ජපානයේ ඉතිහාසය යුග හතරකට බෙදන්න පුළුවන්. මේ යුග නැවතත් කාල පරිච්ඡේද වලට බෙදන්න පුළුවන්. මේ බෙදීම් වලට පාදක වෙන්නෙ දේශපාලන, සමාජයීය සහ ආර්ථික කරුණු.
ජපන් ඉතිහාසයේ යුගයන් බෙදෙන්නෙ මේ විදිහට
1. ප්‍රාග් ඓතිහාසික යුගය (ක්‍රි.පූ. 30,000 - ක්‍රි.ව. 538)
2. පුරාතන යුගය (538 - 1185)
3. මධ්‍යතන යුගය (1185 - 1868)
4. නූතන යුගය (1868 - වර්තමානය)
ප්‍රාග් ඓතිහාසික යුගය
ප්‍රාග් ඓතිහාසික යුගය විදිහට ගැනෙන්නේ ලිඛිත ඉතිහාසයට පෙර යුගය
ප්‍රාග් ඓතිහාසික යුගය කාල පරිච්ඡේද හතරකට බෙදනවා.
1. පූර්ව ශිලා සමය (ක්‍රි.පූ. 30,000 - ක්‍රි.පූ.14,000)
ජපානයේ මිනිස් වාසයන් ගැන පැරණිම සාක්‍ෂි ලැබෙන්නෙ ක්‍රි.පූ. 30,000 තරම් ඈතදී. මේ කාලයේදී ජපානය තිබුනේ අද වගේ දූපත් ගණනාවක් විදිහට නෙවෙයි. ජපානය උතුරින් ආසියානු මහද්වීපයට සම්බන්ධ වෙලා තිබුනා. ඒ වගේම සියළුම දූපත් එක තනි ගොඩබිමක් විදිහට තමයි තිබිල තියෙන්නෙ. මේ කාලයේදී සයිබීරියාවේ ඉඳල ජපානයට සංක්‍රමන සිද්ධ වෙලා තියෙනවා.
මේ සංක්‍රමනිකයන් ගල් ආයුධ වලින් දඩයම් කරල කළ අතර, ලී සහ ඉපල් වලින් හදපු සරළ නිවහන් වල ජීවත් වෙලා තියෙනවා.
2. ජෝමොං සමය (ක්‍රි.පූ. 14,000 - ක්‍රි.පූ. 1000)
ජෝමොං සමයේදී ජපන් ඉතිහාසයේ පළමු වරට දියුණු සංස්කෘතියක ලක්‍ෂන සහ කර්මාන්ත වල ආරම්භය සටහන් වෙනවා. මුල්ම මැටි භාජන සහ මැටි පිළිම බිහිවෙන්නේ මේ සමයේදී. ඒ වගේම මුල් වරට ලී වලින් හදපු අර්ධ ස්ථිර වාසස්ථාන ඉඳි වෙන්නෙත් මේ සමයේදී.
මේ සමයේදී විශාල ජනගහණ වර්ධනයක් ඇතිවෙලා තියෙනවා. නමුත් ක්‍රි.පූ. 1500 දී පමණ දේශගුණය ශීත වීමත් සමඟම නැවතත් ජනගහණය අඩු වෙලා තියෙනවා.
3. යයොයි සමය (ක්‍රි.පූ. 1000 - ක්‍රි.ව. 300)
ජෝමොං සමයේ අවසානයේදී ජනගහණය අඩු වීමත් එක්කම, කොරියානු අර්ධද්වීපයේ ඉඳලා නව සංක්‍රමන රැල්ලක් ඇති වෙනවා. මේ සංක්‍රමනිකයන් මුලින්ම එන්නේ ධීවරයන් විදිහට. පසුව ඔවුන් දකුණු ජපානයේ පදිංචි වෙලා ක්‍රමයෙන් උතුරට සංක්‍රමනය වෙනවා. මේ නව සංක්‍රමනිකයන් තාක්‍ෂනයෙන් වඩා දියුණුයි. ඔවුන් කෘෂිකාර්මික ජීවන රටාවක සහ ලෝකඩ කර්මාන්තයේ නිරතවුනා. ඒ වගේම ස්ථිර වාසස්ථාන ඉඳි කළා.
මේ වඩා දියුණු නව සංක්‍රමනිකයන් ජොමොං වරු එක්ක මිශ්‍රවුනා. සමහර ජොමොං වරු උතුරට පසු බැස්සා. ක්‍රි.ව. 300 පමණ වන විට ජපානයේ ජනගහණය සම්පූර්ණයෙන්ම වගේ යයොයි-ජොමොං මිශ්‍රනයකින් සමන්විත වුනා. පිරිසිදු ජොමොං වරු ඉතුරු වුනේ උතුරු ජපානයේ ඈත ප්‍රදේශ වල විතරයි. වර්තමාන ජපන් ජාතිකයන් පැවත එන්නේ මේ යයොයි-ජොමොං මිශ්‍රනයෙන්. පිරිසිදු ජොමොං වරුන්ගෙන් පැවත එන අය අද "අයිනු" නමින් හැඳින්වෙනවා.
යයොයි වරු කුඩා ස්වාධීන රාජ්‍යයන් රැසක් ජපානය පුරා ඇති කළා. ක්‍රි.ව. 240 දී පමණ එක් ප්‍රභල රාජ්‍යයක් කුඩා රාජ්‍යයන් රැසක් යටත් කරමින් විශාල රාජධාණියක් බිහි කළා. මේ රාජධාණිය හැඳින්වුනේ "යමතෝ" නමින්.
4. කෝෆුන් සමය (300 - 538)
යමතෝ රාජධාණියේ පාලන සමය හැඳින්වෙන්නේ කෝෆුන් සමය කියලා. මේ සමයේ ප්‍රධාන ලක්‍ෂනය වෙන්නේ පාලකයන් සහ ප්‍රභූන් වෙනුවෙන් ඉඳි කළ විශාල සොහොන් ගැබ්.
ෂින්ටෝ ආගම බිහිවෙන්නේ මේ සමයේදී.
ජපානයේ මුල් වරට මධ්‍යගත පාලනයක් ඇති වෙන්නේ කෝෆුන් සමයේදී. යමතෝ රාජධාණියට දකුණු ජපානය සම්පූර්ණයෙන්ම අයිති වුනා. උතුරු ජපානය කුඩා ස්වාධීන රාජ්‍යයන් රැසකින් සමන්විත වුනා.
ජපානය චීනයත් එක්ක විශාල වශයෙන් සබඳකම් ඇති කරගත්තා. චීන සංස්කෘතියේ ආභාෂය මුල් වරට ජපානයට තදින්ම දැනුනේ කෝෆුන් සමයේදී.
පුරාතන යුගය
පුරාතන යුගය විදිහට හැඳින්වෙන්නේ ජපානයේ අධිරාජ්‍යයෙක් යටතේ මධ්‍යගත පාලනයක් පැවතුනු කාලය.
පුරාතන යුගය කාල පරිච්ඡේද තුනකට බෙදෙනවා.
1. අසුකා සමය (538 - 710)
අසුකා සමයේ වැදගත් සිද්ධීන් තුනක් වෙනවා. ඒ, චීනයේ ඉඳලා බුදු දහම පැමිණීම, ජපානයේ වර්තමාන නම වන "නිහොං" හෙවත් "හිරු උදාවන රාජ්‍යය" ජපානය වෙනුවෙන් පාවිච්චි කිරීම ඇරඹීම සහ ලිඛිත ඉතිහාස වාර්තා මුල් වරට බිහි වීම.
අද අපි දකින ජපාන සංස්කෘතිය මුල් වරට බිහි වෙන්න පටන් ගන්නේ අසුකා සමයේදී.
අසුකා සමයේදී මධ්‍යගත රජය වඩාත් ශක්තිමත් වුන අතර, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ චීන ආභාෂය ලැබූ පරිපාලන ක්‍රමයක් ඇති වුනා.
2. නරා සමය (710 - 794)
නරා සමය පටන් ගන්නේ අධිරාජ්‍යයා විසින් නරා හි අළුත් අගනුවරක් ඉඳි කිරීමත් සමඟ.
නරා සමයේ ජපන් සාහිත්‍යයේ සහ කලා ශිල්ප වල විශාල දියුණුවක් ඇති වුනා. ඒ වගේම බුදු දහම ජපානයේ ප්‍රභූ පැලැන්තියේ ආගම විදිහට ස්ථාපනය වුනා. බුදු දහමත් එක්ක චීනයේ ඉඳලා විශාල සංස්කෘතික රැල්ලක් ජපානයට ගලා ආවා.
ඒත් සොබාවික ව්‍යසන සහ වසූරිය වසංගත දෙකකින් ජපානයේ ජනගහණය අඩක් පමන මිය ගියා.
3. හේයන් සමය (794 - 1185)
හේයන් සමය ඇරඹෙන්නේ අගනුවර නරා සිට කියෝතෝ නගරයට මාරු වීමත් සමඟම.
හේයන් සමයේදී මුළු ජපානයම අධිරාජ්‍යයා ගේ බලයට නතු වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වංශවතුන් බලවත් වීම මේ සමයේ වැදගත් සිදුවීමක්. මේ ප්‍රාදේශීය බලවතුන් විශාල ඉඩම් හිමියන් බවට පත්වීමත් එක්කම පුද්ගලික හමුදාවන් ඇති කරගත්තා. මේ තමයි සමුරායි වරුන් ගේ ආරම්භය. විශේෂයෙන්ම ෆුජිවරා, තයිරා සහ මිනමොතෝ වංශ තුන මේ සමයේදී අධිරාජ්‍යයා තරම්ම බලවත් වුනා.
හේයයේ සමය කලා ශිල්ප අතින් විශාල දියුණුවක් ඇති වුනා. ජපන් සංස්කෘතියේ ස්වර්ණමය යුගය විදිහට සැලකෙන්නේ හේයන් සමය. ඒ වගේම ජපන් සංස්කෘතිය චීන ආභාෂයෙන් මිදිලා ස්වාධීනව වර්ධනය වෙන්න පටන් ගන්නේ හේයන් සමයේදී. නරා සමයේ අඩු වුනු ජනගහණය නැවත වර්ධනය වෙන්න පටන් ගන්නවා.
මධ්‍යතන යුගය
මධ්‍යතන යුගය විදිහට හැඳින්වෙන්නේ අධිරාජ්‍යයාගේ බලය පිරිහිලා ජපානය බලවත් සමුරායි වරු විසින් පාලනය කළ යුගය.
මධ්‍යතන යුගය කාල පරිච්ඡේද හතරකට බෙදෙනවා.
1. කමකුරා සමය (1185 - 1333)
හේයන් සමය අවසානයේදී මිනමොතෝ, තයිරා සහ ෆුජිවරා වංශ අතර විශාල යුද්ධයක් ඇති වෙනවා. මේ යුද්ධය හැඳින්වෙන්නේ "ගෙංපෙයි යුද්ධය" කියලා. මේ යුද්ධයෙන් ජය ලබන මිනමොතෝ වාංශික සමුරායි වරු ජපානයේ බලය අත් කරගන්නවා. අධිරාජ්‍යයා ඔවුන් ගේ රූකඩයක් බවට පත් වෙනවා.
මිනොමොතෝ වාංශික සමුරායි වරු "ෂෝගුන්" යන තනතුරට පත් වෙලා අධිරාජ්‍යයා වෙනුවට ජපානය පාලනය කරනවා. අධිරාජ්‍යයාට තියෙන්නෙ නාමමාත්‍රික බලයක් විතරයි. මිනමොතෝ වංශයේ අගනුවර තියෙන්නේ කමකුරා නගරයේ.
කමකුරා සමයේදී ජපානයේ විශාල තාක්‍ෂනික දියුණුවක් ඇති වෙනවා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තයට මේ දියුණුව තදින් බලපානවා. යකඩ ආයුධ, පොහොර භාවිතය සහ මිශ්‍ර බෝග වගාව නිසා කෘෂිකර්මාන්තය විශාල වශයෙන් දියුණු වෙනවා. ගොවීන් ගේ ජීවන තත්වනය ඉහළ යනවා. ජපානය ආර්ථික වශයෙන් සමෘධිමත් වෙනවා.
ඒ එක්කම මෙතෙක් ප්‍රභූන් ගේ ආගමක් විදිහට පැවතුනු බුදු දහම සාමාන්‍යය ජනතාව අතර පැතිරෙනවා. ජපානයේ ප්‍රධාන ආගම විදිහට බුදු දහම ස්ථාපිත වෙනවා.
2. මුරොමචි සමය (1333 - 1467)
1333 දී මිනමොතෝ වාංශික සමුරායි වරු බලයෙන් පහ කරලා අෂිකගා වාංශික සමුරායි වරු ෂෝගුන් තනතුරට පත් වෙනවා. ඔවුන් තමාගේ අගනුවර පිහිටුවා ගන්නේ කියෝතෝ නගරයේ මුරොමචි ප්‍රදේශයේ.
මුරොමචි සමයේදී ප්‍රාදේශීය සමුරායි වංශවතුන් අතිශයින් බලවත් වෙනවා. "දයිමියෝ" කියල හැඳින්වුනු මේ ප්‍රාදේශීය පාලකයන් ෂෝගුන් වරයාගේ බලය අභිබවා යනවා.
මුරොමචි සමයේදී ජපානයේ තවදුරටත් ආර්ථික සමෘදිමත් භාවය ඇති වෙනවා. චීනය සහ කොරියාව සමඟ වෙළඳ කටයුතු වර්ධනය වෙනවා. ඒ වගේම මෙතෙක් පැවති භාණ්ඩ හුවමාරුව මත රඳා පැවතුනු ආර්ථිකය වෙනුවට මුදල් භාවිතය ඇති වෙනවා. ඒ වගේම කලාශිල්ප වල විශාල දියුණුවක් ඇති වෙනවා. වර්තමාන ජපානයේ ප්‍රචලිත වෙලා තියෙන ගොඩක් කලා ශිල්ප පටන් ගන්නේ මුරොමචි සමයේදී.
3. සෙංගොකු සමය (1467 - 1603)
ෂෝගුන් වරයාගේ බලය පිරිහීමත් එක්කම ප්‍රාදේශීය පාලකයන් හෙවත් දයිමියෝ වරු ස්වාධීනව කටයුතු කරනවා. මේ සමයේදි ජපානයේ මධ්‍යගත පාලනයක් නෑ. ඒ වෙනුවට ස්වාධීන සහ අර්ධ ස්වාධීන රාජ්‍යයන් ගණනාවක් ඇති වෙනවා.
මේ රාජ්‍යයන් බලය වෙනුවෙන් එකිනෙකා සමඟ යුධ වදිනවා. අවුරුදු 100 ක් පමණ තියෙන මේ යුද්ධ වලින් ජපානය සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙනවා. 1573 දී අෂිකගා ෂොගුන් වරු බලයෙන් පහ කෙරෙනවා.
මේ යුධ සමය අවසන් වෙන්නේ 1575 දී ඔදා නොබුනගා සහ ඔහුගේ අනුගාමිකයන් වන තොයොතොමි හිදෙයොෂි සහ තොකුගව ඉඑයාසු ජපානය නැවත එක්සත් කිරීමෙන්. 1603 දී තොකුගව ඉඑයාසු ෂෝගුන් වරයා ලෙස නැවතත් බලයට පත් වීමෙන් සොගොකු සමය අවසන් වෙනවා.
ජපානයට මුලින්ම බටහිර ජාතීන් එන්නේ සෙංගකු සමයේදී. පෘතුගීසින් හරහා ජපානයට මුල් වරට තුවක්කු ලැබෙනවා.
ජපානයට මුලින්ම බටහිර ජාතීන් එන්නේ සෙංගකු සමයේදී. පෘතුගීසින් හරහා ජපානයට මුල් වරට තුවක්කු ලැබෙනවා.
සෙංගොකු සමයේදී ජපානය යුධ ශිල්පය අතින් විශාල දියුණුවක් ලබනවා. ආයුධ සහ සන්නාහ සැදීමේ ශිල්පය එහි උපරිමයට ළඟා වෙනවා. ඒ වගේම තුවක්කු භාවිතය ජපානය පුරා පැතිර යනවා. නමුත් මේ සමයේදී ජපානය ආර්ථික සහ සංස්කෘතික වශයෙන් පරිහානියට ලක් වෙනවා.
4. එදෝ සමය (1603 - 1868)
තොකුගවා ෂොගුන් වරු තමාගේ අගනුවර විදිහට තෝරා ගන්නේ එදෝ (වර්තමාන තෝකියෝ) නගරය. මේ සමයේදී ෂොගුන් වරයා දයිමියෝ වරුන් ගේ බලය යටපත් කිරීමට විශාල උත්සහයක් ගන්නවා. ඒ නිසා ෂෝගුන් වරයා සහ මධ්‍යගත පාලනය නැවතත් ශක්තිමත් වෙනවා.
තොකුගාවා සමයේදී ජපානයට ඉතාමත් සාමකාමී කාලයක් උදාවෙනවා. ඒ හේතුවෙන් නැවතත් ජපානයේ සංස්කෘතික පුබුදුවක් ඇති වෙනවා. නාට්‍යය කලාව, සාහිත්‍යය සහ චිත්‍ර ශිල්පය විශාල දියුණුවක් ලබනවා.
මාර්ග පද්ධතියෙ දියුණුවත් එක්ක ජපානයේ වෙළඳාම වේගයෙන් වර්ධනය වෙනවා. ඒ එක්කම කෘෂිකාර්මික උපක්‍රම වල දියුණුව නිසා ජනගහණයේ විශාල වර්ධනයක් ඇති වෙනවා. වසර 100 ක් ඇතුලත ජපානයේ ජනගහණය දෙගුණ වෙන අතර එදෝ නගරය ලෝකයේ වැඩිම ජනගහණයක් ඇති නගරය බවට පත් වෙනවා.
පෘතුගීසි, ඕලන්ද, ප්‍රංශ සහ බ්‍රිතාන්‍යය වෙළඳ නැව් ජපානයට එනවා. ඒ එක්කම ක්‍රිස්තියානි ආගම දකුණු ජපානයේ ව්‍යාප්ත වෙනවා. 1638 ඇතිවෙන ක්‍රිස්තියානින් ගේ කැරැල්ලකින් පසුව ෂෝගුන් වරයා ක්‍රිස්තියානි ආගම තහනම් කරලා විදේශිකයන්ට ජපානයට එන්නත්, ජපනුන්ට රටින් පිට වෙන්නත් සම්පූර්නයෙන්ම තහනම් කරනවා. මේ හුදෙකලාගත ප්‍රතිපත්තිය එදෝ සමයේ විශේෂ සලකුණක්.
නූතන යුගය
නූතන යුගය වශයෙන් හැඳින්වෙන්නේ නැවතත් ජපානයේ මධ්‍යගත පාලනය ශක්තිමත් වීම සහ ජපානය ලෝකයට විවෘත වීමත්, ලෝක බලවතෙක් ලෙස නැගී සිටීමේ කාලය.
නූතන යුගය කාල පරිච්ඡේද හතරකින් යුක්තයි.
1. මෙයිජි සමය (1868 - 1912)
1853 දී ඇමරිකානු යුධ නැව් ජපානයේ වරායන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරලා බලහත්කාරයෙන් වෙළඳ ගිවිසුම් අත්සන් කරනවා. මේ සිද්ධියෙන් ජපානය වටහා ගන්නවා හුදෙකලාගත ප්‍රතිපත්තිය තවදුරටත් සාර්ථක නොවන බවත්, ජපානයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කරගන්න නම් ජපානය තාක්‍ෂනික වශයෙන් බටහිර ජාතීන් එක්ක කරට කර සිටිය යුතු බවත්.
1868 දී සමුරායි වංශ කීපයක් එකතු වෙලා ෂොගුන් වරයා බලයෙන් පහ කරලා නැවතත් අධිරාජ්‍යයා බලයට පත් කරනවා. ජපානය ජාතික රාජ්‍යයක් බවට පත් වෙනවා.
අධිරාජ්‍යයා සහ ඔහුගේ හිතවත් ප්‍රභූන් ජපානය නවීකරණය කරනවා. සීමිත ඡන්ද බලයෙන් පත් වන පාර්ලිමේන්තුවක් සහ ව්‍යවස්ථාවක් පිහිටුවනවා. සමුරායි වරු පන්තියක් වශයෙන් අහෝසි වෙනවා. ඒ එක්කම බටහිර තාක්‍ෂනය ලබාගෙන ජපානයේ සියළුම අංශ වේගයෙන් නවීකරණය කෙරෙනවා.
මේ කාලයේදී ජපානය ආර්ථික සහ සංස්කෘතික අතින් විශාල දියුණුවක් ලබනවා. කාර්මීකරණය සහ යුධ හමුදාව නවීකරණය වීමත් සමඟම ජපානය ක්‍රමයෙන් ලෝක බලවතෙක් ගේ තත්වයට පත් වෙනවා.
2. තයිෂෝ සමය (1912 - 1926)
තයිෂෝ සමයේදී අධිරාජ්‍යයා ගේ පාලනය දුර්වල වෙලා ධනවත් ව්‍යාපාරිකයන් සහ උගතුන් අතට වැඩි බලයක් ලැබෙනවා. මේ කාලයේදී නිදහස් දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත වෙනවා. 1925 දී සියළුම පිරිමින්ට ඡන් ද බලය ලැබෙනවා. සාමාන්‍යය ජනතාවට ඡන්ද බලය ලැබීමත් එක්කම සමාජවාදී අදහස් ජපානයේ ව්‍යාප්ත වෙනවා.
3. ෂෝවා සමය (1926 - 1952)
ෂෝවා සමයේදී ජපානයේ නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ නැවත හකුලා දමනවා. අධිරාජ්‍යයා නැවතත් බලවත් වෙනවා.
ජපානයේ චීනය මත තම බලය පතුරුවන්න උත්සහ කිරීමත් සමඟම ජපාන - චීන යුද්ධයක් ඇති වෙනවා. මේ නිසා ජපන් සමාජය ක්‍රමයෙන් යුධකරණය කෙරෙනවා. යුධ හමුදාව සහ නාවුක හමුදාව දේශපාලන කටයුතු වලදී අතිශයින් බලවත් වෙනවා.
ජපන් - චීන යුද්ධයේදී ජපන් හමුදා ජයග්‍රහන රැසක් ලබා ගන්නවා. නමුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ජපානයට ආර්ථික සම්භාධක පැනවීමත් සමඟම ජපානයේ කර්මාන්ත වලට අවශ්‍යය අමුද්‍රව්‍යය ලබා ගැනීමේ ගැටළුවක් ඇති වෙනවා. මේ නිසා ජපානය ආසියාවේ අධිරාජ්‍යයක් ගොඩ නංවන්න තීරණය කෙරෙනවා. මේ සිද්ධි මාලාව අවසන් වෙන්ණේ ජපානය දෙවැනි ලෝක යුද්ධයට අවතීර්ණ වීමෙන්.
දෙවැනි ලෝක යුද්ධයෙන් ජපානය දරුණු පරාජයක් ලබනවා. ජපානයේ ආර්ථිකය සම්පූනර්නයෙන්ම විනාශ වෙනවා. ඇමරිකන් හමුදා ජපානය ආක්‍රමනය කරලා ජපනයේ ලැගුම් ගන්නවා. ඇමරිකාව විසින් ජපානයට නව ව්‍යවස්ථාවක් ලබා දෙනවා. අධිරාජ්‍යයා නාමමාත්‍රික බලයකට සීමා කෙරෙන අතර ජපානයට සර්වජන ඡන්දයෙන් පත් කෙරෙන පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් හඳුන්වා දෙනවා.
4. නවීන සමය (1952 - වර්තමානය)
ජපානය නැවතත් ආර්ථිකය ගොඩනැංවීමේ වැඩ සටහනක් දියත් කරනවා. ලෝක ඉතිහාසයේ වැඩිම ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න ඔවුන් සමත් වෙනවා. ජපානය කාර්මික අංශයෙන් ලෝකයේ ඉහළම තැනකට ළඟා වෙනවා. ඒ එක්කම දැවන්ත ආර්ථික සමෘධියක් ඇතිවෙනවා.
ඊට සමගාමීව ජපන් සංස්කෘතියේ සහ කලාශිල්ප වල නව පුබුදුවක් ඇති වෙනවා.
මේ සමයේදී ජපානයේ පාලන බලය දිගටම ලබා ගන්නේ ජාතිකවාදීන්.
1990 සිට ජපන් ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති වුනත්, ජපානය දිගටම ලෝකයේ ඉහළම ආර්ථික බලවතෙක් වශයෙන් පවතින්න සමත් වෙනවා.
++++++++
ReplyDeleteTank. You
ReplyDelete