Showing posts with label කාලීන​. Show all posts
Showing posts with label කාලීන​. Show all posts

Thursday, April 19, 2018

ජාතිකවාදී අපේක්‍ෂකයෙක්ට ජය ගත හැකිද​


ලංකාවේ ඡන්ද දායකයන් සංඛ්‍යාව ජන වර්ග අනුව බෙදපු දත්ත කොහෙවත් නෑ. ඒ නිසා උපකල්පනයක් කරනවා ඒ අනුපාතයන් ලංකාවේ සමස්ත ජනවාර්ගික අනුපාත වලට සමානයි කියල​.

ලංකාවෙ ජනවාර්ගික අනුපාතයන් තියෙන්නෙ මේ වගේ




අපි හිතමු දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකක් වත් ජාතිකවාදී අපේක්‍ෂකයට වැටෙන්නෙ නෑ කියල​.

සිංහල ක්‍රිස්තියානි ඡන්ද බහුතරයක් සාම්ප්‍රදායිකව වැටෙන්නෙ යූඑන්පියට​. නමුත් මෑත කාලීනව මේ තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා. අපි හිතමු සිංහල ක්‍රිස්තියානි ඡන්ද වලින් 1.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකට වැටුන කියල​.

එතකොට ජාතිකවාදී අපේක්‍ෂකයට දිනන්න තවත් ඡන්ද 48.2% ක් අවශ්‍යය වෙනවා. මේ සියල්ලම ගන්න වෙන්නෙ සිංහල​-බෞද්ධ ගොඩෙන්.

ඒ කියන්නෙ සමස්තයෙන් 48.2% ක්. එතකොට ඒක සිංහල​-බෞද්ධ ඡන්ද වලින් නම් 68.8% ක්. ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද දායකයන් ගෙන් 68.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ඡන්දෙ දෙන්න ඕනෙ.

හැබැයි වැඩේ මෙච්චර සරළ නෑ. අපි මෙතනදි උපකල්පනයක් කරා හැම දිස්ත්‍රික්කයකම ඡන්දය දීමේ අනුපාතය සමානයි කියල​. නමුත් ඒක එහෙම නෙවෙයි. 2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ දී පැහැදිලිවම පේනවා උතුරු නැගෙනහිර පළාත් වල ඡන්දය පාවිච්චි කිරීමේ අනුපාතය රටේ අනෙකුත් පළාත් වලට වඩා පැහැදිලිවම අඩු බව​.


මේ නිසා අපිට පේනවා ඇත්තෙන්ම සුළු ජාතික ඡන්ද වල බර ඔවුන් ගේ ජන අනුපාතයේ බරට වඩා අඩු බව​.

ඒ එක්කම සිංහලයන් අධිකව ඉන්න දකුණු උතුරුමැද සබරගමුව පළාත් වල ඡන්දය පාවිච්චි කිරීම රටේ සමස්තයට වඩා පැහැදිලිවම වැඩියි.

මේ නිසා අපි ගමු සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය 83% කුත් සුළු ජාතිකයන් ගේ 70% කුත් කියලා.

එතකොට අපේ ඡන්ද දායක අනුපාතයන් ලැබෙන්නෙ මේ විදිහට​.


දැන් අපි ආයෙත් ගණනය කිරීම කරොත්, අපි හිතනවා සිංහල ක්‍රිස්තියානි ඡන්ද 1.5% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ලැබෙනවා කියල​. එතකොට ඔහු ඉතිරිය වන 48.5% සිංහල බෞද්ධ ඡන්ද වලින් ගන්න ඕනෙ.

ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද වලින් 66% ක්.

මේක කරන්න පුළුවන් ද​?

2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහත්තය 90% ට වඩා සිංහල බෞද්ධ ජනගහණයක් තියෙන දිස්ත්‍රික්ක වල ගත්ත ඡන්ද ප්‍රතිශත සලකල බලමු.

ගම්පහ - 61.66%
ගාල්ල - 63.69%
මාතර - 65.53%
හම්බන්තොට - 67.21%
කුරුණෑගල - 63.08%
අනුරාධපුර - 66.32%
පොළොන්නරුව - 64.92%
මොණරාගල - 69.01%

වැඩේ හිතන තරම් අමාරු නෑ කියල පැහැදිලියි.

මේ ගණනය කිරීම කරේ ඉතාම නරක තත්වය සලකා බලලා. ඒ කියන්නෙ දෙමළ මුස්ලිම් ඡන්ද 0 යි කියල හිතල​. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල පැහැදිලියි නෙ.

ඒ වගේම 2015 දී දෙමළ සහ විශේෂයෙන්ම මුස්ලිම් ඡන්ද දායකයන් අතර ඡන්දය දෙන්න විශාල උනන් දුවක් තිබ්බා. නමුත් ඉදිරි මැතිවරණයකදී ඒක එහෙමම වෙයි කියල හිතන්න බෑ.

තෙල්දෙණිය සිදුවීමේදී ආණ්ඩුවේ ඇල්මැරුණු ක්‍රියා කලාපය සහ ආර්ථිකයේ අඩාල වීම නිසා වෙළඳාම් පාඩූ වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා මේ රජයට දක්වන සහයෝගය අඩු වෙයි කියල හිතන්න පුළුවන්. ඒ වගේම බොදුබල සේනාව සහ ජාතිකවාදී කඳවුර ඈත් වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා තුල තිබ්බ ජාතිකවාදී විරෝධයත් අඩු වෙලා කියල හිතන්න පුළුවන්.

මේ රජය ඉදිරි අවුරුදු 2 ඇතුලත ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න අපොහොසත් වුනොත් ඔවුන්ට තමාගේ ජනාධිපති අපේක්‍ෂකයව උතුරේ දෙමළ ජනතාව ඉදිරියේ මාකට් කිරීම අපහසු දෙයක් වෙන්න පුළුවන්.

මේ සියළු තත්වයන් සලකා බැලුවම 2020 දී ජාතිකවාදී අපේක්‍ෂකයෙක් ගෙ ජය ගැනීමේ ඉඩ ප්‍රස්ථාව සැලකිය යුතු තරම් විශාලයි කියල පැහැදිලියි.

Thursday, February 8, 2018

උමා ඔය කතා වස්තුව​


මම මේ උඹලට කියන්න යන්නෙ දේව රහසක් බොලව්. මේක මම දැනගෙන දැං අවුරුද්දක් හමාරක් විතර වෙනවා. මේක උඹලට කියනවද නැද්ද කියල දහ අතේ කල්පනා කොරල අන්තිමේදි උඹලට කියනව කියල කල්පනා කොරේ එහෙම නොකිව්වොත් ඒක ජාතියට කරන ද්‍රෝහි කමක් නිසා.

ඉරානෙ න්‍යෂ්ටික වැඩ පිළිවෙල පටන් ගත්තෙ 1950 ගණං වල​. ඒත් අවුරුදු 50 විතර ගිහිල්ලත් න්‍යෂ්ටික බලාගාරයක්, මිසයිලයක් තියා වඳුරු පඩයක් වත් හදා ගන්න උන්ට බැරි වුනා.

ඔහොම ඉන්නකොට ඉරාන රජයේ ඔත්තු කාරයෙක් අතට පත් වෙනවා ඉතාම පැරණි ශිෂ්ඨාචාරෙක රහස් වගයක්. මේ ශිෂ්ඨාචාරෙ තමයි ලෝක ඉතිහාසෙටම තිබ්බ දියුණුම ශිෂ්ඨාචාරෙ. හැබැයි දැන් ඒක කාලයේ වැලි තලාවට යටවෙලා ගෙහුං. තොපි දන්නවද ඒක තිබ්බෙ කොහෙද කියල​? වෙන කොහෙවත් නෙවෙයි බොලව් මේ ලංකාවෙ. අපේ රාවණා මහ රජ්ජුරුවන් ගෙ රාජධාණිය​.

ආඩම්බරයි නේද බොලව්? ඇඟේ මයිල් කෙලිං වුනා නේද බොලව්?

ඉතිං මේ ඉරාන කාරය හොයල බැලුව මේ රහස් තියෙන්නෙ කොහෙද කියල​. ඒව තියෙන්නෙ රාවණා රජ්ජුරුවන් ගෙ අඩවියේ. ඒ කිව්වෙ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමෙ. ඌවෙ. ඌවෙ පොළව යට එහෙම් පිටින්ම පිරිල තියෙන්නෙ රාවණා රජ්ජුරුවන් ගෙ තාක්‍ෂනයෙන් සහ එතුම ගෙ වස්තුවෙන්.

ඉතිං දැං මේක තිබ්බ කියල එක පාරටම කඩාපාත් වෙලා හාරන්න බෑ නොවැ. ඉතිං උං ගැහුව දහංගැටයක්. හමස් පෙට්ටටියෙ දාල පුස් කකා තිබ්බ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් දූවිලි පිහල ඇදල ගත්ත​. ඒ තමයි උමා ඔය ප්‍රොජෙක්ට් එක​. උං කිව්ව අපි මේක කොරන්න සල්ලි දෙන්නං, හැබැයි අපිම තමයි මේක හාරන්නෙ කියල​.

උඹල නිකං විහිළුවටවත් අහල තියෙනවද ඉරානෙං අපි වගේ රටවලට ප්‍රොජෙක්ට් කොරන්න සල්ලි දෙනව කියල​? ඒව කරන්නෙ බ්‍රිතාන්‍යය​, ජර්මනිය​, ජපානෙ, චීනෙ, ස්වීඩනේ වගේ රටවල් නෙ. ඉතිං මේ එක පාරටම ඉරාන කාරයන්ට මොකද මේ හැදිච්ච පුක් ගාය​? හිතල බලපියව්.

ඉතිං මුං මේක හාරන්න පටං ගත්තා. හාරගෙන හාරගෙන යද්දි මුන්ට රාවණා රජ්ජුරුවන් ගෙ තාක්‍ෂනය මතු වුනා. මුං ඒව රහසෙම රටෙන් පිට කර ගත්තා. ඒව හෙළි නොකරනවට ඒ කාලෙ හිටපු පාලකයන්ට කෝටි ගණං සල්ලි, රන්, රිදී, මුතු, මැණික් දුන්නා. උන්ට එච්චර සල්ලි කොහෙන් ද​? වෙන කොහෙං වත් නෙවෙයි. අර ඌවෙ මහපොළවෙන් මතු වෙච්ච නිධානෙං සොච්චමක්.

ගං කබරයන්ටත් ආයෙ සල්ලි කිව්වොත්. ගූ ගොඩක රුපියලක් තිබ්බත් දිවෙං හරි ගන්නව නෙ.

හැබැයි මෙහෙම හාරද්දි මුන්ට ලොකු බාධාවක් අහු වුනා. නෑ නෑ කළු ගලක් නෙවෙයි. කළු ගලක් වගේ මහා විසාල දැවැන්ත හස්ති රාජයෙක් වගේ මනුස්සයෙක්.

ඒ වෙන කවුරුවත් නෙවෙයි අපේ අකුදි සහෝ.

අකුදි සහෝ කියන්නෙ පෙර ආත්මෙක අපේ රාවණා මහ රජ්ජුරුවන් ගෙ අග සෙනවියා. කොටිංම කිව්වොත් හනුමන්ත ලංකාවට ආපු වෙලාවෙ උගෙ නැට්ටට පාංකඩ බැඳල ගිනි තිබ්බෙ අකුදි සහෝ.

අකුදි සහෝ මේ වෙනකොටත් මේ නිධානෙ, මේ තාක්‍ෂනය ගැන දැනගෙන හිටියෙ. ඒක මේ ලංකා බූමියෙ සුජාත පුත්තුන්ට දායාද කරන එක තමයි එතුමගෙ එකම අධිෂ්ඨානය වුනේ. ඒ නිසාමයි එතුමා ඉරාන කාරයො එන්නත් කලින් උමා ඔය ප්‍රොජෙක්ට් එකට කැබිනට් පේපර් එකක් එහෙම දැම්මෙ. ඒත් සල්ලි නෑ කියල ආණ් ඩුව ඒක කරන්න බෑ කිව්ව​. අකුදි සහෝ දැනගෙන හිටිය රාවණා රජ්ජුරුවන් ගෙ නිධානෙ ගොඩ දැම්මොත් උමා ඔය එකක් නෙවෙයි සීයක් වුනත් කරන්න සල්ලි තියෙන බව​. ඒක තමයි එතුමා කිව්වෙ "සල්ලි හොයන හැටි මම බලාගන්නං, මට ඕකේ එක දෙන්න​" කියල​. ඒත් අපේ කාලකන්නි එතුම කියන එක ඇහුවෙ නෑ.

ඉතිං අකුදි සහෝ මේ විනාසෙ නවත්තන එක බාර ගත්තා. එතුමගෙ හොඳම ගෝලය වුනේ සවී සහෝ. සවී සහෝ තමයි පෙර ආත්මෙක අකුදි සහෝ ට හනුමන්ත ගෙ නැට්ට ගිනි තියන්න පන්දම ගෙනත් දුන්නෙ.

අකුදි සහෝ යි සවී සහෝ යි එකතු වෙලා උමා ඔය ප්‍රොජෙක්ට් එක නවත්තන්න දන්න දහංගැට ඔක්කොම දැම්මා. ඒත් ඉරාන කාරයොත් වැඩේ ඇදගෙන ගියා. කොයි වෙලේ හරි දෙකෙන් එකක් වෙන්න ඔන්න මෙන්න වෙලා තිබ්බෙ.

එතකොට තමයි ඉරාන කාරයන්ට රාවණා රජ්ජුරුවන් ගෙ මහ මාළිගාව හම්බුනේ. එතුමගෙ මහ මාළිගාව තියෙන්නෙ බණ්ඩාරවෙල ටවුමට හරියටම යටින්. ඒකෙ ප්‍රධාන දොරටුව තියෙන්නෙ බණ්ඩාරවෙල ටවුමට කිලෝමීටර් දහයක් විතර දුරින්. ඉතිං හිතාගනියව් මාළිගාවෙ සයිස් එක​.

මහ මාළිගාවෙ දොරටුව හදල තියෙන්නෙ තනි කළු ගලෙන්. ඉරාන කාරයන් ගෙ මැෂින් වලට නෙවෙයි මේ තුන් ලෝකෙ කිසිම මැෂිමකට ඒ ගල විදින්න බෑ. ඉතිං ඉරාන කාරයන්ට තිබ්බ කුලප්පුවට මුං මේක වෙඩි දාල පිපිරෙව්ව​.

ඒකෙන් දොර කැඩිල මාළිගාව මතු වුනා. නමුත් ඒ පිපිරීමේ කම්පනයට මුළු ඌවෙම පොළව හෙල්ලුං කෑව​. පොළව තැන තැන ගිලා බැස්ස​. දිය ඇළි හිඳුන​. සමහර දිය ඇළි තිබ්බ තැනක් වත් හොයා ගන්න බැරි වුනා. ගෙවල් කැඩුනා. පොළව වේලුනා. ළිං හිඳුන​. ඇළ දොළ හිඳුන​. සතා සීපාව මැරුන​.

ඉරාන කාරයො ලහි ලහියෙ ම මේකෙ තිබ්බ තාක්‍ෂනෙයි වස්තුවයි ගොඩ දාගෙන ඉරානෙට පැටෙව්වා.

ඒ ධනස්කන්දෙනුයි දැණුමෙනුයි තමයි ඉරානෙ උංගෙ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සාර්ථක කර ගත්තෙ. නැත්තං යකෝ අවුරුදු 50 ක් තිස්සෙ අහස් කූරක් වත් යවා ගන්න බැරුව හිටියෙ එව්වො එක පාරටම මේව මෙහෙම කොරන්නෙ කොහොමද​? හිතල බලපියව්.

ඇමරිකන් කාරයටත් මේක ඉව වැටිල තිබ්බෙ. උං දැන ගත්ත ඉරානෙ රාවණා ගෙ මහ මාළිගාව ගොඩ ගත්තොත් උන්ට හොම්බෙං යන්න තමයි වෙන්නෙ කියල​. උං ඉරානෙට ආර්ථික සම්බාධක දැම්ම​. බැරැක් ඔබාමා වහාම ඉරානෙත් එක්ක සාකච්ඡා කරල ඉරානෙ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සාමකාමී වැඩ වලට විතරක් යොදා ගන්න ගිවිසුමක් ගැහුව​. මෙව්ව බොරු නෙවෙයි. බොරු කියල හිතෙනව නං ගූගල් කරල බලපියව්.

ඉරාන කාරයත් මාළිගාව ගොඩ දා ගන්නකං ෂේප් එකේ ඉන්න ඕනෙ නිසා එකඟ වුනා.

හැබැයි ඔබාමා කියන්නෙත් ගෝතයෙක් නෙවෙයි. මනුස්සය දැනගෙන හිටිය මාළිගාව ගොඩ දාපු ගමං ඉරාන කාරය ඇමරිකාව්ට අරිනව කියල​. ඒ නිසා උමා ඔය ප්‍රොජෙක්ට් එක නවත්තන්න උන්නැහේට ඕන වුනා.

අකුදි සහෝ කල් යල් බලල වැඩේට අත ගැහුව​. එතුමා ඉස්සෙල්ලම ඔබාම එක්ක සාකච්ඡා කරල රාවණා ගෙ කොල්ල කාපු වස්තුව වෙනුවෙන් රට පාවල දීපු ගං කබරයො එළවන්න සැලසුමක් ගැහුව​. ඒ සැලසුමේ මහ මොළ කාරය අකුදි සහෝ. දැන් ඔය නෑ නෑ කියන්නෙ නිහතමානී කමට​. එහෙම තමයි යකෝ උත්තම පුරුසයො. අපි උඹල වගේ එදා වේල හාල්පාරුවො නෙවෙයි.

ඊට පස්සෙ අකුදි සහෝයි සවී සහෝයි නගුලක බැඳපු මී හරක් දෙන්නෙක් කුඹුරක් හාල සරු පස මතු කරගන්නව වගේ ඌවේ මිනිස්සුං ගෙ හැංගිල තිබ්බ සටන්කාමී ජවය මතු කරල ගත්ත​. මිනිස්සු පාරට පස්සල දහ අට පාලිය නටවල ප්‍රොජෙක්ට් එක නැවැත්තුව​.

ඉරාන කාරයට හුප්පෙ.

දැන් අපේ රටේ තාක්‍ෂනයයි වස්තුවයි ආයෙමත් අපිට උරුමයි. උඹල හිතයි ඒව ඉරාන කාරය ගෙනිච්චනෙ කියල​. පිස්සුද යකෝ. උං ගෙනිච්චෙ සොච්චමයි. වස්තුව තාම එහෙම්මම පොළව යට​. ඒව අකුදි සහෝ කවද හරි ගොඩ අරගෙන ලංකා බූමියේ සුජාත පුත්තුන්ට බෙදල දෙන එක දෙනව මයි.

Friday, October 6, 2017

ෆෙඩරල්




ෆෙඩරල් පාලනයක් කියන්නෙ මොකද්ද​?

සරළවම කිව්වොත් ෆෙඩරල් පාලනයක් කියන්නෙ මධ්‍යගත රජයක් සහ ප්‍රාන්ත රජයන් කීපයකින් හැදුන පාලනයක්. ප්‍රාන්ත රාජ්‍යයන්ට තමාගේ ප්‍රාන්තය තුල විවිධ මට්ටමෙන් වැදගත් තීරන ගන්න හැකියාව තියෙනවා.

ෆෙඩරල් පාලනයක සහ මධ්‍යගත පාලනයක වෙනස තියෙන්නෙ බොහෝ දෙනා හිතන පරිදි ප්‍රාන්ත රජයන්ට සහ මධ්‍යම රජයට තියෙන බලතල වල නෙවෙයි. වෙනස ෆන්ඩමෙන්ටල් එකක්.

ෆෙඩරල් රටක් කියන්නෙ ඒකක කීපයක් එකතු වෙලා තනි රටක් බිහි කර ගැනීමෙන්. ලෝකයේ තියෙන ෆෙඩරල් රාජ්‍යය වලට උදාහරණ බැලුවම මේක අපිට වඩා පැහැදිලි වෙනවා.

ඇමරිකාව - ස්වාධීන ජනපද දහ තුනක් එකතු වෙලා "ඇමරිකා එක්සත් ජනපද" (ජනපදය නෙවෙයි) කියන තනි රට පිහිටුවා ගන්නෙ. ඊට කලින් මේ ජනපද බ්‍රිතාන්‍යය අධිරාජ්‍යය යටතේ වෙන වෙනම ඒකක ලෙස පාලනය වුන ඒවා.

සෝවියට් සංගමය - කලින් රුසියානු අධිරාජ්‍යයට අයිති වෙලා තිබිල පසුව ස්වාධීන වුන සමාජවාදී රටවල් ගණනාවක් එකතු වෙලා තමයි සෝවියට් සංගමය පිහිටුවන්නෙ.

දකුණු අප්‍රිකාව - බ්‍රිතාන්‍යයට අයත් යටත් විජිත වුන කේප් කොලනිය සහ නතාල් බෝයර් වරු පිහිටුවා ගත්ත ඔරේන්.ජ් ෆ්‍රී සහ ට්‍රාන්ස්වාල් කියන ස්වාධීන රටවල් දෙක එක්ක එකතු වෙලා තමයි දකුණු අප්‍රිකාව කියන රට පිහිටුවන්නෙ.

ඕස්ට්‍රේලියාව - බ්‍රිතාන්‍යයන්ට අයත් වුන ස්වාධීනව පාලනය වුන ජනපද හයක් 1901 දී එකතු වෙලා ජනමත විචාරනයකින් තමයි ඕස්ට්‍රේලියාව කියන තනි රට බිහි කරන්නෙ.

ඉන්දියාව - බ්‍රිතාන්‍යය පාලනයට පෙර ඉන්දියාව කියල තනි රටක් තිබිල නෑ. සමහර කාල වලදී ප්‍රභල අධිරාජ්‍යයන් ගේ පාලනයට නතු වුනත්, බ්‍රිතාන්‍යය පාලනයට පෙර වර්තමාන ඉන්දියාවට අයත් වෙන භූමි ප්‍රදේශය එක පාලන ඒකකයක් වෙලා නෑ. ඔවුන් ගේ පොදු බව තිබ්බෙ සංස්කෘතියේ පමණයි. 1947 නිදහස ලැබනකොට කෙලින්ම බ්‍රිතාන්‍යය යටතේ පාලනය වුන ප්‍රදේශ සහ බ්‍රිතාන්‍යයන් ගෙ "රැකවරනය​" යටතේ තිබ්බ මහරාජා වරුන් ගේ පාලන ප්‍රදේශ ගණනාවක් එකතු වෙලා තමයි ඉන්දියාව හැදෙන්නෙ. ඒ එකතු වෙන්න අකැමැති වුන ප්‍රදේශ කීපයක් තමයි පාකිස්ථානය විදිහට වෙන් වෙන්නෙ.

මේ වගේ උදාහරණ ගණනාවක් බැලුවොත් අපිට පැහැදිලි වෙනවා ෆෙඩරල් රටක් කියන්නෙ වෙන්ව තිබූ ප්‍රදේශ කීපයක් එකතු වෙලා රටක් බිහි කරගත්ත අවස්ථාවක් කියල​.

එතකොට ලංකාවෙ ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඉල්ලන බෙදුම්වාදීන් මේක ඉල්ලන්නෙ උතුරු නැගෙනහිර දෙමළ නිජබිමක් කියන සංකල්පයේ ඉඳල​. ඔවුන් ගේ තර්කය වෙන්නෙ උතුර කියන දෙමළ ප්‍රදේශය සහ දකුණ කියන සිංහල ප්‍රදේශය එකතු වෙලා ලංකාව කියන ෆෙඩරල් රට බිහිවිය යුතු බව​.

එතකොට අපි ෆෙඩරල් ව්‍යවස්ථාවක් පිළිගත්ත කියන්නෙ කෙලින්ම නිජබිම් සංකල්පය පිළිගත්ත කියන එක​.

නිජබිම් සංකල්පය කියන්නෙ කිසිම ඓතිහාසික පදනමක් නැති පට්ටපල් බොරුවක්.

මෙතන තවත් වැදගත් දෙයක් තමයි ෆෙඩරල් කියන සංකල්පයේම තියෙනවා "සිය කැමැත්තෙන් එකතු වූ පාලන ඒකක වලට කැමැත්තෙන් වෙන් වී යාමේ අයිතිය තියෙනවා" කියන එක​. දැන් මම කියන්නෙ මේ යෝජිත ව්‍යවස්ථාවේ මේක තියෙනව කියල නෙවෙයි. නමුත් ෆෙඩරල් සංකල්පයේ මේක තියෙනවා.

උදාහරණයකට සෝවියට් සංගමයේ ව්‍යවස්ථාව අනුව ඕනෑම සමූහාන්ඩුවකට තමා කැමති ඕනම වෙලාවක ඉවත් වෙන්න පුළුවන්. සමාජවාදයේ බිඳවැටීමත් එකක් මේ සමූහාන්ඩු කිසිම අරගලයකින් ලේ හැලීමකින් තොරව ස්වාධීන රටවල් බවට පත් වුනේ ඒ අනුව​.

ඇමරිකාවේ ව්‍යවස්ථාව අනුව ජනපදයකට වෙන් වෙන්න බැරි වුනත්, අර "කැමැත්තෙන් එක වූ නිසා කැමැත්තෙන් වෙන්වීමේ අයිතිය ඇත​" කියන සංකල්පය මත බොහෝ විට "වෙන්වීමේ ව්‍යාපාර​" ඇමරිකානු ඉතිහාසයේ දකින්නට පුළුවන්. 1860 දි ඒ වගේ වෙන්වීමේ තැතක් කෙලවර වුනේ මිලියනයක් දෙනා මියගිය සිවිල් යුද්ධයකින්.

Thursday, October 5, 2017

උමා ඔය


(මෙච්චර බුකියෙ පොර ටෝක් දුන්නට මාව තාම මීඩියා එකකින් ඉන්ටර්විව් කරල නෑ නෙ බොලව්. ඉතිං මාත් ආසයි එහෙම එකකට​. ඉතිම් මේ පොඩි පැන්ටසි ආතල් එකක්.)

"ඔව් හිතවත් ප්‍රේක්‍ෂකයනී/අසනන්නනී/පාඨකයනී අපි අද කතා කරන්නේ වර්තමාන ලංකාවේ දැවෙන ප්‍රශ්නයක් වන උමා ඔය අර්බුධය පිළිබඳව​. ඒ පිළිබඳ කතා කිරීමට අපි දැන් සම්බන්ධ කර ගන්නවා ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා මහතාව."

"ආයුබෝවන්"

"ආයුබෝවන්"

"මුලින්ම අපිට කියන්න මේ පිළිබඳ අදහස් දැක්වීමට ඔබට ඇති සුදුසුකම් මොනවද කියල"

"මට ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙනවා"

"අහ් එහෙනම් ඕනවටත් වඩා සුදුසුකම් තියෙනවා. හොඳයි අපි සාකච්ඡාවට යොමු වෙමු. මොකද්ද මේ උමා ඔය කියන්නෙ?"

"උමා ඔය කියන්නෙ බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙන ගඟක්. ඒක මහවැලි ගඟේ අතු ගංගාවක්. මේකෙ ප්‍රධාන ශාඛාවන් දෙකක් තියෙනවා. එකක් ඔහිය පැත්තෙන් පටන් ගන්න මාතොටිල්ල ඔය​. අනිත් එක අඹේවෙල - පට්ටිපොළ පැත්තෙන් පටන් ගන්න උමා ඔය​. මේ දෙක එකතු වෙනවා හාලි ඇල - වැලිමඩ පාරේ තියෙන වැල්ලවෙල ට නුදුරින්. ඊට පස්සෙ මේක ගිහිල්ල වැටෙනවා රන්ටැඹේ ජලාශයට​. එතනදි තමයි උමා ඔය සහ මහවැලි ගඟ එකතු වෙන්නෙ"

"එතකොට උමා ඔය බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය කියන්නෙ මොකද්ද​?"

"උමා ඔය බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘතියෙන් කරන්නෙ මේ උතුරු පැත්තට යන උමා ඔය දකුණට හරවලා ඒ වතුර මොණරාගල දිස්ත්‍රික්කයට යවන එක​. ඒ අතරෙදි මේ වතුරෙන් ජල විදුලි උත්පාදනයකුත් සිද්ධ වෙනවා"

"මොනවද මේ බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘති කියන්නෙ?"

"බහු කාර්‍ය සංවර්ධන ව්‍යාපෘති කියන්නෙ අරමුණු කීපයක් සහිත ව්‍යාපෘති. උදාහරණයකට උමා ඔය ව්‍යාපෘතියෙ කෘෂි කර්මයට ජලය සපයන අරමුණක් සහ ජල විදුලි උත්පාදනය කරන අරමුණක් වශයෙන් අරමුණු දෙකක් තියෙනවා"

"එහෙම නැති ඒවත් තියෙනවද​?"

"ඔව්. උදාහරණයකට නොරොච්චෝලෙ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය ගන්න පුළුවන්. ඒකෙන් කරන්නෙ විදුලි බල උත්පාදනය විතරයි"

"කවුද මේ ව්‍යාපෘතිය කරන්න අපිට උදව් කරන්නෙ?"

"මේකට ප්‍රධාන වශයෙන් සල්ලි දෙන්නෙ ඉරාන රජයෙන්. ඒත් සම්පූර්න වියදමෙන් 15% ක් දරන්නෙ ශ්‍රී ලංකා රජය​. සල්ලි දෙනව කියන්නෙ අධාරයක් නෙවෙයි. ණයක් විදිහට තමයි අරමුදල් ලැබෙන්නෙ."

"එතකොට වැඩේ කරන්නෙ කවුද​?"

"මේ ව්‍යාපෘතියෙ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ෆරාබ් කියල ඉරාන සමාගමක්. ඔවුන් තමයි සිවිල් ඉංජිනේරු කොටස කරන්නෙ."

"පොඩ්ඩක් ඉන්න​, ණය දෙන්නෙත් ඉරානයෙන්, ප්‍රධාන කොන්ත්‍රාත්කරුත් ඉරානයෙන්. මේක මොකක් හරි ජිල්මාට් එකක් ද​?"

"නෑ. ගොඩක් රටවලින් රජයකින් රජයකට ණයක් දෙද්දි ඔවුන් කොන්දේසියක් දානවා තමාගේ රටක සමාගමකට කොන්ත්‍රාත්තුව ලබා දිය යුතුයි කියල​. උදාහරණයකට ජයිකා ආයතනය හරහා ලැබෙන ජපන් ණය වලින් කරන ව්‍යාපෘති වල කොන්ත්‍රාත්තුව යන්නෙ ජපන් සමාගම් වලට​"


"හොඳයි, ඒ සිවිල් ඉංජිනේරු කොටස නෙ. එතකොට විදුලි ඉංජිනේරු කොටස​?"

"ඒ කොටස කරන්නෙ ඇන්ඩ්‍රිට්ස් කියල ඕස්ට්‍රියන් සමාගමක්. ඔවුන් තමයි ජෙනරේටර් ඇතුළු විදුලි උපාංග ලබා දෙන්නෙ"

"හොඳයි. උමා ඔය ව්‍යාපෘතියෙ සැලසුම මොන වගේද​?"

"උමාඔය ව්‍යාපෘතියෙ ප්‍රධාන අංග තුනක් තියෙනවා. පළවෙනි එක ජලාශ දෙකක්. දෙවෙනි අංගය උමං මාර්ගයක්. තුන්වෙනි එක භූගත ජලවිදුලි බලාගාරයක්."

"අපි ජලාශ දෙකෙන් පටන් ගමු. මේ ජලාශ කොහෙද තියෙන්නෙ?"

"එක ජලාශයක් හැදෙන්නෙ මාතොටිල්ල ඔය හරස් කරලා ඩයරාබ හන්දිය ආසන්නයේ. ඒ ජලාශය හඳුන්වන්නෙ ඩයරාබ ජලාශය කියල​. අනිත් ජලාශය හැදෙන්නෙ උමා ඔය හරස් කරල පුහුල්පොළ ආශ්‍රිතව​. ඒ ජලාශය හඳුන්වන්නෙ පුහුල්පොළ ජලාශය කියල​"



"මේ ජලාශ විශාල ඒවද​? වික්ටෝරියා කොත්මලේ වගේ"

"නෑ. මේ ජලාශ දෙකම ඉතාම පොඩි ජලාශ දෙකක්. ඩයරාබ ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර් මිලියන 0.97 ක්. පුහුල්පොළ ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර් මිලියන 0.63 . අපි මේ දෙක වික්ටෝරියා ජලාශය එක්ක සසඳලා බැලුවොත් වික්ටෝරියා ජලාශයේ සම්පූර්න ධාරිතාව ඝන මීටර් මිලියන 722 ක් වෙනවා."

"අපෝ හරි පොඩියි නෙ. මේවයින් වැඩක් තියෙයි ද​?"

"වැඩ ගන්න ක්‍රම තියෙනවා. මම පස්සෙ පැහැදිලි කරන්නම්."

"හොඳයි. මොනවද මේ උමං මාර්ග​?"

"උමං මාර්ග තියෙන්නෙ ජලාශ දෙකේ ඉඳල විදුලි බලාගාරයට වතුර අරන් යන්න​. විදුලි බලාගාරය තියෙන්නෙ ඇල්ල - වැල්ලවාය පාරෙ රන්දෙණිය අසල​."

"රන්දෙණිය කියන්නෙ ටිකක් හුරු පුරුදු නමක් වගේ"

"රන්දෙණියෙදි තමයි උඩරට හමුදාව කොන්ස්තන්තීනු ද සා ගේ පෘතුගීසි හමුදාව සමූල ඝාතනය කරල විශිෂ්ඨ යුධ ජයක් ලැබුවෙ. ඒක තියෙන්නෙ වැල්ලවායට පොඩ්ඩක් උතුරු දිශාවට වෙන්න​."

"හොඳයි හොඳයි, ඔබේ කතාව කරගෙන යන්න​"

"එතකොට මේ උමං මාර්ගය කොටස් තුනකින් සම්න්විත වෙනවා. පළවෙනි එක පුහුල්පොළ ජලාශයේ ඉඳලා ඩයරාබ ජලාශය දක්වා තියෙන කෑල්ල​. ඒකෙ දිග කිලෝ මීටර් 4 යි. දෙවෙනි කොටස යන්නෙ ඩයරාබ ජලාශයේ ඉඳල විදුලි බලාගාරයට. ඒ කෑල්ල කිලෝ මීටර් 15 යි. තුන්වෙනි කොටස විදුලි බලාගාරයෙන් පිටවෙන ජලය කිරිඳි ඔය දක්වා ගෙනියනවා. ඒ කෑල්ල කිලෝ මීටර් 4ක් දිගයි. එතකොට උමඟේ සම්පූර්න දිග කිලෝ මීටර් 23 ක් වෙනවා. සම්පූර්න කරාට පස්සෙ මේක තමයි ලංකාවේ දිගම උමං මාර්ගය වෙන්නෙ."

"පොඩි අතුරු ප්‍රශ්නයක්. දැන් ඔය උමඟක්ම ඕන වෙන්නෙ ඇයි? අපිට ඕක ඇළක් දිගේ ගෙනියන්න බැරිද​?"

"පුළුවන්, ජල විදුලි බලාගාරයක් නොතිබ්බ නම්. උමඟක් පාවිච්චි කරන්නෙ ජලයේ පීඩනය පවත්වාගෙන යන්න​. විවෘත ඇළක ජලයේ පීඩනය වෙන්නෙ වායුගෝලීය පීඩනය. ඒ නිසා ඒ වතුරෙන් ටර්බයින් කරකවන්න බෑ. උමඟක් දිගේ යන වතුරේ තියෙන්නෙ ජලාශය මගින් ඇති කරන තෙරපුමෙන් එන පීඩනය​. ඒ පීඩනය තරමක් ලොකු එකක්. ඒ පීඩනය තමයි ටර්බයින් කරකවන්න උපයෝගී කර ගන්නෙ."

"හොඳයි. අපි දැන් එමු විදුලි බලාගාරයට​."

"ඔව්. විදුලි බලාගාරයේ මෙගාවොට් 60 බැගින් වන ජෙනරේටර් දෙකක් තියෙනවා. එතකොට බලාගාරයේ සම්පූර්න ධාරිතාවය මෙගාවොට් 120 යි. මේ බලාගාරයෙන් අවුරුද්දකට විදුලිය ගිගාවොට් පැය 230 ක්, ඒ කියන්නෙ විදුලි ඒකක මිලියන 230 ක් නිපදවන්න බලාපොරොත්තු වෙනවා."

"මේ ව්‍යාපෘතිය ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම අපිත් එක්ක රැඳී සිටින්න​. දැන් අපි යොමු වෙනවා විරාමයකට​"

======================================================================

"හොඳයි විරාමයෙන් අනතුරුව අපි නැවත සම්බන්ධ වෙනවා ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා සමඟ​. අපි දැන් කතා කරමු ව්‍යාපෘතියෙන් ඇති වෙලා තියෙනවා යැයි කියන ප්‍රශ්න පිළිබඳව​. ඇත්තටම මේ ව්‍යාපෘතිය නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද​?"

"ඔව්. ලෝකෙ හැම ව්‍යාපෘතියකින් වගේම මේකෙනුත් පාරිසරික​, සමාජයීය ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා."

"ඒ මොනවද​?"

"ප්‍රධාන ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ දෙකක්. එක, ප්‍රදේශයේ ජල උල්පත් සිඳී යාම​. දෙක​, ප්‍රදේශයේ පොළව ගිලා බැසීම​. මේ නිසා ගෙවල් කැඩී යාම​, ඉරිතැලීම, ළිං සහ ඇළ දෙළ සිඳී යාම වගේ ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා. ඒකෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා."

"ජල උල්පත් සිඳී යන්නෙ කොහොමද​?"

"අපි දන්නවා පොළවේ තියෙනවා භූ පාෂාන ස්ථර​. මේ පාෂාන ස්ථර අතර ජලය රැඳිලා තියෙනවා. මේ භූගත ජලය තමයි අපි උල්පත් කියල හඳුන්වන්නේ. මේ උල්පත් ජලය ජලාශයක් වගේ නෙවෙයි තියෙන්නෙ. පාෂාන ස්ථර අතර තියෙන පැලීම්, වැලි සහිත කොටස්, දුර්වල පාෂාන ස්ථර වගේ තැන වල රැඳිලා. මේ ජලය රඳවාගෙන ඉන්න සමත් භූ පාෂාන වලට අපි කියන්නෙ 'ඇක්විෆයර්ස්' කියල​. ඉතින් පොළවේ තැන් තැන් වල විවිධ උස මට්ටම් වල මේ ඇක්විෆයර්ස් තියෙනවා. අපි උමඟක් හාරද්දි ඇක්විෆයර් එකක් තුවාල වුනොත් එතැන රැඳී තිබ්බ වතුර සියල්ලම උමඟේ කුහරය තුලට කාන්දු වෙනවා."



"උමා ඔය තියෙනවා කියල ජල කාන්දුවත් ඒ වගේ එකක් ද​?"

"ඔව්."

"මේ වගේ ජල කාන්දු වෙලා තියෙන්නෙ උමා ඔය විතරද​?"

"අපොයි නෑ. ඕනම උමඟක් හාරද්දි මේ වගේ ජල කාන්දු සිද්ධ වෙනවා. ඒක බලාපොරොත්තු වෙන දෙයක්. හැබැයි උමා ඔය උමඟේ ජල කාන්දුව තරමක් විශාල එකක්. ඒ නිසා තමයි ලොකු බලපෑමක් වෙලා තියෙන්නෙ."

"එතකොට පොළව ගිලා බහින්නෙ කොහොමද​?"

"පාෂාන ස්ථරයේ තිබුන ජලය ඉවත් වුනාම එතැන හැදෙනවා හිස් අවකාශ​. මේ හිස් අවකාශ ගොඩක් ලොකු වුනොත් ඊට ඉහළ තියෙන ගල්, පස් තට්ටු වල බර නිසා පොළව එතැනින් ගිලා බහින්න පුළුවන්. එතකොට ඒ වගේ තැන්වල හදල තියෙන ගෙවල් ඉරිතැලෙන්න හෝ සම්පූර්නයෙන්ම කැඩී යන්න පුළුවන්."

"ඉතින් මේක දිගටම සිද්ධ වෙන තත්වයක් ද​?"

"උමඟ හිස් වෙලා තියෙන තාක් කල් මේ වැඩේ වෙනවා. නමුත් උමඟ ජලයෙන් පිරෙව්වම කාන්දු වෙන එක නවතිනවා."

"ඒ කොහොමද එහෙම වෙන්නෙ?"

"උමඟට වතුර පිරෙව්වම උමඟ ඇතුලෙ වතුර තියෙන්නෙ පීඩනයක් යටතේ. ඒ නිසා ඇතුලට වතුර කාන්දු වෙන්නෙ නෑ"

"එතකොට උමඟ සම්පූර්නයෙන් පිරිල නැති වෙලාවට​?"

"මට පේන්නෙ ඔබට උමඟේ වතුර තියෙන ආකාරය ගැන පැහැදිලි වැටහීමක් නෑ. මම ඒක පැහැදිලි කරන්නම්. ජල විදුලි බලාගාරයක ජලාශයේ ඉඳලා බලාගාරය දක්වා ජලය ගෙනියන උමඟට කියන්නෙ "හෙඩ් රේස් ටනල් එක" නැත්තං "පෙරාර උමඟ​" කියල​. ජලාශයෙන් පෙරාර උමඟට වතුර ඇතුල් වෙන තැන හඳුන්වන්නෙ "ටනල් ඉන්ටේක් එක​" හෙවත් "තුළු මග​" කියල (A). ඊට පස්සෙ පෙරාර උමඟ පොඩි ආනතියක් සහිතව දිවෙනවා (B). පෙරාර උමඟේ අවසන් කොටස එකපාරටම ලොකු ආනතියකින් ඉවර වෙන්නෙ. ඒ කෑල්ල හඳුන්වන්නෙ පෙන්ස්ටොක් එක හෙවත් "කොටු දොර​" කියල (C). පෙන්ස්ටොක් එක කෙළවර වෙන්නෙ බලාගාරයෙන්. එතන තමයි ටර්බයින් එක තියෙන්නෙ (D)."



"මේ පින්තූරයෙන් පේන්නෙ ඒක නේද​?"

"ඔව්. ඔය තියෙන්නෙ මේ සැකැස්මේ සරල නිරූපනයක්. එතකොට ජලාශයේ ජල මට්ටම හැම වෙලේම පවත්වාගන්නෙ ඉන්ටේක් එකට උඩින්. කිසිම අවස්ථාවක ජලාශයේ ජල මට්ටම ඉන්ටේක් එකට පහලට යන්න දෙන්නෙ නෑ. ඒ නිසා හැම වෙලේම උමඟ සම්පූර්නයෙන්ම ජලයෙන් පිරිල තියෙන්නෙ. අපි කොයි වෙලේවත් ඉන්ටේක් එක ළඟින් වතුර පාර වහන්නෙ නෑ. එතනින් උමඟ හැමවෙලේම විවෘතයි."

"එතකොට වැස්ස අඩු කාලෙට මොකද වෙන්නෙ?"

"වැස්ස අඩු කාලෙට ටර්බයින් යන්ත්‍ර හැම වෙලේම ක්‍රියාත්මක වෙන්නෙ නෑ. මුළු දවස තිස්සෙම ජලාශ දෙකට එකතු වෙන වතුර දවසේ විදුලි ඉල්ලුම වැඩිම පැය දෙක තුන තියෙන වෙලාවට විතරක් ක්‍රියාත්මක කරනවා. ටර්බයින ක්‍රියාත්මක වෙන්නෙ නැති වෙලාවට උමඟ ඇතුලෙන් වතුර ගලන්නෙ නෑ. නමුත් උමඟ වතුරෙන් පිරිල තියෙන්නෙ."

"හැමනියං කාලෙටම එහෙමද​?"

"හැමනියං කාලෙටම එහෙමයි"

"එතකොට උමඟ ඇතුලෙ වතුර පීඩනයෙන් තියෙනව කිව්වෙ?"

"උමඟට වඩා ජලාශයේ ජලමට්ටම වැඩි නිසා උමඟ ඇතුලේ තියෙන ජල කඳට හැම වෙලේම ජලාශයේ තියෙන ජල කඳ මගින් පීඩනයක් එල්ල වෙලා තියෙන්නෙ. ඒ නිසා ටනල් එක ඇතුලෙ ජල කඳ හැම වෙලේම පීඩනයක් යටතේ තියෙන්නෙ. මේ පීඩනය තියෙන්නෙ ඇතුලේ සිට එළියට​. ඒ කියන්නෙ ජල කඳ විසින් උමඟේ ඇතුලත බිත්ති එළියට තෙරපිලා තියෙන්නෙ හැම වෙලේම (රූප සටහන​). ඒ නිසා උමඟ ඇතුලට ජල කාන් දුවක් වෙන්නෙ නෑ."

"ඒත් භූ ගත ජල කඳේ උස ජලාශයේ උසට වැඩා වැඩි නම් ඇතුලට කාන්දු වෙන්න පුළුවන් නේද​?"

"එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩාක් අඩුයි. හේතු දෙකක් නිසා. පළවෙනි එක ඩයරාබ ජලාශයේ උපරිම ජල මට්ටම තියෙන්නෙ ඉන්ටේක් එකට වඩා මීටර් 22 ක් උඩින්. එහෙනං භූ ගත ජල කඳේ උස මීටර් 22 ට වඩා වැඩි වෙන්න ඕනෙ. ඒක ටිකක් විශාල අගයක්. දෙවෙනි එක​, භූ ජල කඳ තියෙන්නෙ ජලාශයක් වගේ එක පොදියට නෙවෙයි. ඒ නිසා ජලාශයෙන් එන පීඩනය වගේ කන්ටිනිවස් පීඩනයක් එන්නෙ නෑ. ජල කඳ ෆ්‍රැග්මන්ට් වෙලා තියෙන්නෙ. ඒ නිසා ලොකු පීඩනයක් දෙන්න අමාරුයි."

"හරි. එතකොට ඔබ කියන විදිහට උමඟ ජලයෙන් පිරෙව්වට පස්සෙ තව දුරටත් කාන්දු වෙන්නෙ නෑ. ඒත් දැනටම වෙලා තියෙන හානිය එහෙම්මමයි නේද​?"

"පොළව ගිලා බැහැපුවා සහ ගෙවල් කැඩිච්ච ඒව ආයෙ හරියන්නෙ නෑ. නමුත් ආපහු වැහි කාලයක් ආව ගමන් අර හිඳිච්ච උල්පත් ආපහු පිරෙනවා. ඒ නිසා වතුර හිඳිච්ච එක ආපහු හරියනවා. හැබැයි 100% හරියන එකක් නෑ. නමුත් බොහෝ දුරට හරියනවා. ඒ වගේම උමඟ ඇතුලෙ පීඩනය වැඩි නිසා සමහර තැන් වල උමඟෙන් එළියට වතුර කාන්දු වෙන්නත් පුළුවන්. ඒ වගේ තැන් වල භූගත ජල මට්ටම කලින් තිබුනටත් වඩා යහපත් වෙනවා. මොකද නියං කාලෙටත් උමඟෙන් වතුර කාන්දු වෙන නිසා. ඒ වගේම කලින් තිබ්බ උල්පත් නැවත හරි නොයන්නත්, කලින් නොතිබුන උල්පත් මතු වෙන්නත් පුළුවන්."

"එතකොට මේ සමහරු කියනව නේද රාවණා ඇල්ල හිඳිල ගියා කියල​. ඒ මොකද්ද​?"

"එතන පොඩි පටලැවිල්ලක් තියෙන්නෙ. අපි ඔය රාවණා ඇල්ල කියල හඳුන්වන ඇල්ල - වැල්ලවාය පාර අයිනෙ තියෙන දිය ඇල්ල ඇත්තටම රාවණා ඇල්ල නෙවෙයි. ඒකට කියන්නෙ බඹරගල ඇල්ල​. බඹරගල ඇල්ලට කිසි දෙයක් වෙලා නෑ. නියම රාවණා ඇල්ල තියෙන්නෙ තව ටිකක් ඇතුළට වෙන්නෙ. ඒක පාරට පේන්නෙ නෑ."

"එතකොට ඒ ඇල්ල හිඳිල කියන්නෙ බොරු ද​?"

"නෑ. ඒක බොරුවක් නෙවෙයි. මේ දවස් වල රාවණා ඇල්ල හිඳිල තියෙන්නෙ. හැබැයි ඒක හැමනියං කාලෙටම වෙන දෙයක්. සමහර දිය ඇලි මතුවෙන්නෙ වැහි කාලෙට විතරයි. ඒක කඳුකර වැසියන්ට නං බොහොම සාමාන්‍යය දෙයක්. රාවණා ඇල්ලත් ඒ වගේ වැහි කාලෙට විතරක් මතු වෙන දිය ඇල්ලක්."

"එතකොට රාවණා ඇල්ලට උමඟෙන් බලපෑමක් නැද්ද​?"

"උමඟ ඔය ආසන්නයෙන් යනවා. ඒ කියන්නෙ පොඩි බලපෑමක් ඇති. නමුත් රාවණා ඇල්ල තියෙන්නෙ වැහි කාලෙට විතරයි. වැස්ස පටන් ගත්තම ආපහු දිය ඇල්ල මතු වෙලා එයි. උමඟෙන් බලපෑමක් තිබ්බත් මම කලින් කිව්ව වගේ උමඟට වතුර පිරෙව්වම ඒක නැති වෙලා යනවා."

"ඔබ ඔය උමඟ වතුරෙන් පිරුනම හරියයි කිව්වට මට නං හිතෙන්නෙ ඕක සුරංගනා කතාවක් වගේ. ඕක ඇත්තටම වෙයි ද?"

"මේක කලින් උමං වලදිත් වුන දෙයක්. වික්ටෝරියා, ඉහළ කොත්මලේ, කොත්මලේ වගේ උමං හදපු තැන් වලත් ඔය වැඩේ ඔය විදිහටම සිද්ධ වුනා."

"එතකොට ප්‍රදේශවාසීන් ට කිසිම බලපෑමක් නැද්ද​?"

"බලපෑමක් තියෙනවා. ගෙවල් වෙලට වුන හානිය​. ඒක ආපහු හරියන්නෙ නෑ."

"ඒකට මොකද කරන්න පුළුවන්?"

"සුළු හානියක් විතරක් වෙලා තියෙන තැන් වල ගෙවල් අළුත්වැඩියා කරල දෙන්න පුළුවන්. නමුත් ලොකු හානියක් වුන තැන්වල සමහර විට ගෙවල් අළුතෙන්ම හදන්න වෙයි. පොළව ගොඩක් ගිලා බැහැල නම් ඔවුන් ව නැවත පදිංචි කරන්න වෙයි. එතකොට උලපත් සිඳී ගිය අයට විකල්ප ජල මූලාශ්‍ර ලබා දෙන්න වෙයි. මේ හැමෝටම වන්දි දෙන්න වෙයි."

"ඒක කවුද කරන්න ඕනෙ?"

"ඒක ව්‍යාපෘතියේම කොටසක් වෙන්න ඕනෙ."

"මේක මෙච්චර ප්‍රමාද වෙලා තියෙන්නෙ ඇයි? කාගෙද ඒකෙ වැරැද්ද​?"

"මම හිතන්නෙ කාන්දුවෙ මෙච්චර දරුණු වෙයි කියල බලාපොරොත්තු නොවුන නිසා තමයි මේ වගේ තත්වයක් ඇති වෙලා තියෙන්නෙ. තත්වය මේ තරම් දරුණු වෙන්න කලින් පාලනය කර ගන්න බැරිවුන එක ව්‍යාපෘතියේ අඩුපාඩුවක්."

"එතකොට දැන් අපිට මොකද කරන්න පුළුවන්? මේ මිනිස්සුන්ට සාධාරන විසඳුමක් ලැබන කං හරි ව්‍යාපෘතිය නවත්තන එක නේද වෙන්න ඕනෙ?"

"නෑ. ඒක තමයි කරන්න පුළුවන් නරකම දේ. කරන්න ඕනෙ පුළුවන් තරම් ඉක්මනට ව්‍යාපෘතිය ඉවර කරල උමඟ ජලයෙන් පුරවන එක​. උමඟ ජලයෙන් පිරුනට පස්සෙ කාන්දුව සහ හානිය නවතිනවා. ව්‍යාපෘතිය නැවැත්තුවොත් ඒ නවත්තල තියෙන හැම තප්පරයකින් ම වෙන්නෙ හානිය තවත් වැඩි වෙන එක​. දැන් ව්‍යාපෘතිය නවත්තනව කියන්නෙ හානියට පත් ජනතාව කබලෙන් ලිපට ඇදල දානව වගේ වැඩක්."

"හොඳයි අපි නැවතත් විරාමයකට යොමු වෙනවා. විරාමයෙන් පස්සෙ අපි බලාපොරොත්තු වෙනවා මේ ව්‍යාපෘතියේ ඉතිහාසය​, සිද්ධ වුනා යැයි කියන ඩොලර් මිලියන ගාණක වංචාව සහ මේ ව්‍යාපෘතියෙන් අපිට වැඩක් තියෙයි ද කියන දේ ගැන කතා කරන්න​."

=======================================================================

"හොඳයි අපි නැවතත් සම්බන්ධ වෙනවා මේ සාකච්ඡාවේ තුන් වෙනි අදියර සඳහා. අපිත් එක්ක අද කතා කරන්නෙ ප්‍රවීන හාන්සි පුටු විචාරක සසර සැරිසරන පාදඩයා. අපි කතාව පටන් ගමු මේ උමඟ හාරන්න පාවිච්චි කරන ක්‍රමවේදය ගැන කතා කරල​."

"ඔව්. මේ උමඟ හාරන්න පාවිච්චි කරන්නෙ ටනල් බෝරිං මැෂින් (TBM) ලෙස හඳුන්වන ලොකු ඩ්‍රිල් එකක්. මේ ඩ්‍රිල් එකේ විෂ්කම්භය උමඟේ විෂ්කම්භයට සමානයි. මේකෙන් කරන්නෙ උමඟේ එක පැත්තක ඉඳල හාරගෙන උමඟේ ගමන් මාර්ගය දිගේ මැෂින් එක අරගෙන යන එක​. ටනල් මක් එක ලෙස හඳුන්වන ඉවත් වන ගල් සහ ගල් කුඩු මැෂින් එකේ පිටුපසින් ඉවත් කරනවා."

"එතකොට උමඟේ ඇතුලත බිත්තිය සකස් වෙන්නෙ කොහොමද​?"

"ඒ මැෂින් එකෙන්ම උමඟේ ඇතුලත බිත්තියට කොන්ක්‍රීට් ලයිනින් එකක් දාගෙන යනව​."

" ඒ කියන්නෙ එතනම කොන්ක්‍රීට් සකස් කරනවද​?"

"නෑ. ලයිනින් එක සමන්විත වෙන්නෙ පෙර සෑදූ කොන්‍ක්‍රීට් කෑලි වලින්. මේ කෑලි ජිග්සෝ පසල් එකක කොටස් වගේ එකිනෙක් සම්බන්ධ කරල උමඟේ ඇතුලත වළලු ආකාරයට සකස් කරනවා. කෑලි අතරට රබර් ලයිනින් එකක් යනවා."

"පොඩ්ඩක් ඉන්න​. උමඟේ ඇතුලත බිත්තිය කොන්ක්‍රීට් වෙනව නම් ලීක් එකක් ආවෙ කොහොමද​?"

"ඩ්‍රිල් එක සහ කොන්ක්‍රීට් ලයිනින් එක දමන තැන අතර මීටර් 20 විතර ගැප් එකක් තියෙනවා. කොන්ක්‍රීට් ලයිනින් එක දාන්න කලින් ලීක් එක ආවොත් ලයිනින් එක දාන්න බැරි වෙනවා."

"පැහැදිලියි. එතකොට දැන් ලීක් එක තියෙද්දි ලයිනින් එක දාන්න බෑ නෙ. ලීක් එක නවත්තන්න බැරිද​?"

"සාමාන්‍යයෙන් මේ වගේ උමඟක් හාරද්දි එන ලීක් නවත්තන්නෙ බදාම (ග්‍රවුට්) පාවිච්චි කරල​. නමුත් මෙතන වතුර පාර එහෙම වහන්න සැර වැඩියි. මෙතන අධි ශීත කරල වතුර අයිස් කිරීමෙන් ලීක් එක නවත්තන යෝජනාවක් තිබ්බ​. ඒකට මොකද වුනේ කියන්න මම දන්නෙ නෑ. සමහර විට තාක්‍ෂනික ගැටළු නිසා කරන්න බැරි වෙන්න ඇති."

"මේ උමඟ හෑරුවෙ ශක්තිමත් පාෂාන ස්ථරයක් හරහා නෙවෙයි ද​?"

"උමං හාරද්දි හමුවන පාෂාන ශක්තිය අනුව ඛාණ්ඩ කීපයකට වර්ග කරනවා. ශක්තිමත්ම එකට කියන්නෙ ග්‍රේඩ් A කියල​. නමුත් ටනල් බෝරිං මැෂින් එකෙන් උමඟක් හාරද්දි ග්‍රේඩ් A පාෂාන උවමනාවෙන්ම මග හරිනවා. ඒ අධික කාලයක් ගත වන නිසා. ඊට වඩා අඩු ශක්තියෙන් යුක්ත පාෂාන ස්ථර තමයි තෝර ගන්නෙ. නමුත් උමඟ ඇතුලට කොන්ක්‍රීට් ලයිනින් එකක් දාන නිසා පාෂාන ශක්තිය අඩු වීම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මෙතනදි වගේ වතුර ලීක් ආවෙ නැත්තම්."

"හොඳයි මේ තාක්‍ෂනික කරුණු පොඩ්ඩක් පැත්තකින් තියල අපි යොමු වෙනවා මේ ව්‍යාපෘතියෙ ඉතිහාසයට​. මේ ව්‍යාපෘතිය මහින්ද මහත්තයගෙ අදහසක් කියන්නෙ ඇත්තද​?"

"උමා ඔය නිම්නයේ ජලය විදුලි බල උත්පාදනයට සහ කෘෂිකර්මය සඳහා යොදාගන්න පුළුවන් ද බලන්න මුලින්ම ශක්‍යතා අධ්‍යයනයක් කරේ 1959 ඇමරිකානු සහ කැනේඩියානු සමාගම් දෙකකින්. එතකොට මහින්ද මහත්තයට වයස අවුරුදු 14 යි."

"එහෙමද​? එතකොට ඊට පස්සෙ මොකද වුනේ?"

"ඊට පස්සෙ ශක්‍යතා අධ්‍යයන කීපයක්ම වුනා. වැදගත්ම එකක් තමයි 1987 දි ජර්මන් සමාගමකින් කරපු එක​. ඒකෙදි විදුලි බලාගාර තුනක් සහ ජලාශ තුනක් හදන්න යෝජනා කරා. මේ මුල් කාලීන යෝජනා ක්‍රම වලදි උමා ඔයේ සොබාවික ගමන් මාර්ගයේ වෙනසක් කරන්න උත්සහ කරේ නෑ. වතුර ටික අවසානයේදී රන්ටැඹේ ජලාශයටම වැටෙන විදිහට තමයි යෝජනා වුනේ."

"එතකොට මේක වෙනස් කරල උමා ඔයේ වතුර කිරිඳි ඔයට හරවන සංකල්පය මහින්ද මහත්තයගෙ යෝජනාවක් ද​?"

"උමා ඔයේ වතුර කිරිඳි ඔයට හරවන්න මුලින්ම යෝජනා කරන්නෙ 1989 දි. ඒ මධ්‍යම ඉංජිනේරු උපදේශක බියුරෝවෙන් (CECB)."

"ඊට පස්සෙ මොකද වුනේ?"

"2002 දි කැනේඩියානු සමාගමකින් නැවතත් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරනවා. ඒකෙදිත් බලන්නෙ උමාඔයේ වතුර කිරිඳි ඔයට හරවන්න​. ඊට පස්සෙ 2004 දි වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් තවත් ශක්‍යතා අධ්‍යයනයක් කරනවා. 2009 දි තමයි වර්තමාන යෝජනාව ඉදිරිපත් වෙන්නෙ."

"එතකොට මහින්ද මහත්තය මේකට කිසිම සම්බන්ධයක් නැද්ද​?"

"මහින්ද මහත්තය කරේ ලංකාවෙ දීර්ඝ කාලයක් තිස්සෙ එක තැන පල් වෙවී තිබ්බ ව්‍යාපෘති කීපයක් ක්‍රියාත්මක කිරීම. මේ අතරින් 1990 ගණන් වල ඉඳල පල් වුන ගල් අඟුරු බලාගාරය​, 1985 ඉඳල පල් වුන ඉහළ කොත්මලේ එහෙම ප්‍රධානයි. ඔබ දන්නවනෙ ලංකාවෙ ඕනම ව්‍යාපෘතියක් යෝජනා වුනාම ඒකට නොයෙක් සංවිධාන මගින් විවිධ විරෝධතා එන බව​? ඉතින් දේශපාලඥයන් මේ විරෝධතා ඉදිරියේ මේ ව්‍යාපෘති දියත් කරන්න අදි මදි කරනවා. මහින්ද මහත්තය එහම පල් වෙවී තිබ්බ ව්‍යාපෘතියක් තමයි මේ විදිහට පටන් ගත්තෙ."

"මේ විරෝධතා කියන්නෙ නරක දෙයක් නේද​?"

"නෑ. අනිවාර්‍යෙන්ම ඒ විරෝධතා එන්න ඕනෙ. ඒවයින් තමයි ව්‍යාපෘති වල තියෙන අඩුපාඩු සකස් වෙන්නෙ. නමුත් ඒ විරෝධතා සාධාරන සහ නම්‍යශීලී වෙන්න ඕනෙ. විවිධ යටි අරමුණු සහිතව මස් රාත්තලම ඉල්ලල කරන විරෝධතා වලින් වෙන්නෙ අනර්ථයක්."

"ඔබ සඳහන් කලා 2002 කැනේඩියානු ශක්‍යතා අධ්‍යනයක් ගැන​. මේකෙදි ඉදිරිපත් කෙරුණු ඇස්තමේන්තුව සහ වර්තමාන ඇස්තමේන්තුව අතර ලොකු වෙනසක් තියෙනව නේද​?"

"ඔව්. එහෙම චෝදනා ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් අපි වටහා ගන්න ඕනෙ ශක්‍යතා අධ්‍යයනයක් සහ ව්‍යාපෘතියක් දියත් වීම අතරතුරේදී ව්‍යාපෘතියේ සැලැස්ම සහ වපසරිය වෙනස් වෙන්න පුළුවන් කියන එක​. උදාහරණයකට 2002 යෝජනාවේ අඩංගු විදුලි බලාගාරය මෙගාවොට් 90 යි. වර්තමාන විදුලි බලාගාරය මෙගාවොට් 120 යි. මේ වගේ නොයෙකුත් වෙනස්කම් තවත් තියෙන්න පුළුවන්. උදාහරණයක්ට කිරිඳි ඔය නිම්නයේ සංවර්ධන කටයුතු මේ ඇස්තමේන්තු වලට අයත් වෙනවද​? එහෙනම් ඒ මොනවද​? වගේ කරුණු මත මේ ඇස්තමේන්තු වෙනස් වෙන්න පුළුවන්."

"එතකොට ඔබ කියන්නෙ මෙතන දූෂනයක් වෙලා නෑ කියලද​?"

"අපෝ නෑ. මම එහෙම කියන්නෙ නෑ. මම කියන්නෙ හරිහැටි දත්ත නැතුව දූෂනයක් වුනා හෝ නොවුනා කියන නිගමනයට එන්න බෑ කියල​. චෝදනාව ඉදිරිපත් කරන අය මේ දත්ත ඉදිරිපත් කළ යුතුයි. ඊට පස්සෙ සාධාරන සැකයක් තියෙනව නම් පරීක්‍ෂනයක් තියල දූෂනයක් වුනාද නැද්ද කියල තීරණය කරන්න පුළුවන්. දූෂනයක් වුනා වෙන්නත් පුළුවන්. මේක ලංකාව නෙ. ඒත් "අර ඇස්තමේන්තුව අච්චරයි. මේ ඇස්තමේන්තුව මෙච්චරයි. අටෙන් පහක් අඩු කරාම තුනයි." කියල මේ නිගමනයට එන්න බෑ."

"හරි අපි දැන් කතා කරමු මේ උමා ඔයෙන් අපි හරවන වතුරට මොකද වෙන්නෙ කියල​."

"මේ වතුර මුලින්ම පාවිච්චි වෙන්නෙ මෙගාවොට් 120 ක විදුලි බලාගාරයෙන් විදුලි උත්පාදනයට​. ඊට පස්සෙ ඒ වතුර මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 127 කට ලබා දෙනවා. ඒ මගින් අළුත් කුඹුරු හෙක්ටාර 3800 ක් සහ දැනට මහ කන්නය විතරක් වගා කරන කුඹුරු හෙක්ටාර 1500 වගා කෙරෙනවා. මේ මගින් දැනට තියෙන වැව් විශාල කිරීම වගේම අළුතින් වැව් කීපයක් සෑදීමත් සිද්ධ කෙරෙනවා. ඒ වැඩ කටයුතු දැනටම පටන් අරන් තියෙන්නෙ."

"හම්බන්තොට ටත් වතුර දෙනවද​?"

"නෑ. හම්බන්තොටට වතුර දෙන්න වෙනම වයාපෘතියක් ක්‍රියාත්මකයි. උමා ඔයේ වතුර ඒ සඳහා පාවිච්චි වෙන්නෙ නෑ."

"ඔබ ඔහොම කිව්වට ව්‍යාපෘති වාර්තා වල මේ වතුර හම්බන්තොටට ගෙනියනව කියල තියෙනවා නෙ."

"ව්‍යාපෘති වාර්තා කියන්නෙ ආණ් ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ එකක් නෙවෙයි. ඒව කාලයත් එක්ක අවශ්‍යයතාවයන් අනුව වෙනස් කරනවා. 2010 දි මේ වතුර හම්බන්තොටට ගෙනියන්න සැලසුම් කරා. ඒත් දැන් ඒ සැලසුම වෙනස් කරලා. දැන් මේ වතුර පාවිච්චි වෙන්නෙ මොණරාගල දිස්ත්‍රික්කයේ විතරයි."

"හොඳයි. මේ ව්‍යාපෘතියට තියෙන තවත් චෝදනාවක් තමයි ඊශාන දිග මෝසමෙන් ජලය ලබා ගන්න ගංගාවක වතුර ඊශාන දිග මෝසමෙන් ජලය ලැබෙන පැත්තකට ගෙනියනව කියල​."

"ඔය චෝදනාවෙ අවුල් කීපයක් තියෙනවා. මුලින්ම උමා ඔයේ අතු දෙකම පටන් ගන්නෙ හපුතලේ-ඔහිය​-පට්ටිපොළ ප්‍රදේශයෙන්. මේ ප්‍රදේශයට නිරිත දිග මෝසමෙනුත් වතුර ලැබෙනවා. ඒත් උමා ඔයට වැඩිපුර වතුර ලැබෙන්නෙ ඊශාන දිග මෝසමෙන්. ඊළඟට ඊශාන දිග මෝසමෙන් හැම තැනටම එක ගානට වතුර ලැබෙන්නෙ නෑ. උමා ඔය නිම්නයට වහින ප්‍රමානය කිරිඳි ඔය නිම්නයට වහින ප්‍රමානයට වඩා ගොඩක් වැඩියි. ඊ ළඟට කිරිඳි ඔය නිම්නයේ වැව් සංවර්ධනය කරන නිසා ඊශාන දිග මෝසමට වැස්සත් උමා ඔයෙන් එන වතුර රඳවා ගන්න ඒ වැව් වලට පුළුවන් වෙනවා. ඊට පස්සෙ ඒ වතුරෙන් වියළි කාලයට වගා කරන්න පුළුවන්. ඒ නිසා ඔය චෝදනාවෙ පදනමක් නෑ."

"එතකොට තවත් ලොකු චෝදනාවක් තියෙනව නේද උමා ඔයේ විශාල රොන් මඩ ප්‍රමානයක් එන නිසා අළුත් ජලාශ දෙක ඉක්මනින්ම පිරෙයි කියල​?"

"උමා ඔය කියන්නෙ විශාල රොන් මඩ ප්‍රමානයක් සහිත ගඟක්. ඒක හරි. ඒත් දැනටමත් මේ මඩ රන්ටැඹේ ජලාශයේ තැන්පත් වෙනවා. ඒ මඩෙන් කොටසක් පුහුල්පොළ සහ ඩයබරා ජලාශ වලට ගන්න එක කරන්නෙ. එතකොට රන්ටැඹේ ට නැති අමුතු ප්‍රශ්නයක් පුහුල්පොළටයි ඩයබරා ටයි එන්නෙ නෑ. ඊට අමතරව අළුත් ජලාශ දෙකේ මඩ ඉවත් කිරීම සඳහා තියෙන යාන්ත්‍රනය ගැන විශේෂ අවධානයක් යොමු කරල තමයි සැලසුම් කරල තියෙන්නෙ. අවසාහ වශයෙන්, දැනට රන්ටැඹේ පිරෙන මඩ ටික ජලාශ තුනකට බෙදා දීමෙන් ඒ ප්‍රශ්නය විසඳ ගන්න පහසු වීමකුත් වෙනවා."

"මේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් කරන ෆරාබ් සමාගම කාන්තාර වල තෙල් ළිං හාරන මේ වගේ ව්‍යාපෘති ගැන කිසිම අත්දැකීමක් නැති සමාගමක් ලු නේද​?"

"සම්පූර්නයෙන්ම වැරදි කතාවක්. මේ සමාගම ජල විදුලි ක්‍ෂේත්‍රයේ ඉතා ඉහළ අත්දැකීම් තියෙන සමාගමක්. ඔවුන් ඉරානය​, කෙන් යව​, ආමේනියාව, තාජිකිස්ථානය​, ඉරාකය සහ පාකිස්ථානය යන රටවල ජල විදුලි ව්‍යාපෘති 30 කට අධික ප්‍රමානයක් කරල තියෙනවා. මේ සමහර ව්‍යාපෘති මෙගාවොට් 1000 ක දැවැන්ත බලාගාර."

"හොඳයි මේ ව්‍යාපෘතියේ ප්‍රයෝජන මොනවාද​?"

"ප්‍රධාන ප්‍රයෝජනය තමයි කුඹුරු හෙක්ටාර 5000 කට අධික ප්‍රමානයක් වගා කරන්න ජලය ලැබීම​. මේකෙන් රටේ කෘෂි කාර්මික නිෂ්පාදනය වගේම මොණරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන මට්ටමත් ඉහළ යනවා. මොණරාගල කියන්නෙ අද ලංකාවෙ යුද්ධය නොතිබූ දිස්ත්‍රික්ක අතරින් දුප්පත්ම දිස්ත්‍රික්කය​."

"එතකොට විදුලි බලය පැත්තෙන්?"

"බලාගාරයේ ධාරිතාව මෙගාවොට් 120 ක්. මේක උපයෝගී කර ගන්නෙ විදුලි ඉල්ලුම වැඩිම පැය කීපයේ ජනනය සඳහා. ඒ කියන්නෙ හවස 6 සිට රාත්‍රී 9 දක්වා. මේ කාලසිමාවේ විදුලි ඉල්ලුම සම්පූර්න කිරීම තමයි අද ලංකාවේ විදුලි බල ක්‍ෂේත්‍රයේ ලොකුම අභියෝගය​. මේකෙන් ඒකට ලොකු උදව්වක් ලැබෙනවා. බලාගාරයේ වාර්‍ෂික ශක්ති ජනනය ගිගාවොට් පැය 230 ක්. ඒ කියන්නෙ විදුලි ඒකක මිලියන 230 ක්."

"මේක රුපියල් වලින් කිව්වොත් මොන වගේ ලාබයක් ද​?"

"මේ බලාගාරය නැත්තම් අපිට මේ විදුලි ප්‍රමානය උත්පාදනය කර ගන්නෙ වෙන්නෙ ඩීසල් වලින්. එතකොට ඩීසල් වලින් විදුලි ඒකකයක් නිපදවන්න ජල විදුලියට වඩා රුපියල් 25 ක් යනව කියල උපකල්පනය කරොත් අවුරුද්දකට රුපියල් බිලියන 5.57 ක ඉතිරියක්. ඊට අමතරව ඒ ඉතුරු වෙන ඩීසල් කියන්නෙ අපිට ඉතුරු වෙන විදේශ විනිමය​. මේ ව්‍යාපෘති වලට එරෙහි වෙන පරිසර වේදීන් මෙමගින් ඩීසල් දහනය අඩු වීම මගින් වක්‍රව ඇතිවන පරිසර හිතකාමී බව නොසලකා හැරීම කණගාටුවට කරුණක්."

"එච්චරද​?"

"නෑ. ඌව​-හම්බන්තොට​-අම්පාර ප්‍රදේශයේ දැනට තියෙන්නෙ විදුලි බලාගාර ඉතාම ස්වල්පයක්. ඒවත් අඩු ධාරිතාවක ඒවා. ඉතින් දුර ඉඳල මේ ප්‍රදේශ වලට විදුලිය සම්ප්‍රේෂනය කිරීමේදී ලොකු ශක්ති හානියක් වෙනවා. ඊට අමතරව පද්ධතියේ වෝල්ටීයතා පාලනය අපහසු වීමෙන් පද්ධතිය අස්ථාවර වෙනවා. මේ බලාගාර ආවොත් ඒ සියළු ප්‍රශ්න වලට හොඳ විසඳුමක් ලැබෙනවා."

"හොඳයි පාදඩයා. අපි මේ සාකච්ඡාව මෙතැනින් අවසන් කරනවා. ඔබට බොහොම ස්තූතියි. අවසාන වශයෙන් කියන්න යමක් තියෙනවද​?"

"අපි වර්තමාන ලෝකයේ පිළිපදින්නෙ නූතන බටහිර සංවර්ධන මොඩලය​. මේ මොඩලය අනුව කෙරෙන සංවර්ධන කටයුතු වලදී පරිසරයට බලපෑම් වෙන එක නවත්තන්න බෑ. අපිට කරන්න පුළුවන් බලපෑම් අවම කිරීම පමණයි. ඒ නිසා මේ වගේ දැවැන්ත සංවර්ධන වයාපෘතියකදී පරිසරයට බලපෑමක් වෙන එක අරුමයක් නෙවෙයි. ඉතින් අපි ඒ වගේ වෙලාවකදි කරන්න ඕනෙ ඒ ව්‍යාපෘතියට සම්බන්ධ වුන මිනිස්සු මරාගෙන කන එක නෙවෙයි. ඉවසීමෙන් ගැටළු විසඳගෙන ඉදිරියට යන එක​. පරිසරයට හානි නොවී සංවර්ධනය කරන්න බෑ. එහෙම අවශ්‍යය නම් අපි මේ සංවර්ධන මොඩලය ඉවත් කරලා වෙනත් සංවර්ධන මොඩලයක් කරා යන්න ඕනෙ. ඒක රටේ උගතුන් සහ බුද්ධිමතුන් අතර ඇති වෙන්න ඕනෙ කතිකාවක්. ඒත් අවාසනවට අපේ රටේ එවැනි කතිකා ඇති වීම වෙනුවට දේශපාලන පක්‍ෂ, කණ්ඩායම් සහ ජන මාධ්‍යය මගින් ප්‍රශ්න වවාගෙන කෑමක් තමයි සිදු කරන්නෙ. මේ දීර්ඝ සාකච්ඡාව නැරඹූ/සවන්දුන්/කියැවූ ඔබ සැමට ස්තූතියි."

Saturday, November 19, 2016

සමාජයීය වගකීම ගැන ජපන් කතාවක්



ජපානයේ සමාජයීය වගකීම ආරක්‍ෂා කෙරෙන හැටි ගැන​ පොඩි කතාවක් කියන්න යන්නෙ.

ජපානයේ නගර වල නිවාස වල එකතුවෙන කසල නිවෙස ළඟ පාරෙන් තියන්න ඕනෙ. එතකොට කසල එකතු කරන මිනිස්සු ඇවිල්ල ඒව එකතු කරගෙන යනව ප්‍රතිචක්‍රීකරණය කරන්න​​.

හැබැයි මේ වැඩේ කියන තරම් සරළ නෑ. නීති ගොඩයි.

මුලින්ම​, අපිට ඕනෙ විදිහට කසල පාරෙ තියන්න බෑ. ඒවට විශේෂ මලු තියෙනවා. ඒ මලු වල පමණයි කසල දාන්න ඕනෙ.

ඊළඟට, කසල එකතු කරල ප්‍රතිචක්‍රීකරණය කරන නිසා ඒව වර්ගීකරනය කරන්න ඕනෙ. ඒ කරදරයෙන් මිදෙන්න ඔවුන් අපූරු උපක්‍රමයක් යොදනවා. සතියේ එක එක දිනවල එකතු කරන්නෙ එක එක වර්ගයේ කසල පමණයි.

උදාහරණයකට​, සඳුදට පොලිතීන්. අඟහරුවාදට ප්ලාස්ටික් බෝතල්. බදාදට කඩදාසි. බ්‍රහස්පතින්දට වීදුරු. සිකුරාදට කාබනික දේවල්. සෙනසුරාදට ලෝහමය දේවල්. ඒ වගේ. (උදාහරණයක් විතරයි ඈ)

කසල එකතු කරන ආයතනය තමාගෙ වසමේ පදිංචිකාරයන්ට කසල එකතු කරන දවස් සහ එදාට එකතු කරන වර්ගය සටහන් කාල සටහනක් දීල තියෙනවා.

මේ වගේ එකක්

කවුරුහරි වැරදි දවසට වැරදි කසල එළියෙන් තිබ්බොත් හෝ නියමිත බෑගයේ නැතුව කසල එළියෙන් තිබ්බොත් හෝ කසල පාර පුරා විසිරෙන අන්දමට තිබ්බොත් හෝ වෙනත් පිස්සුවක් කෙලියොත් ඔවුන්ට දඩයක් ගෙවන්න වෙනව​. මේ දඩය ටිකක් ලොකු ගාණක්.

වැඩේ ස්මූත්ලි වෙනවද කියල මොනිටර් කරන්න පදිංචිකාරයො පිහිටුවගෙන ඉන්නව කමිටුවක්. සාමාන්‍යයෙන් කාන්තාවො තමයි කමිටුවෙ ඉන්නෙ. (ජපානයේ ගොඩක් කාන්තාවො රැකියා කරන්නෙ නෑ).

මම දන්න මහත්තයෙක් ඔහුගේ පවුලත් එක්ක මාස හයක විතර කාලයක් ජපානයේ පදිංචි වෙලා හිටිය​. මේ ඔහු මට කියපු ඔහුගේ අත්දැකීමක්.

පදිංචි වුන මුල දවස් වල මේ සෙල්ලම හරියටම මේ මහත්තයට මීටර් වෙලා නෑ. වැඩිය සීරියස් අරගෙනත් නෑ. දවසක් එයා ප්ලාස්ටික් බෝතල් දවසෙ ගෙදර තිබ්බ කාඩ්බෝඩ් වගයකුත් එළියෙන් තියල​.

කුණු එකතු කරන එවුන් එන්නෙ හවස හතරට විතර​. හවස තුනට විතර කවුදෝ ගෙදර දොරට තට්ටු කරාලු. දොර ඇරල බැලුවම තරුණ ගෑණු ළමයෙක්.

එයා මුලින්ම තමන්ව හඳුන්වල දුන්නලු. විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. එයාගෙ අම්ම තමයි ඒ පැත්තෙ කුණු කමිටුවෙ සභාපති. අම්ම තමයි මෙයාව එවල තියෙන්නෙ.

මේ ගෑණු ළමය බොහෝම විනීතව මේ මහත්තයට සහ බිරිඳට පැහැදිලි කරල දුන්නලු කුණු එකතු කරන සිස්ටම් එක​. ඒ කරල වැරදි දවසෙ වැරදි කුණු බැහැර කරන්න එපා ඔබට ලොකු දඩයක් ගෙවන්න වෙයි කියල කිව්වලු.

මේ මහත්තය සහ ඔහුගේ බිරිඳ බොහෝම ලැජ්ජාවට පත් වෙලා. ගෑණු ළමය ගියාම මහත්තය දඩබඩ ගාල දුවගෙන ගියාලු කාඩ්බෝඩ් ටික අරගෙන එන්න​. හැබැයි ඒ බෑග් එක තිබිල නෑ.

පස්සෙ කඩදාසි දවසෙ ඒ මහත්තය දැක්කලු තමාගෙ කාඩ්බෝඩ් ටික​ අර ගෑණු ළමයගෙ ගෙදර ඉස්සරහ තියල තියෙනවා.

ඒ ගෑණු ළමය ඒක තමාගෙ ගෙදරට අරගෙන ගිහිල්ල නියමිත දවස එනකං තියාගෙන ඉඳල.

මුලින්ම​, උං කුණු බැහැර කරන්න පාවිච්චි කරනව හරිම සරළ නමුත් හරිම දියුණු සිස්ටම් එකක්.

ඊළඟට ඒක කඩන එවුන්ට දැඩි දඬුවම් දෙනව​.

නමුත්, සිස්ටම් එක රන් කරන්න රජයට දීල මිනිස්සු බලාගෙන ඉන්නෙත් නෑ. මිනිස්සු සිස්ටම් එක හරියට රන් කරවන්න තමන්ම ස්වේඡාවෙන් ඉදිරිපත් වෙනවා.

වැරැද්දක් දැක්කම වැරැද්ද කරපු මිනිහා ඒක නිවැරදි කරනකං බලාගෙන ඉන්නෙ නැතුව ඒක තමාගෙ වගකීමක් බවට පත් කරගෙන තමා විසින්ම ඒක නිවැරදි කරනවා.

ඔන්න සෙල්ලම​.



Tuesday, September 13, 2016

මිනි හයිඩ්‍රෝ නම් පිළිකාව​.


විදුලි බලය නිපදවන ශක්ති ප්‍රභව ගනනාවක් ඇත​. සුළං, සූර්‍ය බලය​, ඩීසල්, ගල් අඟුරු, ස්වාභාවික වායු, න්‍යෂ්ටික බලය සහ ජලය ඉන් ප්‍රධාන වේ.

ලංකාවේ වාණිජ්‍යය මට්ටමින් විදුලි නිෂ්පාදනයට භාවිතා කෙරෙන්නේ ජලය​, ඩීසල්, ගල් අඟුරු, සුළං සහ සූර්‍ය බලයයි.

මේවා අතරින් ජලය ප්‍රධාන ස්ථානයක් උසුලයි. ලංකාවේ අර්ථ දැක්වීමට අනුව මෙගාවොට් 10 කට වැඩි ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර ප්‍රධාන ජල විදුලි බලාගාර ලෙසත්, මෙගාවොට් 10ට අඩු ධාරිතාවක් සහිත ජල විදුලි බලාගාර කුඩා ජල විදුලි බලාගාර හෙවත් මිනි හයිඩ්‍රෝ ලෙසත් හැඳින්වේ.

විදුලිය නිෂ්පාදනය සඳහා යම් ශක්ති ප්‍රභවයක් භාවිතා කිරීමේදී ප්‍රධාන වශයෙන් කරුණු 3ක් සැලකිල්ලට ගනී.

1. ලාබදායී බව​
2. පද්ධතියේ ස්ථායී බව​
3. පරිසර දූෂනය​

මෙම සෑම කරුනක් අතින්ම සලකා බැලීමේදී මිනි හයිඩ්‍රෝ යනු ඉතාමත් අවාසිදායී විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමයක් බව පෙනී යයි.


1. ලාබදායී බව​.


ඕනෑම ශක්ති ප්‍රභවයකින් විදුලි බලය නිෂ්පාදනය කිරීමට යම්කිසි පිරිවැයක් වියදම් වේ. මෙය ප්‍රභවයෙන් ප්‍රභවයට වෙනස් ය​. උදාහරණයකට ඩීසල් මගින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 40ක් පමණ වැයවන අතර​, ගල් අඟුරු මඟින් විදුලිය නිෂ්පාදනයට විදුලි ඒකකයකට රුපියල් 6ක් පමණ වැය වේ.

ජලය මඟින් විදුලිය නිෂ්පාදනයට වැය වන්නේ විදුලි ඒකකයකට රුපියල් 1ක් පමණ ඉතා කුඩා මුදලකි. ඩීසල් ගල් අඟුරු මෙන් නොව ජලය නොමිලේ ලැබීම මීට හේතුවයි.

එම නිසා තර්කානුකූලව සිතා බැලුවොත් මිනි හයිඩ්‍රෝ මඟින් විදුලිය නිෂ්පාදනය වැඩි වන විට, විදුලි ඒකකයක් සඳහා වන සාමාන්‍යය පිරිවැය අඩු විය යුතු අතර, ඒ ලාභය පාරිභෝගික ඔබට ලැබිය යුතුය​.

නමුත් එසේ වන්නේ නැත​.

ලංකාවේ මිනි හයිඩ්‍රෝ බලාගාර එකක් හැර අන් සියල්ලේම අයිතිය පුද්ගලික සමාගම් සතු වන වේ. මෙම සමාගම් තම බලාගාර මඟින් නිෂ්පාදනය කරන විදුලිය ලංකා විදුලි බල මණ්ඩලයට විකුනන අතර​, විදුලි බල මණ්ඩලය ඒ විදුලිය පාරිභෝගික ඔබට විකුණයි.

විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියලක් වත් වියදම් නොවූවත්, මේ පුද්ගලික මිනි හයිඩ්‍රෝ බලාගාර හිමියෝ තම විදුලිය විදුලි බල මණ්ඩලයට විකුණන්නේ රුපියල් 11 බැගිනි! සෑම විදුලි ඒකකයකින්ම ඔවුන්ට රුපියල් 10 පමණ ලාබය​.

ඔවුන් එසේ ලාබ ලබද්දී පාරිභෝගික ඔබ විදුලිය සඳහා ලෝකයේ ඉහළම මිලක් ගෙවයි.

ඒ මදිවාට ඔවුන් මේ ලාබ ඉපයීම සඳහා අමු ද්‍රවය්‍යක් ලෙස භාවිතා කරන්නේ ඔවුන් ගේ පුද්ගලික බූදලයක් නොව, ලංකා වාසී සියළුම දෙනාට සමසේ අයිතිය ඇති සොබාවික දිය පහරවල ඇති ජලයයි.

මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලය් ඒ පාලනයෙන් තොරය​. ඔවුන්ට කැමති විට නිෂ්පාදනය කිරීමටත්, කැමැති විට නිෂ්පාදනය නොකර සිටීමටත් ඔවුන්ට නිදහස ඇත​. මෙම තත්වය යටතේ අධික වර්‍ෂාව ලැබෙන කාලවලදී, විදුලි බල මණ්ඩලය සතු ජලාශ පිටාර දමද්දී පවා එම බලාගාර සතු උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් සමහර විට උද්ගත වේ. ඒ විදුලිය නිපදවන තරම් පද්ධතියේ ඉල්ලුමක් නැති බැවිනි. නමුත් එවැනි අවස්ථාවක මිනි හයිඩ්‍රෝ මගින් නිෂ්පාදනය කරන විදුලිය නොමැති වූවා නම්, මණ්ඩලය සතු බලාගාර වලට උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කළ හැක​.

නමුත් අද ඇති තත්වය යටතේ ජලාශ පිටාර දමද්දී මණ්ඩලයේ බලාගාර අඩු ධාරිතාවයෙන් ක්‍රියා කරන අතර​, මිනි හයිඩ්‍රෝ උපරිම ධාරිතාවයෙන් ක්‍රියා කරමින් අධික ලාභ උපයයි.


2. පද්ධතියේ ස්ථායී භාවය​


මිනි හයිඩ්‍රෝ මගින් ඉහළ විදුලි ජනනයක් කරනු ලබන්නේ වර්‍ෂාව අධික කාලයටය​. එම කාලයේදී විදුලි බල මණ්ඩලය සතු ජලාශ සඳහා ද ඇති තරම් ජලය ලැබෙන නිසා විදුලිය නිෂ්පාදනය ලොකු ප්‍රශ්නයක් නොවේ. විදුලි නිෂ්පාදනය ප්‍රශ්නයක් වන්නේ නියං සමයටයි. ඒ කාලවලදී මිනි හයිඩ්‍රෝ වල නිෂ්පාදනය අවම මට්ටමක පවතී. ඒ නිසා මිනි හයිඩ්‍රෝ මඟින් පද්ධතියේ ස්ථායී භාවයට ලැබෙන දායකත්වයක් නැති තරම් ය​.

ඇත්තෙන්ම කලිනුත් සඳහන් කළ ආකාරයට මිනි හයිඩ්‍රෝ බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන රටාව විදුලි බල මණ්ඩලයේ පාලනයෙන් තොර නිසා සමහර අවස්ථා වලදී පද්ධතියේ වෝල්ටීය තාවය අධික ලෙස ඉහළ යාම වැනි ප්‍රශ්න පවා ඇති වීමේ ඉඩක් ඇත​.


3. පරිසර දූෂනය​


බොහෝ දෙනා තුල ඇති අදහසක් වන්නේ ජල විදුලිය යනු පරිසර දූෂනය අවම ශක්ති ප්‍රභ්වයක් බවයි. නමුත් මෙය වැරදි සහගතය​.

විශාල හෝ කුඩා ජල විදුලි බලාගාරයක් සඳහා ජලය ලබා ගන්නේ ගංගාවක් හෝ වෙනත් දිය පහරක් හරස් කර එම ජලය වෙනත් මාර්ගයකට යොමු කිරීමෙනි. මෙය සොබාවික තත්වය මුළුමනින්ම උඩු යටිකුරු කිරීමකි.

විශාල විදුලි බලාගාර වලද මෙම තත්වය පවතින නමුත්, ඒවායින් අඩු මිලට විදුලි ජනනය කිරීමේ හැකියාව සහ නිෂ්පාදන ධාරිතාවය ඉහළ වීම නිසා සිදුවන හානිය සාධාරනීකරනය කළ හැක​. එමෙන්ම, විශාල ව්‍යාපෘති වලදී පරිසර හානිය ගැන තක්සේරුවක් කොට ඒ සඳහා ප්‍රතිකර්ම යම් දුරකට දෙනු ලබයි. උදාහරණයකට ඉහළ කොත්මලේ ජලාශය ඉඳි කිරීමේදී ලංකාවට ආවේනික වූ නිශාචර ගොළුබෙල්ලෙක් "නැවත පදිංචි කිරීමකට​" ලක් කෙරිනි.

නමුත් මිනි හයිඩ්‍රෝ බලාගාර ඉඳි කිරීමේදී එවන් පරිසර ඇගයීමක් සිදු නොකෙරේ. කිසිදු වග විභාගයකින් තොරව හිතූ හිතූ පරිද්දෙන් දිය පහර හරස් කරනු ලබයි. ඒ මදිවාට ඒවායින් ලැබෙන ලාබයක් හෝ මහ ලොකු ධාරිතාවක් නැත​.

අද මධ්‍යයම කඳුකරය පුරා දිය පහරවල් හරස් කරමින් ඉඳි කර ඇති සිය ගණන් වූ මිනි හයිඩ්‍රෝ බලාගාර නිසා සිදු වී ඇති මරිසර හානිය නිසි ගණනය කිරීමක් හෝ කර ඇත්දැයි සැක සහිතය​. මෙය කෙලින්ම රටේ හදවතට පිහියෙන් ඇනීමක් බඳු වේ. මෙහි ප්‍රතිඵල අපිට ලැබෙන්නෙ තව අවුරුදු 10 කිනි.


මිනි හයිඩ්‍රෝ ජාවාරම​


ලංකාවේ බොහෝ පුද්ගලික ව්‍යාපාර මෙන්ම මිනි හයිඩ්‍රෝ ද අද ජාවාරමකි.

මෙම ජාවාරම ඇරඹෙන්නේ ශක්‍යතා අධ්‍යනයේ පටන් ය​. මිනි හයිඩ්‍රෝ බලාගාරයක් සඳහා යම් කිසි ස්ථානයක ශක්‍යතා අධ්‍යනයක් කළ පසු, එම ස්ථානයේ අයිතිය එම අධ්‍යයනය කළ පුද්ගලයා සතු වේ. එතැන බලාගාරයක් ඉඳි කිරීමට නම්, ඔහුට ඉතා විශාල මුදලක් ගෙවා එම අයිතිය ඔහුගෙන් මිලදී ගත යුතුය​.

ඉන් පසු බලාගාරය ඉඳි කිරීම ඇරඹේ. එහිදී සිදුවන පරිසර හානිය ගැන අමුතුවෙන් කිව යුතු නැත​.

බලාගාරයේ විදුලි නිෂ්පාදය ඇරඹූ දින සිට බලාගාර හිමියා අධික ලාබ ලැබීම අරඹයි. මෙගාවොට් එකක විදුලි බලාගාරයක් දිනකට පැය දොළහක් ක්‍රියාත්මක වුවහොත් විදුලි ඒකක දොළොස් දාහක් නිෂ්පාදනක කළ හැක​. එවිට ඉන් ලබන ලාබය දිනකට රුපියල් එක් ලක්‍ෂ විසි දාහකි.

මතක තමා ගන්න​, මේ දිනකට පැය දොළහක් ක්‍රියා කරන බලාගාරයකින් ලැබෙන ලාබයයි. අධික වැසි සමයට බලාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක වේ.

ගල් අඟුරු මාෆියා, ඩීසල් මාෆියා, ඉංජිනේරු මාෆියා ගැන නිතර නිතර ඇසෙන්නට ලැබුණත්, ලංකාවේ විදුලි බල ක්‍ෂේත්‍රයේ සැබෑ මාෆියාව ඇත්තේ මෙතැනය​.

නවක වදය ගැන​....



රැග් එකේ තියෙන්නෙ "ෆන් එකක්" වත්, "අළුත් නංගිල මල්ලිලට කැම්පස් ඉන්න ඕනෙ විදිහ පරණ අයියල අක්කල කියල දෙන එකක් වත් නෙවෙයි. පැහැදිලිවම ඒක දේශපාලනිකයි. රැග් එකෙන් කරන්නෙ තමාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සිසුන් ගාල් කිරීම. අර උඩින් කියපුව ඒක වටේ තවරපු සීනි විතරයි. ඔය ඩෙනිම් විරෝධය, උප සංස්කෘතිය අරකද මේකද ඔක්කොම සීනි.

දේශපාලනික උවමනාවන් වෙනුවෙන් ගාල් කිරීම කියන්නෙ සමහර දේශපාලන පක්‍ෂ (ජේවීපී සහ පෙරටුගාමී) තමාගේ දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් යොදාගත හැකි ඔළුගෙඩි ගාන වැඩි කර ගැනීම. උදාහරණයකට කොළඹ තියෙන උද්ඝෝෂනයකට සහභාගී කරවිය හැකි සිසුන් ගාන වැඩි කර ගැනීම.
රැග් එකේ තියෙන ප්‍රධාන සංකල්පයක් තමයි "බැච් ෆිට් එක" බැච් ෆිට් එක කියන්නෙ බැච් එකම එක මතයක ඉන්න ඕනෙ කියන එක. මතුපිටින් බැලුවම මේක හරි ෂෝක් දෙයක්. ඒ වගේම මේක ප්‍රයෝජනවත් වෙන තැනුත් තියෙනව. නමුත් වැදගත් ප්‍රශ්නය තමයි බැච් එකම එකඟ වෙන "එක මතය" කාගෙ මතයද කියන එක. මේක බැච් එකේ බහුතරයකගේ මතය නෙවෙයි. බැච් එකේ දේශපාලනික පොරවල් ගෙ, මතය. ඔවුන් ගේ මතය අනෙක් අය වෙත ආරෝපණය කිරීමත්, ඊට අනුගත නොවෙන අය "අලයන්" ලෙස හංවඩු ගැසීමත් සිද්ධ වෙනවා.

උදාහරණයකට ලිප්ටන් වටරවුමේ තියෙන X නම් දේශපාලන කරුණ වෙනුවෙන් තියෙන උද්ඝෝෂනයකට සහභාගී වෙන හැමෝම X ගැන උනන්දුවක් තියෙන අය වෙන්නම ඕනෙ නෑ. නමුත් අලයෙක් ලෙස හංවඩු ගැසීමෙන් බේරෙන්න ඔවුන්ට ඒකට යන්න වෙනව.

ලංකාවෙ කැම්පස් වල ඉන්න බහුතරය ගම් වලින් හෝ අර්ධ නාගරික ප්‍රදේශ වලින් එන දුප්පත් හෝ පහළ මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ළමයි. ඒ අතර නාගරික ධනවත් ළමයිනුත් එනවා. නමුත් ඔවුන් සුළුතරයක්.
දැන් අර ඉහත කියපු ගම්බද සහ/හෝ දුප්පත් ළමයි තමාගෙ ජීවිත කාලය පුරාම විවිධ ආකාරයෙන් පසුව කියපු නාගරික සහ/හෝ ධනවත් සමාජය විසින් මාජිනලයිස් වුන අය. ඔවුන්ට ඒ සමාජය ගැන බියක් සහ වෛරයක් තියෙනවා.

ඒ වගේම සමහර පීඨ වල කෝස් එක කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඉතින් ඉංග්‍රීසි දැනුම අඩු ළමයින්ට කෝස් එක කර ගැනීම පිළිබඳ බියක් තියෙනවා.

මේ ප්‍රධාන කාරනා දෙක තමයි රැග් එක විසින් තම පැවැත්ම සඳහා භාවිතා කරන්නෙ.

රැග් සීසන් එකේදි නවකයන්ට දෙන තෙල් වලදි මේ කරුණු දෙක භාවිතා කරනවා ඔවුන් රැග් එක කෙරෙහි ආකර්‍ෂනය කර ගන්න.

නවකයන්ට ඔවුන් ගෙ සමාජ පසුබිම අමතක කරල "සරසවි උප සංස්කෘතියට" අනුගත වෙන්න කියනවා. රැග් සීසන් එකේදි තමාගෙ පාසැල මොකද්ද කියල ඇහුවොත් ඒකෙ නමින් කියන්න බෑ. ඒ වෙනුවට ඒ සඳහා සම්මත කරගත්ත අපහාසාත්මක යෙදුමක් පාවිච්චි කරන්න ඕනෙ. "අහවල් තැන අන්ඩර කඩේ". දෙමාපියන් ගෙ රැකියාවත් එහෙමයි. ඒ වගේම හැමෝම "යුනිෆෝම්" එකක් අඳින්න ඕනෙ. ඩෙනිම් බෑ. කෙල්ලො නම් චීත්ත ගවුම් විතරයි. සපත්තු බෑ. රබර් සෙරෙප්පු විතරයි.

මේකෙ මුඛ්‍යය අරමුන තමයි හැමෝම සමාන තැනකට ගේන එක. නමුත් සැබෑ අරමුන තමයි අර කිව්ව ගැමි/දුප්පත් ළමයින් ගෙ නාගරික/ධනවත් සමාජය ගැන තියෙන බිය, සැකය සහ වෛරය එක්ස්ප්ලොයිට් කිරීම. "බලපල්ල අරුන් පොෂ් අලයො. උංගෙ සල්ලි බලය සහ සමාජ බලය ප්‍රදර්ශනය කරනවා. හැමදාම කරා වගේ උං මෙතනදිත් උඹලව මාජිනලයිස් කරයි. ඒක නොවෙන්න නම් උඹල එකතු වෙලා උන්ට ඒක ප්‍රදර්ශනය කරන්න තියෙන අවස්ථාව නැති කරන්න ඕනෙ. බලපල්ලා උඹලගෙ සීනියර් ල උඹල වෙනුවෙන් පෙනී සිටිනවා. උඹලව ආරක්‍ෂා කරනවා". ඕක තමයි යටින් යන තීම් එක.

ඒ එක්කම කියනවා "ලෙචාල ඉන්නෙ උඹලව අන්නන්න බලාගෙන. ඉංග්‍රීසියෙන් ලෙකචර්ස් ගිහිල්ල උඹලට කෝස් එක ගොඩ දාන්න බෑ. ගොඩ යන්න නං කුප්පි ක්ලාස් යන්න ඕනෙ". කෝස් එක කම්ප්ලීට් කර ගන්න බැරි වෙයි කියන බය එක්ස්ප්ලොයිට් කරලා "අපි නැත්තං තොපි ෆේල්" කියල තීම් එක යවනව යටින්.

මේ ෆියර්මොංගරින් උපක්‍රම වලින් අලුත් බැච් එකක අති බහුතරය "කැමැත්තෙන්" රැග් වෙන මට්ටමට ගේනවා (මේ ඇති කරන බය සහමුලින්ම අසත්‍යය නොවන බවත් ඒවට යම්කිසි පදනමක් තියෙන බවත් කියන්න ඕනෙ).

ඊට පස්සෙ ඕන වෙනව සිස්ටම් එකට මුර බල්ලො. එතනදි තමයි අර මානසික රෝගී පකයල ටික එළියට එන්නෙ. උන් තමයි සිස්ටම් එක කඩන එවුන් ව හපා කන්න පාවිච්චි කරන්නෙ. කුණුහරුපෙන් බැනීමේ සිට බැච් එකේ කොන් කිරීම හරහා ඉතාමත් අශික්‍ෂිත උපක්‍රම දක්වා සියලු දේ පාවිච්චි කරනවා සිස්ටම් එකෙන් පනින එවුන් ආපහු ඇතුළට දාගන්න. මේ මුර බල්ලන් ගෙන් සෑහෙන පිරිසක් නවකයන් බවත් කියන්න ඕනෙ. මේ නවක මුර බල්ලො තමයි බැච් එකේ පොරවල් වෙන්නෙ. ඒ ප්‍රිවිලේජ් එක වෙනුවෙන් මේ මුර බල්ලො සිස්ටම් එක කඩන එවුන් ගැන ජේෂ්ඨයන්ට ඔත්තු සපයනවා. සිස්ටම් එක කඩන තමාගේ බැචාලට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හරිනවා.

ඊ ළඟට ඉන්නව මේක ආරක්‍ෂා කරන එවුන් ටික. උන් තමයි "රැග් එක හරි ෆන් මෙයාලා - කැම්පස් කාලෙ ඒවයෙන් මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ රැග් වෙච්ච ඒව තමයි. මේ ගොල්ලො කියනව වගේ මරාගෙන කන්නෙ නෑ අනේ. ඔය පොඩි පොඩි ගොංපාට් ටිකක් තමයි දෙන්නෙ. හරි ෂෝයි" වගේ කතා කියන්නෙ.

මේ තමයි මීහරක් රැළ. උන් තාම දන්නෙ නෑ උන්ට ඇරිය කියල. මේ පිරිස අර ඉහත කියපු භීතිකාවට අහුවෙලා රැග් වෙලා එක එකාගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් සහ මානසික රෝගී පකයල ගෙ මානසික රෝග වෙනුවෙන් වධ බන්ධනයන්ට ලක් වුන අය. හැබැයි උන් ඒක දන්නෙ නෑ. සිස්ටම් එක කඩන්න ලොකුවට ට්‍රයි කරේ නැති නිසා "මරාගෙන කන රැග් එකකට" ලක් වෙලා නෑ. හැබැයි උන් දන්නෙ නෑ හැමෝමටම ඒවගේ මල් රැග් ලැබෙන්නෙ නෑ කියල.

සිස්ටම් කඩන්න කැරලි කාර පුකේ උණක් තිබීම නිසා හෝ සිස්ටම් එකට අනුගත වෙන්න තරම් මානසිකත්වය ශක්තිමත් නොවීම නිසා හරියට අනුගත නොවෙන එවුන්ට අමානුෂික රැග් එකක් ලැබෙනවා. සමහර එවුන් මානසික රෝගී වෙනවා. දිවි නසා ගන්නව. කෝස් එක දාල යනවා. අර උඩ කියපු මල් රැග් කාපු මල් පොන්නයොන් ගෙ කතා වලින් ඒක වහනවා.


අනිතිමට කියන්න තියෙන්නෙ යමෙක් ගෙ කැම්පස් ජීවිතයේ මතක් කරල හිනා වෙන්න තියෙන්නෙ දේශපාලන පක්ස වලට කඩේ යාම සහ මානසික රෝගීන් ගේ විකෘති ආශාවන් සන්තර්පනය කිරීම පමණයි නම්, ඒ කැම්පස් ජීවිතේ හීනියට රෝල් කරල පුකේ ගහගන්න කියල තමයි.

ගබ්සාව ගැන​


ගබ්සාව පිළිබඳ මගේ මතය මේ වගේ.

පහත සඳහන් අවස්ථා වලදී වෛද්‍ය නිර්දේශයක් මත ගබ්සාව නීත්‍යානුකූල සහ රජයේ වියදමින් සිදු කළ යුතුයි.

1. මවගේ ජීවිතයට තර්ජනයක් වන විට
2. කළලය ඉතා දරුණු ආබාධයකින් පෙළෙන විට
3. දූෂනයකින් වන ගැබ් ගැනීමකදී

අනික් අවස්ථා වලදී ගබ්සාව අධිකරනයේ විශේෂ අනුමැතියකින් සහ කළලයේ වයස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලද කාල සීමාවක් ඉක්මවා නොමැති විට මව්පියන් ගේ වියදමින් සිදු කිරීමට අවසර දිය යුතුයි. එහිදී අවසර දීම සඳහා පහත කරුණු (පමණක් නොවේ) සලකා බැලිය හැකියි.

1. හදිසියේ ඇති වූ තත්වයක් නිසා දරුවා නිසි පරිදි නඩත්තු කිරීමේ ආර්ථික (හෝ වෙනත්) හැකියාව දෙමාපියන්ට අහිමි වීම.
2. ගැබ් ගැනීමෙන් පසු දෙමාපියන් දික්කසාද වීම.
3. ගැබ් ගැනීමෙන් පසු මව දීර්ඝ කාලයකට සිරගත වීම සහ දරුවා නඩත්තු කිරීමට වෙනත් භාරකරුවෙක් නොමැති අවස්ථාවකදී.
4. මවගේ මානසික මට්ටම දරුවෙක් නඩත්තු කිරීමට සුදුසු තත්වයක නොතිබීම සහ දරුවා නඩත්තු කිරීමට වෙනත් භාරකරුවෙක් නොමැති අවස්ථාවකදී.
5. එට්සෙක්ට්‍රා....

අනෙකුත් සියළුම අවස්ථාවන් හිදී ගබ්සාව නීති විරෝධී වන අතර, ගබ්සාවක් සිදු කරන අවස්ථාවකදී මව සහ ගබ්සාව සිදු කරන තැනැත්තා දැඩි දඬුවම් වලට ලක් කල යුතුයි.

ගබ්සාව යනු උපත් පාලන ක්‍රමයක් නෙවෙයි.

කොන්ඩම් පැකට් එකක් සුළු මුදලකට ඕනෑම ෆාමසියකින් ලබා ගන්න​ පුළුවන්.