Sunday, October 7, 2018

මාලදිවයිනේ අතොළු - 8 (දකුණු ප්‍රාන්තය​)


දකුණු ප්‍රාන්තය අතොළු දෙකකින් සමන්විතයි.

1. ෆුවාමුලා
2. අඩ්ඩු

ෆුවාමුලා



නිල නාමය : ෆුවාමුලා
කේතය : ඥවියානි
ප්‍රාන්තය : දකුණු
අයත්වන සොබාවික අතොළු : ෆුවාමුලා
ජනගහණය : 7,984
දූපත් : 1
ප්‍රධාන දූපත : ෆුවාමුලා



තනි දූපතකින් සමන්විත අතොළුවක්. තනි දූපතකින් සමන්විත එකම අතොළුව වෙන්නේත් ෆුවාමුලා අතොළුව.

ෆුවාමුලා දූපත අතීතයේදී දකුණු කෙළවරින් මුහුදට විවර වී තිබුන අතර​, දූපත මැද කලපුවක් ව පැවතුනා. නමුත් පසුව විවරය කොරල් පර වලින් වැසී යාමත් සමඟම කලපුවක් ක්‍රමයෙන් ගොඩ වෙලා විශාල තනි දූපතක් බවට පත් වෙලා තියෙනවා. අද දූපතේ මැද ප්‍රදේශය වගුරු බිම් වලින් සහ කුඩා විල් දෙකකින් සමන්විතයි. මේ විල් දෙක "දදිමගු කිලි" සහ "බණ්ඩාර කිලි" ලෙස හැඳින්වෙනවා.



විශාල දූපතක් වීම නිසා ෆුවාමුලා දූපතේ මාලදිවයිනේ අනෙක් දූපත් වලට සාපේක්‍ෂව විශාල ජෛව විවිධත්වයක් තියෙනවා. ඒ නිසාම අතීතයේ පටන් මාලදිවයිනේ ලස්සනම දූපත විදිහට සැලකුනේ ෆුවාමුලා.

ඒ වගේම මාලදිවයිනේ වැඩිම උගතුන් පිරිසක් බිහිකල දූපත වෙන්නේත් ෆුවාමුලා. මේ අතර දේශපාලඥයින්, ඉස්ලාමීය ආගමික විද්වතුන්, රාජ්‍යය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඉන්නවා. ඒ වගේම මාලදිවයින් ඉතිහාසයේ විසූ විශිෂ්ඨම උගතෙක් වන මාගීදුරුගේ ඊබ්‍රහිම් ඩීඩි ගේ ජන්ම භූමිය වෙන්නේත් ෆුවාමුලා

ඒ වගේම ෆුවාමුලා 1959 බෙදුම්වාදූ සුවදීව් ජනරජය පිහිටුවීමට සහභාගී වුනා.


වැදගත් ස්ථාන :

තූන්ඩු

කුඩා සුදුපාට පබළු වැනි වැලි වලින් සමන්විත මුහුදු වෙරළක්. මේ ආකාරයේ වැලි සහිත මුහුදු වෙරළක් මාලදිවයිනේ හමුවෙන එකම ස්ථානය මේක​.


ගෙන් මිස්කි

පැරණි බෞද්ධ ආරාමයක පාදම මත ඉඳිකළ ඉතාම පැරණි ඉස්ලාම් පල්ලියක්.


හවිත්තා

මාලදිවයිනෙන් හමුවන විශාලම සහ ඉතාමත් හොඳින් සුරැකුනු බෞද්ධ ස්ථුපය තියෙන්නේ ෆුවාමුලා දූපතේ. ඒක හැඳින්වෙන්නෙ "ෆුවාමුලා හවිත්තා" නමින්. මේ ස්ථුපය අඩි 40 ක් පමණ උසයි. ඒ අසලින් අඩි 15 පමණ උස කුඩා ස්ථුපයකුත් දකින්න පුළුවන්.



අඩ්ඩු



නිල නාමය : අඩ්ඩු
කේතය : සීනු
ප්‍රාන්තය : දකුණු
අයත්වන සොබාවික අතොළු : අඩ්ඩු
ජනගහණය : 19,319
දූපත් :  28
ප්‍රධාන දූපත : හිතදූ

පදිංචිකරුවන් සහිත දූපත් : 
(හුළුමීදූ, ෆේදූ, මරදූ, හිතදූ)

මේ දූපත් හතර​ පරිපාලනමය වශයෙන් දූපත් දෙකක් කියල සලකනවා. ෆේදූ, මරදූ සහ හිතදූ දූපත් "අඩ්ඩු නගරය​" වශයෙන් එක ඒකකයක් කියල සැලකෙන්නේ.

පදිංචිකරුවන් රහිත දූපත් : 26


මාලදිවයිනේ දකුණින්ම පිහිටි අතොළුව සහ ජනගහණය අතින් දෙවැනියට විශාලම පරිපාල​නමය ඒකකය​.


අඩ්ඩු අතොළුව සාගරයට සම් බන් ධ වෙන්නේ කුඩා කපොළු හතරකින් පමණයි. ඒ හැරුණු විට මුළු අතොළුවම ගොඩබිමින් සහ නොගැඹුරු මුහුදින් සම්බන්ධ වෙලා තියෙන්නෙ. මේ නිසා අතොළුව අභ්‍යන්තරයේ මුහුද ඉතාමත් සන්සුන්. අඩ්ඩු අතොළුවේ දූපත් වල පොල් වගාව ඉතා හොඳින් සිදු කෙරෙන අතර​, දූපත් සොබාවික විල් සහ වගුරු බිම් වලින් සමන්විතයි.

1959 බෙදුම්වාදී සුවදීව් ජනරජය පිහිටුවන්න මූලිකව කටයුතු කළ අතොළුව​.

වැදගත් ස්ථාන​ :

හුළුමීදූ දූපත​ -

හුළුමීදූ දූපත හුළුදූ සහ මීදූ වශයෙන් දිස්ත්‍රික්ක දෙකකට බෙදලා තියෙනවා.

දිවෙහි ජනවර්ගය ලංකාවේ ඉඳලා මාලදිවයිනට සංක්‍රමනය වීම පටන් ගත්තේ මාලදිවයිනේ දකුණේ ඉඳලා. දිවෙහි වරුන් ගේ පැරණිම ජනාවාස හමුවෙන්නේ හුළුමීදූ දූපතෙන්.



"කෝගන්නු" නමින් හැඳින්වෙන මාලදිවයිනේ පැරණිම සුසාන භූමිය තියෙන්නෙ හුළුමීදූ දූපතේ.


"හුළුමීදූ කිළි" නමින් හැඳින්වෙන විශාල වගුරු බිමක් දූපතේ බිම් ප්‍රමානයෙන් වැඩි හරිය වසා ගෙන තියෙනවා. මේ වගුරු බිම මාලදිවයිනේ හමුවෙන විශාලම වගුරුබිම​.

ගන් දූපත ​-

ඉතාමත් සරු පොල් වගාවක් සහිත දූපතක් වන ගන් දූපත අතීතයේ සිට ජනාවාසව පැවති දූපතක්. නමුත් 1941 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙහි ගුවන් හමුදා කඳවුරක් පිහිටුවනු ලැබුවා. ඒ සඳහා මෙහි පදිංචිකරුවන් සියල්ලම අසල්වැසි ෆේදූ දූපතට බලහත්කාරයෙන් සංක්‍රමනය් කරා.

අද මෙහි විශාල ගුවන්තොටුපොළක් තියෙනවා. එය අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන් ගුවන්‍ යානා සඳහා පහසුකම් සලසනවා.


මාලදිවයිනේ දකුණින් ම පිහිටි බෞද්ධ නටබුන් හමුවුනේ ගැන් දූපතෙන්. මේ නටබුන් වලට විහාර ගෙයක් සහ කුඩා ස්ථුපයක් අයත්. නමුත් ගුවන් හමුදා කඳවුර පිහිටුවීමේදී මේ නටබුන් විනාශ කරල තියෙනවා.

ෆේදූ දූපත​ -

ගැන් දූපතේ පදිංචිකරුවන් ගුවන් හමුදා කඳවුර ඉඳිකිරීම සඳහා පදිංචි කළේ ෆේදූ දූපතේ. ෆේදූ දූපත ගැන් දූපත සමඟ පටු බිම් කඩකින් සම්බන්ධ කරල තියෙන්නෙ.


මරදූ දූපත -

අඩ්ඩු අතොළුවේ ධීවර කර්මාන්තය බහුලවා සිදු කෙරෙන්නෙ මරදූ දූපතේ.

ගන් දූපතේ පදිංචිකරුවන් ෆේදූ දූපතට මාරු කළ විට ෆේදූ දූපතේ හිටපු පදිංචිකරුවන් මරදූ දූපතේ දකුණු ප්‍රදේශයේ පදිංචි කරනු ලැබුවා. අද ඔවුන් පදිංචිවෙලා ඉන්න කොටස "මරදූ-ෆේදූ" නමින් වෙනම දිස්ත්‍රික්කයක් වශයෙන් සැලකෙනවා.


හිතදූ දූපත -

අඩ්ඩු අතොළුවේ ප්‍රධාන දූපත​.  මාලේ නගරය හැරුණුවිට මාලදිවයිනේ විශාලම ජනගහණයක් සහිත දූපත හිතදූ.

No comments:

Post a Comment