතේ ප්‍රධානීන් කීප දෙනෙක් එක්ක ඇගේ ගෙදරට ආවා. දූපත් ප්‍රධානීන් ඇගේ ගුණ කියන්න පටන් ගත්තා. ඒත් හව්වා දීදී ඔවුන් ආවෙ මොකටද කියල දැනගෙන හිටියා. ඇයට මහා පිළිකුලක් දැනුනා. ඇය ඇස් පුංචි කරගෙන ඔවුන් දිහා බලාගෙන හිටියා.

අන්තිමේදී දූපත් ප්‍රධානියා මාතෘකාවට බැස්සා.

"මට සමාවෙන්න. ඒත් ඔයාට කියන්න නරක ආරංචියක් තියෙනවා. ඔයාට බොහොම දරුණු ලෙඩක් හැදිලා. ඔයාට ජීවත් වෙන තැන වෙනස් කරන්න සිද්ධ වෙයි. ඒක හැමෝටම හොඳයි. අපි දැනටමත් අළුත් ගෙදරක් හදල තියෙන්නෙ. ඔයාට ඕන කරන හැම දෙයක්ම අපි දෙන්නම්. විරුද්ධ වෙන්න හදන්න එපා. එහෙම වුනොත් අපිට මේක වෙන විදිහකට කරන්න වෙයි. ඒක හැමෝටම හොඳ නෑ."

ඒත් හව්වා දීදී විරුද්ධ වුනේ නෑ. ඇය නිහඬවම කලබලයක් නැතුවම ඇගේ ඇඳුම් පැළඳුම් මල්ලකට දාගත්තා. "මේ මොන වගේ මිනිස්සු ද​?"

"ඔයා පුතාව තියල යන්න​. නැත්තම් එයත් ලෙඩ වෙයි."

ඇගේ සැමියා එහෙම කිව්වා.

හව්වා දීදී ඇස් පුංචි කරගෙන ඔහු දිහා බලාගෙන හිටියා. ඔහු දූපත් ප්‍රධානින්ට එරෙහිව තමා වෙනුවෙන් කතා කරන හැටි අහන්න ඇය කොයිතරම් ආසා කරාද​? ඒත් ඔහු වචනයක් වත් කිව්වේ නෑ. දැන් ඇය ඇගේ ගෙදරත් දරුවත් අත හැරල යන්න ඕනෙ. ඇගේ සැමියා කරුණාවන්තයි. ඇය ඔහුට වෛර කලේ නෑ. ඒත් ඔහු මීට වඩා නිර්භීත නම් කොයිතරම් හොඳද​?

හව්වා දීදී හිස පහතට හරවාගෙන ඇගේ අඩුම කුඩුම මල්ලිත් අරගෙන "සරුදාරු" (සුළු මුළාදෑණියෙක්) පිටිපස්සෙන් කැලෑව පැත්තට ඇවිදගෙන ගියා. යන ගමන් ඇය කල්පනා කළා ඇයට මේ ඉරණම අත් කර දීම ගැන මිනිස්සු පසුතැවෙනව ඇති ද කියල​. ඇය ඈතකට යන එක ගැන ඔවුන් සතුටු වෙනව ඇති.

මුලදි මුලදි හව්වා දීදී ගෙ නෑදෑ හිත මිතුරෝ ඇයට කෙසෙල්, ඔල්හු අල​, බෝකිබා, අළුත් මාළු වගේ රසවත් කෑම වර්ග නිතරම අරගෙන ආවා. ඇයට කන්න බැරි තරම් කෑම ලැබුනා. ඒත් කල් ගත වෙද්දි ඇයට රසවත් කෑම ලැබෙන එක අඩු වුනා. ටික කාලයක් යද්දි ඇයට ලැබුනේ සර්දාරු ගේන කෑම විතරයි. ඒවා කිසි රහක් නැති බොහොම දුප්පත් කෑම​.

කැලේ මැද තනියම ගත කරපු මුල් රාත්‍රීන් කීපයේ ඇය හිටියෙ බියෙන් මුසපත් වෙලා. ඇයට නින්ද ගියේ නෑ. ඇය රෑ තිස්සෙ ඇහැරගෙන කැලයෙන් එන බිය ජනක සද්ද වලට ඇහුම්කන් දෙමින් හිටියා. ඇය ඒ සද්ද වලට වගේම අඳුරටත් බය වුනා. සමහර වෙලාවට ඇයට දැනුනේ ඇය නපුරු හීනයක් දකිමින් ඉන්න බව​. තවත් වෙලාවට ඇය කැලයෙන් යක්‍ෂයෙක් ඇවිත් ඇයව ගොදුරු කරගෙන මේ කරදර වල නිමාවක් දකින්න පුළුවන් වෙයි කියල ඇය බලපොරොත්තු වුනා. ඇය රෑ පුරාවට තනියම අඬා වැලපුනා. ඒත් ඇය හිටියෙ මිනිස් වාසයෙන් ගොඩාක් ඈත​. ඒ නිසා කාටවත් අඳුරු උණුසුම් රාත්‍රිය විනිවිදින සුළු ඇගේ දුක්බර විලාපයන් ඇහුනේ නෑ. උදේට ඇහරල බලද්දි ඇගේ කොට්ටය කඳුලින් තෙත් වෙලා. ඒත් දවල් කාලයේ ඇය කිසි දෙයක් නොවුනා වගේ ඉන්න උත්සහ කළා.

කල් ගතවෙද්දි ඇයගේ රාත්‍රියට තිබුන බය නැති වෙලා ගියා. ඇය තරු එළියෙන් මුහුදු වෙරළට ඇවිදගෙන ගිහින් මද අඳුරේ පෙනෙන මුහුද දිහා බලාගෙන ඉන්න පුරුදු වුනා. අඳුරු රළගෙඩි දූපත වටේටම තිබුණු කොරල් පරයේ හැපිලා සුදු පාට පෙණ මවමින් බිඳෙන හැටිත්, කොරල් පරය නිහඬ යෝධයෙක් වගේ දූපත ආරක්‍ෂා කරන හැටිත් ඇය බලාගෙන හිටියා. ඇගේ හිතට සන්සුන් බවක් දැනුනා.


ඇය ලොකු සුදුපාට ගල් වලට පිට දීගෙන පැය ගණන් මුහුද දිහා බලාගෙන හිටියා. ඇගේ මුහුණට වැටෙන  කරදිය බිඳිති වලට සහ ඇගේ හිසකෙස් විසුරුවා දමන මුහුදු හුළඟට ඇය ආසා කළා.

සමහර දවස් වල හවසට ඇගේ සැමියා ඇයව බලන්න ආවා. ඔහු ඇයට කතා කළේ දුර ඉඳල​. හව්වා දීදී ඔහු ගැන දැක්වුයේ උදාසීන හැඟීමක්. ටික කාලෙකින්ම ඔහු එන්නෙ නැත්තම් හොඳයි කියල ඇයට හිතුනා. තරු එළියේ වෙරළට වෙලා මුහුදු රළ දූපතට කඩා වදින හැටි බලාගෙන ඉන්න ඇය වඩාත් ආසා කළා. මාස ගාණකට පස්සෙ ඔහුගේ දෙමාපියන් ගේ බල කිරීම නිසා ඔහු වෙනත් කාන්තාවක් විවාහ කරගත්ත බව ඇයට ආරංචි වුනා. ඇයට දුක හිතුනේ නෑ.

ඇගේ රෝගය වැඩි වෙනකොට ඇගේ අත පයේ තුවාල ඇති වුනා. ඒ තුවාල වලට වෙළුම් පටි යොදන්න ඇයට ඇගේ ඇඳුම් ඉරන්න සිද්ධ වුනා. මේ නිසා නිතරම ඇයට ඉන්න වුනේ නිරුවතින්. දූපතේ කාන්තාවන්ට ඇය නිරුවතින් ඉන්න බව ආරංචි වුනාම ඔවුන් පරණ ඇඳුම් සහ තුවාල වෙලන්න රෙදි පටි ඇගේ පැල අසලින් ගෙනත් තියල ගියා. ඒත් ඒවා වැඩි කල් ඉතුරු වුනේ නෑ.

රෝගය ක්‍රමයෙන් උත්සන්න වුනා. ඒත් හව්වා දීදී අනෙක් ලාදුරු රෝගීන් වගේ විරූපි වුනේ නෑ. ඇගේ අත පය අංග විකල වුනත් ඇගේ ලස්සන මුහුණට රෝගයෙන් බලපෑමක් වුනේ නෑ.

හව්වා දීදී ට වුනේ මොකද්ද කියල කවුරුවත් හරියටම දන්නෙ නෑ. සමහරු කියන විදිහට ඇය රෝගයෙන් කැලේදිම මරණයට පත් වුනා. මිය යද්දිත් ඇගේ ලස්සන ඒ විදිහටම තිබුනා කියල ඔවුන් කියනවා.

තවත් සමහරු කියන්නෙ දූපතේ මිනිස්සු පිරිසක් එකතු වෙලා ඇයව අඩ්ඩු අතොළුවේ ගැන් දූපතේ තිබුන බ්‍රිතාන්‍යය ගුවන් හමුදා කඳවුරට ගෙනගිය බව​. එහිදී සුදු ජාතික වෛද්‍යවරු ඇයව සුවපත් කළ බව ඔවුන් කියනවා. ඇගේ ලස්සනේ අඩුවක් වුනේ නෑ. බොහෝ දෙනා ඇයට ෆුවා මුලාකු දූපතට එන්න කියල ආයාචනා කළත් ඇය ආපහු එන්න කැමති වුනේ නෑ. ඇගේ දූපතේ කිසිම කෙනෙක් එක්ක කතා කරන්නවත් ඇය කැමති වුනේ නෑ. ඇය උතුරු දිග දූපත් බලා යන නැවකට නැග්ග බවත්, ඇගේ ඇස් වල කිසිම දුකක් නොතිබුන බවත්, නැවට නගිද්දි ඇය ආපහු හැරිල නොබලපු බවත් මිනිස්සු කියනවා.

ඇය උතුරු දිග දූපත් වලදි ධනවත් වෙළෙන්දෙක් විවාහ කරගෙන බොහෝ කාලයක් සතුටින් වාසය කළ බවත් ඔවුන් කියනවා. සමහරු කියන්නෙ ඇය තවම ජීවත් වෙන බව​.

ෆුවාමුලාකු දූපතේ හව්වා දීදී ගෙ පැල තිබුනු තැන අදත් හැඳින්වෙන්නෙ "හව්වා දීදී බේවි තැන්" කියල​෴


- කතාව කිව්වේ මාගීදුරුගේ ඊබ්‍රහිම් දීදී


අටුවාව​

1. ඔල්හු අල​


අලකොළ​. හබරල​, කිරිඅල වගේ අල වර්ග කීපයක් ම මාලදිවයිනේ හැදෙනවා. මේ අල වර්ග දිවෙහි රාජ්ජෙ වැසියන් ගේ ප්‍රධාන ආහාරයක්. විශේෂයෙන් ෆුවාමුලා, අඩ්ඩු වගේ දකුණු දිග දූපත් වල මේ අල වර්ග බහුලව වගා කරනවා.

2. සරුදාරු


දූපතක සුළු මුළාදෑණියෙක්. දූපත් ප්‍රධානියාගේ රාජකාරි වලට සහය දීම සහ දූපතේ පොලිස් නිලධාරියා විදිහට කටයුතු කිරීම ඔහුගේ වගකීම වුනා.

3. බෝකිබා

පොඟා ගන්නා ලද හාල් කොටලා, ඒකට උම්බලකඩ​, ගාපු පොල් සහ මිරිස් එකතු කරලා ලිපේ තබා පුළුස්සා ගන්නා කෑමක්. මේක හදන්නෙ වන්ඩු ආප්ප වගේ යටින් වගේම උඩිනුත් ගින්දර දැමීමෙන්. ඒකට පුළුස්සන භාජනයේ පැතලි මූඩිය උඩ තියන ගිනි අඟුරු පාවිච්චි කරනවා. බෝකිබා සොබාවයෙන් පොල් කේක් වගේ. හවස තේ එක්ක තමයි බහුලව කෑමට ගන්නේ.


4. ගැන් ගුවන් හමුදා කඳවුර​

දෙවන ලෝක යුද්ධ කාලේ ඉන් දියන් සාගරයේ සැරි සැරුව ජපන් සබ්මැරීන් සහ නැව් වලට එරෙහිව බ්‍රිතාන්‍යය නැව් ආරක්‍ෂා කරන්න බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව දිවෙහි රාජ්ජේ දකුණුම කෙළවරේ තියෙන අඩ්ඩු අතොළුවේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුරක් හැදුවා. ඒ 1941 දී.


෴෴ ෴෴෴෴෴෴෴෴
එසේ නම් සහෘදය​,
ඈත අතීතයේ ලක් පොළවේ සිට නුපුරුදු සමුදුරු තරණය කරමින් නොදන්නා කුඩා දූපත් පෙළකට පැමින​, අළුත්ම ජීවන රටාවකට හුරු වෙමින්, කුසගින්න​, මහ මුහුද​, කුණාටු, ලෙඩ රෝග සමඟ සටන් වදිමින් ආදරය​, විරහව​, ඊර්‍ෂ්‍යාව, සතුට​, දුක, තණ්හාව වැනි පොදු මිනිස් ධර්ම සමඟ ජීවත් වීමට යත්න දැරූ, ඒ මතින් අළුත්ම සංස්කෘතියක් බිහි කරගත්, අපේම සහෝදර ජන කොටසකගේ ජීවන අරගලය යකිනියන්, ෆුරේතයන්, ෆන්ඩිතයන් හරහා පුරා වසරක් තිස්සේ ඔබ වෙත ගෙන ආ දිවෙහි රාජ්ජේ ජන කතා මාලාව මෙතැනින් අවසන් වෙනවා
෴෴෴෴෴෴෴෴෴෴

Thursday, September 27, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 70 (ෆින්දන්ෆුළු සහ බොන්දන්ෆුළු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ෆින්දන්ෆුළු සහ බොන්දන්ෆුළු


එකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක කුරුල්ලො දෙන්නෙක් එකම දූපතේ වාසය කලා. ඒ ෆින්දන්ෆුළු සහ බොන්දන්ෆුළු. ෆින්දන්ෆුළු (ෆින්දනා) කැමති මුහුදු වෙරළ අයිනේ ජීවත් වෙන්න​. බොන්දන්ෆුළු (බොන්දනා) කැමති ගොඩබිම ඇතුළෙ ජීවත් වෙන්න​. ඒත් දෙන්න හොඳ යාළුවො.

දවසක් මේ දෙන්න ගෙවල් දෙකක් හදන්න තීරණය කලා. ෆින්දන්ෆුළු වෙරළේ ඉලෝෂි (ඉරටු) වලින් ගෙයක් හැදුවා. බොන්දන්ෆුළු කැලයට ගිහිල්ල තේක්ක ගහක් කපල දූපත මැද බොහොම ශක්තිමත් ගෙයක් හැදුවා.


එදා රෑ කුණාටුවක් හැමුවා. ෆින්දන්ෆුළු ගෙ ගෙදර කැඩිල ගියා. හොඳටම තෙමිලා සීතලේ ගැහි ගැහී ෆින්දන්ෆුළු බොන්දන්ෆුළු ගෙ ගෙදරට ගිහින් දොරට තට්ටු කළා. බොන්දන්ෆුළු දොර ඇරියම ෆින්දන්ෆුළු තමන්ට වෙච්ච කරදරය ගැන කියලා රෑ නිදාගන්න ඉඩක් ඉල්ලුවා. බොන්දන්ෆුළු අකැමැත්තෙන් වුනත් ෆින්දන්ෆුළු ව ගෙට අරගත්තා.

බොන්දන්ෆුළු ගෙදර මුල්ලක් පෙන්නලා ෆින්දන්ෆුළුට එතැන නිදාගන්න කිව්වා. ඒත් ෆින්දන්ෆුළු ට ඊට වඩා හොඳ තැනක් ඕනෙ වුනා. බොන්දන්ෆුළු තැන් කීපයක්ම පෙන්නුවත් මොකක් හරි අඩුපාඩුවක් කියලා ෆින්දන්ෆුළු එතැන නිදාගන්න ප්‍රතික්‍ෂේප කළා. අන්තිමේදී බොන්දන්ෆුළු කුස්සියේ බත්මුට්ටිය වහල තිබුන ලී මූඩිය පෙන්නුවා. එතැන හොඳට උණුසුමයි.

"ආහ්, මෙතැන නම් මට නිදාගන්න හොඳයි"

ඒත් ෆින්දන්ෆුළු ට බත් මුට්ටියෙන් එන සුවඳ දරාගෙන ඉන්න අමාරු වුනා. ටික වෙලාවක් යද්දි ෆින්දන්ෆුළු හෙමිහිට මූඩිය ඈත් කරල බත් චුට්ටක් අරගෙන කෑවා. හරිම රසයි. ආයෙත් ටික වෙලාවකින් ෆින්දන්ෆුළු තවත් බත් කටක් කෑවා. මූඩිය හෙලවෙන සද්දෙට බොන්දන්ෆුළු ඇහැරුනා.

"ෆින්දන්ෆුළු, ෆින්දන්ෆුළු, මොකද්ද ඒ සද්දෙ?"

"මම ඇඟේ හිරි ඇරියා"

බොන්දන්ෆුළු ආයෙත් නින්දට ගියා.

ෆින්දන්ෆුළු ආයෙත් මූඩිය ඈත් කරල බත් ටිකක් කෑවා. ආයෙත් බොන්දන්ෆුළු ඇහැරුනා.

"ෆින්දන්ෆුළු, ෆින්දන්ෆුළු, මොකද්ද ඒ සද්දෙ?"

"මට කැස්සක් ආවා"

ඔහොම ඔහොම මුළු රෑම ගෙවුනා. බොන්දන්ෆුළු ට හරි හැටි නින්දක් ලැබුනෙ නෑ. ෆින්දන්ෆුළු බත් මුට්ටියම කෑවා. උදේ ඉර එළිය වැටෙද්දිම ෆින්දන්ෆුළු කාටත් නොකියා හොරෙන්ම පිටත් වෙලා යන්න ගියා.

උදේ බොන්දන්ෆුළු ගෙ ළමයි ඇහැරිලා අම්මගෙන් බත් ඉල්ලුවා. බොන්දන්ෆුළු ගෙ බිරිඳ කුස්සියට ගිහින් බත් හැලියෙ මූඩිය ඇරල බැලුවා. බත් ඇටයක් වත් නෑ. ඒ මදිවට ෆින්දන්ෆුළු බත් මුට්ටිය ඇතුලෙ මළපහ කරල​.

බොන්දන්ෆුළු කේන්තියෙන් පුපුරමින් ෆින්දන්ෆුළු හොයාගෙන ගියා.

බොන්දන්ෆුළු මුළු දූපත පුරාම හෙව්වත් ෆින්දන්ෆුළු හොයා ගන්න බැරි වුනා. ඒත් බොන්දන්ෆුළු ගෙ ළමයි මුහුදු වෙරළෙ තිබ්බ ෆින්දන්ෆුළු ගෙ අඩි පාරවල් දිගේ ගිහිල්ල ෆින්දන්ෆුළු ව හොයාගත්ත​. ඌ හිටියෙ පොල් කටුවක් පිටි පස්සෙ හැංගිලා. ළමයි බොන්දන්ෆුළු ව එක්කරගෙන ආවා. ඌ ආවෙ කේන්තියෙන් වියරු වැටිල​. බොන්දන්ෆුළු ෆින්දන්ෆුළුට හොඳටම ගහල අත් තටුවෙන් අල්ලල කටු අකුලකට විසි කරා.

බොන්දන්ෆුළු ගියාට පස්සෙ ෆින්දන්ෆුළු කටු අකුලෙන් එළියට ආවා. උගෙ කකුලක් කැඩිලා. ඌ අමාරුවෙන් කොර ගහමින් උදව් හොයාගෙන මුහුදු වෙරළ දිගේ ගියා. ඌ දැක්කා ධීචරයො පිරිසක් මාළු දැල් වියනවා. ෆින්දන්ෆුළු එතැනට ගිහින් ධීවරයන් ගෙන් උදව් ඉල්ලුවා. ඒත් ෆින්දන්ෆුළු ගෙ හැටි දැකපු ධීවරයො ඌව එතැනින් එළව ගත්තා.

ෆින්දන්ෆුළු වෙරළේ කවුරුවත් නැති කොනකට වෙලා ඉඳගෙන මුහුද දිහා බලාගෙන ඌට වුන ඇබැද්දිය ගැන කල්පනා කරමින් හිටියා. එහෙම ඉන්නකොට ෆින්දන්ෆුළු දැක්කා ලී පෙට්ටියක් මුහුදු රැල්ලෙ පාවෙලා එන හැටි.

ෆින්දන්ෆුළු සින්දුවක් කියන්න පටන් ගත්තා.

"රන්ෆොත්තේ ලග්ගලේ, මයින්මගා ලග්ගලේ..."
(රත්තරන් පෙට්ටිය​, මාව හොයාගෙන පාවෙලා එන්න​)

ලී පෙට්ටිය වෙරළට ගොඩ ගැහුවම ෆින්දන්ෆුළු පෙට්ටිය ගොඩට අරගෙන ඇවිත් ඇරල බැලුවා. ඇත්තටම ඒක රත්තරන් කුඩු වලින් පිරිලා. ඌ පෙට්ටිය රහස් තැනක හැංගුවා. දැන් ෆින්දන්ෆුළුට රත්තරන් මැනල බලන්න ඕනෙ. ඌ දන්නවා බොන්දන්ෆුළු ළඟ "ලාහි" (මැනීමට භාවිතා කරන භාජනයක්) තියෙනව කියල​. ඒත් බොන්දන්ෆුළු ගෙන් ලාහි ඉල්ලන්න ගියොත් ආයෙත් ගුටි කන්නයි වෙන්නෙ.

ෆින්දන්ෆුළු බොන්දන්ෆුළු ගෙ ගෙදර ළඟ හැංගිලා බොන්දන්ෆුළු එළියට යනකං බලාගෙන හිටියා. ඊට පස්සෙ හොරෙන්ම ගෙදරට ගිහින් බොන්දන්ෆුළු ගෙ බිරිඳගෙන් ලාහිය ඉල්ලුවා. බොන්දන්ෆුළු ගෙ බිරිඳට ලොකු කුතුහලයක් ආව ෆින්දන්ෆුළු මනින්න යන්නෙ මොනවද කියල දැන ගන්න​. ඇය ලාහිය දෙන්න කලින් ලාහියේ අඩියෙ දෙල් ගහේ කිරි වලින් හදන කොහොල්ලෑ ටිකක් ගෑවා.

ෆින්දන්ෆුළු ලාහියෙන් රත්තනර් මැනලා, ටිකක් වඩුරාළ ට දීලා හොඳ ගෙදරක් හදා ගත්ත​. ඊට පස්සෙ ඌ ලාහිය බොන්දන්ෆුළු ගෙ බිරිඳට ගෙනත් දුන්නා. බොන්දන්ෆුළු ගෙ බිරිඳ දැක්කා ලාහිය අඩියෙ රත්තරන් කුඩු ඇලිල තියෙනවා. ඇය බොන්දන්ෆුළුට ඒ බව කිව්වා.

බොන්දන්ෆුළු ට අදහ ගන්න බෑ.

"ෆින්දන්ෆුළුට රත්තරන් ලැබුන විදිහ කොහොමහරි හොයා ගන්න ඕනෙ"

බොන්දන්ෆුළු ෆින්දන්ෆුළු ගෙ ගෙදරට ගියා. ඒක කදිම ගෙදරක්. බොන්දන්ෆුළු ගෙ ගෙදරට වඩා හොඳයි. ෆින්දන්ෆුළු බොහොම ආදරෙන් බොන්දන්ෆුළු ව පිළිගත්තා.

"කොහොමද යාළුවේ, එන්න ඇතුළට​"

ආගිය කතා ඉවර වුනාම බොන්දන්ෆුළු රත්තරන් හමුවුන විදිහ ෆින්දන්ෆුළු ගෙන් ඇහුවා.

"අපෝ ඒක හරිම ලේසි වැඩක්. මුලින්ම මම තමුසෙට හොඳටම ගහල කටු අකුලකට විසි කරන්නම්. ඊට පස්සෙ තමුසෙ ගිහින් ධීවරයන් ගෙන් උදව් ඉල්ලනවා. ඒගොල්ලො තමුසෙට උදව් කරන්නෙ නෑ. ඊට පස්සෙ තමුසෙ වෙරළෙ ඈත කොනට වෙලා ඉඳගෙන ඉන්නවා. එහෙම ඉද්දි පෙට්ටියක් මුහුදෙ පාවෙලා එයි. තමුසෙ එතකොට සින්දුවක් කියන්න ඕනෙ."

"මොන සින්දුවක් ද​?"

"රන්ෆොත්තේ ලග්ගලේ, මයින්මගා ලග්ගලේ...."

"හරි මම ලෑස්තියි"

ෆින්දන්ලුළු බොන්දන්ලුළු ට හොඳටම ගහල කටු අකුලකට විසි කලා.

ඒ අතරෙ බොන්දන්ලුළු ගෙ බිරිඳ ඔහුව හොයාගෙන බොන්දන්ලුළු ගෙ ගෙදර ආවා.

"අපේ මනුස්සය දැක්කද​? කොහෙ ගිහින් ද මන්දා. ළමයි කන දෙයක් ඉල්ලලා අඬනවා."

ෆින්දන්ෆුළු ඌ ළඟ තිබ්බ කෑම ටිකක් බොන්දන්ෆුළු ගෙ බිරිඳට දුන්නා.

ගොඩක් වෙලාවකට පස්සෙ බොන්දන්ෆුළු අමාරුවෙන් කටු අකුලෙන් එළියට ආවා. ඌ වෙරළ දිගේ ධීවරයො ඉන්න තැනට ගියා. ධීවරයො ඌව එලව ගත්තා. ඊට පස්සෙ බොන්දන්ෆුළු වෙරළේ ඈත කෙළවරට ගිහින් මුහුදු වෙරළේ ඉඳගත්තා.

බොන්දන්ෆුළු දැක්කා ලී පෙට්ටියක් රැල්ලේ පාවෙන හැටි. බොන්දන්ෆුළු ගෙ හදවත ප්‍රීතියෙන් ගැහෙන්න ගත්තා. ඌ සින්දුව කියන්න පටන් ගත්තා.

"රන්ෆොත්තේ ලග්ගලේ, මයින්මගා ලග්ගලේ......"

පෙට්ටිය වෙරළට ආවා. බොන්දන්ෆුළු පෙට්ටිය ඇරල බැලුවා.

ඒත් පෙට්ටිය ඇතුලෙ රත්තරන් කුඩු තිබුනෙ නෑ. ඒක පිරෙන්න හිටියෙ දෙබරු. උන් බොන්දන්ෆුළුට හොඳටම දෂ්ඨ කලා. පන්න පන්න දෂ්ඨ කලා. බොන්දන්ෆුළු මුහුදු වෙරළේ වැටිලා එතැනම මිය ගියා.

දෙවැනි දවසෙත් බොන්දන්ෆුළු ගෙ බිරිඳ ෆින්දන්ෆුළු හොයාගෙන ආවා.

"මගේ ළමයින්ට බඩගිනියි"

ෆින්දන්ෆුළු ඇයට කෑම ටිකක් දීලා පිටත් කරල ඇරියා.

තුන්වෙනි දවසේ ෆින්දන්ෆුළු බොන්දන්ෆුළු ගෙ ගෙදරට ගිහින් බොන්දන්ෆුළු ගෙ බිරිඳයි ළමයි ටිකයි ඔහුගෙ ගෙදරට කැන්දගෙන ආවා.

එදා ඉඳල හැමෝම සතුටින් ජීවත් වුනා෴


- කතාව කිව්වේ මයිමුනා (මාලේ දූපත​)

මේ කතාවේ සැඟවුනු උපහාසයක් තියෙනවා. ගොඩබිම ඉන්න බොන්දන්ෆුළු වෙරළේ ඉන්න ෆින්දන්ෆුළු අතින් උපහාසයට ලක් කිරීම මගින් දිවෙහි රාජ්ජේ වැසියෝ මුහුදත් එක්ක ජීවත් වෙන එක උසස් ජීවන රටාවක් කියල සැලකුව බවත්, ගොඩබිම එක්ක ජීවත් වෙන එක හාස්‍යයට ලක් කළ බවත් තමයි පේන්නෙ. ධීවර කර්මාන්තය වගේ "මුහුදු" රැකියා පොල් වගාව වගේ "ගොඩබිම්" රැකියා වලට වඩා වීරත්වයෙන් පිරුණු උසස් ජීවන රටාවක් කියල තමයි දිවෙහි රාජ්ජේ වැසියෝ සැලකුවේ.

අටුවාව​

1. ෆින්දනා

ඉංග්‍රීසියෙන් "Common Sandpiper" කියලත්, සිංහලෙන් "සිලිබිල්ලා" කියලත් හැඳින්වෙන කුරුල්ලා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "ෆින්දනා" කියල​. මේ කුරුල්ලා දිවෙහි රාජ්ජේ සුලබ කුරුල්ලෙක්. ඒ නිසාමදෝ දිවෙහි රාජ්ජේ ජනකතා වල නිතර හමුවෙන චරිතයක්. මුහුදු වෙරළේ ඇවිදිමින් වැලි අස්සෙ හැංගිල ඉන්න කුඩා කුරුමිණි සත්තු අල්ලගෙන කන්න ෆින්දනා රුසියෙක්.



2. බොන්දනා

සිංහලෙන් "වැලි ඔලෙවියා" කියලත් ඉංග්‍රීසියෙන් "Greater Sandplover" කියලත් හැඳින්වෙන කුරුල්ලා දිවෙහි බසින් හැඳින්වෙන්නෙ බොන්දනා කියලා. ෆින්දනා වගේම බොන්දනත් ජීවත් වෙන්නෙ වැලි අස්සෙ හැංගිලා ඉන්න කුඩා කුරුමිනි සත්තු අල්ලගෙන කාලා.



Wednesday, September 26, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 69 (ෆන්වක්කොලු සහ වලිකොලු)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

ෆන්වක්කොලු සහ වලිකොලු (පොල් කොලේ සහ පිහිය​)

ෆන්වක්කොලු (පොල්කොලේ) සහ වලිකොලු (පිහිය​) කියන්නෙ එකටම හැදුනු වැඩුනු යාළුවො දෙන්නෙක්. ෆන්වක්කොලු සිහින්; උසයි; බොහොම දුර්වල ශරීරයක් තිබුනා. වලිකොලු ට කොට වුනත් මහත ශක්තිමත් ශරීරයක් තිබුනා.

එක දවසක් ඔවුන් දෙන්නා මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් ඉන්නකොට පොඩි පහේ වචන හුවමාරුවක් ඇති වුනා. රණ්ඩුව සමථයකට පත් කරනව වෙනුවට ෆනවක්කොලු වලිකොලුට පහර දුන්නා. මේකෙන් දෙන්නා අතර ගුටි බැට හුවමාරුවක් ඇති වුනා.

වලිකොලුට තරහ ගිහිල්ල ෆන්වක්කොලු ව කෑලි වලට කපල දැම්මා.

තමාට වඩා ශක්තිමත් කෙනෙක් එක්ක රණ්ඩුවක පැටලෙද්දි බොහොම කල්පනාකාරී වෙන්න ඕනෙ෴

- කතාව කිව්වෙ දොන් කම්බුලෝ (මාවෂු දූපත​, හද්දුන්මති අතොළුව​)

දිවෙහි රාජ්ජේ ජනකතා - 68 (රන්නමාරි)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

රන්නමාරි

පසුබිම​:

ක්‍රි.ව​. 1100 දී පමණ තමයි මාල දිවයින ඉතිහාසයේ මුල් වරට එක්සේසත් ජාතික රාජ්‍යයක් වෙන්නෙ. ඊට කලින් තිබ්බෙ සමීප සබඳකම් තිබ්බ​, නමුත් දේශපාලනිකව ස්වාධීන දූපත් එකතු ගණනාවක්.

මාලදිවයිනේ මේ වෙද්දි වාසය කළ ප්‍රධාන ජනවර්ගය වුනේ දිවෙහි. ඔවුන් තමයි අදටත් මාලදිවයිනේ ප්‍රධාන ජනවර්ගය​. දිවෙහි ජනයා ගේ මූලය ලංකාව​. ඔවුන් ගේ භාෂාවත් හැඳින්වුනේ දිවෙහි කියලා. ඒක සිංහල භාෂාවට ඉතා සමීප භාෂාවක්. ඔවුන් ගේ පාලකයා හැඳින්වුනේ "රදුන්" කියලා. රදුන් මාලේ දූපතේ තිබ්බ තමාගේ අගනුවර ඉඳලා පාලනය ගෙන ගියා.

ක්‍රි.ව​. 1100 වෙද්දි දිවෙහි ජනයා බෞද්ධයෝ. ඔවුන් මහායාන සහ වජ්‍රයාන සම්ප්‍රදායන් තමයි ප්‍රධාන වශයෙන් අනුගමනය කරේ. මාලදිවයින් බුදු දහමේ කේන්.ද්‍රස්ථානය වුනේ දකුණු දිග දූපත්. ඒ ඒවා ලංකාවට වඩා කිට්ටුවෙන් තිබීම කියල හිතන්න පුළුවන්.

බෞද්ධ භික්‍ෂූන්ව දිවෙහි බසින් හැඳින්වුනේ "සගමොනුන්" කියලා. ඔවුන් ගේ ස්ථූව "හවිත්තා" නැත්තම් "උස්තුබු" කියලා හැඳින්වුනා. මාලදිවයින පුරාම අදටත් මේ බෞද්ධ සිද්ධස්ථාන වල නටබුන් දකින්න පුළුවන්.



ෆුවාමුලාකු දූපතේ ඇති "බොදු හවිත්තා" හෙවත් ලොකු ස්ථුපය​

ථෙරවාදය මාලදිවයිනේ ප්‍රචලිත නොවුන නිසා මාලදිවයිනට බුදු දහම ආවේ අභයගිරි සම්ප්‍රදායෙන් කියල හිතන්න පුළුවන්.


=====================================================================

ක්‍රි.ව​. 1153 දි මාලදිවයිනේ පාලකයා වුනේ "දොවෙමි කලමින්ජා සිරි තිරිබුවන ආධිත්‍යය මහා රදුන්". ඒ ඔහුගේ 12 වැනි රාජ්‍ය වර්‍ෂය​.

මේ කාලයේදී මාලදිවයිනේ වැසියන් මුහුදු රකුසියක් ගෙන් පීඩා වින්දා. මේ රකුසිය හැඳින්වුනේ "රන්න මාරි" කියලා. රන්න මාරි පෙනුමෙන් ලාම්පු ගණනාවකින් ආලෝකමත් වුන නැවක් වගේ. ඇය හැම මාසයකම දවසක් රාත්‍රී කාලයට මුහුදෙන් ඇවිත් මාලදිවයින් වැසියන්ට නොයෙකුත් පීඩාවන් සිදු කලා.

රන්න මාරි ගෙන් ගැලවෙන්න මාලදිවයින් වැසියන් කළේ ඇයට නර බිල්ලක් දෙන එක​. මේ සඳහා තරුණියක්  තෝරා ගැනුනා. ඒ කුසපත් ඇදීමකින්. හැම මාසයේම රන්න මාරි එන දවසේ රාත්‍රියට ඔවුන් තෝරා ගත් තරුණිය මාලේ දූපතේ දකුණු කෙළවරේ වෙරළට යාබදව පිහිටා තිබ්බ පන්සලක රඳවලා තිබ්බා. උදේට ඔවුන්ට හමු වුනේ ඇයගේ මළ සිරුර​.



මේ බිලි පූජාව නිසා මාලදිවයින් වැසියන් රන්න මාරි ගේ පීඩාවන් ගෙන් ගැලවුනත්, ඔවුන් තමා පසු වෙලා හිටපු අවාසනාවන්ත තත්වය ගැන දැඩි කනස්සල්ලෙන් හිටියේ.

මේ අතරතුරේ මාලේ දූපතට අමුත්තෙක් එනවා. ඔහු එන්නෙ සෝමාලියාවේ ඉඳලා. ඔහුගේ නම "යූසුෆ් බින් අහ්මඩ් අල්-කව්නෙයින්". යූසුෆ් කුරානය කටපාඩමින් කියන්න පුළුවන් අයෙක්. ඉතා ප්‍රසිද්ධ ඉස්ලාම් උගතෙක්. ඔහුගේ කීර්තිය මුළු ඉස්ලාමීය ලෝකය පුරාම පැතිරිලා තිබ්බා. ඔහුව හැඳින්වුනේ "ෂයික් අබු බරකත් අල් බර්බරි" (සෝමාලියාවේ උතුම් පියානන්) කියන ගෞරව නාමයෙන්.

යූසුෆ් නවාතැන් ගත්තෙ මාලේ දූපතේ වාසය කරපු දුප්පත් මහළු කාන්තාවකගේ නිවසේ. දවසක් ඔහු නගරයේ සංචාරය කරලා හවස නිවෙසට එනකොට දැක්කා මහළු කාන්තාවගේ ඥාතීන් සියළු දෙනා ඇගේ නිවෙසට රැස් වෙලා ඉන්න බව​. ඔවුන් හිටියේ ඉතාමත් ශෝකයෙන්. ගෑණු හඬා වැලපුනා. යූසුෆ් මේකට හේතුව විමසුවා. ඔහුට දැන ගන්න ලැබුනා එදා රෑ රන්න මාරි වෙනුවෙන් බිලි වෙන්න තෝරාගෙන තිබුනේ මහළු කාන්තාවගේ තරුණ දියණිය කියලා.

යූසුෆ් මහළු කාන්තාව පැත්තකට කතා කරලා මෙහෙම කිව්වා.

"බය වෙන්න එපා. අද රෑට ඔබේ දියණිය වෙනුවෙන් මම රකුසියට බිලි වෙන්නම්"

රාත්‍රිය උදාවුනා. යූසුෆ් ස්නානය කරලා හොඳින් ශුද්ධ පවිත්‍ර වෙලා තරුණිය වෙනුවට පන්සලට ගියා. ඔහු මුහුද පැත්තට තිබුන ජනේලයක් ළඟට වෙලා වෙලා කුරාන පාඨයන් හඬ නගා කියමින් හිටියා. රකුසිය මුහුදෙන් ගොඩ බිමට එද්දිම ඇයට කුරාන පාඨයන් අහුනා. බියපත් වුන රකුසිය නැවතත් මුහුදට පළා ගියා.



පහුවෙනිදා උදේ මිනිස්සු තරුණිය ගේ මළ සිරුර අරගන්න පන්සලට ආවා. ඒත් ඔවුන්ට දකින්න ලැබුනේ ජනේලය ළඟට වෙලා කුරාන පාඨ හඬ නගා කියවමින් උන් යූසුෆ් ව​. මිනිස්සු පුදුමයට පත් වෙලා ඔහුව රදුන් හමුවට අරගෙන ගියා.

රදුන් විශ්මයටත් පැහැදීමටත් පත් වුනා. යූසුෆ් ඔහුට ඉස්ලාමය වැළඳ ගැනීමට ආරාධනා කලා. රදුන් ඔහුට මෙහෙම කිව්වා.

"මේ මාසය අපත් සමඟ නවතින්න​. ඊළඟ සැරේත් රන්න මාරි පළවා හරින්න ඔබට පුළුවන් වුනොත් මම ඉස්ලාමය වැළඳ ගන්නවා"

යූසුෆ් රදුන් ගේ මාළිගයේ නැවතුනා. මාසය අවසන් වෙන්න පෙර ඔහුගෙන් ඉස්ලාමය ගැන ඉගෙන ගත් රදුන් ඉස්ලාමය ගැන කැමැත්තක් ඇති කර ගත්තා.

ඊළඟ මාසයේ රකුසිය එන්න නියමිත වුන දවසේ යූසුෆ් නැවතත් පන්සලේ කුරාන පාඨයන් කියවමින් රාත්‍රිය ගත කළා. රකුසිය ආවේ නෑ.

පහුවදා උදේම රදුන් පන්සලට ආවා. ඔහුට කුරාන පාඨ කියමින් නිරුපද්‍රිතව උන් යූසුෆ් හමු වුනා. රදුන් විශ්මයටත් පැහැදීමටත් පත් වෙලා එතැනදීම ඉස්ලාමය වැළඳ ගත්තා. රදුන් සමඟ ඔහුගේ බිසව සහ දරුවනුත්, රාජ සභාවත් ඉස්ලාමය වැළඳ ගත්තා.

රදුන් තරුණියන් බිලි දුන්න පන්සල දාලා එතැන ඉස්ලාම් පල්ලියක් හදන්න අණ කලා. ඒක තමයි මාලදිවයිනේ පළවෙනි ඉස්ලාම් පල්ලිය වුනේ.

රදුන් අනෙක් දූපත් වලටත් ඉස්ලාමයේ පණිවිඩය යැව්වා. ඔවුනුත් ඉස්ලාමය වැළඳ ගත්තා෴

=====================================================================

පසුවදන :

මාලදිවයින ඉස්ලාමය වැළඳ ගැනීම පිළිබඳ මේ ජනකතාව සත්‍ය සිද්ධියක් මත පදනම් වුන එකක් කියල හිතන්න පුළුවන්.

මේ කතාවේ එන "යූසුෆ් බින් අහ්මඩ් අල්-කව්නෙයින්" කියන්නෙ ඇත්තටම ජීවත් වුන පුද්ගලයෙක්. ඉතා ප්‍රසිද්ධ ආගමික උගතෙක් වුන ඔහු නමින් ඉඳි කළ පල්ලි මාලදිවයින​, ලංකාව ඇතුළු රටවල් ගණනාවක තියෙනවා.

යූසුෆ් මාලදිවයිනේ රජු ඉස්ලාමයට හැරවූ බව හිතන්න පුළුවන්. ඒත් ඊට පෙරත් මාලේ අගනුවර ඉස්ලාමය වැළඳගත්ත දිවෙහි ජාතිකයන් ඉන්න ඇති. අරාබිය සහ අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ මාලදිවයින එක්ක තදින්ම වෙළඳ සබඳකම් පවත්වලා තියෙනවා. සමහරවිට ඉස්ලාමය වැළඳගත් රාජ සභාවේ ප්‍රභල නිලධාරීන් පවා ඉන්න ඇති. යූසුෆ් ව රදුන්ට මුණ ගැස්වුයේ ඔවුන් වෙන්න ඇති.

ඓතිහාසික සාක්‍ෂි අනුව පේන විදිහට මාලදිවයින ඉස්ලාමයට හැරවීම මේ ජනකතාවේ එන තරම් සරළ හෝ සාමකාමී නෑ. බොහෝ තැන් වල මේ පරිවර්තනය සිද්ධ වුනේ බලහත්කාරයෙන්. විශේෂයෙන්ම බුදු දහමේ කේන්.ද්‍රස්ථානය වුන දකුණු දිග දූපත් වල​.

දකුණුදිග අතොළුවක් වුන හද්දුන්මති අතොළුවේ බෞද්ධ භික්‍ෂූන් රදුන් ගේ අණට පිටු පෑ බවත්, රාජ්‍ය නිලධාරීන් පැමිණි විට ඔවුන්ට එරෙහිව ආයුධ සන්නද්ධව සටන් කළ බවත් කියැවෙනවා. සමහර භික්‍ෂූන් වහන්සේලා මාලේ දූපතට රැගෙන ගිහින් හිස ගසා දැමූ බවටත් කියැවෙනවා.

ඒ වගේම සමහර දූපත් වල ඉතා පරිස්සමෙන් වළලා දැමූ බුදු පිළිම පසු කාලීනව (20 වෙනි සියවසේදී) පුරා විද්‍යාත්මක ගවේෂන වලදී හමුවෙලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නෙ මිනිස්සු රජ අණට යටත් වුන නමුත්, කවදා හෝ බුදු දහම නැවතත් ස්ථාපනය වෙයි කියන බලාපොරොත්තුවෙන් සිටි බව​.


තොඩ්ඩු දූපතෙන් හමුවූ වළලා තිබූ බුදු පිළිමය​

කොහොම වුනත් බුදු දහම මුළුමනින්ම යටපත් වෙන්න සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. 

1600 තරම් මෑත කාලයක් වන තුරු දකුණු දිග දූපත් වල බුදු දහම තිබිල තියෙනවා. දකුණු දිග දූපතක් වන තිනදූ දූපතේ ජනතාව බුදු දහම අදහන බව දැනගත්ත රදුන් හමුදාව යවලා ඔවුන්ව බලහත්කාරයෙන් ඉස්ලාමයට හරවලා තියෙනවා. එතැනදී විශාල මනුෂ්‍යය ඝාතනයක් වුන බවත්, තිනදූ දූපත් වාසීන් 1835 වන තුරු දඬුවම් වශයෙන් විශේෂ බද්දක් ගෙවූ බවත් කියැවෙනවා.


අටුවාව​

1. දොවෙමි කලමින්ජා

දොවෙමි කලමින්ජා කියන්නෙ මාලදිවයින මුල් වරට එක්සේසත් කළ කොයිමාල කුමරු ගේ සොහොයුරිය ගේ පුතා. ඔහු තමයි මාලදිවයිනේ ප්‍රථම ඉස්ලාමය වැළඳගත් පාලකයා. ඔහු ගේ නම දිවෙහි සම්ප්‍රදායට අනුව "දොවෙමි කලමින්ජා සිරි තිරිබුවන ආධිත්‍යය මහා රදුන්". ඉස්ලාමය වැළඳගත් පසු ඔහු "සුල්තාන් මුහම්මද් ඉබ්න් අබ්දුල්ලා" නමිනුත් හැඳින්වුනා. (දිවෙහි සම්ප්‍රදායේ නම සහ ඉස්ලාමීය සම්ප්‍රදායේ නම යන දෙකම පාවිච්චි කිරීම මාලදිවයින් පාලකයන් ගේ සිරිතක්).

ඉස්ලාමය වැළඳගත් පසු ඔහුට "ධරුමවන්ත රස්ගෙෆානු" (ධාර්මික රජතුමා) යන ගෞරව නාමය ලැබුනා. ඔහු 1166 දී මක්කමට ගිය හජ් වන්දනා ගමනකදී මරණයට පත් වුනා

2. මාලදිවයිනේ ඉස්ලාම් පල්ලි

ඉස්ලාම් පල්ලි දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "මිස්කි" කියලා. ඒ "මොස්ක්" කියන අරාබි වචනයෙන් බිඳුන යෙදුමක්. මාලදිවයිනේ හැදුනු පළමුවෙනි මිස්කිය දොවෙමි කලමින්ජා රදුන් ගේ නමින් "ධරුමවන්ත මිස්කි" කියලා හැඳින්වෙනවා.





ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව පල්ලියක් හදන්නෙ මක්කමට මුහුණ ලා සිටින විදිහට​. නමුත් මාලදිවයිනේ පැරණි මිස්කි බොහොමයක් තියෙන්නෙ නැගෙනහිර​-බටහිර දිශාවට මුහුණ ලා සිටින විදිහට​. ඒකට හේතුව තමයි ඒවා හදලා තියෙන්නෙ පැරණි බෞද්ධ පන්සල් වල අත්තිවාරම මත වීම​.