Wednesday, September 19, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 65 (විශිෂ්ඨ නියමුවා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

විශිෂ්ඨ නියමුවා

එක දවසක් හුවදූ අතොළුවේ දූපතක වාසය කළ "හසනු" කියල මනුස්සයෙක්ව ඒ දූපතේ මිනිස්සු දම්වැල් වලින් බැඳල අතොළු ප්‍රධානියා හිටපු හවාරු තිනදු දූපතට අරගෙන ආවා. ඔහුට විරුද්ධව තිබුන චෝදනාව හොරකම​. අතොළු ප්‍රධානියා ඔහුගේ කාර්‍යාලයේ කාමරයකට දාල දොර වහල තිබ්බෙ ඔහුට විරුද්ධව නඩුව අහන්න සූදානම් වෙනතුරු. හසනු ගෙ ඉරණම බොහෝ විට අතොළුවෙන් පිටුවහල් කිරීම. ඔහු කාමරයට වෙලා නිහඬවම තමන්ට වෙන්න යන දේ ගැන කල්පනා කරමින් හිටියා.

දින කීපයකට පස්සෙ හවස් වරුවක විශාල රුවල් නැවක් හවාරු තිනදු දූපතේ නැංගුරම් ලෑවා. ඒ නැවේ ආපු වෙළඳ කණ්ඩායමේ නාවිකයන් කීප දෙනෙක් හනි හනිකට ගොඩබිමට ආවා. ඒත් ඔවුන් ආවෙ වෙළඳාමට නෙවෙයි. ඔවුන් හිටියෙ කරදරයකට පත් වෙලා. ඒ නිසා ඔවුන් කෙලින්ම ගියේ අතොළු ප්‍රධානියාගේ කාර්‍යාලයට​.

ඒත් ඒ වෙලාවෙ අතොළු ප්‍රධානියා රෑ කෑමට ගෙදර ගිහිල්ල​. කාර්‍යාලයේ කවුරුවත් හිටියෙ නෑ. පොල් තෙල් පහනක් විතරක් දැල්වෙමින් තිබුනා. වෙළෙන්දෝ අතොළු ප්‍රධානියාට කතා කලා. ඒත් ඔවුන්ට කිසිම පිළිතුරක් ලැබුනෙ නෑ.

ඒත් ඇතුළු කාමරයක හිර කරල හිටපු හසනු ඔවුන්ට කතා කළා. ඔහු කිව්වා ඔහුව වැරදීමකින් කාමරයේ අගුළු වැටුනු බව​. වෙළෙන්දෝ මේසයක් උඩ තිබුනු යතුරු කැරැල්ලකින් හසනු හිටිය කාමරේ දොර ඇරල ඔහුව එළියට ගත්තා.

වෙළෙන් දෝ හසනුට ඔවුන් වැටිල හිටපු කරදරය විස්තර කරා. ඔවුන් අඩ්ඩු අතොළුවේ ඉඳල ආ අය​. ඔවුන් යමින් හිටියේ බංගලාදේශයට​. මුහුද රළු වුන රැයක ඔවුන් ගේ නැවේ බොදු මාලිමි (නියමුවා) මුහුදට වැටිලා. ඔවුන් හවාරු තිනදු දූපතට ඇවිත් තියෙන්නෙ නියමුවෙක් හොයා ගන්න​.

"මේ රළු මුහුදේ නියමුවෙක් නැතුව අඩ්ඩු අතොළුවට යාත්‍රා කරොත් අපේ නැව කොරල් පරයක හැපිලා විනාශ වේවි. මුහුද සන්සුන් වෙනතුරු බලාගෙන හිටියොත් අපේ වෙළඳ බඩු නරක් වේවි."

හසනු මේක දැක්කේ පැනල යන්න අවස්ථාවක් විදිහට​. ඔහු බොහොම වැදගත් පෙනුමක් ආරූඪ කරගෙන මෙහෙම කිව්වා.

"තමුසෙල බොහොම වාසනාවන්තයි. මොකද​, මම තමයි හුවදු අතොළුවේම ඉන්න හොඳම නියමුවා. තමුසෙලට මගේ සේවය ඕනෙ නං මාව අදම නැවට එක්කරගෙන යනවා. මොකද හෙට වෙනතුරු හිටියොත් මට වෙන වැඩක් යෙදෙන්න පුළුවන්. ගොඩක් මිනිස්සු මාව හොයාගෙන එනවා."

වෙළෙන්දෝ එක පයින් කැමති වුනා. ඔවුන් හසනු ව ඔවුන් ගේ ඩිංගියේ නංවාගෙන නැවට අරගෙන ගියා.


ඒ විදිහට හසනු පැනල යන්න සමත් වුනා. හැබැයි පොඩි පරහකට තිබුනෙ ඔහු නැව් යාත්‍රා කිරීම ගැන කිසිම දෙයක් නොදැන සිටීම​.

නැවට ආවම තමයි ඔහුට තේරුනෙ තමන් කරගත්තෙ මෝඩ වැඩක් කියලා. ඔවුන් ගේ නැව බොහොම විශාල එකක්. ඒකෙ කුඹ ගස්, රුවල් විශාල ප්‍රමානයක් තිබුනා. ඒව දැකපුවම හසනු බියෙන් ගල් ගැහුනා. ඔහු එතැනම ඉඳගෙන වෙව්ලන්න පටන් ගත්තා.

නැවේ කුඩ මාලිමි (දෙවැනි නියමුවා) හසනු ළඟට ආවා. හසනු ඔහුට කිව්වා ඔහු අසනීපයෙන් බව​. කුඩ මාලිමිට හසනු ගෙ මූණ දකිද්දිම තේරුනා ඔහු ඉන්නෙ හොඳින් නෙවෙයි කියල.

"අපි දැන් මොකද කරන්න ඕනෙ?"

"මට ටික වෙලාවක් දෙන්න​. මම සනීප වුනාම ඔබට කරන්න ඕනෙ දේ කියන්නම්. එතකං නැවේ නැංගුරම් අයින් කරල යාත්‍රා කරන්න පටන් ගන්න ඔබ දන්නව ඇති නෙ?"

කුඩ මාලිමි ගෙ පපුව ආඩම්බරයෙන් පිම්බුනා.

"අපොයි ඔව්"

ඔහු නැව යාත්‍රා කරන්න පටන් ගන්න අවශ්‍ය උපදෙස් නැවියන්ට දුන්නා.

නැව යාත්‍රා කරද්දි හසනු නැවේ සුවපහසුවට කල් ගත කලා. ඔහුට ලැබුනෙ නැවේ හොඳම කාමරය​. ඉස්තරම් කෑම බීම​. හැමෝම ඔහුට ගෞරවයෙන් කතා කලා. සැලකුවා. සැරින් සැරේ කුඩ මාලිමි ඔහු හොයාගෙන ඇවිත් උපදෙස් විමසුවා. ඒ හැම වෙලේම ඔහු බොහොම කපටි විදිහට ලිස්සලා ගියා.

"කුඩ මාලිමි,  දැන් මොනව කරොත් හොඳයි කියලද තමුසෙ හිතන්නෙ."

කුඩ මාලිමි දෙන උත්තරය ඔහු හැම වෙලේම ප්‍රසංශා කලා.

"හරියට හරි. ඒක තමයි කරන්න ඕනෙ. තමුසෙ හරි දක්‍ෂයෙක් නෙ."

කුඩ මාලිමි ගෙ පපුව ආඩම්බරයෙන් පිම්බුනා. හුවදු අතොළුවේම දක්‍ෂම මාලිමි ගෙන් ඒ වගේ ප්‍රසංශාවක් ලබන එක ලේසි වැඩක් නෙවෙයි.

ඔවුන් කල්කටාව වෙත ළඟා වෙමින් හිටියා. හසනු නැව් තට්ටුව මත ඇවිදිනකොට ඔහු දැක්කා නැංගුරමේ උඩ තියෙන ලොකු මුද්ද​. ඔහු ළඟ හිටපු නාවිකයක් ගෙන් ඒ මොකද්ද කියල ඇහුවා.

නාවිකයා කොද මාලිමි හොයාගෙන ගිහින් ඔහුට කිව්වා හසනු ඉතාම මෝඩ ප්‍රශ්නයක් අහපු බව​. ඒත් කුඩ මාලිමි කල්පනා කළේ වෙනස් විදිහකට​.

"බොදු මාලිමි නැංගුරම ගැන ඇහුව නම්, ඒකෙ මොකක් හරි සැඟවුනු අරුතක් තියෙන්න ඕනෙ."

ඔහු අන්තිමේදී තීරණය කලේ හසනු අදහස් කලේ නැංගුරම් ලන්න ඕනෙ බව කියලා. ඔහු නැවියන්ට වහාම වෙරළත කිට්ටු කරල සුදුසු තැනක නැංගුරම් ලන්න අණ කලා.

ඔවුන් වෙරළ කිට්ටුව තිබුන විශාල වැලි පරයක සුළං මුවාවේ නැංගුරම් ලෑවා.

එදා රෑ විශාල කුණාටුවක් හැමුවා. ඔවුන් සුළං මුවාවේ නැංගුරම් ලෑව නිසා කුණාටුවෙන් හානියක් වුනේ නෑ. ඒත් ඔවුන් අවට තිබුනු හැම දෙයක්ම කුණාටුවෙන් සුනු විසුනු වෙලා ගියා. ඔවුන් රෑ කෑම ගනිද්දි කුඩ මාලිමි  අනික් නැවියන්ට කතා කරල මෙහෙම කිව්වා.

"බොදු මාලිමි නොහිටින්න අපි අද ඉන්නෙ මුහුදෙ. එහෙනං නැවේ බඩු විතරක් නෙවෙයි අපේ ජීවිත පවා නැති වෙන්න තිබුන​."

හසනු මේ කිසි දෙයක් ගැන හාංකවිසියක් දැන ගෙන හිටියෙ නෑ. ඔහු තමාගෙ කාමරයට වෙලා හොඳටම නිදා ගත්තා. පහුවදා ඔහු නැව් තට්ටුවට ආවම හැමෝම ඔහුට සැලකුවේ ඉතාම ගෞරවයෙන්. "මම මොකද්ද කළේ?" ඔහු පුදුමයෙන් කල්පනා කළා.

දින කීපයකින් කුණාටුව ඉවර වුනාම ඔවුන් නැංගුරම් උස්සල, නැවතත් ගමන පටන් ගත්තා. ඔවුන් කල්කටාවට ආවම දැනගන්න ලැබුනේ සියළුම වෙළඳ නැව් කුණාටුවෙන් අනතුරට පත් වෙලා තිබුන බව​. ඒ නිසා ඔවුන් ගේ බඩු විශාල ලාබයක් තියාගෙන විකුණගන්න ඔවුන්ට පුළුවන් වුනා. ඔවුන් බංගලිදේශයෙන් ආපහු පිටත් වුනේ ඉතාම ඉස්තරම් වෙළඳ බඩු වලින් නැවත්, මුදල් වලින් සාක්කුත් පුරවගෙන​.

ඔවුන් ආපහු මාලදිවයිනට ළං වෙද්දි හසනු නැවියන්ට කිව්වා බොහොම කාලයක් මුහුදේ හිටපු නිසා ඔහුට ගොඩක් මහන්සි බවත්, ඔහුට ගෙදර යන්න අවශ්‍යය බවත්. ඔවුන් හවාරු තිනදු දූපතට ආවෙ හසනු ව ඇරලවන්න​. හසනු වෙන් වෙලා යන මොහොතෙ කුඩ මාලිමි ශෝකයෙන් කඳුළු සැලුවා. හැමෝම සිදු වුන ලාබය ගැන හසනුට ස්තූති කලා. ලාබයෙන් ඔහුගේ පංගුව විදිහට ඔවුන් හසනුට කොයිතරම් බඩු දුන්නද කිව්වොත් ඒවා ගොඩබිමට ගේන්න ඩිංගියට තුන්පාරක් එහෙ මෙහෙ යන්න සිද්ධ වුනා.

හසනු ඔහුගේ බඩුත් එක්ක ගොඩබිමට ආව​. ඔහු දැන් පොහොසත් මිනිහෙක්.

අතොළු ප්‍රධානියා හසනු ව දැකල ඔහු ළඟට දුවගෙන ආවා.

"හසනු, තමුසෙ කොහෙද ගියේ? මම තමුසෙව හැම තැනම හෙව්වා. තමුසෙ ඉන්න ඕනෙ අර කාමරේ ඇතුලෙ."

හසනු ඔහුට කිවා ඔහු නැවක් මෙහෙයවාගෙන බංගලිදේශයට ගිය හැටිත්, ඔහුගේ දක්‍ෂකම නිසා නැවියන් ගේ ජීවිත බේරුනු හැටිත්, ඔවුන්ට විශාල ලාබයක් අත් වුන හැටිත්.

අතොළු ප්‍රධානියා හසනු දිහා බැලුවෙ ගෞරවයෙන්. ඔහු ටිකක් වෙලා කල්පනා කරල මෙහෙම කිව්වා.

"මේක දෙවියන් ගෙන් ලැබුනු සංඥාවක්. තමුසෙට දේව කරුණාව ලැබිල තියෙනවා. හසනු, තමුසෙ ඉස්සර මෙලෝ වැඩක් නැති මිනිහෙක්. ඒත් දැන් තමුසෙ යහපත් ජීවිතයක් ගත කරනවා. ඒ නිසා මම තමුසෙව නිදහස් කරනවා."

හසනු තමාගේ ස්තූතිය පල කරන්න තමාගෙ බඩු වලින් කොටසක් අතොළු ප්‍රධානියාට දුන්නා.

එදා ඉඳල හසනු බොහොම වැදගත් ජීවිතයක් ගත කලා. ඔහු කාටවත් කරදරයක් කලේ නෑ. වෙළඳාමක් කරගෙන ජීවත් වුනා. හැමෝම ඔහුට ගෞරවයෙන් සැලකුවා෴


- කතාව කිව්වේ වඩිගේ කුඩ බේබේ (ෆුවා මුලාකු දූපත​)

අටුවාව​

1. නියමුවා
නැවක නියමුවා හෙවත් "navigator" ගේ කාර්‍යය වෙන්නේ නැවට මග පෙන්වීම​. මේ සඳහා ඔහු ඉර සහ තාරකා යොදා ගන්නවා. නියමුවා ගණිත ශාස්ත්‍රයේ ඉතා දක්‍ෂයෙක් වෙන්න ඕනේ. නැවක සියළු දෙනාගේම ජීවිතය රඳා පවතින්නේ නියමුවා අතේ නිසා ඔහු ඉතාම වැදගත් පුද්ගලයෙක් විදිහටයි සැලකුනේ. දිවෙහි බසින් නියමුවා හඳුන්වන්නේ "මාලිමි" කියලා. ඒ ඔහු පාවිච්චි කරන මාලිමාව ඇසුරෙන්. විශාල නැව් වල මාලිමි ල දෙන්නෙක් හිටියා. ප්‍රධාන නියමුවා "බොදු මාලිමි" (බොදු = ලොකු) විදිහටත් සහයක නියමුවා "කුඩ මාලිමි" (කුඩ = කුඩා) විදිහටත් හැඳින්වුනා. 



2. ඩිංගිය​

විශාල නැවක් වෙරළ අසල නැංගුරම් ලෑවම නැවේ ඉඳල ගොඩබිමට යන්න පාවිච්චි කරන කුඩා හබල් බෝට්ටුවක්.




2 comments:

  1. මම දුකෙන් තනිකමේ ඉන්දැද්දී (මගේ තාත්ත අවු 3 ක් වෙනවා මිය ගිහින් මගේ දේවතාවියක් වගේ අහිංසක අම්ම මාව හිතුවෙවත් නැති විදිහට එක පාරටම හාර්ට් අත්ටක් එකකින් මිය ගියේ මේ අව්රුද්දෙ ජනවාරි 16) දැන් මන් තනියම ගෙදර ඉන්දැද්දී දුකෙන් කිසි දෙයක් හරියට බලන්න කියලා බ්ලොග් සින්ඩ් kottu එකේ බලද්දී තෙරුමක් නැති හුගක් බ්ලොග් අතරේ දවසේ සම්පුර්ණයෙන් වගේ mula ඉඳල අගට wenakan හිතට අලුත් දෙයක් කියලා දැනිච්ච හැම ලිපියක්ම kiyewwa. මන් කාලයක් තිස්සේ බ්ලොග් බලපු කෙනෙක් නමුත් වෙන අයගේ බ්ලොග් රෝල් වල වත් ඔයාගේ watina බ්ලොග් එක dakke නැහැ බොහොම ස්තුතී මේ ලිපි වලට හුගක් වටිනවා මේ වෙලාවේ ඔයාගේ බ්ලොග් එක දැක්ක එක ගැන. කව්රු comment කලේ නැතත් මන් වගේ තවත් හිතේ දුකක් නැත්නම් ප්‍රශ්නයක් thiyena කෙනෙක්ට මේ බ්ලොග් එක ගොඩක් වටිනවා දිගටම ලියන්න. සුබ දවසක්

    ReplyDelete