කොයිමාල කලෝ
පසුබිම:
මාලදිවයිනේ මුල් පදිංචිකාරයෝ වර්තමාන කේරලයෙන් ආව මිනිස්සු. ඔවුන් ලක්‍ෂ්‍යද්වීප දූපත් හරහා උතුරේ ඉඳලා මාලදිවයිනට සංක්‍රමය වුනා.ක්‍රි.පූ. 4 වෙනි සියවසේ විතර ලංකාවේ ඉඳල මිනිස්සු මාලදිවයිනට සංක්‍රමනය වෙන්න පටන් ගත්තා. ඒ මාලදිවයිනේ දකුණෙන්. දකුණු දිග දූපත් වල ඉඳලා ක්‍රමයෙන් උතුරු දිග දූපත් වලට පැතිරුන වුන මේ අළුත් ජන කණ්ඩායම් වලින් තමයි වර්තමාන මාලදිවයිනේ "දිවෙහි" ජනවර්ගය හැදෙන්නෙ. මේ දිවෙහි වරු කතා කරේ සිංහලයට ගොඩක් සමාන භාෂාවක්. ඒකෙන් තමයි වර්තමාන "දිවෙහි" භාෂාව හැදිල තියෙන්නෙ. ඒ වගේම මේ අය බෞද්ධයෝ. ලංකාවේ ඉඳලා මාලදිවයිනට දිගටම වරින් වර ජන සංක්‍රමන වුනා කියල හිතන්න පුළුවන්.
දිවෙහි ජනවර්ගයේ පැතිරීමත් එක්ක කේරළයෙන් ආව මුල් පදිංචිකාරයෝ ආපහු ලක්‍ෂ්‍යද්වීප දූපත් වලටම පසු බැස්සා. එහෙම නැත්තං ඔවුන් දිවෙහි වරු එක්ක මිශ්‍ර වෙලා දිවෙහිකරණය වුනා. සමහර දූපත් වල විතරක් ප්‍රජාවන් කීපයක් තමාගේ අනන්‍යතාවය දිගටම ආරක්‍ෂා කරගෙන ඉන්න සමත් වුනා. ඒ වගේ එක ප්‍රජාවක් හිටියේ මාලේ දූපත ළඟ තියෙන "ගිරාවරු" දූපතේ. ඔවුන් හැඳින්වුනේ "ගිරාවරු ජනයා" කියලා.
ක්‍රි.ව. 1000 පමණ වෙනකොට දිවෙහි වරු මාලදිවයිනේ තහවුරු වෙලා ඉවරයි. ඔවුන් දිවෙහි භාෂාව සහ බුද්ධාගම මත පදනම් වුන සංස්කෘතියක් අවුරුදු 1300 ක කාලයක් තිස්සේ පවත්වාගෙන යමින් හිටියා. නමුත් කවදාවත් මාලදිවයින තනි දේශපාලන ඒකකයක් විදිහට පැවතුනේ නෑ. එක එක අතොළුව පාලනය වුනේ අතොළු ප්‍රධානියෙක් යටතේ ස්වාධීනව. මේ අතොළු අතර පොදු සංස්කෘතිය මත පදනම් වුන සහයොගීතාවයක් තිබුනත් ඔවුන් දේශපාලනික වශයෙන් ස්වාධීන වුනා.
මේ කාලයේදී දකුණු ඉන්දියාවේ චෝල අධිරාජ්‍යය බලවත් වෙලා තිබුනේ. ඔවුන් ලංකාවේ රජරට වගේම මාලදිවයිනේ උතුරු දිග දූපතුත් තමාගේ යටතට පත් කරගෙන තිබුනා. දකුණු දිග දූපත් වල දිවෙහි වරු ස්වාධීනව ජීවත් වුනා.
කතාව පටන් ගන්නෙ මේ වගේ පසුබිමක.
=======================================================================
ක්‍රි.ව. 1110 දී පමණ ලංකාවෙ ඉඳන් නැව් කණ්ඩායමක් මාලදිවයින බලා යාත්‍රා කලා. මේ නැව් කණ්ඩායමේ හිටියේ ලංකාවේ රජතුමා ගේ දූ කුමරිය සහ ඇගේ සැමියා වුන "කොයිමාල කලෝ".
ඔවුන් මුලින්ම ආවේ මාලදිවයිනේ උතුරේ පිහිටි මාලොස්මදුලු අතොලුවට. එතැනදී ඔවුන් දූපත් දෙකක නවාතැන් ගත්තා. කොයිමාල කලෝ ගේ නැව ගොඩබසින දූපත "රස්ගෙතීමු" (රජු ගේ දූපත) ලෙසත් ඔහුගේ සේවකයන් ගොඩබසින දූපත "අංගොල්හිතීමු (සේවකයන් ගේ දූපත) ලෙසත් අද හැඳින්වෙනවා.
මාලොස්මදුලු අතොලුවේ වාසය කළ ජනයා ලංකාවෙ ඉඳන් ආපු මේ බෞද්ධ රාජ වංශික කුමාරයා තමාගේ පාලකයා විදිහට තෝරා ගත්තා.
ටික කාලයක් මාලොස්මදුලු අතොලුවේ වාසය කරන කොයිමාල කලෝ මාලදිවයිනේ දකුණට යාත්‍රා කළා. දකුණට යාත්‍රා කරන ඔහු මාලේ අතොළුවට ආවා.
මාලේ අතොළුවේ දකුණු කෙළවර හිටපු ප්‍රධාන ජන ප්‍රජාව වුනේ ගිරාවරු ජනයා. ඔවුන් වර්තමාන මාලේ දූපත (මාලදිවයිනේ අගනුවර) ට මදක් බටහිරෙන් පිහිටි ගිරාවරු දූපතේ ජීවත් වුනා.
ගිරාවරු ධීවරයන් තමන් අල්ලාගත්ත මාළු සුද්ධ කරන්න පාවිච්චි කරේ විශාල වැලිපර දෙකක්. මේ වැලි පර දෙක නිතරම මාළු සුද්ධ කිරීම නිසා ලෙයින් තෙත් වෙලා තිබුනා. ඒ නිසා ඔවුන් මේ දෙකෙන් වඩා විශාල වැලි පරය "මාලේ" ලෙසත් කුඩා වැලි පරය "හුලුලේ" ලෙසත් හැඳින්වුවා.
දවසක් ගිරාවරු ධීවරයෝ පිරිසක් දැක්කා ඈතින් තමාගේ දූපත දෙසට යාත්‍රා කරන විශාල නැවක්. ඔවුන් මේ නැවෙන් ආව පිරිස සාදරයෙන් පිළිගත්තා. ඒ කොයිමාල කලෝ සහ ඔහුගේ පිරිස. ගිරාවරු ජනයාගේ අවසරය ඇතුව කොයිමාල මාලේ දූපතේ පදිංචි වුනා.
මේ කාලය වෙද්දී මාලේ දූපත නිකම්ම වැලි පරයක් විතරයි. කිසිම ගහක් දූපතේ තිබුනේ නෑ. කොයිමාල ගේ පළවෙනි කාර්‍යය වුනේ මාලේ දූපතේ ගස් හිටවපු එක. පළවෙනියටම පැළ වුන ගහ වුනේ පැපොල් ගහක්.
ක්‍රමයෙන් මාලේ මනුෂ්‍යය වාසයට සුදුසු තැනක් බවට පත් කරපු කොයිමාල ඊළඟට කරේ ලංකාවෙන් තවත් පිරිසක් ගෙන්වා ගැනීම. මේ අකාරයෙන් බලවත් වුන කොයිමාල ව මාලේ අතොළුවේ ජනයා තමාගේ පාලකයා විදිහට පත් කර ගත්තා. දැන් ඔහු මාලදිවයිනේ අතොලු දෙකක පාලකයා.
ඊළඟට ඔහුගේ කාර්‍යය වුනේ චෝල ආක්‍රමනිකයන් ව මාලදිවයිනේ උතුරු දිග දූපත් වලින් පළවා හැරීම. මේ සඳහා ඔහුට සටන් ගණනාවක් කරන්න සිද්ධ වුනා. චෝල ආක්‍රමනිකයන් පළවා හැරියට පස්සෙ කොයිමාල ගේ කීර්තිය මුළු මාලදිවයින පුරාම පැතිරුනා. ක්‍රමයෙන් සියළුම අතොලු වල ජනයා ඔහු තමාගේ පාලකයා විදිහට පිළිගත්තා.
මේක තමයි මාලදිවයින දේශපාලනික වශයෙන් තනි ඒකකයක් වුන අවස්ථාව. වර්තමාන මාලදිවයින දේශපාලනික වශයෙන් බිහි වෙන්නේ මෙතැනින්.
උතුරේ "මලික්" දූපතේ ඉඳලා දකුණේ "අඩ්ඩු" අතොලුව දක්වා සියළුම දූපත් ඔහුගේ පාලනයට යටත් වුන නිසා කොයිමාල ගේ රාජධානිය "මලිකඩ්ඩු දෙමෙදු" (මලික් සහ අඩ්ඩු අතර ඇති සියල්ල) යන විරුද නාමයෙන් හැඳින්වුනා.
කොයිමාල 1117 ඉඳලා 1141 වෙනකං "කොයිමාල ශ්‍රී මහාභරන මහා රදුන්" නමින් මාලදිවයිනේ පාලකයා විදිහට කටයුතු කළා෴
=====================================================================
පසුවදන:
ඉතිහාසඥයන් පිළිගන්නේ මේ කතාව ඇත්ත කතාවක් මත පදනම් වුන පුරාවෘතයක් කියලා.බොහෝ විට කොයිමාල නමින් කතාවේ හැඳින් වෙන චරිතය ලංකාවේ රජ පෙළපතේ කුමාරයෙක් වෙන්න පුළුවන්. දිවෙහි ජනයාගේ සිංහල සහ බෞද්ධ මූලයන් නිසා ඔවුන් ඔහුව තමාගේ රජු විදිහට තෝරා ගන්න ඇති. ඒ කාලේ සිංහල රජ පෙළපතට කාලිංග සබඳකම් තදින් තිබ්බ නිසා සමහර විට ඔහු ලංකාවේ රජතුමා ගේ දූ කුමරියක් විවාහ කරගත්ත කාලිංග කුමාරයෙක් වෙන්නත් පුළුවන්. කතාවේ සමහර ආකාර වල කොයිමාල ඉන්දියාවේ ඉඳන් ආව කියල කියැවෙන්නෙ ඒ නිසා වෙන්න ඇති.
මේ සිද්ධිය ලංකාවේ සොළී බලයට එරෙහිව කෙරුනු සටනේම දිගුවක් වෙන්න පුළුවන්. කොයිමාල චෝල අධිරාජ්‍යයට එරෙහිව කළ සටන් වලට ලංකාවේ සහය ලැබෙන්න ඇති කියල හිතන්න පුළුවන්. මේ කියන කාලයේ ලංකාවේ රජු වුනේ ලංකාවෙන් සොළීන් පළවා හැරිය පළවෙනි විජයබාහු රජතුමා. කොයිමාල පසුව මාලදිවයින එක්සේසත් කරලා ලංකාවේ රජුගේ අනුග්‍රහය ඇතුව මාලදිවයින ස්වාධීන රාජ්‍යයක් වශයෙන් ගොඩනංවන්න ඇති.
මෙතැන් සිට මාලදිවයින දේශපාලනික වශයෙන් ඒකීය වෙනවා කියල කියැවුනාට ඉතිහාසය බලද්දි පේන්නේ ඒක එහෙම්මම වුනේ නැති බව. විශ්‍ෂයෙන් මාලදිවයිනේ දකුණු කෙලවරේ තිබ්බ හුවදු, ෆුවාමුලා සහ අඩ්ඩු අතොලු මාලේ පාලනයට කෙලින්ම යටත් වෙලා නෑ. උදාහරණයකට 1153 දී මාලදිවයින ඉස්ලාමය වැළඳ ගත්තත්, 1600 තරම් මෑතක් වන තුරු හුවදු අතොලුවේ ජනතාව බුදු දහම අදහලා තියෙනවා. මාලේ දූපතෙන් ඈත පිහිටි මේ දකුණු දිග දූපත් යම්කිසි ස්වාධීනත්වයක් භුක්ති විඳපු බව තමයි පේන්නෙ.
අටුවාව
1. අතොළුව
අතොළුව කියන්නේ දූපත් පොකුරක්. විශාල කොරල් පරයක මැද කොටස ඛාදනය වීමෙන් එහි දාරය වටේට නිර්මානය වෙන දූපත් මාලාව තමයි අතොළුවක් විදිහට හඳුන්වන්නේ. දිවෙහි බසින් අතොළුවට කියන්නේ "අතොල්හු". ඒකෙන් තමයි අතොළුවේ ඉංග්‍රීසි නම වෙන "atoll" හැදිල තියෙන්නේ.
මාලදිවයින සමන්විත වෙන්නේ මේ වගේ අතොළු 26 කින්. මේ අතොළු 26 දූපත් 2000 කින් යුක්ත වෙනවා.
2. කොයිමාල කලෝ
කොයිමාල කලෝ කියන වචනයේ දිවෙහි අරුත "මල් කුමාරයා" නැත්තං "මල් කොල්ලා". (කොයිමාල - මල්, කලෝ - කුමාරයා, කොල්ලා). කතාවේ සමහර ආකාර වලට අනුව කොයිමාල කලෝ එන්නෙ ඉන්දියාවෙ ඉඳලා. නමුත් ප්‍රධාන වශයෙන් පිළිගන්න ආකාරය තමයි මෙතන සඳහන් කරන්නේ
3. ගිරාවරු ජනයා
ගිරාවරු ජනයා කියන්නෙ දිවෙහි වරු එන්න කලින් මාලදිවයිනේ හිටපු මුල් පදිංචි කාරයන් ගෙන් පැවත එන ප්‍රජාවක්. කොයිමාල කුමාරයා මාලේ දූපතේ පදිංචි වෙන්නෙ ඔවුන් ගේ අනුග්‍රහය ඇතුව. මේ හේතුව නිසා ඉතිහාසය පුරාවටම ගිරාවරු ජනයා මාලදිවයිනේ පාලකයන් ගෙන් විශේෂ වරප්‍රසාද භුක්ති විඳිනවා.
ගිරාවරු ජනයා දිවෙහි ජනයා සමඟ මිශ්‍ර නොවීමේ දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් තමාගේ සංස්කෘතික අනන්‍යතාවය ආරක්‍ෂා කරගන්න සමත් වෙනවා. නමුත් ඒ සඳහා ඔවුන් ගෙවන වන්දිය වෙන්නෙ ඔවුන් ගේ ජනගහනය ක්‍රමයෙන් අඩු වීම.
1968 වෙද්දි ඔවුන් ගේ වැඩිහිටි පිරිමින් ඉන්නෙ 40 කට අඩු ගානක්. ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව සිකුරාදා යාඥාව වලංගු වෙන්න නම් අවම වශයෙන් 40 දෙනෙක් සහභාගී විය යුතු නිසා ඔවුන්ට තවදුරටත් ස්වාධීන ප්‍රජාවක් විදිහට පැවතීමට නොහැකි වෙනවා. මේ නිසා මාලදිවයින් රජය ඔවුන් ව මාලේ දූපතට සංක්‍රමනය කරවනවා. එහිදී ක්‍රමයෙන් ඔවුන් දිවෙහි ජනයා සමඟ මිශ්‍ර වෙනවා.
අද ගිරාවරු ජනවර්ගය සම්පූර්නයෙන්ම දිවෙහි කරනය වෙලා අවසන්.
4. මාලේ සහ හුලුලේ
මහා + ලේ > මා + ලේ > මාලේ
සුළු + ලේ > හුළු + ලේ > හුලුලේ
කොයිමාල කුමාරයා පදිංචි වුන මාලේ දූපත තමයි වර්තමාන මාලදිවයිනේ අගනුවර. මාලදිවයිනේ ජනගහනයෙන් තුනෙන් එකක් වාසය කරන්නේ මාලේ දූපතේ.
ඒ ළඟ තිබ්බ හුලුලේ දූපතේ තමයි වර්තමාන මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිහිටලා තියෙන්නෙ. ඒක අද හැඳින්වෙන්නෙ "හුලුල්ලේ" නමින්.
+++++++++++
ReplyDeleteA superb post !!
ReplyDelete