පොත් දෙකකින් ඉගෙනගත් මිනිසා
එකෝමත් එක කාලෙක තරුණයෙක් පිටරට අධ්‍යාපනය හදාරලා නිම කරලා අඩ්ඩු අතොළුවේ තමාගෙ ගෙදර බලා ආපහු ආවා. ඔහුගේ නම "රැකිෆුතු". ඔහු බොහොම කඩවසම්. හොඳ පවුලකින් පැවත එන කෙනෙක්. දැන් ඔහුට කුරානය, අරාබි භාෂාව සහ විවිධ විද්‍යා ශාස්ත්‍ර වල හොඳ දැණුමකුත් තියෙනවා. ඔහුගේ දෙමාපියන් ඔහු ගැන ඉතාම ආඩම්බර වුනා. ඒ වගේම ඔහුගේ නංගිලා හතර දෙනාටත් ඔහු ආපහු ආව එක ගැන බොහොම සතුටුයි. ඔවුන් නිතරම අයියා ගැන වර්ණනා කළා. තරුණයාත් හිටියෙ තමාගේ තත්වය ගැන නොසැඟවූ ආඩම්බරයෙන්.
ආපහු ගෙදර ඇවිත් ටික දවසකින් රැකිෆුතු සිකුරාදා යාඥාව සඳහා දූපතේ ප්‍රධාන පල්ලියට ගියා. එදා යාඥාව මෙහෙයවූයේ දූපත් ප්‍රධානියා. යාඥාව ඉවර වෙලා ඔහු යාඥාවට ආපු පිරිස අමතලා "කුතුබා" දේශනාවක් පැවැත්වුවා. දූපත් ප්‍රධානියා බොහොම කපටි මිනිහෙක්. ඔහු දේශනාවෙදි කිව්වා දූපත් වාසීන්ට දූපත් ප්‍රධානියාට හොඳට සලකන්න වගකීමක් තියෙන බවත්, ඔවුන් ඔහුට හොඳින් සලකන්න ඕනෙ බවත්, නිතර මිල මුදලින් සහ තෑගි බෝග වලින් සංග්‍රහ කල යුතු බවත්. ඔහු කිව්වා දෙවියන් වහන්සේ දූපත් ප්‍රධානියා දුප්පත්ව ඉන්නවා දකින්න අකැමැති බවත්, දූපත් වාසීන් තමාගේ ප්‍රධානියාට සලකනවා දකින්න ඉතාම කැමති බවත්. ඔහු තමාවම වර්ණනා කරගනිමින් බොහෝ වෙලාවක් තිස්සේ කතා කළා.
මේක අහගෙන හිටපු රැකිෆුතු සංවේගයට පත් වුනා. මේ මනුස්සය අමු අමුවේ ආගම තමාගෙ වාසියට යොදා ගන්නවා. රැකිෆුතු නැගිටලා කෙලින්ම දූපත් ප්‍රධානියාගෙන් මෙහෙම ඇහුවා.
"මේ මොන දේශනාවක් ද? ඔහේ කපටිකමෙන් දෙවියන් ගෙ නම පාවිච්චි කරල මේ දුප්පත් අහිංසක මිනිස්සුන් ගෙ සල්ලි වලින් පෝසත් වෙන්න යන්නෙ. මේක වැරදියි! දෙවියන් වහන්සේ ඔහේ ගෙ හැසිරීම කොහෙත්ම අනුමත කරන්නෙ නෑ."
රැකිෆුතු මේක ඇහුවෙ අරාබි භාෂාවෙන්. දූපත් ප්‍රධානියට ටිකක් අරාබි පුළුවන්. ඒත් අනිත් මිනිස්සුන්ට රැකිෆුතු කියපු දේ වචනයක් වත් තේරුනේ නෑ.
දූපත් ප්‍රධානියා කැඩිච්ච අරාබියෙන් උත්තර දුන්නා.
"මේ බලපන් පුතා, තරහ ගන්න එපා. මේ මිනිස්සු නිකං සත්තු වගේ. මෝඩයි. නූගත්. මට මුංගෙන් සල්ලි කඩාගන්න පුළුවන් නං මම ඒක කරනවා. මම මේ දූපතේ ප්‍රධානියා. මම පෝසත් වෙන්න ඕනෙ. ඒක මගේ උරුමයක්! මේ මිනිස්සුන්ව පාලනය කරනව කියන්නෙ ලේසි වැඩක් නෙවෙයි. ඕනෙ නං තමුසෙටයි මටයි දෙන්නටම වාසියක් වෙන විදිහට මේක කරමු. තමුසෙ මොළේ තියෙන හාදයෙක් වගේ පේනව. ඒ නිසා කට වහගෙන හිටියොත් තමුසෙටත් පංගුවක් දෙන්නං."
දූපත් ප්‍රධානියා රැකිෆුතු දිහා බලල ඇහැක් ගැහුවා.
රැකිෆුතු කට වහගෙන ඉඳගත්තා. යාඥා කටයුතු දිගටම සිද්ධ වුනා. යාඥාව ඉවර වෙලා මිනිස්සු ගෙදර යද්දි ඔහු පල්ලියේ වැට ළඟ හිටගෙන මිනිස්සුන්ව තමා වටේ රැස් කලා. ඔහු මිනිස්සුන්ට කියල දුන්නා දූපත් ප්‍රධානියා කපටිකමෙන් ඔවුන් ගේ මුදල් ගසා කන්න උත්සහ කරන බව.
"පාලකයෝ මිනිස්සුන් ගෙ සල්ලි වලින් පෝසත් වෙන්න ඕනෙ කියල දෙවියන් වහන්සේ කවදාවත් කියල නෑ!"
එතකොටම දූපත් ප්‍රධානියා සෙනඟ අතරින් ඉදිරියට ආවා. ඔහු මහා හඬින් රැකිෆුතු ගේ කතාවට බාධා කලා.
"කවුද මේ උද්දච්ච කොල්ලා. ඇයි මේ මිනිහා තමුසෙලට කතා කරන්නෙ? ඇයි මේ මිනිහා මට මෙහෙම අපහාස කරන්නෙ? මම මේ කොල්ලව පොඩි කාලෙ ඉඳලම දන්නව. මේ ඇටෙන් පොත්තෙන් එළියට ආපු නැති කොල්ලො මොනවද ජීවිතේ ගැන දන්නෙ? මේ මිනිහ පිටරටකට ගිය නිසා හිතාගෙන ඉන්නෙ හැම දේම පිටරටවල කරන විදිහට කරන්න පුළුවන් කියල. දැන් මේ මිනිහ ආපහු ඇවිත් අහංකාර කමින් ඔළුව උදුම්මගෙන තමුසෙලව මට විරුද්ධව උසි ගන්නනවා. මේ නොහික්මුණු කොල්ලට අපේ දූපත ගැන කිසි අමාරුවක් නෑ. මිනිහට ඕනෙ මාව පන්නල දූපත් ප්‍රධානිය වෙන්න. මම තමුසෙලට හොඳට සලකල නැද්ද? තමුසෙල මේ මිනිහට ඇහුම්කන් දුන්නොත් තමුසෙලට වෙන්නෙ අයහපතක්. මම ගැන හිතනවා. තමුසෙල මාව හොඳට දන්නව."
මිනිස්සු කුපිත වෙලා රැකිෆුතුට හොඳටම ගැහුව. අන්තිමේදී ඔවුන් ඔහුව පල්ලියේ වැට ළඟ බිම දාල යන්න ගියා. රැකිෆුතු ලේ ගලමින් වැට ළඟ සිහිය නැතුව වැටිල හිටියා.
මේ කතාව ආරංචි වුන හැටියේ රැකිෆුතු ගෙ නංගිලා අඬාගෙන පල්ලියට දුවගෙන ආවා. ඔවුන් අවට හිටපු මිනිස්සුන් ගෙන් උදව් ඉල්ලුවත් කවුරුවත් උදව් කරන්න ඉදිරිපත් වුනේ නෑ. කෙල්ලො හතරදෙනා බොහොම අමාරුවෙන් රැකිෆුතුව උස්සගෙන ගෙදර ගෙනාවා. ඔවුන් සති ගානක් තිස්සෙ ඔහුට සාතු කරල බොහොම අමාරුවෙන් ඔහුගෙ පණ බේර ගත්තා.
ඒත් සුවපත් වුනාට පස්සෙ රැකිෆුතු ගෙ වෙනසක් තිබුනා. ඔහු නිතරම හිටියෙ උදාසීන ගතියෙන්. ඔහු හැම වෙලේම ලොකු කල්පනාවක හිටියා. වෙනද වගේ විහිළු කරේ, හිනා වුනේ නෑ. වැඩිය කතා බහ කලේ නෑ. ඇස් වල තිබුනේ හිස් බවක්. රැකිෆුතු ගෙ දෙමාපියන් සහ නංගිලා ඔහු ගැන බය වුනා. ඔවුන් හිතුවෙ ඔහුට පිස්සු හැදීගෙන එනව කියල.
ඒත් රැකිෆුතු ට පිස්සු හැදුනෙ නෑ. ඔහු බොහොම කල්පනාවෙන් යමක් සැලසුම් කලා.
හොඳටම සනීප වුනාට පස්සෙ රැකිෆුතු කාටවත් නොකියා මාලේ දූපතට ගියා. මාලෙදි ඔහු ආශ්‍රය කලේ නගරයේ මුඩුක්කු වල හිටපු දාමරිකයො සහ හොරු. සල්ලාල ගෑණු. ඔහු කවුද කියල දාමරිකයො දැනගෙන හිටියෙ නෑ. ඔහුගේ උගත් අතීතය හංගන්න ඔහු නිතරම පරිස්සම් වුනා.
මේ විදිහට අවුරුදු දෙකක් ගත වුනා.
එක දවසක් හදිසියේම රැකිෆුතු ඔහුගේ දූපතට ආව. ඔහුගේ පවුලේ අය ඔහුට කරදරයක් නැති වීම ගැන ඉතාම සතුටට පත් වුනා. ඔහු කොහෙද හිටියෙ කියල රැකිෆුතු කාටවත් කිව්වෙ නෑ. ඒ ගැන ඇහුවම ඔහු බොහොම දක්‍ෂ විදිහට ඒ ප්‍රශ්න වලින් ලිස්සල ගියා. හැමෝම හිතුවෙ ට රැකිෆුතු ආයෙත් පිටරටකට ගිහින් ඉගෙන ගන්න ඇති කියල.
එක දවසක් සිකුරාදා රැකිෆුතු ඉතාම ලස්සන සුදු පාට ඇඳුමකින් සැරසිලා පල්ලියට ගියා. එදත් දූපත් ප්‍රධානියා ඔහුගේ සුපුරුදු දේශනාව පවත්වනවා. ඔහු මොකවත් කිව්වෙ නෑ. මුල්ලක වාඩි වෙලා මද සිනා පාමින් හිටියා. දූපත් ප්‍රධානියා ඔහු දිහා බැලුවෙ පද සැකයකින්. ඒත් ටිකක් වෙලා ගතවෙද්දි ඔහුගේ සැකය නැති වෙලා ගියා. රැකිෆුතු ඔහුට බාධා කරේ නෑ. හිනාවෙමින් හිටිය විතරයි. ඔහු හිතුව රැකිෆුතුට දැන් මොළේ පෑදිල ඇති කියල. "හොඳයි, මම මිනිහට පාඩමක් ඉගැන්නුව. වැදගත් මිනිහෙක්ට ගරු කරන හැටි දැන් මිනිහ දන්නව වගේ."
දේශනාව ඉවර වුනාට පස්සෙ රැකිෆුතු නැගිටලා ඉතාම විනීත විදිහට පොඩ්ඩක් කතා කරන්න අවසර ඉල්ලුවා. දූපත් ප්‍රධානියා කලබල වුනා. "මේ යකා ඒ පාර මොකද්ද කරන්න යන්නෙ"
"මොනව ගැනද ඔහේ කතා කරන්න යන්නෙ?"
"කලබල වෙන්න එපා. මම මේ දූපතේ මිනිස්සුන්ට ඔබතුමා වගේ දක්‍ෂ ප්‍රධානියෙක් ලබන්න ඔවුන් කොයිතරම් වාසනාවන්තද කියල කියල දෙන්න යන්නෙ."
දූපත් ප්‍රධානියා ප්‍රසංශාවට බොහොම ගිජුයි. ඔහු එකපාරටම රැකිෆුතුට අවසර දුන්නා.
රැකිෆුතු කතාව පටන් ගත්තෙ දූපත් ප්‍රධානියව මුරුංග අත්තෙ තියලා. ඔහු දූපත් ප්‍රධානියාව ඉහළින්ම වර්ණනා කලා. දූපත් ප්‍රධානියත් ආඩම්බරෙන් ඔළුව වනමින්, මද සිනාපාමින් අහගෙන හිටියා. රැකිෆුතු කතාව ඉවර කළේ දූපත් ප්‍රධානියා ශුද්ධ වූ උතුම් ඉමාම් වරයෙක් (ඉස්ලාමීය ආගමික විද්වතෙක්) කියල.
"මෙතුමා වගේ උතුම් ඉමාම් වරයෙක් අපි අතරට එවීම ගැන අපි දෙවියන් වහන්සේට ස්තූති වන්ත වෙන්න ඕනෙ. මෙතුමා කොයිතරම් උතුම් ද කියනව නම්, මෙතුමාගෙ ඇඟේ දුවන ලේ බින්දුවක්, ඇඳුමක රෙදි කෑල්ලක්, ඇටකටු කෑල්ලක් විතරක් නෙවෙයි කෙස් ගහක් හරි ළඟ තියාගන්න කෙනෙක් ඉන්නව නම්, ඔහුට ස්වර්ගයේ දොරටුව නිසැකයෙන්ම විවෘත වෙනවා."
මිනිස්සු දිලිසෙන ඇස් වලින් දූපත් ප්‍රධානියා දිහා බැලුවා. ස්වර්ගයේ දොරටුව ඔවුන්ට විවර වෙලා.
රැකිෆුතු හෙමින් සැරේම පල්ලියේ දොරෙන් පිට වෙලා ගෙදර ගියා.
දූපත් ප්‍රධානියට පල්ලියේ වැට ගාවටවත් යන්න ලැබුනේ නෑ. මිනිස්සු වියරුවෙන් වගේ ඔහුගේ ඇඳුම් ඉරා දැම්මා. කෙස් ඉගිල්ලුවා. ඇඟේ මස් ඉරල දැම්මා. ඔහුගේ ඇඟෙන් කෑල්ලක් ලබා ගන්න පිස්සුවෙන් වගේ පොරකෑවා. සමහරු ළඟ තිබුන ගෙවල් වලට පැනල පිහි අරගෙන ආව. ඔහුගේ ඇඟේ කෑල්ලක් ලබා ගන්න බැරි වුන අය බිම වැටිල තිබුනු ලෙයින් තෙමුනු වැලි අරගෙන ගියා.
ටික වෙලාවකින් දූපත් ප්‍රධානියා හිටපු බවට කිසිම සලකුණක් වත් ඉතුරු වුනේ නෑ෴
- කතාව කිව්වේ අහමඩ් නසීම් (ෆුවා මුලාකු දූපත)
අටුවාව
1. රැකිෆුතු
දිවෙහි රාජ්ජේ දකුණුදිග අතොළු වල "රැකිෆුතු" කියල නම් තියන්නෙ යුවලකට ලැබෙන දරුවන් ගොඩ දෙනෙක් කුඩා කාලෙම මිය ගිහිල්ලා නොමැරී ඉතුරු වෙන පළවෙනි පිරිමි දරුවට. "රැකුණු පුතා" කියන අර්ථයෙන් තමයි ඒ නම තියන්නෙ.
3. කුතුබා
කුතුබා කියන්නෙ ඉස්ලාමය පිළිබඳ උගතෙක් හෝ ප්‍රභූවරයෙක් පිරිසක් අමතලා කරන ප්‍රසිද්ධ දේශනාවක්. සාමාන්‍යයෙන් මේක කරන්නෙ සිකුරාදා යාඥාවෙන් පස්සෙ.
No comments:
Post a Comment