Saturday, March 14, 2020

ඉස්ලාමයේ ඉතිහාසය - 7 (පුරහඳ සටන හෙවත් බදර් හි සටන​)



පසුබිම​


ක්‍රි.ව​. 623 වන විට මදීනා හි මුස්ලිම් සමාජය හොඳින් තහවුරු වී තිබුනා. මුහම්මද් ට නායකයෙක් විදිහට මදීනාවේ සහ ඒ අවට යම්කිසි පිළිගැනීමක් ලැබෙමින් තිබුනා. නමුත් මක්කාවේ සිට මදීනාවට පැමිණි මුස්ලිම් වරු හෙවත් මුජිහරුන් එසේ කලේ ඔවුන් ගේ සියළු ධනය මක්කාවේ හැර දාලා. මේ නිසා ඔවුන් මදීනාවේ ජීවත් වුනේ දැඩි ආර්ථික දුෂ්කරතා මැද​.

මේ වන විට මක්කාවේ ප්‍රධානියා විදිහට සැලකුණු වලීඩ් ඉබ්න් අල්-මුගිරා මිය ගොස් තිබුණු නිසා ඒ තනතුර හිමි වී තිබුනේ මුහම්මද් තුමාගේ ප්‍රධාන එදිරිවාදියා වුනු ආමර් ඉබ්න් හිෂාම් හෙවත් අබු ජහල් ට​. මේ නිසා මක්කාවේ ඉස්ලාම් විරෝධී ප්‍රතිපත්තිය වඩාත් දැඩි වුනා.

මක්කා හි ප්‍රධානීන් මක්කාව හැර ගිය සියළුම මුස්ලිම් වරුන් ගේ දේපල රාජසන්තක කර ඒවා මක්කා වැසියන් අතර බෙදා දීමට තීරණය කළා. මේ තීරණය මක්කාවෙන් මදීනාවට පැමිණි මුස්ලිම් වරුන් ගේ දැඩි නොසතුටට හේතු වුනා. ඔවුන් එයට එකට එක කිරීමක් ලෙසට සහ අහිමි වුනු ධනය නැවත ලබා ගැනීමේ මාර්ගයක් විදිහට මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට යෝජනා කළා.

එවකට තිබුනු අරාබි සංස්කෘතිය අනුව අරාබි ගෝත්‍රයක කීර්තිය රැඳී තිබුනේ ඔවුන් ගේ රණකාමීත්වය මත​. දිගින් දිගටම හිංසා පීඩා වලට ලක් වන ගෝත්‍රයක් අනෙක් ගෝත්‍ර විසින් දැක්කේ දුර්වල ගෝත්‍රයක් විදිහට​. එවැනි ගෝත්‍ර අනෙකුත් ගෝත්‍ර වල පහසු ගොදුරක් බවට පත් වුනා. මේ නිසා අනෙකුත් අරාබි ගෝත්‍ර අතර මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය වර්ධනය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් ඇති වී තිබුනා.

මේ හේතු දෙක නිසා මක්කා වෙළඳුන් ගේ තවලම් කොල්ල කෑමට මුහම්මද් තුමා සිය අනුමැතිය ලබා දුන්නා. ඒත් ගැටළුවකට තිබුනේ ධනවත් මක්කා වැසියන් ගේ යුධ ශක්තිය හා ගැටීමට දුප්පත් මදීනා වැසියන්ට නොහැකි වීමයි. මක්කා නගරය ජනගහණයෙන් වැඩි විශාල නගරයක් වූ නිසා ඔවුන්ට විශාල පිරිස් බලයක් තිබුනා. ඒ වගේම ධනවතුන් වූ ඔවුන්ට ඉස්තරම්ම ආයුධ සහ සන්නාහ මිලදී ගැනීමේ හැකියාව තිබුනා. ඔටුවන් සහ අශ්වයන් විශාල ප්‍රමානයක් සිටි නිසා ඔවුන්ට ප්‍රභල ප්‍රහාරක හැකියාවක් තිබුනා.

මුහම්ම්ද් තුමාගේ සමයේ අරාබි යුධ සෙබළු

ඒ සමයේ අරාබි යුධ ශිල්පයට අනුව හමුදාවක් ගමන් කළේ ඔටුවන් පිට​. සටනට අවතීර්න වනවිට ඔවුන් ගෙන් සමහරක් අසු පිට නැගී යුධ වදින අසරු සෙබළුන් විදිහටත්, සමහරක් පාබල සෙබළුන් විදිහටත් කටයුතු කළා. ඔටුවන් නොමැති විට ඔවුන්ට ගමන් කිරීමට සිදු වුනේ පයින්. එවැනි අවස්ථාවකදී සටනට එලැඹෙන සෙබළු මහන්සි වී සිටි නිසා ඔවුන් ගේ සටන් කිරීමේ හැකියාව පහත වැටුනා. අශ්වයන් නොමැති විට සතුරාට එරෙහිව ක්‍ෂණික ප්‍රභල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් නොමැති වන නිසා ප්‍රහාරක හැකියාව පහත වැටුනා. මේ නිසා අරාබි හමුදාවක ඔටුවන් සහ අශ්වයන් වැදගත් අංගයක් වුනා.

දුප්පත් මදීනා වැසියන්ට හොඳ ආයුධ හෝ සන්නාහ තිබුනේ නෑ. වඩාත් වැදගත් වුනේ ඔවුන්ට සිටි ඔටුවන් සහ අශ්වයන් ගණන ඉතා සීමිත වීමයි. මේ නිසා මුස්ලිම් වරුන් ගේ යුධ හැකියාව තිබුනේ මක්කා වැසියන්ට වඩා බොහෝ පහළින්.


තවලම් ප්‍රහාර​


තවලම් කොල්ල කෑමට ගත් තීරණය අනුව ක්‍රි.ව​. 623 මාර්තු මාසයේ දී හම්සා විසින් මෙහෙයැවුනු මුස්ලිම් වරු 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අබු ජහල් ගේ තවලමකට පහර දෙන්න සැරසුනා. නමුත් අබු ජහල් ගේ පිරිස 300 දෙනෙකුගෙන් සමන්විත වුනු නිසා මුස්ලිම් වරු ප්‍රහාරය අත හැර දමා ආපසු හැරුනා.

මේ මුස්ලිම් වරු හමුදාවක් වශයෙන් සංවිධානාත්මකව ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාවයි.

623 අවුරුද්දේ තවත් අවස්ථා හතරකදී මුස්ලිම් වරුන් ගේ කණ්ඩායම් මක්කා වැසියන් ගේ තවලම් වලට පහර දෙන්න සැරසුනත්, ඒ හැම අවස්ථාවකදීම මක්කා වරුන් ගේ පිරිස් බලය වැඩි වුනු නිසා ප්‍රහාරය නවතා දමා ආපසු හැරෙන්න මුස්ලිම් වරුන්ට සිදු වුනා.

ක්‍රි.ව​. 624 ජනවාරි මාසයේදී මුස්ලිම් වරු 6 දෙනෙකුගේ කණ්ඩායමක් ඔත්තු බැලීම සඳහා මක්කා නගරයට ඇතුල් වීමට උත්සහ කළා. නමුත් ඔවුන් නගරය අවට රැඳී සිටියදී එතැනින් ගියා මක්කා වරුන් ගේ තවලමක් ඔවුන් මුස්ලිම් වරු ලෙස හඳුනා ගත්තා. මුස්ලිම් වරු පළා යාමට තැත් කළ අතර​, එහිදී ඇති වූ ගැටුමෙන් මක්කා වැසියෙක් මිය ගියා.

දින කිහිපයකට පසු මේ ඝාතනයට එකට එක කිරීමක් විදිහට අබු සුෆියාන් විසින් මෙහෙයැවුනු මක්කා වැසියන් ගේ අසරුවන් පිරිසක් මදීනා නගරය අවට තිබූ මුස්ලිම් වරුන්ට අයත් ගොවි බිම් වලට පහර දී ඔවුන් ගේ වගා බිම් ගිනි තිබ්බා.

මේ නිසා 624 අවුරුද්දේ දී මුස්ලිම් වරු සහ මක්කා වැසියන් අතර ඉතා උණුසුම් තත්වයක් ඇති වී තිබුණා.


අබු සුෆියාන් ගේ තවලම​


ක්‍රි.ව​. 624 අප්‍රේල් මාසයේදී දී අබු සුෆියාන් ගේ නායකත්වයෙන් 40 ක පිරිසකගෙන් සමන්විත වුනු විශාල තවලමක් සිරියාවේ සිටි මක්කාව බලා ගමන් කළා. මදීනාව පිහිටා තිබුනේ මක්කාවට උතුරින් නිසා මේ තවලම ගමන් කළ යුතු වුනේ මදීනා නගරය අසළින්. ඒ වගේම මේ තවලමේ මක්කා නගරයෙ සියළුම ප්‍රධානින් සතු වෙළඳ බඩු තිබුනු අතර​, ඒවායේ වටිනාකම ඉතා අධික වුනා.

වටිනා බඩු පුරවාගත් විශාල තවලමක් සාපේක්‍ෂව අඩු පිරිසක් සමඟ මදීනාව අසළින් ගමන් කරන බව ඇසූ මුස්ලිම් වරු මේ තවලමට පහර දෙන්න තීරණය කළා.



මුස්ලිම් වරු තමාගේ තවලමට පහර දීමට සූදානම් වන බවදැනගත් විට අබු සුෆියාන් කළේ තමාගේගමන් මාර්ගය වෙනස් කිරීම​. මක්කා සහ මදීනා නගර පිහිටලා තිබුනේ රතු මුහුදේ වෙරළේ ඉඳන් කිලෝ මීටර් 80 පමණ ගොඩබිම දෙසින්. තවලමේ ගමන් මග වැටිල තිබුනේ මේ නගර දෙක අසලින්. අබු සුෆියාන් වහාම තවලම මුහුද දෙසට හරවලා රතු මුහුදේ වෙරළබඩ නගරයක් වුනු යාන්බු දක්වා තවලම ගෙන ගියා. ඒ අතර මක්කා නගරයට පණිවුඩ කරුවෙක් යවලා මුස්ලිම් වරු තවලමට පහර දෙන්න යන බව දැන්වුවා.


අබු සුෆියාන් ගේ පණිවුඩය ලැබුනු විගස මක්කාවේ ප්‍රධානීන් වහාම හමුදාවක් සූදානම් කලා. බොහෝ අය හමුදාවට එක් වුනේ තවලමේ ඇති තමාගේ වෙළඳ භාණ්ඩ රැක ගැනීමේ අරමුණෙන්. නමුත් මක්කාවේ ප්‍රධානියා වුනු අබු ජහල් මුහම්මද් තුමා මරා දැමීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වුනා. ඔහු හමුදාව වෙනුවෙන් තමා සතු ඔටුවන් 700 ක් සහ අශ්වයන් 100 ක් ලබා දුන්නා. අබු ජහල් ට අමතරව උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ් හමුදාවේ ප්‍රධානත්වය ගත්තා.

මක්කාවේ හමුදාවක් එක් රැස් වන බව නොදත් මුස්ලිම් වරු 313 ගෙනෙකුගෙන් සමන්විත හමුදාවක් සමඟ මදීනාවෙන් පිටත් වුනා. ඔවුන් සතුව හිටියේ ඔටුවන් 70ක් සහ අශ්වයන් දෙදෙනෙක් පමණයි. මේ නිසා එක ඔටුවෙක් පිටේ තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් නැග යන්න ඔවුන්ට සිදු වුනා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ගමනාන්තය වුනේ මක්කාවට යන මාර්ගයේ පිහිටා තිබූ රට ඉඳි වගාවක් සහිත ස්ථානයක්. මේ ස්ථානය අවට පිහිටා තිබූ ළිං කීපයක් නිසා ඒ අවටින් යන ඕනෑම තවලමක් එතැන නැවතී වතුර පුරවාගෙන යාම සිරිතක්. අබු සුෆියාන් ගේ තවලම එතැනදී අල්ලා ගැනීම ඔවුන් ගේ සැලසුම වුනා.

මුස්ලිම් වරු තමාගේ ප්‍රධාන පිරිසට ඉදිරියෙන් අවට පරික්‍ෂා කර බැලීම සඳහා කීප දෙනෙක් ඉදිරියට යවා තිබුනා. මේ ඔත්තු කරුවන් රට ඉඳි වගාව අසලට පැමිණෙන විට ඔවුන්ට දකින්න ලැබුනේ ළිං වලින් වතුර පුරවා ගන්නා කීප දෙනෙක්. ඒ අබු සුෆියාන් ගේ තවලමෙන් පැමිණි පිරිසක් බව සැක කළ ඔවුන් වහා ඔවුන් මත කඩා පැන ඔවුන් අල්ලා ගත්තා. ඒත් ඔවුන් ගෙන් ප්‍රශ්න කිරීමේදී මුස්ලිම් ඔත්තු කරුවන්ට දැන ගන්න ලැබුනේ අබු සුෆියාන් තම තවලම සුරක්‍ෂිතව වෙනත් මගකින් මක්කාව වෙත යැවූ බවත්, අබු ජහල් ගේ ප්‍රධානත්වයෙන් යුත් විශාල​ හමුදාවක් ඔවුන් සිටි තැනට නුදුරින් කඳවුරු ලා සිටින බවත්, ළිං වලින් වතුර පුරවාගනිමින් සිටි අය ඒ හමුදාවේ සාමාජිකයන් බවත්. මේ ආරංචියෙන් කලබල වුනු ඔවුන් වහාම මුහම්මද් තුමා වෙත ගොස් මේ බව දැනුම් දුන්නා.

මුහම්මද් තුමා තමාගේ ප්‍රධාන සහචරයන් කැඳවා ඔවුන් ගේ අදහස් විමසුවා. ඔවුන් බලාපොරොත්තු වුනු තවලම ඔවුන් ට ගිලිහී ගිහින්. ඒ වෙනුවට ඔවුන් වගේ තුන් හතර​ ගුණයක් විශාල බලවත් හමුදාවක් ඔවුන්ට නුදුරින් කඳවුරු ලාගෙන​. එහිදී අබු බකර් සහ තවත් කීප දෙනෙක් සටන අත හැර දමා නැවත මදීනාවට යන ලෙස යෝජනා කළා. නමුත් මක්දාද් ඉබ්න් අස්වාද් වේගවත් කථාවක් කරමින් සටනට මුහුණ දෙන ලෙස යෝජනා කළා. මුහම්මද් තුමා අවසානයේ මක්දාද් ගේ යෝජනාව පිළිගත්තා.


​මක්කා හමුදාවේ මත ගැටුම​


මේ අතර මක්කා හමුදාව රට ඉඳි වගාවට නුදුරින් කඳවුරු ලා සිටියදී මක්කාවේ සිට පණිවුඩ කරුවෙක් ඔවුන් වෙත ආවා. පණිවුඩයෙන් කියැවුනේ අබු සුෆියාන් තවලමත් සමඟ අනතුරකින් තොරව මක්කාව වෙත ආ බවයි.

මේ පණිවුඩය ලත් විට මක්කා හමුදාව අතර මත ගැටුමක් ඇති වුනා. තවලම ආරක්‍ෂා කිරීමේ අදහසින් පැමිණි බොහෝ දෙනා නැවත මක්කාවට යන ලෙස යෝජනා කළා. නමුත් අබු ජහල් සිටියේ මුහම්මද් තුමා මරා දමා ඉස්ලාමයේ කරදරය අවසන් කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන්. ඔහු නැවතී සටන් කරන මතයේ දැඩිව එල්බ ගත්තා.

උත්මාන් ඉබ්න් කලාෆ් තමා නැවත මක්කාවට යාමට අදහස් කරන බව කියා සිටියා.

"තමුසෙට ඇස් යටට ගාන අඳුන් ගාන්න අමතක වෙලා" අබු ජහල් උත්මාන්ට කියා සිටියා. අබු ජහල් අදහස් කළේ උත්මාන් ගැහැණියක් බව​. ඉන් ලැජ්ජාවට පත් උත්මාන් නැවතී සටන් කිරීමට කැමැත්ත පළ කලා.

හමුදාවේ අනෙක් ප්‍රධානියා වුනු උත්බා ඉබ්න් රබියාත් නැවත මක්කාවට යාමට අදහස් කළා. උත්බා ගේ වැඩිමහල් පුතා ඉස්ලාමය වැළඳ ගෙන මදීනාවට පලා ගොස් සිටියා. මුස්ලිම් වරුන් ගේ හමුදාවේ ඔහුත් ඉඳීමට ලොකු ඉඩක් තිබුනා. අබු ජහල් මේ කරුණ ප්‍රයෝජනයට ගත්තා.

"තමුසෙට බයයි ද තමුසෙගෙ පුතා අපි අතින් මැරුම් කයි කියලා?"

මේ ප්‍රකාශයෙන් කෝපාවිෂ්ඨ වුනු උත්බා තමාගේ අදහස වෙනස් කර ගත්තා.

නමුත් මක්කා හමුදාවේ කොටසක් අබු ජහල් ගේ අදහසට විරුද්ධ වෙමින් නැවත මක්කාවට හැරී ගියා. මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබ්බාස් ගේ ප්‍රධානත්වයෙන් හමුදාවට එක් ව සිටි බැනු හෂීම් වාංශිකයන් නැවත යාමට උත්සහ කරද්දී අබු ජහල් ඔවුන් තර්ජනය කොට බලෙන්ම ඔවුන් රඳවා ගත්තා.

අවසානයේදී 900 ක පමණ පිරිසක් අබු ජහල් සමඟ සටන් බිමට පිවිසුනා.


සටන ඇරඹීම​


සටන් බිම පිහිටා තිබුනේ නැගෙනහිර සිට බටහිර දක්වා දිවෙන මද බෑවුමක් සහිත විශාල තැන්නක​. මේ තැන්නේ නැගෙනහිර කොනේ රටඉඳි වගාව පිහිටා තිබුණා. බෑවුම අවසන් වුනේ තරමක නිම්නයකින්. නිම්නයේ බටහිර කොනේ අකන්කාල් නම් කන්දක් තිබුණා. ළිං පිහිටා තිබුනේ නිම්නය සහ රට ඉඳි වගාව අතර, බෑවුමේ මැදට වෙන්න.


මුලින්ම සටන් බිමට පැමිණියේ මුස්ලිම් හමුදාව​. ඔවුන් රට ඉඳි වගාව පසු කරමින් ළිං දක්වා පැමිණ එතැන කඳවුරු ලා ගත්තා. එමගින් ඔවුන් භූමියේ වාසි දෙකක් ලබා ගත්තා. පළමුවැන්න​, වතුර තිබුනේ ඔවුන් සතුව​. සටන දිගට ඇදුනොත්, සතුරාට පිපාසයේ සටන් කරන්න සිදු වෙනවා. දෙවැන්න​, ඔවුන් සිටියේ බෑවුමේ ඉහළට වෙන්න​. ඔවුන් සතුරාට පහර දුන්නොත්, බෑවුමේ පහළට දිව යමින් පහර දෙන්න පුළුවන්. සතුරා ඔවුන්ට පහර දුන්නොත් බෑවුමේ ඉහළට එන්න සතුරාට සිදු වෙනවා.

එදින මැදියම් රැයේ මක්කා හමුදාව අකල්කාන් කන්ද තරණය කරමින් බටහිර දෙසින් සටන් බිමට පිවිසුනා. එදා ඇද හැළුණු අධික වර්‍ෂාව නිසා පොළව තෙත බරි වී තිබීම හේතුවෙන් ඔවුන් ගේ ඔටුවන් සහ අශ්වයන් කන්ද තරණය කළේ දැඩි අපහසුවෙන්.

සටන් බිම වර්තමානයේ
එදා පුරහඳ දවසක්. මේ නිසා පසුව සටන හැඳින්වුනේ "පුරහඳ සටන​" යන අරුත ඇති "බදර් හි සටන​" ලෙසින්. පසුව සටන සිදු වූ ස්ථානයත් "බදර්" නමින් හැඳින්වුනා.

පහුවදා උදේම දෙපිරිස සටන සඳහා පෙළ ගැසුනා. මක්කා හමුදාව නිම්නය දිගේ පෙළ ගැසුනු අතර​, මුස්ලිම් වරු බෑවුමේ ඉහළින් ළිං අසල පෙළ ගැසුනා. මක්කා හමුදාවේ ප්‍රධානත්වය දැරුවේ ආමර් ඉබ්න් හිෂාම් (අබු ජහල්), උත්බා ඉබ්න් රබියා සහ උමයියා ඉබ්න් කලාෆ්. මුස්ලිම් හමුදාවේ පෙරමුණ ගත්තේ හම්සා.

එකල අරාබි සිරිත අනුව සටන ඇරඹීමට පෙර දෙපාර්ශවයෙන් දක්‍ෂ කඩු සටන් කරුවන් ලෙස නම් දැරූ කීප දෙනෙක් ඉදිරියට පැමිණ ප්‍රතිවාදී පිලට ද්වන් දව සටන් සඳහා ආරාධනා කරනවා. ඒ අනුව මක්කා හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා වුනු ෂයිබා ඉබ්න් රබියා සහ උත්බා ගේ පුතා වුනු වාලිද් ඉබ්න් උත්බා. ඔවුන් මුස්ලිම් හමුදාවට අභියෝග කළා. අභියෝගය පිළිගෙන මුස්ලිම් හමුදාවෙන් තිදෙනෙක් ඉදිරියට ආවා. ඒ තිදෙනාම අන්සාරි වරු.

අන්සාරි වරු සමඟ පුද්ගලික ආරවුලක් නොතිබුණු නිසා මක්කා පිලේ සටන් කරුවන්ට ඔවුන් සමඟ සටන් කිරීමට අවශ්‍යය වුනේ නෑ. උත්බා ඒ බව කෑගසා දන්වා සිටියා.

"මුහම්මද්, අපිට සමාන කවුරු හරි එවන්න​"

ඒ අභියෝගය භාර ගනිමින් හම්සා, අලී සහ උබයිදා ඉබ්න් අල්-හරිත් ඉදිරියට ආවා. මුස්ලිම් හමුදාවේ දක්‍ෂම කඩු සටන් කරුවන් විදිහට සැලකුනේ ඔවුන් තිදෙනා.

හම්සා උත්බා සමඟත්, අලී වාලිද් සමඟත්, උබයිදා ෂයිබා සමඟත් කඩු හරඹයට එලඹුනා. සුළු මොහතකින් අලී ගේ කඩු පහරින් වලීද් මරණයට පත් වුනා. ඊළඟ මොහොතේ හම්සා ගේ කඩු පහරින් උත්බා මරු දැක්කා. ඒ අතර ෂයිබා ගෙන් එල්ල වූ කඩු පහරකින් කකුලට බරපතල තුවාල ලැබූ උබයිදා බිම ඇද වැටුනා. එසැනින් ෂයිබා වෙත කඩා පැන්න අලී ඔහු සමඟ සටනට එලැඹුනා. ෂයිබාටත් අලී ගේ කඩු පහරින් මරණය අත් වුනා. අලී සහ හම්සා තුවාල ලැබූ උබයිදාව ඔසවා ගෙන නැවත තම හමුදාව වෙත ආවත්, අධික ලේ වහනය නිසා උබයිදා මිය ගියා.

හම්සා සහ අලී මක්කා වරු සමඟ සටන් කිරීම​

ද්වන් දව සටනින් තම සටන්කරුවන් තිදෙනාම මිය යාම නිසා මක්කා හමුදාව යම්කිසි තිගැස්මකට ලක් වුනා. ඒ වගේම ඔවුන් ගේ අශ්වයන්ට තෙතබරි පොළවේ දිවීම අපහසු වුනු නිසා මුස්ලිම් හමුදාවට එරෙහිව ඔවුන්ට තිබුනු ලොකුම වාසිය ඔවුන්ට අහිමි වුනා. දැන් ඔවුන්ට තිබුනේ බෑවුම ඉහළට යමින් පහර දීමේ දුෂ්කර කාර්‍යය.


සටන​


සටන ඇරඹුනේ දෙපිලේම දුණුවායන් ඊතල ප්‍රහාර එල්ල කිරීමත් සමඟම​. මේ ඊ ප්‍රහාර නිසා දෙපිලේම කීප දෙනෙක් මරණයට පත් වුනා.

මක්කා හමුදාව කලබලයටත්, අධෛර්‍යයටත් පත් වන බව දුටු මුහම්මද් තුමා සතුරා වෙත කඩා වදින ලෙස අණ දුන්නා. ඒ ගල් කැට අහුරක් ගෙන සතුරා දෙසට දමා ගසමින්. "යා මන්සූර්, අමිත්" (දෙවියන් ගේ ආශිර්වාදය ලද්දනී, පහර දෙනු) යනුවෙන් කෑගසමින් මුස්ලිම් වරු බෑවුම පහළට දිව එමින් සතුරු පෙළ වෙත කඩා පැන්නා.

මුස්ලිම් හමුදාවේ ඉදිරියෙන්ම සිටියේ අලී සහ හම්සා. අලී සටන් වැදුනේ යක්‍ෂාරූඩයෙන් මෙන්. ඔහුගේ අසිපතට හසුවූ සතුරන් එකා පිට එකා මැරී වැටුනා.

සටන අතරතුරදී අන්සාරි ගැටවරයන් දෙදෙනෙක් අබ්දුර් රහ්මන් අබ්න් අව්ෆ් වෙත පැමිණියා.

"මාමේ, ඔබ අබු ජහල් ව දන්නවද​?"

"ඔව්. උඹලට මොකටද අබු ජහල්?" අබ්දුර් රහ්මන් ඔවුන් ගෙන් විමසා සිටියා.

"අපි අහල තියෙනවා ඔහු මුහම්මද් තුමාට ගොඩක් අපහාස කළා කියලා. අපිට අබු ජහල් සටන් බිමේ දී හමු වුනොත්, අපි දෙදෙනා හරි අබු ජහල් හරි මිය යන තුරු අපි අබු ජහල් ව අතාරින්නේ නෑ"

අබ්දුර් රහ්මන් තම සේනාව මෙහෙයවමින් සිටි අබු ජහල් ව අන්සාරි ගැටවරයන් දෙදෙනාට පෙන්නුවා.

මුආව්විද් ඉබ්න් අෆ්‍රා සහ මුආද් ඉබ්න් ආමර් නම් වූ මේ අන්සාරි ගැටවරයන් දෙදෙනා තම අසිපත් රැගෙන අබු ජහල් වෙත කඩා පැන්නා. මුආද් ගේ කඩු පහරකින් අබු ජහල් ගේ පාදයක් වෙන්වී විසිවී ගියා. අබු ජහල් බිම ඇද වැටුනු අතර, මුආව්විද් ඔහුට තම කඩුවෙන් පහර පිට පහර දුන්නා.

ඒ මොහොතේදී අබු ජහල් ගේ පුතා වුනු ඉක්‍රිමා ඉබ්න් ආමර් මුආද් ගේ උරහිසට කඩු පහරක් එල්ල කළා. ඒ පහරින් මුආද් ගේ වම් අත වෙන්වී සිහින් මස් තීරුවකින් සිරුරට සම්බන්ධ වෙමින් එල්ලා වැටුනා. එතැන් සිට මුආද් සටන් කළේ වම් අත එල්ලා ගෙන​. එය වේදනාකාරී වුනු විට ඔහු තම පයින් වම් අත පාගා ගෙන එය සිරුරෙන් ඉරා දැම්මා. සටන අතරතුර දී මුඅව්විද් වෙනත් මක්කා සෙබළෙක් අතින් මරණයට පත් වුනත්, මුආද් දිවි ගලවා ගන්න සමත් වුනා.

සටන පැවතුනේ පැය කීපයක් පමණයි. අලී ප්‍රමුඛ මුස්ලිම් වරු එල්ල කළ ප්‍රහාරයෙන් කලබලයට පත් ව උන් මක්කා හමුදාවේ සමහරු, අබු ජහල් ගේ ඇද වැටීමෙන් සම්පූර්ණයෙන්ම භීතියට පත් ව පළා යාම ඇරඹුවා. අතරින් පතර පලායාම් සමඟම මක්කා හමුදාවේ පෙළ බිඳ වැටී ගියා. පෙළ බිඳ වැටුනු තැන් වලින් කඩා වැදුනු මුස්ලිම් වරු ඔවුන්ට දරුණු ප්‍රහාරයක් එල්ල කළා. ඒත් එක්කම නායකයන් අහිමිව උන් සම්පූර්න මක්කා හමුදාවම එකා මෙන් සටන් බිමෙන් පළා ගියා.

මුස්ලිම් වරු මක්කා සෙබළුන් බොහෝ දෙනෙක් අත් අඩංගුවට ගන්න සමත් වුනත් තවත් බොහෝ දෙනෙක් පළා ගියා.

මුස්ලිම් හමුදාවෙන් 14 දෙනෙක් මිය ගිහින් තිබූ අතර, මක්කා හමුදාවේ 70 දෙනෙක් මිය ගිහින් තවත් 70 ක් සිර භාරයට ගෙන තිබුනා. මිය ගිය අයගෙන් 35 දෙනෙක්ම මිය ගියේ අලී ගේ අසිපතෙන්.


සටන අවසානයේ


මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක් වුනු අබ්ද්-අල්ලාහ් ඉබ්න් මසූද් අඩි පහක් පමණ උස කුඩා පුද්ගලයෙක්. ඔහු මක්කාවේ එඬේරෙක් වශයෙන් ජීවිකාව කළ තරුණයෙක්. සටන අවසානයේ ඔහු සටන් බිම පිරික්සමින් ඇවිදිද්දී ඔහුට හමු වුනේ පණ අදිමින් වැතිර සිටි අබු ජහල්.

අබ්ද්-අල්ලාහ් අබු ජහල් ගේ බෙල්ලට පය තබා ඔහු මරා දමන්න සැරසුනා.

"මට කියපන්, සටනෙන් දිනුවේ කවුද​?" අබු ජහල් ඔහුගෙන් විමසුවා

"අල්ලාහ් ගේ පණිවුඩ කරුවා ගේ හමුදාව"

"පුංචි එඬේරා උඹ ගොඩාක් උඩට නැගලා!"

අබු ජහල් "පුංචි එඬේරා" යන්නෙන් අදහස් කළේ අබ්ද්-අල්ලාහ් අබ්න් මසූද් වගේම මුහම්මද් තුමාව​.

අබ්ද්-අල්ලාහ් තමාගේ ගෙල සිඳ දැමීමට පෙර අබු ජහල් එක ඉල්ලීමක් කළා.

"උඹ වගේ මිට්ටෙක් අතින් මැරෙන්න සුදුසු මිනිහෙක් නෙවෙයි මම​. මාව මරන්න උඹට වඩා උස එකෙක් එවපන්"

නමුත් අබ්ද්-අල්ලාහ් ඔහුගේ ඉල්ලීම ඉටු කළේ නෑ. අබු ජහල් මිය ගියේ අඩි පහක් උස "මිට්ටා" අතින්.

අබු ජහල් ගේ මරණය​

මේ අතර මක්කා හමුදාවේ ඉතිරි වුනු එකම ප්‍රධානියා වූ උමයියා ඉබ්න් කලාෆ් මුස්ලිම් වරුන් ගේ සිර භාරයට පත්ව සිටියා. ඔහු තමාට ආරක්‍ෂාව ලබා දිය හැකිදැයි මුස්ලිම් හමුදාවෙන් විමසා සිටියා. එවිට අබ්‍දුර් රහ්මන් ඉබ්න් අව්ෆ් උමයියාට සහ ඔහුගේ පුතා වුනු වලීද් ට ආරක්‍ෂාව ලබා දෙන්න ඉදිරිපත් වුනා. අබ්දුර් රහ්මන් ඔවුන් දෙදෙනා සිර භාරයෙන් මුදාගෙන නිදහස් කිරීමට ගෙන ගියා.

උමයියාට මක්කාවේ කළු ජාතික වහලෙක් සිටියා. ඔහුගේ නම බිලාල්. බිලාල් ඉස්ලාමය වැළඳගත් නිසා උමයියා ඔහු දරුණු වධයට ලක් කළා. බිලාල් ජීවිතය බේරා ගත්තේ ඉතා අමාරුවෙන්. දැන් බිලාල් මුස්ලිම් හමුදාවේ සාමාජිකයෙක්. ඔහු උමයියා නිදහස් කිරීම ගැන තම විරෝධය දක්වා සිටියා. අන්සාරි වරු කීප දෙනෙක් බිලාල් ගේ සහයට ආවා. අබ්දුර් රහ්මාන් උමයියා සහ වලීද් පලා යන්න සූදානම් වෙද්දී බිලාල් සහ අන්සාරි වරු ඔවුන් අල්ලා ගත්තා. එතැනදී වලීද් අන්සාරි වරුන් ගේ කඩු පහරින් මිය ගියා. උමයියා බිම දණ ගැසූ විට අන්සාරි වරු ඔහු මරා දැමීමට ළං වුනා. අබ්දුර් රහ්මාන් උමයියා ගේ සිරුර මත වැතිරී ඔහු රැක ගැනීමට උත්සහ කළත්, අන්සාරි වරු ඔහුගේ සිරුරට යටින් කඩු පහර දී උමයියා මරා දැමුවා.


සිරකරුවෝ


අල්ලා ගත් සිර කරුවන්ට මානුෂික ලෙස සැලකීමට මුහම්මද් තුමා මුස්ලිම් වරුන්ට අණ කළා. ඔවුන් ව මදීනාව වෙත ගෙන ඒමේදී අත පා බැඳ දැමීමට වත් අවසර ලැබුණේ නෑ. මදීනාවේදී මුහම්මද් තුමා සිරකරුවන් අමතා කතා කළා.

මුලින්ම ඉස්ලාමය වැළඳගෙන මදීනාවේ මුස්ලිම් සමාජයට එක් වීමට සිරකරුවන්ට ආරාධනා කළා. ඒ අනුව දෙදෙනෙක් ඉස්ලාමය වැළඳ ගැනීමට කැමැත්ත පළ කලා. ඉන්පසුව තමාගේ නිදහස වෙනුවෙන් මුදලක් ගෙවීමට හැකි සියළුම දෙනාට ඒ මුදල ගෙවීමෙන් නිදහස් ව යාමට ඉඩ දුන්නා. මුහම්ම්ද් තුමා ගේ පියාගේ සොහොයුරෙක් වූ අබ්බාස් සිර කරුවන් අතර සිටියා. ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක් වූ අතර ඇය හිටියේ මක්කාවේ. මුහම්මද් තුමා අබ්බාස් වෙනුවෙන් වූ මුදල තමාම ගෙවා අබ්බාස් නිදහස් කළා.

ඉතිරි වූ කීප දෙනාට ලැබුනේ අපූරු "දඬුවමක්". ඔවුන්ට අණ ලැබුනේ මදීනාවේ නතර වී ලීවීමට කියවීමට නොදත් මුස්ලිම් වරුන්ට ඉගැන්වීමට​. මුස්ලිම් වරු දහ දෙනෙකුට ලිවීමට ඉගැන්වූ පසු ඔවුන්ව නිදහස් කළා.

මෙහිදී මක්කාවේ සමාජය සහ මදීනාවේ සමාජය ගැන හොඳ අදහසක් ලබා ගන්න අපිට පුළුවන්. ධනවත් විශාල නගරයක් වුනු මක්කාවේ බොහෝ දෙනාට ලිවීමට සහ කියැවීමට හැකි වුනු බවත්, කුඩා දුප්පත් නගරයක් වුනු මදීනාවේ බොහෝ දෙනෙකුට ලිවීමට කියැවීමට නොහැකි වුනු බවත් අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම මුහම්මද් තුමා ලිවීමට සහ කියැවීමට දුන් වැදගත් කම ගැනත් අපිට හිතා ගන්න පුළුවන්.


අබු ලැහැබ්


මක්කාවේ මුහම්මද් තුමා අයිති වුනු වංශය වූ බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ මුහම්මද් තුමාගේ පියාගේ සොහොයුරෙක් වුනු අබු ලැහැබ්. ඔහු සටනට එක් වුනේ නෑ. ඒ වෙනුවට සටනේදී බැනු හෂීම් වංශිකයන් මෙහෙයවූයේ ඔහුගේ සොහොයුරු අබ්බාස්.

මුස්ලිම් වරුන්ට එරෙහිව පහසු ජයක් අපේක්‍ෂා කළ නිසා අබු ලැහැබ් සටන ගැන ලොකු උනන්දුවක් දැක්වූයේ නෑ. ඔහු තමාගේ පවුලේ අය සහ මිතුරන් සමඟ එළිමහනේ විශාල භෝජන සංග්‍රහයක් පවත්වමින් සිටියා. ඔවුන් සිටියේ විශාල කූඩාරමක​

හදිසියේම සටනෙන් පළා ආ අයෙක් එතැනට ආවා. මුස්ලිම් හමුදාව අතින් මක්කා හමුදාව සම්පුර්නයෙන්ම පරාජය වුනු බවත්, අබු ජහල් සහ උත්බා ඉබ්න් රබියා සටනින් මියගිය බවත් ඔහු කියා සිටියා. අබු ලැහැබ් මේ පුවතින් කම්පනයට පත් වුනා.

කූඩාරමේ අනිත් කෙළවර අබ්බාස් ගේ බිරිඳ ලුබාබා සහ ඇගේ සේවකයා වුනු අබු රාෆි දඩයම් සඳහා ඊතල මුවහත් තබමින් සිටියා. ඔවුන් දෙදෙනාම මුස්ලිම් වරු. සටනින් මුස්ලිම් වරු ජයගත් බව දැනගත් ඔවුන් ඉමහත් ප්‍රීතියට පත් වුනා.

"මුහම්මද් ගේ හමුදාව දිනුවේ දේව දූතයන් ගේ පිහිටෙන්" අබු රාෆි කිව්වා.

ඒක ඇහුනු අබු ලැහැබ් කෝපයෙන් වියරු වැටුනා. ඔහු අබු රාෆිට පහර දුන්නා. අබු රාෆි බිම වැටුනු විට ඔහු අතේ තිබුනු පොල්ලකින් අබු රාෆිට දිගටම පහර දුන්නා.

ලුබාබා තරමක් තරබාරු ශක්තිමත් කාන්තාවක්.

"අබ්බාස් නැති නිසා අපේ සේවකයට ගහන්න පුළුවන් කියලද හිතුවේ?"

එහෙම කෑගහපු ලුබාබා කූඩාරමේ කණුවක් ගලවාගෙන අබු ලැහැබ් ගේ හිසට වැරෙන් පහරක් එල්ල කළා. පහරෙන් හිසේ පැත්තක දරුණු කැපුම් තුවාලයක් සහිතව අබු ලැහැබ් බිම ඇද වැටුනා.

පහුවදා අබු ලැහැබ් ගේ තුවාලය පැසවා දරුණු අතට හැරුනා. ටික දිනකින්ම ඔහුගේ මුළු සිරුරම එකම වණයක් බවට පත් වුනා. ඔහුගේ තුවාල වලින් හැමූ දුගඳ කොතරම් ප්‍රභල වුනාද කිව්වොත්, ඔහුගේ බිරිඳ සහ පුතුන්වත් ඔහු ළඟට ආවේ නෑ. සතියකින් පමණ අබු ලැහැබ් මිය ගියා. මිය ගිය පසුවත් ඔවුන් ඔහුගෙ සිරුර වළ දමන්නවත් ඉදිරිපත් වුනේ නෑ. මළ සිරුරේ ගඳ ඉවසන්න බැරි වුනු අසල්වැසියන් චෝදනා කළ පසු ඔවුන් වලක් හාරලා සේවකයෙක් ගැට ගැසූ ලණුවකින් මළ සිරුර වල ලඟට ඇදගෙන ආවා. ඉන්පසුව ඈත ඉඳන් වතුර ගහලා මළ සිරුර හෝදලා දිග රිටකින් එය වල තුලට තල්ලු කලා. ඉන්පසු ගල් දමා වල වහල දැම්මා.


සටනින් පසු - මක්කාව​


සටනින් මක්කාවේ විශාල වෙනසක් ඇති වුනා. සටනින් ප්‍රධානින් විශාල පිරිසක් මිය යාම නිසා බොහෝ වංශයන් ගේ බලය පිරිහී ගියා. කුඩා මුස්ලිම් හමුදාව අතින් දරුණු පරාජයක් ලැබීම නිසා මක්කා වරුන් ගේ ප්‍රතිරූපයට එල්ල වුනේ දැඩි කැළලක්.

මෙතෙක් මක්කාවේ ප්‍රභලම වංශය වුනු බැනු මක්සුම් වංශයේ බලය අබු ජහල් ගේ මරණයත් එක්කම සම්පූර්නයෙන්ම වග් නැතිවී ගියා. ඒ එක්කම අබු ලැහැබ් ගේ මරණයත් එක්කම බැනු හෂීම් වංශයේ බලයත් නැතිවී ගියා. බැනු හෂීම් වංශයේ ප්‍රධානියා වුනේ අබ්බාස්. ඔහු මුහම්මද්ට හිතවතෙක්. ඒ වගේම ඔහුගේ බිරිඳ මුස්ලිම් වරියක්. ඒ නිසා බැනු හෂීම් වංශය තුල නැවතත් මුහම්මද්ට හොඳ තැනක් ලැබුනා. උමයියා ඉබ්න් කලාෆ් ගේ මරණයත් එක්කම බැනු ජුමාහ් වංශයේ බලයත් පිරිහී ගියා.

සටනින් බැනු උමයියා වංශයේ උත්බා ඉබ්න් රබියා, ඔහුගේ සොහොයුරා සහ පුතා මිය ගියා. ඒ බැනු උමයියා වංශයේ ප්‍රධානින් ගෙන් විශාල ප්‍රමානයක්. මේ නිසා ඔවුන්ටත් ලැබුනේ දරුණු පහරක්. ඒත් සටනට සහභාගී නොවුනු අබු සුෆියාන් ජීවතුන් අතර සිටි නිසා ඔවුන් ගේ බලය සම්පුර්නයෙන්ම පිරිහුනේ නෑ.

මක්කාවේ ප්‍රධානින් අතර ඉතුරු වුනේ අබු සුෆියාන් පමණයි. මේ නිසා ඔහුට බැනු උමයියා වංශයේ වගේම මක්කාවේ ප්‍රධානියා වෙන්න වරම් ලැබුනා. අනෙකුත් වංශ වල ප්‍රධානින් විදිහට ඉතුරු වුනේ තරුණ පිරිසක්. මේ නිසා අබු සුෆියාන් මක්කාවේ අසහාය නායකයා බවට පත් වුනා. මෙතෙක් නායකත්ව මණ්ඩලයකින් මක්කාව පාලනය වුනත්, මෙතැන් සිට මක්කාව පාලනය වුනේ අබු සුෆියාන් ගේ තනි මතයට​. ඒ එකක්ම බැනු උමයියා වංශය මක්කාවේ ඉතාම ප්‍රභල තැනක් ලබා ගත්තා.

සටනින් මිය ගිය උත්බා ඉබ්න් රබියා ගේ දියණිය වුනේ හින්.ද් බින්ට් උත්බා. ඇය අබු සුෆියාන් ගේ බිරිඳ​. සටනින් ඇගේ පියා වුනු උත්බා, ඇගේ සොහොයුරා වුනු වලීද් සහ පියාගේ සොහොයුරා වුනු ෂයිබා තිදෙනාම මිය ගියා. මේ වන විට ඇගේ අනෙක් සොහොයුරා ඉස්ලාමය වැළඳ ගෙන මක්කාවෙන් පළා ගිහින්. ඒ නිසා ඇයගේ මුළු පවුලම ඇයට අහිමි වුනා. ඇගේ පවුලේ අය මරා දැමූ අලී සහ හම්සා ගැන ඇය තුල ඉතා දරුණු වෛරයක් හට ගත්තා. මුහම්මද්, අලී සහ හම්සා කෙදිනක හෝ මරා දමන බවට ඇය දිවුරා සිටියා.

උමයියා වංශයේ නැගීම සහ හින්.ද් තුළ හටගත් වෛරය පසු කළෙක ඉස්ලාමීය ඉතිහාසය වෙනස් කළ හැරවුම් ලක්‍ෂ්‍යය විදිහට දකින්න පුළුවන්.


සටනින් පසු - මදීනාව​


ඒ වගේම ප්‍රභල මක්කා හමුදාවට දරුණු පරාජයක් අත් කර දෙන්න සමත් වීමෙන් මුස්ලිම් වරුන් ගේ ප්‍රතිරූපය විශාල වශයෙන් වර්ධනය වුනා. එවැනි විශ්‍ෂ්ඨ ජයක් ලැබුනේ අල්ලාහ් ගේ උදව්වෙන් බව ඔවුන් සිතුවා. ඒ අනුව තමාගේ ගම නිවැරදි මග බවට ඔවුන් තුළ දැඩි විශ්වාසයක් ඇති වුනා.

ඒ එක්කම රණශූරයෙක් විදිහට තරුණ අලී මුස්ලිම් වරු අතර විශාල ප්‍රසාදයක් දිනා ගත්තා. මුහම්මද් තුමාගේ විශ්වාසවන්තම සගයා සහ කිට්ටුම සහචරයා ලෙස මෙතෙක් ඔහු වෙත තිබුනු ප්‍රතිරූපය මේ සටනින් පසුව වඩාත් තහවුරු වුනා.

අන්සාරි වරු සටනේදි දැක්වූ දක්‍ෂතාවය කැපී පෙනුනා. මේ නිසා අන්සාරි වරුන්ට මුස්ලිම් සමාජයේ තිබුණු තැන ඉහළ ගියා.

ඉස්ලාමීය ඉතිහාසයේ පළමු යුධ ජය විදිහට සැලකෙන්නේ බදර්. බදර් හි සටන් කළ අය මුස්ලිම් වරු අතර විශාල ගෞරවයකට ලක් වුනා. පසු කාලීනවත් බදර් සටනේ සාමාජිකයෙක් වීම මුස්ලිම් සමාජයේ ඉදිරි තැනක් ලබන්න හේතුවක් වුනා.

බදර් සටනින් මිය ගිය මුස්ලිම් වරු 14 දෙනා ඉමහත් ගෞරවයට ලක් වුනා. ඒ අය අතර මුහාජිරුන් වරු 6 දෙනෙක් සහ අන්සාරි වරු 8 දෙනෙක් හිටියා.

සටනින් මියගිය මුස්ලිම් වරුන් ගේ සොහොන්

3 comments:

  1. සාතන් ජේසුට කිව්වා උඹ මට එක පාරක් වැන්දොත් මම උඹට රජ සැප දෙනවා කියලා.
    ඊට අවුරුදු 600කට පස්සේ සාතන් ඒක නැවත කරලා ඒ පාර හරි ගිහින්.

    ReplyDelete
  2. පටන් ගත්තු කාලේ ඉදං යුද්ධ කරලා, මිනි මරලා ප්‍රචාරය කරපු ආගමක් නේද බලං ගියාම ඉස්ලාම් කියන්නේ. ලංකාවෙත් ඕක තමයි මුන් කරන්නේ.

    ReplyDelete
  3. වටින ලිපි මාලාවක්... Reza Aslan ගේ NO GOD BUT GOD පොත කියවලා තියෙනවද?

    ReplyDelete