Tuesday, September 18, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 64 (මාකන සහ මස්සිනා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මාකන සහ මස්සිනා

එකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක මාකන (අළු කොකා) උගේ බිරිඳත් එක්ක වාසය කලා. එක දවසක් බිරිඳ ගෙ සොහොයුරා මාකනට යෝජනාවක් කළා. ඔවුන් දෙන්න එකතු වෙලා ගොවිතැනක් කරන්න​.

"වැඩේ ටිකක් අමාරුයි. හැබැයි උඹ මට උදව් වුනොත් මම අස්වැන්නෙන් බාගයක් උඹට දෙන්නම්."

මාකන මේ ගැන බිරිඳට කිව්ව​. බිරිඳ වැඩේට වැඩිය කැමති වුනේ නෑ.

"අපේ අයිය අමාරු කාරයා. පරිස්සමෙන්."

පහුවදා මාකන මස්සිනාත් එක්ක හේනට ගිහිල්ල වල් ගලවල බිම් සකස් කළා. හේන හොඳටම වල් බිහිවෙලා තිබුන නිසා ඔවුන් වැඩ කලේ හරිම අමාරුවෙන්. වැඩේ ඉවර කරන්න ඔවුන්ට දවස් තුනක්ම ගත වුනා. සමහර වෙලාවට මස්සිනා තමන්ට අමාරු වැඩ දෙනවද කියල මාකනට පොඩි සැකයකුත් ආව​. කොහොම කොහොම හරි දෙන්නා හේන සුද්ධ කලා.

බිම් පෙරලන්න තව දවස් තුනක් ගත වුනා. බිම් පෙරලද්දිත් මාකනට ලැබුනෙ පොළව හයිය හරිය​. මස්සිනා පෙරළුවෙ බුරුල් පස​.

තුන්වෙනි දවසෙ හවස මස්සිනා මාකනට කතා කලා.

"මම හෙට පැල හිටවනවා. කලින් පොරොන්දු වෙච්ච විදිහටම අස්වැන්නෙන් බාගයක් උඹට දෙන්නම්. මට පොළවෙන් යට බාගෙ. උඹට පොළවෙන් උඩ බාගෙ. එහෙම හොඳයි නේද​?"

මාකන කැමති වුනා.

මාස කීපයක් ගත වුනා. මස්සිනා අස්වැන්න නෙළල මාකනගෙ කොටස මාකන ගෙ ගෙදරටම ගෙනත් දුන්න​.

ඒත් මස්සිනා වවල තිබුනෙ බතල​. බතල අල ටික ඔක්කොම මස්සිනා අරගෙන මාකනට දීල තිබුනෙ කොල ටික​.

එදා රෑ මාකන කන පිරෙන්නම බිරිඳගෙන් බැණුම් ඇහුව​.

"මම කිව්ව නේද අයිය අමාරුකාරය කියල​. ඇහුවද​? ඇහුවද​?"

ඊළඟ සති කීපයේම මාකනට කන්න ලැබුනෙ තම්බපු බතල කොල​.

ඊළඟ වැහි කාලය එද්දි මස්සිනා ආයෙත් මකනව හම්බෙන්න ආව​. කලින් යෝජනාවම කලා. ඒත් මාකන මේ පාර අහුවුනේ නෑ.

"මම කැමතියි. හැබැයි මට මේ පාර පොළවෙන් යට කොටස ඕනෙ."

මාකනයි මස්සිනයි බොහොම මහන්සි වෙලා ආපහු හේන සකස් කලා. මාකන මේ සැරේ කලින් සැරේටත් වඩා මහන්සි වෙලා වැඩ කරේ මේ පාර අස්වැන්නෙ හොඳ කොටස ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.

ඒත් මේ සැරේ මස්සිනා හිටෙව්වෙ කෙසෙල්. අස්වැන්න නෙලන දවසෙ මස්සිනා කෙසෙල් කැන් දුසිමක් ගෙදර අරගෙන ගියා. මාකනට ලැබුනෙ කෙසෙල් මුල් කූඩ තුනක්.

බිරිඳව සන්සුන් කරන්න මාකනට සෑහෙන වෙලාවක් ගියා෴


- කතාව කිව්වේ නෙදුන්ගේ අලි නජීබු (මාලේ දූපත​)



අටුවාව​:

1. මාකන
අළු කොකා හෙවත් "Grey Heron". ලංකාවේත් ඉන්න අළු පාට ලොකු කොකෙක්. අඩි තුනක් විතර උසයි. කලපු ආශ්‍රිතව දකින්න පුළුවන්. තනිව දිවි ගෙවන අළු කොකා දිවෙහි රාජ්ජේ ජනකතා වල නිතර හමුවෙන චරිතයක්.



No comments:

Post a Comment