Showing posts with label දර්ශනය​. Show all posts
Showing posts with label දර්ශනය​. Show all posts

Monday, July 15, 2019

බුදු දහමේ විකාශය 1 - දෙවන ධර්ම සංගායනාව සහ මුල්ම නිකාය භේදය​



පසුබිම


දෙවන ධර්ම සංගායනාව ඇති වෙන්නේ බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසුව​. ඒ කියන්නෙ ක්‍රි.පූ. 380 දී පමණ​.

මේ කාලයේදී බුදු දහම උතුරු ඉන්දියාවෙන් පිටතට ව්‍යාප්ත වෙලා තිබුනේ නෑ.

දෙවන ධර්ම සංගායනාව ගැන තියෙන තොරතුරු අසම්පූර්ණයි වගේම විවිධ මූලාශ්‍රයන් එකිනෙකට පරස්පර කරුණු ඉදිරිපත් කරනවා. දෙවන ධර්ම සංගායනාව ගැන අපිට අද ප්‍රධාන මූලාශ්‍ර හතරක් තියෙනවා.

1. දීපවංශය (ක්‍රි.ව​. 3 වන සියවසසේ ලියැවුනු ථෙරවාදී ධර්ම​-ඉතිහාස ලියැවිල්ලක්)
2. වසුමිත්‍ර (ක්‍රි.පූ. 1 වන සියවසේ විසූ සර්වාස්තිවාදී භික්‍ෂුවක්)
3. විනිතදේව (ක්‍රි.ව​. 7 වන සියවසේ විසූ මූලසර්වාස්තිවාදී භික්‍ෂුවක්)
4. සාරිපුත්‍රපරිප්‍රච්ච (ක්‍රි.පූ. 2 වන සියවසේ ලියැවුනු මහාසාංඝික ධර්ම​-ඉතිහාස ලියැවිල්ලක්)

මීට අමතරව චීන බසින් ලියැවුනු මහායාන ධර්ම​-ඉතිහාස ලියැවිලි සහ තවත් පැරණි ලියැවිලි ගණනාවක මේ ගැන සඳහන් වෙනවා.

මේ ලිපියේ දක්වලා තියෙන්නේ මේ සියළු මූලාශ්‍ර වල එන කරුණු සලකා බලා නිර්මානය කරණ ලද සිදුවුනා යැයි සිතිය හැකි කථාවක්.


දෙවන ධර්ම සංගායනාව​


බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 70 කට පමණ පසු (ක්‍රි.පූ. 380 පමණ​) කාලයේදී වජ්ජි රටේ වෛශාලි නගරයට එවකට භාරතයේ සිටි ප්‍රමුඛ භික්‍ෂුවක් වුනු "යස කාකණ්ඩකපුත්ත​" වැඩම කරනවා. එහිදී උන්වහන්සේට දකින්න ලැබෙන්නේ වෛශාලි නගරයේ භික්‍ෂූන් ප්‍රශ්නකාරී සම්ප්‍රදායන් අනුගමනය කරන බව​. මේ ගැන ප්‍රශ්න කිරීම නිසා උන්වහන්සේව සහ වෛශාලි භික්‍ෂූන් අතර මත ගැටුමක් ඇති වෙනවා.

යස කාකණ්ඩපුත්ත හිමියන් මේ මතභේදය නිරාකරණය කරගැනිම සඳහා එවකට භාරතයේ විසූ ප්‍රමුඛ ධර්ම​-විනය ධර භික්‍ෂූන් වහන්සේලාට ආරාධනා කරනවා. මේ අතරින් අහොගංගා පව්වේ "සම්භූත සානවාසී" හිමියන් සහ සන්කස්ස පුර "රේවත" හිමියන් ප්‍රධානයි. මීට අමතරව අවන්ති රට සහ පාවා නුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක​ භික්‍ෂූන් වහන්සේලා මීට සම්බන්ධ වෙනවා.

භාරතයේ ප්‍රමුඛ භික්‍ෂූන් වහන්සේලා 800 ක් වෛශාලි නගරයට වැඩම කරන්නේ ධර්ම සංගායනාවක් පවත්වලා ප්‍රශ්නය නිරාකරනය කර ගන්න​.



සංගායනාවේදී වෛශාලි නුවර භික්‍ෂූන් ගේ "ප්‍රශ්නකාරී" පිළිවෙත් විදිහට පිළිවෙත් 10 ක් ඉදිරිපත් කෙරෙනවා.

1. පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා හරක් අඟක ලුණු බහා තැබීම​
2. ඉර හැරුණු පසු ආහාර ගැනීම​
3. වරක් ආහාර වළඳා ඉතිරි වූ ආහාර නැවත පසුව වැළඳීම​
4. විහාරයක් තුළ වෙන් වෙන්ව උපෝසතා කර්ම කිරීම​
5. සංඝයා සම්පූර්නයෙන්ම එක් රැස් වීමට පෙර විනය කර්මයක් කර, පසුව ඒ සඳහා කැමැත්ත ගැනීම​
6. තම ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් එළෙසම පවත්වාගෙන යාම​
7. දහවල් දානය වැළඳූ පසු නොමේරු කිරි වැළඳීම​
8. රා බවට පත් නොවූ තෙලිජ්ජ පානය කිරීම​
9. වාටි නොමැසූ නිසිදනයක් හිඳ ගැනීම සඳහා පාවිච්චි කිරීම​
10. රන් සහ රිදී දානය ලෙස පිළිගෙන පරිහරනය කිරීම​

මේ පිළිවෙත් ගැන තීරණයක් ගැනීමට භික්‍ෂූන් වහන්සේලා අට නමක් තෝරා ගන්නවා. එහෙම තෝරා ගන්නේ බටහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් සහ නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරන්න හතර නමක් විදිහට​.

මෙහිදී තෝරාගන්නා ලද භික්‍ෂූන් වහන්සේලා වුනේ,

බටහිර ප්‍රදේශ නියෝජනය කරමින් - සබ්බකාමී, සාල්හ​, බුජ්ජසෝභිත​, වසභගාමික​
නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරමින් - රේවත​, සම්භූත වනවාසී, යස කාකණ්ඩපුත්‍ර​, සුමන​

අජිත නම් හිමිනමක් විසින් එක එක පිළිවෙත මණ්ඩලයට ඉදිරිපත් කරන ලද අතර උන්වහන්සේලා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීරණය කරන්නේ හය​වැනි පිළිවෙත හැර අනෙකුත් සියළු පිළිවෙත් විනය විරෝධී බවත්, ගුරු ආචාර්‍ය වරු සිදු කරන පිළිවෙත් කැපනම්, ඒවා පිළිපැදීම විනය විරෝධී නොවන බවත්, ඒවා අකැප නම් ඒවා පිළිපැදීම විනය විරෝධී බවත්.

මේ තීරණයට පසුව රේවත හිමියන් විසින් ධර්ම - විනය කරුණු වල අපැහැදිලිතාවයන් මගහැරීම සඳහා එක් රැස් ව සිටි භික්‍ෂූන් වහන්සේලා ගේ සහභාගීත්වයෙන් ධර්ම සංගායනාවක් පැවැත්වීමට යෝජනා කරන අතර​, එය අද දෙවන ධර්ම සංගායනාව නමින් හැඳින්වෙනවා.

නමුත් සංඝ සභාවේ තීරණයට එකඟ නොවන භික්‍ෂූන් පිරිසක් එම සංගායනාවට සහභාගී නොවී එතැන් සිට වෙනම නිකායක් වශයෙන් කටයුතු කිරීමට පටන් ගන්නවා. මෙය තමයි බුදු දහමේ ප්‍රථම නිකාය භේදය.

සංඝ සභාවේ තීරණය පිළිගත් පිරිස "ස්ථවිරවාදීන්" ලෙස හැඳින්වුනු අතර​, එය පිළිනොගත් පිරිස "මහාසාංඝික" ලෙස හැඳින්වුනා.


මතභේදය​


මේ තීරණය ගැන විවිධ මූලාශ්‍ර පරස්පර විරෝධී මතයන් ඉදිරිපත් කරනවා. ස්ථවිරවාදී මූලාශ්‍රයන්ට (දීපවංශය වැනි) අනුව රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එතෙක් පැවතුනු විනය නීති වලට අනුකූලව තීරණය ලබා දුන්නා. නමුත් මහාසාංඝික​ මූලාශ්‍රයන්ට (සාරිපුත්‍රපරිප්‍රච්ච වැනි) අනුව වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි වුනේ නෑ. සංඝ සභාව විසින් එම පිළිවෙත් අකැප ලෙස තීරණය කිරීමෙන් පසුව නව විනය නීති හඳුන්වා දුන්නා.

මෙහිදී කැපී පෙනෙන කරුණ වන්නේ නිකායන් දෙකම තමන් නියම මුල් බුදු දහමේ ආරක්‍ෂකයා ලෙසින් පෙනී සිටීම​.

මෙහිදී සිදුවුනා යැයි සිතිය හැක්කේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් එතෙක් පැවතුනු විනය නීති වලට පටහැනි නොවුනු බව (බුදුන් වහන්සේ විනය නීති පනවා ඇත්තේ ඒ සඳහා අවශ්‍යතාවයක් පැන නැගුනු අවස්ථාවන් හිදී).

නමුත් රේවත හිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් එම පිළිවෙත් බුදුදහමේ හරයට එකඟ නොවන බවට තීරණය කොට ඒවා අකැප ලෙස නම් කර පසුව නව විනය නීති හඳුන්වාදුන් බව හිතන්න පුළුවන්.

මෙතැනදී මහාසාංඝික ලෙස වෙන් වුනු පිරිස එසේ කරන්නට ඇත්තේ වෛශාලි භික්‍ෂූන් ගේ පිළිවෙත් අනුමත කිරීම නිසා නොව​, බුදුන් වහන්සේ විසින් පැනවූ විනය නීති වලට පසුව විනය නීති එක් කිරීමට එකඟ නොවූ නිසා බවත් හිතන්න පුළුවන්.

අවස්ථානුචිත ලෙස විනය නීති වෙනස් නොකර, විනය නීති දෘඩ, නොවෙනස් දෙයක් ලෙස සැලකීමෙන් "නීති මගහැර යා හැකි හිල්" නිර්මාණය කරගත හැකි නිසා එයින් විනය පිරිහී යා හැකි බව ස්ථවිරවාදීන් සිතූ බව හිතන්න පුළුවන්. නමුත් මහාසාංඝික නිකාය සිතන්නට ඇත්තේ වරින් වර​ විනය නීති වෙනස් කිරීමෙන් ඊට වඩා හානියක් සිදුවිය හැකි බව​.


මහාසාංඝික ධර්ම සංගායනාව​


විනය නීති පිළිබඳ මතභේදයක් විදිහට පටන් ගන්න මේ නිකාය බෙදීම කෙටි කළකින්ම මූලධාර්මික වෙනසක් බවට පරිවර්තනය වෙනවා.

මහාසාංඝික නිකාය විසින් සංඝ සභාව විසින් දුන් තීරණයට එකඟ නොවුනත් මෙහිදී ඔවුන්ට ලොකු ගැටළුවකට මුහුණ දෙන්න සිදු වෙනවා.

සංඝ සභාවේ තීරණය සහ ඉන්පසුව පැවැත්වුනු දෙවන ධර්ම සංගායනාව ඔවුන් ප්‍රතික්‍ෂේප කළත්, ඒවා සඳහා සහභාගී වුනු රේවත​, සම්භූත වනවාසී ඇතුළු ජේෂ්ඨ භික්‍ෂූන් රහතුන් වහන්සේලා. ඒ නිසා රහතුන් වහන්සේලාගේ තීරණය ප්‍රතික්‍ෂේප කිරීමත් එක්කම රහතුන් වහන්සේලා යනු සියළු කෙළෙස් දුරු කළ​, අවිද්‍යාවෙන් මිදුනු වැරදි නොකරන උතුමන් යන අදහසත් ඔවුන් විසින් නිතැතින්ම ප්‍රතික්‍ෂේප කෙරෙනවා.

රහතන් වහන්සේලා මුළුමනින්ම කෙලෙස් දුරු කළ පිරිසක් යන්නට පටහැණි අදහස් මහාසාංඝික නිකාය තුලින් බිහි වෙන්නේ මේ පරස්පරය පැහැදිලි කර ගැනීමට​. මේ අදහස් වල කූඨප්‍රාප්තිය වෙන්නේ මහාසාංඝික ධර්ම සංගායනාව​.

දෙවන ධර්ම සංගායනාවෙන් වසර 30-50 පමණ කාලයකට පසු පාඨලීපුත්‍ර නුවරට එක් රැස් වන මහාසාංඝික නිකායේ භික්‍ෂූන් වහන්සේලා 10,000 ක පමණ විශාල පිරිසක්ගෙන් සමන්විත වුනු සංඝ සභාවක් ධර්ම සංගායනාවක් පවත්වනවා.

මෙහිදී මහාදේව නම් භික්‍ෂුන් වහන්සේ නමක් රහතන් වහන්සේලා පිළිබඳ ප්‍රවාද පහක් ඉදිරිපත් කරනවා. මේ ප්‍රවාදයන් සංගායනාවේදී පිළි ගන්නා අතර, එම අදහස් මහාසාංඝික නිකායේ මතවාදයක් ලෙස ස්ථාපනය කෙරෙනවා.

මේ ප්‍රවාදයන් පහ වෙන්නේ,

1. රහතුන් වහන්සේලා හට තෘෂ්ණාව පහළවිය හැක​
2. රහතුන් වහන්සේලා තුළ ඉතා සුළු වශයෙන් ක්ලේෂ පිහිටා තිබිය හැක​
3. රහතුන් වහන්සේලාට විචිකිච්ඡාව (සැකය​) පහළ විය හැක​
4. රහතුන් වහන්සේලා අනෙක් පුද්ගලයන් ගේ උදව් ඇතිව දැණුම ලබා ගනී
5. "අහෝ!" යනාදී හඬනගා කරන ප්‍රකාශයන් ධර්මාවබෝධයට උපකාරී වේ

මීළඟට ඇති වන ගැටළුව වන්නේ රහතන් වහන්සේලා තුළ කෙළෙසුන් පැවතිය හැකි නම්, නිර්වානය ලබා ගත හැක්කේ කෙසේද යන්න​. මෙහිදී බෝධිසත්ව සංකල්පය ඉස්මතු වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේලා අතර වෙනස ඉස්මතු කිරීම සඳහා බුදුන් වහන්සේට අති-මානුෂීය ගුණාංග ආරෝපණය කිරීමත් ඇති වෙනවා.

මේ සංකල්ප මහායාන බුදුදහමේ සංකල්ප වල මුල් බීජ විදිහට සලකන්න පුළුවන්. නමුත්, මහායාන බුදුදහම සහ මහාසාංඝික නිකාය අතර ඍජු සබඳතාවයක් ඇති බව මෙයින් කියැවෙන්නේ නෑ.

Saturday, May 4, 2019

ඉස්ලාමයේ බෙදීම්



ඉස්ලාම් ආගම ලෝකයේ බිහි වෙන්නෙ ක්‍රි.ව​. 610 දී මෙකා නගරයේ දී. අද වෙනකොට ඉස්ලාමය ලෝකය පුරාම ව්‍යාප්ත වුනු බිලියන 1.8 ක (ලෝක ජනගහණයෙන් 24% ක්) බැතිමතුන් පිරිසක් ඉන්න ආගමක්.

මුහම්මද් තුමා බලාපොරොත්තු වුනේ ඉස්ලාමය අදහන සියළුම දෙනා එකම පිරිසක්, එකම ප්‍රජාවක් විදිහට පවතියි කියල​. ඔහු ඒ ඉස්ලාමීය ප්‍රජාව "උම්මා" කියල හැඳින්වුවා. ඊට අමතරව ඉස්ලාමය තුල බෙදීම් ඇති කරග ගැනීම කුරානයේ තහනම් කරල තියෙනවා.

නමුත් අද ලෝකයේ මුස්ලිම් ප්‍රජාව අතර විවිධ බෙදීම් තියෙනවා. මේ බෙදීම් වල පදනම විදිහට ආගමික මූලධර්ම​, දේශපාලන හේතු, නීති සම්ප්‍රදායන්, විවිධ සිරිත් විරිත් හේතු වෙලා තියෙනවා.




ආගමික නිකායන්


අද ලෝකයේ ප්‍රධාන ඉස්ලාම් නිකායන් තුනක් තියෙනවා

1. සුන්නි
2. ෂියා
3. කවාරිජ්

මේ නිකාය බෙදීම ඇතිවෙන්නේ ආගමික මූලධර්ම මත ගැටුමකට වඩා දේශපාලන ගැටුමක් විදිහට​.

මුහම්මද් තුමාගේ ජීවිත කාලය තුල ඉස්ලාමීය ප්‍රජාවේ නායකයා වුනේ ඔහු. නමුත් ඔහු මිය යන්නේ නියමාකාරයෙන් අනුප්‍රාප්තිකයෙක් නම් කරන්නෙ නැතුව​. මේ නිසා ඔහුගේ අනුප්‍රාප්තිකයා (හෙවත් "කලීෆා") පත් කර ගැනීමේදී මත ගැටුමක් ඇති වුනා.

මේ සඳහා සුදුසුකම් ඇති අය දෙදෙනෙක් සිටියා.

එක් අයෙක් මුහම්මද් තුමා ගේ කිට්ටුම සහචරයෙක් සහ ඔහුගේ  බිරිඳක් වුනු අයිෂා ගේ පියා වූ අබු බකර්. අනෙක් කෙනා මුහම්මද් තුමාගේ සමීපතමයා, ඔහුගේ ප්‍රධාන යුධ සෙනවියා සහ ඔහුගේ දියණිය වුනු ෆාතිමා ගේ සැමියා වූ අලී.

මේ අතරින් අලී මුස්ලිම් වරු අතර ඉමහත් ජනප්‍රියත්වයක් ඉසුලූ කෙනෙක්. ඒ ඔහුගේ රණ ශූරත්වය සහ කාරුණික බව නිසා. නමුත් මුහම්මද් තුමා ගේ අනුප්‍රාප්තිකයා ලෙස මුස්ලිම් ප්‍රජාවේ ජේෂ්ඨයන් විසින් තෝරාගත්තේ අබු බකර්. ඊට හේතුව විදිහට හිතන්න පුළුවන් අලී මුහම්මද් තුමා ගේ ගෝත්‍රය වුනු බානු හෂීම් ගෝත්‍රයටම අයත් වීම​.  මේ නිසා අලීට කලීෆා තනතුර හිමි වුවොත් එය බානු හෂීම් ගෝත්‍රය අතරම පවතී යැයි ඔවුන් සිතුවා වෙන්න පුළුවන්.

අබු බකර් ට පසුව කලීෆා තනතුර හිමි වෙන්නේ පිළිවෙලින් උමර් සහ උත්මන් යන අයට​. අලී කලීෆා වරයා ලෙස පත් වෙන්නේ ඉන් පසුව​.

අලී කලීෆා තනතුරට පත් වුනු පසුව ඔහුට විරුද්ධව කැරැල්ලක් ඇති වෙනවා. මේ කැරැල්ලේ නායකත්වය දැරුවේ අයිෂා ඇතුළු මුහම්මද් තුමාගේ සමීපතමයන් කීප දෙනෙක් සහ උමයියාද් ගෝත්‍රයට අයත් මුස්ලිම් වරු. කැරැල්ල අවසන් වෙන්නේ සාම ගිවිසුමකින්. යුධ පිටියේ වැඩි වාසිය අලීට අත් වුනත්, සාම ගිවිසුමේ දී වැඩි වාසි ලබා ගන්න කැරලි කරුවන් සමත් වෙනවා. මේ නිසා අලී ගේ අනුගාමිකයන් බොහොමයක් ඔහුගේ කඳවුර හැර යනවා. මේ නිසා කැරලි කරුවන් ශක්තිමත් වෙලා මුස්ලිම් රාජ්‍යයේ වැඩි ප්‍රදේශයක බලය අල්ලා ගන්නවා.



අලී ගේ කඳවුර හැර ගිය පිරිසක් අලීට සහ කැරලිකරුවන්ට එරෙහිව සටන් කරනවා. ඔවුන් ගේ සාහාසිකයෙක් ක්‍රි.ව​. 661 දී අලීව ඝාතනය කරනවා.

ඊළඟට කලීෆා තනතුර හිමි වීම ගැන ආයෙත් මත භේදයක් ඇති වෙනවා. වැඩි බලය තියෙන්නේ කැරලි නායක උමයියාද් ගෝත්‍රයේ මුආවියා ට​. නමුත් අලී ගේ අනුගාමිකයන් ඔහුගේ පුතා වන හසන් ව ඒ සඳහා නම් කරනවා. නමුත් මුආවියා කලීෆා වරයා ලෙස පත් වෙනවා. හසන් මිය යන අතර​, අලී ගේ බාල පුත් හුසේන් මුආවියාට එරෙහිව හමුදාවක් රැස් කරන්න කුෆා නගරය වෙත එනවා. මුආවියා අතර මගදී ඔහු සහ පිරිස අල්ලාගෙන සියල්ලන්ම මරා දමනවා.

මේ සිද්ධියෙන් මුස්ලිම් වරු අතර නැවත එක් කළ නොහැකි විදිහේ බෙදීමක් ඇති වෙනවා.

මුආවියා ගේ කලීෆා තනතුර පිළිගත් බහුතර පිරිස "සුන්නි" නිකාය ලෙස හැඳින්වුනු අතර​, අලී ගේ අනුගාමිකයන් හැඳින්වුනේ "ෂියා" නිකාය විදිහට​. මේ දෙපිරිසටම එරෙහි වුනු පිරිස "කවාරිජ්" නමින් හැඳින්වුනා.

එතැන් සිට මේ කණ්ඩායම් තුන වෙනම ආගමික සංවිධාන විදිහට කටයුතු කළා. ඒ බෙදීම අද දක්වා පවතිනවා.

වර්තමාන ලෝකයේ මුස්ලිම් ජනගහණයෙන් 85% පමණ සුන්නි මුස්ලිම්වරු වන අතර 15% පමණ ෂියා මුස්ලිම්වරු වෙනවා. කවාරිජ් වරු ඉන්නේ සුළු පිරිසක් පමණයි.



ඉරානය​, ඉරාකය, අසර්බයිජානය සහ බහරේන් ෂියා මුස්ලිම් වරු බහුතරයක් ඉන්න රටවල්. ඊට අමතරව කුවේට්, යෙමන් සහ ලෙබනන් යන රටවල සැලකිය යුතු සුළුතරයක් ඉන්නවා. කවාරිජ් මුස්ලිම්වරු බහුතරයක් ඉන්නේ ඕමානයේ පමණයි. අනෙක් සියළු රටවල් වල බහුතරය වෙන්නේ සුන්නි මුස්ලිවරු.


සුන්නි - ෂියා - කවාරිජ් නිකායන් අතර ඇති වෙනස්කම්


මේ නිකායන් අතර ඇති බෙදීම ආගමික මතවාද වලට වඩා දේශපාලනික එකක් නිසා ඔවුන් අතර මතවාදී වෙනස්කම් අඩුයි. ඊට වඩා තියෙන්නෙ දේශපාලනික වෙනස්කම්. ඒ එක්කම දීර්ඝ කාලයක් වෙන් වෙලා පරිණාමය වීම නිසා ඇති වුනු සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් ගේ වෙනස්කමුත් තියෙනවා.

සියළුම දෙනා මුහම්මද් තුමා දෙවියන් ගේ පණිවුඩ කරුවා විදිහටත්, කුරානය දේව වාක්‍යය විදිහටත් පිළිගන්නවා. ඒ වගේම මුහම්මද් තුමා ගේ චර්‍යාවන් හෙවත් "හදීස" මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් විදිහට භාවිතා කරනවා. නමුත් සුන්නි වරු පිළිගන්න සමහර හදීසයන් ෂියා වරු පිළිගන්නේ නෑ.

මූලිකම වෙනස තියෙන්නේ කලීෆා වරුන් ගේ පිළිගැනීම සම්බන්ධයෙන්.

සුන්නි වරු අබු බකර්, උමර්, උත්මාන් සහ අලී යන හතර දෙනාම නීත්‍යානුකූල කලීෆා වරු විදිහට සලකනවා. නමුත් ෂියා වරු අබු බකර්, උමර් සහ උත්මාන් නීත්‍යානුකූල කලීෆා වරු විදිහට සලකන්නේ නෑ. ඔවුන් පිළි ගන්නේ මුහම්මද් තුමාගේ එකම නිවැරදි අනුප්‍රාප්තිකයා අලී කියලා. කවාරිජ් වරු අබු බකර්, උමර් සහ අලී නීත්‍යානුකූල කලීෆා වරු කියල පිළි ගන්න අතර උත්මාන් කලීෆා වරයෙක් විදිහට පිළිගන්නේ නෑ.

ෂියා වරු පිළිගන්න ආකාරයට කලීෆා තනතුර අනිවාර්‍යයෙන්ම මුහම්මද් තුමාගේ පවුලේ අයෙකුටම හිමි විය යුතුයි. ඔවුන් මේ තනතුර හඳුන්වන්නේ "ඉමාම්" නමින්. ඉමාම් වරයෙක් දේශපාලන නායකයෙක් වගේම අධ්‍යාත්මික නායකයෙක් විදිහටත්, ඔවුන්ට යම්කිසි දිව්‍යමය බවක් ඇති බවත් ඔවුන් විශ්වාස කරනවා. මේ නිසා ඉමාම් වරු පවින් තොර අය විදිහට ඔවුන් සලකනවා.

සුන්නි වරු පිළිගන්න ආකාරයට කලීෆා තනතුර හිමිවිය යුත්තේ මුස්ලිම්වරු අතර වැඩිම පිළිගැනීම තියෙන කෙනාට​. ඒ වගේම සුන්නි ඉස්ලාමයේදී කලීෆා වරයා දේශපාලන නායකයෙක් විතරයි. ඔහු සාමාන්‍යය මිනිහෙක් වන අතර​, කිසිම දිව්‍යමය තත්වයක් ඔහුට නෑ.

ෂීයා වරු සහ සුන්නි වරු අතර ඇති වැදගත් වෙනසක් වෙන්නේ සුන්නි වරු කුරානය "නිර්මානය නොකළ​" දෙයක්, එනම් සදාකාලිකව පැවතුන නොවෙනස්වන​ දෙයක් හැටියට පිළිගැනීමත්, ෂියා වරු කුරානය "නිර්මානය කළ​" දෙයක්, එනම් දෙවියන් විසින් අවස්ථානුචිතව වරින් වර ලබා දුන් දැනුමේ එකතුවක් ලෙසත් සැලකීම​.

මේ වෙනසේම දිගුවක් වශයෙන් ෂියා මුස්ලිම් වරුන් ගේ සහීර් සහ බාතින් සංකල්ප දක්වන්න පුළුවන්. ෂියා ආගමික ඉගැන්වීම් වලට අනුව කුරානයේ වචනාර්ථයක් (සහීර්) සහ සැඟවුනු අර්ථයක් (බාතින්) තියෙනවා. බාතින් හෙවත් සැඟවුනු අරුත් අර්ථ දැක්වීම නිවැරදිවම කළ හැක්කේ ඉමාම් වරයෙක්ට පමණයි යන්න ඔවුන් විශ්වාස කරනවා. ඉමාම් වරයෙක් නොමැති අවස්ථා වලදී ආගමික විද්වතුන් එක්වී සාමූහිකව මෙම අර්ථ ගැන්වීම් කරනවා. සමහර ෂියා නිකායන් මෙම සැඟවුනු අරුත් සෙවීමට ගූඪවාදී (mysticism) ක්‍රම භාවිතා කරනවා. මේක සූෆි වාදයත් එක්ක සමාන වෙන අවස්ථාවක්.

එක් එක් ෂියා නිකායන් සැඟවුනු අරුත් වලට දෙන බර වෙනස්. ඉමාමි නිකාය ඒ සඳහා අඩු බරකුත්, ඉස්මයිලි නිකාය ඒ සඳහා වැඩි බරකුත් ලබා දෙනවා.

මීට අමතරව සුළු වෙනස්කම් ගණනාවක් තියෙනවා.

සුන්නි වරුන් ගේ ෂහදාව වෙන්නේ "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත​, මුහම්මද් අල්ලාහ් ගේ දූතයාය" යන්න​. ෂියා වරුන් ගේ ෂහදාව මීට තරමක් වෙනස්. ඒ "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත​, මුහම්මද් අල්ලාහ් ගේ දූතයාය​, අලී අල්ලාහ් ගේ ආරක්‍ෂකයාය​" යන්න​.

සුන්නි වරු දවසකට පස් වතාවක් දෙවියන් නමැදීම කරන අතර ෂියා වරු දවසකට තුන් වතාවක් දෙවියන් නමදිනවා.

ෂියා වරු තාවකාලික විවාහ හෙවත් කලින් නියම කරගන්නා කාල සීමාවකට වලංගු වන විවාහ නීත්‍යානුකූල විදිහට පිළිගන්න අතර​, සුන්නි වරු ඒවා නීත්‍යානුකූල විදිහට පිළිගන්නේ නෑ.

සමහර​ ෂියා වරු අතර තියෙන සිරිතක් තමයි මුආවියා විසින් හසන් මරා දැමීම සිහිපත් කිරීමට කඩු වලින් තම සිරුර කපාගෙන ලේ වැගිරීමට සැලැස්වීම​. සුන්නි වරු මේ සිරිත පවක් ලෙස සලකලා දැඩි ලෙස පිළිකෙව් කරනවා.

සුන්නි වරු දෙවියන් නැමදීමේදී දෑත් පපුව මත බැඳගන්නා ස්වරූපයෙන් ඉන්න අතර ෂියා වරු දෙවියන් නමදින්නේ දෑත් සිරුර දෙපසින් තබාගෙන​.

සුන්නි වරු දෙවියන් නැමදීමේදී නළල බිම ස්පර්ශ කරන අතර ෂියා වරු නළල ස්පර්ශ කරන්නේ බිම තැබූ කුඩා ලී හෝ මැටි පුවරුවක් මත​.


සුන්නි ඉස්ලාමය


සුන්නි ඉස්ලාමය ලෝකයේ ප්‍රධාන ඉස්ලාම් නිකාය වෙනවා.

සුන්නි කියන වචනය ඇවිත් තියෙන්නේ "සුන්නාහ්" කියන වචනයෙන්. එහි තේරුම මුහම්මද් තුමාගේ චර්‍යාව කියන එක​. මුහම්මද් තුමාගේ චර්‍යාවන් අඩංගු හදීසයන් විශාල ප්‍රමානයක් සුන්නි මුස්ලිම් වරු ෂියා මුස්ලිම් වරුන්ට වඩා පිළිගන්නා නිසා ඔවුන් මේ නමින් හැඳින්වෙනවා.

සුන්නි ඉස්ලාමය තුළ ෂරියා හෙවත් ඉස්ලාමීය නීතිය අර්ථ ගන්වන ආකාරය අනුව නීති සම්ප්‍රදායන් කීපයක් හඳුනාගන්න පුළුවන්. මේවා නීති සම්ප්‍රදායන් මිස නිකායන් නෙවෙයි. ඒ නිසා මේවා අතර ආගමික වෙනස්කම් නෑ. නමුත් ෂරියා නීතිය අර්ථ ගැන්වීමේ සහ ක්‍රියාත්මක කිරීමේ වෙනස්කම් පවතිනවා.

වර්තමාන ලෝකයේ ප්‍රධාන සුන්නි ඉස්ලාම් නීති සම්‍ප්‍රදායන් හතරක් තියෙනවා.

1. හනෆි
2. මලිකි
3. ෂාෆී
4. හන්බලි


හනෆි සම්ප්‍රදාය​


වැඩිම දෙනෙක් අනුගමනය කරන සම්ප්‍රදාය වෙන්නේ හනෆි. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 699 - 767 කාලයේ ඉරාකයේ ජීවත් වූ පර්සියානු ජාතිකයෙක් වුනු අබු හනීෆා විසින්.

හනෆි සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
4. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
5. විශ්ලේෂනයෙන් එළැඹෙන නිගමන (ක්වියස්)
6. විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු (ඉස්තිහ්සාන්)
7. ප්‍රාදේශීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් (උර්ෆ්)

වර්තමානයේ හනෆි සම්ප්‍රදාය පිළිගන්නේ ඊජිප්තුව​, සිරියාව​, ජෝර්දානය​, පලස්තීනය​, ඉරාකය​, තුර්කිය​, මධ්‍යම ආසියානු රටවල්, පාකිස්ථානය, බංගලාදේශය​ සහ ඉන්දියාව යන රටවල​.

හනෆි සම්ප්‍රදාය වඩාත්ම නම්‍යශීලී සම්ප්‍රදාය විදිහට සැලකෙනවා.


මලිකි සම්‍ප්‍රදාය​


දෙවැනියට වැඩිම දෙනෙක් පිළිගන්න සම්ප්‍රදාය වෙන්නේ මලිකි සම්ප්‍රදාය​. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 711 - 795 කාලයේ මදීනා නගරයේ ජීවත් වුනු මලික් ඉබ්න් අනාස් විසින්.

මලිකි සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. මදීනා නගරයේ මුස්ලිම් වරු පිළිගත් සම්‍ප්‍රදායන් (අමල්)
4. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
5. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
6. විශ්ලේෂනයෙන් එළැඹෙන නිගමන (ක්වියස්)
7. විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු (ඉස්තිහ්සාන්)
8. ප්‍රාදේශීය සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් (උර්ෆ්)

මලිකි සම්ප්‍රදායේදී මදීනා නගරයේ වාසය කළ මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ අදහස් වලට වැඩි බරක් ලබා දෙනවා.

වර්තමානයේදී මලිකි සම්ප්‍රදාය පිළිගන්නේ උතුරු සහ බටහිර අප්‍රිකාවේ රටවල සහ කුවේටයේ​.


ෂාෆී සම්ප්‍රදාය​


තුන්වෙනියට වැඩිම දෙනෙක් පිළිගන්න සම්ප්‍රදාය වෙන්නේ මලිකි සම්ප්‍රදාය​. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 767 - 820 කාලයේ පලස්තීනයේ ජීවත් වුනු මුහම්මද් ඉද්‍රිස් අල්-ෂාෆී විසින්.

ෂාෆී සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
4. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
5. විශ්ලේෂනයෙන් එළැඹෙන නිගමන (ක්වියස්)

ෂාෆී සම්ප්‍රදායේදී විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු සහ ප්‍රාදේශීය සිරිත් සලකන්නේ නෑ. එමගින් සාමාන්‍යය පුද්ගලයන් ගේ දෘෂ්ටි කෝණයෙන් ෂරියාව අර්ථ ගැන්වීම අවම කරන්න උත්සහ කරලා තියෙනවා. මේ නිසා ෂාෆී සම්ප්‍රදාය හනෆි සහ මලිකි සම්ප්‍රදායන්ට වඩා දෘඪ සම්ප්‍රදායක් විදිහටයි සැලකෙන්නේ.

වර්තමානයේදී ෂාෆී සම්ප්‍රදාය පිළිගන්නේ නැගෙනහිර අප්‍රිකාව, දකුණු ඉරාකය, කුර්දිස්ථානය, යෙමනය, ඉන්දුනීසියාව, මැලේසියාව​, ශ්‍රී ලංකාව​ සහ මාලදිවයින යන ප්‍රදේශවල​.


හන්බලි සම්ප්‍රදාය​


අඩුම දෙනෙක් පිළිගන්න සම්ප්‍රදාය වෙන්නේ හන්බලි සම්ප්‍රදාය​. මේ සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ ක්‍රි.ව​. 780 - 855 කාලයේ ඉරාකයේ ජීවත් වුනු අහ්මඩ් ඉබ්න් හන්බල් විසින්.

හන්බලි සම්ප්‍රදායේදී ෂරියාව සඳහා පාදක කරගන්නා මූලාශ්‍රයන් වැදගත් කමේ අනුපිළිවෙලට පහත ආකාරයට වෙනවා.

1. කුරානය​
2. හදීසයන්
3. සහාබා හෙවත් මුහම්මද් තුමාගේ සමකාලීනයන් ගේ සාමූහික අදහස් (ඉජ්මා)
4. සහාබා හි සාමාජිකයන් ගේ තනි පුද්ගල අදහස්
5. දුර්වල හදීසයන්

හන්බලි සම්ප්‍රදායේදී විනිසුරුවරයාගේ අදහස අනුව මුස්ලිම් ප්‍රජාවගේ යහපත අත් කරදෙන තීන්දු සහ ප්‍රාදේශීය සිරිත් වලට අමතරව විශ්ලේෂනයෙන් එලැඹෙන තීන්දුත් නීත්‍යානුකූල ලෙස සලකන්නේ නෑ.  එමගින් ෂරියාව අර්ථ දැක්වීම සම්පූර්නයෙන්ම ග්‍රන්ථවල ඇති දැණුමට සීමා කරල තියෙනවා. හන්බලි සම්ප්‍රදාය සැලකෙන්නේ වඩාත්ම දෘඪ සම්ප්‍රදාය විදිහට​.

වර්තමානයේදී හන්බලි සම්ප්‍රදාය පිළිගන්නේ සවුදි අරාබිය​, කටාර්, එක්සත් අරාබි එමීර් යන රටවල​.


සුන්නි ඉස්ලාමයේ ප්‍රධාන ධාරාවෙන් වෙනස්ව යන ධාරාවන් දෙකක් හඳුනාගන්න පුළුවන්. ඒ සූෆි සහ සලාෆි.


සූෆි



හත්වෙනි සියවසේ උමයියාද් කලීෆා වරුන් ගේ පාලන සමයේදී ඉස්ලාමය ආධ්‍යාත්මක පැත්තෙන් ඈත් වෙලා ලෞකික සොබාවයක් ගත්තා. ඒකට පිළිතුරක් විදිහට සුන්නි ඉස්ලාමය තුලින් බිහිවුනු ආගමික ව්‍යාපාරය තමයි සූෆි වාදය​. සූෆි වාදය පසු කාලීනව ෂියා ඉස්ලාමයෙන් යම්කිසි ආභාෂයක් ලබලා තියෙනවා.

සූෆි වරු ගූඪවාදී (mysticism) පිළිවෙත් මගින් දෙවියන් වෙත ළඟා වීම විශ්වාස කරනවා.

සූෆි වරුන් ගේ ප්‍රධාන ඉගැන්වීම් සහ පිළිවෙත් මේ වගේ.

1. ලෞකික සැපයන් අත් හැරීම සහ අල්පේච්ඡ දිවි පෙවෙතක් ගත කිරීම​
2. දික්.ර් හෙවත් ස්ත්‍රෝත කීම​
3. මුරකබා හෙවත් භාවනා ක්‍රම
4. සමා හෙවත් කරකැවෙමින් කරන නැටුම් ක්‍රමයක්
5. ක්වාව්වලි හෙවත් සංගීත වාදනය​
6. වලි හෙවත් ශාන්තුවරු පිළිබඳ විශ්වාසය​
7. සියාරා හෙවත් ශාන්තුවරුන් ගේ සොහොන් වන්දනාව​
8. කරමත් හෙවත් හාස්කම් පිළිබඳ විශ්වාසය​

සමා නැටුම්
මේ පිළිවෙත් මගින් සිත දියුණු කිරීමත්, එමගින් දේව පණිවුඩය වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමත් ඔවුන් බලාපොරොත්තු වෙනවා.

සූෆි වරු "තුරුක්" නමින් හැඳින්වෙන සමූහයන් (order) වශයෙන් සංවිධානය වෙලා ඉන්නවා. මේ සමූහයන් ගේ නායකත්වය දරන්නේ වලි නමින් හැඳින්වෙන ශාන්තුවරයෙක්. සුෆි වරු සාමූහිකව රැස්වෙලා ආගමික වතාවත් කිරීම හැඳින්වෙන්නේ "මජලිස්" නමින්.

සූෆි වරුන් ග් පිළිවෙත් මූලධර්මවාදී සුන්නි ඉස්ලාම් විද්වතුන් ගේ දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා.

සූෆි සමූහ ගණනාවක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ,

1. බෙක්තෂි
2. චිෂ්ති
3. කුබ්‍රාවියා
4. මවුලාවියා
5. නක්‍ෂ්බන්දි
6. නිමතුල්ලාහි
7. කදිරි
8. සෙනුස්සි
9. ෂදිලියියා
10. ෂුහ්‍රවර්දියියා
11. තිජනියියා
12. ඔවෙයිස්සි


සලාෆිවාදය​


සලාෆිවාදය කියන්නේ සුන්නි ඉස්ලාමය තුලින් පැන නැගුනු මූලධර්මවාදී ආගමික ව්‍යාපාරයක්. සලාෆිවාදීන් විශ්වාස කරන්නේ කුරානයේ දැඩි වචනාර්ථ මත පදනම් වූ අරුත් ගැන්වීමක් සහ එමගින් ඉස්ලාමයේ මුල් සමයට (සලාෆ්) යා යුතු බව​.

සලාෆිවාදයේ මුල තියෙන්නේ 18 වෙනි සියවසේ වර්තමාන සවුදි අරාබියේ වාසය කළ ආගමික විද්වතෙක් වුනු මුහම්මද් අල් වහාබ් ගේ ඉගැන්වීම් තුල​. ඔහු සවුදි අරාබියේ සවුද් රජ පවුල සමඟ සම්බන්ධ වීමත් සමඟම සවුදි අරාබිය තුල සලාෆි වාදයට නිල පිළිගැනීමක් ලැබුනා. අල් වහාබ් ගේ ඉගැන්වීම් අනුගමනය කළ අය හැඳින්වුනේ වහාබ් වාදීන් විදිහට​. වහාබ්වාදී හමුදාවන් වර්තමාන සවුදි අරාබි රාජ්‍යය ගොඩ නැංවීමේදී වැදගත් කාර්‍ය භාරයක් ඉටු කලා. ඒ වගේම ඔවුන් තමාට අනුව "වැරදි" පිළිවෙත් අනුගමනය කළ මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදා හැරියා.

ඊට සමගාමීව 19 වෙනි සියවසේ ඊජිප්තුව මුල් කරගෙන මූලධර්මවාදී ව්‍යාපාරයන් ඇති වුනා. ඒ ප්‍රධාන වශයෙන් බටහිර අධිරාජ්‍යවාදයට එරෙහිව​. ඔවුන් ක්‍රිස්තියානි රාජ්‍යයන්ට එරෙහිව කරන ජිහාඩයක් ගැන විශ්වාස කලා.

මේ සියළු ව්‍යාපරයන් පොදුවේ "සලාෆිවාදය​" කියල හැඳින්වෙනවා.

වර්තමානයේ සවුදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් තුල සලාෆිවාදය නිල ආගමික ධාරාව ලෙස සැලකෙනවා.. ඔවුන් කටාර් ජනගහණයෙන් 47% කුත්, එක්සත් අරාබි එමීර් හි ජනගහණයෙන් 45% කුත් සවුදි අරාබියේ ජනගහණයෙන් 23% කුත් වෙනවා. ලෝකය පුරා සලාෆිවාදීන් මිලියන 50ක් පමණ වාසය කරනවා.

සලාෆිවාදීන් ඉස්ලාමයේ එන ඉගැන්වීම් වලට ඉතා දෘඩ අර්ථ දැක්වීම් දෙන අතර​, ඒවායින් පිටපැනීම් දැඩි දඬුවම් පැමිනවීමෙන් "නිවැරදි" කිරීම ගැන විශ්වාස කරනවා.

සලාෆිවාදී ඉගැන්වීම් සහ විශ්වාසය කීපයක් පහත දැක්වෙනවා.

1. සොහොන් සහ වෙනත් ස්මාරක වන්දනාව තහනම් වේ
2. කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය
3. සංගීත වාදන, නැටුම් තහනම් වේ
4. කාඩ් ක්‍රීඩා, චෙස්, බ්ලැක්ගැමොන් වැනි ක්‍රීඩා තහනම් වේ
5. දුම්පානය තහනම් වේ
6. මිනිස් හෝ සත්ව රූප චිත්‍රයට නැගීම තහනම් වේ
7. නාට්‍ය රඟදැක්වීම හෝ ප්‍රබන්ධ ලිවීම තහනම් වේ
8. (අපරාධ පරීක්‍ෂනයක් හෝ වෛද්‍ය හේතු මත පවා) මලසිරුරක් විච්චේදනය කිරීම තහනම් වේ
9. මුහම්මද් තුමාගේ උපන් දිනය සැමරීම තහනම් වේ
10. කාන්තාවන් රැකියා කිරීම තහනම් වේ
11. කාන්තාවන් අධ්‍යාපනය ලැබීම තහනම් වේ
12. වහල් සේවය අනුමත කරයි
13. පිරිමි සහ කාන්තාවන් එක්‍ රැස් වීම තහනම් වේ

වඩාත් රැඩිකල් සලාෆිවාදී කණ්ඩායම් ප්‍රචන්ඩ ජිහාදයන් ගැන විශ්වාස කරනවා. අල්-කයේඩා, තලීබාන් සහ අයි.එස්.අයි.එස්. වැනි සංවිධාන සලාෆිවාදී ත්‍රස්ත සංවිධාන​.





ෂියා ඉස්ලාමය​


ෂියා කියන වචනය එන්නේ "ෂියාතු අලී" කියන අරාබි යෙදුමෙන්. ඒකෙ තේරුම "අලී ගේ පාර්ශවය​" කියන එක​. අලී මුහම්මද් තුමාගේ සැබෑ අනුප්‍රාප්තිකයා කියන විශ්වාසය නිසා ෂියා මුස්ලිම් වරු මේ නමින් හැඳින්වෙනවා.

ෂියා නිකායේ විශ්වාසයන්ට අනුව මුහම්මද් තුමාගේ අනුප්‍රාප්තිකයන් වශයෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉමාම් තනතුරට පත් වෙනවා. මේ ඉමාම් වරු මුස්ලිම් ආගමේ දේශපාලනික වගේම ආධ්‍යාත්මික නායකයන් ලෙස ක්‍රියා කරන අතර​, දිව්‍යමය ගුණයන්ගෙන් සමන්විතයි. ඒ වගේම ඔවුන්ට කුරානයේ නියම අර්ථය අර්ථ දැක්වීමට හැකියි. මේ නිසාම ඉමාම් වරු පවින් තොර පුද්ගලයන් විදිහට සැලකෙනවා.

සුන්නි ඉස්ලාමය එකම ආගමික සම්ප්‍රදායක් අනුගමනය කළත්, ෂියා ඉස්ලාමය තුල අනු නිකායන් කීපයක් තියෙනවා. මේවා සුන්නි නීති සම්ප්‍රදායන් වගේ නෙවෙයි ආගමික කරුණු අතින්ම වෙනස්.

ප්‍රධාන ෂියා අනු නිකායන් තුනක් තියෙනවා.

1. ඉමාමියා (ජෆාරි)
2. ඉස්මයිලියා
3. සයිදියා




ඉමාමියා




ෂියා මුස්ලිම් වරුන් ගෙන් 85% පමණ (මිලියන 180 පමණ​) අයත් වෙන්නේ ඉමාමියා නිකායට​. ඉමාමියා නිකාය ජෆාරි සහ ට්වෙල්වර් (Twelver) යන නම් වලිනුත් හැඳින්වෙනවා. ඔවුන් වැඩි වශයෙන් ඉන්නේ ඉරනය, ඉරාකය, අසර්බයිජානය​, ලෙබනනය​, බහරේන්, ඇෆ්ගනිස්ථානය​, ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල.

ඉමාමියා නිකායේ ඉගැන්වීම් වලට අනුව මුහම්මද් තුමාගෙන් පසුව ඉමාම් වරු දොළොස් දෙනෙක් සිටි අතර අවසාන ඉමාම් වරයා නිද්‍රාගත තත්වයකට පත් වී තිබෙනවා. ඔහු රහසිගත තැනක සිටින අතර​, ලෝකාවසානයට දින කීපයකට පෙර නැවතත් ජීවමාන වී ඉස්ලාමය ලොව පුරා පතුරුවන බව ඉමාමියා ෂියා වරු විශ්වාස කරනවා.

ඉමාමිය නිකායේ එන ඉමාම් වරු දොළොස් දෙනා මේ අය​:

1. අලී ඉබ්න් අබි තාලිබ්
2. හසන් ඉබ්න් අලී
3. හුසේන් ඉබ්න් අලී
4. අලී ඉබ්න් හුසේන්
5. මුහම්මද් ඉබ්න් අලී
6. ජෆර් ඉබ්න් මුහම්මද්
7. මූසා ඉබ්න් ජෆර්
8. අලී ඉබ්න් මූසා
9. මුහම්මද් ඉබ්න් අලී
10. අලී ඉබ්න් මුහම්මද්
11. හසන් ඉබ්න් අලී
12. මුහම්මද් ඉබ්න් අල් හසන්

ඉමාමි ෂියා වරුන් ගේ නීති සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ හය වැනි ඉමාම් වරයා වන ජෆර් ඉබ්න් මුහම්මද් (අල් සදීක්) විසින්. ඒ සම්ප්‍රදාය "ජෆරි" ලෙසිනුත් හැඳින්වෙනවා.

ජෆරි නීති සම්ප්‍රදාය සුන්නි නීති සම්ප්‍රදායන් ගෙන් වෙනස් වෙන ප්‍රධාන අංගය වෙන්නේ එහි විනිසුරුවාට වෙනත් මූලාශ්‍රයන් මත පදනම් නොවී හුදෙක් ඔහුට සාධාරන යැයි හැඟෙන තීන්දු ලබා දීමේ හැකියාව ලබා දී තිබීම​. මෙය හඳුන්වන්නේ ඉජ්තිහාඩ් කියලා. මේ හේතුව නිසා ෂියා නීතිය සුන්නි නීතියට වඩා නම්‍යශීලී වෙනවා. මෙය ෂියා ඉස්ලාමයේ එන බාතින් සංකල්පයෙන් පැමිණි ක්‍රමයක්.

ඉජ්තිහාඩ් සඳහා වැඩි ඉඩක් ලබා දෙන ජෆරි සම්ප්‍රදාය උසුලි නමිනුත්, ඉජ්තිහාඩ් සඳහා අඩු ඉඩක් ලබා දෙන ජෆරි සම්ප්‍රදාය අක්බාරි නමිනුත් හැඳින්වෙනවා. වර්තමානයේ අක්බාරි සම්ප්‍රදාය අනුගමනය කරන්නේ ඉතාම ස්වල්ප දෙනෙක් පමණයි.

ඉමාමියා වරුන් ගේ ආගමික නායකයන් හැඳින්වෙන්නේ අයතොල්ලා නමින්.


ඉස්මයිලියා



ෂියා ඉගැන්වීම් වලට අනුව හය වන ඉමාම් වරයා වුනේ ජෆර් ඉබ්න් මුහම්මද්. ඔහුට පුතුන් දෙන්නෙක් හිටියා. වැඩිමල් පුතා ඉස්මයිල් ඉබ්න් ජෆර්. බාල පුතා මූසා ඉබ්න් ජෆර්. ජෆර් තමාගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කරලා තිබුනේ වැඩිමහල් පුතා වුනු ඉස්මයිල්.

නමුත් ඉස්මයිල් තරුණ වියේ දී එවකට බලයේ සිටි සුන්නි කලීෆා වරයාට එරෙහිව කැරැල්ලකට සම්බන්ධ වීම නිසා ඔහුව අත් අඩංගුවට ගැනීමට කලීෆා වරයා අණ කළා. මේ නිසා ජෆර් තමාගේ පුතාව හැංගුවා.

ඉස්මයිල් ට වුනු දේ හරියට පැහැදිලි නෑ. මේ සිද්ධියෙන් පස්සේ ඔහු ගැන නිශ්චිත අදහසක් නෑ. ජෆර් ගේ මරණයෙන් පස්සේ ඉම්ම වරයා ලෙස පත් වෙන්නේ ඔහුගේ බාල පුතා වන මූසා.

මෙතැනදී ෂියා මුස්ලිම් ප්‍රජාවේ බෙදීමක් ඇති වෙනවා. මූසා ඉමාම් වරයා ලෙස පිළිගන්න පිරිස ඉමාමි විදිහට හැඳින්වෙනවා. ඔවුන් මූසා සහ ඊට පසුව එන ඉමාම් වරු පස් දෙනා සැබෑ ඉමාම් වරු ලෙසත්, ඉස්මයිල් සැඟවී සිටියදී මිය ගිය බවත් විශ්වාස කරනවා.

තවත් පිරිසක් විශ්වාස කරන්නේ ඉස්මයිල් මිය නොගිය බව සහ ඔහු නිද්‍රාගත තත්වයට පත්වුනු අවසන් ඉමාම් වරයා විදිහට​. මේ පිරිස හැඳින්වුනේ ඉස්මයිලි කියලා.

ඉස්මයිලි ෂියා වරු ඉමාමි ෂියායා වරුන්ට වඩා දේශපාලන මුහුණුවරක් ගත්තා. ක්‍රි.ව​. 900 පමණ වන විට උතුරු අප්‍රිකාවේ විශාල ප්‍රදේශයක තම බලය පතුරුවන්න ඔවුන්ට හැකි වුනා. මේ කාලයේදී ෂියා ඉස්ලාමයේ ප්‍රධාන ධාරාව වුනේ ඉස්මයිලි වරු.

නමුත් මේ ඉස්මයිලි ෂීයා රාජ්‍යය ක්‍රි.ව​. 1076 දී අභාවයට යාම සහ මොංගොල් වරුන් ගේ ආක්‍රමනයත් සමඟම ඉස්මයිලි වරුන් ගේ බලය ක්‍රමයෙන් අභාවයට යනවා. වර්තමානයේදී ඉස්මයිලි වරු ඉන් දියාවේ, පාකිස්ථානයේ සහ යෙමනයේ ප්‍රදේශ කීපයකට සීමා වෙනවා.

ඉස්මයිලි වරුන් ගේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. සංඛ්‍යාත්මකව වැඩි පිරිස නිසාරි ලෙසත්, අඩු පිරිස මුස්තාඅලී ලෙසත් හැඳින්වෙනවා. මුස්තාඅලී වරු හැඳින්වෙන තවත් නමක් තමයි බෝරා.

ඉස්මයිලි වරුන් ගේ ඉගැන්වීම් වල වැඩි බරක් ලබා දෙන්නේ කුරානයේ වචනාර්ථයට (සහීර්) වඩා එහි සැඟවුනු අරුත් (බාතින්) වලට​. මේ නිසා ඉස්මයිලි වරුන් ගේ ඉගැන්වීම් වඩාත් නම්‍යශීලී බවක් උසුලනවා.

ඉස්මයිලි ෂියා ඉගැන්වීම් ගූඪ වාදයෙන් (mysticism) විශාල අභාෂයක් ලබා තියෙනවා. මේ නිසා ඉස්මයිලි ෂියා ඉගැන්වීම් සුෆී ඉගැන්වීම් වලට සමානකමක් දක්වනවා.


සයිදියා



ෂියා වරුන් ගේ හතරවැනි ඉමාම් වරයා වුනු අලී ඉබ්න් හුසේන් ට පුතුන් දෙදෙනෙක් හිටියා. වැඩිමහල් පුතා වුනු මුහම්මද් ඔහු විසින් තමාගේ අනුප්‍රාප්තිකයා විදිහට නම් කළා. බාල පුතා වුනු සයිද් ක්‍රි.ව​. 740 දී කලීෆා වරයාට එරෙහිව කැරැල්ලක් පටන් ගත්තා. සයිද් ගේ ඉගැන්වීම් වලට අනුව අසාධාරන පාලකයෙක්ට එරෙහිව කැරලි ගැසීම් ඉස්ලාමයට අනුකූල දෙයක්. මේ කැරැල්ලට සමහර ෂියා මුස්ලිම් වරු සහ දුන් අතර සමහරු සහය දුන්නේ නෑ.

සයිද් ගේ කැරැල්ල අසාර්ථක වුනු අතර ඔහු කැරැල්ලේදී මරා දැමුනා.

සයිද් ට සහය දුන් ෂියා මුස්ලිම් වරු සයිදියා නමින් හැඳින්වුනු අතර​, ඔහුට සහය නොදී මුහම්මද් ගේ ඉමාම් තනතුර පිළිගත් අය ඉමාමියා ලෙස හැඳින්වුනා.

ආගමික ඉගැන්වීම් අනුව සයිදියා ෂියා මුස්ලිම් වරු ඉමාම් තනතුර මුහම්මද් තුමාගේ පවුලේ අයට පමණක් හිමිවිය යුතු බව සහ ඔවුන්ව දෙවියන් විසින් විශේෂයෙන් තෝරා ඇති බව විශ්වාස කරනවා. නමුත් අනෙක් ෂියා මුස්ලිම් වරුන්ගේ විශ්වාසයක් වන ඉමාම් වරයා පවින් තොර දිව්‍යමය තත්වයක් හිමි පුද්ගලයෙක් බව ඔවුන් විශ්වාස කරන්නේ නෑ.

වර්තමානයේ සංඛ්‍යාත්මකව දෙවැනියට විශාල ෂියා මුස්ලිම් නිකාය වෙන්නේ සයිදියා. ඔවුන් යෙමනයේ සහ දකුණු සවුදි අරාබියේ වාසය කරනවා.





මේ ප්‍රධාන නිකායන්ට අමතරව ඒවායින් බිඳී ගිය කුඩා කණ්ඩායම් කීපයක්ම ෂියා නිකායේ දකින්න පුළුවන්.


අලවීයා



අලවීයා නමින් හැඳින්වෙන්නේ සිරියාවේ සහ තුර්කියේ ව්‍යාප්ත වෙලා තියෙන ඉමාමි නිකායෙන් බිඳී ගිය ෂියා මුස්ලිම් නිකායක්. ඔවුන් සිරියාවේ මිලියන තුනක් පමණත් තුර්කියේ මිලියනයක් පමණත් වාසය කරනවා. වර්තමාන සිරියාවේ ජනගහණයෙන් 17% පමණ වන අතර විශාල දේශපාලන සහ ආර්ථික බලයකට හිමිකම් කියනවා. අලාවීයා වරු සමහර අවස්ථා වලදී අරාබි ජාතිකයන් කියල සැලකුවත් සමහර අවස්ථා වලදී වෙනම ජන වර්ගයක් කියල සලකනවා.

අලවීයා ෂියා වරුන් ගේ ඉගැන්වීම් අනෙක් මුස්ලිම් වරුන් ගේ ඉගැන්වීම් වලින් සෑහෙන තරම් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒවායේ විශාල ක්‍රිස්තියානි අභාෂයක් දකින්න පුළුවන්. ඔවුන් පුනරුප්පත්තිය විශ්වාස කරනවා. ඒ වගේම ඔවුන් අදහන ආකාරයට අලී යනු දෙවියන් ගේ මනුෂ්‍යය ස්වරූපයක්. ඔවුන් ගේ නැමදීම් වලදී ක්‍රිස්තියානි දේව මෙහෙයන් ගේ වගේ පාන් සහ වයින් භාවිතා කිරීමත් දකින්න පුළුවන්. ඒ වගේම ඔවුන් බොහෝ ක්‍රිස්තියානි උත්සවයන් සමරනවා. නත්තල සහ ඇසිරියානු නව වසර ඉන් ප්‍රධානයි.

මේ හේතු නිසා බොහෝ සුන්නි මුස්ලිම් වරු සහ සමහර ෂියා මුස්ලිම් වරු අලවීයා වරු මුස්ලිම් වරු වශයෙන් සලකන්නේ නෑ.


අලෙවි



අලෙවි කියල හැඳින්වෙන්නේ තුර්කියේ ව්‍යාප්තව තියෙන ඉමාමි ෂියා නිකායෙන් බිඳී ගිය නිකායක්. එය තුර්කි ජාතිකයන් වගේම කුර්දි ජාතිකයන් අතරත් තියෙන අතර​, වර්තමාන තුර්කියේ ජනගහණයෙන් 11% පමණ අලෙවි මුස්ලිම් වරු.

අලෙවි වරුන් ගේ ඉගැන්වීම් අනෙක් මුස්ලිම් ඉගැන්වීම් වලින් වෙනස් වෙන ප්‍රධානම තැන වෙන්නේ ඔවුන් ගේ අල්-හක් කියන සංකල්පය​. එහිදී අල්ලාහ්, මුහම්මද් සහ අලී යනු එකම දෙවියන් ගේ සත්‍යයේ ස්වරූප තුනක් බව කියැවෙනවා. මෙය ක්‍රිස්තියානියේ ශුද්ධ වූ ත්‍රිත්වය සංකල්පයට කිට්ටුවෙන් යන සංකල්පයක්.

ඒ වගේම කුරානයට අමතරව බයිබලය සහ තෝරා වැනි ආගමික ග්‍රන්ථ වලිනුත් ඔවුන් දැණුම ලබා ගන්නවා. ඔවුන් දේව නැමදීම් සඳහා රැස් වෙන්නේ අනෙක් මුස්ලිම් වරු වගේ මස්ජීද වල වෙනුවට "කෙමෙවි" නමින් හැඳින් වෙන ශාලා තුල​. අනෙකුත් ෂියා මුස්ලිම් වරු වගේම ඔවුන් කුරානයේ සැඟවුනු අරුත් (බාතින්) ගැන විශ්වාස කරන අතර සූෆී මුස්ලිම් වරු වගේ ගූඪවාදී පිළිවෙත් කරනවා.


ෂයිකි


ෂයිකි කියන්නේ 19 වෙනි සියවසේ දී ෂයිකි අහමඩ් විසින් ඇති කරන ලද ආගමික ව්‍යාපාරයක්. ඔවුන් ඉමාමි ෂියා නිකායෙන් බිඳී ගිය කොටසක්. ෂයිකි වරුන් ගේ ඉගැන්වීම් සූෆි මුස්ලිම් වරුන් ගේ ඉගැන්වීම් වලින් වගේම බහානි සහ බහා ආගමික ඉගැන්වීම් වලින් දැඩි ආභාෂයක් ලබලා තියෙනවා.

වර්තමානයේදී ෂයිකි නිකාය ඉරාකයේ සහ ඉරානයේ ව්‍යාප්ත වෙලා තියෙනවා.


දුර්සි



දුර්සි (ඩෘස්) කියන්නේ ඉස්මයිලි ෂියා නිකායෙන් බිඳී ගිය නිකායකට​. වර්තමානයේ ඔවුන් ව්‍යාප්ත වෙලා ඉන්නේ සිරියාවේ, ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ. දුර්සි වරු සැලකෙන්නේ වෙනම ජන වර්ගයක් විදිහට​.

දුර්සි ඉගැන්වීම් වලට අනුව ඔවුන් දෙවියන් ලෙස සලකන්නේ සමස්තය​. මෙය අනෙකුත් ඉස්ලාමීය නිකායන් ගේ ඉගැන්වීම වන දෙවියන් යනු සමස්තයට ඉහලින් සිටින කෙනෙක් යන්නට පටහැණියි. ඒ වගේම ඔවුන් පුනරුප්පතිය ගැන විශ්වාස කරනවා. ඔවුන් ගේ නැමදීමේ ස්ථාන හැඳින්වෙන්නේ "කල්වත්" කියලා.

බොහෝ සුන්නි මුස්ලිම් වරු සහ සමහර ෂියා මුස්ලිම් වරු දුර්සි වරු මුස්ලිම් වරු කියල සලකන්නේ නෑ.





කවාරිජ් ඉස්ලාමය​


කලීෆා වරයෙක් තෝරාගැනීමේ අර්බුධයේදී මුආවියා සහ අලී යන දෙදෙනාටම එරෙහිවූ පිරිස කවාරිජ් නමින් හැඳින්වුනා. ඔවුන් අලී ව ඝාතනය කළ අතර මුආවියා ඝාතනය කිරීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වුනා.

කවාරිජ් වරු අධාර්මික පාලකයන්ට එරෙහිව කැරලි ගැසීමට ඇති අයිතිය පිළිබඳව තදින් විශ්වාස කරනවා. ඉතිහාසය පුරාම ඔවුන් සුන්නි සහ ෂියා යන දෙපිරිසටම එරෙහිව සටන් වැදිලා තියෙනවා. ඒ වගේම ඔවුන් තමාට වෙනස් මත දරන මුස්ලිම් වරු මුස්ලිම් වරු ලෙස සලකන්නේ නෑ. ඒ වගේම අසාධාරන පාලකයන්ට එරෙහිව කැරලි ගැසීමෙන් මරණයට පත් වීම ඉතා උතුම් දෙයක් කොට සලකනවා.

අතීතයේ අස්‍රකි, හරුරියියා, සුෆ්‍රි වැනි කවාරිජ් නිකායන් කීපයක්ම තිබුනත් වර්තමානයේ ඉතිරිව තියෙන්නේ ඉබාදි නිකාය පමණයි. ඉබාදි වරු පැරණි කවාරිජ් වරු තරම්ම දැඩි මතධාරී නෑ. වර්තමානයේ ඔවුන් ඕමානයේ ජනගහනයෙන් බහුතරය​. ඕමානයෙන් පිට කවාරිජ් වරු ඉන්නේ ඉතාම සුළු පිරිසක්.

Tuesday, June 5, 2018

ඉස්ලාමයේ කුළුණු පහ - 1 (ෂහදා)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)

ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)


පළමුවැනි කුළුණ - ෂහදා (ශ්‍රද්ධාව​)



පළමුවැනි කුළුණ හෙවත් ෂහදාවෙන් ප්‍රකාශ වෙන්නේ මුස්ලිම් වරයෙක් ගේ දෙවියන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව​.

ෂහදාව කියන්නේ අරාබි බසින් ඇති පාඨයක්.

"ලා ඉලාහ ඉල්ලා ඉලාහ්. මුහම්මදුන් රසූලු ඉලාහ්"

මේකෙ තේරුම

"අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත​. මුහම්මද් අල්ලාහ් ගේ දූතයා වේ."

ෂහදාව තමයි ඉස්ලාමයේ පදනම​. ඉස්ලාමයේ මූලිකම ඉගැන්වීම වෙන "අල්ලාහ් හැර වෙනත් දෙවියෙක් නොමැත" කියන එක පළමුවැනි පාඨයෙන් කියැවෙනවා. දෙවැනි පාඨයෙන් නබි තුමා විසින් ප්‍රකාශ කරන ලද පණිවුඩය දේව වචනයක් බව දෙවැනි පාඨයෙන් කියැවෙනවා. ඉස්ලාමයේ අනෙකුත් සියළුම ඉගැන්වීම් වලට පදනම් වෙන්නේ මේ සංකල්පය​.

ඉස්ලාමය පිළිගන්නා කෙනෙක් ෂහදාව තර්කයෙන් තොරව - ශ්‍රද්ධාවෙන් පිළිගත යුතුයි. අනෙක් සියළුම ඉගැන්වීම් වලට මග විවර වෙන්නේ ඒ ශ්‍රද්ධාව තුලින්.

අරාබි බසින් ලියන ලද ෂහදාව බොහෝ මුස්ලිම් වරු විවිධ ස්ථාන වල ප්‍රදර්ශනය කරනවා. ඒ තමාගේ ශ්‍රද්ධාවේ ප්‍රකාශනයක් විදිහට​. ඒ වගේම සවුදි අරාබියේ සහ ඇෆ්ගනිස්ථානයේ ජාතික ධජයන් ගේ ෂහදාව අඩංගු වෙනවා.

Friday, March 30, 2018

බටහිර චින්තනය​


චින්තනය


මානව ශිෂ්ඨාචාරයේ සමහර අවස්ථා වලදී මිනිස් සමූහයන් විසින් ගොඩ නංවන පදනම් සංකල්ප ගොනුවක් චින්තනයක් කියල සරළව හඳුන්වන්න පුළුවන්. විවිධ සංස්කෘතීන් ගොඩනැංවෙන්න මේ වගේ මොකක් හරි චින්තනයක් වටා. සංස්කෘතිය ගහක් නං චින්තනය ඒකෙ අරටුව කියල හඳුන්වන්න පුළුවන්. හැබැයි එක චින්තනයක් මත පදනම් වෙලා සංස්කෘතීන් ගණනාවක් බිහි වෙන්න පුළුවන්.

චින්තනයකට උදාහරණයක් වශයෙන් කොන්ෆියුසියානු චින්තනයත්, ඒ වටා ගොඩ නැංවුනු සංස්කෘතියක් වශයෙන් චීන සංස්කෘතියත් දෙන්න පුළුවන්.

චින්තනයක් සමන්විත වෙන්නෙ සංකල්ප කීපයකින්. මේවා ඒ චින්තනයේ මූලික පදනම වෙනවා.

උදාහරණයකට දකුණුදිග අප්‍රිකානු සමාජයන් ගේ තියෙන "උබුන්ටු" සංකල්පය ගන්න පුළුවන්. මේ සංකල්පයෙන් කියැවෙන්නෙ "මම මම වන්නේ අපි අපි වන නිසාය​" කියල​. ඒ කියන්නෙ මම කියන පුද්ගලයා පුද්ගලයෙක් වශයෙන් පවතින්නේ මම ජීවත් වන සමාජය එලෙස පැවතීම නිසා කියල​. ඒ කියන්නෙ මම කියන දෙයට මනුෂ්‍යත්වය ලැබෙන්නෙ මම ජීවත් වන සමාජය නිසා කියල​. මේ සංකල්පය දකුණුදිග අප්‍රිකාණු චින්තනයේ පදනම් සංකල්පයක්. ඒ චින්තනය වටා දකුණුදිග අප්‍රිකාණු සංස්කෘතීන් ගණනාවක් නිර්මානය වෙලා තියෙනවා.


යුදෙව් චින්තනය​


ක්‍රිස්තු පූර්ව 1500 දී පමණ ඊශ්‍රායලයේ ජීවත් වන ජන වර්ගයක් අතර එක්තරා සුවිශේෂී සංකල්පයක් පහල වෙනවා. ඒ ඒක දේව වාදය​. ඒක දේව වාදයේ මූලික කරුණු තුනයි.

1. ඉන්නේ එක දෙවියන් වහන්සේ කෙනෙක් පමනි.
2. ඔහුට ස්වරූපයක් නැත​.
3. ඔහු මිනිසාගේ පරිභෝජනය සඳහා විශ්වය මවා ඇත​.


මේක සුවිශේෂී සංකල්පයක් වෙන්නෙ මේ අදහස් ලෝක ඉතිහාසයේ පහල වන එකම තැන මේක වීම නිසා.

ඉන්නේ එක දෙවියන් වහන්සේ කෙනෙක් විතරයි කිව්වම ඒකෙන් අදහස් වෙනවා මේ මුළු මහත් විශ්වයටම එක ඔරිජින් එකක්, එක පරම සත්‍යයක් තියෙන බව​. මුළු විශ්වයම නිර්මානය වෙලා තියෙන්නෙ එක තනි ලොජික් එකක් වටා කියල අදහසක් ඒකෙන් එනවා.

ඔහුට ස්වරූපයක් නැත කිව්වම දෙවියන් වහන්සේ වියුක්ත සංකල්පයක් වෙනවා. දැන් ගණ දෙවියො කිව්වම අපිට හිතේ මවාගන්න පුළුවන් රූපයක් තියෙනවා. ඒක ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් වශයෙන් ප්‍රතිනිර්මානය කරන්න පුළුවන් වෙනවා. එතකොට ඒ දෙවියන් අපිත් එකක් සාමූහිකව​ ගනුදෙනු කරන්න පුළුවන් සංකල්පයක් වෙනවා. ඒ කියන්නෙ ඔබ දකින ගණ දෙවියන්ම තමයි මම දකින්නෙත්. නමුත් යුදෙව් චින්තනයේ දෙවියන් සිතෙන් මවා ගන්න බෑ. ඔහුට ස්වරූපයක් නෑ. ඔහුව ප්‍රතිමාවකට හෝ චිත්‍රයකට නගන්න බෑ. ඒ දෙවියන් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් මට පුද්ගලිව මනසින් පමණයි.
 
ඔහු මිනිසාගේ පරිභෝජනය සඳහා විශ්වය මවා ඇත කිව්වම මේ මහපොළවේ තියෙන හැම දෙයක් ම කිසිම හිරිකිතයකින් තොරව පාවිච්චි කරන්න මිනිසාට ශුද්ධ වූ අයිතියක් ඇත කියන අදහස එනවා.


ග්‍රීක චින්තනය​


ක්‍රි.පූ. 500 දී පමණ ග්‍රීසියේ, විශේෂයෙන්ම ඇතැන්ස් නගරය කේන්.ද්‍ර කරගෙන චින්තනයක් බිහිවෙනවා. ඒ චින්තනයේ පදනම් සංකල්පය වෙන්නෙ පුද්ගලවාදය​. එහිදී බොහෝ ශිෂ්ඨාචාර වල පැවැතුනු සමාජයට (සාමූහිකත්වයට​) මුල් තැන දීමේ සංකල්පය වෙනුවට පුද්ගලයාට මුල් තැන දීමේ සංකල්පය එනවා. පුද්ගල අයිතිවාසිකම් වගේ දේවල් මනාව අර්ථ කථනය කෙරෙනවා. එහි අග්‍රඵලය විදිහට ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙනවා. එතැනදී පුද්ගලයාට කෙලින්ම රාජ්‍ය පාලනයට මැදිහත් වීමේ අවස්ථාව ලැබෙනවා.


ග්‍රීසිය පසුකලීනව දේශපාලනිකව බිඳ වැටුනත්, ඔවුන් ගේ චින්තනය රෝම ශිෂ්ඨාචාරය හරහා යම් තාක් දුරකට දිගටම ක්‍රියාත්මක වෙනවා. රෝමයේ බිඳවැටීමත් එක්ක ග්‍රීක චින්තනය අවසන් වෙනවා.


කතෝලික චින්තනය​


යුදෙව්වන් ගේ ඒක දේව වාදයෙන් බිඳී යන අතු දෙකක් වෙනම වර්ධනය වෙනවා. යුරෝපීයන් අතරට ඒක දේව වාදය යන්නේ කතෝලික දහම විදිහට​. අරාබීන් අතරට එය යන්නෙ ඉස්ලාම් දහම විදිහට​. මේ දෙතැනදීම යුදෙව්වන් ගේ වියුක්ත දෙවියන් යම් තාක් දූරකට සංයුක්ත කෙරෙනවා (කතෝලික දහමේ යේසු තුමා සහ මරියා තුමිය හරහා / ඉස්ලාමයේ නබි තුමා). ඒ වගේම සාමූහිකත්වයට ලොකු තැනක් ලැබෙනවා (සාමූහික දේව යාඥා).

ග්‍රීක චින්තනයේ බිඳවැටීමත් එක්ක යුරෝපයේ ප්‍රමුඛ චින්තනය වෙන්නෙ කතෝලික චින්තනය​. කතෝලික චින්තනය බටහිර යුරෝපයේ ජර්මැනික් ගෝත්‍ර අතරට යද්දි ඔවුන් අතර තිබූ පේගන් ඇදහීම් ක්‍රම වලින් කතෝලික චින්තනය විශාල ආභාෂයක් ලබනවා. කතෝලික චින්තනය සාමූහිකත්වයට මුල් තැන දෙන චින්තනයක් විදිහට තමයි වර්ධනය වෙන්නෙ. ඇතීනියානු ප්‍රජාතන්ත්‍රවාදය, රෝම සෙනේට් සභාව සහ පුරවැසියන් වෙනුවට රජු, වංශවතුන් සහ ප්‍රවේනි දාසයන් සහිත රාජ්‍ය ක්‍රමයක් බිහි වෙනවා.


පුනරුදය​


මේ ක්‍රමය මැද්දට පාත් වෙන හෙණ ගෙඩිය වෙන්නෙ 1453 දී ඔටෝමාන් තුර්කීන් විසින් කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමත් සමඟම​. තුර්කීන් විසින් තමාව හිංසනයට ලක් කරනු ඇතැයි බය වෙන කොන්ස්තන්තිනෝපලයේ වාසය කල ග්‍රීක උගතුන් විශාල ප්‍රමානයක් බටහිරට පලා යනවා. බොහෝ දෙනා නතර වෙන්නේ ඉතාලියේ.

මේ උගතුන් පලා යන්නේ නිකම්ම නෙවෙයි. කොන්ස්තන්තිනෝලපයේ එක් රැස් වී තිබුන විශාල දැණුම් සම්භාරයක් සමඟ​. බටහිර යුරෝපයට ඉතාලිය හරහා කඩා වදින මේ දැනුම බටහිර යුරෝපීය සමාජයේ දැවැන්ත විප්ලවයක් සිදු කරනවා.

ඒ එක්කම බටහිර යුරෝපයේදී (ස්පාඤ්ඤය​, පෘතුගාලය සහ ප්‍රංශය​) යුදෙව්වන්ට එරෙහිව සිද්ධ වෙන හිංසාකාරී ක්‍රියා වලින් බේරී පලා යන යුදෙව්වො විශාල ප්‍රමානයක් දකුණු ඉතාලියට සංක්‍රමනය වෙනවා. විශේෂයෙන්ම ෆ්ලොරන්ස් නගරය අවට​.

යුදෙව් සහ ග්‍රීක චින්තනයන් තුල ගැබ් ව තිබුනු සංකල්ප බටහිර යුරෝපීය සමාජයට කාන්දු වෙන්න පටන් ගන්නවා. බටහිර යුරෝපයේ නව චින්තනයක් බිහි වෙනවා.

ඒක තමයි අපි අද බටහිර චින්තනය, එහෙම නැත්තම් බටහිර නූතනත්වය කියල හඳුන්වන චින්තනය.


බටහිර චින්තනය​


බටහිර චින්තනය බිහි වෙන්නෙ යුදෙව් සහ ග්‍රීක චින්තනයන් මත පදනම් වෙලා (ඒ නිසාම මේක ග්‍රීක​-යුදෙව්-ක්‍රිස්තියානි චින්තනය කියලත් හඳුන්වනවා). එහිදී බටහිර චින්තනයේ පදනම වෙන්නෙ,

1. ඒක දේව සංකල්පය​
2. වියුක්ත සිතීම​
3. පරිභෝජන වාදය​
4. පුද්ගලවාදය​

බටහිර චින්තනය මත පදනම් වෙලා යුරෝපීය සමාජය පරිණාමය වෙද්දි පරණ කතෝලික චින්තනයේ තිබුන සමහර අංගයන් තව දුරටත් පවතින්න නොහැකි වෙලා යනවා.

කතෝලික චින්තනයේ දී බටහිර සමාජයේ ආගම වුන කතෝලික ආගමේ සාමූහිකත්වය බටහිර චින්තනයට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා 1515 දී පමණ වඩා පුද්ගලකරනය වුන ප්‍රොතෙස්තන්ත ආගම ජර්මනියේදී උපත ලබනවා. කතෝලික ආගමේ සාමූහිකව කරන දේව යාඥාව වෙනුවට දෙවියන් එක්ක පුද්ගලිකව සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ එක්කම කතෝලික පල්ලියේ දේශපාලන​-ආර්ථික බලයටත් පහර වැදෙනවා.

කතෝලික චින්තනයේ තිබ්බ සාමූහික වැඩවසම් ආර්ථික ක්‍රමය තව දුරටත් බටහිර චින්තනය තුල පවතින්න බැරි වෙද්දි ධනවාදය ඉදිරියට එනවා. අධි පරිභෝජන වාදය බටහිර සමාජයේ උත්කර්‍ෂයට නැංවෙනවා.




ප්‍රතිරෝධය​



මේ සමාජ පෙරළිය සම්පූර්න වෙන්නෙ 1850 දී පමණ​. ඒ වෙද්දි ධනවාදය පරිපූර්න සංකල්පයක් විදිහට පරිනාමය වෙලා ඉවරයි.

නමුත් ඒ කාලයේදීම වගේ බටහිර සමාජය තුලින්ම මේකට ප්‍රතිරෝද්ධයක් එල්ල වෙනවා. ඒ විකල්ප සංකල්ප හරහා. මේ විකල්ප සංකල්ප අතරින් ප්‍රධාන වෙන්නෙ කොමියුනිස්ට්වාදය සහ ෆැසිස්ට්වාදය​. මේ ප්‍රතිවිරුද්ධ අදහස් අතර මාරාන්තික සටනක් 20 වෙනි සියවසේ ඇති වෙනවා. එයින් ජය ලබලා 21 වෙනි සියවසට ඇතුල් වෙන්නෙ බටහිර චින්තනය​.


සමාජ පරිනාමය​


මේ අදහස් වලට විරුද්ධ නැගෙන තර්කයක් තමයි සමාජ පරිනාමය කොතැනදී සිදුවුනත් ඒක සිද්ධ වෙන්නෙ බටහිර සිදු වුන දිශාව ඔස්සේ තමයි කියල​. වෙනත් වචන වලින් කිව්වොත් බටහිර චින්තනය කියන්නෙ මානව සමාජ පරිනාමයේ අනිවාර්‍යය ප්‍රතිඵලය කියල​.

මේ අදහස ඉතාම වැරදි සහගතයි. සමාජ පරිනාමයන් මානව ශිෂ්ඨාචාරයේ විවිධ තැන් වලදි සිදු වුනේ විවිධ ආකාරයන් වලට​. උදාහරණයකට ක්‍රි.ව​. 750-1250 කාලය තුල අබසිද් කලීෆාතය යටතේ ඇති වුන "ඉස්ලාමයේ ස්වර්ණමය යුගය​" සලකන්න පුළුවන්. මෙහිදී ඉස්ලාමීය චින්තනය යටතේ විද්‍යා, කලා, දර්ශන​, දේශපාලනික​, ආර්ථික යනාදී නොයෙකුත් අංගයන් ගේ දැවැන්ත ප්‍රගතියක් ඇති වුනා. නමුත් එය වර්ධනය වුනේ පුද්ගලවාදයක් ඔස්සේ නෙවෙයි.


මේ අදහස අද අපි අතරෙ මුල් බැහැල තියෙන්නෙ බටහිර චින්තනයේ ව්‍යාප්තවාදී හැසිරීම නිසා. යටත් විජිතවාදය හරහා බටහිර චින්තනය විසින් ලෝකයේ බහුතරයක් රටවල විවිධ චින්තනයන් ඔස්සේ ගොඩ නැගෙමින් තිබූ සමාජ ක්‍රම විනාශ කල නිසා අපිට විකල්ප සමාජ පරිනාම සඳහා උදාහරන හොයන්න ඉතාම අපහසුයි.

නමුත් සාපේක්‍ෂව බටහිර බලපෑමට අඩුවෙන් ලක්වුන ජපානයේ බටහිර චින්තනයේ දකින්නට නොලැබෙන සංකල්ප ඔස්සේ දියුණු වුන සමාජයක් දකින්න පුළුවන්. උදාහරණයකට ජපානයේ ධනවාදය පදනම් වෙලා තියෙන්නෙ බටහිර වගේ අධි පරිභෝජන වාදය මත නෙවෙයි. සමුරායි වරුන් ගේ විනය සහ කැපවීම කියන සංකල්ප ඔස්සේ. ඒ වගේම ජපන් සමාජය දැඩි ලෙස සාමූහිකයි. නමුත් දැවැන්ත ආර්ථික සහ සමාජයීය ප්‍රගතියක් අත් කර ගන්න ඔවුන් සමත්වෙලා තියෙනවා.



Monday, October 23, 2017

කොමියුනිස්ට් වාදයේ ප්‍රභේද​




සමාජවාදය ට සම්බන්ධ එක එක වාද තියෙනව නෙ. මේ ඒව ගැන කෙටි හැඳින්වීමක්.

(මේක කොහෙත්ම සම්පූර්න විස්තරයක් නෙවෙයි. මේ මතවාදයන් ඉතා සංකීර්නයි. වාක්‍යය තුන හතරකින් විස්තර කරන්න බෑ. මේ ජෙනරල් අයිඩියා එකක් ගැනීම සඳහා විතරයි.)

සමාජවාදය (Socialism)

රටක ආර්ථික ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම හෝ වැඩි වශයෙන් පුද්ගලික අයිතිය මත නොව සාමූහික අයිතිය මත පදනම් විය යුතුයි ය​න දේශපාලන න්‍යාය​.


කොමියුනිස්ට්වාදය​ (Communism)

රටක ආර්ථික ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම හෝ වැඩි වශයෙන් පුද්ගලික අයිතිය මත නොව සාමූහික අයිතිය මත පදනම් විය යුතුයි සහ පුද්ගලයන් සතු පුද්ගලික දේපල සීමා සහිත විය යුතුයි යන දේශපාලන න්‍යාය​. මේ ක්‍රමයේදී සෑම පුද්ගලයෙක්ම ඔහුගේ හැකියාව අනුව ආර්ථික ක්‍රියාවලියට දායක වන අතර ඔහුගේ අවශ්‍යතාවය අනුව ප්‍රතිලාභ ලබනවා. කොමියුනිස්ට්වාදය සමාජවාදයේ උපකුලකයක්.

මාක්ස්වාදය​ (Marxism)

ජර්මානු දාර්ශනික කාල් මාක්ස් විසින් ඉදිරිපත් කළ කොමියුනිස්ට්වාදී න්‍යාය​. මෙය ඉදිරිපත් කළ විධිමත් ආකාරය නිසා එය "විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය​" ලෙස හැඳින්වෙනවා. මාක්ස් කියපු ආකාරයට මිනිස් ඉතිහාසය කියන්නෙ පන්ති අතර ගැටුමක්. ඔහු මෙය "පන්ති අරගලය​" කියල නම් කරා. ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය අතර ඇති වන ගැටුමෙන් නිර්ධන පන්තිය ජයගෙන නිර්ධන පන්ති අඥාදායකත්වයක් ඇති කරන බවත්, එය කොමියුනිස්ට් සමාජයක් කරා පරිණාමය වන බවත් ඔහු කිව්වා.

ඔහුගේ දාස් කැපිටාල් (ප්‍රාග්ධනය​) පොතේ විස්තර කරන ආකාරයට යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවකට වටිනාකමක් ලැබෙන්නෙ එය සකස් කිරීමේදී කම්කරුවා විසින් යොදන ශ්‍රමයෙන්. ඒ නිසා සමාජයක සියළු ධනයේ සැබෑ හිමිකරුවා කම්කරුවා බව ඔහු පෙන්වා දුන්නා.

ලෙනින්වාදය (බොල්.ෂෙවික් වාදය​) (Leninism - Bolshevism)

1900 ගනන් වල රුසියාවේ කොමියුනිස්ට්වාදී විප්ලවයක් ඇති කිරීම සඳහා විප්ලවය සංවිධානය විය යුතු ආකාරය පිළිබඳ ව්ලදිමීර් ලෙනින් ගේ න්‍යාය​. ඔහු කියපු ආකාරයට විප්ලවය සංවිධානය කළ යුත්තේ කුඩා, දැඩි විනයක් සහිත විප්ලවවාදී පක්‍ෂයකින්. ඔහු මෙය "පෙරටුගාමී පක්‍ෂයක්" ලෙස හැඳින්වුවා. පෙරටුගාමී පක්‍ෂයේ කාර්‍යය භාරය විය යුත්තේ කම්කරු පන්තියට පන්ති විඥානය ලබා දීම සහ විප්ලවය සඳහා ඔවුන් පෙළ ගැස්වීම​.

ඔහුගේ පෙරටුගාමී පක්‍ෂය "මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී" ආකෘතියකින් යුක්ත වුනා. ඒ කියන්නෙ යම් තීරණයකට එලැඹෙන්න ප්‍රථම පක්‍ෂය ඇතුලේ එය වාද විවාද වලට ලක් කළ හැකියි. නමුත් වාද විවාද අවසානයේ පක්‍ෂයේ ඡන්ද විමසීමකින් සම්මත කරගත් තීරණය සියළුම දෙනා ක්‍රියාවට නැංවිය යුතුයි.

මෙන්.ෂෙවික් වාදය​ (Menshevism)

1900 ගනන් වල රුසියාවේ තිබ්බ අනික් ප්‍රධාන කොමියුනිස්ට්වාදී මතවාදය​. මේ මතවාදී ධාරාවේ නායකත්ව ඉසිලුවේ ජුලියස් මාර්තොව්. ඔහු පෙරටුගාමී පක්‍ෂය වෙනුවට පුළුල් මහජන සහභාගීත්වයෙන් යුතු පක්‍ෂයක් යෝජනා කළා. පෙරටුගාමී පක්‍ෂයකින් නිර්ධන පන්තියට පන්ති විඥානය "ලබා දීම​" වෙනුවට සමාජයේ ස්වාභාවික පරිණාමය මගින් ඔවුන් ඒක "ලබා ගැනීම​" විය යුතු බවයි මේ න්‍යායෙන් කියැවෙන්නෙ.

ඒ නිසා මෙන්‍.ෂෙවික් වාදීන් සමාජයේ ස්වාභාවික පරිණාමයේ කොටසක් විදිහට වැඩවසම් ක්‍රමය බිඳ දමා ධනවාදය ඉදිරියට ඒම යහපත් දෙයක් කියල සැලකුවා. ඔවුන් එයට ආධාර කරා. 1917 ලෙනින් සහ බොල්.ෂෙවික් වාදීන් කරපු විප්ලවයට ඔවුන් දැඩි ලෙස විරුද්ධ වුනා.

ට්‍රොට්ස්කිවාදය​ (Trotskism)

බොල්.ෂෙවික් වාදීන් ගේ ප්‍රධාන න්‍යායාචාර්‍ය වරයෙක් වුන ලියොන් ට්‍රොට්ස්කි ගේ න්‍යායන් ගේ එකතුවක්. ඔහුගේ ප්‍රධාන න්‍යායන් දෙකක් තියෙනවා. එක - "නොනවතින විප්ලවය​". මෙන්.ෂෙවික් වාදයට එරෙහිව ගොඩ නංවපු න්‍යායක්. එහිදී ඔහු කියනවා, සමාජයේ ස්වාභාවික පරිණාමය මගින් නිර්ධන පන්තිය පන්ති විඥානය ලබා ගන්නා තුරු සිටීමට අවශ්‍යය නැති බව​. රුසියාව වගේ දුර්වල ධනපති පන්තියක් සහිත රටක ස්වාභාවික සමාජ පරිනාමය සිදු කරන්න ධනපති පන්තිය අසමත්‍ බවත්, නිර්ධන පන්තිය විසින් එය සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. එම පරිනාමය සඳහා කරන විප්ලවය, කොමියුනිස්ට් සමාජයක් සඳහා කරන විප්ලවයක් බවට දිගු කළ යුතු බව ඔහු කියනවා. නොනවතින විප්ලවය කිව්වෙ ඒකට​.

දෙක - ලෝක විප්ලවය​. තනි රටක සමාජවාදය (හෝ කොමියුනිස්ට් වාදය​) ගොඩ නංවන්න බැරි බව ඔහු කියනවා. ලෝකයේ අනෙක් ධනවාදී රාජ්‍යයන් විසින් එය විනාශ කරන බවත් ඒ නිසා සමාජවාදයේ පැවැත්ම සඳහා ලෝකය පුරා ව්‍යාප්ත වන විප්ලවයක් අවශ්‍යය බවත් ඔහු කියනවා. ඒ නිසා සමාජවාදී රටක ප්‍රධාන වගකීම විය යුත්තේ අනෙක් ධනවාදී රටවල නිර්ධන පන්ති විප්ලවයට අධාර කිරීම බව ඔහු කියනවා.

ස්ටාලින්වාදය​ (Stalinism)

ට්‍රොට්ස්කි ගෙ ලෝක විප්ලවය පිළිබඳ න්‍යායට එරෙහිව සෝවියට් නායක ජෝශප් ස්ටාලින් විසින් ගොඩ නංවපු න්‍යාය​. ඔහු කියන ආකාරයට සමාජවාදී රාජ්‍යයක ප්‍රධාන අරමුණ විය යුත්තේ ලෝක විප්ලවය නොව ඒ රටේ ආර්ථික සමෘද්ධිය​​. ඒ ආදර්ශය මගින් ධනවාදී රටවල නිර්ධන පන්තිය කොමියුනිස්ට්වාදය කෙරෙහි නැඹුරු කළ යුතු බව ඔහු කියනවා. ඒ සඳහා ධනවාදී රටවල් සමඟ යම් සහයෝගයකින් වැඩ කළ යුතු බව ඔහු කියනවා. ලෝක විප්ලවය වෙනුවට තනි රටක සමාජවාදය මත ස්ටාලින්වාදය පදනම් වෙනවා.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සෙ ලෝකයේ ප්‍රධාන සමාජවාදී ධාරාව වෙන්නෙ ස්ටාලින්වාදය.

මාඕවාදය​ (Maoism)

මාඕ සේදොං විසින් චීනයේ කොමියුනිස්ට් වාදය ගොඩ නැංවීම සඳහා ගොඩ නැංවූ න්‍යාය​. මාක්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි සහ ස්ටාලින් ගේ අදහස් වලට අනුව කොමියුනිස්ට්වාදී විප්ලවයේ පෙරටු බල​ඇණිය විය යුත්තේ කම්කරුවන් වුනාට, මාඕ කියපු ආකාරයට එහිදී ගොවීන් සහ කම්කරුවන් සම දායකත්වයක් ලබා දිය යුතු වෙනවා. ගම්බද පළාත් වල සිට සිදු කරන ගරිල්ලා අරගලයක් දිග් ගැසුණු මහජන යුද්ධයක් බවට පරිවර්තනය කිරීමෙන් කොමියුනිස්ට්වාදී විප්ලවයක් සිදු කළ හැකි බව මාඕ කියනවා. කොමියුනිස්ට්වාදී සමාජයක් ගොඩ නැංවීමේදී මහා පරිමාන කර්මාන්ත වෙනුවට ග්‍රාමීය කෘෂිකර්මාන්තයට සහ සුළු පරිමාන කර්මාන්ත වලට වැඩි වැදගත් කමක් ලැබිය යුතු බව මාඕ කියනවා. දියුණු කර්මාන්ත සහ කම්කරු පන්තියක් නැති තුන්වෙනි ලෝකයේ රටවල මාඕවාදය බෙහෙවින් ජනප්‍රියා වුනා.

චේ වාදය​

චේ ගුවාරා ගේ විප්ලවය පිළිබඳ අදහස්. මාක්ස්වාදය දැඩි භෞතිකවාදී දර්ශනයක් වුනාට චේ ගේ අදහස් තරමක් විඥානවාදියි. මාක්ස් දැක්ක ආර්ථික සාධක වෙනුවට චේ ගේ විප්ලවයේ ගාමක බලය වෙන්නේ ගරිල්ලා සෙබලා. සමාජය වෙනුවෙන් සියළු පුද්ගලිකත්වය අතහැරලා වනගත ජීවිතයකට එළැඹෙන ගරිල්ලා සෙබලා මනුෂ්‍යත්වයේ උපරිම අවස්ථාව වූ පරමාදර්ශී පුද්ගලයෙක් බව චේ කියනවා. කොමියුනිස්ට් සමාජය බිහි කරන්නේ මේ පරමාදර්ශී මිනිසුන් විසින් බව ඔහු කියනවා. යම්කිසි සමාජයක කොමියුනිස්ට්වාදී විප්ලවයක් ඇතිවීමට සුවිශේෂී අවශ්‍යතා සැපිරී නොතිබිය යුතු බවත්, සමාජ අසාධාරනය තිබීම ප්‍රමානවත් බවත්, ගරිල්ලා අරගලය මගින් එකී සුවිශේෂී අවශ්‍යතා සපුරාලන බව චේ ගේ න්‍යාය මගින් දැක්වෙනවා.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (Democratic Socialism)​

ආර්ථික වශයෙන් සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරන අතර​, දේශපාලනික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී මගක ගමන් කරන දේශපාලන දර්ශනයක්.

ප්‍රජාතන්‍ත්‍රවාදී සමාජවාදය (Social Democracy)

මූලික වශයෙන් පුද්ගලික ව්‍යාපාර වලට ඉඩ සලසන අතර​, වැදගත් ආර්ථික ක්‍රියාවලීන් රජය විසින් ඉටු කරන ක්‍රමයක්.

Friday, October 6, 2017

ශුද්ධභූමි


ජපානයට බුදු සමය එන්නෙ 625 දි. මේ මුල් යුගයේදී බෞද්ධ සම්ප්‍රදායන් කීපයක් ම ජපානයේ ව්‍යාප්ත වුනා. මේ කාලයේදී ජපානයේ ප්‍රචලිත වුන බෞද්ධ සම්ප්‍රදායන් වුනේ මේවා:

1. ජොජිත්සු-ෂු (තත්වසිද්ධි)
2. හොස්සො-ෂු (යෝගචර​)
3. සංරොන්-ෂු (මධ්‍යමක​)
4. කෙගොන්-ෂු (අවතම්සක​)
5. රිත්ස්-ෂු (ධර්මගුප්තික​)
6. කුෂා-ෂු (සර්වස්ථිවාදී)
7. තෙන්දයි-ෂු

මේ සම්ප්‍රදායන් ගැඹුරු ධර්ම කරුණු සහ දැඩි භාවනා වෘත මත පදනම් වුනා. මේ කාලයේදී ජපානයේ බුදු සමය උගතුන් සහ සමුරායි වරු අතර වේගයෙන් ජනප්‍රිය වුනා. බුදු දහම මත පදනම් වුන බුද්ධි ප්‍රබෝධයක් ජපානයේ ඇති වුනා.

නමුත් 1180 දි ජපානයේ සිවිල් යුද්ධයක් ඇති වුනා. මේ යුද්ධය හඳුන්වන්නෙ "ගෙංපෙයි යුද්ධය" කියල​. ගෙංපෙයි යුද්ධය නිසා ජපානය දැඩි විනාශයකට ලක් වෙනවා. සමාජය සම්පූර්නයෙන්ම කඩා වැටෙනවා. ගම් බිම් විනාශ වෙනවා. විශාල ජීවිත ජානියකුත් සිද්ධ වෙනවා.

ඒ නිසාම බුදු දහමත් දැඩි අනතුරකට පත් වෙනවා. යුධ කෝලහල අස්සෙ යන්තම් පණ ගැටගහ ගන්න මිනිස්සුන්ට ගැඹුරු ධර්ම කරුණු ගැන වෙහෙසෙන්න වෙලාවක් නැති වෙනවා.

ගෙංපෙයි යුද්ධය පටන් ගන්න අවුරුදු පහකට කලින් අළුත් බෞද්ධ සම්ප්‍රදායක් ජපානයට එනවා චීනයේ ඉඳලා. මේක හැඳින්වෙන්නෙ ජෝදෝ හෙවත් "ශුද්ධභූමි" බුද්ධාගම කියල​.

මේ බෞද්ධ සම්ප්‍රදාය මුල් තැන දෙන්නෙ ශ්‍රද්ධාවට​. මේ සම්ප්‍රදායේ ඉගැන්වීම් වලට අනුව ගෞතම බුදුරජාණන් වහන්සේ ඇතුළු සියළුම බුදුවරු බුද්ධත්වය ලබද්දි "ශුද්ධභූමියක්" (ශුඛවතී​) නිර්මානය කරනවා. මේ ශුද්ධභූමිය ලෞකික සංඥා වලින් සහ කර්ම ඵල වලින් නිදහස් වුන තැනක්. හරියට අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් වගේ.

මේ ශුද්ධභූමියේදී අපිට ලෞකික බාධා කිරීම් සහ කර්මඵල වලින් නිදහස් වෙලා නිර්වානාවබෝධය කරා පමණක් සිත යොමු කරන්න පුළුවන්. ඒ සඳහා කලින් ශුද්ධ භූමියට ඇතුල් වෙලා නිර්වානාවබෝධ කළ බෝධිසත්වයන් උදව් කරනවා. මේ නිසා කෙටි කලකින් නිවන් දැකීම පුළුවන් වෙනවා.

අපිට ඇතුල් වෙන්න ලේසිම ශුද්ධභූමිය හෙවත් ශුඛවතී තියෙන්නෙ ගෞතම බුදුන්ට කලින් පහලවුන අමිතාභ බුදුරජාණන් වහන්සේ ට කියල ශුද්ධභූමි සම්ප්‍රදායේ ඉගැන්වෙනවා. ඒ නිසා ඔවුන් අමිතාභ බුදුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා.

ශුද්ධභූමි බෞද්ධ සම්ප්‍රදායේ පදනම වෙන්නෙ අමිතාභ සූත්‍රය​, සුඛවතීව්‍යූහ සූත්‍රය සහ අමිතයුර්ධ්‍යාන සූත්‍රය කියන මහායාන සූත්‍ර තුන​.

මෙහිදී මෙලොවදීම ධර්මාවබෝධය ලැබීමට වඩා තැන දෙන්නෙ ශුද්ධභූමියට ඇතුල් වීමට​. ශුද්ධ භූමියට ඇතුල් වෙන්න අවශ්‍යය වෙන්නෙ ශ්‍රද්ධාව​.

ගෙංපයි යුද්ධයට අහුවෙලා පැරණි බෞද්ධ සම්ප්‍රදායන් වේගයෙන් විනාශ වෙද්දි ජෝදෝ සම්ප්‍රදාය වේගයෙන් මිනිස්සු අතර පැතිරෙනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව අතර​. මේකට ප්‍රධාන හේතුව වෙන්නෙ මනුෂ්‍යය ලෝකය පිරිහී ගියත් අපිට ධර්මාවබෝධය කරන්න ක්‍රමයක් තියෙනවා කියන අදහස ජෝදෝ සම්ප්‍රදායේ තිබීම​.

ජෝදෝ සම්ප්‍රදායේ ම අනු සම්ප්‍රදායක් වන ජෝදෝ ෂින් සම්ප්‍රදාය මේක තවත් පියවරක් ඉදිරියට ගෙනියනවා. ඒ සම්‍ප්‍රදායේ පුරෝගාමී භික්‍ෂුව වුන ෂිංරන් හිමියන් යෝජනා කරනවා බෞද්ධ භික්‍ෂූන්ට මස් කෑම​, මත්පැන පානය සහ විවාහ වීම කැපයි කියලා.
එතුමන් ගේ තර්කය වෙන්නෙ අමිතාභ බුදුන් පිළිබඳ ශ්‍රද්ධාවෙන් පමණක් ශුද්ධ භූමියට ඇතුල් විය හැකි නිසා මෙලොවදී දැඩි ශීලයක් රැකීම අනවශ්‍යය බවයි.

ෂිංරන් හිමියන් මේ කරන්නෙ සම්‍යක් ප්‍රයෝගයක්. යුද්ධය විසින් පන්සල් විනාශ වෙලා භික්‍ෂූන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් අඩු වුන සමයක විනය නීති ලිහිල් කිරීමෙන් භික්‍ෂූ සසුන නොනැසී පවත්වා ගැනීම තමයි උන් වහන්සේගේ අරමුණ වෙන්නෙ.

ඒ සම්‍යක් ප්‍රයෝගය සාර්ථක වෙනවා. අද ජපානයේ මුල් බෞද්ධ සම්ප්‍රදායන් තියෙන්නෙ ඉතා සුළු වශයෙන්. නමුත් ජෝදෝ සම්ප්‍රදාය විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. ඉනුත් වඩාම ජනප්‍රිය ජෝදෝ ෂින් සම්ප්‍රදාය​.

ජපන් බෞද්ධයෙන් ගෙන් 45% ක්ම අද අනුගමනය කරන්නෙ ජෝදෝ සම්ප්‍රදාය​.

දුෂ්කර සමයකදී බුදු සසුන නොනැසී පවත්වාගන්න උපකාරී වුනත්, දීර්ඝ කාලීනව ජෝදෝ සම්ප්‍රදාය නිසා ජපන් බුදු සමයට වුනේ හානියක් කියල හිතන්නත් පුළුවන්. අද ජපානයේ බුදු දහමේ පදනම වෙන්නෙ ශ්‍රද්ධාව​. ශීලය සහ ප්‍රඥාවට එහි ඇති තැන අල්පයි.

ලංකාවේත් යුද්ධ නිසා බුදු සමය මේ වගේ පරිහානියට ලක් වුන අවස්‍ථා වලදී භික්‍ෂූන් වහන්සේලා මේ වගේ සම්‍යක් ප්‍රයෝග යොදන්න ඇති. නමුත් උන්වහන්සේලා බුදු සමයේ මූලික සංකල්ප වලට හානියක් වෙන්න නොදී ආරක්‍ෂා කර ගැනීම ගැන අපි උන්වහන්සේලාට පින් දෙන්න ඕනෙ.

මාතලේ අළුවිහාරය කියන්නෙ අපේ රටේ වැදගත්ම පින්බිම වෙන්නෙ ඒ නිසා.

Sunday, May 14, 2017

ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම​



1413 දි ජපානයේ පාලකයා හෙවත් ෂෝගුන් වරයා වෙන්නෙ අෂිකගා යොෂිමෝචි (ෂෝගුන් කියන්නෙ බලවත් සමුරායි වරයෙක්).

යොෂිමෝචි බුද්ධාගමේ හොඳ අනුග්‍රාහකයෙක්. විශේෂයෙන්ම ඔහු සෙන් බුදු දහමට දැඩි කැමැත්තක් දැක්වුවා.

සෙන් සම්ප්‍රදායේ සංකල්පයක් තියෙනවා "කෝඅන්" කියල​. කෝඅන් කියන්නෙ දාර්ශනික ප්‍රශ්න​. උදාහරනයකට "තනි අතින් අත්පුඩි ගහද්දි සද්දෙ මොකද්ද​?". එහෙම නැත්තං "කවුරුත් නැති කැලේක ගහක් කඩාගෙන වැටුනොත් ඒකෙන් සද්දයක් එයිද​?"

බටහිර සාහිත්‍යයේ සම්ප්‍රදායක් තියෙනවා "විශිෂ්ඨ සම්ප්‍රප්පලාප (brilliant nonsense)" කියල​. ලුවිස් කැරොල් ගේ ඇලිස් ගේ විශ්මලන්තය ලියල තියෙන්නෙ මේ සම්ප්‍රදායෙන්. ඒ කතාවල කිසි තේරුමක් නෑ. නමුත් සාහිත්‍යය රසයෙන් උසස්.

බොහෝ බටහිරයන් මේ කෝඅන් සලකන්නෙත් විශිෂ්ඨ සම්ප්‍රප්පලාප විදිහට​. නමුත් ඒව සම්ප්‍රප්පලාප නෙවෙයි. ඒවයින් සාකච්ඡා කෙරෙන්නෙ බුදු දහමේ ඉතා ගැඹුරු සංකල්ප​.

යොෂිමෝචිත් ඒ කාලෙ ජපානයේ හිටපු ප්‍රසිද්ධ සෙන් හාමුදුරුවරුන් ගෙන් කෝඅන් ප්‍රශ්නයක් ඇහුවා.

"ලබු කට්ටකින් අංකුට්ටෙක් අල්ලන්නෙ කොහොමද​?"

අංකුට්ටා (catfish) කියන්නෙ බොහොම ලිස්සන සුළු ඇඟක් තියෙන වේගයෙන් වෙට්ටු දාල පීනන්න පුළුවන් මාළුවෙක්. ලබු කට්ටක් කියන්නෙත් බොහොම සිනිඳු මතුපිටක් තියෙන දෙයක්. ඒ වගේම ලබු කට්ටෙ කට අංකුට්ටව ඇතුලට දාගන්න බැරි තරම් පොඩියි.

ලබු කට්ටක්

අංකුට්ටෙක්

ඉතින් ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලනව කියන්නෙ කරන්න අමාරු වැඩක්. කරන්න බැරි වැඩක් කියලත් කියන්න පුළුවන්.

හාමුදුරුවරුත් එකතු වෙලා මේකට උත්තරයක් හැදුව​. ඒ උත්තරය සමන්විත වුනේ චිත්‍රයක් සහ කවි තිස් එකකින්. ප්‍රසිද්ධ සෙන් භික්‍ෂූන් තිස් එක් නමක් කවිය බැගින් ලියල තමයි කවි තිස් එක සමන්විත වෙන්නෙ.

චිත්‍රය ඇන්දේ ඒ කාලේ ඉතාමත් ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී භික්‍ෂුවක් වුන "ජොසෙත්සු" හිමි නම​.

යොෂිමෝචි මේ ප්‍රශ්න ඇහුවෙ හාමුදුරුවරුන්ට කොලොප්පමක් කරන්නත් එක්ක​. මේක තේරුම් ගත්ත හාමුදුරුවරු තමන් ගෙ උත්තරෙට​ත් හාස්‍යය රසය නොමදව එක් කරා.

සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන පරිසරයක ගලා ගෙන යන පොඩි දොල පාරක්. ඒක ගස් ගල්  අතරින් වංගු දාගෙන ගලන්නෙ. දොල අයිනෙ පොඩි උණ පඳුරක් තියෙනවා. දොලේ පැත්තක් ජලජ තණකොළ පඳුරු වලින් වැහිල​. ඈතින් මීදුම අතරින් කඳු ගැට කීපයක් මුදුන් පේනවා.

දොළේ එක තැනක බොහොම ප්‍රීතියෙන් වරල් විදහාගෙන පීනන අංකුට්ටෙක් ඉන්නවා.

දොළ අයිනෙ ලබු කට්ටක් අතේ තියාගෙන ඉන්න මනුස්සයෙක් අංකුට්ටව අල්ලන්න උත්සහ කරනවා. ඔහු ඇඳල ඉන්නෙ වැරහැලි. මූනේ දැලි රැවුළු වැවිලා.

මුළු සිතුවමේම තියෙන්නෙ ගූඪ බවක්. මුළු පරිසරයම වහගෙන ඉන්න මීදුමෙන් ඒ ගූඪ බව තියුණු කරනවා. ඒ වගේම සිතුවමෙන් වැඩි හරියක් හිස් අවකාශය​. මීදුමෙන් සියල්ල වැහිල. සිතුවමෙන් සන්නිවේදනය කෙරෙන්නෙ අඳුරු, නිසල, පාළු, ශීතල ගතියක්.

සිතුවම ඇඳල තියෙන්නෙ අළු පාටෙ විවිධ ප්‍රභේද වලින්. දොල පාර​, අංකුට්ටා, උණ පඳුර වගේම මිනිහා ගෙ ඇඳුමත් අළු පාටයි. ඒකෙන් මීදුමෙන් වැහුන සොබාවය කදිමට නිරූපනය වෙනවා.

නමුත් මේ සියල්ලටම වෙනස් විදිහකට ලබු කට්ට විතරක් රන් වන් පැහැයෙන් වර්ණ නංවලා.

ඒ වගේම මුළු සිතුවමේම තියෙන්නෙ බොහොම මට සිලුටු වක්‍ර​. දොල පාර​, උණ පඳුර​, දිය රැලි, අංකුට්ටා යන මේ සියල්ල ඇඳල තියෙන්නෙ බොහොම මටසිළුටු වක්‍ර රේඛා වලින්.

නමුත් මනුස්සයා ගෙ ඉරියව් බොහොම ඍජු, දැඩි සොබාවයක් ගන්නවා. ඔහුගේ අත් දෙක වගේම කකුල් දෙකත් ඉද්ද ගැහුව වගේ කෙලින්. ඇත්තෙන්ම ඒක සොබාවික ඉරියව්වක් නෙවෙයි.

සම්පූර්න සිතුවම කවි පන්තියත් සමඟ​
කවි ටික ලියල තියෙන්නෙ බොහොම හාස්‍යෝත්පාදක විදිහට​. නමුත් කවි පන්තියේ හැඳින්වීම පටන් ගන්නෙ "යොෂිමෝචි අපිට දුන්නු තේමාව බොහොම ගැඹුරු එකක්" කියල​.

ඒ වගේම, එක එක කවිය ලියල තියෙන්නෙ එක එක හිමි නම වුනත්, කවි එකිනෙකට සම්බන්ධයි. කවියක් පටන් ගන්නෙ කලින් කවිය ඉවර වුන තැනෙන්. ඒ නිසා කවි සියල්ලම එක වැලට තියෙන්නෙ.

ඒ කවි කීපයක තේරුම මේ වගේ,

"ලබු කට්ටක් කියන්නෙ අංකුට්ටෙක් අල්ලන්න හොඳ ක්‍රමයක්. හැබැයි ලබු කට්ටෙ තෙල් ගෑවොත් ඒක ඊටත් වඩා හොඳ වේවි"

"ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලුවොත් අපිට පුළුවන් මාළු හොද්දක් හදන්න​. හොදිත් එක්ක කන්න බත් නැත්තං වැලි ටිකක් තම්බල ගන්න පුළුවන්"

කවි පන්තිය ඉවර වෙන්නෙ "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල.



මේ කවි වල​, සිතුවමේ තේරුම මොකද්ද​?

අපිට පුළුවන් මේක පෘථග්ජන සොබාවය ගැන කියවෙනව කියල හිතන්න​.

සිතුවමේ නිරූපනය කෙරන අඳුරු, ශීතල​, ගූඪ, අළු පාට, මීදුමෙන් වැහුන පරිසරය කියන්නෙ අපැහැදිලි සංසාරය ද​? රත්තරන් පාටෙන් දිළිසෙන ලබු කට්ට ලෞකික සැපය ද? බොහොම ලස්සන වුනත්, ඇතුල හිස්. වරල් විදහාගෙන ප්‍රීතියෙන් පීනන අංකුට්ටා කියන්නෙ සිතේ සතුට ද​? අපි කොච්චර උත්සහ කරත් ලබු කට්ටෙන් අංකුට්ටා අල්ලන්න බෑ. කවි පන්තියෙනුත් ඒ උත්සහය උපහාසයට ලක් කරනවා. ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න පුළුවන් නං, වැලි වලින් බත් උයන්නත් පුළුවන්!

සිතුවමේ සොබාවික වස්තූන් ඔක්කොම ඇඳල තියෙන්නෙ සුමට වක්‍ර වලින්. ඒත් මනුස්සයා ඍජුයි, දැඩියි. ඒ ලෞකික සැපය පසු පස්සෙ හඹා යාම ප්‍රකෘතියෙන් බැහැර විකෘතියක් නිසාද​? මනුස්සය වැරහැලි ඇඳල දැලි රැවුළු වවල ඉන්නෙ මේ ලෞකික සැපය පසුපස හඹා යාම නිසා ඔහු පිරිහීමට ලක් වෙලා නිසාද​? 

එහෙම නැත්තං මේ කියන්නෙ විමුක්ති මාර්ගය ගැන වෙන්න පුළුවන්.

අළු පාට, අඳුරු, අපැහැදිලි, ගූඪ සංසාරය මැද  රන් වන් පැහැයෙන් පැහැදිලිව කැපී පෙනෙන ලබු කට්ට කියන්නෙ විමුක්ති මාර්ගය ද​? ලබු කට්ට ඇතුලත මොකවත් නෑ වගේ විමුක්ති මාර්ගයට පිවිසෙන්න නම් අපි සියල්ල අතහරින්න ඕනෙද​?

බැලූ බැල්මට සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවමින් විමුක්තිය සෙවීම ලබු කට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම වගේ කරන්න බැරි වැඩක් වගේ පෙනුනත්, ඒක ඇත්තෙන්ම කරන්න පුළුවන් ද​? කවි පන්තිය "ලබු කට්ටෙන් අංකුට්ටෙක් අල්ලන්න ක්‍රම සිය ගානක් තියෙනවා" කියල ඉවර කරල තියෙන්නෙ ඒ නිසාද​?

ලබු කට්ටෙ තෙල් ගාන එකෙන් බැලූ බැල්මට වැඩේ තවත් අමාරු වෙනව වගේ පෙනුනත් ඇත්තෙන්ම ඒකෙන් වැඩේ තවත් ලේසි වෙනවද​? අපි වඩ වඩාත් ලෞකික සැපයන් අතහැරලා දුෂ්කර අල්පේච්ඡ දිවියක් අනුගමනය කරන්න ඕනෙද​? කොහොම හරි අංකුට්ටව අල්ල ගත්තොත් වැලි වලින් බත් උයනව වගේ අභව්‍යය වැඩ වගේ පේන දේවලුත් කරන්න පුළුවන් යථාර්තයන් වෙනවද​? අපිට මුළු සංසාරයම පාලනය කරන්න පුළුවන් වෙනවද​?

වැරහැලි ඇඳල දැලි රැවුළු වවාගෙන ඉන්නෙ සියල්ල අතහැරල අපිස් දිවියක් ගෙවන සෙන් භික්‍ෂුවක් ද​? පරිසරයේ සුමට වක්‍ර වලට වෙනස් විදිහට ඍජු දැඩි ඉරියව්වක් කියන්නෙ ඔහු පුරන දුෂ්කර වෘතයන් ද​?

එහෙමත් නැත්තම් මේ සියල්ල හුදු උත්ප්‍රාසයක් විතරක් වෙන්න පුළුවන්. කවි වල තියෙන්නෙ උසස් සාහිත්‍යය රසයක් විතරක් වෙන්න පුළුවන්. සිතුවමේ තියෙන්නෙ මීදුමෙන් වැහුන නිසල පරිසරයේ තියෙන ගූඪ බව විතරක් වෙන්න පුළුවන්.

මේ සියල්ලෙ තේරුම මොක වුනත්, මේ සිතුවම සැලකෙන්නෙ ජපන් ඉතිහාසයේ විශිෂ්ඨතම කලා නිර්මානයක් විදිහට​. ලබුකට්ටෙන් අංකුට්ටෙක් ඇල්ලීම කියන එක ජපන් සාහිත්‍යයේ සහ චිත්‍ර කලාවේ නිතර යෙදෙන සංකල්පයක් වෙලා තියෙනවා.

ලබුකට්ටෙන් අංකුට්ටන් අල්ල හැටි නිරූපනය කෙරෙන චිත්‍ර ගණනාවක් පසු කාලීනව ඇඳල තියෙනවා (මේ පසු කාලීන චිත්‍ර වල ශෛලිය සහ මුල් චිත්‍රයේ ශෛලිය අතර වෙනස නිරීක්‍ෂනය කරන්න​).


ඒ වගේම අංකුට්ට ට කියන ජපන් වචනය වන "නමසු" අමාරු, නමුත් කළ යුතු වැඩක් හඳුන්වන්න යොදාගන්නවා. උදාහරණයකට 2011 ඇති වුන විශාල භූමි කම්පාවකින් පසුව නැවත ගොඩනැංවීමේ ව්‍යාපාරය හඳුන්වලා තියෙන්නෙ "නමසු මෙහෙයුම" කියල​.

Tuesday, September 13, 2016

නිරාගමික තුමා සහ සොහොන​



උදේ පාන්දරින්ම අවදි වෙච්ච නිරාගමික තුමා තාත්තගෙ සොහොන පැත්තෙ ගියේ මලක් තියල ඉටි පන්දමක් පත්තු කරලා එන්න.

ඈත තියද්දිම දැක්ක කවුදෝ සෙට් එකක් සොහොන ළඟ ඉන්නවා. ළං වෙලා බැළුවම තමයි සීන් එක දැක්කෙ. කොළු ගැටව් තුන් දෙනෙක් උදේ පාන්දරම සොහොන උඩ "පර-පර" ගාල රෙනවා.

එකෙක් සොහොනෙ කකුල් දාන පැත්තෙ ඉඳගෙන බීඩි කූරක් එහෙම අදින ගමන් ආතල් එකේ සින්දුවකුත් මුමුණ මුමුණ රෙනවා. තව එකෙක් සොහොන ඉස්මත්තෙ තියෙන කුරුසෙ දෙබල උඩ වාඩි වෙලා සොහොනෙ මූණ තියෙන හරියට ගූ වැටෙන විදිහට රෙනවා. අනිත් එකා රීල ඉවර වෙලා නැගිටලා සොහොන් කොතේ නම තියෙන හරිය තෙමෙන්න හුජ්ජ කරනවා.

නිරාගමික තුමා යක්‍ෂාවේස වුනා.

"තොපි මොකද යකෝ ඔය කරන්නෙ? තොපිට දෙයියන් ගෙ හාල් කැවිලද?"

කොළු ගැටව් තුන් දෙනා ගැස්සිල ගියා. අර බීඩියක් ගහ ගහ හිටපු එකා ඉඳගෙන ඉන්න ගමන් ම පොඩි හිනාවක් එහෙම දාල "උදේම හන්දියෙ කඩෙන් බිත්තර කොත්තු තුනක් කෑව අයියා. බඩ පොඩ්ඩක් අවුල් වගේ. ආයෙ ගෙදර දුවන්න වෙලාවක් නෑ. එහෙම්මම මෙතන වැඩේට සෙට් වුනා. වටේටම කැලේනෙ අයියා, මෙතන තමයි පොඩ්ඩක් එළිමහන තියෙන්නෙ. කැලේ රෙන්න ගිහිං පුකට කූඩැල්ලෙක් එහෙම ගියොත් සුනාමි කේස් නෙ" කිව්වා.

"යකෝ මේ මගේ තාත්ත ගෙ සොහොන"

"ඉතිං අපිට පුකෙයි? ඒ ඔයාගෙ තාත්ත වුනාට අපේ තාත්ත නෙවෙයි නෙ. අපිට පොර නිකම්ම නිකං ඕල්ඩ් මෑන්ස් කෙනෙක් විතරයි"

"යකුනේ තොපි ඔය රෙන්නෙ මගේ තාත්ත ගෙ මිනිය උඩට"

"ඉතින් බොස් තාත්තට අවුලක් නෑනෙ අපි රිව්ව කියල. පොර දැන් නෑනෙ? අපි පොර ජීවත් වෙල ඉද්දි පොර ගෙ කටට රෙන්න ආවෙ නෑනෙ?"

"ඒ වුනාට ඔතන මගේ තාත්ත....."

"පිස්සුද දොරේ? ඔතන ඇති තාත්තෙක් නෑ. ඔතන තියෙන්නෙ ඇටකටු ටිකක් විතරයි"

දෙබල උඩ වාඩි වෙලා රිරී හිටපු එකා දෙබලෙන් බැහැල නිරාගමික තුමා ළඟට ආව.

"නිකං මෙතන පිස්සු කෙලින්න එපා ලොක්කා. ඔයා නිකං මෙතන ඇටකටු ටිකක් වල දාගෙන ඒවට පහන් පත්තු කරනවා. ඒ වගේද අපේ සරමෙ රෙවුන නං? මේක මානුෂීය අවශ්‍යතාවයක්"

"අනිත් එක ඔයාට ෂුවර් ද ඔය මෙතන වල දාල ඉන්නෙ ඔයාගෙම තාත්තද කියල?" සොහොන් කොතට හුජ්ජ කර කර හිටපු එකා දෙපාරක් ගස්සල ඇතුළට දාගන්න ගමන් ඇහුව. "කොහෙද ඉතින් ඔයා ඕකට ඩී.එන්.ඒ. ටෙස්ට් එකක්වත් කරන්න දෙන්නෙ නෑනෙ"

"වල් පරයෝ මගේ තාත්තට අපහාස කරන්න මම තොපිට ඉඩ තියන්නෙ නෑ"

"ලොක්කා නිකං ගෝත්‍රික ටෝක් දෙන්න එපා. ඒ ඔයාගෙ තාත්ට වුනාත අපේ තාත්ත නෙවෙයි. ඔයාගෙ ගරු කිරීම ඔයා තියාගන්න. ඔයා කියන්නෙ අපිට සරමෙ රෙන්න කියලද?"

"ඒ වුනාට *ත්තිගෙ පුතෝ මේක මගේ ඉඩම. තොපි කොහොමද මේක අස්සෙ රෙන්නෙ?"

"පිස්සුද ඕයි මේක බෙදා වෙන් කල පස් ගොඩක්"