Showing posts with label ඉතිහාසය​. Show all posts
Showing posts with label ඉතිහාසය​. Show all posts

Wednesday, April 15, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 10 (කයිබාර් හි සටන​)



බැනු කුරෙයිසා ගෝත්‍රයට පහරදීම​


ආක්‍රමනික හමුදාව පසු බැස ගිය වහාම මුස්ලිම් වරුන්ට තිබුනු ප්‍රධාන ප්‍රශ්නය වුනේ තමාට එරෙහිව ආක්‍රමනිකයන් සමඟ කුමන්ත්‍රනය කළ බැනු කුරෙයිසා ගෝත්‍රය සමඟ "ගනු දෙනු බේරා ගැනීම​".

මුහම්මද් තුමා වහාම සෙබළු 3000 ක් සහ අසරුවන් 30 ක ගෙන් සමන්විත වුනු හමුදාවක් එක් රැස් කළා. මේ හමුදාවට නායකත්වය දුන්නේ අලී ඉබ්න් අබු තාලිබ්. අලී තම හමුදාවත් සමඟ බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ නිවෙස් තිබුනු ප්‍රදේශ වට කළා. බැනු කුරෙයිසා ගෝත්‍රයේ වැඩිහිටි පිරිමි 800 ක් පමණ සිටියා. ඔවුන් තමාගේ නිවෙස් සහ බලකොටු තුළට වැදී ආරක්‍ෂක සටනක් සඳහා සූදානම් වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ නායකයා සහ මක්කාවෙන් පැමිණි ආක්‍රමනික හමුදාවේ ප්‍රධාන සහකරුවෙක් වුනු හුයයි ඉබ්න් අක්තාබ් මේ වන විට රහසෙන් මදීනාවට ඇතුළු වෙලා හිටියා. ඔහුත් බැනු කුරෙයිසා යුදෙව්වන් සමඟ මුස්ලිම් හමුදාවට කොටු වුනා.

යුදෙව්වන් ශක්තිමත් බලකොටු තුලට වී හොඳින් ආරක්‍ෂා වී සිටිය නිසා අලී කෙලින්ම පහර දෙන්න ගියේ නෑ. ඒ වෙනුවට ඔහු යුදෙව්වන් වටලා ආහාර අවසන් වන තුරු සිටියා. නමුත් දින 25 ක් යන තුරු යුදෙව්වන් යටත් වුනේ නෑ.

විසිපස් වන දිනය අවසානයේදී යුදෙව්වන්ට තව දුරටත් බලකොටු තුලට වී සිටීමට අපහසු වුනා. ඔවුන් ගේ ආහාර අවසන් වෙමින් පැවතුනු අතර​, කොටු වී සිටි 1000 පමණ වූ කාන්තාවන් සහ ළමුන් සිටියේ දුර්වල මානසික තත්වයක​. මේ නිසා ඔවුන් ගේ ප්‍රධානියා වුනු කාබ් ඉබ්න් අසාද් සාකච්ඡාවක් කැඳෙව්වා.

මේ සාකච්ඡාවේදී කාබ් ඉබ්න් අසාද් යෝජනා තුනක් යෝජනා කළා. ඒ ඉස්ලාමය වැළඳ ගැනීම​, සියළුම කාන්තාවන් සහ ළමුන් මරාදමා ඉන්පසු බලකොටු වලින් එලියට ගොස් මුස්ලිම් වරු සමඟ සටන් වැදීම සහ සබාත් දිනයේදී බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල කිරීම​. නමුත් යුදෙව්වන් මේ යෝජනා තුනටම එකඟ වුනේ නෑ. අවසානයේදී ඔවුන් තීරණය කළේ මදීනා මුස්ලිම් වරයෙක් සහ ඔවුන් ගේ මිතුරෙක් වුනු අබු ලුබාබා ගෙන් උපදෙස් ලබා ගැනීමට​. ඒ අනුව ඔවුන් අබු ලුබාබාට රහසිගතව තමා වෙත පැමිණෙන ලෙස ආරාධනා කළා. ඔවුන් සමඟ කතා කළ පසු අබු ලුබාබා ගේ උපදෙස වුනේ වඩාත්ම සුදුසු දේ යටත් වීම බවයි.


පහුවදා උදේම බැනු කුරෙයිසා යුදෙව්වන් ආයුධ බිම තබා යටත් වුනා. මුස්ලිම් වරු ඔවුන්ට දෙන දඬුවම මුහම්මද් තුමා තීරණය කරන තුරු ඔවුන් සියල්ලන්ම සිර භාරයට ගත්තා. මේ අතර අබු ලුබාබා සහ තවත් කීප දෙනෙක් යුදෙව්වන්ට ලිහිල් දඬුවමක් දෙන ලෙස මුහම්මද් තුමාගෙන් ආයාචනා කර සිටියා. අවසානයේ දී තීරණය කෙරුනේ බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ මිතුරෙක් ලෙස සැලකුණු මදීනා මුස්ලිම් වරයෙක් වූ සාද් ඉබ්න් මුආද් හට තීරණයක් දීමේ බලය පැවරීමටයි. මීට බැනු කුරෙයිසා යුදෙව්වන් එකඟ වුනා.

සාද් ඉබ්න් මුආද් තීරණය කළේ මදීනා සම්මුතියට අනුව කටයුතු කළ යුතු බවයි. එහි දැක්වුනු ලෙස යම් කිසි ගෝත්‍රයක ආරවුලක් විසඳන්නේ ඒ ගෝත්‍රයේ පාරම්පරික නීති රීති වලට අනුවයි. ඒ නිසා යුදෙව්වන්ට දෙන දඬුවම ඔවුන් ගේ නීති රීති වලට අනුකූල එකක් විය යුතු බව සාද් ඉබ්න් මුආද් තීරණය කළා. යුදෙව්වන් ගේ නීති අනුව සටනකින් පසු අල්ලා ගන්නා නගරයක සියළුම වැඩිහිටි පිරිමින් මරා දැමිය යුතු බව පෙන්වා දුන් සාද් ඉබ්න් මුආද් ඒ අනුව බැනු කුරෙයිසා ගෝත්‍රයේ සියළුම පිරිමින් හිස ගසා දැමීමෙන් මරා දැමිය යුතු බවත්, ළමුන් සහ කාන්තාවන් වහල් මෙහෙයට ගත යුතු බවත් නියම කළා.

ඒ අනුව වයස අවුරුදු 14 ට වැඩි සියළුම පිරිමින්, බැනු නදීර් ගෝත්‍රයේ නායක හුයයි ඉබ්න් අක්තාබ් සහ සටන අතරතුර ඇඹරුම් ගලක් හිස මත හෙලීමෙන් මුස්ලිම් සෙබළෙක් මරා දැමූ යුදෙව් කාන්තාවක් හිස ගසා මරා දමනු ලැබුවා. මදීනා නගරයේ පොදු වෙළඳපොල අසල විශාල අගල් කීපයක් හාරා ඔවුන් එහි සාමූහිකව වල දමනු ලැබුවා. මරා දැමුනු සම්පූර්න ගණන 800 පමණ වුනා.

බැනු කුරෙයිසා යුදෙව්වන් හිස ගසා දැමීම​
කාන්තාවන් සහ ළමුන් වහලුන් ලෙස නැගෙනහිර අරාබියේ බෙදුවියන් ගෝත්‍රයන් වෙත විකුණා දැමුනු අතර​, ඒ මුදලින් අශ්වයන් විශාල ප්‍රමානයක් මිලදී ගැනුනා.

බැනු කුරෙයිසා යුදෙව්වන් සතු වූ කඩු 1500, හෙල්ල 2000 පළිහ 500 සහ සන්නාහ 300 ක් මුස්ලිම් වරු විසින් අල්ලා ගැනුනු අතර​, මිලදී ගත් අශ්වයන් සමඟ මේ ආයුධ තොගය නිසා මුස්ලිම් හමුදාවේ ප්‍රහාරක ශක්තියේ විශාල වර්ධනයක් ඇති වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ නායක හුයයි ඉබ්න් අක්තාබ් ගේ හිස ගසා දැමීම​
බැනු කුරෙයිසා ගෝත්‍රය මදීනාවෙන් පළවා හැරීමත් සමඟම මදීනාව පළමු වරට සම්පූර්ණයෙන්ම අරාබි නගරයක් බවට පත් වුනා. ඒ වගේම තවමත් ඉස්ලාමය වැළඳ නොගත් ස්වල්ප දෙනෙක් හැරුනු කොට මදීනාව සම්පූර්ණයෙන්ම මුස්ලිම් නගරයක් බවටත් පත් වුනා.


මක්කාවට කළ වන්දනා ගමන​​


මදීනාවට එරෙහිව එල්ලවුනු ආක්‍රමනය අසාර්ථක වීමෙන් පසු මක්කා වරුන් ගේ ප්‍රතිරූපයට විශාල හානියක් සිදු වුනු අතර මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් වර්ධනය වුනා. බැනු කුරෙයිසා ගෝත්‍රය පළවා හැරීමේදී අල්ලා ගත් ආයුධ සහ මිලදී ගත් අසුන් නිසා මුස්ලිම් වරුන් ගේ හමුදා ශක්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. මීළඟට මුහම්මද් තුමාගේ අවධානය යොමු වුනේ මක්කාව සමඟ මිතුරුව උන් බෙදුවියන් ගෝත්‍ර පාලනය කිරීම​. ඒ අනුව බෙදුවියන් ගෝත්‍රයන්ට එරෙහිව කෙරුණු ප්‍රහාර වඩාත් දැඩි කරන්න ඔහු කටයුතු කළා. මේ ප්‍රහාර බහුතරයක් අති සාර්ථක වුනු අතර එක්කෝ බෙදුවියන් වරු ඉස්ලාමය වැළඳ ගත්තා. නැතිනම් මදීනාවට බදු ගෙවන්න එකඟතාවය පළ කලා. මේ විදිහට මක්කාව තනි කරන්න මුහම්මද් තුමා සමත් වුනා.

ක්‍රි.ව​. 628 ජනවාරි මාසයේදී මුහම්මද් තුමා සිහිනයක් දැක්කා. ඒ සිහිනයේ කියැවුනේ ඔහු මක්කාවට ගොස් කාබාව වටා ගමන් කරමින් වන් දනාවේ යෙදෙන ආකාරයත්, ඔහුගේ සහචරයන් ඔහුත් සමඟ සිටින ආකාරයත්, ඔවුන් වන්දනා ගමනක යෙදීමේදී සිදු කරන ආකාරයට හිස මුඩු කර​, සුදු ඇඳ සිටින ආකාරයත්. මෙය මක්කාව වෙත වන් දනා ගමනක යෙදීමට දෙවියන් ගෙන් ලැබුනු උපදෙසක් ලෙස සැලකූ මුහම්මද් තුමා ඒ සඳහා සූදානම් වුනා.

මේ සඳහා මුහම්මද් තුමා සමඟ සහචරයන් 1400 ක් සහභාගී වුනා. ඔවුන් සියළු දෙනා වන් දනා ගමනකට සූදානම්ව හිස මුඩු කොට, සුදු ඇඳුමින් සැරසී බිලි දීම සඳහා සතුන් රැගෙන මක්කාව දෙසට ගමන් කළා. තමාගේ අණක් නොමැතිව කිසිම අවස්ථාවක ආයුධ පාවිච්චි නොකරන ලෙසට මුහම්මද් තුමා ඔවුන්ට ඉතා තදින් අණ කළා.

මුස්ලිම් වරු විශාල පිරිසක් මක්කාව දෙසට එන බව ආරංචි වුනු අබු සුෆියාන් ප්‍රමුඛ මක්කා ප්‍රධානීන් දැඩි ලෙස කැළඹුනා. ඔවුන් සැක කලේ මුස්ලිම් වරු මක්කාවට පහර දීමට එන බව​. මේ නිසා ඔවුන් වහාම කාලිද් ඉබ්න් අල්-වලීද් ගේ නායකත්වය යටතේ අසරුවන් 200 ක් මුස්ලිම් වරු හමුවට යැව්වා. මක්කා අසරුවන් තමා කරා එන බව දැනගත් මුහම්මද් තුමා තමාගේ ගමන් මග වෙනස්කොට කඳු සහිත මාර්ගයකින් මක්කාව කරා පැමිණියා. ඔවුන් මක්කාවට කිලෝමීටරයක් පමණ ඈතින් පිහිටි "හුදයිබියා" නම් ස්ථානයකට පැමිණ කඳවුරු ලෑවා.


හුදයිබියා හි පැරණි පල්ලියේ නටබුන් සහ නව පල්ලිය​

මුස්ලිම් වරු නගරය අසලටම පැමිණි බව දුටු මක්කා ප්‍රධානින් ඔවුන්ට නගරයට ඇතුළු වීමට නොහැකිවන පරිද්දෙන් ආරක්‍ෂකයන් යෙදුවා. මේ නිසා මුහම්මද් තුමාට මක්කාවට ඇතුළු වීමට ලැබුනේ නෑ. ඔවුන් හුදයිබියා නැවතී සිටියේ නගරයට ඇතුල් වීමට අවසර ලැබෙන තුරු.

බලාපොරොත්තු වුනු ආකාරයට මුස්ලිම් වරු සටනට සූදානම් නොවන බව දුටු මක්කා ප්‍රධානින් කැළඹීමට පත් වුනා. ඔවුන් කළේ අබු සුෆියාන් ගේ දියණියගේ සැමියා වුනු බැනු තකීෆ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු උර්වා ඉබ්න් මසූද් මුහම්මද් තුමා වෙත යැවීම​. උර්වා ඉබ්න් මසූද් මුහම්මද් තුමා සමඟ සාකච්ඡා කළ පසු මුස්ලිම් වරු පැමිණියේ වන්දනා ගමනකට බවත්, සටන් කිරීමට ඔවුන් තුල කිසිදු අදහසක් නොමැති බවත් මක්කා ප්‍රධානින් ට දන්වා සිටියා.

මේ අතර මුහම්මද් තුමා තම නියෝජිතයෙක් විදිහට උත්මාන් ඉබ්න් අෆ්ෆන් මක්කාවට යැව්වා. මක්කා ප්‍රධානින් ඔහුට නැවත නගරයෙන් පිටවීමට තහනම් කොට ඔහුව මක්කාව තුළ රඳවා ගත්තා. දින 19 ක් තිස්සේ උත්මාන් නැවත නොපැමිනි නිසා මක්කා ප්‍රධානින් ඔහුව මරා දමා ඇති බවට රාවයක් මුස්ලිම් වරු අතර පැතිර ගියා. මේ නිසා මුස්ලිම් වරු අතර නොසන්සුන්තාවයක් ඇති වුනා. එවිට මුහම්මද් තුමා සියළු දෙනා කැඳවා යම් හෙයකින් උත්මාන් මරා දමා තිබුනොත්, මක්කා වරු සමඟ මරණය තෙක් සටන් කිරීමට සූදානම් බවට ප්‍රතිඥා දීමට සූදානම් දැයි ඔවුන් ගෙන් විමසා සිටියා. එතැන සිටි සියළුම දෙනා එසේ කිරීමට සූදානම් බවට ප්‍රතිඥා දුන්නා. මේ ප්‍රතිඥාව දුන්නේ ගසක් යටදී නිසා එය හැඳින්වෙන්නේ "ගස යට ප්‍රතිඥාව​" ලෙසින්.


හුදයිබියා ගිවිසුම​


මුස්ලිම් වරු සාමකාමීව පැමිණ ඇති බවත්, අවශ්‍ය වුනොත් සටනකට සූදානම් බවත් දුටු මක්කා ප්‍රධානින් උත්මාන් ව නිදහස් කොට ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට මක්කාවේ ප්‍රධානියෙක් වුනු සුහායිල් ඉබ්න් ආමර් එව්වා. සුහායිල් ඉබ්න් ආමර් මක්කා ප්‍රධානින් අතර ඉස්ලාමයට වඩාත් තදින් විරුද්ධ වුනු අයෙක්.

මුහම්මද් තුමා සුහායිල් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු එකඟතාවයකට එළැඹුනා. ඔවුන් එම එකඟතාවය ගිවිසුම් ගත කළා. ගිවිසුමේ පිටපත් දෙක ලියනු ලැබුවේ සුහායිල් සහ අලී විසින්.

ගිවිසුම ලිවීමේදී මුස්ලිම් වරුන් ගේ සිරිත අනුව අලී විසින් ආරම්භක වාක්‍යය "බිස්මිල්ලාහ් ඉර් රහ්මාන් අර් රහීම්" (දයාන්විත වූත්, කාරුණික වූත් අල්ලාහ් ගේ නාමයෙන්) යනුවෙන් ලිවීමට පටන් ගත්තා. නමුත් සුහායිල් ඊට විරුද්ධ වෙමින් මක්කා වරු එවැනි දෙයක් පිළිනොගන්නා බව කිව්වා. එවිට මුහම්මද් තුමා ඊට එකඟ වෙමින් අලීට ඒ වාක්‍යය කටුගා දමන ලෙස උපදෙස් දුන්නා.

ඊළඟට අලී "මේ ගිවිසුම සුහායිල් ඉබ්න් ආමර් සහ අල්ලාහ් ගේ දූතයා වන මුහම්මද් අතර ඇති කර ගන්නා ලදී" යනුවෙන් ලිව්වා. නමුත් සුහායිල් එයටත් විරුද්ධ වෙමින් මක්කා වරු මුහම්මද් දෙවියන් ගේ දූතයා ලෙස පිළිනොගන්නා බව කියා සිටියා. එවිට මුහම්මද් තුමා එයටත් එකඟ වෙමින් "මුහම්මද් ඉබ්න් අබ්ද්-අල්ලාහ්" (මුහම්මද් තුමාගේ සම්පූර්න නම​) ලෙස​ එය වෙනස් කරන ලෙස අලීට උපදෙස් දුන්නා.

ඊළඟට ඔවුන් තමා එකඟ වුනු කරුණු හයක් ගිවිසුමේ ලියා දැක්වුවා.

1. මේ වසරේ වන්දනා ගමන සඳහා මක්කාවට ඇතුළු වීමට මුස්ලිම් වරුන්ට අවසර නොමැත​.

2. ඔවුන්ට ඊළඟ වසරේ දී ඒ සඳහා අවසර ලැබේ.

3. වන්දනා ගමන සඳහා මුස්ලිම් වරුන්ට දින තුනක කාලයක් ලැබෙන අතර​, කිසිම ආයුධයක් ගෙන ඒම තහනම් වේ.

4. මක්කාව සහ මදීනාව අතර වසර 10 ක සාම කාලයක් පැවතිය යුතුය​. මේ කාලය තුලදී දෙපිරිස අතර කිසිම සටනක් සිදු නොවිය යුතුය​.

5. යම්කිසි මුස්ලිම් වරයෙකුට ඉස්ලාමය අත හැර නැවත මක්කාවට යාමට අවශ්‍යය වුවහොත්, මුස්ලිම් වරු එයට අවහිර නොකළ යුතුය​.

6. යම්කිසි මක්කා වැසියෙක් ඉස්ලාමය වැළඳගෙන මදීනාවට පැමිණියහොත්, මුස්ලිම් වරු ඔහුව නැවත මක්කාවට බාර දිය යුතුය​.

මේ ගිවිසුම හැඳින්වෙන්නේ "හුදයිබියා ගිවිසුම" ලෙසින්.

සමහර මුස්ලිම් වරු, විශේෂයෙන්ම උමර්, මේ ගිවිසුම දැක්කේ තමාට අවාසි සහගත එකක් ලෙස​. මේ නිසා ඔවුන් මුහම්මද් තුමාගේ නායකත්වය ප්‍රශ්න කරන්න පවා පෙළඹුනා.

ගිවිසුමේ සමහර කොන්දේසි මුස්ලිම් වරුන්ට අවාසි සහගත වුවත්, සමස්තයක් වශයෙන් ගිවිසුම නිසා මුස්ලිම් වරුන්ට අත්වුනේ වාසියක්. එමගින් මුල්ම වරට මක්කා ප්‍රධානින් විසින් මුස්ලිම් වරු වෙනම ගෝත්‍රයක් වශයෙන් පිළිගැනීම සහ මුහම්මද් තුමා ගෝත්‍ර නායකයෙක් ලෙස පිළිගැනීම සිදු වුනා. මෙතෙක් ඔවුන් මුස්ලිම් වරු සැලකුවේ කැරලිකරුවන් පිරිසක් විදිහට පමණයි. මක්කාව සමඟ සටනකට නොයාම නිසා මක්කා වැසියන් තුල මුස්ලිම් වරු කෙරෙහි පැහැදීමක් ඇති කරන්නත් මුහම්මද් තුමා සමත් වුනා. මෙය පසු කාලීනව ඉතා වැදගත් වුනා.

ඒ වගේම මක්කාව සමඟ ලැබුනු වසර 10 ක සටන් විරාමය මුස්ලිම් වරුන්ට තම බලය වර්ධනය කර ගැනීමට කදිම අවස්ථාවක් වුනා.


කයිබාර් හි යුදෙව්වෝ


කයිබාර් කියන්නේ මදීනාවේ සිට කිලෝමීටර් 160 පමණ උතුරින් පිහිටි විශාල ක්‍ෂේම භූමියක්. මේ ක්‍ෂේම භූමියේ අතීතයේ ඉඳන් පදිංචි වෙලා හිටියේ යුදෙව් ගෝත්‍ර කීපයක්. මුහම්මද් තුමා විසින් මදීනාවෙන් පිටුවහල් කරන ලද යුදෙව් ගෝත්‍ර දෙක වුනු බැනු නදීර් සහ බැනු කුවයිනුකා ගෝත්‍ර පදිංචි වුනෙත් කයිබාර් හි.

කයිබාර් ප්‍රසිද්ධ වෙලා තිබුනේ රට ඉඳි වගාවට​. මුළු අරාබියේම ඉස්තරම්ම රට ඉඳි වැවුනේ කයිබාර් වල​. මේ රට ඉඳි වගාවේ නිරත වෙලා හිටපු යුදෙව්වෝ ඒ මගින් විශාල ධනයක් එක් රැස් කර ගත්තා. කයිබාර් ක්‍ෂේම භූමිය අසල තවත් කුඩා ක්‍ෂේම භූමි ගණනාවක් තිබුනා. ඒවායෙත් විවිධ වගාවන් හි නිරත වුනු යුදෙව් ගෝත්‍ර පදිංචි වෙලා හිටියා. ෆදක් සහ වදි අල් කුරා කියන්නේ ඒ වගේ ක්‍ෂේම භූමි දෙකක්.

කයිබාර් කඳු ගැට සහ නිම්න වලින් සොබාවිකව ආරක්‍ෂා වෙලා පිහිටා තිබුනු අතර යුදෙව්වන් ඒ කඳුගැට මත ඉතාමත් ශක්තිමත් බලකොටු තනා තිබුණා. මේ නිසා කයිබාර් සතුරු ප්‍රහාරයකට මුහුණ දෙන්න ඉතාමත් සුදුසු ආකාරයත පිහිටා තිබුනා.

කයිබාර් නිම්නය​, රට ඉඳි වගාවන් සහ යුදෙව්වන් ගේ නිවෙස් වල නටබුන්
මදීනාවෙන් පිටුවහල් කළ යුදෙව්වන් මුස්ලිම් වරුන් ගෙන් පළිගැනීමට මාන බලමින් උන් අතර​, ඔවුන් මක්කා වරුන් ගේ මදීනා ආක්‍රමනයේදී තීරණාත්මක සාධකයක් වුනා. මදීනා ආක්‍රමනය අසාර්ථක වුනු පසුවද ඔවුන් විවිධ බෙදුවියන් ගෝත්‍ර සමඟින් මිතුරු සන්ධාන වලට එලැඹෙමින් මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළා. අවස්ථා කීපයකදීම මුස්ලිම් වරුන්ට එරෙහිව නොයෙකුත් හිරිහැර සිදු කළා. වරක් වදි අල් කුරා හි පදිංචිව උන් යුදෙව්වන් ඒ අසලින් ගමන් කළ මුස්ලිම් වරු පිරිසකට පහර දී නව දෙනෙක් මරා දැමුවා.

ඒ වගේම උතුරින් කයිබාර් යුදෙව්වන් සහ දකුණින් මක්කාව ලෙස දෙපසකින් සතුරන්ට මැදි වී සිටීම මුහම්මද් තුමා සැලකුවේ අනතුරුදායක තත්වයක් විදිහට​. මක්කාව සමඟ දස වසරක සාමයක් පිහිටුවා ගත් පසු මුහම්මද් තුමා කයිබාර් ක්‍ෂේම භූමිය ආක්‍රමනය කිරීමට සැලසුම් කළා.


කයිබාර් හි සටන​


ආක්‍රමනයේ පළමු පියවර විදිහට මුහම්මද් තුමා කළේ කයිබාර් යුදෙව්වන් ගේ මිතුරු බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රය සටනින් ඉවත් කර තැබීම​. බැනු ගතෆාන් ගෝත්‍රය ඉතාමත් බලවත්, පිරිස් බලය අතින් විශාල ගෝත්‍රයක්. ඔවුන් තම යුදෙව් මිතුරන් ගේ සහයට ආවොත් ආක්‍රමනය අසාර්ථක වන බව මුහම්මද් තුමා දැන් සිටියා. මේ නිසා ඔහු බැනු ගතෆාන් ගෝත්‍රයට එරෙහිව ප්‍රහාර කීපයක් එල්ල කොට ඔවුන්ව බිය වද්දා, ඉන්පසු සටනට එක් නොවී සිටියොත් ඔවුන්ට ගෙවීමක් කරන බවට පොරොන්දු වීමෙන් ඔවුන් සටන් බිමෙන් ඉවත් කළා.

ක්‍රි.ව​. 628 මැයි මාසයේදී මුහම්මද් තුමා තම ආක්‍රමනය ඇරඹුවා. කයිබාර් හි සම්පූර්ණ ජනගහණය 10,000 පමණ වුනා. මින් 5000 පමණ සටන් කළ හැකි වයසේ පිරිමින්. නමුත් මුස්ලිම් හමුදාව සමන්විත වුනේ 1600 කින්.

දින තුනක​ ගමනකින් පසු ඔවුන් කයිබාර් කරා පැමිණියා. මුස්ලිම් හමුදාව කුඩා වූ නිසා ඔවුන් ළඟටම එනතුරු යුදෙව්වන් ඒ ගැන දැන සිටියේ නෑ. මේ නිසා සංවිධානාත්මක සටනක් කිරීමට යුදෙව්වන්ට නොහැකි වුනා. ඔවුන් ඒ වෙනුවට තමා ගේ බලකොටු තුළට වැදී ආරක්‍ෂිත සටනකට සූදානම් වුනා.

කයිබාර් හි බලකොටුවක්
කයිබාර් නිම්නය පුරා විශාල බලකොටු හයක් ඉඳි කර තිබුනා. මේ බලකොටු හැඳින්වුනේ සලීම්, කාමුස්, නතත්, ක්වසාරා, අෂ්-සික් සහ මර්තබා යන නම් වලින්. මේ බලකොටු ශක්තිමත් කොටු පවුරු වලින් වටකොට​, කඳු මුදුන් වල තනා තිබුනේ සතුරු ප්‍රහාරයකට ඔරොත්තු දෙන ආකාරයට​.

ඍජු ප්‍රහාරයක් එල්ල කිරීම අනතුරුදායක බව තීරණය කළ මුහම්මද් තුමා ඒ වෙනුවට යුදෙව්වන් ගේ ආහාර අවසන් වන තුරු බලකොටු වටලා සිටීමට තීරණය කළා. හදිසියේම ප්‍රහාරය එල්ල වුනු නිසා යුදෙව්වන්ට ආහාර සහ ජලය විශාල ප්‍රමානයක් තම බලකොටු එක් රැස් කර ගන්න හැකි වුනේ නෑ. මේ නිසා කීප දිනකින්ම යුදෙව්වන්ට ආහාර හිඟයක් ඇති වුනා. ඒ එක්කම බලකොටු අතර සන්නිවේදනය අපහසු වූ නිසා ඒකාබද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට හැකියාවක් තිබුනේත් නෑ.

මුස්ලිම් හමුදාවේ තත්වයත් එතරම් යහපත් වුනේ නෑ. ටික දිනකින්ම ඔවුන්ටත් දරුණු ආහාර හිඟයක් ඇති වුනා. මේ නිසා ඔවුන්ට කුසගිනි නිවා ගැනීමට සිදු වුනේ තම අශ්වයන් සහ බූරුවන් මරා කෑමෙන්. ඒ අතරේ අලී ඉබ්න් අබු තාලිබ් ට ඇස් රෝගයක් සහ දරුණු හිසරදයක් වැළඳීම නිසා ඔහුට සටන් කිරීමට නොහැකි තත්වයක් ඇති වුනා.

සති දෙකක් පමණ ගෙවී යද්දී යුදෙව් බලකොටු එකින් එක මුස්ලිම් වරුන්ට යටත් වුනා. නමුත් විශාලම සහ ශක්තිමත්ම බලකොටුව වුනු අල්-කාමුස් බලකොටුව යටත් වුනේ නෑ.

අල්-කාමුස් බලකොටුව​

අල්-කාමුස් බලකොටුව අල්ලා ගැනීම​


අල්-කාමුස් බලකොටුවේ සෙනවියා ලෙස කටයුතු කළේ. මර්හාබ් ඉබ්න් අබු සයිනාබ් නම් විශිෂ්ඨ රණ ශූරයෙක්. ඉතාමත් උස ශක්තිමත් සිරුරකින් හෙබි වුනු මර්හාබ් නිර්භීත කම අතින් නම් දැරූ යුධ සෙබළෙක්.

මුස්ලිම් හමුදාව අල්-කාමුස් බලකොටුව වටලා සිටියදී මර්හාබ් බලකොටුවේ කොටු දොරින් එළියට පැමිණ මුස්ලිම් වරුන්ට අභියෝග කළා. ඒ ඔහු විසින් පබදින ලද​ ලද කවියක් කීමෙන්.


"මගේ රණ ශූරත්වය නොදන්නා කෙනෙක් වේද මෙහි
මම මර්හාබ් බව නොදනීද මේ නිම්නය, කයිබාර්"

මුස්ලිම් වරු එල්ල කළ ප්‍රහාරයන් කීපයක් ම මර්හාබ් ප්‍රමුඛ යුදෙව්වන් විසින් මැඩ පැවැත්වුවා. මේ නිසා මුහම්මද් තුමා දක්‍ෂතම සටන් කරුවන් ගෙන් සමන්විත කණ්ඩායමක් සදා එහි නායකත්වය අබු බකර් ට ලබා දුන්නේ මුස්ලිම් හමුදාවේ ධජය ඔහු අතට ලබා දෙමින්.

මුහම්මද් තුමා ගේ අණ පරිදි අබු බකර් තම කණ්ඩායමත් සමඟ බලකොටුවට පහර දුන්නත්, මර්හාබ් හමුවේ ඔවුන්ට පරාජය වී පසු බැසීමට සිදු වුනා. මුහම්මද් තුමා මීළඟ කණ්ඩායමේ නායකත්වය දුන්නේ උමර්ට​. උමර් ධජයත් රැගෙන තම කණ්ඩායම සමඟ ප්‍රහාරයක් මෙහෙයවූවත්, මර්හාබ් ප්‍රමුඛ යුදෙව්වන් එම ප්‍රහාරයත් මැඩ පවත්වන්න සමත් වුනා. මේ ආකාරයට මුස්ලිම් වරුන් ගේ තුන්වන ප්‍රහාරයකුත් ව්‍යර්ථ වී ගියා.

එදින රාත්‍රියේ මුස්ලිම් හමුදාව සිටියේ බලාපොරොත්තු සුන් වූ හැඟීමකින්. බලකොටුව බිඳ හෙලීමට සමතෙක් ඔවුන් අතර නොසිටියි ද යන සැකය කා තුළත් පැන නැගී තිබුනා. නමුත් මුහම්මද් තුමා එක වරම සියල්ලන් අමතා නිවේදනයක් නිකුත් කළා.

"මම හෙට උදෑසන නුඹලා අතරින් කෙනෙකුට මුස්ලිම් වරුන් ගේ ධජය ලබා දෙනවා. ඔහු අල්ලාහ් ට සහ අල්ලාහ් ගේ දූතයාට ආදරය කරන අතර​, අල්ලාහ් සහ අල්ලාහ් ගේ දූතයා ඔහුට ආදරය කරනවා. ඔහු කිසිම විටෙකදී සටනකදී පසු බසින්නේ නෑ. අල්ලාහ් හෙට ඔහුට ජයග්‍රහණය ලබා දෙනවා."

සියළුම දෙනා මුහම්මද් තුමා පැවසුවේ කා ගැනදැයි දැන ගැනීමට නොඉවසිලිමත් වුනා. සියල්ලෝම එම ගෞරවය තමාට ලැබේ යැයි බලාපොරොත්තු වුනා. නමුත් මුහම්මද් තුමා ඒ කවුදැයි එදා රෑ හෙලි කළේ නෑ.

පසුදා උදෑසනම මුස්ලිම් හමුදාව දුටුවේ පුදුම උපදවන සුළු දර්ශනයක්. එතෙක් දැඩි ලෙස රෝගාතුරව සටනින් ඉවත්ව උන් අලී තමාගේ කූඩාරම ඉදිරිපිට සිටගෙන සිටියා. ඔහු තවදුරටත් රෝගීව සිටින බවක් පෙනුනේ නෑ.

"අලී, නුඹේ ඇස් පෙනීම කොහොමද​?"

කෙනෙක් අලීගෙන් ඇසුවා.

"මට කවදාවත් මේ තරම් හොඳින් පෙනිලා නෑ"

අලී පිළිතුරු දුන්නා.

මුහම්මද් තුමා අලී අතට ධජය ලබා දී බලකොටුවට පහර දෙන ලෙස අණ කළා. අලී ධජයත් රැගෙන පිම්මේ දිව ගියේ මර්හාබ් ඉදිරියට​.

මර්හාබ් තමා ඉදිරියට දිව එන තරුණයා පිළිගත්තේ තමාගේ සුපුරුදු කවියෙන්.

"මගේ රණ ශූරත්වය නොදන්නා කෙනෙක් වේද මෙහි
මම මර්හාබ් බව නොදනීද මේ නිම්නය, කයිබාර්"

අලී ඊට පිළිතුරු කවියකින් උත්තර දුන්නා.

"මා ඉපදුනේ මේ සටනට හැර අන් කිසිවකටද​
මා ඉපදුනු විට මගේ මව මා නම් කළේ නමින්‍ ය​, හයිදාර් (සිංහයා)"

අලී ගේ නිර්භීත බව දුටූ මර්හාබ් සැලුනා. ඔහු කඩුව ඇදගෙන සටනට ආවත්, සුළු මොහොතකින් අලී ඔහුගේ යකඩ හිස්වැස්ම පළාගෙන හිස දෙපළු වන ලෙස එල්ල කළ කඩු පහරකින් මරණයට පත් වුනා.

අලී සහ මර්හාබ් සටන් වැදීම​

මර්හාබ් ඇද වැටුනු බව දුටු මුස්ලිම් හමුදාව එකාමෙන් ජයඝෝෂා කරමින් බලකොටුව දෙසට දිව ආවා. බියපත් වුනු යුදෙව්වන් වහ  වහා බලකොටුව තුලට වැදී එහි විශාල​ කොටු දොර වසා ගත්තත්, අලී තනිවම කොටු දොර බිඳ හෙළුවා. බලකොටුව තුලට ඇතුළු වීමට පැමිණි මුස්ලිම් සෙබළුන්ට මුණ ගැසුනේ අගලක්. අලී බිඳ හෙළූ කොටු දොර පාලමක් මෙන් අගල මතින් දමා මුස්ලිම් සෙබළුන්ට බලකොටුව තුලට වැදීමට ඉඩ සදා දුන්නා. බලකොටුවට වැදුනු මුස්ලිම් හමුදාව බලකොටුව අල්ලා ගත්තා.

සම්පුර්ණ සටන මාසයක් පමණ පැවතුනු අතර​, මුස්ලිම් සෙබළුන් 20 ක් සහ යුදෙව්වන් 93 ක් මිය ගියා.


යුදෙව්වන් යටත් වීම​


මුහම්මද් තුමා යටත් වුනු යුදෙව් ගෝත්‍ර වල නායකයන් සමඟ යටත් වීමේ කොන්දේසි සාකච්ඡා කළා. බොහෝ යුදෙව්වන් බිය වුනේ බැනු කුරෙයිසා යුදෙව්වන්ට අත්වූ ඉරණම තමාටත් අත්වේ යැයි කියා. නමුත් මුහම්මද් තුමා ඔවුන්ට වඩා ලිහිල් කොන්දේසි ඉදිරිපත් කළා.

යුදෙව්වන්ට දිගටම කයිබාර් නිම්නයේ පදිංචි වීමටත්, තමාගේ ඉඩම් වගා කිරීමටත්, තමාගේ ආගම ඇදහීමටත් නිදහස ලැබුනා. නමුත් ඔවුන් ගේ අස්වැන්නෙන් කොටසක් බදු වශයෙන්  මුස්ලිම් වරුන්ට ලබා දීමට ඔවුන්ට සිදු වුනා. ඒ වගේම තව දුරටත් යුදෙව්වන්ට එරෙහිව යුධ නොවැදීමටත්, සාමය රැකීමටත් මුස්ලිම් වරු පොරොන්දු වුනා. මේ කොන්දේසි පසු කළෙක මුස්ලිම් පාලනයක් යටතේ වෙසෙන අන්‍යාගමිකයන්ට සැලකිය යුතු ආකාරය පිළිබඳ ඉස්ලාමයේ නීති රීති වල පදනම බවට පත් වුනා.

කයිබාර් නිම්නය යටත් වුනු බව ඇසූ ෆදක් සහ වදි අල් කුරා හි යුදෙව්වනුත් මුහම්මද් තුමා සමඟ වෙනම ගිවිසුම් වලට එළැඹුනා. ඒවායේ කොන්දේසි කයිබාර් යුදෙව්වන් ගේ කොන්දේසි වලට සමාන වුනා. ෆදක් හි වගා බිම් මුහම්මද් තුමා තමාගේ පුද්ගලික ධනයක් ලෙස පවරා ගෙන​, එහි ආදායම තම දියණිය වුනු ෆාතිමාට සහ සටන් වලින් මිය ගිය මුස්ලිම් සෙබළුන් ගේ අනාථ දරුවන්ට ලැබෙන ලෙස කටයුතු සැලසුවා.

බැනු නදීර් ගෝත්‍රයේ නායකයා වුනු (මදීනාවේදී මරණ දඬුවමට ලක් වුනු) හුයායි ඉබ්න් අක්තාබ් ගේ දියණිය වුනේ සෆියියා බින්ට් හුයායි. ඇය ඉතාම සුරූපී තරුණියක්. ඇගේ සැමියාත් බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානියෙක්. බැනු නදීර් ගෝත්‍රය යටත් වුනු පසු මදීනාවේදී කරන ලද අපරාධයක් හේතුවෙන් මුස්ලිම් වරු ඔහුට මරණ දඬුවම ලබා දුන්නා. පසුව මුහම්මද් තුමා සෆියියා විවාහ කර ගත්තා. ඒ යුදෙව්වන් සහ මුස්ලිම් වරු අතර ඇති කර ගත් සාමය තහවුරු කිරීම සඳහා.


මුහම්මද් තුමාට වස දීම​


මුහම්ම්ද් තුමා කයිබාර් හි රැඳී සිටියදී මර්හාබ් ගේ සොහොයුරිය වුනු සයිනාබ් බින්ට් අල්-හරිත් නම් යුදෙව් කාන්තාවක් ඔහුට ආහාරයක් සඳහා ආරාධනා කළා. සයිනාබ් ගේ පියා, සැමියා සහ මර්හාබ් ඇතුළු සොහොයුරන් තිදෙනෙක් සටනින් මිය ගොස් සිටි නිසා ඇය මුස්ලිම් වරු සමඟ දැඩි වෛරයෙන් පසු වුනා. මේ නිසා ඇය භෝජනයට සකස් කර තිබුනු බැටළු මස් වලට වස එක් කළා.

මුහම්මද් තුමා තවත් සහචරයන් කීප දෙනෙක් සමඟ භෝජනයට සහභාගී වුනා. සියල්ලෝම බදින ලද බැටළු මස් ආහාරයට ගැනීමට සූදානම් වුනා. නමුත් බැටළු මස් කැබැල්ලක් මුවට ගත් වහාම මුහම්මද් තුමාට එහි රසයේ වෙනසක් දැනී එය ආපසු ඉවතට දැම්මා. බැටළුවාගේ ඇටකටු පිරික්සා බැලූ ඔවුන්ට දකින්න ලැබුනේ ඒවා දුර්වර්ණ වී ඇති බව​. මේ නිසා ඊට වස යොදා ඇති බව ඔවුන් නිගමනය කළා.

එදින සවස් වෙද්දී මුහම්මද් තුමා සහ බැටළු මස් ආහාරයට ගත් තවත් සහචරයෙක් දැඩි ලෙස රෝගාතුර වුනා. සයිනාබ් අල්ලා ගත් මුස්ලිම් වරු ඇය මරා දැමීමට මුහම්මද් තුමාගෙන් අවසර ඉල්ලුවත් ඔහු ඊට ඉඩ දුන්නේ නෑ. මුහම්මද් තුමා දින කිහිපයකින් සුවය ලැබුවත් රෝගාතුර වූ අනෙකා මිය ගියා. එවිට අරාබි නීතිය අනුව සයිනාබ් මිය ගිය අයගේ නෑයන්ට ලබා දුන් අතර​, ඔවුන් ඇය මරා දැමුවා.

මුහම්මද් තුමා සුවය ලැබුවත්, ඔහුගේ සෞඛ්‍යය දැඩි ලෙස පිරිහීමට ලක් වුනා. එදා සිට වරින් වර ඔහු දැඩි ලෙස රෝගාතුර වුනා. ඔහුගේ මරණය ඉක්මන් වීමට එය හේතුවක් වුනා.



කයිබාර් නිම්නය අල්ලා ගැනීම ඉස්ලාමයේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සිද්ධියක්. එය නිසා ප්‍රතිඵල දෙකක් ලැබුනා. එකක්, වුනේ මුස්ලිම් වරුන්ට විශාල ධනයක් අත් වීම​. මේ නිසා ඔවුන්ට අශ්වයන්, ආයුධ සහ සන්නාහ මිලදී ගැනීමට ලැබුණු අතර එමගින් ඔවුන් ගේ යුධ ශක්තිය විශාල වශයෙන් වර්ධනය වුනා. මේ නිසා බටහිර අරාබියේ ප්‍රභලම බලය වශයෙන් මෙතෙක් මක්කාව ඉසිලූ ස්ථානය එතැන් සිට මුස්ලිම් වරුන්ට අත් වුනා.

දෙවැන්න මෙතෙක් පුර රාජ්‍යයක් වශයෙන් පැවතුනු මුස්ලිම් දේශපාලන ඒකකය එතැන් සිට මදීනාව අගනුවර කර ගත් රාජ්‍යයක මට්ටමට වර්ධනය වුනා. මුස්ලිම් වරු තව දුරටත් හුදෙක් ගෝත්‍රයක් වුනේ නෑ. මේ ඉතිහාසයේ පළමු ඉස්ලාමීය රාජ්‍යයයි.

Wednesday, March 25, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 9 (යුධ අගලේ සටන හෙවත් කන්දක් සටන​)



පසුබිම​


උහුද් හි සටනින් මුස්ලිම් වරුන්ට පරාජය අත්කර දුන් පසු අබු සුෆියාන් අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීම ආරම්භ කළා. ඒ අතර මුහම්මද් තුමාත් බෙදුවියන් වරු හැකි තරම් තමාගේ පක්‍ෂයට ගැනීමට උත්සහ කළා. ඒත් මක්කාව ශක්තිමත්ව සිටි මොහොතක් නිසා මුහම්ම්ද් තුමාගේ උත්සහයන් සාර්ථක වුනේ නෑ.

බැනු අසාද් ගෝත්‍රයේ බෙදුවියන් වරු මදීනාවට පහර දීමට සූදානම් වන බව ආරංචි වුනු මුහම්මද් තුමා 150 ක පිරිසක් ඔවුන් කූඩාරම් ගසාගෙන සිටි ප්‍රදේශයට යවා ඔවුන්ට ප්‍රහාරයක් එල්ල කළා. බෙදුවියන් වරු පළා ගියත්, සිරකරුවන් තිදෙනෙක් සහ එළුවන් විශාල ප්‍රමානයක් අල්ලා ගැනීමට මුස්ලිම් වරු සමත් වුනා.

ඊළඟ ප්‍රහාරය එල්ල වුනේ බැනු ලහියාන් ගෝත්‍රයට එරෙහිව​. බැනු ලහියාන් ගෝත්‍රයේ නායක කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මදීනාවට පහර දීමට තවත් ගෝත්‍ර කීපයක් සමඟ සැලසුම් කරන බව මුහම්මද් තුමාට ආරංචි වුනා. බැනු ලහියාන් ගෝත්‍රය බලවත් ගෝත්‍රයක් නිසා කෙලින්ම පහර දීමට මැලි වුනු මුහම්මද් තුමා ඒ වෙනුවට රාත්‍රියක ඝාතකයෙක් යවා කාලිද් ඉබ්න් සුෆියාන් අල්-හතාලි මරා දැම්මා.

ඊට සුළු කළකට පසු බෙදුවියන් වරු කීපදෙනෙක් මදීනාවට පැමිණ තමා ඉස්ලාමය වැළඳ ගැනීමත සූදානම් බවත්, තමාගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට දූතයන් කීප දෙනෙක් ලබා දෙන ලෙසත් මුහම්මද් තුමාගෙන් ඉල්ලා සිටියා. හදිසියේ ලැබුනු අවස්ථාව මග හැරීමට අකැමැති වුනු මුහම්මද් තුමා දස දෙනෙක් ගෙන් යුතු පිරිසක් ඔවුන්ට ලබා දුන්නා. ඒත් බෙදුවියන් වරු බැනු ලහියාන් ගෝත්‍රයට අයත් ඝාතකයන් පිරිසක්. කාන්තාරයට ගිය සැනින් ඔවුන් මුස්ලිම් වරු දහ දෙනා මරා දැම්මා. ඒ තමාගේ නායකයා ඝාතනය කිරීමේ පළිය වශයෙන්.

බැනු අමීර් ගෝත්‍රයේ බෙදුවියන් වරු කීප දෙනෙක් ඔවුන් ගේ නායකයාගේ ඉල්ලීමක් රැගෙන මුහම්මද් තුමා වෙත ආවා. ඒ ඔවුන් ගේ ගෝත්‍රයට ඉස්ලාමය ඉගැන්වීමට කණ්ඩායමක් ලබා දෙන මෙන් ඉල්ලමින්. ඒ අනුව මුහම්මද් තුමා ඔවුන්ට 40 ක පිරිසක් ලබා දුන්නා. ඒත් ඔවුන් බැනු අමීර් ගෝත්‍රය වෙත යන විට එහි නායකය මිය ගොස් තිබුනු අතර​, නව නායකයා මුස්ලිම් වරුන්ට පහර දුන්නා. ඒ ප්‍රහාරයෙන් මුස්ලිම් වරු 40 දෙනාම මිය ගියා.

මේ අනුව මුස්ලිම් වරුන් ගේ තත්වය එතරම් යහපත් වුනේ නෑ. බෙදුවියන් ගෝත්‍රියන් ඔවුන්ට එරෙහිව සතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන තැනට තල්ලු වී සිටියා.


බැනු නදීර් ගෝත්‍රය සමඟ ඇති වූ ආරවුල්


මේ අතර මදීනාවේ යුදෙව්වන් මුස්ලිම් වරු දුර්වල වීමෙන් ප්‍රයෝජන ගැනීමට උත්සහ කරමින් සිටියා. ඒ අනුව ඔවුන් අබු සුෆියාන් සමඟ රහස් සාකච්ඡා පැවැත්වූවා. මුස්ලිම් වරු සහ යුදෙව්වන් අතර එළිපිටම සුළු ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තා.

යම්කිසි කරුණක් සඳහා සාකඡාවක් පැවැත්වීමට මුහම්මද් තුමා, අබු බකර්, උමර් සහ අලී ඇතුළු පිරිසක් බැනු නදීර් යුදෙව් ගෝත්‍රයේ ප්‍රදේශයට ගියා. එහිදී ඔවුන්ට දැන ගන්න ලැබුනේ බැනු නදීර් ගෝත්‍රයේ යුදෙව්වන් ඔවුන් මරා දැමීමට සැලසුම් කරන බව​.

මුහම්මද් තුමා බැනු නදීර් ගෝත්‍රයට දින දහයක් ඇතුලත තමාගේ දේපළත් රැගෙන මදීනාවෙන් පිටව යාමට අණ කළා. බැනු නදීර් ගෝත්‍රය එයට අවනත වුනා. ඒත් මුහම්මද් තුමාගේ මදීනාවේ සිටි එදිරිවාදියා වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි රහසින් බැනු නදීර් ගෝත්‍රයේ නායකයන් හමුවී ඔවුන් මුස්ලිම් වරුන්ට එරෙහිව සටන් කරන්නේ නම් සහය ලබා දීමට පොරොන්දු වුනා. ඒ අනුව බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් පිට වීම ප්‍රතික්‍ෂේප කර තමාගේ බලකොටු තුලට වැදී ආරක්‍ෂක සටනකට සූදානම් වුනා.

බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රදේශය පිහිටා තිබුනේ මදීනා නගරයට තරමක් ඈතින්. ඔවුන් ගේ බලකොටු සහ නිවෙස් ගොවිබිම් වලින් වටවී තිබුනා. මේ ගොවිබිම් ඝන රටඉඳි ගස් ආවරණයකින් වැසී තිබුනා. මේ නිසා ඔවුන්ට ආරක්‍ෂිත සටනක් කිරීමට සුදුසු වටපිටාවක් තිබුනා.

අලී ඉබ්න් අබු තාලිබ් ගේ නායකත්වයෙන් යුතු මුස්ලිම් හමුදාව බැනු නදීර් ගෝත්‍රයට අයත් ප්‍රදේශය සම්පූර්නයෙන්ම වට කරත්, ඔවුන්ට එය ඇතුළට කඩා වදින්න හැකි වුනේ නෑ. යුදෙව්වෝ තම බලකොටු වල සිට ඊතල සහ ගල් වලින් ඔවුන්ට පහර දුන්නා. ඒත් පොරොන් දු වූ පරිදු ඉබ්න් උබෙයි තම සහය ලබා දුන්නේ නෑ. මේ නිසා වැටලීම බිඳ දමන්න යුදෙව්වන්ට නොහැකි වුනා.

මුස්ලිම් වරු බැනු නදීර් ගෝත්‍රයට පහර දීම​

දින පහළොවකට පසු ආහාර අවසන් වීම නිසා යුදෙව්වෝ යටත් වුනා. ඔවුන් සියල්ලන්ටම මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා. මදීනාවෙන් පිටවුනු ඔවුන් මදීනාවට උතුරින් පිහිටි කයිබාර් හි පදිංචි වුනා. ඒ අනුව මදීනාවේ යුදෙව් ගෝත්‍ර තුනෙන් දෙවැනි ගෝත්‍රයටත් මදීනාවෙන් පිට වෙන්න සිදු වුනා.


අබු සුෆියාන් සේනා රැස් කිරීම​


ක්‍රි.ව. 625 සහ 626 අවුරුදු දෙකම අබු සුෆියාන් ගත කළේ විවිධ බෙදුවියන් ගෝත්‍ර සමඟ මිතුරු සන්ධාන වලට එලැඹීමට​. බැනු නදීර් ගෝත්‍රය මදීනාවෙන් එලවා දැමීම ඔහුට විශාල වාසියක් වුනා. ඔහු පහසුවෙන්ම ඔවුන් සමඟ සන්ධානයකට එලැඹුනා.

බැනු නදීර් ගෝත්‍රය ඉතා උද්‍යෝගයෙන් අබු සුෆියාන් ට සහය දුන්නා. තමාගේ වසරක අස්වැන්නෙන් බාගයක් ලබා දීමේ පොරොන්දුව මත මදීනාවට උතුරෙන් වාසය කළ ප්‍රභල බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රයේ සහය ලබා ගැනීමට ඔවුන්ට හැකි වුනා.

ඊට අමතරව බැනු අසාද්, බැනු සුලායිම්, බැනු මුරා සහ බැනු ෂුජා වැනි ගෝත්‍ර ගණනාවක් අබු සුෆියාන් සමඟ මදීනාවට එරෙහිව යුධ වැදීමට කැමැත්ත පළ කළා.

ක්‍රි.ව​. 625 ඔක්තෝබර් මාසයේදී අබු සුෆියාන් පාබල සෙබළු 2000 සහ අසරුවන් 50 කගෙන් සමන්විත හමුදාවක් රැගෙන කාන්තාරය හරහා යද්දී බදර් වෙත පැමිණියා. ඔවුන් බදර් හි රැඳී සිටින බව ආරංචි වුනු මුහම්මද් තුමා ඔවුන්ට පහර දෙන්න තීරණය කළා. ඒ අනුව ඔහු සෙබළු 1500 ක හමුදාවක් සමඟ බදර් වෙත ආවා. ඔහු බලාපොරොත්තු වුනේ මක්කා හමුදාව පරාජය කිරීමෙන් තමාගේ නැතිවුනු කීර්තිය නැවත ලබා ගැනීම​.

නමුත් තමාට සම්පූර්ණයෙන්ම වාසි දායක නොවන අවස්ථාවක යුධ වැදීම අබු සුෆියාන් ප්‍රතික්‍ෂේප කළා. ඔහු මුස්ලිම් වරු බදර් වෙත පැමිණෙන්න පෙර එතැනින් ඉවත්ව තම හමුදාව මක්කාව කරා රැගෙන ගියා.

ක්‍රි.ව. 626 අවුරුද්ද පුරාම මුහම්මද් තුමා අබු සුෆියාන් සමඟ එක් වුනු ගෝත්‍ර වලට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න උත්සහ කළා. ඒත් මේ ප්‍රහාර එකකින්වත් සාර්ථක ප්‍රතිඵල ලැබුනේ නෑ. බොහෝ විට ඔවුන් මුස්ලිම් හමුදාව පැමිණීමට පෙර පළා ගියා. මේ නිසා තමා බලාපොරොත්තු වුනු යුධ ජය මුහම්මද් තුමාට ලබා ගන්න බැරි වුනා.

ක්‍රි.ව​. 627 ජනවාරි මාසය වෙද්දී විශාල හමුදාවක් රැස් කරන්න අබු සුෆියාන්ට හැකි වුනා. මේ හමුදාව සමන්විත වුනේ මක්කා නගරයෙන් පාබල සෙබළු 4000 සහ අසරු සෙබළු 300, බැනු ගතෆාන් ගෝත්‍රයෙන් පාබල සෙබළු 2000 සහ අසරු සෙබළු 300, බැනු සුලයිම් ගෝත්‍රයෙන් සෙබළු 700, බැනු මුරා ගෝත්‍රයෙන් සෙබළු 400 සහ බැනු ෂුජා ගෝත්‍රයෙන් සෙබළු 700 සහ තවත් ගෝත්‍ර ගණනාවකින්. මේ දැවැන්ත හමුදාවේ සම්පූර්ණ ශක්තිය 10,000 පමණ වුනා.

මෙ හමුදාවට අබු සුෆියාන් එක් කර ගත්තා එවකට මුළු මහත් අරාබියේම සිටි විශිෂ්ඨම රණ ශූරයාව​. ඒ "ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද්". ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් කියන්නේ නම ඇහුවත් ප්‍රතිවාදීන්ව භීතියෙන් සලිත කරන්න සමත් අයෙක්. ඔහුගේ ශක්තිය​, නිර්භීත කම​, අසුන් එළවීමේ හැකියාව සහ කඩු හරඹ හැකියාව ගැන අරාබියේ අස්සක් මුල්ලක් නෑර පැතිරිලා තිබුනා. සියළුම ගෝත්‍ර අතර ඔහු බියජනක නමක් දිනාගෙන හිටියා.

අබු සුෆියාන් මේ විශාල හමුදාව මදීනාව කරා මෙහයවූවා.


මුස්ලිම් වරුන් ගේ සූදානම​


විශාල හමුදාවක් මදීනාව කරා එන බව ආරංචි වුනු මුස්ලිම් වරු දැඩි ලෙස කැලඹුනා.10,000 ක සතුරු හමුදාවකට මුහුණ දෙන්න අවශ්‍යය පිරිස් බලය හෝ යුධ ශක්තිය ඔවුන්ට තිබුනේ නෑ. නියත පරාජයක් අභිමුවේ තමා ඉන්නා බව ඔවුන්ට වැටහුනා.

මේ මොහොතේදී මුස්ලිම් වරුන් ගේ ගැලවීමට ආවේ මදීනාවේ වාසය කළ සල්මන් නම් පුද්ගලයා. සල්මන් පර්සියානු ජාතිකයෙක්. මේ නිසා ඔහු හැඳින්වුනේ සල්මාන් අල්-ෆාර්සි නමින්. ඔහුගේ නියම නම රූස්බේ කොෂ්නුදන්. වයස දහසයේදී නෙස්තෝරියානු ක්‍රිස්තියානි පූජකයන් පිරිසක් සමඟ සංවාදයක් කිරීම නිසා ඒක දේවවාදය පිළිබඳ කුතුහලයක් ඇතිවුනු සල්මාන් නිවසෙන් පිට වී මැද පෙරදිග පුරා ඇවිදින්න පටන් ගත්තා. සිරියාවේදී ඔහුව අල්ලාගෙන වහලෙක් ලෙස මදීනාවේ යුදෙව්වෙකුට විකුණා දමනු ලැබුවා. සල්මාන් මදීනාවට ආවේ එහෙමයි. මදීනාවේදී ඔහු ඉස්ලාමය වැළඳ ගත්තා. භක්තිමත් මුස්ලිම් වරයෙක් වූ සල්මාන් මුහම්මද් තුමාට සහ අලීට දැඩි පක්‍ෂපාතීත්වයක් දැක්වුවා.

පර්සියානු ජාතිකයෙක් වූ සල්මාන් අරාබීන්ට නුහුරු වූ යුධ උපක්‍රම ගැන අවබෝධයක් තිබුනු අයෙක්. මක්කා හමුදාව නැවතීම සඳහා යුධ අගලක් කැණීම සුදුසු බව ඔහු මුහම්මද් තුමාට යෝජනා කළා.

මදීනාවට ගිනිකොණ දෙසින් පිහිටා තිබුනු ගිනිකඳු වලින් ගලාගිය ලාවා ප්‍රවාහයන් නිසා මදීනාවේ නැගෙනහිර සහ දකුණු පැති ආරක්‍ෂා වී තිබුණා. මේ ලාවා ප්‍රවාහ වලින් නිර්මානය වී තිබුණු උස් කඳු තරණය කිරීම ඉතාමත් දුෂ්කරයි. මදීනාවට බටහිරින් පිහිටා තිබුනේ තවත් විශාල කඳු වැටියක්. මේ නිසා මදීනාවට පිවිසිය හැකි එකම මග තිබුනේ උතුරින්.

ඒ වසර මදීනාවේ නියඟයක් පැවති වසරක්. මේ නිසා ගොවිතැන් දකුණු සහ බටහිර පැත්තෙන් ඇති කඳු වැටි අතරින් පටු කපොල්ලක් වැටී තිබුනා. මේ කපොල්ල හරහා හමුදාවකට නගරයට ඇතුළුවිය හැකි වුනත්, ඒ මාර්ගය දුෂ්කර,  ඝනව වැඩුනු රට ඉඳි වගාවන් අතරින් වැටී තිබුනු එකක්. මේ නිසා කපොල්ල ඔස්සේ මක්කා හමුදාව පහර දීමට ඉදිරිපත් නිවනු ඇතැයි ඔවුන් තීරණය කලා. යම් හෙයකින් කපොල්ල හරහා පහර දීමට ඔවුන් ඉදිරිපත් වුවොත්, එය ආරක්‍ෂා කිරීමේ වගකීම මේ වන විට මදීනාවේ ඉතිරිව සිටි එකම යුදෙව් ගෝත්‍රය වූ බැනු කුරෙයිසා ගෝත්‍රයට පැවරුනා. මුස්ලිම් වරු උතුරු දිග ආරක්‍ෂාව භාර ගත්තා.

මුස්ලිම් වරු මදීනාවේ උතුරින් අගලක් කණින්න පටන් ගත්තා. මේ අගල අසෙකුට තරණය කළ නොහැකි තරම් ගැඹුරු විය යුතු අතර​, අසෙකුට ඉහළින් පැනිය නොහැකි තරම් පළල් විය යුතු වුනා. අගල කැනීමට ඔවුනට තිබුනේ දින හතක් පමණයි. මේ නිසා දිවා රෑ නොබලා අගල කැපීමේ නිරත වෙන්න ඔවුන්ට සිදු වුනා.

ඒ අවුරුද්ද මදීනාවේ නියඟයක් පැවතුනු අවුරුද්දක්. මේ නිසා මදීනාවේ දැඩි ආහාර හිඟයක් පැවතුනා. ආක්‍රමනිකයන්ට ආහාර ලබා ගැනීම වැලැක්වීම සඳහා මදීනාව අවට තිබුනු ගොවිබිම් සියල්ලේම අස්වැන්න කපා ගැනීමට මුහම්මද් තුමා නියෝග කළා. අස්වැන්න හරිහැටි පීදී නොතිබුණු නිසා මෙයින් ආහාර හිඟය තවත් දරුණු වුනා.

දිවා රෑ නොබලා අගල කැණීම නිසා මක්කා හමුදාව මදීනාවට පැමිණීමට පෙර අගල අවසන් කරන්න ඔවුන්ට හැකි වුනා.

මුහම්මද් තුමා තමාගේ කූඩාරම අගලට නුදුරින් ඇති සලා නම් කුඩා කඳු ගැටයක් මත පිහිටුවා ගත්තා. මේ කඳු ගැටයේ සිට ඔහුට සම්පූර්න යුධ පිටියම නිරීක්‍ෂනය කරන්න පුළුවන්. අගල දිගටම 3000 කින් සමන්විත වුනු මුස්ලිම් හමුදාව ස්ථානගත කෙරුනා. අගල කැපීමේදී ඉවත දැමූ පස් අගලේ මෙපිට ඉවුර දිගට ගොඩ ගසා තිබුනු අතර​, ඒ පස් ගොඩැලි වලට මුවාවී හුන් දුනුවායන් මක්කා හමුදාව අගල අසලට ආවොත් ඔවුන්ට ඊ ප්‍රහාර එල්ල කරන්න සූදනමින් සිටියා.

මදීනාව​

සටන ඇරඹීම​


ක්‍රි.ව​. 627 ජනවාරි මාසයේ මුල සතියේදී අබු සුෆියාන් තමාගේ දැවැන්ත හමුදාව සමඟ මදීනාවට පැමිණියා. බලාපොරොත්තු නොවූ ආකාරයට තමා ඉදිරියේ තිබූ යුධ අගල දුටු ඔවුනු වික්‍ෂිප්ත වුනා. එකවර නගරයට පහර නොදුන් ඔවුන් නගරයට උතුරින් කඳවුරු ලා ගත්තා. අබු සුෆියාන් තමාගේ කූඩාරම පිහිටුවා ගත්තේ උහුද් කන්ද අසල​.

අගල තරණය කිරීමට කිහිප වරක්ම උත්සහ කළත්, ඒ උත්සහයන් අසාර්ථක වුනේ අගල ගැඹුරට සහ පළලට කපා තිබුනු නිසා. මේ නිසා මක්කා හමුදාවට හැකි වුනේ අගල අසලට පැමිණ ඊතල ප්‍රහාර එල්ල කිරීමටත්, මුස්ලිම් වරුන්ට අපහාසාත්මක කවි කීමටත් පමණයි. මුස්ලිම් වරු අගල පසුපස සැඟවී ප්‍රති ප්‍රහාර එල්ල කළා. කිසිවෙකුටවත් බරපතල හානියක් වුනේ නෑ.

අබු සුෆියාන් තීරණය කලේ කෙලින්ම පහර නොදී නගරය වටලා සිටීමටයි. ආහාර අවසන් වුනු පසු මුස්ලිම් වරුන්ට යටත් වීම හැර වෙනත් විකල්පයක් නොමැති වනු ඇති බව ඔහු නිගමනය කළා. ඒ අතර ඔහු මදීනාව තුල සිටි යුදෙව්වන් සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමත උත්සහ කළා.


බැනු කුරෙයිසා


මදීනාව තුල සිටි එකම යුදෙව් ගෝත්‍රය වුනේ බැනු කුරෙයිසා. දකුණින් ඇති පටු කපොල්ල ඔස්සේ මක්කා හමුදාව ප්‍රහාරයක් එල්ල කළොත් එය මැඩ පැවැත්වීම ඔවුන්ට බාර වී තිබුනා.

අබු සුෆියාන් ගේ ඉල්ලීම අනුව බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානී හුයායි ඉබ්න් අක්තාබ් රහසේම දකුණු දෙසින් මදීනාවට ඇතුල් වුනා. ඔහු බැනු කුරෙයිසා ප්‍රධානීන් හමුවීමට උත්සහ කළත්, ඔවුන් ඊට ඉඩ දුන්නේ නෑ. තමන් මුහම්මද් තුමා සමඟ ගිවිසුමකට එලැඹී ඇති බවත්, එය ආරක්‍ෂා කරන බවත් ඔහු ඔවුන්ට දන්වා සිටියා.

නමුත් හුයායි ඉබ්න් අක්තාබ් උත්සහය අතහැරියේ නෑ. ඔහු බැනු කුරෙයිසා ගෝත්‍රයේ යුදෙව්වන් කීප දෙනෙක් අසල තිබූ කඳු ගැටයකට ගෙනගොස් මදීනාව අවට තිබුනු මක්කා හමුදාවේ කඳවුරු ඔවුන්ට පෙන්වූවා. පෙනෙන තෙක් මානය පුරා පැතිරී තිබූ කූඩාරම් දුටු බැනු කුරෙයිසා යුදෙව්වන් ගේ ධෛර්‍යය සිඳී ගියා. මක්කා හමුදාව නියත වශයෙන්ම ජය ගනු ඇති බවත්, මුහම්මද් තුමා සමඟ එක්ව සිටියොත් තමන්ට නියත විනාශයක් අත්වන බවත් ඔවුන්ට වැටහී ගියා.

ඔවුන් තමාගේ ප්‍රධානීන් හමුවී තමා දුටු දේ පැවසූ විට බැනු කුරෙයිසා ප්‍රධානීන් මක්කා හමුදාවට සහය දීම ප්‍රඥා ගෝචර බව තීරණය කළා.

මුහම්මද් තුමාට ඔත්තු කරුවන් මාර්ගයෙන් මේ බව දැනගන්නට ලැබුනා. ඔහු මේ ආරංචියෙන් දැඩි ලෙස කලබලයට පත් වුනා. දෙපැත්තකින් පහර එල්ල වුවහොත් මුස්ලිම් වරුන්ට අත් වෙන්නේ නියත විනාශයක්. ඔහු රහසේම කුඩා කණ්ඩායමක් බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත පිටත් කර හැරියේ ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත්ත තතු දැන ගැනීමට​. මේ කණ්ඩායම සමන්විත වුනේ මදීනා මුස්ලිම් ගෝත්‍ර දෙක වුනු බැනු අව්ස් සහ බැනු කස්.රජ් ගෝත්‍රයන් ගේ ප්‍රධානීන් ගෙන්.

බැනු කුරෙයිසා ගෝත්‍රය වෙත ගිය ඔවුන්ට දැක ගන්නට ලැබුනේ යුදෙව්වන් ආයුධ සහ සන්නාහ සූදානම් කරන අයුරු සහ සටන් අභ්‍යාස වල නිරත වෙන අයුරු. ඔවුන් වහාම මුහම්මද් තුමාට ඒ බව දැන්වූවා. මුහම්මද් තුමා අගල රැකීමේ යෙදී සිටි සෙබළු 300 ක් නගරය රැකීම සඳහා පිටත් කර හැරියා.

යුදෙව්වන් මුස්ලිම් වරුන් ගේ ශක්තිය මැන බැලීම සඳහා රාත්‍රියේ දී රහසින් නගරයට ඇතුල් වී සුළු ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. මේ එක් ප්‍රහාරයකදී සෆියා නම් මුස්ලිම් කාන්තාවක් පිරිමියෙක් මෙන් හිසේ ජටාවක් බැඳ නිවසින් එළියට ගොස් නගරයේ සැරි සරමින් උන් යුදෙව්වෙක්ට පොල්ලකින් පහර දී ඔහු මරා දැම්මා. මේ නිසා යුදෙව්වන් තීරණය කළේ මුස්ලිම් සෙබළු විශාල ප්‍රමානයක් නගරයේ සිටින බව​. මේ නිසා ඔවුන් කෙලින්ම නගරයට පහර දීමට මැලි වුනා.

මේ අතර යුදෙව්වන් නගරයට පහර දී තමාගේ කාන්තාවන් සහ ළමුන් මරා දමනු ඇතැයි අගල ආරක්‍ෂා කරමින් උන් සමහර මුස්ලිම් සෙබළු බිය වුනා. ඔවුන් මුහම්මද් තුමාගෙන් තමාගේ නිවෙස් ආරක්‍ෂා කිරීම සඳහා නගරයට යාමට අවසර ඉල්ලුවා. මේ අතර ආහාර හිඟය දරුණුවටම දැනෙමින් තිබුනා. මුස්ලිම් වරුන් ගේ තත්වය තිබුනේ ඉතාම අවදානම් තැනක​.

කුරානය මේ තත්වය විස්තර කරන්නේ මේ විදිහට​:

"ඔවුන් ගේ ඇස් බියෙන් අඳුරු වුනා. ඔවුන් ගේ හදවත බියෙන් සැලී ඔවුන් ගේ උගුර වෙත පැමිණියා. ඔවුන් ගේ අල්ලාහ් පිළිබඳ විශ්වාසය පළුදු වීමට පටන් ගත්තා."


ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් ගේ ප්‍රහාරය​


මේ අතර මක්කා හමුදාව් සිටි බෙදුවියන් වරු නොසන්සුන් වෙමින් සිටියා. ඔවුන් පුරුදුව සිටියේ කෙටි ප්‍රහාර එල්ල කිරීමට මිස මෙවැනි දීර්ඝ වැටලීම් වලට නෙවෙයි. ඔවුන් සටනට එක්ව සිටියේ සටන අවසානයේ ධනය පැහැර ගැනීම සඳහා. සති කීපයක් කිසිදු ප්‍රතිලාභයක් නොලැබ කඳවුරු ලාගෙන සිටීමට සිදු වීම ඔවුන් නොසතුටට පත් කළා.

මේ නිසා ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මදීනාව ඇතුලට ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුම් කලා. විශිෂ්ඨ රණශූරයෙක් වූ ඔහුට මෙය තමාගේ සංග්‍රාමික කුසලතාවය පෙන්වන්න කදිම අවස්ථාවක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අසරු සෙබළු කීප දෙනෙක් සමඟ යුධ අගල තරණය කරන්න තීරණය කළා. අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් ඔහුට එකතු වුනා. මේ අසරුවන් කීප දෙනා යුධ අගල හොඳින් නිරීක්‍ෂනය කර ආරක්‍ෂාව අඩු තැනකින් නගරය තුලට කඩා වැදුනා. ඔවුන් මුහම්මද් තුමාගේ කූඩාරම පිහිටා තිබූ සලා කඳු ගැටය අසල පිහිටි වගුරු බිමක් වෙත පැමිණියා.

මුස්ලිම් සෙබළු වගුර වට කරගත්තත්, ඔවුන්ට පහර දෙන්න ඉදිරිපත් වුනේ නෑ. ඔවුන් ආමර් ට බිය වුනා. ආමර් සමඟ සටනට යාම නියත මරණය ගෙන දෙන්නක්.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් මුස්ලිම් හමුදාව ඉදිරියට ආවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මම සමඟ සටන් කිරීමට මම නුඹලාට අභියෝග කරනවා"

සුපුරුදු පරිදි අලී ඉබ්න් අබු තාලිබ් තම අසිපතත් රැගෙන ඉදිරියට යාමට උත්සහ කළා. නමුත් මුහම්මද් තුමා ඔහු වැළැක්වුවා.

"මුහම්මද් ගේ සෙබළුනී, මාත් එක්ක සටන් කරන්න තරම් නිර්භීත කෙනෙක් නුඹලාගේ මුළු හමුදාවේම නැද්ද​?"

අලී නැවතත් ඉදිරියට යාමට උත්සහ කළා. ඒත් මුහම්මද් තුමා නැවතත් ඔහු වැළැක්වුවා.

"ඔබ මා වළක්වන්නේ ඇයි?"

අලී මුහම්මද් තුමාගෙන් විමසා සිටියා.

"මට ඕනේ වෙන කෙනෙකුට අවස්ථාව දෙන්න​. කිසිවෙකුටවත් පස්සෙ දවසක් මම එදා ආමර් සමඟ සටන් කරන්න ඉදිරිපත් වෙන්න ගියා, නමුත් අලී මට ඉස්සර වුනා කියන්න ඉඩක් නොතියන්න ඕනේ."

අලී නැවතත් හිඳ ගත්තා.

ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් තුන්වන වරටත් තම අභියෝගය ඉදිරිපත් කළා.

"මුහම්මද් ගේ සෙබළුනී, නුඹලා බය වෙන්නේ ඇයි? මුහම්මද් නුඹලාට කියන දේ ඇත්තක් නම්, නුඹලා මම අතින් මිය ගියොත් නුඹලා පාරාදීසයට යනවා. මම නුඹලා අතින් මිය ගියත් නුඹලා පාරාදීසයට යනවා. ඉතින් නුඹලා බය වෙන්නේ ඇයි?"

අලී නැවතත් ඉදිරියට ගියා. මෙවර මුහම්මද් තුමා ඔහු වැළැක්වුයේ නෑ.

අලී සහ ආමර් ඉබ්න් අබ්ද් අල්-වුද් අතර සටන​
27 හැවිරිදි තරුණ අලී මුළු මහත් අරාබියේම විශිෂ්ඨතම රණ ශූරයා ඉදිරියට ගියා.

"ආමර්, පිළිම වන්දනාව අතහරින්න​. එයින් ඔබට යහපතක් වෙන්නේ නෑ. අල්ලාහ් ගේ මාර්ගයට එන්න."

ආමර් ඒ ඉල්ලීම අවඥාවෙන් බැහැර කළා.

"ආමර්, ඔබට ඉස්ලාමය වැළඳගන්න බැරිනම්, නිදහස් මිනිහෙක් වෙන්න​. අපි එක්ක සටන් කරන්න එපා. නැවත ඔබේ ගෙදර යන්න​."

ආමර් ඒ ඉල්ලීමත් බැහැර කළා. ඔහු කවදාවත් සටනකින් හිස් අතින් ආපහු හැරිලා ගිහින් නෑ.

අලී තමාගේ අසිපත ඇද ගත්තා.

"ආමර්, එහෙනම් මම අල්ලාහ් ගේ නාමයෙන් ඔබ එක්ක සටන් කරනවා"

තරුණයා ගේ නිර්භීත කම ආමර් පුදුමයට පත් කළා. මින් පෙර කිසි දාක ඔහු ඉදිරියේදී සතුරෙක් මෙතරම් නිර්භීත වෙලා නෑ.

"තරුණයා නුඹ ඉතාම නිර්භීතයි. නුඹේ නම මොකද්ද​?"

"මම අලී, අබු තාලිබ් ගේ පුතා"

ආමර් පසුතැවිල්ලෙන් හිස වැනුවා.

"එහෙනම් මට නුඹත් එක්ක සටන් කරන්න බෑ. නුඹේ පියා අබු තාලිබ් මගේ හොඳ මිත්‍රයෙක්."

"ඒත් මම නුඹත් එක්ක සටන් කරනවා. නුඹ අල්ලාහ් ගේ සතුරෙක්"

ආමර් තමාගේ අසිපත ඇදගෙන සටනට එලැඹුනා. අලී ගේ නිර්භීත කම සහ ඔහු තමාගේ කීර්තිය නොසැලකීම ගැන ඔහු තුළ ඇති වුනේ දැඩි කෝපයක්.

මුස්ලිම් හමුදාව සහ මක්කා අසරු සෙබළුන් ඇසිපිය නොහෙලා සටන දෙස බලාගෙන හිටියා. අලී සහ ආමර් ඉතාම දරුණු සටනක නියැලුනා. එකෙකුට එකෙක් දෙවැනි වුනේ නෑ. සටනින් ඉහළ නැගුනු දූවිල්ලෙන් හාත්පස වැසී ගියා.

ආමර් පිට පිට එල්ල කළ කඩු පහර වලින් අලී ගේ පලිහ බිඳී ගියා. අලී බිඳුනු පලිහ ඉවත දැම්මා. මෙවර ආමර් පහර දුන්නේ අලී ගේ හිසට​. හිස් මුදුණට එල්ල වුනු දරුණු කඩු පහරින් අලී ගේ හිස්වැසුම දෙපළුවී ගියා. ඔහුගේ හිසෙන් ලේ වෑහෙන්න පටන් ගත්තා. කැඩුනු හිස් වැසුම ඉවත දමා මුහුණෙන් ලේ පිස දැමූ අලී නැවත සටනට එලඹුනා.

මෙවර අලීගේ මාරාන්තික කඩු පහරක් ආමර් ගේ ගෙලට එල්ල වුනා. දරුණු තුවාල ලැබූ ආමර් බිම ඇද වැටුනා. සතුරාට අවසන් කඩු පහර එල්ල කිරීමට අලී ඔහුට ළං වුනා. ඒත් එක වරම ඔහු නැවත හැරී පියවර කීපයක් පසු පසට ගොස් මොහොතක් කල් මැරුවා. ඉන්පසු නැවත ආමර් වෙත ගොස් කඩු පහරක් එල්ල කර ඔහුව මරා දැම්මා. මුස්ලිම් වරු ජය ඝෝෂා කළා.

එවිට මක්කා අසරු සෙබලුන් දෙදෙනෙක් වුනු වුනු හුබයිරා ඉබ්න් අබු වහබ් සහ නව්ෆාල් ඉබ්න් අබ්ද් අල්ලාහ් අලී වෙත කඩා පැන්නේ තුවාල ලබා උන් අලී මරා දැමීමට​. අලී වහාම ආපසු හැරී හුබයිරා ට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් හුබයිරා ගේ කඩුව විසි වී ගිය අතර ඔහු ආපසු පළා ගියා. අලී ගේ සහයට පැමිණි සුබායිර් ඉබ්න් අව්වම්, නව්ෆාල් දෙකඩ වී යන ලෙස එක කඩු පහරක් එල්ල කළා.

"සුබයිර්, නුඹේ කඩුව වගේ කඩුවක් අපි කවදාවත් දැකලා නෑ"

මුස්ලිම් සෙබළු සුබයිර් ගේ කඩු පහර ගැන ඔහුට පැසසුවා.

"කඩුව නෙවෙයි, අත​"

සුබායිර් ප්‍රීතියෙන් ඉඟි මරමින් කියා සිටියා.

අනෙකුත් මක්කා අසරුවන් නැවත තමාගේ කඳවුර වෙත පළා ගියා. මුස්ලිම් සෙබළු ඔවුන් ලුහුබැඳීමට උත්සහ කළත්, අලී එය වැළැක්වුවා. පළා යන සතුරා මරා දැමීම ඔහුගේ සිරිත නෙවෙයි.

තුවාල වුනු අලී කූඩාරමක් වෙත ගෙන ගිය මුස්ලිම් සෙබළු ඔහුට සාත්තු කළා.

"අලී, නුඹ අවසාන කඩු පහර ආමර් ට එල්ල කරන්න කලින් ආපහු හැරිලා ගියේ ඇයි?"

එක් අයෙක් අලීගෙන් විමසා සිටියා.

"මම ඔහුට අවසාන කඩු පහර එල්ල කරන්න යද්දී ඔහු මට කෙළ ගැසුවා. එතකොට මගේ හිතේ ඔහු ගැන කෝපයක් ඇති වුනා. මම එවෙලේ ඔහු මරා දැම්මා නම් මම ඔහුව මරන්නේ මගේ කෝපය නිසා. ඒ නිසා මම ආපහු පස්සට ගිහින් මගේ කෝපය පහ වෙන තුරු හිටියා. ඊට පස්සේ මම ඔහුට අවසන් කඩු පහර දුන්නා. ඒ ඔහු ගැන කෝපයෙන් නෙවෙයි, අල්ලාහ් හට කරන සේවයක් විදිහට​."


සන්ධානය බිඳ වැටීම​


පහුවදා මක්කා හමුදාව ආමර් ගේ මරණයට පළිගැනීමක් විදිහට අවට කඳු වලට නැගලා මදීනාවේ කොටු වී උන්නු මුස්ලිම් වරුන්ට දවස පුරාම ඊ ප්‍රහාර එල්ල කළා. මුස්ලිම් වරුන්ට එළියට බහින්න අවසරයක් ලැබුනේ නෑ. ඔවුන් දවසම ගත කලේ ආවරණ තුලට වෙලා.

මේ අතර මදීනාව ඇතුළත ආහාර ප්‍රශ්නය එන්න එන්නම දරුණු වුනා. තව දුරටත් අල්ලා ගෙන සිටීම අපහසු වෙන තැනට ආවා.

මුහම්මද් තුමා සතුරු හමුදාව ඇතුළත බිඳීම් ඇති කරන්න කටයුතු කළා. ඔහු මේ සඳහා යොදා ගත්තේ බැනු ගතෆාන් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු නුආයිම් ඉබ්න් මසූද්.

මුලින්ම මුහම්මද් තුමා උත්සහ කළේ මදීනාවේ වාර්‍ෂික අස්වැන්නෙන් කොටසක් ලබා දීම මගින් බැනු ගතෆාන් ගෝත්‍රය සන්ධානයෙන් ඉවත් කරගැනීමට​. අස්වැන්නෙන් තුනෙන් එකක් ලබා දීමේ පොරොන්දුව මත සටනෙන් ඉවත් වීමට බැනු ගතෆාන් ගෝත්‍රය එකඟ වුනා. නමුත් දැනටමත් හාමතේ උන්නු මදීනා වැසියන් ඊට එකඟ වුනේ නෑ. සාකච්ඡා අසාර්ථක වුනත් තමාට ඉඩක් පෑදීගෙන එන බව මුහම්මද් තුමාට වැටහුනා.

ඊළඟට ඔහු උත්සහ කළේ සන්ධානයේ සිටි විවිධ ගෝත්‍ර එකිනෙකා කෙරෙහි බිඳවීමට​. ඒ අනුව නුආයිම් ඉබ්න් මසූද් රහසේම බැනු කුරෙයිසා යුදෙව්වන් හමුවී ඔවුන්ට කියා සිටියේ අබු සුෆියාන් ඇතුළු මක්කා හමුදාව සටන අතහැර ඉවත් වුවහොත් මුස්ලිම් වරුන් ගේ දරුණු පළිගැනීමකට ලක් වීමට ඔවුන්ට සිදු වෙන බවයි. මේ නිසා සටන අතහැර නොයන බවට සහතිකයක් වශයෙන් මක්කා හමුදාවේ ප්‍රධානීන් කීප දෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් තමාට ලබා දෙන්නැයි ඉල්ලීමක් කරන්න ඔහු බැනු කුරෙයිසා යුදෙව්වන්ට උපදෙස් දුන්නා.

ඊට පසු නුඅයිමා ඉබ්න් මසූද් ගියේ අබු සුෆියාන් හමුවට​. යුදෙව්වන් රහසින් මුහම්මද් තුමා සමඟ එකඟතාවයකට එලැඹී ඇති බවත්, මක්කා හමුදාවේ ප්‍රධානීන් කීපදෙනෙක් ප්‍රාණ ඇපකරුවන් වශයෙන් ඔවුන්ට ලබා දෙන මෙන් ඉල්ලා පසුව ඔවුන් මුස්ලිම් වරුන්ට පාවා දීමට ඔවුන් සැලසුම් කරන බවත් නුඅයිමා අබු සුෆියාන්ට දන්වා සිටියා. මේ එකඟතාවයේ ප්‍රතිඵලයක් ලෙස බැනු නදීර් යුදෙව්වන්ට නැවත මදීනාවේ පදිංචි වීමට ඉඩ දීමට මුහම්මද් තුමා එකඟ වුනු බවත් ඔහු අබු සුෆියාන්ට කිව්වා.

නුඅයිමා බලාපොරොත්තු වූ ලෙසටම බැනු කුරෙයිසා යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් ඉල්ලා අබු සුෆියාන්ට පණිවුඩයක් එව්වා. නුඅයිමා තමාට කළ අනතුරු හැඟවීම ඇත්ත බව සැක කරන්න අබු සුෆියාන්ට හේතුවක් තිබුනේ නෑ. ඔහු කෝපයෙන් දිලිහුනා. ඔහු වහාම බැනු නදීර් ගෝත්‍රයේ ප්‍රධානියා වුනු හුයායි ඉබ්න් අක්තාබ් තමා වෙත කැඳවා "කුමන්ත්‍රණය​" පිළිබඳ ඔහුගෙන් විමසා සිටියා.

හුයායි ඉබ්න් අක්තාබ් විශ්මයට පත් වුනා. අබු සුෆියාන් ඔහු ද්‍රෝහියෙක් බවට චෝදනා කළා. තමාගේ ජීවිතය අනතුරේ බව දුටු හුයායි එදා රෑ රහසේම තම සෙබළුන් සමඟ සටන් බිමෙන් පළා ගියා.

බැනු නදීර් ගෝත්‍රය පළාගිය බව දැනගත් බෙදුවියන් ගෝත්‍ර වල උනන්දුව පහ වී ගියා. මේ වන විට මාසයක් පමණ ඔවුන් කඳවුරු ලාගෙන සිටියත් කිසිම වාසියක් ඔවුනට ලැබුනේ නෑ. මදීනාව අවට කාලගුනය ඉතාමත් ශීතාධික වුනා. රාත්‍රියේ හැමූ තද සුළං වලින් ඔවුන් ගේ ගිනිමැල නිවී ගිය අතර කූඩාරම් ගසාගෙන ගියා. දැඩි ශීතලෙන් ඔවුන් අධික පීඩා වින්දා. මේ නිසා ඔවුන් එකිනෙකා සටන අතහැර නැවත ගමරට බලා යාමට තීරණය කළා.

පසුවදා උදෑසන වන විට සටන් බිමේ සිටියේ මක්කා වරු පමණයි. සටන පවත්වාගෙන යාමට තරම් හමුදාවක් ඉතිරිව නොසිටි නිසා සටන අතහැර නැවත මක්කාවට යාම හැර වෙනත් විකල්පයක් අබු සුෆියාන්ට තිබුනේ නෑ.

සටන මාසයක් පමණ කල් ඇදුනත්, සටනින් මිය ගියේ මුස්ලිම් වරු හත් දෙනෙක් සහ සතුරු සෙබළු හතර දෙනෙක් පමණයි.

නමුත් අබු සුෆියාන් සහ මක්කාවේ කීර්තියට එල්ල වුනේ දරා ගන්න බැරි තරම් දරුණු පහරක්.

Monday, March 23, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 8 (උහුද් හි සටන​)


පසුබිම​


ක්‍රි.ව​. 623 දී සිදු වුනු බදර් හි සටනින් මක්කා හමුදාව පරදවා කුඩා මුස්ලිම් හමුදාව ජය ගැනීම නිසා ප්‍රදේශයේ බල තුලනයේ සැලකිය යුතු වෙනසක් ඇති වුනා. මෙතෙක් මක්කා වරුන්ට අවනතව සිටි අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍ර මුස්ලිම් වරු සමඟ මිතුරු වීමට නැඹුරුතාවයක් දක්වන්න පටන් ගත්තා. මෙයින් මක්කා නගරයේ කීර්තියට අත්වුනේ බලවත් කැළලක්.

මක්කා ප්‍රධානීන් රැසක් සටනින් මිය ගිය නිසා මක්කාවේ එකම ප්‍රධාන නායකයා වුනේ අබු සුෆියාන්.  අබු සුෆියාන් ගේ වංශය වුනු උමයියා වංශය මක්කාවේ ප්‍රධාන වංශය වශයෙන් ඉදිරියට ආවා. අනෙකුත් වංශයන් ගේ නායකයන් ලෙස ඉතිරිව සිටියේ සාපේක්‍ෂව තරුණ පිරිසක්. බැනු සහ්ම් වංශයේ ආමර් ඉබ්න් අල්-අස්, බැනු මක්සූම් වංශයේ කාලිද් ඉබ්න් අල්-වලීද් සහ ඉක්‍රිමා ඉබ්න් ආමර් මේ අතරින් ප්‍රධානයි. ඉක්‍රිමා කියන්නේ බදර් හි සටනේ මක්කා හමුදාවේ නායකත්වය දැරූ අබු ජහල් ගේ පුතා. කාලිද් කියන්නේ අබු ජහල් ගේ සොහොයුරාගේ පුතා. මේ තිදෙනා මක්කාවේ අනාගත නායකත්වය නියෝජනය කළා. නමුත් තීරණ ගැනීමේදී සම්පූර්න බලයම පාහේ හිමි වුනේ අබු සුෆියාන්ට​.

අබු සුෆියාන් ඉතාමත් සූක්‍ෂම සහ සැලසුම් සහගතව වැඩ කරන පුද්ගලයෙක්. ඔහු මුහම්මද් තුමා පරදා මදීනාව යටත් කිරීමේ දීර්ඝ කාලීන් සැලසුමක් හැදුවා. තුන් පැත්තකින් කඳු වලින් වටවුනු, බලකොටු රැසකින් සමන්විත වුනු මදීනා නගරය යුද්ධයකින් අල්ලා ගැනීම පහසු නොවන බව ඔහු දැන සිටියා. මේ නිසා ඔහු තම සැලසුම හැදුවේ පියවර දෙකකට​.

පළමු පියවර වුනේ මක්කා හමුදාව මදීනාව අසලට ගොස් එල්ල කරන ප්‍රහාරයකින් මුස්ලිම් වරුන්ට පරාජයක් අත් කර දීම​. එමගින් තමාගේ නැතිවුනු කීර්තිය නැවත ලබා ගැනීමත්, මුස්ලිම් වරුන් ගේ කීර්තිය විනාශ කර දැමීමත් ඔහු බලාපොරොත්තු වුනා. ඒ හරහා අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රිකයන් නැවත තමා වෙත දිනා ගැනීම ඔහුගේ අපේක්‍ෂාව වුනා.

දෙවන පියවර වුනේ බෙදුවියන් මිතුරන් ගෙන් සමන්විත වන විශාල හමුදාවක් සමඟ මදීනාවට පහර දී එය සම්පූර්නයෙන්ම යටත් කිරීමෙන් මුස්ලිම් වරු සම්පුර්නයෙන්ම විනාශ කර දැමීම​.


මදීනාවේ තත්වය​


මේ අතර මුහම්මද් තුමාගේ නායකත්වය මදීනාවේ තදින් තහවුරු වුනා. ඔහු ලැබූ විශිෂ්ඨ යුධ ජයග්‍රහණය නිසා ඔහු සැබැවින්ම දෙවාශිර්වාදය ලද්දෙක් බව මදීනාවේ මුස්ලිම් වරුන් අතර තහවුරු වුනා.

මේ තත්වය ගැන දෙපිරිසක් නොසතුටට පත් වුනා.

පළමුවැන්නා වුනේ මුහම්මද් තුමා මදීනාවට පැමිණීමට පෙර මදීනාවේ නායකයා ලෙස කටයුතු කළ බැනු කස්.රජ් ගෝත්‍රයේ ප්‍රධානියෙක් වුනු අබ්ද් අල්ලාහ් ඉබ්න් උබේයි. අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි මේ වන විට ඉස්ලාමය වැළඳගෙන සිටියත්, ඔහු මදීනාවේ නායකත්වය මුහම්මද් තුමා වෙත යාම ගැන කැමති වුනේ නෑ. ඔහු බලාපොරොත්තු වුනේ මුහම්මද් තුමා ආගමික නායකයෙක් ලෙස සිටීමත්, මදීනාවේ දේශපාලන නායකත්වය තමාට හිමි වීමත්. ඒත් මදීනා වාසීන් අතර ඔහු අභිබවා මුහම්මද් තුමා ජනප්‍රිය වී සිටියා.

අනෙක් පිරිස වුනේ මදීනාවේ වාසය කළ යුදෙව්වන්. බැනු කුවයිනුකා, බැනු නදීර් සහ බැනු කුරයිසා ගෝත්‍ර තුනට අයත් වුනු මේ යුදෙව්වන් අරාබි ගෝත්‍ර මදීනාවට පැමිණීමට පෙර මදීනාවේ බලය තහවුරු කරගෙන සිටියා. අරාබි ගෝත්‍ර මදීනාවට පැමිණීමත් සමඟම ඔවුන් ගේ බලය පිරිහුනා. නමුත් පසු කාලීන යුධ ගැටුම් නිසා අරාබි ගෝත්‍ර දෙක බලයෙන් පිරිහීමත් එක්කම ඔවුන් නැවත මදීනාවේ බලය තහවුරු කරගැනීමට බලාපොරොත්තු වුනා. නමුත් මුහම්මද් තුමාගේ පැමිණීමත් සමඟම අරාබි ගෝත්‍ර දෙක සහ මක්කාවෙන් පැමිණි මුස්ලිම් වරු යන තුන් පිරිසම එකම ගෝත්‍රයක් ලෙස කටයුතු කිරීම නිසා එම බලාපොරොත්තුව සිහිනයක් වන බව ඔවුනට පෙනී ගියා.

මේ අතර​ මුස්ලිම් වරු අතර කණ්ඩායම් දෙකක් වර්ධනය වුනා.

එක් කණ්ඩායමක හිටියේ මක්කාවේ සිටි කාලයේ යම්කිසි ධනයක් සහ සමාජ තත්වයක් සහිතව සිටි,  වයසින් තරම්ක් වැඩිමහළු මුස්ලිම් වරු. මේ පිරිස සමන්විත වුනේ අබු බකර්, උමර්, උත්මාන්, අබ්ද් අල් රහ්මන්, සාද් ඉබ්න් අබි වක්කාස් වැනි අයගෙන්.

දෙවන කණ්ඩායම සමන්විත වුනේ තරුණ​, දුප්පත්, සමාජ තත්වයෙන් අඩු මුස්ලිම් වරුන් ගෙන්. මේ පිරිස සමන්විත වුනේ අලී, අබු දාර් අල් ගිෆාරි, අම්මාර් ඉබ්න් යාසිර්, සල්මාන්, බිලාල්, සුබායිර්, මක්දාද් වැනි අයගෙන්. දෙවන කණ්ඩායම මුහම්මද් තුමා වෙත දැක්වූ පක්‍ෂපාතීත්වය සහ ඉස්ලාමය පිළිබඳ භක්තියෙන් පළමු කණ්ඩායම අභිබවා ගියා. ඒ වගේම ඔවුන් එක්වී සිටියේ මුහම්මද් තුමාගේ කිට්ටුම සහචරයා වුනු අලී වටා. බදර් හි සටනින් කෙටි කලකට පසු අලී මුහම්මද් තුමාගේ දියණිය වුනු ෆාතිමා විවාහ කර ගැනීම අලී සහ මුහම්මද් තුමා අතර සම්බන්ධය වඩාත් දැඩි කරන්නට හේතු වුනා.

ඒ අතර මුහම්මද් තුමා අබු බකර් ගේ දියණිය වුනු අයීෂා සහ උමර් ගේ දියණිය වුනු හෆ්සා සමඟ විවාහ වීම නිසා අබු බකර් සහ උමර් සමඟ ඔහුගේ සම්බන්ධය වඩාත් තහවුරු වුනා.

මේ කණ්ඩායම් දෙක අතර බෙදීම පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසයේ ඉතාමත් තීරනාත්මක සාධකයක් වුනා.


බැනු කුවයිනුකා ගෝත්‍රය සමඟ ඇති වූ ආරවුල්


මදීනාවේ වාසය කළ විවිධ ගෝත්‍ර සිටියේ නගරයේ එක් එක් ප්‍රදේශ තමාට බෙදා වෙන් කරගෙන​. යුදෙව් ගෝත්‍රයන් වාසය කළ ප්‍රදේශ වල ඔවුන් විශාල අට්ටාල ඉඳි කරගෙන සිටියා. යුධ අවස්ථාවකදී ගලින් කළ මේ ශක්තිමත් අට්ටාල බලකොටු වශයෙන් පාවිච්චි කළ හැකි වුනා.


බදර් හි සටනින් පසු යුදෙව්වන් සහ මුස්ලිම් වරු අතර විවිධ සුළු ආරවුල් ඇතිවෙන්න පටන් ගත්තා. මේ නිසා මදීනාවේ සාමය තරමක් පිරිහී ගියා. යුදෙව්වන්ට අයත් ප්‍රදේශ වලට යන මුස්ලිම් ස්ත්‍රීන්ට විවිධ හිරිහැර සහ උසුළු-විසුළු කිරීම් නිතර සිදු වූ නිසා මුහම්මද් තුමා ඔවුන්ට යුදෙව්වන් ගේ ප්‍රදේශ වලට යන විට සිරුර වැසෙන සේ ඇඳුම් අඳින ලෙස උපදෙස් දුන්නා.

මදීනාවේ පොදු වෙළඳපොළ පිහිටා තිබුනේ බැනු කුවයිනුකා ගෝත්‍රයට අයත් ප්‍රදේශයේ. එක් දිනක් බැනු කුවයිනුකා ගෝත්‍රයට අයත් යුදෙව් රන්බඩු වෙළෙන්දෙකුගෙන් ආභරණ මිලදී ගැනීමට ගිය මුස්ලිම් ස්ත්‍රියකට බැනු කුවයිනුකා ගෝත්‍රයේ යුදෙව්වන් කීප දෙනෙක් උසුළු විසුළු කරා. එක් අයෙක් ඇයගේ මුහුණ වසා සිටි සළුව ඇයට හොරෙන් අසල තිබූ යමක ගැට ගැසූ අතර​, ඇය නැගී සිටිය විට සළුව ගැලවී ගොස් ඇය නිරුවත් වුනා.

එතැන සිටි මුස්ලිම් වරයෙක් යුදෙව් ආභරණ වෙළෙන්දාට පහර දුන් අතර​, ඔහු එයින් මියගියා. ඉන් කුපිත වූ යුදෙව්වන් මුස්ලිම් වරයා මරා දැමුවා. මේ සිද්ධිය මුස්ලිම් වරු සහ බැනු කුවයිනුකා යුදෙව්වන් අතර විශාල ගැටුමක් ඇති වීමට මුලපිරුවා.

මුහම්මද් තුමා මේ සිද්ධිය දැක්කේ මදීනා ව්‍යවස්ථාව බිඳ දැමීමක් සහ මුස්ලිම් වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමක් විදිහට​. ඔහු වහාම හමුදාවක් එක් රැස් කර බැනු කුවයිනුකා යුදෙව්වන්ට පහර දුන්නා. යුදෙව්වෝ තමාගේ අට්ටාල තුලට වැදුනු අතර​, මුස්ලිම් වරු යුදෙව්වන් ගේ ප්‍රදේශය වටකර ගත්තා.



දින පහළොවක් තිස්සේ පැවති වටලෑම අවසානයේ බැනු කුවයිනුකා යුදෙව්වෝ මුස්ලිම් වරුන්ට යටත් වුනා. යටත් වුනු යුදෙව්වන්ට අයත් වන ඉරණම ගැන අවසන් තීරණය ගත යුතු වුනේ මුහම්මද් තුමා.

මුහම්මද් තුමා තම තීරණය දීමට පෙර අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි පෙරට පැමිණියා. ඔහුගේ ගෝත්‍රය වුනු බැනු කස්.රජ් ගෝත්‍රය සාම්ප්‍රදායිකව බැනු කුවයිනුකා යුදෙව්වන් ගේ මිතුරන්. මුහම්මද් තුමා දරුණු දඬුවමක් නියම කිරීමට පෙර ඉබ්න් උබෙයි තම මිතුරන් වෙනුවෙන් පෙනී සිටියා.

ඉබ්න් උබෙයි මුහම්මද් තුමා ඉදිරියට පැමිණ "මුහම්මද්, මගේ මිතුරන්ට හොඳින් සලකන්න​" යනුවෙන් පැවසුවා.

මුහම්මද් තුමා එකවරම උත්තර දුන්නේ නෑ. උත්තරය ප්‍රමාද බව දුටු ඉබ්න් උබෙයි නැවත එයම පැවසුවා. එවිට මුහම්මද් තුමා වෙනතකට හැරුනා. නමුත් ඉබ්න් උබෙයි ඊට ඉඩ දුන්නේ නෑ. ඔහු මුහම්මද් තුමාගේ උරහිසින් දැඩිව අල්ලා ගත්තා.

"මාව අත ඇරපන්" මුහම්මද් තුමා දැඩි කෝපයෙන් කීවා. ඔහුගේ මුහුණ කෝපයෙන් කළුපැහැ ගැන්වී තිබුනා.

"නුඹට ශාප වේවි, මාව අත ඇරපන්"

"නෑ. අල්ලාහ් ගේ නාමයෙන්, නුඹ මගේ මිතුරන්ට හොඳින් සලකන තුරු මම නුඹව අත හරින්නේ නෑ. ඔවුන් ගේ සෙබළු හත්සීයක් යුධ බිමේදී අරාබින් සතුරන් ගෙන් සහ අරාබි නොවන සතුරන් ගෙන් මාව රැක ගත්තා. දැන් නුඹ එක දවසින් ඔවුන් අතුගාලා දාන්න ද යන්නේ? අල්ලාහ් ගේ නාමයෙන් මට අනාරක්‍ෂිත බවක් දැනෙනවා. අනාගතය ගැන මට බයයි."

"ඔවුන් නුඹේ"

ඉබ්න් උබෙයි ගේ මැදිහත් වීම නිසා බැනු කුවයිනුකා ගෝත්‍රයට දරුණු දඬුවමක් හිමි වුනේ නෑ. ඒ වෙනුවට ඔවුන්ට තම දේපලත් රැගෙන මදීනාවෙන් පිටවීමට අණ ලැබුනා. ඔවුන් මදීනාවෙන් උතුරේ පිහිටි විවිධ යුදෙව් ජනාවාස වෙත සංක්‍රමනය වුනා.

මේ සිද්ධිය නිසා මුහම්මද් තුමා සහ ඉබ්න් උබෙයි අතර දැඩි විරසකයක් හට ගත්තා. මුස්ලිම් වරු අතරින් ම මුහම්මද් තුමාගේ නායකත්වය අභියෝගයට ලක් වුනු මුල්ම අවස්ථාව මෙය​. මුහම්මද් තුමා ඉබ්න් උබෙයි සහ ඔහුගේ සහචරයන් හැඳින්වුනේ "ව්‍යාජ මුස්ලිම් වරු" යන අරුත ඇති "මුනාෆිකුන්" යන වචනයෙන්.

මේ අතර මුහම්මද් තුමා මදීනාවේ තම දේශපාලන විරුද්ධ වාදීන්ට එරෙහිව ප්‍රහාරය තවත් දැඩි කරන්න තීරණය කලා. ඒ අනුව මුහම්මද් තුමාට එරෙහිව උපහාසාත්මක කවි ලියූ කවියන් තිදෙනෙක් වුනු අස්මා බින්ට් මර්වාන්, කාබ් ඉබ්න් අල්-අෂරෆ් සහ අබු අෆක් ඝාතනය කිරීමට ඔහු මුස්ලිම් වරුන්ට අණ දුන්නා. මේ කවි වල ඉලක්කය වුනේ මදීනා වාසි මුස්ලිම් වරු. ඔවුන් තම ගෝත්‍රයට අයත් නොවුනු මක්කා නගරයෙන් ආ මුහම්මද් ට අවනත වීම කවියෙන් දැඩි උපහාසයට ලක් කෙරුනා.  ඒ අණ ඔස්සේ ක්‍රියාත්මක වුනු ඝාතකයන් අස්මා, කාබ් සහ අබු අෆක් මරා දැම්මා.


වෙනත් ගැටුම්


මේ අතර අබු සුෆියාන් මදීනාවට එරෙහිව ක්‍රියාත්මක වීම ඇරඹුවා. ඔහු 200 ක අසරුවන් පිරිසක් සමඟ රාත්‍රියේ මදීනාවට නුදුරින් පිහිටි ගොවි බිමකට කඩා වැදී එය ගිනිබත් කළා. එම ප්‍රහාරයෙන් මුස්ලිම් වරු දෙදෙනෙක් මිය ගියා.

මුහම්මද් තුමා මදීනාව තුල තම බලය තහවුරු කර ගැනීමෙන් පසු මදීනාව අවට තම බලය තහවුරු කරගැනීම පිළිබඳ අවධානය යොමු කළා. මුලින්ම ඔහු ක්‍රියාත්මක වුනේ මදීනාවට උතුරින් වාසය කළ බැනු සලීම් ගෝත්‍රයට එරෙහිව​. ඔවුන් මදීනාවට පහර දීමට සැරසෙන බව ආරංචි වුනු පසු ඔහු හමුදාවක් සමඟ ඔවුන් වාසය කළ අල් කුදර් වෙත ගියා. බැනු සලීම් ගෝත්‍රිකයන් පළා ගිය අතර​, මුස්ලිම් වරු ඔවුන් සතුවුනු ඔටුවන් 500 ක් අල්ලා ගැනීමට සමත් වුනා.

මීළඟ ප්‍රහාරය එල්ල වුනේ මදීනාව අසල සිටි ප්‍රභල බෙදුවියන් ගෝත්‍රයක් වුනු බැනු ගතෆාන් ගෝත්‍රයට​. ඔවුන් ගෙන් සමහරක් මදීනාවට පහරදීමේ අදහසින් මදීනාව අසළ කඳවුරු ලා සිටින බව සැල වුනු විට මුහම්මද් තුමා 450 ක හමුදාවක් සමඟ ඔවුන් වෙත කඩා වැදුනා. බෙදුවියන් වරු සටන් නොකරම පළා ගියා.

මේ අතර සිරියාවේ සිට මක්කාව වෙත යන වෙළඳ තවලමක් ගැන සැල වුනු මුහම්මද් තුමා 100 දෙනෙකුගෙන් යුතු පිරිසක් එම තවලමට පහර දීම පිණිස පිටත් කර හැරියා. ඔවුන් සාර්ථකව තවලම අල්ලා ගත් අතර​, එහි තිබූ වටිනා බඩු රැසක් අත් කර ගැනීමට සමත් වුනා.

තමාගේ තවලමකට එල්ල වුනු මේ ප්‍රහාරය නිසා මක්කා වැසියන් නැවතත් මුස්ලිම් වරුන්ට එරෙහිව යුධ වැදීමට පොළඹවා ගැනීමට අබු සුෆියාන්ට අවස්ථාවක් ලැබුණා..


මක්කා හමුදාවේ සූදානම​


අබු සුෆියාන් වහාම මදීනාවට එරෙහිව සංවිධානාත්මක ප්‍රහාරයක් එල්ල කරන්න සූදානම් වුනා. ඔහුගේ ප්‍රහාරයේ අරමුන වුනේ මුස්ලිම් හමුදාවට එරෙහිව තීරණාත්මක ජයක් ලබා ගැනීමෙන් බෙදුවියන් ගෝත්‍ර වල සහය ලබා ගැනීම සහ හැකිනම් මුහම්මද් තුමා මරා දැමීම​.

අබු සුෆියාන් රැස් කළ හමුදාව සෙබළු 3000 කින් සමන්විත වුනා. ඉන් 200 ක් අසරු සෙබළු. මේ අය මක්කාවේ සිට මදීනාව දක්වා රැගෙන යාමට ඔටුවන් 3000 කුත් රැස් කෙරුණා.

හමුදාවේ නායකත්වය දැරුවේ අබු සුෆියාන්. අසරු බල ඇණියේ නායකත්වය තරුණ නායකයන්ට පැවරුනා. අබු සුෆියාන් අසරු හමුදාව දෙකට බෙදා පාබල හමුදාවේ දෙපසින් ස්ථාන ගත කළා. වම් අංශය මෙහයවුයේ ඉක්‍රිමා ඉබ්න් ආමර්. දකුණු අංශයට නායකත්වය දුන්නේ කාලිද් ඉබ්න් අල්-වලිද්.

අබු සුෆියාන් ගේ බිරිඳ වුනු හින්.ද් මුහම්මද් තුමා, හම්සා සහ අලී පිළිබඳ දැඩි වෛරයකින් සිටියේ ඇගේ පියා, සොහොයුරා සහ පියාගේ සොහොයුරා බදර් හි සටනින් මිය යාම නිසා. මේ නිසා ඇයටත් සටනට ක්‍රියා කාරීව සහභාගී වීමට අවශ්‍යය වුනා. ඇය තවත් ස්ත්‍රීන් කණ්ඩායමක් සමඟ හමුදාවට එක් වුනේ යුධ සෙබළුන්ව දිරි ගැන්වීමට​.

හින්.ද් ට වාෂි නම් අප්‍රිකාණු ජාතික වහලෙක් සිටියා. වාෂි සැහැල්ලු අඩයටි (හෙල්ල​) විසි කිරීමේ අති ශූරයෙක්. හම්සා සහ අලී ගේ කඩු හරඹ හැකියාව නිසා ඔවුන් ව කඩු සටනකින් මරා දැමීම අපහසු බව තීරණය කළ හින්.ද් ඔවුන් දෙදෙනාව මරා දැමීම වාෂිට බාර කළා.

ක්‍රි.ව​. 624 දෙසැම්බර් 10 වැනිදා අබු සුෆියාන් තමාගේ හමුදාවත් සමඟ මදීනාව බලා ගමන් කිරීම ඇරඹුවා. මදීනාව දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් තරණය කිරීමට අපහසු කඳු වලින් යුක්ත වුනු නිසා ඔවුන්ට පහර දීමට තිබූ එකම දිශාව උතුරින්. ඒ නිසා ඔවුන් දින දහයක ගමනකින් පසු මදීනාවට උතුරින් කඳවුරු ලෑවා.


මුස්ලිම් වරුන් ගේ සූදානම​


විශාල හමුදාවක් මදීනාව බලා ගමන් කළ බව දැනගත්ත මදීනා වැසියන් කැළඹුනා. මුහම්මද් තුමා වහාම යුධ මන්ත්‍රණයක් කැඳෙව්වා. එහිදී මුස්ලිම් වරු ප්‍රධාන අදහස් දෙකක් ඉදිරිපත් කළා.

අබ්ද් අල්ලාහ් ඉබ්න් උබෙයි සහ අබු බකර් ඇතුළු ජේෂ්ඨ මුස්ලිම් වරුන් ගේ අදහස වුනේ මදීනා නගරය තුළට වී සිටීම වඩා සුරක්‍ෂිත බවයි. මදීනා නගරයේ බලකොටු සහ වෙනත් ගොඩනැගිලි තුළට වී ආරක්‍ෂිත සටනක් කිරීමෙන් මක්කා හමුදාව පළවා හැරිය හැකි බව ඔවුන් ගේ අදහස වුනා.

නමුත් තරුන මුස්ලිම් වරු කියා සිටියේ ඉදිරියට ගොස් මක්කා හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ඔවුන් ව පළවා හැරීම වඩා සුදුසු බවයි.

අවසානයේ මුහම්මද් තුමා තරුණ මුස්ලිම් වරුන් ගේ අදහසට එකඟ වුනා. ඒ අනුව ලහි ලහියේ හමුදාවක් එක් රැස් කෙරුනා. පාබල සෙබළු 1000 ක් එක් කර ගන්න ඔවුන්ට හැකි වුනත් ඔවුන් සතුව සිටියේ අසුන් හතර දෙනෙක් පමණයි. හමුදා ශක්තිය අතින් ඔවුන්ට තිබුණු පාඩුව අවම කර ගැනීම සඳහා භූමියේ වාසිය උපරිමයෙන් ලබා ගැනීමට ඔවුන්ට සිදු වුනා.

ඒ අනුව ඔවුන් තමාගේ හමුදාව ස්ථාන ගත කළේ මක්කා හමුදාවට නැගෙනහිර දෙසින් පිහිටි උහුද් කඳු වැටිය​ පාමුල.

උහුද් කඳුවැටිය​


යුධ පිටිය​


බදර් හි සටනේ මෙන් නොව​, මේ වර වර්‍ෂාවෙන් බලපෑමක් නොවුනු නිසා මක්කා හමුදාවට තමාගේ අසරු බල​ඇණිය සටනට යොදාගත හැකිව තිබුණා. මක්කා අසරුවන් තමාගේ වම් සහ දකුණු අංශ වලට පහර දුන්නොත් සිදු වෙන නියත විනාශය ගැන දැන සිටි මුහම්මද් තුමා තම හමුදාව ස්ථාන ගත කළේ වම් සහ දකුණු අංශ ආරක්‍ෂිය වෙන පරිද්දෙන්.

සටන් බිම පිහිටා තිබුනේ මක්කාවට මදක් උතුරින් පිහිටි උහුද් නම් විශාල කඳුවැටියක් අසල​. මක්කා හමුදාව උහුද් කඳුවැටියට තරමක් බටහිරින් කඳවුරු ලා සිටියා. මුස්ලිම් හමුදාව රාත්‍රියේදී රහසින්ම මක්කා හමුදාව සහ කඳුවැටිය අතරින් ස්ථානගත වුනා.



මුස්ලිම් හමුදාවේ දකුණු අංශය උහුද් කඳුවැටියේ ඉදිරියට ආ නෙරුමකින් ආරක්‍ෂා වී තිබුනා. ඔවුන් ගේ වම් අංශය නිරාවරණය වී තිබුණු නිසා මුහම්මද් තුමා අසළ වූ කඳු ගැටයක දුනුවායන් 50 දෙනෙක් ස්ථානගත කළා. ඔවුන්ට පැවරුනු කාර්‍යය වුනේ මක්කා අසරු බල​ඇණියෙන් මුස්ලිම් හම්දාවේ වම් අංශය ආරක්‍ෂා කිරීම​. මක්කා අසරුවන් ඉදිරියට එන හැම විටම ඊ ප්‍රහාර මගින් ඔවුන් පසු බැස්සවීම ඔවුන්ට බාර වුනා.

දුනුවායන් රැඳවූ කඳුගැටය​

ඔවුන්ට ලැබුණේ එකම අණක්:
"සටනේ මොනවා සිදු වුනත්, කිසිම අවස්ථාවක කඳු ගැටෙයෙන් බසින්න එපා. දිගටම කඳු ගැටය මත රැඳී සිටින්න​."

මුස්ලිම් පාබල හමුදාව මෙයෙහවුනේ හම්සා ගේ නායකත්වයෙන්. ඔවුන් උහුද් කඳුවැටිය පාමුල සටන සඳහා පෙළ ගැසුනා.


සටන ඇරඹීම​


පසුදා උදෑසනම හමුදාවන් සටන සඳහා සූදානම් වුනා. සටන ඇරඹෙන්න ඔන්න මෙන්න තිබියදී මදීනාවෙන් පිටතට පැමිණ ප්‍රහාරාත්මක සටනක් කිරීම ගැන නොසතුටින් උන් අබ්ද් අල්ලා ඉබ්න් උබෙයි තම සහචරයන් 300 ක් සමඟ සටන් බිමෙන් ඉවත්ව නැවත මදීනාව බලා ගියා.

සටන පටන් ගන්නත් පෙර මුස්ලිම් වරුන්ට සෙබළු 300 ක් අහිමි වුනා. දැන් 3000 ක මක්කා හමුදාවකට එරෙහිව සිටියේ 700 ක මුස්ලිම් හමුදාවක් පමණයි.

මක්කා හමුදාවේ ධජය රැගෙන යන්නා වුනේ "තල්හා ඉබ්න් අබු තල්හා" නම් විශිෂ්ඨ රණකාමියෙක්. ඔහු අසුපිටින් මුස්ලිම් හමුදාව ඉදිරිපිටට පැමිණ මුස්ලිම් වරුන්ට ද්වන්ධව සටනක් සඳහා ආරාධනා කළා. ඔහුගේ අභියෝගය පිළිගත්තේ අලී ඉබ්න් අබු තාලිබ්.

තල්හා මක්කාවේ සිටි නම් දැරූ රණකාමියෙක්. ඔහුගේ විනෝදාංශය වුනේ සිංහයන් දඩයම් කිරීම​. නමුත් සටන පැවතුනේ තප්පර කීපයක් පමණයි. අලීගේ මුල්ම කඩු පහරින් තල්හා ගේ හිස දෙපළු වී ගියා.

උහුද් හි සටන​

තල්හා ගෙන් ගිලිහී ගිය මක්කා ධජය ගැනීම සඳහා ඔහුගේ සොහොයුරා වූ අබු සාද් ඉදිරියට දිව ආවා. නමුත් ඔහුටත් සිදු වුනේ අලී ගේ අසිපත හමුවේ මරනය වැළඳ ගන්න​.

ඉන්පසුව ඉදිරියට ආවේ තල්හා ගේ තවත් සොහොයුරෙක් වුනු උත්මාන්. මෙවර ඔහුව පිළිගත්තේ හම්සා. කඩු සටන අවසන් වුනේ උත්මාන් මිය යාමෙන්.

මෙවිට අලීට එරෙහිව තල්හා ගේ ඥාතීන් දෙදෙනෙක් වුනු අර්තාත්, ෂුරේයි සහ ඔවුන් ගේ සේවකයා වුනු සවාබ් ඉදිරියට ආවා. ඔවුන් තිදෙනා සමඟම සටන් වැදුණු අලී ඔවුන් තුන් දෙනාම මරා දැම්මා.

ඒ අතරේ තල්හා ගේ පුතුන් තිදෙනා වුනු මුසාෆි,  අල්-හරිත් සහ කිලාබ් අලී වෙත කඩා පැන්නේ තම පියාගේ පලිය ගැනීමට​. නමුත් මුස්ලිම් හමුදාවේ සිටි අසීම් ඉබ්න් තහීත් ක්‍ෂණික හී ප්‍රහාර දෙකක් මගින් මුසාෆි සහ අල්-හරිත් මරා දැම්මා. කිලාබ් සමඟ සටනට එලැඹි සුබයිර් ඉබ්න් අල්-අවම් ඔහුවත් මරා දැම්මා.

සුළු වේලාවක් ඇතුලත මුස්ලිම් වරු විසින් මක්කා හමුදාවේ ධජය රැගෙන යන්නා සහ ඔහුගේ සහයට ආ අට දෙනෙක් මරා දැමීම නිසා මක්කා හමුදාව දැඩි තිගැස්මකට ලක් වුනා. විශේෂයෙන් බදර් හි ඔවුන්ට එරෙහිව දරුණු ලෙස සටන් වැදුණු අලී එක කඩු පහරින් ඔවුන් ගේ විශිෂ්ඨම රණකාමියා මරා දැමීම මක්කා වරුන් තැති ගැන්වීමට සමත් වුනා.


සටන​


ද්වන්ධව සටන් වලින් ජය ගත් පසු මුහම්මද් තුමා මුස්ලිම් වරුන්ට පහර දීමට අණ කළා. මුස්ලිම් හමුදාව මක්කා හමුදාව වෙත කඩා පැන්නා.

මේ අතර හින්.ද් ප්‍රමුඛ මක්කා කාන්තාවෝ මක්කා පෙළ පිටුපස සිට කවි ගයමින්, රබන් වයමින් තම හමුදාව දිරිමත් කළා.

"හිමිදිරි තාරකාවේ දියණියන් අපි වෙමු
සේද යහනාවන් මත හිඳ ඔබ දෙස බලා සිටිමු
ඔවුන් වනසන්න​, අපි සදහටම ඔබේ වෙමු
පළායන්න​, කිසිදිනෙක ඔබ වැළඳ නොගමු"

හම්සා සහ අලී ගේ ප්‍රධානත්වයෙන් එල්ල වුනු ප්‍රහාරය මැඩ පවත්වන්න මක්කා වරුන්ට හැකි වුනේ නෑ. ඉක්‍රිමා සහ කාලිද් තමාගේ අසරු බල​ඇණි මුස්ලිම් වරුන් ගේ වම් සහ දකුණු අංශයන් වෙත මෙහෙයවන්න දැඩි උත්සහයක් ගත්තත්, උහුද් කන්ද සහ මුස්ලිම් වරු ගේ හී ප්‍රහාර නිසා ඒ උත්සහයන් ව්‍යර්ථ වුනා. ක්‍රමයෙන් මුස්ලිම් වරු ඉදිරියට ඇදුනා.

මක්කා වරුන් ගේ පෙළ කීප තැනකින් බිඳ වැටුනා. පළා යන සතුරන් ලුහුබඳිමින් මුස්ලිම් වරු මක්කා වරුන් ගේ කූඩාරම් අසලටම පැමිණියා. මුස්ලිම් වරු තවත් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත ළඟ​.

ඒත් මේ වෙලාවේ බලාපොරොත්තු නොවු දෙයක් සිද්ධ වුනා. මුස්ලිම් පාබල හමුදාව මක්කා කූඩාරම් අසලටම ආ බව දුටු කඳු ගැටය මත රඳවා සිටි දුනුවායන් සටන අවසන් වූ බව නිගමනය කරලා කූඩාරම් වල ඇති දේ පැහැර ගැනීම සඳහා පාබල සෙබළුන්ට එක් වීමේ අදහසින් තමාගේ ස්ථානය අතහැර කඳු ගැටයෙන් පහළට බැස්සා.

අති ශූර යුධ සෙබළෙක් වුනු කාලිද් ඉබ්න් අල්-වලීද් තමාගේ අවස්ථාව දැක්කා. මක්කා අසරු හමුදාවේ දකුණු අංශය මෙහෙයවූ ඔහු දුටුවේ මුස්ලිම් හමුදාවේ වම් අංශය නිරාවරණය වී ඇති ආකාරය. ඔහු වහාම තම අසරු බල​ඇණිය මෙහෙයවමින් කඳු ගැටය වටා ගොස් මුස්ලිම් හමුදාවේ පසුපසට කඩා වැදුණා.



හදිසියේම එල්ල වූ මේ ප්‍රහාරයෙන් මුස්ලිම් හමුදාව සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. ඔවුන් ආපසු හැරී උහුද් කඳුවැටිය කරා දිවගියේ තමාගේ පසුපස ආරක්‍ෂා කර ගන්න. මේ අතර මුස්ලිම් හමුදාවට දෙවන මරු පහරත් එල්ල වුනා.

වාෂි තමාගේ අඩයටිය ගෙන රහසින්ම හම්සා සිටි දිශාවට පැමිණ​ ඈත සිටම අඩයටියෙන් පහර දුන්නා. පපුව විනිවිද ගිය අඩයටි ප්‍රහාරයෙන් හම්සා එතැනම මැරී වැටුනා.

ඒ අතරේ එල්ල වුනු ගල් ප්‍රහාරයකින් මුහම්මද් තුමාගේ කටට බරපතල තුවාල සිදු වුනා. මුවින් රුධිරය වෑහෙමින් ඇද වැටුනු මුහම්මද් තුමා දුටු මුස්ලිම් හමුදාව එකා මෙන් ආපසු හැරී පළා ගියා. උහුද් කඳුවැටිය වෙත පලා ගිය වුන් දිවි ගලවා ගැනීමට සමත් වුනත්, මදීනාව වෙත පලා ගිය පිරිසක් අසරුවන් විසින් ලුහුබැඳ මරා දැම්මා.

සටන් බිමේ ඇද වැටුනු මුහම්මද් තුමා රැක ගැනීමට ඉදිරිපත් වුනේ අලී ඇතුළු දෙළොස් දෙනෙක් පමණයි. මක්කා අසරුවන් ගෙන් එල්ල වුනු දරුණු ප්‍රහාර මැඩ පවත්වමින් මුහම්මද් තුමාව උහුද් කඳුවැටිය දක්වා රැගෙන යන්න මේ පිරිස සමත් වුනා.

සටනින් මුස්ලිම් වරු 85 ක් සහ මක්කාවරු 30 පමණ මිය ගියා. මුස්ලිම් වරුන්ට අත්වූ දරුණුම පහර වුනේ ඔවුන් ගේ ප්‍රධාන සෙනවියා වුණු හම්සා මිය යාම​.

මුස්ලිම් වරු කඳුවැටිය මත හිඳ සටන් බිම දෙස බලා සිටියේ මක්කා හමුදාව සටන් බිමෙන් ඉවත්ව යන තුරු. මක්කා සෙබළුන් මිය ගිය සගයන් ගේ සිරුරු එකතු කිරීමේ සහ මියගිය මුස්ලිම් සෙබළුන් ගේ බඩු පැහැර ගැනීමේ යෙදී සිටියදී හින්.ද් හම්සා ගේ මළ සිරුර වෙත ළං වුනා.

හම්සා මිය ගොස් තිබීම ගැන ඇය සිටියේ ඉතාමත් ප්‍රීතියෙන්. තම පිහියෙන් හම්සා ගේ මල සිරුරේ බඩ කපා විවර කළ ඇය හම්සා ගේ අක්මාව කපා ඉවතට ගෙන කඳුමත හිඳ තමා දෙස බලා සිටි මුස්ලිම් වරුන්ට පෙන්නුවා. ඉන්පසු ඇය මුස්ලිම් වරු භීතියෙන් ගල් ගැසී බලා සිටියදී ලේ වැකෙන අක්මාවෙන් කොටසක් කටින් කඩාගෙන විකා, ඉවතට දැමුවා. ඉන්පසුව ඇය අසා සිටිය අයගේ ඇඟ භීතියෙන් හිරිවැටෙන හඬින් ජයඝෝෂාවක් නංවා ඉවත්ව ගියා.

හම්සා ගේ සොහොන​

සටනින් පසු


දින කීපයක් මදීනාව අවට රැඳී සිටිමින් තමාගේ බලය ප්‍රදර්ශනය කළ මක්කා හමුදාව නැවත මක්කාවට පැමිණියා.

අබු සුෆියාන් ගේ නායකත්වය මක්කාවේ තහවුරු කරන්න මේ ජයග්‍රහණය සමත් වුනා. දැන් ඔහුට තිබුනේ තමාගේ සැලැස්මේ දෙවන කොටස ක්‍රියාත්මක කිරීම​. ඒ සඳහා ඔහු ක්‍රමයෙන් මදීනාව අවට වාසය කළ බෙදුවියන් ගෝත්‍රයන් ගේ සහය ලබා ගන්න උත්සහ කළා.

Saturday, March 14, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 7 (පුරහඳ සටන හෙවත් බදර් හි සටන​)



පසුබිම​


ක්‍රි.ව​. 623 වන විට මදීනා හි මුස්ලිම් සමාජය හොඳින් තහවුරු වී තිබුනා. මුහම්මද් ට නායකයෙක් විදිහට මදීනාවේ සහ ඒ අවට යම්කිසි පිළිගැනීමක් ලැබෙමින් තිබුනා. නමුත් මක්කාවේ සිට මදීනාවට පැමිණි මුස්ලිම් වරු හෙවත් මුජිහරුන් එසේ කලේ ඔවුන් ගේ සියළු ධනය මක්කාවේ හැර දාලා. මේ නිසා ඔවුන් මදීනාවේ ජීවත් වුනේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද​.

මේ වන විට මක්කාවේ ප්‍රධානියා විදිහට සැලකුණු වලීඩ් ඉබ්න් අල්-මුගිරා මිය ගොස් තිබුණු නිසා ඒ තනතුර හිමි වී තිබුනේ මුහම්මද් තුමාගේ ප්‍රධාන එදිරිවාදියා වුනු ආමර් ඉබ්න් හිෂාම් හෙවත් අබු ජහල් ට​. මේ නිසා මක්කාවේ ඉස්ලාම් විරෝධී ප්‍රතිපත්තිය වඩාත් දැඩි වුනා.

මක්කා හි ප්‍රධානීන් මක්කාව හැර ගිය සියළුම මුස්ලිම් වරුන් ගේ දේපල රාජසන්තක කර ඒවා මක්කා වැසියන් අතර බෙදා දීමට තීරණය කළා. මේ තීරණය මක්කාවෙන් මදීනාවට පැමිණි මුස්ලිම් වරුන් ගේ දැඩි නොසතුටට හේතු වුනා. ඔවුන් එයට එකට එක කිරීමක් ලෙසට සහ අහිමි වුනු ධනය නැවත ලබා ගැනීමේ මාර්ගයක් විදිහට මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට යෝජනා කළා.

එවකට තිබුනු අරාබි සංස්කෘතිය අනුව අරාබි ගෝත්‍රයක කීර්තිය රැඳී තිබුනේ ඔවුන් ගේ රණකාමීත්වය මත​. දිගින් දිගටම හිංසා පීඩා වලට ලක් වන ගෝත්‍රයක් අනෙක් ගෝත්‍ර විසින් දැක්කේ දුර්වල ගෝත්‍රයක් විදිහට​. එවැනි ගෝත්‍ර අනෙකුත් ගෝත්‍ර වල පහසු ගොදුරක් බවට පත් වුනා. මේ නිසා අනෙකුත් අරාබි ගෝත්‍ර අතර මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති වී තිබුනා.

මේ හේතු දෙක නිසා මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට මුහම්මද් තුමා සිය අනුමැතිය ලබා දුන්නා. ඒත් ගැටළුවකට තිබුනේ ධනවත් මක්කා වැසියන් ගේ යුධ ශක්තිය හා ගැටීමට දුප්පත් මදීනා වැසියන්ට නොහැකි වීමයි. මක්කා නගරය ජනගහණයෙන් වැඩි විශාල නගරයක් වූ නිසා ඔවුන්ට විශාල පිරිස් බලයක් තිබුනා. ඒ වගේම ධනවතුන් වූ ඔවුන්ට ඉස්තරම්ම ආයුධ සහ සන්නාහ මිලදී ගැනීමේ හැකියාව තිබුනා. ඔටුවන් සහ අශ්වයන් විශාල ප්‍රමානයක් සිටි නිසා ඔවුන්ට ප්‍රභල ප්‍රහාරක හැකියාවක් තිබුනා.

මුහම්ම්ද් තුමාගේ සමයේ අරාබි යුධ සෙබළු

ඒ සමයේ අරාබි යුධ ශිල්පයට අනුව හමුදාවක් ගමන් කළේ ඔටුවන් පිට​. සටනට අවතීර්න වනවිට ඔවුන් ගෙන් සමහරක් අසු පිට නැගී යුධ වදින අසරු සෙබළුන් විදිහටත්, සමහරක් පාබල සෙබළුන් විදිහටත් කටයුතු කළා. ඔටුවන් නොමැති විට ඔවුන්ට ගමන් කිරීමට සිදු වුනේ පයින්. එවැනි අවස්ථාවකදී සටනට එලැඹෙන සෙබළු මහන්සි වී සිටි නිසා ඔවුන් ගේ සටන් කිරීමේ හැකියාව පහත වැටුනා. අශ්වයන් නොමැති විට සතුරාට එරෙහිව ක්‍ෂණික ප්‍රභල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් නොමැති වන නිසා ප්‍රහාරක හැකියාව පහත වැටුනා. මේ නිසා අරාබි හමුදාවක ඔටුවන් සහ අශ්වයන් වැදගත් අංගයක් වුනා.

දුප්පත් මදීනා වැසියන්ට හොඳ ආයුධ හෝ සන්නාහ තිබුනේ නෑ. වඩාත් වැදගත් වුනේ ඔවුන්ට සිටි ඔටුවන් සහ අශ්වයන් ගණන ඉතා සීමිත වීමයි. මේ නිසා මුස්ලිම් වරුන් ගේ යුධ හැකියාව තිබුනේ මක්කා වැසියන්ට වඩා බොහෝ පහළින්.


තවලම් ප්‍රහාර​


තවලම් කොල්ල කෑමට ගත් තීරණය අනුව ක්‍රි.ව​. 623 මාර්තු මාසයේ දී හම්සා විසින් මෙහෙයැවුනු මුස්ලිම් වරු 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අබු ජහල් ගේ තවලමකට පහර දෙන්න සැරසුනා. නමුත් අබු ජහල් ගේ පිරිස 300 දෙනෙකුගෙන් සමන්විත වුනු නිසා මුස්ලිම් වරු ප්‍රහාරය අත හැර දමා ආපසු හැරුනා.

මේ මුස්ලිම් වරු හමුදාවක් වශයෙන් සංවිධානාත්මකව ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාවයි.

623 අවුරුද්දේ තවත් අවස්ථා හතරකදී මුස්ලිම් වරුන් ගේ කණ්ඩායම් මක්කා වැසියන් ගේ තවලම් වලට පහර දෙන්න සැරසුනත්, ඒ හැම අවස්ථාවකදීම මක්කා වරුන් ගේ පිරිස් බලය වැඩි වුනු නිසා ප්‍රහාරය නවතා දමා ආපසු හැරෙන්න මුස්ලිම් වරුන්ට සිදු වුනා.

ක්‍රි.ව​. 624 ජනවාරි මාසයේදී මුස්ලිම් වරු 6 දෙනෙකුගේ කණ්ඩායමක් ඔත්තු බැලීම සඳහා මක්කා නගරයට ඇතුල් වීමට උත්සහ කළා. නමුත් ඔවුන් නගරය අවට රැඳී සිටියදී එතැනින් ගියා මක්කා වරුන් ගේ තවලමක් ඔවුන් මුස්ලිම් වරු ලෙස හඳුනා ගත්තා. මුස්ලිම් වරු පළා යාමට තැත් කළ අතර​, එහිදී ඇති වූ ගැටුමෙන් මක්කා වැසියෙක් මිය ගියා.

දින කිහිපයකට පසු මේ ඝාතනයට එකට එක කිරීමක් විදිහට අබු සුෆියාන් විසින් මෙහෙයැවුනු මක්කා වැසියන් ගේ අසරුවන් පිරිසක් මදීනා නගරය අවට තිබූ මුස්ලිම් වරුන්ට අයත් ගොවි බිම් වලට පහර දී ඔවුන් ගේ වගා බිම් ගිනි තිබ්බා.

මේ නිසා 624 අවුරුද්දේ දී මුස්ලිම් වරු සහ මක්කා වැසියන් අතර ඉතා උණුසුම් තත්වයක් ඇති වී තිබුණා.


අබු සුෆියාන් ගේ තවලම​


ක්‍රි.ව​. 624 අප්‍රේල් මාසයේදී දී අබු සුෆියාන් ගේ නායකත්වයෙන් 40 ක පිරිසකගෙන් සමන්විත වුනු විශාල තවලමක් සිරියාවේ සිටි මක්කාව බලා ගමන් කළා. මදීනාව පිහිටා තිබුනේ මක්කාවට උතුරින් නිසා මේ තවලම ගමන් කළ යුතු වුනේ මදීනා නගරය අසළින්. ඒ වගේම මේ තවලමේ මක්කා නගරයෙ සියළුම ප්‍රධානින් සතු වෙළඳ බඩු තිබුනු අතර​, ඒවායේ වටිනාකම ඉතා අධික වුනා.

වටිනා බඩු පුරවාගත් විශාල තවලමක් සාපේක්‍ෂව අඩු පිරිසක් සමඟ මදීනාව අසළින් ගමන් කරන බව ඇසූ මුස්ලිම් වරු මේ තවලමට පහර දෙන්න තීරණය කළා.



මුස්ලිම් වරු තමාගේ තවලමට පහර දීමට සූදානම් වන බවදැනගත් විට අබු සුෆියාන් කළේ තමාගේගමන් මාර්ගය වෙනස් කිරීම​. මක්කා සහ මදීනා නගර පිහිටලා තිබුනේ රතු මුහුදේ වෙරළේ ඉඳන් කිලෝ මීටර් 80 පමණ ගොඩබිම දෙසින්. තවලමේ ගමන් මග වැටිල තිබුනේ මේ නගර දෙක අසලින්. අබු සුෆියාන් වහාම තවලම මුහුද දෙසට හරවලා රතු මුහුදේ වෙරළබඩ නගරයක් වුනු යාන්බු දක්වා තවලම ගෙන ගියා. ඒ අතර මක්කා නගරයට පණිවුඩ කරුවෙක් යවලා මුස්ලිම් වරු තවලමට පහර දෙන්න යන බව දැන්වුවා.


අබු සුෆියාන් ගේ පණිවුඩය ලැබුනු විගස මක්කාවේ ප්‍රධානීන් වහාම හමුදාවක් සූදානම් කලා. බොහෝ අය හමුදාවට එක් වුනේ තවලමේ ඇති තමාගේ වෙළඳ භාණ්ඩ රැක ගැනීමේ අරමුණෙන්. නමුත් මක්කාවේ ප්‍රධානියා වුනු අබු ජහල් මුහම්මද් තුමා මරා දැමීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වුනා. ඔහු හමුදාව වෙනුවෙන් තමා සතු ඔටුවන් 700 ක් සහ අශ්වයන් 100 ක් ලබා දුන්නා. අබු ජහල් ට අමතරව උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ් හමුදාවේ ප්‍රධානත්වය ගත්තා.

මක්කාවේ හමුදාවක් එක් රැස් වන බව නොදත් මුස්ලිම් වරු 313 ගෙනෙකුගෙන් සමන්විත හමුදාවක් සමඟ මදීනාවෙන් පිටත් වුනා. ඔවුන් සතුව හිටියේ ඔටුවන් 70ක් සහ අශ්වයන් දෙදෙනෙක් පමණයි. මේ නිසා එක ඔටුවෙක් පිටේ තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් නැග යන්න ඔවුන්ට සිදු වුනා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ගමනාන්තය වුනේ මක්කාවට යන මාර්ගයේ පිහිටා තිබූ රට ඉඳි වගාවක් සහිත ස්ථානයක්. මේ ස්ථානය අවට පිහිටා තිබූ ළිං කීපයක් නිසා ඒ අවටින් යන ඕනෑම තවලමක් එතැන නැවතී වතුර පුරවාගෙන යාම සිරිතක්. අබු සුෆියාන් ගේ තවලම එතැනදී අල්ලා ගැනීම ඔවුන් ගේ සැලසුම වුනා.

මුස්ලිම් වරු තමාගේ ප්‍රධාන පිරිසට ඉදිරියෙන් අවට පරික්‍ෂා කර බැලීම සඳහා කීප දෙනෙක් ඉදිරියට යවා තිබුනා. මේ ඔත්තු කරුවන් රට ඉඳි වගාව අසලට පැමිණෙන විට ඔවුන්ට දකින්න ලැබුනේ ළිං වලින් වතුර පුරවා ගන්නා කීප දෙනෙක්. ඒ අබු සුෆියාන් ගේ තවලමෙන් පැමිණි පිරිසක් බව සැක කළ ඔවුන් වහා ඔවුන් මත කඩා පැන ඔවුන් අල්ලා ගත්තා. ඒත් ඔවුන් ගෙන් ප්‍රශ්න කිරීමේදී මුස්ලිම් ඔත්තු කරුවන්ට දැන ගන්න ලැබුනේ අබු සුෆියාන් තම තවලම සුරක්‍ෂිතව වෙනත් මගකින් මක්කාව වෙත යැවූ බවත්, අබු ජහල් ගේ ප්‍රධානත්වයෙන් යුත් විශාල​ හමුදාවක් ඔවුන් සිටි තැනට නුදුරින් කඳවුරු ලා සිටින බවත්, ළිං වලින් වතුර පුරවාගනිමින් සිටි අය ඒ හමුදාවේ සාමාජිකයන් බවත්. මේ ආරංචියෙන් කලබල වුනු ඔවුන් වහාම මුහම්මද් තුමා වෙත ගොස් මේ බව දැනුම් දුන්නා.

මුහම්මද් තුමා තමාගේ ප්‍රධාන සහචරයන් කැඳවා ඔවුන් ගේ අදහස් විමසුවා. ඔවුන් බලාපොරොත්තු වුනු තවලම ඔවුන් ට ගිලිහී ගිහින්. ඒ වෙනුවට ඔවුන් වගේ තුන් හතර​ ගුණයක් විශාල බලවත් හමුදාවක් ඔවුන්ට නුදුරින් කඳවුරු ලාගෙන​. එහිදී අබු බකර් සහ තවත් කීප දෙනෙක් සටන අත හැර දමා නැවත මදීනාවට යන ලෙස යෝජනා කළා. නමුත් මක්දාද් ඉබ්න් අස්වාද් වේගවත් කථාවක් කරමින් සටනට මුහුණ දෙන ලෙස යෝජනා කළා. මුහම්මද් තුමා අවසානයේ මක්දාද් ගේ යෝජනාව පිළිගත්තා.


​මක්කා හමුදාවේ මත ගැටුම​


මේ අතර මක්කා හමුදාව රට ඉඳි වගාවට නුදුරින් කඳවුරු ලා සිටියදී මක්කාවේ සිට පණිවුඩ කරුවෙක් ඔවුන් වෙත ආවා. පණිවුඩයෙන් කියැවුනේ අබු සුෆියාන් තවලමත් සමඟ අනතුරකින් තොරව මක්කාව වෙත ආ බවයි.

මේ පණිවුඩය ලත් විට මක්කා හමුදාව අතර මත ගැටුමක් ඇති වුනා. තවලම ආරක්‍ෂා කිරීමේ අදහසින් පැමිණි බොහෝ දෙනා නැවත මක්කාවට යන ලෙස යෝජනා කළා. නමුත් අබු ජහල් සිටියේ මුහම්මද් තුමා මරා දමා ඉස්ලාමයේ කරදරය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන්. ඔහු නැවතී සටන් කරන මතයේ දැඩිව එල්බ ගත්තා.

උත්මාන් ඉබ්න් කලාෆ් තමා නැවත මක්කාවට යාමට අදහස් කරන බව කියා සිටියා.

"තමුසෙට ඇස් යටට ගාන අඳුන් ගාන්න අමතක වෙලා" අබු ජහල් උත්මාන්ට කියා සිටියා. අබු ජහල් අදහස් කළේ උත්මාන් ගැහැණියක් බව​. ඉන් ලැජ්ජාවට පත් උත්මාන් නැවතී සටන් කිරීමට කැමැත්ත පළ කලා.

හමුදාවේ අනෙක් ප්‍රධානියා වුනු උත්බා ඉබ්න් රබියාත් නැවත මක්කාවට යාමට අදහස් කළා. උත්බා ගේ වැඩිමහල් පුතා ඉස්ලාමය වැළඳ ගෙන මදීනාවට පලා ගොස් සිටියා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ඔහුත් ඉඳීමට ලොකු ඉඩක් තිබුනා. අබු ජහල් මේ කරුණ ප්‍රයෝජනයට ගත්තා.

"තමුසෙට බයයි ද තමුසෙගෙ පුතා අපි අතින් මැරුම් කයි කියලා?"

මේ ප්‍රකාශයෙන් කෝපාවිෂ්ඨ වුනු උත්බා තමාගේ අදහස වෙනස් කර ගත්තා.

නමුත් මක්කා හමුදාවේ කොටසක් අබු ජහල් ගේ අදහසට විරුද්ධ වෙමින් නැවත මක්කාවට හැරී ගියා. මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබ්බාස් ගේ ප්‍රධානත්වයෙන් හමුදාවට එක් ව සිටි බැනු හෂීම් වාංශිකයන් නැවත යාමට උත්සහ කරද්දී අබු ජහල් ඔවුන් තර්ජනය කොට බලෙන්ම ඔවුන් රඳවා ගත්තා.

අවසානයේදී 900 ක පමණ පිරිසක් අබු ජහල් සමඟ සටන් බිමට පිවිසුනා.


සටන ඇරඹීම​


සටන් බිම පිහිටා තිබුනේ නැගෙනහිර සිට බටහිර දක්වා දිවෙන මද බෑවුමක් සහිත විශාල තැන්නක​. මේ තැන්නේ නැගෙනහිර කොනේ රටඉඳි වගාව පිහිටා තිබුණා. බෑවුම අවසන් වුනේ තරමක නිම්නයකින්. නිම්නයේ බටහිර කොනේ අකන්කාල් නම් කන්දක් තිබුණා. ළිං පිහිටා තිබුනේ නිම්නය සහ රට ඉඳි වගාව අතර, බෑවුමේ මැදට වෙන්න.


මුලින්ම සටන් බිමට පැමිණියේ මුස්ලිම් හමුදාව​. ඔවුන් රට ඉඳි වගාව පසු කරමින් ළිං දක්වා පැමිණ එතැන කඳවුරු ලා ගත්තා. එමගින් ඔවුන් භූමියේ වාසි දෙකක් ලබා ගත්තා. පළමුවැන්න​, වතුර තිබුනේ ඔවුන් සතුව​. සටන දිගට ඇදුනොත්, සතුරාට පිපාසයේ සටන් කරන්න සිදු වෙනවා. දෙවැන්න​, ඔවුන් සිටියේ බෑවුමේ ඉහළට වෙන්න​. ඔවුන් සතුරාට පහර දුන්නොත්, බෑවුමේ පහළට දිව යමින් පහර දෙන්න පුළුවන්. සතුරා ඔවුන්ට පහර දුන්නොත් බෑවුමේ ඉහළට එන්න සතුරාට සිදු වෙනවා.

එදින මැදියම් රැයේ මක්කා හමුදාව අකල්කාන් කන්ද තරණය කරමින් බටහිර දෙසින් සටන් බිමට පිවිසුනා. එදා ඇද හැළුණු අධික වර්‍ෂාව නිසා පොළව තෙත බරි වී තිබීම හේතුවෙන් ඔවුන් ගේ ඔටුවන් සහ අශ්වයන් කන්ද තරණය කළේ දැඩි අපහසුවෙන්.

සටන් බිම වර්තමානයේ
එදා පුරහඳ දවසක්. මේ නිසා පසුව සටන හැඳින්වුනේ "පුරහඳ සටන​" යන අරුත ඇති "බදර් හි සටන​" ලෙසින්. පසුව සටන සිදු වූ ස්ථානයත් "බදර්" නමින් හැඳින්වුනා.

පහුවදා උදේම දෙපිරිස සටන සඳහා පෙළ ගැසුනා. මක්කා හමුදාව නිම්නය දිගේ පෙළ ගැසුනු අතර​, මුස්ලිම් වරු බෑවුමේ ඉහළින් ළිං අසල පෙළ ගැසුනා. මක්කා හමුදාවේ ප්‍රධානත්වය දැරුවේ ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්), උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ්. මුස්ලිම් හමුදාවේ පෙරමුණ ගත්තේ හම්සා.

එකල අරාබි සිරිත අනුව සටන ඇරඹීමට පෙර දෙපාර්ශවයෙන් දක්‍ෂ කඩු සටන් කරුවන් ලෙස නම් දැරූ කීප දෙනෙක් ඉදිරියට පැමිණ ප්‍රතිවාදී පිලට ද්වන් දව සටන් සඳහා ආරාධනා කරනවා. ඒ අනුව මක්කා හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා වුනු ෂයිබා ඉබ්න් රබියා සහ උත්බා ගේ පුතා වුනු වාලිද් ඉබ්න් උත්බා. ඔවුන් මුස්ලිම් හමුදාවට අභියෝග කළා. අභියෝගය පිළිගෙන මුස්ලිම් හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ තිදෙනාම අන්සාරි වරු.

අන්සාරි වරු සමඟ පුද්ගලික ආරවුලක් නොතිබුණු නිසා මක්කා පිලේ සටන් කරුවන්ට ඔවුන් සමඟ සටන් කිරීමට අවශ්‍යය වුනේ නෑ. උත්බා ඒ බව කෑගසා දන්වා සිටියා.

"මුහම්මද්, අපිට සමාන කවුරු හරි එවන්න​"

ඒ අභියෝගය භාර ගනිමින් හම්සා, අලී සහ උබයිදා ඉබ්න් අල්-හරිත් ඉදිරියට ආවා. මුස්ලිම් හමුදාවේ දක්‍ෂම කඩු සටන් කරුවන් විදිහට සැලකුනේ ඔවුන් තිදෙනා.

හම්සා උත්බා සමඟත්, අලී වාලිද් සමඟත්, උබයිදා ෂයිබා සමඟත් කඩු හරඹයට එලඹුනා. සුළු මොහතකින් අලී ගේ කඩු පහරින් වලීද් මරණයට පත් වුනා. ඊළඟ මොහොතේ හම්සා ගේ කඩු පහරින් උත්බා මරු දැක්කා. ඒ අතර ෂයිබා ගෙන් එල්ල වූ කඩු පහරකින් කකුලට බරපතල තුවාල ලැබූ උබයිදා බිම ඇද වැටුනා. එසැනින් ෂයිබා වෙත කඩා පැන්න අලී ඔහු සමඟ සටනට එලැඹුනා. ෂයිබාටත් අලී ගේ කඩු පහරින් මරණය අත් වුනා. අලී සහ හම්සා තුවාල ලැබූ උබයිදාව ඔසවා ගෙන නැවත තම හමුදාව වෙත ආවත්, අධික ලේ වහනය නිසා උබයිදා මිය ගියා.

හම්සා සහ අලී මක්කා වරු සමඟ සටන් කිරීම​

ද්වන් දව සටනින් තම සටන්කරුවන් තිදෙනාම මිය යාම නිසා මක්කා හමුදාව යම්කිසි තිගැස්මකට ලක් වුනා. ඒ වගේම ඔවුන් ගේ අශ්වයන්ට තෙතබරි පොළවේ දිවීම අපහසු වුනු නිසා මුස්ලිම් හමුදාවට එරෙහිව ඔවුන්ට තිබුනු ලොකුම වාසිය ඔවුන්ට අහිමි වුනා. දැන් ඔවුන්ට තිබුනේ බෑවුම ඉහළට යමින් පහර දීමේ දුෂ්කර කාර්‍යය.


සටන​


සටන ඇරඹුනේ දෙපිලේම දුණුවායන් ඊතල ප්‍රහාර එල්ල කිරීමත් සමඟම​. මේ ඊ ප්‍රහාර නිසා දෙපිලේම කීප දෙනෙක් මරණයට පත් වුනා.

මක්කා හමුදාව කලබලයටත්, අධෛර්‍යයටත් පත් වන බව දුටු මුහම්මද් තුමා සතුරා වෙත කඩා වදින ලෙස අණ දුන්නා. ඒ ගල් කැට අහුරක් ගෙන සතුරා දෙසට දමා ගසමින්. "යා මන්සූර්, අමිත්" (දෙවියන් ගේ ආශිර්වාදය ලද්දනී, පහර දෙනු) යනුවෙන් කෑගසමින් මුස්ලිම් වරු බෑවුම පහළට දිව එමින් සතුරු පෙළ වෙත කඩා පැන්නා.

මුස්ලිම් හමුදාවේ ඉදිරියෙන්ම සිටියේ අලී සහ හම්සා. අලී සටන් වැදුනේ යක්‍ෂාරූඩයෙන් මෙන්. ඔහුගේ අසිපතට හසුවූ සතුරන් එකා පිට එකා මැරී වැටුනා.

සටන අතරතුරදී අන්සාරි ගැටවරයන් දෙදෙනෙක් අබ්දුර් රහ්මන් අබ්න් අව්ෆ් වෙත පැමිණියා.

"මාමේ, ඔබ අබු ජහල් ව දන්නවද​?"

"ඔව්. උඹලට මොකටද අබු ජහල්?" අබ්දුර් රහ්මන් ඔවුන් ගෙන් විමසා සිටියා.

"අපි අහල තියෙනවා ඔහු මුහම්මද් තුමාට ගොඩක් අපහාස කළා කියලා. අපිට අබු ජහල් සටන් බිමේ දී හමු වුනොත්, අපි දෙදෙනා හරි අබු ජහල් හරි මිය යන තුරු අපි අබු ජහල් ව අතාරින්නේ නෑ"

අබ්දුර් රහ්මන් තම සේනාව මෙහෙයවමින් සිටි අබු ජහල් ව අන්සාරි ගැටවරයන් දෙදෙනාට පෙන්නුවා.

මුආව්විද් ඉබ්න් අෆ්‍රා සහ මුආද් ඉබ්න් ආමර් නම් වූ මේ අන්සාරි ගැටවරයන් දෙදෙනා තම අසිපත් රැගෙන අබු ජහල් වෙත කඩා පැන්නා. මුආද් ගේ කඩු පහරකින් අබු ජහල් ගේ පාදයක් වෙන්වී විසිවී ගියා. අබු ජහල් බිම ඇද වැටුනු අතර, මුආව්විද් ඔහුට තම කඩුවෙන් පහර පිට පහර දුන්නා.

ඒ මොහොතේදී අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් මුආද් ගේ උරහිසට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් මුආද් ගේ වම් අත වෙන්වී සිහින් මස් තීරුවකින් සිරුරට සම්බන්ධ වෙමින් එල්ලා වැටුනා. එතැන් සිට මුආද් සටන් කළේ වම් අත එල්ලා ගෙන​. එය වේදනාකාරී වුනු විට ඔහු තම පයින් වම් අත පාගා ගෙන එය සිරුරෙන් ඉරා දැම්මා. සටන අතරතුර දී මුඅව්විද් වෙනත් මක්කා සෙබළෙක් අතින් මරණයට පත් වුනත්, මුආද් දිවි ගලවා ගන්න සමත් වුනා.

සටන පැවතුනේ පැය කීපයක් පමණයි. අලී ප්‍රමුඛ මුස්ලිම් වරු එල්ල කළ ප්‍රහාරයෙන් කලබලයට පත් ව උන් මක්කා හමුදාවේ සමහරු, අබු ජහල් ගේ ඇද වැටීමෙන් සම්පූර්ණයෙන්ම භීතියට පත් ව පළා යාම ඇරඹුවා. අතරින් පතර පලායාම් සමඟම මක්කා හමුදාවේ පෙළ බිඳ වැටී ගියා. පෙළ බිඳ වැටුනු තැන් වලින් කඩා වැදුනු මුස්ලිම් වරු ඔවුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒත් එක්කම නායකයන් අහිමිව උන් සම්පූර්න මක්කා හමුදාවම එකා මෙන් සටන් බිමෙන් පළා ගියා.

මුස්ලිම් වරු මක්කා සෙබළුන් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගන්න සමත් වුනත් තවත් බොහෝ දෙනෙක් පළා ගියා.

මුස්ලිම් හමුදාවෙන් 14 දෙනෙක් මිය ගිහින් තිබූ අතර, මක්කා හමුදාවේ 70 දෙනෙක් මිය ගිහින් තවත් 70 ක් සිර භාරයට ගෙන තිබුනා. මිය ගිය අයගෙන් 35 දෙනෙක්ම මිය ගියේ අලී ගේ අසිපතෙන්.


සටන අවසානයේ


මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක් වුනු අබ්ද්-අල්ලාහ් ඉබ්න් මසූද් අඩි පහක් පමණ උස කුඩා පුද්ගලයෙක්. ඔහු මක්කාවේ එඬේරෙක් වශයෙන් ජීවිකාව කළ තරුණයෙක්. සටන අවසානයේ ඔහු සටන් බිම පිරික්සමින් ඇවිදිද්දී ඔහුට හමු වුනේ පණ අදිමින් වැතිර සිටි අබු ජහල්.

අබ්ද්-අල්ලාහ් අබු ජහල් ගේ බෙල්ලට පය තබා ඔහු මරා දමන්න සැරසුනා.

"මට කියපන්, සටනෙන් දිනුවේ කවුද​?" අබු ජහල් ඔහුගෙන් විමසුවා

"අල්ලාහ් ගේ පණිවුඩ කරුවා ගේ හමුදාව"

"පුංචි එඬේරා උඹ ගොඩාක් උඩට නැගලා!"

අබු ජහල් "පුංචි එඬේරා" යන්නෙන් අදහස් කළේ අබ්ද්-අල්ලාහ් අබ්න් මසූද් වගේම මුහම්මද් තුමාව​.

අබ්ද්-අල්ලාහ් තමාගේ ගෙල සිඳ දැමීමට පෙර අබු ජහල් එක ඉල්ලීමක් කළා.

"උඹ වගේ මිට්ටෙක් අතින් මැරෙන්න සුදුසු මිනිහෙක් නෙවෙයි මම​. මාව මරන්න උඹට වඩා උස එකෙක් එවපන්"

නමුත් අබ්ද්-අල්ලාහ් ඔහුගේ ඉල්ලීම ඉටු කළේ නෑ. අබු ජහල් මිය ගියේ අඩි පහක් උස "මිට්ටා" අතින්.

අබු ජහල් ගේ මරණය​

මේ අතර මක්කා හමුදාවේ ඉතිරි වුනු එකම ප්‍රධානියා වූ උමයියා ඉබ්න් කලාෆ් මුස්ලිම් වරුන් ගේ සිර භාරයට පත්ව සිටියා. ඔහු තමාට ආරක්‍ෂාව ලබා දිය හැකිදැයි මුස්ලිම් හමුදාවෙන් විමසා සිටියා. එවිට අබ්‍දුර් රහ්මන් ඉබ්න් අව්ෆ් උමයියාට සහ ඔහුගේ පුතා වුනු වලීද් ට ආරක්‍ෂාව ලබා දෙන්න ඉදිරිපත් වුනා. අබ්දුර් රහ්මන් ඔවුන් දෙදෙනා සිර භාරයෙන් මුදාගෙන නිදහස් කිරීමට ගෙන ගියා.

උමයියාට මක්කාවේ කළු ජාතික වහලෙක් සිටියා. ඔහුගේ නම බිලාල්. බිලාල් ඉස්ලාමය වැළඳගත් නිසා උමයියා ඔහු දරුණු වධයට ලක් කළා. බිලාල් ජීවිතය බේරා ගත්තේ ඉතා අමාරුවෙන්. දැන් බිලාල් මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක්. ඔහු උමයියා නිදහස් කිරීම ගැන තම විරෝධය දක්වා සිටියා. අන්සාරි වරු කීප දෙනෙක් බිලාල් ගේ සහයට ආවා. අබ්දුර් රහ්මාන් උමයියා සහ වලීද් පලා යන්න සූදානම් වෙද්දී බිලාල් සහ අන්සාරි වරු ඔවුන් අල්ලා ගත්තා. එතැනදී වලීද් අන්සාරි වරුන් ගේ කඩු පහරින් මිය ගියා. උමයියා බිම දණ ගැසූ විට අන්සාරි වරු ඔහු මරා දැමීමට ළං වුනා. අබ්දුර් රහ්මාන් උමයියා ගේ සිරුර මත වැතිරී ඔහු රැක ගැනීමට උත්සහ කළත්, අන්සාරි වරු ඔහුගේ සිරුරට යටින් කඩු පහර දී උමයියා මරා දැමුවා.


සිරකරුවෝ


අල්ලා ගත් සිර කරුවන්ට මානුෂික ලෙස සැලකීමට මුහම්මද් තුමා මුස්ලිම් වරුන්ට අණ කළා. ඔවුන් ව මදීනාව වෙත ගෙන ඒමේදී අත පා බැඳ දැමීමට වත් අවසර ලැබුණේ නෑ. මදීනාවේදී මුහම්මද් තුමා සිරකරුවන් අමතා කතා කළා.

මුලින්ම ඉස්ලාමය වැළඳගෙන මදීනාවේ මුස්ලිම් සමාජයට එක් වීමට සිරකරුවන්ට ආරාධනා කළා. ඒ අනුව දෙදෙනෙක් ඉස්ලාමය වැළඳ ගැනීමට කැමැත්ත පළ කලා. ඉන්පසුව තමාගේ නිදහස වෙනුවෙන් මුදලක් ගෙවීමට හැකි සියළුම දෙනාට ඒ මුදල ගෙවීමෙන් නිදහස් ව යාමට ඉඩ දුන්නා. මුහම්ම්ද් තුමා ගේ පියාගේ සොහොයුරෙක් වූ අබ්බාස් සිර කරුවන් අතර සිටියා. ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක් වූ අතර ඇය හිටියේ මක්කාවේ. මුහම්මද් තුමා අබ්බාස් වෙනුවෙන් වූ මුදල තමාම ගෙවා අබ්බාස් නිදහස් කළා.

ඉතිරි වූ කීප දෙනාට ලැබුනේ අපූරු "දඬුවමක්". ඔවුන්ට අණ ලැබුනේ මදීනාවේ නතර වී ලීවීමට කියවීමට නොදත් මුස්ලිම් වරුන්ට ඉගැන්වීමට​. මුස්ලිම් වරු දහ දෙනෙකුට ලිවීමට ඉගැන්වූ පසු ඔවුන්ව නිදහස් කළා.

මෙහිදී මක්කාවේ සමාජය සහ මදීනාවේ සමාජය ගැන හොඳ අදහසක් ලබා ගන්න අපිට පුළුවන්. ධනවත් විශාල නගරයක් වුනු මක්කාවේ බොහෝ දෙනාට ලිවීමට සහ කියැවීමට හැකි වුනු බවත්, කුඩා දුප්පත් නගරයක් වුනු මදීනාවේ බොහෝ දෙනෙකුට ලිවීමට කියැවීමට නොහැකි වුනු බවත් අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මුහම්මද් තුමා ලිවීමට සහ කියැවීමට දුන් වැදගත් කම ගැනත් අපිට හිතා ගන්න පුළුවන්.


අබු ලැහැබ්


මක්කාවේ මුහම්මද් තුමා අයිති වුනු වංශය වූ බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ්. ඔහු සටනට එක් වුනේ නෑ. ඒ වෙනුවට සටනේදී බැනු හෂීම් වංශිකයන් මෙහෙයවූයේ ඔහුගේ සොහොයුරු අබ්බාස්.

මුස්ලිම් වරුන්ට එරෙහිව පහසු ජයක් අපේක්‍ෂා කළ නිසා අබු ලැහැබ් සටන ගැන ලොකු උනන්දුවක් දැක්වූයේ නෑ. ඔහු තමාගේ පවුලේ අය සහ මිතුරන් සමඟ එළිමහනේ විශාල භෝජන සංග්‍රහයක් පවත්වමින් සිටියා. ඔවුන් සිටියේ විශාල කූඩාරමක​

හදිසියේම සටනෙන් පළා ආ අයෙක් එතැනට ආවා. මුස්ලිම් හමුදාව අතින් මක්කා හමුදාව සම්පුර්නයෙන්ම පරාජය වුනු බවත්, අබු ජහල් සහ උත්බා ඉබ්න් රබියා සටනින් මියගිය බවත් ඔහු කියා සිටියා. අබු ලැහැබ් මේ පුවතින් කම්පනයට පත් වුනා.

කූඩාරමේ අනිත් කෙළවර අබ්බාස් ගේ බිරිඳ ලුබාබා සහ ඇගේ සේවකයා වුනු අබු රාෆි දඩයම් සඳහා ඊතල මුවහත් තබමින් සිටියා. ඔවුන් දෙදෙනාම මුස්ලිම් වරු. සටනින් මුස්ලිම් වරු ජයගත් බව දැනගත් ඔවුන් ඉමහත් ප්‍රීතියට පත් වුනා.

"මුහම්මද් ගේ හමුදාව දිනුවේ දේව දූතයන් ගේ පිහිටෙන්" අබු රාෆි කිව්වා.

ඒක ඇහුනු අබු ලැහැබ් කෝපයෙන් වියරු වැටුනා. ඔහු අබු රාෆිට පහර දුන්නා. අබු රාෆි බිම වැටුනු විට ඔහු අතේ තිබුනු පොල්ලකින් අබු රාෆිට දිගටම පහර දුන්නා.

ලුබාබා තරමක් තරබාරු ශක්තිමත් කාන්තාවක්.

"අබ්බාස් නැති නිසා අපේ සේවකයට ගහන්න පුළුවන් කියලද හිතුවේ?"

එහෙම කෑගහපු ලුබාබා කූඩාරමේ කණුවක් ගලවාගෙන අබු ලැහැබ් ගේ හිසට වැරෙන් පහරක් එල්ල කළා. පහරෙන් හිසේ පැත්තක දරුණු කැපුම් තුවාලයක් සහිතව අබු ලැහැබ් බිම ඇද වැටුනා.

පහුවදා අබු ලැහැබ් ගේ තුවාලය පැසවා දරුණු අතට හැරුනා. ටික දිනකින්ම ඔහුගේ මුළු සිරුරම එකම වණයක් බවට පත් වුනා. ඔහුගේ තුවාල වලින් හැමූ දුගඳ කොතරම් ප්‍රභල වුනාද කිව්වොත්, ඔහුගේ බිරිඳ සහ පුතුන්වත් ඔහු ළඟට ආවේ නෑ. සතියකින් පමණ අබු ලැහැබ් මිය ගියා. මිය ගිය පසුවත් ඔවුන් ඔහුගෙ සිරුර වළ දමන්නවත් ඉදිරිපත් වුනේ නෑ. මළ සිරුරේ ගඳ ඉවසන්න බැරි වුනු අසල්වැසියන් චෝදනා කළ පසු ඔවුන් වලක් හාරලා සේවකයෙක් ගැට ගැසූ ලණුවකින් මළ සිරුර වල ලඟට ඇදගෙන ආවා. ඉන්පසුව ඈත ඉඳන් වතුර ගහලා මළ සිරුර හෝදලා දිග රිටකින් එය වල තුලට තල්ලු කලා. ඉන්පසු ගල් දමා වල වහල දැම්මා.


සටනින් පසු - මක්කාව​


සටනින් මක්කාවේ විශාල වෙනසක් ඇති වුනා. සටනින් ප්‍රධානින් විශාල පිරිසක් මිය යාම නිසා බොහෝ වංශයන් ගේ බලය පිරිහී ගියා. කුඩා මුස්ලිම් හමුදාව අතින් දරුණු පරාජයක් ලැබීම නිසා මක්කා වරුන් ගේ ප්‍රතිරූපයට එල්ල වුනේ දැඩි කැළලක්.

මෙතෙක් මක්කාවේ ප්‍රභලම වංශය වුනු බැනු මක්සුම් වංශයේ බලය අබු ජහල් ගේ මරණයත් එක්කම සම්පූර්නයෙන්ම වග් නැතිවී ගියා. ඒ එක්කම අබු ලැහැබ් ගේ මරණයත් එක්කම බැනු හෂීම් වංශයේ බලයත් නැතිවී ගියා. බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ අබ්බාස්. ඔහු මුහම්මද්ට හිතවතෙක්. ඒ වගේම ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක්. ඒ නිසා බැනු හෂීම් වංශය තුල නැවතත් මුහම්මද්ට හොඳ තැනක් ලැබුනා. උමයියා ඉබ්න් කලාෆ් ගේ මරණයත් එක්කම බැනු ජුමාහ් වංශයේ බලයත් පිරිහී ගියා.

සටනින් බැනු උමයියා වංශයේ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා සහ පුතා මිය ගියා. ඒ බැනු උමයියා වංශයේ ප්‍රධානින් ගෙන් විශාල ප්‍රමානයක්. මේ නිසා ඔවුන්ටත් ලැබුනේ දරුණු පහරක්. ඒත් සටනට සහභාගී නොවුනු අබු සුෆියාන් ජීවතුන් අතර සිටි නිසා ඔවුන් ගේ බලය සම්පුර්නයෙන්ම පිරිහුනේ නෑ.

මක්කාවේ ප්‍රධානින් අතර ඉතුරු වුනේ අබු සුෆියාන් පමණයි. මේ නිසා ඔහුට බැනු උමයියා වංශයේ වගේම මක්කාවේ ප්‍රධානියා වෙන්න වරම් ලැබුනා. අනෙකුත් වංශ වල ප්‍රධානින් විදිහට ඉතුරු වුනේ තරුණ පිරිසක්. මේ නිසා අබු සුෆියාන් මක්කාවේ අසහාය නායකයා බවට පත් වුනා. මෙතෙක් නායකත්ව මණ්ඩලයකින් මක්කාව පාලනය වුනත්, මෙතැන් සිට මක්කාව පාලනය වුනේ අබු සුෆියාන් ගේ තනි මතයට​. ඒ එකක්ම බැනු උමයියා වංශය මක්කාවේ ඉතාම ප්‍රභල තැනක් ලබා ගත්තා.

සටනින් මිය ගිය උත්බා ඉබ්න් රබියා ගේ දියණිය වුනේ හින්.ද් බින්ට් උත්බා. ඇය අබු සුෆියාන් ගේ බිරිඳ​. සටනින් ඇගේ පියා වුනු උත්බා, ඇගේ සොහොයුරා වුනු වලීද් සහ පියාගේ සොහොයුරා වුනු ෂයිබා තිදෙනාම මිය ගියා. මේ වන විට ඇගේ අනෙක් සොහොයුරා ඉස්ලාමය වැළඳ ගෙන මක්කාවෙන් පළා ගිහින්. ඒ නිසා ඇයගේ මුළු පවුලම ඇයට අහිමි වුනා. ඇගේ පවුලේ අය මරා දැමූ අලී සහ හම්සා ගැන ඇය තුල ඉතා දරුණු වෛරයක් හට ගත්තා. මුහම්මද්, අලී සහ හම්සා කෙදිනක හෝ මරා දමන බවට ඇය දිවුරා සිටියා.

උමයියා වංශයේ නැගීම සහ හින්.ද් තුළ හටගත් වෛරය පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්‍ෂ්‍යය විදිහට දකින්න පුළුවන්.


සටනින් පසු - මදීනාව​


ඒ වගේම ප්‍රභල මක්කා හමුදාවට දරුණු පරාජයක් අත් කර දෙන්න සමත් වීමෙන් මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් වර්ධනය වුනා. එවැනි විශ්‍ෂ්ඨ ජයක් ලැබුනේ අල්ලාහ් ගේ උදව්වෙන් බව ඔවුන් සිතුවා. ඒ අනුව තමාගේ ගම නිවැරදි මග බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් ඇති වුනා.

ඒ එක්කම රණශූරයෙක් විදිහට තරුණ අලී මුස්ලිම් වරු අතර විශාල ප්‍රසාදයක් දිනා ගත්තා. මුහම්මද් තුමාගේ විශ්වාසවන්තම සගයා සහ කිට්ටුම සහචරයා ලෙස මෙතෙක් ඔහු වෙත තිබුනු ප්‍රතිරූපය මේ සටනින් පසුව වඩාත් තහවුරු වුනා.

අන්සාරි වරු සටනේදි දැක්වූ දක්‍ෂතාවය කැපී පෙනුනා. මේ නිසා අන්සාරි වරුන්ට මුස්ලිම් සමාජයේ තිබුණු තැන ඉහළ ගියා.

ඉස්ලාමීය ඉතිහාසයේ පළමු යුධ ජය විදිහට සැලකෙන්නේ බදර්. බදර් හි සටන් කළ අය මුස්ලිම් වරු අතර විශාල ගෞරවයකට ලක් වුනා. පසු කාලීනවත් බදර් සටනේ සාමාජිකයෙක් වීම මුස්ලිම් සමාජයේ ඉදිරි තැනක් ලබන්න හේතුවක් වුනා.

බදර් සටනින් මිය ගිය මුස්ලිම් වරු 14 දෙනා ඉමහත් ගෞරවයට ලක් වුනා. ඒ අය අතර මුහාජිරුන් වරු 6 දෙනෙක් සහ අන්සාරි වරු 8 දෙනෙක් හිටියා.

සටනින් මියගිය මුස්ලිම් වරුන් ගේ සොහොන්