Thursday, September 20, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 66 (මුරණ්ඩු කොකා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


මුරණ්ඩු කොකා


එකෝමත් එක කාලෙක​, එකෝමත් එක දූපතක මාකන (අළු කොකෙක්) වාසය කළා. ඌ දවසක් කොරල් පරය උඩින් පියාසර කරගෙන ගියා. එදා හොඳ පැහැදිලි දවසක්. හොඳට ඉර එළිය වැටිල තිබුනා. මුහුද බොහොම නිසලයි. ඒ නිසා මුහුද ඇතුල හොඳට පෙනුනා. කොරල් පරය ඉවර වෙලා ගැඹුරු මුහුද පටන් ගන්න මායිමේ වතුර ලානිල් පාටෙ ඉඳල තද නිල් පාට දක්වා එක පාරටම වෙනස් වෙනවා. මාකන මේ මායිමේදි "කන්දුගුරුවා" මාළුවෙක් ගෙ පිට දැක්කා.


කන්දුගුරුවා හොඳට වැඩුන හොඳ පෙනුම තිබ්බ මාළුවෙක්. ඒක දැකපු මාකනට මෙහම හිතුනා.

"එක වේලකට හරියටම හරියන ප්‍රමානයේ මාළුවෙක්. පොඩි මාළු ගොඩක් අල්ලන එක එපා වෙන වැඩක්."

එදා ඉඳල හැමදාම මාකන එතැනට ආව​. එතැන කොරල් පරය උඩ හිටගෙන ඉන්න හරිම අමාරුයි. ඒ වගේම ගැඹුරු මුහුද පටන් ගන්න නිසා පොඩ්ඩක් කකුල ලිස්සුවොත් මුහුද යටට යනවා. වඩදිය වෙලාවට මුහුදු වතුර උඩට ඇවිත් මාකන ගෙ තටු තෙමුනා. තෙමුන වෙලාවට මාකනව සීතලේ වෙව්ලුවා. ඒත් මාකන හැමදාම එතැනට ඇවිත් කන්දුගුරුවා එනකං බලාගෙන හිටියා.

සමහර දවසට මාකන ගැඹුරු මුහුදේ පීනන කන්දුගුරුවා ව දැක්කා. මාකනට පීනන්න බැරි නිසා මුහුදට ගිහින් මාළුවව අල්ලගන්න බෑ. ඒත් ඌ තමාට අල්ලන්න පුළුවන් හරියට එයි කියල මාකන හොඳ ඉවසීමෙන් බලාගෙන හිටියා.


ඒත් කන්දුගුරුවා ළඟට ආවෙ නෑ.

පොඩි පොඩි මාළු ඕනෙ තරම් මාකන ගෙ කකුල් ළඟින්ම පීනගෙන ගියා. ඒත් මුරන්ඩු කොකා උන් ගැන සැලකිල්ලක් දැක්වුවෙ නෑ. ඌට උවමනා වුනේ කන්දුගුරුවාවම අල්ල ගන්න​. උත්සහය අත් හරිනවට වඩා බඩගින්නෙ ඉන්න මාකන කැමති වුනා.

දවස් ගානක් ගත වුනා. මාකන ටිකෙන් ටික දුර්වල වුනා. ඒත් උගේ මුරන්ඩු කම අඩු වුනේ නෑ. කවදාවත් ළඟට නොඑන කන්දුගුරුවා ගේ කළු-සුදු පාට ඇඟ තද නිල් පාට වතුර අස්සෙන් පේන තුරු ඌ ඇස්පිය නොගහ බලාගෙන හිටියා.

ගත දුර්වල වුනත් මාකන හැමදාම බොහොම ආඩම්බරෙන් සහ අධිෂ්ඨානශීලීව කොරල් පරය උඩ හිටගෙන හිටියා.

ඒත් කන්දුගුරුවා ළඟට ආවෙ නෑ.

එක දවසක් කුසගින්න සහ මහන්සිය නිසාම මාකන කොරල් පරය උඩම මැරුනා.

ඌට කවදාවත් තමාගෙ අරමුණ ඉටු කරගන්න බැරි වුනා. ඒත් ඌ කවදාවත් උත්සහය අත හැරියෙ නෑ෴

- දිවෙහි රාජ්ජේ ජනප්‍රිය ජන ගීයක එන කතාවක්.



අටුවාව​:

1. මාකන
අළු කොකා හෙවත් "Grey Heron". ලංකාවේත් ඉන්න අළු පාට ලොකු කොකෙක්. අඩි තුනක් විතර උසයි. කලපු ආශ්‍රිතව දකින්න පුළුවන්. තනිව දිවි ගෙවන අළු කොකා දිවෙහි රාජ්ජේ ජනකතා වල නිතර හමුවෙන චරිතයක්.



2. කන්දුගුරුවා

කන්දුගුරුවා කියල දිවෙහි බසින් හැඳින්වෙන්නේ ඉංග්‍රීසියෙන් "Indian Ocean Oriental Sweetlips" කියල හැඳින්වෙන මාළුවට​. මේ මාළුවා අඩියක් විතර දිගට වැඩෙන කොරල් පර ආශ්‍රිතව ජීවත් වෙන මාළුවෙක්. මුගේ ඇඟ දිගටම කළු සහ සුදු ඉරි තියෙනවා. ලංකාවේ මුහුදේ ඉන්න "බොරළුවා" ගෙ ළඟම නෑයෙක්.


6 comments:

  1. නමුත් උගේ උත්සාහයයි අධිෂ්ඨානය යයි පළ රහිතයි...

    ReplyDelete
  2. පාදඩ තුමනි දිවෙහි රාජ්ජේ ජනකතා බොහොමයක මුහුද හා සම්බන්ධවීම හිතාගන්න පුලුවන් දෙයක්. හැබැයි ඇයි බොහෝ කියන්නෙ කතාවල යකිනියන් ඉන්නේ? අපේ කතාවල යකුන් වැඩියි. මාලදිවයිනේ මාතෘ මූලික සමාජයක් තිබුනාද?

    ReplyDelete
  3. මාලදිවයිනේ සමාජයේ කාන්තාව තමයි පවුලේ කේන්.ද්‍රය​. පිරිමියා ගොඩක් වෙලාවට මුහුදු යනවා, දුර බැහැර දූපත් වලට වෙළඳ ගමන් යනවා. එහෙම වුනාම මාස ගණන් ගෙදර නෑ. කාන්තාව තමයි පවුල රන් කරන්නෙ.

    ReplyDelete
  4. අදටත් මාලදිවයිනේ උපාධිධාරීන් ගෙන් වැඩි ප්‍රතිශතය කාන්තාවන්

    ReplyDelete