Showing posts with label දිවෙහි රාජ්ජේ. Show all posts
Showing posts with label දිවෙහි රාජ්ජේ. Show all posts

Sunday, February 10, 2019

දිවෙහි උච්චාරනය​



දිවෙහි හෝඩිය "ශුද්ධ දිවෙහි" සහ "මිශ්‍ර දිවෙහි" කියල කොටස් දෙකකට බෙදන්න පුළුවන්. "ශුද්ධ දිවෙහි" අකුරු 25කින් සමන්විතයි. "මිශ්‍ර දිවෙහි" අකුරු 14 කින් සමන්විතයි. මිශ්‍ර දිවෙහි අකුරු වෙනත් භාෂා වලින් (වැඩි වශයෙන් අරාබි) ආපු ශබ්ධ​. ශුද්ධ දිවෙහි අකුරු ස්වදේශීය දිවෙහි ශබ්ධ නිරූපනය කරනවා. මේ ව්‍යංජනාක්‍ෂර වලට අමතරව ප්‍රාණාක්‍ෂර සඳහා යොදා ගැනෙන පිල්ලම් හෙවත් "ෆිලි" 11 කුත් දිවෙහි හෝඩියේ තියෙනවා.


ශුද්ධ දිවෙහි අකුරු උච්චාරනය​



ශවියනි

ශවියනි අකුර පැරණි දිවෙහි බසේ උසුරුවන්නේ "ශ​" හඬට "ර​" හඬක් මුසු කරමින්. එහිදී "ශ​" හඬ නැගීමට පළමුව දිව උඩු තල්ලේ ගැටීමක් සිදු කරනවා. නමුත් වර්තමානයේදී මේ උසුරුවන ක්‍රමය මදක් වෙනස් වෙලා ශවියනි හඬ නගන්නේ "ශ​" විදිහට​. නමුත් "ශි" සහ "ශෙ" ලෙස උසුරුවද්දී "ර​" හඬ මුසු කිරීම කෙරෙනවා.


රා

රා අකුර උසුරුවන්නේ "ර​" විදිහට​. ඒක ඉංග්‍රීසි "R" වගේ මෘදු විදිහට නෙවෙයි හඬ නංවන්නේ - සිංහල "ර​" වගේ බර දීලා.


ළවියනි

ළවියනි හඬ නැගීමේදී "ට" සහ "ඩ​" හඬ නැගීමේදී වගේ දිව පසුපසට නවලා උඩු තල්ලට තද කිරීමක් කෙරෙනවා.


ණවියනි

ණවියනි හඬ නගද්දිත් "ට" සහ "ඩ​" වගේ දිව පසුපසට නවලා උඩු තල්ලට තද කරන්න ඕනෙ.


zසවියනි

zසවියනි උසුරුවන්නේ ඉංග්‍රීසි "Z" අකුරට සමානව​.



මිශ්‍ර දිවෙහි අකුරු උච්චාරනය​


මිශ්‍ර දිවෙහි අකුරු බොහොමයක් අරාබි භාෂාවෙන් ආපු ශබ්ධ​. මේවා බොහෝ විට යොදා ගැනෙන්නේ ඉස්ලාමයට සම්බන්ධ අරාබි වචන සහ යෙදුම් වලදී. ඒ නිසා එදිනෙදා කතාබහේදී මේවා යොදා ගැනෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම මේ අරාබි ශබ්ධ ඒ ආකාරයෙන්ම හඬ නැගීම දිවෙහි රාජ්ජේ වැසියන්ට අපහසුයි. ඒ නිසා ඔවුන් බොහෝ විට ඒවා උසුරුවන්නේ තරමක් වෙනස්ව​.



ෆිලි උච්චාරනය​


ෆිලි යොදාගන්නේ ව්‍යංජනාක්‍ෂරයක්ට ස්වරයක් එක් කරන්න (උදා : ක්+උ=කු). ප්‍රානාක්‍ෂරයක් ලියද්දි යොදාගන්න විශේෂ අකුරක් තියෙනවා. ඒක හඳුන්වන්නේ "අලිෆු" කියලා. අලිෆු ට ෆිලි එක් කිරීමෙන් ප්‍රානක්‍ෂරයක් නිරූපනය කරන්න පුළුවන්.


އަ සහ އި එකට යෙදෙනකොට උසුරුවන්නේ එක්කෝ "අයි" විදිහට​. නැත්තම් "ඇ" විදිහට​.

සුකුන්


සුකුන් කියන්නේ "හල් කිරීම​" සඳහා හොදාගන්න අකුර​. සුකුන් උච්චාරනය කිරීම තරමක් සංකීර්නයි. සුකුන් සමඟ යෙදෙන ව්‍යංජනාක්‍ෂරය අනුව වගේම ඒත් එක්ක යෙදෙන අනිත් අකුරු අනුව සුකුන් උසුරුවන් හැටි වෙනස් වෙනවා.

දිවෙහි භාෂාවේ රීති වලට අනුව සුකුන් යෙදෙන්නෙ අකුරු පහකට පමණයි.

1. අලිෆු සුකුන් (އް)
2. ශවියනි සුකුන් (ށް)
3. තා සුකුන් (ތް)
4. නූනු සුකුන් (ން)
5. සීනු සුකුන් (ސް)


අලිෆු සුකුන් (އް)


1. වචනයක අවසානයේදී අලිෆු සුකුන් යෙදෙන විට ඊට මුලින් යෙදෙන අකුරේ හඬ එක වරම නැවතීමක් කෙරෙනවා (glottal stop).

උදා :
އެކެއް - එකෙʔ

2. වචනයක් මැද අලිෆු සුකුන් යෙදෙන විට ඊට පස්සෙ එන අකුරේ ශබ්ධය ද්විගුණ වෙනවා (gemination).

උදා :
ބައްޕަ - බප්ප​

3. නමුත්, වචනයක් මැද අලිෆු සුකුන් යෙදෙද්දි පසුව එන අකුර ප්‍රාණාක්‍ෂරයක් හෝ "හ​" නම් අලිෆු සුකුන් උසුරුවන්නේ "ං" විදිහට​.

උදා :
އެއްހާސް - එංහාස්


ශවියනි සුකුන් (ށް)


ශවියනි සුකුන් වලටත් බලපාන්නේ අලිෆු සුකුන්ට බලපාන රීති මයි. ශවියනි සුකුන් කිසිම විටෙක "ශ්" යනුවෙන් උසුරුවන්නේ නෑ.

උදා :
ރަށް - රʔ
އަށްޑިހަ - අඩ්ඩිහ​
އަށްހާސް - අංහාස්


තා සුකුන් (ތް)


තා සුකුන් වල උච්චාරනය රඳා පවතින්නෙ මුලින් යෙදෙන ස්වරය මත​.

1. මුලින් යෙදෙන ස්වරය "ඉ", "ඊ", "එ" හෝ "ඒ" නම්, එය උසුරුවන්නේ අලිෆු සුකුන් විදිහටමයි.

උදා:
ހިތް - හිʔ
ނެތް - නෙʔ

2. මුලින් යෙදෙන ස්වරය "අ" හෝ "ආ" නම්, එය උසුරුවන්නේ අලිෆු සුකුන් විදිහටමයි​ ඒත් මුලින් යෙදෙන​ ස්වරය "ඇ" හෝ "ඈ" බවට වෙනස් වෙනවා.

උදා :
ރަތް - රැʔ
މާތް - මෑʔ

3 මුලින් යෙදෙන ස්වරය "ඔ", "ඕ", "උ" හෝ "ඌ" නම්, එය උසුරුවන්නේ "ඉ" අකුරක් සහ අලිෆු සුකුන් විදිහට​.

උදා:
އޮތް  - ඔඉʔ
މުތް - මුඉʔ
ތޮތްޕެއް - තොප්පෙʔ
ދަތް އަޅާ - දැංඅළා

තා සුකුන් කිසිම විටෙක "ත්" යනුවෙන් උසුරුවන්නේ නෑ


නූනු සුකුන් (ން)


නූනු සුකුන් වල උච්චාරනය රඳා පවතින්නේ ඊට පසුව එන අකුර මත​.

1. වචනයක අවසානයේ යෙදෙන කොට නූනු සුකුන් උසුරුවන්නේ "ං" විදිහට

උදා:
ކާން - කාං

2. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර ස්වරයක්, "ක​", "ග​" හෝ "හ​" නම්, නූනු සුකුන් උසුරුවන්නේ "ං" විදිහට​.

උදා:
އަންހެން - අංහෙං
ސިންގާ - සිංගා

3. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ත​" හෝ "ද​" නම්, උසුරුවන්නේ "න්" විදිහට​

උදා:
ބަންދު - බන්දු

4. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ට​​" හෝ "ඩ​​" නම්, උසුරුවන්නේ "ණ්" විදිහට

උදා:
ހަންޑި - හණ්ඩි

5. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ප​​​" හෝ "බ​​​" නම්, උසුරුවන්නේ "ම්" විදිහට

උදා:
ޕަންޕު - පම්පු

6. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "ව​​​​" හෝ "ෆ​​​​" නම්, උසුරුවන්නේ "ංම්" විදිහට

උදා"
ކަރަންފޫ - කරංම්ෆු

7. වචනයක මැද යෙදෙනකොට​, ඊළඟ අකුර "න​​​​​​" හෝ "ම​​​​​" නම්, ඒ අකුර ද්විගුණ වෙනවා.

උදා:
އަންނަން - අන්නං
މަންމަ - මම්ම


සීනු සුකුන් (ސް)


සීනු සුකුන් හැම විටම උසුරුවන්නේ "ස්" කියල​.

උදා:
ލަސް - ලස්


"හුස් අකුරු"


හුස් අකුරු කියල හඳුන්වන්නේ ෆිලි නොමැති අකුරු. දිවෙහි භාෂාවේ රීති වලට අනුව සාමාන්‍යයෙන් ඕනම අකුරක් ලියද්දි ෆිලි එකතු කරන්න ඕනෙ. ඒත් අවස්ථා කීපයකදි ෆිලි නැති හුස් අකුරු ලියනවා.

හුස් නූනු (ނ)


හුස් නූනු යෙදෙන්නේ "ග​", "ඩ​", "ද​" සහ "බ​" අකුරකට කලින්. හුස් නූනු යෙදීමෙන් ඒ අකුරු සංඥක අකුරු බවට පත් කෙරෙනවා.

උදා:
އަނގަ - අඟ​
ބަނޑު - බඬු
ހަނދު - හඳු
އަނބު - අඹු


හුස් රා (ރ)


හුස් රා යෙදෙන්නෙ ඉංග්‍රීසි භාෂාවේ වගේ මෘදු "ර්" උච්චාරනයක් ඇති තැන් වල​

උදා:
ޑޮކްޓަރ - ඩොක්ට​(ර්)
ޑައިރެކްޓަރ - ඩරිරෙක්ට​(ර්)



Saturday, February 2, 2019

දිවෙහි බස​



"දිවෙහි" කියන්නෙ මාලදිවයිනේ ජනතාව අයත් වෙන ජන වර්ගය හඳුන්වන නම​. ඔවුන් ගේ භාෂාව හැඳින්වෙන්නෙත් ඒ නමින් මයි. "දිවෙහි" කියන එකේ තේරුම "දූපත් වල වැසියෝ" කියන එක​. දිවෙහි බසින් මාලදිවයින හැඳින්වෙන්නේ "දිවෙහි රාජ්ජේ" කියල​. ඒකෙ තේරුම "දූපත් රාජ්‍යය​" කියන එක​.

දිවෙහි භාෂාව "ඉන්දු - ආර්‍ය​" භාෂා පවුලේ සාමාජිකයෙක්. ඒක අයත් වෙන්නේ "දකුණු දිග" උප පවුලට​. මේ දකුණු දිග ඉන්දු - ආර්‍ය භාෂා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ මහාද්වීපික සහ දූපත් කියල​. මහාද්වීපික භාෂා අතරට ගැනෙන්නේ මරාති, කොන්කනි, කත්කරි වගේ ඉන්දියානු උප මහාද්වීපයේ බටහිර ප්‍රදේශ වල කතා කරන භාෂා.

දකුණු දිග ඉන්දු - ආර්‍ය භාෂා වල "දූපත්" ගණයට වැටෙන භාෂා දෙකක් තියෙනවා. ඒ සිංහල සහ දිවෙහි.

දිවෙහි වරු මාලදිවයිනට එන්නෙ ක්‍රි.පූ. හතරවෙනි සියවසේදී පමණ ලංකාවෙ ඉඳලා. ඒ කියන්නෙ ලංකාවේ ලිඛිත ඉතිහාසය පටන් ගත්ත කාලෙදිම වගේ. මේ සංක්‍රමන දීර්ඝ කාලයක් තිස්සේ සිදු වෙලා තියෙනවා. ඒ කාලයේ "එළු" කියල හැඳින්වුනු ලංකාවේ කතා කෙරුණු ආදි සිංහල භාෂාවෙන් බිඳී ගිහින් තමයි දිවෙහි භාෂාව බිහි වෙලා තියෙන්නෙ.

මේ නිසා දිවෙහි භාෂාව සිංහල භාෂාවට ඉතාමත් කිට්ටු සමානකමක් දක්වනවා. ඒ වගේම 12 වන සියවසේ දී ඉස්ලාම් ආගම පැමිණීමත් එක්ක අරාබි භාෂාවෙන් දිවෙහි බසට සෑහෙන බලපෑමක් වෙලා තියෙනවා.

වර්තමානයේදී දිවෙහි භාෂාව මව් බස විදිහට කතා කරන 340,000 ක පමණ ජනතාවක් මාලදිවයිනේ සහ තවත් 10,000 ක පමණ ජනතාවක් ඉන්දියාවට අයත් "මලිකු" හෙවත් "මිනිකෝයි" දූපතේ වාසය කරනවා.


දිවෙහි බසේ උප භාෂා


මාලදිවයින සමන්විත වෙන්නේ දූපත් පොකුරු හෙවත් අතොළු ගණනාවකින්. අතීතයේ මේ දූපත් පොකුරු අතර ගමනාගමනය දුෂ්කර වුනා. මේ නිසා මේ දූපත් පොකුරු පැවතුනේ එකිනෙකාගෙන් හුදෙකලාව​. මේ භූගෝලීය සාධකය නිසා දිවෙහි බස උප භාෂා ගණනාවකින් සමන්විත වුනා.

වර්තමානයේදී ගමනාගමනයේ දියුණුවත් එක්කම මේ උප භාෂා බොහොමයක් අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒත් අදටත් උප භාෂා හයක් හඳුනාගන්න පුළුවන්.

1. මාලේ බස්
2. මලිකු බස් (මොහ්ල්)
3. හද්දුන්මති බස්
4. හුවදු බස්
5. මුලාකු බස්
6. අඩ්ඩු බස්

මේවා අතරින් හුවදු බස්, මුලාකු බස් සහ අඩ්ඩු බස් පොදුවේ "දකුණු දිග උප භාෂා" කියල හඳුන්වනවා. මේ දකුණු දිග උප භාෂා මාලේ බස් වලට වඩා සැලකිය යුතු වෙනස්කම් වලින් යුක්තයි.

උපභාෂා වල භූගෝලීය ව්‍යාප්තිය​

මාලේ බස්


දිවෙහි බසේ ප්‍රධාන උපභාෂාව සහ "නිළ​" භාෂාව වෙන්නේ මාලේ බස්. උතුරුදිග අතොළු සියල්ලේම කතා කරන්නේ මාලේ බස්.


මලිකු බස්


ඉන්දියාවට අයත් මලිකු දූපතේ කතා කෙරෙන්නෙ මලිකු බස්. මලිකු බස් මාලේ බස් වලින් වෙනස් වෙන්නෙ මද වශයෙන්.


හද්දුන්මති බස්


දකුණට වෙන්න පිහිටි අතොළුවක් වන හද්දුන්මති අතොළුවේ කතා කෙරෙන උප භාෂාව හද්දුන්මති බස්. මාලදිවයින බෞද්ධ රාජ්‍යයක්ව පැවති කාලයේ හද්දුන්මති අතොළුව ප්‍රධාන බෞද්ධ මධ්‍යස්ථානයක් වුනා. ඒ වගේම දිවෙහි බසින් ලියැවුනු පුරාණම ලියවිලි හමුවෙලා තියෙන්නෙ හද්දුන්මති අතොළුවෙන්.


හුවදු බස්


දකුණුදිග අතොළුවක් වන හුවදු අතොළුවේ කතා කෙරෙන උප භාෂාව හුවදු බස්. සිංහල භාෂාවට වඩාත්ම සමාන උප භාෂාව වෙන්නේ හුවදු බස්. බොහෝ විට මේකට හේතුව හුවදු අතොළුව සහ ලංකාව අතර කෙරුණු සමීප වෙළඳ ගනුදෙනු වෙන්න පුළුවන්. සිංහලයෙන් ආපු වචන විශාල ප්‍රමාණයක් හුවදු බස් වල අඩංගුයි.


මුලාකු බස්


මාලේ බසින් වඩාත්ම වෙනස් උප භාෂාව මුලාකු බස්. මුලාකු බස් කතා කෙරෙන්නේ දකුණු දිග අතොළුවක් වන ෆුවාමුලාකු හි. මුලාකු බස් හි වඩාත්ම කැපී පෙනෙන ලක්‍ෂනය වෙන්නේ වචනයක අගට යෙදෙන "ල්" ශබ්ධය​. එය වෙනත් කිසිම උප භාෂාවක නැති ලක්‍ෂනයක්. ඒ වගේම අනෙක් උප භාෂා වල "උ" ස්වරයෙන් අවසන් වන වචන මුලාකු බස් හි අවසන් වෙන්නෙ "ඔ" ස්වරයෙන් (ෆන්නු - ෆන්නො). තවත් වෙනසක් වෙන්නේ "ශ​" උසුරුවන ආකාරය​. මාලේ බස් වල දී "ශ​" උසුරුවන්නේ එයට "ර​" ශබ්ධයකුත් එක් කරමින්. ඒත් මුලාකු බස් වල එය උසුරුවන්නේ "ෂ​" විදිහට​.


අඩ්ඩු බස්


වඩාත්ම දකුණින් පිහිටි අඩ්ඩු අතොළුවේ කතා කෙරෙන්නේ අඩ්ඩු බස්. අඩ්ඩු බස් මුලාකු බස් වලට යම්කිසි සමානකමක් දක්වනවා. ඒ වගේම අඩ්ඩු අතොළුව අතීතයේ සිටම උගතුන් බිහිවුනු අතොළුවක් නිසා අනෙකුත් උප භාෂා වලට වඩා අඩ්ඩු බස් විධිමත් සොබාවයක් ගන්නවා. දකුණු දිග අතොළු තුනේ පොදු භාෂාව විදිහට භාවිතා වෙන්නේ අඩ්ඩු බස්.


දිවෙහි හෝඩිය​


දිවෙහි හෝඩිය අතීතයේ සිට වර්තමානය දක්වා විශාල පරිවර්තන රැසකට මුහුණ දීලා තියෙනවා.

පැරණිම දිවෙහි අකුරු හමුවෙන්නේ ක්‍රි.ව​. 7 වෙනි සියවසෙන්. ඒ කොරල් ගල් වල ලියැවුනු සෙල් ලිපි විදිහට​. මේ අකුරු අද "එවේල අකුරු" නමින් හැඳින්වෙනවා. එවේල අකුරු පැරණි බ්‍රාහිමී අක්‍ෂර මත පදනම් වෙලා තියෙනවා.

ක්‍රි.ව​. 12 වෙනි සියවසේ ලියැවුනු "ලෝමාෆානු" නමින් හැඳින්වෙන තඹ සන්නස් වල තියෙන අකුරු එවේල අකුරු වලින් තරමක් වෙනස්. ඒවා එවේල අකුරු වල පරිනාමයෙන් බිහිවුනු බව පැහැදිලියි. මේ අකුරු අද හැඳින්වෙන්නේ "දිවෙස් අකුරු" නමින්.

18 වෙනි සියවසේ මුල් භාගයේදී "ෆන්ඩිත​" හෙවත් යකැදුරන් තමාගේ රහස් බෙහෙත් වට්ටෝරු ලියා තියන්න "තාන​" නමින් හැඳින්වුනු රහස් හෝඩියක් නිර්මානය කර ගත්තා. මේ හෝඩියේ අකුරු අරාබි අකුරු මත පදනම් වෙලා නිර්මානය වෙලා තියෙනවා. පසුව උගතුන් විසින් අරාබි වචන සහ යෙදුම් දිවෙහි බසින් ලිවීමේදී තාන හෝඩිය භාවිතා කරන්න පටන් ගත්තා. ක්‍රමයෙන් තාන අකුරු දිවෙහි ලිවීමේ ප්‍රධාන ක්‍රමය බවට පත් වුනේ දිවෙස් අකුරු භාවිතය අභාවයට යවමින්. නමුත් 20 වෙනි සියවසේ මැද භාගය වන තුරු දිවෙස් අකුරු භාවිතය සම්පූර්නයෙන්ම නැති වුනේ නෑ.

වර්තමානයේදී දිවෙහි බසේ නිළ හෝඩිය විදිහට සැලකෙන්නේ තාන අකුරු.


එවේල අකුරු


බ්‍රාහ්මී අක්‍ෂර මත පදනම් වුනු එවේල අකුරු බැලූ බැල්මට සිංහල අකුරු වලට ඉතා සමීප බවක් උසුලනවා. "එවේල අකුරු" කියන එකේ තේරුම "පැරණි අකුරු" කියන එක​. එවේල අකුරු හමු වෙන්නේ කොරල් ගල් වල ලියැවුනු සෙල් ලිපි කීපයක පමණක් නිසා සම්පූර්ණ එවේල අකුරු හෝඩිය ප්‍රති නිර්මානය කර ගැනීමට පුරා විද්‍යාඥයන් අසමත් වෙලා තියෙනවා.

එච්.සී.පී. බෙල් මහතා එවේල අකුරු ප්‍රතිනිර්මානය කිරීමේදී පුරෝගාමී මෙහෙයක් කරල තියෙනවා.

එවේල අකුරු


දිවෙස් අකුරු


එවේල අකුරු පරිණාමය වීමෙන් තමයි දිවෙස් අකුරු නිර්මානය වෙලා තියෙන්නෙ. තඹ පත් වල ලියන්න සුදුසු ආකාරයෙන් අකුරු හැඩ ගැහිල තියෙනවා. ඒ එක්කම සිංහල බසට තිබුනු සමානකම් සෑහෙන පමණ අඩු වෙලා තියෙනවා. මෙහිදී "අං" ශබ්ධය නැති වී තිබීම විශේෂත්වයක්.

දකුණු දිග අතොළු වල​, විශේෂයෙන් අඩ්ඩු අතොළුවේ දෙවැනි ලෝක යුද්ධ සමය වන තුරු දිවෙස් අකුරු භාවිතය තිබිල තියෙනවා. නමුත් වර්තමානයේදී දිවෙස් අකුරු දන්න මාලදිවයින් වැසියන් ඉන්නෙ අතළොස්සක් පමණයි.

දිවෙස් අකුරු

තාන


වර්තමානයේ නිළ දිවෙහි හෝඩිය විදිහට භාවිතා වෙන්නේ තාන අකුරු. තාන අකුරු අරාබි අකුරු ඇසුරෙන් නිර්මානය කර ගත්ත නිසා තාන අකුරු ලියන්නේ දකුණේ සිට වමට​. දකුණේ සිට වමට ලියන එකම ඉන්දු - ආර්‍ය භාෂාව වෙන්නේ දිවෙහි.

තාන හෝඩිය පැරණි දිවෙහි බසින් ආ ශබ්ධ වලින් වගේම අරාබි බසින් ආ ශබ්ධ වලිනුත් සමන්විතයි. නමුත් මේ අරාබි ශබ්ධ දිවෙහි බසේ වචන වල යෙදෙන්නෙ කලාතුරකින්. බොහෝ විට ඒවා යොදා ගැනෙන්නෙ අරාබි වචන සහ යෙදුම් (විශේෂයෙන් ඉස්ලාමය හා සම්බන්ධ) ලිවීමේදී.

තාන හෝඩිය පණකුරු 10 ක්, ගතකුරු 39 ක්, හල් කිරීම සඳහා භාවිතා කරන "සුකුන්" නමින් හැඳින්වෙන අකුර සහ ගතකුරු නොමැතිව පණකුරු ලිවීමේදී භාවිතා කරන "අලිෆු" නමින් හැඳින්වෙන විශේෂ අකුරකින් සමන්විතයි.

1950 සිට "ණ​" අකුර හෙවත් "ණවියනි" තාන හෝඩියෙන් ඉවත් කර තියෙනවා. ඒත් සමහර අවස්ථා වලදී ඒක තාන හෝඩිය ලිවීමේදී ඇතුලත් කෙරෙනවා.

බොහෝ තාන අකුරු සඳහා ඉංග්‍රීසි අකුරක් (හෝ අකුරු දෙකක සංයෝජනයක්) නියම කරල තියෙනවා. ඒ දිවෙහි වචන ඉංග්‍රීසි හෝඩිය භාවිතයෙන් ලිවීම සඳහා.

තාන හෝඩිය​

තාන අකුරු වල ප්‍රභවය​


තාන අකුරු මුල් දිවෙහි බසේ වගේම අරාබි බසේ ශබ්ධත් උසුරුවන්න පුළුවන් ආකාරයටයි නිර්මානය කරල තියෙන්නෙ. මේ නිසා අපිට ප්‍රධාන වශයෙන් තාන අකුරු කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ දිවෙහි ශබ්ධ සහ අරාබි ශබ්ධ විදිහට​.

දිවෙහි ශබ්ධ ගණයට වැටෙන්නේ තාන හෝඩියේ පළවෙනි අකුරු 24. ඒ "හා" සිට "චවියනි" දක්වා තියෙන අකුරු.

මේ අකුරු අතරින් ෆාෆු සහ ශවියනි සුවිශේෂයි. ඒ එම ශබ්ධ දෙක ඉන්දු - ආර්‍ය භාෂා වල නොමැති ශබ්ධ වීම නිසා. ෆාෆු උසුරුවන්නේ ඉංග්‍රීසි F අකුරට සමානව​. ශවියනි උසුරුවන්නේ ශ අකුරට ර ශබ්ධයකුත් මුසු කරලා.

ඒ වගේම zසවියනි සහ ජවියනි දිවෙහි ශබ්ධ ලෙස ගැනුනත්, ඒවා ඇත්තෙන්ම පර්සියානු බසින් ණයට ගත් ශබ්ධ​.

අරාබි ශබ්ධ විදිහට ගැනෙන්නේ තාන හෝඩියේ ඊළඟ අකුරු 14. ඒ කියන්නෙ ට්ටා සිට හ්වාවු දක්වා තියෙන අකුරු. මේ අකුරු ශබ්ධ කරන ආකාරය සිංහල බස හුරු අයෙක්ට ආගන්තුකයි. ඒ වගේම දිවෙහි බසෙත් මේවා යෙදෙන්නෙ කලාතුරකින්. විශේෂයෙන් හ්වාවු, ට්ටා, තාලු වගේ අකුරු යෙදෙන්නේම නැති තරම්.

මේ අකුරු උසුරුවන ආකාරය ගැන දිවෙහි කතා කිරීමේදී එච්චර ලොකු සැලකිල්ලක් දක්වන්නේ නෑ. ඒවා නිවැරදි අරාබි උච්චාරනයෙන්ම කරන්න ඕනෙ කියල බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඊට ළඟින් යන දිවෙහි උච්චාරනයක් කිරීම ප්‍රමානවත් වෙනවා. උදාහරණයකට දාදු උසුරුවන්නේ "ත්ද​" කියල වුනත්, ඒක "ද​" කියල කිව්වත් ලොකු වැරැද්දක් නෑ.

මේ අකුරු භාවිතා කරන්නේ අරාබි වචන සහ යෙදුම් ලිවීමට​. ඒ නිසා මේ අකුරු ලිඛිත භාෂාවට බොහෝ දුරට සීමා වෙනවා.

Saturday, December 22, 2018

එක්සත් සුවදීව් ජනරජය



පසුබිම​


මාලදිවයින සමන්විත වෙන්නෙ අතොළු කියල හැඳින්වෙන දූපත් පොකුරු 26 කින්. මේවා උතුරේ ඉඳන් දකුණට විසිරිලා තියෙනවා. දකුණේම පිහිටි අතොළු තුන වෙන්නේ හුවදු, ෆුවාමුලාකු සහ අඩ්ඩු.

මේ දකුණෙන්ම පිහිටි අතොළු තුන භූගෝලීය වශයෙන් අනෙක් අතොළු වලින් වෙන් වෙලා තියෙන්නෙ. දකුණු දිග අතොළු තුන සහ උතුරු දිග අතොළු අතර තරමක් විශාල ඕඩයක් තියෙනවා. මේක හැඳින්වෙන්නේ "සුවදීව් ඕඩය​" කියලා. සුවදිව් කියන්නෙ අතීතයේ හුවදු අතොළුව හඳුන්වපු නමක්.


මාලදිවයින ක්‍රි.පූ. 300 දී පමණ ලංකාවෙන් යන මිනිස්සුන් ගෙන් ජනාවාස වෙනවා. මේ අය හැඳින්වෙන්නේ "දිවෙහි" කියලා. ඔවුන් කතා කළ භාෂාව "දිවෙහි". ඔවුන් ගේ ආගම වුනේ වජ්‍රයානික බෞද්ධ​.

මාලදිවයිනේ මුල් කාලයේ ඒකීය මධ්‍යගත පාලනයක් තිබුනේ නෑ. ඒ ඒ අතොළුව ස්වාධීනව අතොළු ප්‍රධානියෙක් යටතේ පාලනය වුනා. නමුත් සියළුම අතොළු අතර පොදු සංස්කෘතියකින් බැඳුනු සහයෝගීතාවයක් තිබුනා.

ලංකාවට වඩාත්ම සමීපයෙන් තිබුනේ දකුණු දිග අතොළු නිසා දිවෙහි වරු මාලදිවයින ජනාවාස කිරීම ඇරඹුවේ දකුණේ ඉඳලා. මේ නිසා අතීතයේ පටන් දිවෙහි සංස්කෘතියේ මධ්‍යස්ථානය වුනේ දකුණු දිග අතොළු. අදටත් මාලදිවයිනේ බෞද්ධ නටබුන් වැඩිපුරම තියෙන්නෙ දකුණු දිග අතොළු වල​. විශේෂයෙන්ම හුවදු අතොළුවේ විශාල ආරාම සංකීර්ණයක නටබුන් හමුවෙනවා. මේ ආරාමයන් එදා දිවෙහි සංස්කෘතියේ අරටුව විදිහට පවතින්න ඇති.

 දකුණු දිග අතොළු වාසීන් අතර පොත් කියවීම සහ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම මුල්බැසගෙන තිබුනා. මේ නිසා දකුණු දිග අතොළු වල පදිංචිකරුවන් අතර තමා අනෙක් අතොළු වල පදිංචි කරුවන්ට වඩා සංස්කෘතිකව උසස් බව හැඟීමක් තිබුනා. ඔවුන් උතුරු දිග අතොළු සැලකුනේ "ග්‍රාමීය​" ප්‍රදේශ විදිහට​.

මාලදිවයින පළමු වරට එක්සත් වෙන්නේ ලංකාවෙන් ගිය කුමාරයෙක් යටතේ ක්‍රි.ව​. 1100 දී පමණ​. මේ කුමාරයා තමාගේ අගනුවර විදිහට තෝරා ගන්නේ උතුරු දිග අතොළුවක දූපතක් වුනු මාලේ දූපත​. ක්‍රි.ව​. 1153 දී මාලදිවයිනේ පාලකයා (රදුන්) ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා. ඒ එක්කම ඔහු තමාගේ සියළුම යටත් වැසියන් ඉස්ලාමය වැළඳගත යුතු බවට අණ කරනවා. කෙටි කලකින් මාලදිවයිනේ බෞද්ධ ආගම යටපත් වෙලා ඉස්ලාමය ඉස්මතු වෙනවා.

මේ වෙනස් කම් දෙක මාලදිවයින් ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් දෙකක්. මේ සිදුවීම් දෙකත් එක්ක මාලදිවයිනේ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානය වෙන්නෙ මාලේ සහ ඒ අවට පිහිටි අතොළු. දකුණු දිග අතොළු වලට මේ දක්වා තිබුනු වැදගත් කම නැති වෙලා යනවා. වෙළඳාම ගොඩ නැගෙන්නේ අළුත් අගනුවර වුනු මාලේ වටා. ඒ එක්කම ඉස්ලාමය මත පදනම් වෙන නව සංස්කෘතියේ මධ්‍යස්ථානය වෙන්නෙත් මාලේ.

කාලයත් එක්ක මාලදිවයින ක්‍රමයෙන් මධ්‍යගත පාලනයක් කරා යොමු වෙනවා. රදුන් තමාගේ බලය වැඩි වැඩියෙන් අතොළු ප්‍රධානීන් මත පනවනවා. අතොළු වලට තිබුනු ස්වාධීනත්වය නැති වෙනවා.

ඒත් දකුණු දිග අතොළු තුන අනෙක් අතොළු වලට වඩා වැඩි ස්වාධීනත්වයක් භුක්ති විඳපු බවක් තමයි පේන්නෙ. උදාහරණයක් වශයෙන් හුවදු අතොළුවේ වෙළඳ නැව් තමාගේ කොඩිය විදිහට භාවිතා කලේ රදුන් ගේ කොඩිය වුනු තනි රතු කොඩිය නෙවෙයි - තමාගේ අතොළු ප්‍රධානියාගේ කොඩිය.


ඒ වගේම දකුණු දිග අතොළු වල බුදු දහම ඇදහීම ඉතුරු වී තිබුනු බවත් පේනවා. 1600 තරම් මෑතකදී රදුන් දකුණු දිග අතොළු වල කරපු සංචාරයකදී හුවදු අතොළුවේ මිනිස්සු බුදු දහම ඇදහූ බව දැකලා ඔවුන්ට තදින් දඬුවම් කළ බව සඳහන්.

ඒ වගේම අනෙක් අතොළු වල වෙළඳාම ප්‍රධාන වශයෙන් රඳා පැවතුනේ මාලේ දූපත සමඟ​. ඒ අතොළු වල වෙළෙන්දෝ තමාගේ බඩු ගෙනාවේ මාලේ දූපතට​. නමුත් දකුණු දිග අතොළු වල වෙළඳාම ප්‍රධාන වශයෙන් රඳා පැවතුනේ ලංකාව සමඟ​. මේ නිසා ඔවුන් යම් කිසි ආර්ථික ස්වාධීනත්වයකුත් ලබාගෙන තිබුනා.

කාලයත් එක්ක දිවෙහි සංස්කෘතියේ ප්‍රධාන ධාරාව බවට මාලේ සංස්කෘතිය පත් වෙනවා. නමුත් දකුණු දිග අතොළු වැසියන් අතර තමා සංස්කෘතිකව අනෙක් අයට වඩා උසස් කියන හැඟීම නැති වෙන්නේ නෑ. ඒ වගේම ඔවුන් අතර අධ්‍යාපනයට තිබුණු නැඹුරුව අඩු වුනෙත් නෑ. අදටත් මාලදිවයිනේ වැඩිම උගතුන් බිහිවෙලා තියෙන්නෙ දකුණු දිග අතොළු වලින්.

දකුණු දිග අතොළු වල සංස්කෘතිය දිවෙහි සංස්කෘතියේ උප ධාරාවක් විදිහට දිගටම පවතිනවා. අදටත් දිවෙහි භාෂාවේ උප භාෂා අතර මේ වෙනස දකින්න පුළුවන්. දකුණු දිග අතොළු තුන හැරුණු විට අනෙක් සියළුම අතොළු වල භාවිතා වෙන්නේ "මාලේබස්" නමින් හැඳින්වෙන උපභාෂාව​. දකුණු දිග අතොළු තුනේ හුවදුබස්, මුලාකුබස් සහ අඩ්ඩු බස් නමින් හැඳින්වෙන උපභාෂා තුනක් භාවිතා වෙනවා. මේ දකුණු දිග උපභාෂා මාලේ උපභාෂාවෙන් තරමක් වෙනස්. මාලේබස් කතා කරන කෙනෙක්ට ඒවා හරිහැටි තේරුම් ගැනීම අපහසුයි. ඒ වගේම ඒවා සිංහල බසට වඩාත් සමීපයි.


මාලදිවයින සහ බ්‍රිතාන්‍යය බලපෑම​


මාලදිවයින ක්‍රි.ව​. 1100 පමණ ඉඳලා පාලනය වුනේ රජ කෙනෙක් යටතේ. ඔහු දිවෙහි සම්ප්‍රදාය අනුව "රදුන්" විදිහටත්, ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව "සුල්තාන්" විදිහටත් හැඳින්වුනා. ඔහුගේ අගනුවර පිහිටලා තිබුනේ උතුරු දිග දූපතක් වුනු මාලේ දූපතේ.

1860 විතර ඉඳලා බ්‍රිතාන්‍යය මාලදිවයින ගැන උනන්දු වුනා. ඔවුන් මුලින්ම මාලදිවයිනට අතපෙවීම පටන් ගන්නේ මාලදිවයිනේ පදිංචි වෙලා හිටපු ඉන්දියානු ජාතික වෙළඳ ප්‍රජාව ගේ ආරවුල් වලට මැදිහත් වීමෙන්. ඒ ඔවුන් බ්‍රිතාන්‍යය යටත් වැසියන් නිසා.

මේ අත පෙවීම් දුර දිග ගිහින් 1887 දී මාලදිවයින "බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක්" බවට පත් වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර කටයුතු වලදී රදුන්ට පූර්ණ ස්වාධීනත්වය හිමි වුනත්, අන්තරජාතික සබඳතා වලදී බ්‍රිතාන්‍යයට මැදිහත් වෙන්න පුළුවන් කියන එකඟතාවය​. මාලදිවයින පිළිබඳ වගකීම පැවරෙන්නේ ලංකාවේ බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයාට​.

ඇත්තෙන්ම මාලදිවයිනේ අභ්‍යන්තර දේශපාලනය ගැන බ්‍රිතාන්‍යයන් උනන්දු වෙන්නෙ නෑ. ඒ කටයුතු මාලදිවයින් වැසියන්ට අවශ්‍යය විදිහට සිද්ධ වෙනවා.

මේ තත්වය වෙනස් වෙනවා දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භයත් එක්ක​. ඉන්දියානු සාගරයේ සතුරු නාවුක කටයුතු පාලනය කරන්නත්, තමාගේ ගුවන් බලය වර්ධනය කරන්නත් බ්‍රිතාන්‍යයන් අඩ්ඩු අතොළුවේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුරක් පිහිටුවනවා. මේ කඳවුර යුද්ධය අවසන් වීමත් සමඟම අතහැර දමනවා.



නමුත් මාලදිවයින  බ්‍රිතාන්‍යයන්ට අතිශය වැදගත් වෙනවා 1956 දී ලංකාවේ බණ් ඩාරනායක රජය ගන්නා පියවරක් නිසා. බණ් ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ ගුවන් හමුදා සහ නාවුක හමුදා කඳවුරු ඉවත් කරගන්න අණ කරනවා. මේ නිසා මැද පෙරදිග සහ අග්නිදිග ආසියාව අතර බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු අතර "අතරමැද නවාතැන් පොළක්" විදිහට ඉතුරු වෙන්නේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුර විතරයි.

මේ නිසා බ්‍රිතාන්‍යයන් 1957 දී ගැන් ගුවන් හමුදා කඳවුර නැවත පිහිටුවනවා.

මේ හමුදා කඳවුර නිසා අඩ්ඩු අතොළුවේ වැසියන් විශාල ප්‍රමානයකට රැකියා ලැබෙනවා. ඒ වගේම අඩ්ඩු වැසියන් සහ බ්‍රිතාන්‍යය හමුදා සෙබළු අතර ඉතාම වාසි දායක වෙළඳාමකුත් ගොඩ නැගෙනවා.


ප්‍රථම ජනරජය​ සහ එහි බිඳවැටීම​


මාලදිවයින 1953 වෙනතුරු හැඳින්වුනේ "මාලදිවයින් රාජධාණිය​" (Sultanate of the Maldives) කියලා. 1944 ඉඳලා 1952 වෙනතුරු මාලදිවයිනේ සුල්තාන් වෙන්නේ අබ්දුල් මජීද් දිදී.

ඔහු 1952 දී මිය යාමෙන් පසුව මාලදිවයිනේ රාජ සභාව ඔහුගේ අගමැති වරයා වුනු මුහම්මද් අමීන් දිදී සුල්තාන් විදිහට තෝරා ගන්නවා. ඒත් මුහම්මද් අමීන් දිදී සමාජවාදී අදහස් දැරූ ප්‍රතිසංස්කරණ වාදියෙක්. ඔහු ඒ වෙනුවට සුල්තාන් තනතුර අහෝසි කරලා 1953 ජනවාරි 1 වැනිදා මාලදිවයින ජනරජයක් විදිහට ප්‍රකාශයට පත් කරනවා.

මාලදිවයින් ජනරජයේ ප්‍රථම ජනාධිපති ධූරයට පත් වෙන්නේ මුහම්මද් අමීන් දිදී.

ජනාධිපති මුහම්මද් අමීන් දිදී
ජනාධිපති අමීන් දිදී කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම​, ධීවර කර්මාන්තය ජනසතු කිරීම​, ප්‍රසිද්ධියේ දුම් පානය තහනම් කිරීම ආදී ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දෙනවා. නමුත් මේ ප්‍රතිසංස්කරණ මාලදිවයිනේ සාම්ප්‍රදායික හරයන් සමඟ ගැටීම නිසා අමීන් දිදී ජනප්‍රියත්වයෙන් පිරිහෙනවා.

මේ නිසා 1953 දී ඔහු ලංකාවට ආව අවස්ථාවක කුමන්ත්‍රනයකින් ඔහුව බලයෙන් පහ කරලා ඔහුගේ උප ජනාධිපති ඊබ්‍රහිම් දිදී බලය අල්ලා ගන්නවා. නැවත ලංකාවට එන අමීන් දිදී වෙනත් දූපතකට පිටුවහල් කරනවා. මාස හතරකට පසු නැවත බලය අල්ලා ගැනීමේ අදහසින් මාලේ දූපතට එන අමීන් දිදී කුපිත වුනු ජන සමූහයක් විසින් පහර දීම නිසා දරුණු තුවාල ලබනවා. මේ තුවාල වලින් ඔහු මාසයකට පමණ පසු මිය යනවා.

මේ සිදුවීමෙන් මාස තුනකට පස්සේ හිටපු සුල්තාන් අබ්දුල් මජීද් දිදී ගේ පුතා වන මුහම්මද් ෆරීද් දිදී නැවත සුල්තාන් තනතුරට පත් කෙරෙනවා. මාලදිවයිනේ ප්‍රථම ජනරජය අවසාන වෙනවා.

සුල්තාන් මුහම්මද් ෆරීද් දිදී
සුල්තාන් ෆරීද් දිදී ගේ අගමැති වරයා විදිහට පත් වෙන්නේ රජ පෙළපත වුනු හුරා පෙළපතට නෑකම් තිබුනු තරුණ දේශපාලකයෙක් වුනු ඊබ්‍රහිම් නසීර්.

අගමැති ඊබ්‍රහිම් නසීර්
ඉතා හොඳ දේශපාලන ඉවක් තිබුණු ඊබ්‍රහිම් නසීර් සුල්තාන් වරයාගේ පාලනයේ එදිනෙදා කටයුතු සියල්ලම පාහේ තමාගේ අතට ගන්නවා. ඔහු නව ප්‍රතිසංස්කරණ රැසක් මාලදිවයිනට හඳුන්වා දෙනවා. මේ ප්‍රතිසංස්කරණ අතරින් කීපයක් දකුණු දිග අතොළු වැසියන්ට තදින් බලපානවා.

ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ලංකාව සමඟ පැවැත්වූ ඍජු වෙළඳාමට පැණවූ බාධක​. මාලදිවයින් ඉතිහාසයේ මුල් වරට ලංකාවට යාම සඳහා පාස්පෝට් සහ වීසා අනිවාර්‍යය කිරීමේ නීතියක් පැනවීමත් සමඟම දකුණු දිග වැසියන්ට පාස්පෝට් සහ වීසා ලබා ගැනීම සඳහා නිතර මාලේ නගරයට යාමට සිදු වෙනවා. ගමනාගමන පහසුකම් දුර්වල තත්වයක තිබූ ඒ දිනවල මෙය ඔවුන්ට වියදම් අධික කටයුත්තක් වුනා. මේ නිසා ඔවුන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගයට බලවත් පහරක් එල්ල වෙනවා.

මීට අමතරව සෑම අතොළුවකම මධ්‍යම රජයේ නිලධාරියෙක් රඳවනු ලැබූ අතර​, සියළුම වෙළඳ ගනුදෙනු සඳහා ඔහුගේ අවසරය ලබා ගැනීමටත්, ඒ සඳහා මධ්‍යම රජයට බදු ගෙවීමටත් සිදු වෙන අයුරින් තවත් නීතියක් පැනවෙනවා. අනෙකුත් අතොළු වලට මේ නීතිය තදින් බල නොපෑවත්, බ්‍රිතාන්‍යය හමුදා කඳවුර සමඟ ඉතා වාසි සහගත වෙළඳාමක නිරත වුනු දකුණු දිග අතොළු වැසියන්ට මෙය තදින් බලපානවා.

මේ නව නීති ගෙන ඒමේ අරමුණ වෙන්නේ මාලදිවයිනේ පාලනය වඩාත් මධ්‍යගත කිරීමට​. නමුත් දකුණුදිග අතොළු වල වැසියන් මෙය දකින්නේ ඈත අතීතයේ සිට ඔවුන් භුක්ති විඳි වරප්‍රසාද වලට​ මාලේ රජය ඇඟිලි ගැසීමක් විදිහට​. මේ නිසා දකුණු දිග අතොළු වාසීන් අතර මාලේ රජය සහ අගමැති ඊබ්‍රහිම් නසීර් පිළිබඳ දැඩි අප්‍රසාදයක් ගොඩ නැගෙනවා.

මෙහි උත්ප්‍රාසය වන්නේ අගමැති ඊබ්‍රහිම් නසීර් දකුණු දිග අතොළුවක් වුනු ෆුවාමුලාක් හි උපත ලැබූ අයෙක් වීම​.


උණුසුම​


මේ අතර තුර අර්බුධය පුපුරා යන සිද්ධියක් සිදු වෙනවා. 1958 දී අඩ්ඩු අතොළුවේ හිතදු දූපතේ ධනවත් ව්‍යාපාරිකයෙක් සහ වැදගත් පවුලක සාමාජිකයෙක් වුනු අහමද් දිදී මාලේ රජයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් අත් අඩංගුවට ගන්නවා. අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමේදී නිලධාරීන් දෙදෙනා විසින් අහමද් දිදී ට පහර දෙනවා.

මේ නිලධාරීන් ගේ නොහික්මුණු සහ රළු හැසිරීම නිසා අඩ්ඩු වැසියන් ඔවුන් ගැන ඉන්නේ අප්‍රසාදයෙන්. ඔවුන් අතොළුවේ වැදගත් පවුලක සාමාජිකයෙක්ට පහර දීම නිසා හිතදූ දූපතේ දැඩි නොසන්සුන් කමක් හට ගන්නවා. මිනිසුන් සමූහයක් වශයෙන් එක් රැස් වෙලා නිලධාරීන්ට පහර දෙනවා. ඔවුන් පණ බේරා ගන්නේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුර තුළ සැඟවීමෙන්.

පසුව මේ පිළිබඳව සිදු කරන පරික්‍ෂනයේදී රාජ්‍යය නිලධාරීන්ට පහර දීමේ වරදට කීප දෙනෙක්ට ප්‍රසිද්දියේ කස පහර දීමෙන් දඬුවම් කෙරෙනවා. ප්‍රසිද්ධියේ කස පහර දීම දිවෙහි බසින් හැඳින්වෙන්නේ "බුරිහං නැගුන්" නමින්. එහි තේරුම "පිටේ හම ගලවනවා" යන්නයි. කස දෙකකින් මාරුවෙන් මාරුවට කරන පහර දීම අවසන් වෙන්නේ තුවාල වල මිරිස් කුඩු ඇතිල්ලීමෙන්. මේ දඬුවම් ක්‍රමය ඉතාම වේදනාකාරී මෙන්ම අතිශයින්ම අවමානය ගෙන දෙන එකක්.

දඬුවමට ලක් වුනු එක් අයෙක් වුනේ අහමද් දිදී ගේ පුතා වුනු 42 හැවිරිදි අබ්දුල්ලා අෆීෆ් දීදි. ඔහු අඩ්ඩු අතොළුවේ සිටි ඉතාම ජනප්‍රිය වගේම උගත් අයෙක් වුනා. ඉංග්‍රීසි සහ අරාබි භාෂාවන් චතුර ලෙස කථා කිරීමට හැකියාව තිබුනු අබ්දුල්ලා අෆීෆ් බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ භාෂා පරිවර්තකයෙක් සහ බ්‍රිතාන්‍යය සහ මාලදිවයින් රජය අතර සම්බන්ධීකාරක නිලධාරියා විදිහට සේවය කළා.

අබ්දුල්ලා අෆීෆ් දීදි
අබ්දුල්ලා අෆීෆ් ට ප්‍රසිද්ධියේ කස පහර දීමත් සමඟම මුළු මහත් අතොළුව පුරාම මාලේ රජයට විරෝධී හැඟීමක් පැතිර යනවා.


බ්‍රිතාන්‍යය මැදිහත් වීම​


අගමැති ඊබ්‍රහිම් නසීර් මාලදිවයින බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස පැවතීම සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු තිබීම අනුමත කරන්නේ නෑ. ඒත් ඔහුට බ්‍රිතාන්‍යයන්ට කෙලින්ම විරුද්ධ වෙන්න ශක්තියක් නෑ. මේ නිසා ඔහු බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු සම්බන්ධයෙන් විවිධ කෙනහිලිකම් කරනවා.

හමුදා කඳවුර පිහිටි භූමිය බදු දීමේ ගිවිසුම පරක්කු කිරීම සහ කඳවුරේ නව ඉඳි කිරීම් සිදු කිරීම තහනම් කිරීම මේ අතරින් ප්‍රධානයි. මේ කෙනහිලි කම් නිසා බ්‍රිතාන්‍යයන් මාලේ රජය ගැන අප්‍රසදායෙන් පසුවෙනවා. අඩ්ඩු අතොළුවේ අළුතෙන් ඇති වන තත්වය ඔවුන් දකින්නේ අළුත් අවස්ථාවක් විදිහට​.


කැරැල්ල​


1959 ජනවාරි 1 වැනි දා මාලේ රජය වෙළඳ සහ ධීවර බෝට්ටු සඳහා නව බද්දක් හඳුන්වා දෙනවා. ඒ එක්කම අඩ්ඩු අතොළුව පුරා කැරලි කෝලහාල පැතිර යනවා.

හිතදු දූපතෙන් ඇරඹෙන මේ කැරලි ඉක්මනින්ම මුලු අතොළුව පුරාම පැතිර යනවා. මිනිස්සු රජයේ ආයතන වලට පහර දීලා ඒවා ගිනිබත් කරනවා. රජයේ නිලධාරීන් පණ බේරාගන්න බ්‍රිතාන්‍යය හමුදා කඳවුරට පැනලා යනවා.


කැරලි නවත්වන්න බ්‍රිතාන්‍යයන් කිසිම දෙයක් කරන්නේ නෑ. ඔවුන් රහසිගතව කැරලිකරුවන්ට ආධාර කරනවා.

මේ කැරලි වලට අබ්දුල්ලා අෆීෆ් සහභාගී වෙන්නෙ නෑ.


එක්සත් සුවදිව් ජනරජය​


ජනවාරි 3 වැනිදා අඩ්ඩු අතොළුවේ නායකයන් එක් වෙලා මාලදිවයිනෙන් වෙන් වෙලා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කරන්න තීරණය කරනවා. ඔවුන් බ්‍රිතාන්‍යය හමුදා කඳවුරට ඇවිත් බ්‍රිතාන්‍යයන් ගේ සහය ඉල්ලා සිටිනවා.

බ්‍රිතාන්‍යයන් කැරැල්ලට සහය දෙන්න එකඟ වෙනවා. නමුත් එක කොන්දේසියක් මත​. නව රාජ්‍යයයේ නායකත්වය කාටත් පිළිගත හැකි අයෙකුට ලබා දිය යුතුයි. සාකච්ඡා වලින් පස්සෙ සියල්ලෝම එකඟ වෙනවා නායකත්වය අබ්දුල්ලා අෆීෆ් ට ලබා දෙන්න​.

අබ්දුල්ලා අෆීෆ් මුලදී මේ යෝජනාවට විරුද්ධ වුනත්, කීප වරක්ම කෙරුනු ඉල්ලීම් වලින් පසු නායකත්වය පිළි ගන්න එකඟ වෙනවා.

කැරැල්ල ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලටත් පැතිර යනවා. කැරලි කරුවන් රාජ්‍යය නිලධාරීන්ට පහර දීලා ඔවුන් පළවා හරිනවා. අබ්දුල්ලා අෆීෆ් වහාම දූත කණ්ඩායම් ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලට පිටත් කර හරින්නේ ඔවුන් ගේ සහය ලබාගන්න​.

අඩ්ඩු අතොළුවේ සිට පැමිණෙන දූත පිරිසට ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලදී ලැබෙන්නේ උණුසුම් පිළිගැනීමක්. සියළුම දූපත් නව රාජ්‍යයට එක් වීමට කැමැත්ත පළ කරනවා. නමුත් හුවදු අතොළුවේ දෙවැනි ප්‍රධාන දූපත වන ගද්දු දූපතේ ප්‍රධානියා පමණක් කැරලිකරුවන්ට එක් වෙන්න කැමති වෙන්නේ නෑ.  ඔහු රහසින් මාලේ දූපතට පලා ගිහින් කැරැල්ල ගැන තතු හෙළි කරනවා.

අතොළු තුනේම නියෝජිතයන් සහභාගී වුනු සභාවක් මගින් 1959 මාර්තු 13 වැනිදා නව රාජ්‍යය ප්‍රකාශයට පත් කරනවා. ඔවුන් එය නම් කරන්නේ "එක්සත් සුවදිව් ජනරජය​" නමින්.

ජාතික ධජය සහ රාජ්‍යය ලාංඡනය​
නව රාජ්‍යය සංවිධානය වෙන්නේ පාර්ලිමේන්තුවක් සහිත ජනරජයක් විදිහට​. රාජ්‍යය නායකයා විදිහට ජනාධිපති අබ්දුල්ලා අෆීෆ් පත් වෙනවා. පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනෙන්නේ වැඩිහිටි පිරිමින් ගේ ඡන්දයෙන්. මැතිවරණයේ පළමු අදියර අඩ්ඩු අතොළුව සඳහා පැවැත්වෙනවා. මේ මාලදිවයින් ඉතිහාසයේ පුළුල් ජන සහභාගීත්වයෙන් යුතුව මැතිවරණයක් පැවැත්වුනු පළමු අවස්ථාව​.

එක්සත් සුවදිව් ජනරජයේ පාර්ලිමේන්තුව​

ඒ අනුව නියෝජිතයන් 52 ක් පළමු පාර්ලිමේන්තුව වෙනුවෙන් අඩ්ඩු අතොළුවෙන් පත් වෙනවා. ඔවුන් දූපත් අතර බෙදී යන්නේ පහත විදිහට​.

හිතදූ - 17
මීදූ - 7
හුළුදූ - 8
ගැන් ෆේදූ - 10
මරදූ ෆේදූ - 3
මරදූ - 6
ජනාධිපති විසින් පත් කළ - 1

සුවදිව් කොඩිය නංවාගත් ධීවර බෝට්ටු

පළමු ප්‍රහාරය​


අගමැති ඊබ්‍රහිම් නසීර් මේ කැරැල්ල ගැන දක්වන්නේ අතිශය සතුරු ආකල්පයක්. ඔහු වහාම බලය යොදා කැරැල්ල මැඩ පවත්වන්න අදහස් කරනවා.

මාලදිවයිනේ මේ කාලය වෙද්දි යුධ හමුදාවක් හෝ නාවුක හමුදාවක් නෑ. ජාතික ආරක්‍ෂක බල​ඇණිය නමින් හැඳින්වුනු කුඩා ආරක්‍ෂක හමුදාවක් පමණක් මාලේ රජය සතු වෙනවා. ඔවුන් සතුව දියුණු ආයුධ හෝ බෝට්ටු තිබුනේ නෑ. මේ නිසා කැරලි කරුවන්ට එරෙහිව බලය යෙදවීම ප්‍රශ්නයක් වෙනවා.

ඊබ්‍රහිම් නසීර් පළමු ප්‍රහාරය එල්ල කරන්න තෝරා ගන්නේ කැරලි කාර අතොළු තුනෙන් කුඩාම අතොළුව වුන ෆුවාමුලාකු අතොළුව​. ඔහු අවිගත් සෙබළු කුඩා බෝට්ටුවක් ෆුවමුලාකු අතොළුවට පිටත් කර හරිනවා.

නමුත් ඔහුගේ තෝරාගැනීම බුද්ධිමත් එකක් නෙවෙයි. ෆුවාමුලාකු අතොළුවේ පහසුවෙන් ගොඩ බැසිය හැකි වරායන් ඇත්තේ නෑ. දූපත් වැසියන් ගොඩබිමට කිට්ටු වන බෝට්ටුවට ගල් සහ පොළු වලින් පහර දෙනවා. ආරක්‍ෂක භටයන් පිළිතුරු ලෙස කැරලි කරුවන්ට වෙඩි තිබ්බත්, වෙරළේ උස් වැලි පරවලට මුවා වීමෙන් වෙඩි පහරෙන් ආරක්‍ෂා වෙන්න ඔවුන්ට හැකි වෙනවා. ප්‍රහාරය අසාර්ථක වෙන අතර ආරක්‍ෂක භටයන් පසු බසිනවා.

1959 ජූලි මාසයේ අගමැති වරයා නැවත වරක් පහර දෙනවා. මෙවර ඔහු තෝරා ගන්නේ හුවදු අතොළුව​. ප්‍රහාර මෙහෙයවීම සඳහා ඔහු පුද්ගලිකවම සහභාගී වෙනවා. ඔවුන් ප්‍රහාරය සඳහා පිටත් වෙන්නේ "මාලදිවයින් තරුව​" (Maldive Star) නමින් හැඳින්වුනු බෝට්ටුවකින්.


ඔවුන් ගේ පළමු ඉලක්කය වෙන්නේ ගද්දු දූපත​. ඔවුන් එනවිට ගද්දු දූපතේ සුවදිව් ධජය ඔසවා තියෙනවා. මෙගාෆෝනයකින් කතා කරමින් නසීර් ඔවුන්ට ධජය පහත හෙළන්න අණ කරනවා. දූපත් වාසීන් ධජය පහත දැමූ පසුව ආරක්‍ෂක භටයින් සමඟ නසීර් ගද්දු දූපතට ගොඩ බසිනවා. දූපතේ කැරලි නායකයන් අත් අඩංගුවට ගැනෙනවා.

ඊළඟට ඔවුන් හුවදු අතොළුවේ ප්‍රධාන දූපත වුනු තිනදු දූපත බලා යනවා.

ප්‍රහාරය ගැන තිනදු වැසියන්ට මුලින්ම ආරංචි වෙනවා. ඔවුන් ප්‍රහාරයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. මුහුදු වෙරළේ වැලි කොට්ට ගොඩ ගසන්නේ වෙඩි ප්‍රහාර වලින් ආරක්‍ෂා වෙන්න​.

ගද්දු දූපතේ වගේම නසීර් මෙගාෆෝනයකින් කතා කරමින් සුවදිව් ධජය පහත හෙළන්න අණ කරනවා. ඒත් දූපත් වාසීන් ඔහුගේ අණ නොතකා හරිනවා. ආරක්‍ෂකයන් දූපත් වාසීන්ට වෙඩි තියනවා. දෙදෙනෙක් මිය යනවා. ගැටුම් මධ්‍යයේම ආරක්‍ෂකයන් දූපතට ගොඩ බසිනවා. දූපත් වාසීන් ඔවුන්ට ගල්, පොළු, උල් කළ ලී හෙලි සහ හුණු ගල් වලින් පහර දෙනවා. නමුත් වෙඩි තැබීමෙන් කැරලි කරුවන් පළවා හරින්න ඔවුන් සමත් වෙනවා.

දූපතේ ප්‍රධාන වෙළඳුන් සහ නායකයන් ගේ ගෙවල් කීපයක් ගිනිබත් කරන්නත්, වරායේ නවතා තිබෙන බෝට්ටු ගිනිබත් කරන්නත් නසීර් අණ දෙනවා. ආරක්‍ෂක භටයන් ධනවත් වෙළෙන්දන් ගේ නිවෙස් මංකොල්ල කනවා. බොහෝ දෙනා අත් අඩංගුවට ගැනෙනවා.

අත් අඩංගුවට පත් කැරලි කරුවන්

දූපතේ ආරක්‍ෂක මුරපොළක් පිහිටුවන නසීර් සිරකරුවන් සමඟ මාලේ බලා ආපසු යනවා. මාලේ හිදී සිරකරුවන්ට දරුණු වධ හිංසා පමුණුනවනවා. ඔවුන් බොහෝ දෙනා සිර භාරයේදීම මිය යනවා. ඒ අතර තිනදු දූපතේ නවතා යන ආරක්‍ෂකයන් දූපත් වාසීන්ට නොයෙකුත් හිරිහැර කරනවා. ස්ත්‍රීන් කිහිප දෙනෙක් දූෂනය කෙරෙනවා.

වෙළඳාමට අවහිර වීම නිසා හුවදු අතොළුව පුරාම දැඩි ආහාර හිඟයක් ඇති වෙනවා.

නසීර් ඊළඟ ප්‍රහාරය අඩ්ඩු අතොළුවට එල්ල කරන්න ප්‍රථමයෙන් බ්‍රිතාන්‍යයන් වහාම මලයාවේ සිට හමුදා ඛණ්ඩයක් අඩ්ඩු අතොළුවට කැඳවනවා. බ්‍රිතාන්‍යය සෙබළුන් ගෙන් ආයුධ ලබා ගන්නා අඩ්ඩු වැසියන් ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ නිසා නසීර් අඩ්ඩු අතොළුවට පහර දීමේ අදහස අත් හැර දානවා.


අඩ්ඩු අතොළුව​


මේ අතර නව සුවදිව් රජය අඩ්ඩු අතොළුවේ සංවර්ධන වැඩ අරඹනවා. ඔවුන් ගේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ අධ්‍යාපනයට​. මෙය අධ්‍යාපනය ගැන සාම්ප්‍රදායිකව දකුණු දිග වැසියන් ගේ තිබුණු උනන්දුව පිළිඹිබු කරනවා. අඩ්ඩු අතොළුවේ තිබුනු පාසල් කීපයක් ම ප්‍රතිසංස්කරණය කරන නව රජය ඒවායේ සේවය සඳහා ලංකාවෙන් ගුරුවරු ගෙන්වනවා.

ඒ අතර බ්‍රිතාන්‍යය හමුදා කඳවුර සමඟ සහ ලංකාව සමඟ වෙළඳාම පෙර නොවූ විරූ තරම් දියුණුවට පත් වෙනවා. වෙළඳාමෙන් අඩ්ඩු අතොළුවට විශාල ධනයක් ගලා එනවා. බ්‍රිතාන්‍යයන් සමඟ ගනුදෙනු කෙරුනේ සහ බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ සේවය කළ අඩ්ඩු වැසියන්ට පඩි ගෙවුනේ ස්ටර්ලිං පවුම් වලින්. අඩ්ඩු අතොළුව ඉතාමත් සමෘධිමත් කාලයක් ලබනවා.

ඒ අතර නව රජය කුඩා අරක්‍ෂක හමුදාවක් සංවිධානය කරනවා. මේ නව ආරක්‍ෂක හමුදාව සෙබළු 20 කින් සමන්විත වෙන අතර​, ඔවුන් ගේ නිළ ඇඳුම වෙන්නේ සුදු අත් කොට කමිසය සහ නිල් සරම​.

ඒත් බ්‍රිතාන්‍යයන් සුවදිව් ජනරජයට කොයිතරම් සහය දුන්නත්, අබ්දුල්ලා අෆීෆ් බලාපොරොත්තු වුනු විදිහට ඔවුන් නිළ වශයෙන් එක්සත් සුවදිව් ජනරජය පිළිගන්නේ නෑ.


මාලේ රජය සහ බ්‍රිතාන්‍යය අතර නව ගිවිසුම​


මේ අතර නසීර් තමාගේ තුරුම්පුව පාවිච්චි කරනවා. ඔහු බ්‍රිතාන්‍යයන් සමඟ හමුදා කඳවුර සම්බන්ධයෙන් නව ගිවිසුමකට එලැඹෙනවා. 1960 පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍යයන් සහ මාලේ රජය නව ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට හමුදා කඳවුර කැමති ආකාරයකට පාවිච්චි කරන්න ඉඩ දෙන්න මාලේ රජය එකඟ වෙන අතර, හැකි තරම් ඉක්මනින් හමුදා කඳවුර ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් එකඟ වෙනවා. හමුදා කඳවුර වෙනුවෙන් බ්‍රිතාන්‍යය රජය මාලේ රජයට පවුම් ලක්‍ෂයක මුදලක් ලබා දෙනවා. ඊට අමතරව දෙරටේ සුහදතාවය වර්ධනය කිරීම සඳහා නව සංවර්ධන ව්‍යාපෘති සඳහා පවුම් හත් ලක්‍ෂ පණස් දහසක ණය ආධාර බ්‍රිතාන්‍යයන් ලබා දෙනවා.

මේ නව ගිවිසුමත් සමඟම බ්‍රිතාන්‍යය නිල වශයෙන් එක්සත් සුවදිව් ජනරජයට තමා දැක්වූ සහය නතර කරන බවට ප්‍රකාශ කරනවා. ඒ එක්කම ඔවුන් මලයාවෙන් ගෙන්වූ හමුදා ඛන්ඩය ආපසු කැඳවනවා.

ඊට පසුව බ්‍රිතාන්‍යයන් අබ්දුල්ලා අෆීෆ් හමුවෙලා නව රජය විසුරුවා හරින්න ඔහුට බලපෑම් කරනවා. ඒත් ඔහු ඊට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. ඒ උත්සහය අසාර්ථක වන තැන බ්‍රිතාන්‍යයන් අළුත් යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව අනුව දකුණු දිග අතොළු වලට අභ්‍යන්තර කටයුතු වලදී  මාලේ රජයෙන් සම්පූර්නයෙන්ම වෙන් වූ ස්වාධීනත්වයක් ලැබෙන කවුන්සිලයක් පිහිටුවීමටත්, දකුණ සහ උතුර සුල්තාන් වරයා යටතේ එකම රටක් විදිහට පවතින විදිහටත් සැකැස්මක් ඔවුන් යෝජනා කරනවා. මේ යෝජනාවට සුවදිව් රජයෙන් යම්කිසි එකඟතාවයක් ලැබුනත්, නසීර් ඊට දැඩි ලෙස විරුද්ධ වෙනවා.


දෙවැනි කැරැල්ල


මේ විදිහට සාකච්ඡා අසාර්ථක වෙද්දි 1961 මැද භාගයේදී හුවදු අතොළුවේ ඉඳලා රහසිගත දූත පිරිසක් අබ්දුල්ලා අෆීෆ් හමුවෙන්න එනවා. ඔවුන් එන්නේ හුවදු අතොළුව නැවත එක්සත් සුවදිව් ජනරජයේ පාලනයට නතු කිරීම ගැන සාකච්ඡා කරන්න​. අබ්දුල්ලා අෆීෆ් වහාම "ආක්‍රමනික හමුදාවක්" සකස් කරනවා.

මේ "ආක්‍රමනික හමුදාව​" සමන්විත වෙන්නේ හුවදු අතොළුවේ සිට එන දූත පිරිසෙන්, බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ සේවය කරන හුවදු වැසියන් ගෙන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අඩ්ඩු වැසියන් ගෙන්. පිරිස 150 දෙනෙක් ගෙන් සමන්විත වෙනවා. ඔවුන් සාගතයෙන් පෙළෙන හුවදු වැසියන්ට බෙදා දෙන්න ආහාර සහ ආයුධ ලෙස භාවිතා කරන්න යකඩ පොළු බෝට්ටු වල පටවාගෙන රහසින්ම හුවදු අතොළුව බලා යනවා.

රෑ බෝවුනු පසු හොරෙන්ම තිනදු දූපතට ගොඩ බහින කැරලි කරුවන් දූපතට විදුලිබලය සපයන ඩීසල් ජෙනරේටරයට වැලි දැමීමෙන් එය අක්‍රිය කරලා කළුවරේම නසීර් ගේ ආරක්‍ෂක භටයන්ට සහ රාජ්‍යය නිලධාරීන්ට පහර දෙනවා. පහුවදා උදේ වනවිට ඔවුන් තිනදු දූපතේ බලය අල්ලා ගන්නවා.

තිනදු දූපතේ බලය කැරලි කරුවන් යටතට පත් වුනු පසු එක් රැස් වී සිටින​ දූපත් වාසීන්

තිනදු දූපතේ බලය තහවුරු කර ගන්නා කැරලි කරුවන් අනෙකුත් දූපත් වලට ආහාර බෙදා දෙනවා. ඉක්මනින්ම මුළු අතොළුවම නැවතත් සුවදිව් ජනරජය යටතට පත් වෙනවා.


සමූලඝාතනය​


හුවදු අතොළුවේ ඇති වුනේ මේ දෙවැනි කැරැල්ල මැඩ පවත්වන්න ඊබ්‍රහිම් නසීර් කලබල වෙන්නේ නෑ. ඔහු පහර දෙන්නේ 1962 ජනවාරි 31 වැනිදා.

එදා තිනදු දූපතේ තද වැහි සහිත දවසක්. හවස් වෙද්දි වෙරළේ හිටපු දූපත් වැසියන් ඈත මුහුදේ බෝට්ටුවක් දකිනවා. ඒ "රිදී රළය​" (Silver Crest) නමින් හැඳින්වුනු අගමැති ඊබ්‍රහිම් නසීර් ගේ බෝට්ටුව​. දූපත් වාසීන් කලබලයට පත් වෙලා ආරක්‍ෂිත ස්ථාන කරා දුවනවා. බෝට්ටුව දූපතට ගොඩ බහින්නේ නෑ.  එය තිනදු දූපතට නුදුරු මුහුදේ නැංගුරම් දාලා තියෙනවා.

පහුවදා උදේම නසීර් මෙගාෆෝනයකින් දූපත් වාසීන් අමතලා සුවදිව් කොඩිය පහත හෙලන්න අණ කරනවා. ඒත් කිසි කෙනෙක් කොඩිය පහත හෙලන්නේ නෑ. කුඩා බෝට්ටුවකින් වෙරළට එන ආරක්‍ෂක භටයන් කීප දෙනෙක් වෙඩි තියන්න පටන් ගන්නවා. දූපත් වැසියෙක් හිසට වැදුනු වෙඩි පහරින් මිය යනවා.

මාලේ රජයේ ආරක්‍ෂක භටයන් රැගත් දෝනියක්

දූපතට ගොඩ බහින ආරක්‍ෂක භටයන් හතර අතට වෙඩි තබමින්, ගෙවල් ගිනි තියමින්, ධනවත් වෙළඳුන් ගේ ගෙවල් මංකොල්ල කමින් දැඩි භීෂනයක් ඇති කරනවා. දූපත් වැසියන් භීතියෙන් හැංගෙනවා.

තිනදු දූපතේ ධනවත් වෙළඳ නිවසක්

මේ අතරේ අගමැති නසීර් දූපතට ගොඩ බහිනවා. ඔහු කැරලි නායකයන් ගේ නම් ලැයිස්තුවක් කියවමින් ඔවුන්ට භාර වෙන ලෙසට අණ කරනවා. සමහර කැරලි නායකයන් රජයට භාර වෙනවා. එදා හවස් වෙද්දී මාලේ රජය යටතේ ජීවත් වෙන්න කැමති සියළුම දෙනාට තිනදු දූපතෙන් ඉවත් වෙලා අසල දූපත් වලට යන ලෙස නසීර් අණ කරනවා.

තිනදු දූපතට ගොඩ බසින නසීර්

භීතියෙන් ඇළලී ගිය දූපත් වාසීන් කුඩා බෝට්ටු වල නැගලා අවට තියෙන කුඩා, මිනිස් වාසයෙන් තොර දූපත් වලට පලා යනවා. බෝට්ටු වල නැග ගන්න අසමත් වෙන අය කරවටක් මුහුදු වතුරේ ගිලෙන තරම් දුරමුහුදට ගිහින් එහි රැඳී ඉන්නවා. නසීර් ගේ ආරක්‍ෂකයන් මුළු දූපතම ගිනිබත් කරනවා. දූපතේ රැඳී ඉන්න සියල්ලෝම මරා දානවා.

බෝට්ටු වල නැගී පලා යන තිනදු වාසීන්

මේ භීෂනය දවස් තුනක් පුරා තියෙනවා. අවට දූපත් වලට පලා ගිය අය ආහාර සහ වතුර හිඟ කමින් දැඩි දුෂ්කරතා වලට ලක් වෙනවා. පිපාසයෙන්, කුසගින්නෙන් සහ කම්පනයෙන් සමහර දෙනා මිය යනවා.

භාර වුනු කැරලි නායකයන්ව මාලේ දූපතට රැගෙන යනවා. ඒ අතර ඒ කාලයේ මුළු මාලදිවයිනේම ධනවත්ම ව්‍යාපාරිකයා වුනු අහමඩ් කලේෆාන් සහ ඔහුගේ පුතා වුනු අබ්දුල්ලා කතීබ් ඉන්නවා. මේ සියළුම කැරලි නායකයන් මාලේ හිදී අත් අඩංගුවේම දස වධ පැමිණවීමෙන් මරා දැමෙනවා.

අත් අඩංගුවට පත් කැරලි නායකයෙක්

නැවත තිනදු දූපතේ මිනිස්සු පදිංචි වීම තහනම් කෙරෙනවා. අවට දූපත් වලට පලා ගිය අය ක්‍රමයෙන් වෙනත් මිනිස්සු වාසය කරන දූපත් වලට සංක්‍රමනය වෙනවා. එහිදීත් ඔවුන්ට කුසගින්නෙන් සහ වෙනත් උවදුරු වලින් නොයෙක් පීඩා පැමිණෙනවා

මේ සංහාරයේදී මිය ගිය ගණන 2400 ක් පමණ වන බවට විශ්වාස කෙරෙනවා.

හුවදු අතොළුවේ විශාලම දූපත ඒ විදිහට මුළුමනින්ම විනාශ කර දැමෙන්නේ හුවදු අතොළුවේ දෙවැනි කැරැල්ල මර්ධනය කරමින්.


එක්සත් සුවදිව් ජනරජයේ අවසානය​


බ්‍රිතාන්‍යයන් මුහුණ දෙන්නේ අසීරු අවස්ථාවකට​. කැරලිකාර රජයකට සහය දීම නිසා ඔවුන් ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙනවා. ඒනිසා ඔවුන් සුවදිව් ජනරජය අවසන් කර දැමීමට තීරණය කරනවා.

ඔවුන් නැවතත් අබ්දුල්ලා අෆීෆ් සමඟ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා වලට අඩ්ඩු වැසියන් ගෙන් එල්ල වෙන්නෙ දැඩි විරෝධයක්. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව අඩ්ඩු අතොළුවේ උද්ඝෝෂන ඇති වෙනවා.

අඩ්ඩු අතොළුවේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව උද්ඝෝෂනයක්

සාකච්ඡා අසාර්ථක වූ තැන බ්‍රිතාන්‍යයන් කෙලින්ම සුවදිව් රජයට විරුද්ධව වැඩ කරනවා. ඔවුන් අඩ්ඩු අතොළුවේ තැන තැන සුවදිව් රජයට එරෙහිව රැස්වීම් පවත්වනවා. මේ රැස්වීම් වලදී ඔවුන් වෙළඳුන් සහ දූපත් නායකයන් අමතා නැවත මාලේ රජය සමඟ එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ රැස්වීම් වලිනුත් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති තැන ඔවුන් කෙලින්ම බලය පාවිච්චි කරනවා. සුවදිව් ජනරජය අමතා කෙරෙන අණ කිරීමකින් පැවසෙන්නේ 1963 සැප්තැම්බර් 23 වෙනිදා වන විට සුවදිව් ජනරජය විසුරුවා හැරලා, සුවදිව් කොඩිය පහත හෙලලා මාලදිවයිනේ කොඩිය ඔසවන විදිහට​.

අබ්දුල්ලා අෆීෆ් ට මේ අණ කිරීමට එකඟ වෙනවා හැරෙන්න වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නෑ. ඔහු ඊට කීකරු වෙලා සුවදිව් කොඩිය පහත හෙලලා මාලදිවයිනේ කොඩිය ඔසවනවා.

දින දෙකකට පස්සේ ෆුවාමුලාකු අතොළුවත් සුවදිව් කොඩිය පහත හෙලනවා.

එක්සත් සුවදිව් ජනරජය එතනින් නිමාවට පත් වෙනවා.


පසු කතාව​


සුවදිව් ජනරජයේ ජනාධිපති අබ්දුල්ලා අෆීෆ් බ්‍රිතාන්‍යයන් ගේ ආරක්‍ෂාව ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යයන් ඔහුව සී ෂෙල්ස් දූපත් වලට රැගෙන යනවා. මාලදිවයින් රජය ඔහුට නැවත මාලදිවයිනට පැමිණීම තහනම් කරනවා. ඔහු 1993 දී මිය යන තුරු ජීවත් වෙන්නේ සී ෂෙල්ස් දිවයින් වල​. අදටත් ඔහු දකුණු දිග අතොළුවල ඉතාම ගෞරවයෙන් සිහිපත් කෙරෙනවා. ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ "අහරුමෙංගෙ අෆීෆු" (අපේ අෆීෆ්) කියලා.

අබ්දුල්ලා අෆීෆ් පවුල සමඟ​

1968 දී සුල්තාන් වරයා මිය ගිය පසු ඊබ්‍රහිම් නසීර් මාලදිවයින ජනරජයක් බවට ප්‍රකාශ කරලා එහි ජනාධිපති ධූරයට පත් වෙනවා. ඔහුගේ පාලනය යටතේ මාලදිවයින ආර්ථික දියුණුවක් සහ නවීකරනයක් ළඟා කරගන්නවා.

1978 දී ඔහුගේ රජයේ ඇතිවන අභ්‍යන්තර අර්බුධයකින් ඔහුගේ ප්‍රවාහන ඇමතිවරයා වන මුහම්මද් අබ්දුල් ගයූම් බලය අල්ලා ගන්නවා. නසීර් සිංගප්පූරුවට පලා යනවා. ගයූම් රජය රාජ්‍ය මුදල් වංචා කිරීමේ වරදට නසීර්ට සිර දඬුවම් නියම කරනවා. නසීර් නැවත මාලදිවයින්ට එන්නේ නෑ. ඔහු 2008 දී සිංගප්පූරුවේදී මිය යනවා.

තිනදු දූපතේ නැවත පදිංචි කිරීම් වෙන්නේ 1966 දී. අද තිනදු දූපත දකුණු හුවදු අතොළුවේ ප්‍රධාන දූපත​. එහි වර්තමාන ජනගහණය 5000 ක්.

දකුණු දිග අතොළු වැසියන් අදටත් සුවදිව් ජනරජය පිළිබඳ සිහි කරන්නේ ආශ්වාදයෙන්. අදටත් කැරැල්ල පිළිබඳ විවිධ සංකේත දකුණු දිග අතොළු වලදී දකින්න පුළුවන්. තිනදු දූපතේ පාපන්දු කණ්ඩායමේ කොඩිය සුවදිව් ජනරජයට ඉතාම සමීපයි. තිනදු දූපතේ ඇති ප්‍රසිද්ධ අවන්හලක නම "1962".

තිනදු පාපන්දු පිලේ කොඩිය ලෙලවන ක්‍රීඩා ලෝලීන්

Sunday, October 7, 2018

මාලදිවයිනේ අතොළු - 8 (දකුණු ප්‍රාන්තය​)


දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.

1. ෆුවාමුලා
2. අඩ්ඩු

ෆුවාමුලා



නිල නාමය : ෆුවාමුලා
කේතය : ඥවියානි
ප්‍රාන්තය : දකුණු
අයත්වන සොබාවික අතොළු : ෆුවාමුලා
ජනගහණය : 7,984
දූපත් : 1
ප්‍රධාන දූපත : ෆුවාමුලා



තනි දූපතකින් සමන්විත අතොළුවක්. තනි දූපතකින් සමන්විත එකම අතොළුව වෙන්නේත් ෆුවාමුලා අතොළුව.

ෆුවාමුලා දූපත අතීතයේදී දකුණු කෙළවරින් මුහුදට විවර වී තිබුන අතර​, දූපත මැද කලපුවක් ව පැවතුනා. නමුත් පසුව විවරය කොරල් පර වලින් වැසී යාමත් සමඟම කලපුවක් ක්‍රමයෙන් ගොඩ වෙලා විශාල තනි දූපතක් බවට පත් වෙලා තියෙනවා. අද දූපතේ මැද ප්‍රදේශය වගුරු බිම් වලින් සහ කුඩා විල් දෙකකින් සමන්විතයි. මේ විල් දෙක "දදිමගු කිලි" සහ "බණ්ඩාර කිලි" ලෙස හැඳින්වෙනවා.



විශාල දූපතක් වීම නිසා ෆුවාමුලා දූපතේ මාලදිවයිනේ අනෙක් දූපත් වලට සාපේක්‍ෂව විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ නිසාම අතීතයේ පටන් මාලදිවයිනේ ලස්සනම දූපත විදිහට සැලකුනේ ෆුවාමුලා.

ඒ වගේම මාලදිවයිනේ වැඩිම උගතුන් පිරිසක් බිහිකල දූපත වෙන්නේත් ෆුවාමුලා. මේ අතර දේශපාලඥයින්, ඉස්ලාමීය ආගමික විද්වතුන්, රාජ්‍යය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම මාලදිවයින් ඉතිහාසයේ විසූ විශිෂ්ඨම උගතෙක් වන මාගීදුරුගේ ඊබ්‍රහිම් ඩීඩි ගේ ජන්ම භූමිය වෙන්නේත් ෆුවාමුලා

ඒ වගේම ෆුවාමුලා 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගී වුනා.


වැදගත් ස්ථාන :

තූන්ඩු

කුඩා සුදුපාට පබළු වැනි වැලි වලින් සමන්විත මුහුදු වෙරළක්. මේ ආකාරයේ වැලි සහිත මුහුදු වෙරළක් මාලදිවයිනේ හමුවෙන එකම ස්ථානය මේක​.


ගෙන් මිස්කි

පැරණි බෞද්ධ ආරාමයක පාදම මත ඉඳිකළ ඉතාම පැරණි ඉස්ලාම් පල්ලියක්.


හවිත්තා

මාලදිවයිනෙන් හමුවන විශාලම සහ ඉතාමත් හොඳින් සුරැකුනු බෞද්ධ ස්ථුපය තියෙන්නේ ෆුවාමුලා දූපතේ. ඒක හැඳින්වෙන්නෙ "ෆුවාමුලා හවිත්තා" නමින්. මේ ස්ථුපය අඩි 40 ක් පමණ උසයි. ඒ අසලින් අඩි 15 පමණ උස කුඩා ස්ථුපයකුත් දකින්න පුළුවන්.



අඩ්ඩු



නිල නාමය : අඩ්ඩු
කේතය : සීනු
ප්‍රාන්තය : දකුණු
අයත්වන සොබාවික අතොළු : අඩ්ඩු
ජනගහණය : 19,319
දූපත් :  28
ප්‍රධාන දූපත : හිතදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 
(හුළුමීදූ, ෆේදූ, මරදූ, හිතදූ)

මේ දූපත් හතර​ පරිපාලනමය වශයෙන් දූපත් දෙකක් කියල සලකනවා. ෆේදූ, මරදූ සහ හිතදූ දූපත් "අඩ්ඩු නගරය​" වශයෙන් එක ඒකකයක් කියල සැලකෙන්නේ.

පදිංචිකරුවන් රහිත දූපත් : 26


මාලදිවයිනේ දකුණින්ම පිහිටි අතොළුව සහ ජනගහණය අතින් දෙවැනියට විශාලම පරිපාල​නමය ඒකකය​.


අඩ්ඩු අතොළුව සාගරයට සම් බන් ධ වෙන්නේ කුඩා කපොළු හතරකින් පමණයි. ඒ හැරුණු විට මුළු අතොළුවම ගොඩබිමින් සහ නොගැඹුරු මුහුදින් සම්බන්ධ වෙලා තියෙන්නෙ. මේ නිසා අතොළුව අභ්‍යන්තරයේ මුහුද ඉතාමත් සන්සුන්. අඩ්ඩු අතොළුවේ දූපත් වල පොල් වගාව ඉතා හොඳින් සිදු කෙරෙන අතර​, දූපත් සොබාවික විල් සහ වගුරු බිම් වලින් සමන්විතයි.

1959 බෙදුම්වාදී සුවදීව් ජනරජය පිහිටුවන්න මූලිකව කටයුතු කළ අතොළුව​.

වැදගත් ස්ථාන​ :

හුළුමීදූ දූපත​ -

හුළුමීදූ දූපත හුළුදූ සහ මීදූ වශයෙන් දිස්ත්‍රික්ක දෙකකට බෙදලා තියෙනවා.

දිවෙහි ජනවර්ගය ලංකාවේ ඉඳලා මාලදිවයිනට සංක්‍රමනය වීම පටන් ගත්තේ මාලදිවයිනේ දකුණේ ඉඳලා. දිවෙහි වරුන් ගේ පැරණිම ජනාවාස හමුවෙන්නේ හුළුමීදූ දූපතෙන්.



"කෝගන්නු" නමින් හැඳින්වෙන මාලදිවයිනේ පැරණිම සුසාන භූමිය තියෙන්නෙ හුළුමීදූ දූපතේ.


"හුළුමීදූ කිළි" නමින් හැඳින්වෙන විශාල වගුරු බිමක් දූපතේ බිම් ප්‍රමානයෙන් වැඩි හරිය වසා ගෙන තියෙනවා. මේ වගුරු බිම මාලදිවයිනේ හමුවෙන විශාලම වගුරුබිම​.

ගන් දූපත ​-

ඉතාමත් සරු පොල් වගාවක් සහිත දූපතක් වන ගන් දූපත අතීතයේ සිට ජනාවාසව පැවති දූපතක්. නමුත් 1941 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙහි ගුවන් හමුදා කඳවුරක් පිහිටුවනු ලැබුවා. ඒ සඳහා මෙහි පදිංචිකරුවන් සියල්ලම අසල්වැසි ෆේදූ දූපතට බලහත්කාරයෙන් සංක්‍රමනය් කරා.

අද මෙහි විශාල ගුවන්තොටුපොළක් තියෙනවා. එය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන් ගුවන්‍ යානා සඳහා පහසුකම් සලසනවා.


මාලදිවයිනේ දකුණින් ම පිහිටි බෞද්ධ නටබුන් හමුවුනේ ගැන් දූපතෙන්. මේ නටබුන් වලට විහාර ගෙයක් සහ කුඩා ස්ථුපයක් අයත්. නමුත් ගුවන් හමුදා කඳවුර පිහිටුවීමේදී මේ නටබුන් විනාශ කරල තියෙනවා.

ෆේදූ දූපත​ -

ගැන් දූපතේ පදිංචිකරුවන් ගුවන් හමුදා කඳවුර ඉඳිකිරීම සඳහා පදිංචි කළේ ෆේදූ දූපතේ. ෆේදූ දූපත ගැන් දූපත සමඟ පටු බිම් කඩකින් සම්බන්ධ කරල තියෙන්නෙ.


මරදූ දූපත -

අඩ්ඩු අතොළුවේ ධීවර කර්මාන්තය බහුලවා සිදු කෙරෙන්නෙ මරදූ දූපතේ.

ගන් දූපතේ පදිංචිකරුවන් ෆේදූ දූපතට මාරු කළ විට ෆේදූ දූපතේ හිටපු පදිංචිකරුවන් මරදූ දූපතේ දකුණු ප්‍රදේශයේ පදිංචි කරනු ලැබුවා. අද ඔවුන් පදිංචිවෙලා ඉන්න කොටස "මරදූ-ෆේදූ" නමින් වෙනම දිස්ත්‍රික්කයක් වශයෙන් සැලකෙනවා.


හිතදූ දූපත -

අඩ්ඩු අතොළුවේ ප්‍රධාන දූපත​.  මාලේ නගරය හැරුණුවිට මාලදිවයිනේ විශාලම ජනගහණයක් සහිත දූපත හිතදූ.

Thursday, October 4, 2018

මාලදිවයිනේ අතොළු - 7 (ඉහළ දකුණු ප්‍රාන්තය​)


ඉහළ දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.

1. හුවදූ අතොළු උතුරුබුරි
2. හුවදූ අතොළු දෙකුණුබුරි

හුවදූ අතොළු උතුරුබුරි



නිල නාමය : හුවදූ අතොළු උතුරුබුරි
කේතය : ගාෆු අලිෆ්
ප්‍රාන්තය : ඉහළ දකුණු
අයත්වන සොබාවික අතොළු : හුවදූ
ජනගහණය : 8,334
දූපත් : 82
ප්‍රධාන දූපත : විලිංගිලි

පදිංචිකරුවන් සහිත දූපත් : 11
(දාන්දූ, දෙව්වදූ, දියදූ, ගෙමනෆුෂි, හදහා, කන්ඩුහුළුදූ, කොලමාෆුෂි, කොන්ඩේ, මාමෙන්දූ, නිලන්දූ, විලිංගිලි)

පදිංචි කරුවන් රහිත දූපත් : 71

අතීත මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සැලකුනු අතොළුවක්. ඒ වගේම​ 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගීවූ අතොළුවක්.


වැදගත් ස්ථාන​:

දෙව්වදූ දූපත -

දෙව්වදූ දූපත සැලකෙන්නේ බෞද්ධ සමයේදී ඉතාමත් වැදගත් තත්වයක් ඉසිලූ දූපතක් විදිහට​. එහි බෞද්ධ නටබුන් රාශියක් දකින්නට පුළුවන්. ඒ අතර "උස්ගදු" නමින් හැඳින් වෙන බෞද්ධ ආරාම කීපයක පාදම විශේෂයි. මේවා මාලදිවයිනේ හමුවන විශාලම බෞද්ධ​ නටබුන් අතරට ගැනෙනවා. මේ වගේ උස්ගදු 5 ක් දෙව්වදූ දූපතේ දකින්නට පුළුවන්. මේ නටබුන් අද තියෙන්නේ අඩි 100 පමන දිග​, අඩි 50 පමණ පළල​, අඩි 4 පමණ උස ගොඩැලි වශයෙන්.

කොන්ඩේ දූපත -

මේ දූපතේත් බෞද්ධ නටබුන් රාශියක් දකින්න පුළුවන්. ඒ අතරින් මේවා විශේෂයි.
1. අඩි 47 දිග සහ පළල​, අඩි 4 ක් උස "කොන්ඩේ හවිත්තා" නමින් හැඳින්වෙන ස්ථුපයක්
2. අඩි 50 දිග සහ පළල​, අඩි 4 උස තවත් ස්ථුපයක්
3. අඩි 60 දිග සහ පළල, අඩි 6 උස තවත් ස්ථුපයක්

ඊට අමතරව ශිලාමය මකර හිසකුත් මේ දූපතෙන් හමුවෙලා තියෙනවා.

විලිංගිලි දූපත -

මුහුදු කෑමට ලක්වීමෙන් බොහෝ සෙයින් විනාශ වී ගිය ස්ථුපයක නටබුන් මේ දූපතේ හමුවෙනවා.


හුවදූ අතොළු දෙකුණුබුරි



නිල නාමය : හුවදූ අතොළු දෙකුණුබුරි
කේතය : ගාෆු දාලු
ප්‍රාන්තය : ඉහළ දකුණු
අයත්වන සොබාවික අතොළු : හුවදූ
ජනගහණය : 11,795
දූපත් : 153
ප්‍රධාන දූපත : තිනදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 10
(ෆරෙස්, ෆියෝරි, ගද්දූ, හොන්දෙද්දූ, මාතොදා, මඩවෙලි, නඩෙල්ලා, රතෆන්දූ, තිනදූ, වාදූ)

පදිංචි කරුවන් රහිත දූපත් : 143

අතීත මාලදිවයිනේ බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස සැලකුනු අතොළුවක් වගේම, මාලේ අගනුවර​ රාජ්‍ය​ බලයට විකල්පයක් ලෙස ඉදිරිපත් වුනු අතොළුවක්. පැරණි හුවදූ අතොළුව වෙනත් අතොළු වලට වඩා ස්වාධීනත්වයක් භුක්ති විඳල තියෙනවා. ඔවුන්ට තමාගේ නැව් සහ බෝට්ටු වල වෙනම කොඩියක් ඔසවන්න පවා අවසර තිබිල තියෙනවා. ඒ වගේම​ 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගීවූ අතොළුවක්.

හුවදූ කොඩිය
සියළුම අතොළු අතරින් වැඩිම දූපත් සංඛ්‍යාවක් අයත් වෙන්නේ මේ අතොළුවට​.

වැදගත් ස්ථාන​:

ෆියෝරි දූපත -

අඩි 32 ක පරිධියකින් සහ අඩි 3 ක උසින් යුත් බෞද්ධ ස්ථුපයක නටබුන් මේ දූපතේ තියෙනවා. ඒ වගේම "තුන්කුදුනා" නම් පන් වර්ගයකින් වියන පැදුරු වලට මේ දූපත ප්‍රසිද්ධයි. ඒ පන් වර්ගය මාලදිවයිනේ වැවෙන එකම දූපත මේ දූපත​.


ගද්දූ දූපත -

බෙලිපට්ට ගසේ පට්ට සහ තණකොළ වර්ගයක් යොදාගෙන වලින් වියන පැදුරු සඳහා මේ දූපත ප්‍රසිද්ධයි. මේ පැදුරු හැඳින්වෙන්නේ "කුනා" කියල​. බෙදුම්වාදී සුවාදිව් ජනරජය පිහිටවීමේ උත්සහය අසාර්ථක වුනාට පස්සෙ 1963 ඉඳල 1973 වෙනකං හුවදූ අතොළුවේ අගනුවර වශයෙන් කටයුතු කලේ ගද්දූ දූපත​.



රතෆන්දූ -

"කුනා" පැදුරු කර්මාන්තයට ප්‍රසිද්ධ තවත් දූපතක්. ඒ වගේම මේ දූපත මුහුදු කැකිරි වලටත් ප්‍රසිද්ධයි.

තිනදූ දූපත -

තිනදූ දූපත දකුණු මාලදිවයිනේ ප්‍රධාන දූපත වගේම මාලේ රාජ්‍යය බලයට විකල්පයක් විදිහට ඉදිරිපත් වුන දූපතක්. මාලදිවයිනේ බලවත්ම අතොළු ප්‍රධානියා වුන හුවදූ අතොළු ප්‍රධානියා හිටියේ තිනදූ දූපතේ. ඒ වගේම අවාසනාවන්ත අතීතයක් සහිත දූපතක්.

1573 දී මාලදිවයිනේ සුල්තාන් වරයාට දැනගන්න ලැබෙනවා තිනදූ දූපතේ මිනිස්සු බෞද්ධ වතාවත් වල යෙදෙන බව​. ඔහු එය නවත්වන්න අණ කළත් ඔවුන් ඒ අණ නොසලකා හරිනවා. ඊට පිළිතුරු වශයෙන් සුල්තාන් වරයා හමුදාව එවලා විශාල ජන ඝාතනයක් කරනවා. මාලදිවයින නිල වශයෙන් ඉස්ලාමය වැළඳගෙන අවුරුදු 500 කට පමණ පසුවත් දකුණු මාලදිවයිනේ ජනයා බෞද්ධ වතාවත් වල නිරත වීම විශේෂ සිද්ධියක්.

1959 දී දකුණු මාලදිවයිනේ අතොළු බෙදුම්වාදී සුවදිව් ජනරජය ප්‍රකාශ කළ පසු ඊට එරෙහිව මාලේ රජය දරුණු භීෂනයක් දියත් කරනවා. ඒ භීෂනයට කෙලින්ම ලක් වෙන්නේ තිනදූ දූපත​. මෙහිදී 200 ක් පමණ දෙනා මිය යනවා (මේ කලයේදී තිනදූ දූපතේ ජනගහණය 4800 යි). දූපත සම්පූර්නයෙන්ම ජන ශුන්‍යය කරලා දූපත් වැසියන්ව බලහත්කරයෙන් වෙනත් දූපත් වල පදිංචි කෙරෙනවා. තිනදූ දූපතේ නැවත මිනිස්සු පදිංචි වෙන්නෙ අවුරුදු 10 කට පසුව 1973 දී.

වාදූ දූපත -

වාදූ දූපත අතීත මාලදිවයිනේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්. බෞද්ධ නටබුන් ගණනාවක් මේ දූපතේ දකින්න පුළුවන්.
1. "වාදූ බොදු හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 90 ක පරිධියකින් සහ මීටර් 12 ක උසින් යුත් විශාල ස්ථුපයක නටබුන්
2. "වාදූ කුඩ හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 40 ක පරිධියකින් සහ මීටර් 7 ක උසින් යුත් තවත් ස්ථුපයක නටබුන්
කොරල් වලින් නිමවූ බුදු සිරිපතුලකුත් මේ දූපතෙන් හමුවෙලා තියෙනවා.

වාදූ බොදු හවිත්තා

මීට අමතරව "තුන්දේ සියාරයි" සහ "බුල්හන්නාබ්" නමින් හැඳින්වෙන පුරාණ සුසාන භූමි දෙකකුත් වාදූ දූපතේ තියෙනවා.

"වාදූ ගලේ මිස්කි" සහ "වාදූ ආසාරි මිස්කි" නමින් හැඳින්වෙන පැරණි ඉස්ලාම් පල්ලි දෙකකුත් වාදූ දූපතේ දකින්න පුළුවන්.

මාලදිවයිනේ ප්‍රථම ඉස්ලාමීය විද්වතෙක් වුන මොහොමඩ් ජමාලුදීන් ගේ සොහොන් ගැබ පිහිටලා තියෙන්නෙත් වාදූ දූපතේ.

ගන් දූපත -

ගන් දූපත වර්තමානයේ ජනාවාස නොවුනු දූපතක්. නමුත් ගන් දූපත 18 වෙනි සියවසේ අගභාගය වෙනතුරු ජනාවාස වී පැවති දූපතක්. වසංගත රෝගයක් නිසා මිනිස්සු ඒ දූපත අතහැර ගිහිල්ලා තියෙනවා.

ගන් දූපතත් අතීත මාලදිවයිනේ වැදගත් බෞද්ධ මධ්‍යස්ථානයක්. ඉපැරණි බෞද්ධ නටබුන් රාශියක් මේ දූපතෙන් හමු වෙලා තියෙනවා.
1. මාලදිවයිනෙන් මෙතෙක් හමුවූ විශාලම බෞද්ධ ස්ථුපයක් වන "ගමු හවිත්තා" නමින් හැඳින්වෙන මීටර් 73 ක පරිධියක් සහ මීටර් 18 ක උසින් යුත් ස්ථුපයක නටබුන්.
2. මීටර් 55 ක පරිධියක් සහ මීටර් 1.5 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
3. මීටර් 15 ක පරිධියක් සහ මීටර් 1 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
4. මීටර් 58 ක පරිධියක් සහ මීටර් 9 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
5. මීටර් 42 ක පරිධියක් සහ මීටර් 6 ක උසින් යුත් ස්ථුපයක නටබුන්
6. මීටර් 37 ක පරිධියක් සහ මීටර් 3 ක උසින් යුත් ස්ථුපයක නටබුන්

ගමු හවිත්තා