Saturday, April 28, 2018

කනමරා මත්සුරි - ජපන් ශිෂ්නෝත්සවය​


"කනමරා මත්සුරි" කියන්නෙ ජපානයේ කවසාකි නගරයේ පැවැත්වෙන උත්සවයක්. මේ උත්සවය පැවැත්වෙන්නේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙ පළවෙනි ඉරිදා දවසේ. උත්සවයේ තේමාව වෙන්නෙ ශිෂ්ණයන්.

මේ උත්සවයේ ඡායාරූප අපි හැමෝම දැකල තියෙනවා. වීදි දිගේ ඇදගෙන යන යෝධ ශිෂ්ණයන්, ශිෂ්ණයන් ගේ හැඩය ගත්ත අයිස් පලම් අතින් ගත්ත ගෑණු ළමයි, ලී ශිෂ්ණයන් උඩ නැගපු කාන්තාවන් මේ උත්සවයේ දකින්න පුළුවන් දසුන්. බොහෝ විට මේ උත්සවය විස්තර කෙරෙන්නෙ ජපානයේ තවත් එක් "අමුතු" ආතල් එකක් විදිහට​.

ඒත් ඇත්තෙන්ම මේ උත්සවයේ පසුබිම අවුරුදු සිය ගාණක් පැරණි ජනකතාවක් සහ ෂින්ටෝ ආගමික​ සම්ප්‍රදායක් එක්ක බැඳිල තියෙනවා.

 

ජනකතාව​


බොහොම ඉස්සර කාලයේ ජපානයේ ඉතාම ලස්සන තරුණ ගෑණු ළමයෙක් වාසය කලා. අවාසනාවට මේ ගෑණු ළමයට උල් දත් වලින් පිරුන කටක් සහිත අවලස්සන අමනුෂ්‍යයෙක් ගෙ බැල්ම වැටුනා. මේ අමනුෂ්‍යයා ගෑණු ළමයා එක්ක පෙමින් බැඳුනත්, ගෑණු ළමයා අමනුෂ්‍යයා ව පිළිකෙව් කරා.

ඒ නිසා ඒකට පළිගැනීමක් වශයෙන් අමනුෂ්‍යයා කරේ මොකද්ද​? ගෑණු ළමය ගෙ යෝනි මාර්ගයට ඇතුල් වෙලා ඒක ඇතුලෙ බින්න බැසීම​.

ගෑණු ළමයා තරුණයෙක් එක්ක විවාහ වුනා. මංගල රාත්‍රියේ දී ඔවුන් සංසර්ගයේ යෙදෙන්නෙ සැරසිලා තරුණයා තමාගෙ ශිෂ්ණය ගෑණු ළමයගෙ යෝනියට ඇතුල් කලා. ඒත් යෝනිය ඇතුලෙ හිටපු අමනුෂ්‍යයා තරුණයා ගෙ ශිෂ්ණය වෙන් වෙලා යන පරිදි හපා කෑවා.






ගෑණු ළමය ගෙ අත පතාගෙන ආව ඊළඟ මනමාලයටත් අත් වුනේ ඒ ඉරණම මයි.

අමනුෂ්‍යයා ගෙන් මිදෙන්න උපායක් කල්පනා කළ තරුණිය ගමේ කම්මල් කාරයා හමුවෙන්න ගිහින් ඔහුට කියලා ඉස්තරම්ම වානේ වලින් ශිෂ්ණයක් හදා ගත්තා.

ඊට පස්සෙ ඇය මේ වානේ ශිෂ්ණය තමාගේ යෝනියට ඇතුල් කලා.

අමනුෂ්‍යයා සුපුරුදු පරිදි ශිෂ්ණය හපා කෑවා. ඒත් සිද්ධ වුනේ අමනුෂ්‍යයාගේ දත් කැඩිල යන එක​. දත් ටික අහිමි වුන අමනුෂ්‍යයා ගෑණු ළමයා අතහැරල පැනලා ගියා.

ගෑණු ළමයා නැවතත් විවාහ වෙලා දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වුනා.



උත්සවයේ පසුබිම​



මේ ජනකතාවෙන් ව්‍යංගයෙන් කියැවෙන්නෙ මොකද්ද​? ලිංගිකව බෝවෙන රෝගයක් වැළඳුන තරුණියක් සහ ඇය එම රෝගයෙන් මිදෙන හැටි ගැන​.

කවසාකි නගරය පිහිටලා තියෙන්නෙ පැරණි ජපානයේ ප්‍රධාන නගර දෙක වුන කියෝතෝ සහ එදෝ (වර්තමාන තෝකියෝ) නගර අතර මාර්ගයේ. මේ නගර දෙක අතර ගමන් කළ මගියන් රාත්‍රියට නවාතැන් ගත්ත නැවතුම් පොළක් වුනේ කවසාකි නගරය​.

ඒ නිසා කවසාකි නගරය අතීතයේ ඉඳල ගණිකාවන් සඳහා ප්‍රසිද්ධ නගරයක් වුනා.

කවසාකි නගරයේ පිහිටල තියෙන ප්‍රධානම ෂින්ටෝ දේව් මැදුරක් වුනේ "වකමියා හචිමංගු" දෙව් මැදුර​. මේ දෙව් මැදුර දේවාල ගණනාවකින් සමන්විත විශාල දෙව් මැදුරක්.


 වකමියා හචිමංගු දෙව් මැදුරේ පිහිටල තියෙන එක දේවාලයක් වන "කනයාමා" දේවොල​ වෙන් කෙරුනේ "කනයාමාහිකෝ" සහ "කනයමාෂිමෙ" කියන භූතාත්ම දෙක වෙනුවෙන්. ෂින්ටෝ ආගමේ එන මේ භූතාත්ම හැඳින්වෙන්නේ "කමි" කියලා. කනයමාහිකෝ සහ කනයමාෂිමෙ යකඩ කර්මාන්තය සහ පතල් කර්මාන්තය සම්බන්ධ භූතාත්ම​.

කවසාකි නගරයේ ගණිකාවන් ලිංගිකව බෝවෙන රෝග වලින් ආරක්‍ෂාව පතා කමි භූතාත්ම වලට කන්නලව් කරන්න ආවම අර ජනකතාව අනුව ඔවුන් තෝරාගත්තේ කම්මල් කරුවන්ට සම්බන්ධ කනයාමා දෙවොල​. ජනකතාවේ කම්මල් කරුවා තරුණිය බේරාගත් විදිහට කම්මල් කරුවන්ට  සම්බන්ධ කමි භූතාත්ම තමාව ලිංගිකව බෝවෙන රෝග වලින් ආරක්‍ෂා කරයි කියල ඔවුන් බලාපොරොත්තු වුනා.

මේ සිරිත පටන් අරන් තියෙන්නෙ 17 වෙනි සියවසේ මුල් භාගයේදී. අවුරුදු සිය ගානක් පුරාවට කවසාකි නගරයේ ගණිකාවන් කනයාමා දෙවොලේ තමාගේ ආරක්‍ෂාව පතා භූතාත්ම වලට කන්නලව් කලා. ඔවුන් විශාල ශිෂ්ණයක වානේ අනුරුවක් දෙවොලේ පිහිටෙව්වා.


ක්‍රමයෙන් මේ සම්ප්‍රදායට ලිංගික සරු බව සහ කරදරයකින් තොරව දරු උපත් ලබා දීමත් එකතු වුනා. ගණිකාවන් නොවන කාන්තාවනුත් කනයාමා දෙවොලට එන්න පටන් ගත්තා. මේ කාන්තාවන් වෙනුවෙන් දෙවොලේ උත්සවයක් ආරම්භ කෙරුනා.

නමුත් 19 වෙනි සියවසේ අග භාගයේ දී ජපානයේ නවීකරණය වීමේ වැඩසටහනත් එක්ක මේ සම්ප්‍රදාය අභාවයට ගියා.



වර්තමාන උත්සවය



නැවතත් මේ සම්‍ප්‍රදාය ආරම්භ වෙන්නෙ 1969 දී. කනයාමා දෙවොලේ ප්‍රධාන කපු තැන වුන හිරොහිකෝ නකමුරා නැවතත් මේ උත්සවය පටන් අරන් තියෙනවා. ඒ රාත්‍රී කාලයේ තරමක් රහසිගතව පැවැත්වුන උත්සවයක් විදිහට​. මුල් කාලීන උත්සව වලට සහභාගී වෙලා තියෙන්නෙ විස්සක පමණ කුඩා පිරිසක්. ඒ අයගෙන් බහුතරය ගණිකාවන්.

නමුත් ක්‍රමයෙන් මේ උත්සවය වර්ධනය වෙලා අද ඒක 50,000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් දිවා කාලයේදී ප්‍රසිද්ධියේ කෙරෙන දැවැන්ත සැනකෙලියක් බවට පත් වෙලා තියෙනවා. මේ උත්සවය කවසාකි නගරයට විශාල ආදායමක් ගෙන එන මාර්ගයක් බවටත් පත් වෙලා තියෙනවා.

"කනමරා මත්සුරි" කියන එකේ තේරුම "වානේ ශිෂ්ණයේ උත්සවය​" කියන එක​.

මේ උත්සවයේ ප්‍රධාන අංගය වෙන්නෙ විශාල ශිෂ්ණ අනුරූ තුනක් නගරයේ වීදි පුරා පෙරහැරින් ගෙන යාම​. මේවා "මිකෝෂි" නමින් හැඳින්වෙන දෝලා මත තියලා බැතිමතුන් විසින් නගරය පුරා ඔසවාගෙන යනවා.

පළවෙනි අනුරුව කළු පාට වානේ වලින් කළ අඩි හතරක් පමණ උස අනුරුවක්. උත්සවයේ ප්‍රධාන සහ වඩාත්ම පූජනීය අංගය මේක​.



දෙවැන්න අඩි දෙකක් පමණ උස ලීයෙන් කල අනුරුවක්. මේක ඉතාම පැරණි එකක්.



තුන්වැන්න තමයි වඩාත්ම ප්‍රසිද්ධ​. මේක අඩි හයක් පමණ උස රෝස පාට විශාල අනුරුවක්. තෝකියෝ නගරයේ "එළිසබෙත් කයිකන්" නම් සංක්‍රාන්ති ලිංගිකයන් ගේ සමාජ ශාලාවක් තමයි මේ අනුරුව පරිත්‍යාග කරල තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ "එළිසබෙත්" යන සුරතල් නාමයෙන්. මේ අනුරුව ඔසවාගෙන යන්නේ එළිසබෙත් කයිකන් සමාජ ශාලාවේ සාමාජිකයන් විසින්..


මීට අමතරව තවත් අංග රාශියක් උත්සවයට ඇතුලත් වෙනවා.

ප්‍රධානම අංගය වෙන්නෙ ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ කෑම​. විශේෂයෙන්ම ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ අයිස් පලම්, ලොලිපොප් සහ ලොසින්ජර අතැතිව ඒවා උරමින් උත්සවය නරඹන තරුණියන් සුලබ දසුනක්.




තරුණියන් ලීයෙන් තැනූ විශාල ශිෂ්ණයන් මත නැගී ඡායාරූප ගැනීමත් ජනප්‍රිය අංගයක්.


 ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ ඉටිපන්දමුත් දකින්න පුළුවන්.


ඊට අමතරව ශිෂ්ණයන් ගේ හැඩයට කපන ලද එළවළු,



සහ "ශිෂ්ණ වෙස්මුහුණු" ත් දකින්න පුළුවන්.


මේවා ඉතා අධික මිලෙන් යුක්තයි. කවසාකි නගරයට මේ උත්සවය හොඳ ආදායම් මාර්ගයක්.


මේ උත්සවයේ දී ආරක්‍ෂිත ලිංගික උපක්‍රම සහ ලිංගිකව බෝවෙන රෝග පිළිබඳව දැනුවත් කිරීමක් කෙරෙනවා. ඒ වගේම උත්සවයේ ආදායමෙන් කොටසක් ඒඩ්ස් රෝගයට එරෙහිව කෙරෙන පර්‍යේෂන කටයුතු සඳහා පරිත්‍යාග කරනවා.

ඒ වගේම විශේෂයෙන්ම මෑත කාලයේදී මේ උත්සවය ලිංගික සමානාත්මතාවය සඳහා වේදිකාවක් වෙලා තියෙනවා. සාමාන්‍යෙයෙන් දැඩි ලෙස සාම්ප්‍රදායික ජපන් සමාජයේ සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා ඒතරම් පිළිගැනීමක් නැතත්, මේ උත්සවයේදී ඔවුන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා. මෙය ඔවුන්ට තමාගේ ලිංගිකත්වය ප්‍රදර්ශයන කිරීමේ වේදිකාවක්.

උත්සවය සඳහා වාර්‍ෂිකව සහභාගී වෙන 50,000 ක පමණ පිරිසෙන් වැඩි පිරිස විදේශීය සංචාරකයන් කියලයි කියැවෙන්නේ. ඔවුන්ට නම් මේක තවත් විනෝදාත්මක සැනකෙළියක්.

ඒත් සරළ විනෝදයට එහා ගිය යමක් සහ අවුරුදු සිය ගානක් පැරණි සම්ප්‍රදායක් මේ උත්සවය පිටුපස තියෙනවා.

Friday, April 27, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 40 - (සන්දර කටුවේ පුරාවෘතය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

සන්දර කටුවේ පුරාවෘතය​


හඳේ තිබුනු රාජධානියක රජතුමා බොහෝම ධනවත් රජකෙනෙක්. ඒ වගේම ඔහුගේ බිසව ඉතාම ලස්සනයි. ඒ තරම් ලස්සන කාන්තාවක් කොහෙවත් හිටියෙ නෑ. ලස්සන තරමටම ඇය බුද්ධිමත්. බුද්ධිමත් තරමටම නිර්භීතයි. රජතුමා බිසවත් එක්ක ඔහුගේ මාළිගාවේ ඉතාම සන්තෝසෙන් කාලය ගත කළා.

එක දවසක් මුහුදෙන් මතුවුන ඉතාම අවලක්‍ෂන රාක්‍ෂයෙක් රජතුමාගේ රත්තරං මුතු මැණික් සියල්ලම පැහැරගෙන මුහුදු පතුලේ උගේ වාස භවනට අරගෙන ගියා.

මේ ඇබැද්දියෙන් ශෝකයට පත් වුන රජතුමා බොහොම සිත් තැවුලට පත් වුනා. ඒ ගැන හිතලම ඔහු ලෙඩ වුනා. ඔහුව බේරගන්න රාජකීය වෛද්‍යවරයටත් බැරි වුනා. හැමෝම දැනගත්තා රජතුමා මිය යන්නයි යන්නෙ කියල​.

බිසව කල් ගත කළෙත් ඉතාම ශෝකයෙන්. ඇයට රජතුමා බේරගන්න මුහුදු පතුලට ගිහින් රත්තරං මුතු මැණික් ආපහු ගේන්න ඕන වුනත්, ඇය දැනගෙන හිටියෙ නෑ ඒක කරන විදිහ​.

ඒ මුහුදු පතුලට යන්න ක්‍රමයක් කල්පනා කරමින් රෑ ගණනාවක් නිදි නැතුව කල්පනා කරා.

අන්තිමේදී ඇය තීරණය කළා මුහුදු පතුලට පීනන්න​. එක රැයකදි ඇය තනිවම මුහුදු වෙරළට ගිහින්, අඳුරු වතුරට බැහැල මුහුදු පතුල දිහාවට වේගයෙන් පීනගෙන ගියා.


ඇයට මුන ගැහුනා මාරොන්ඩු (මාළු වර්ගයක්). මාරොන්ඩු ඇය ළඟට පීනාගෙන ඇවිත් උගේ කටේ රඳවාගෙන හිටපු යමක් ඇගේ දකුණු අතට දුන්නා. ඒ සන්දර කටුවක්.

"ඔබතුමිය තවදුරටත් ඉදිරියට යන එක අනතුරුදායකයි රැජිණියනී. මුහුදු රාක්‍ෂයාට ඔබ තුමිය අහුවුනොත් කෑලි වලට ඉරල දාවි"

මාරොන්ඩු ඇයට අනතුරු ඇඟෙව්වා.

"එත් මම කොහොමහරි මුහුදු රාක්‍ෂයාගෙන් වස්තුව ලබා ගන්න ඕනෙ. එහෙම නොකළොත් මගේ සැමියා මැරෙයි."

"රැජිණියනී මම ඔබතුමියගේ නිර්භීතකම අගය කරනවා. මේ සන්දර කටුව රජතුමාට දෙන්න​. එතුමා මේක පැළඳගත්තම ඔහුට රාක්‍ෂයා සමඟ සටන් කරන්න ශක්තිය ලැබේවි."

"එත් රජතුමා බොහොම දුර්වලයි. ඔහුට රාක්‍ෂයා එක්ක සටන් කරන්න බෑ."

"එතුමා මේක පැළඳගත්තම ශක්තිය ලැබෙයි"


මාරොන්ඩු ගැඹුරු මුහුදේ ඈතට පීනල ගියා. රැජිණ සන්දර කටුවත් අරගෙන ආපහු ගොඩබිම බලා පීනුවා. වෙරළට ආපු විගස ඇය පුළුවන් තරම් ඉක්මනින් මාළිගයට දුවගෙන ගියා. ඊට පස්සෙ ඇය හනිකට සන්දර කටුවෙන් මාලයක් හැදුවා. ඊට පස්සෙ නාලා පිරිසිදු වෙලා, රජතුමා හමුවෙන්න ගියා.

රජතුමා බොහොම දුර්වලයි. ඔහු ඒ වෙලාවේ නිදාගෙනයි හිටියේ. ඒත් රැජිණ කුටියට ඇතුල් වුනාම ඔහු ඇහැරුනා.

"ඔයා කොච්චර ලස්සනද​? ඒත් මම ඉක්මනින්ම මැරෙන්නයි යන්නේ"

ඔහු දුර්වල හඬින් කෙඳිරිගෑවා.

රැජිණ මාලය රජතුමාගේ අතේ තිබ්බා.

"මේක පළඳින්න​"

මාලය පැළඳගත්තා විතරයි තමාගේ සිරුරට නව ජීවයක් ලැබුනා වගේ රජතුමාට දැනුනා. ටික වේලාවකින්ම ඔහු ඇඳෙන් බැහැල කාමරයේ ඒ මේ අත සක්මන් කලා.

"මට දැන් ශක්තිය තියෙනවා. මුහුදු පතුලෙන් මගේ රන් මුතු මැණික් ආපහු ගේන්න තරම් මට දැන් ශක්තිය තියෙනවා."

රජතුමා මුහුදු වෙරළට ගියා. ඔහු හෙමින් මුහුද දිහාවට ඇවිදගෙන ගියා. මුහුදු වතුර ඔහුගේ ඇඟ වහ ගන්නවත් එක්කම ඔහු ඉතාම ශක්තිමත්, විශාල උල් දත් තියෙන මාළුවෙක් බවට පත් වුනා.

මාළුවා කෙලින්ම පීනගෙන ගියේ රාක්‍ෂයාගේ වාස භවනට​. ඌ රාක්‍ෂයා එක්ක සටන් කරලා රාක්‍ෂයාව මරා දැම්මා. ඊට පස්සෙ රත්තරං මුතු මැණික් ඔක්කොම අරගෙන නැවත ගොඩබිමට ආවා. මාළුවා වෙරළේ වැලි වෙල ගෑවෙනවත් එක්කම ආපහු රජතුමා බවට පත් වුනා.

රජතුමා එනතුරු වෙරළේ බලාගෙන හිටපු සේවකයෝ රත්තරං මුතු මැණික් මාළිගාවට නැවත අරගෙන ගියා. රජතුමා ඔවුන් පසු පසින් ඇවිදගෙන ආවා.

රජතුමා මාළිගයට එද්දි මග දෙපස රැස්වුන ජනතාව ප්‍රීතිඝෝෂා කලා.

"සඳේ රජතුමා දිගුකල් දිනේවා!"

හැමෝම රජතුමාගේ නිර්භීත කම සහ වීරත්වය අගය කලා.

ඒත් රජතුමා රැජිණ දිහාවට හැරිලා මෙහෙම කිව්වා.

"මේ සන්දර කටුව ඔයාගේ. ඔයා මට මේක දුන්නෙ නැත්තම් මට කවදාවත් රාක්‍ෂයා එක්ක සටන් කරන්න බැරි වෙනවා. මුහුද බොහොම ගැඹුරුයි. රාක්‍ෂයා බොහොම බලගතුයි."

අදටත් අඩ්ඩු අතොළුවේ ළමයි සන්දර කටුවක් දැක්කම කියන්නේ "මේක සඳේ රජතුමාගේ රැජිණ ගේ කටුව​" කියල​෴


- කතාව කිව්වේ මාගිදුරුගේ ඊබ්‍රහිම් ඩීඩී (ෆනදූ, ෆුවාමුලාකු දූපත​)

අටුවාව

1. මාරොන්ඩු

ඉංග්‍රීසියෙන් "Titan Triggerfish" ලෙසත්, සිංහලෙන් "මහ පොතුබරා" ලෙසත් හැඳින්වෙන මාළුවා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "මාරොන්ඩු" කියල​. මාරොන්ඩු අඩි 2.5 පමණ දිගට වැඩෙන විශාල මාළුවෙක්. ඌ ජීවත් වෙන්නේ කොරල් පර ආශ්‍රිතව​.

2. සන්දර කටු

දිවෙහි බසින් "සන්දර" ලෙසත් ඉංග්‍රීසියෙන් "Mermaid's Toenail" ලෙසත් හැඳින්වෙන්නේ මුහුදු ගොළුබෙල්ලෙක් කටුව තුලට රිංගාගත් පසු කටුවේ විවරය වසාගැනීමට පාවිච්චි කරන කටුවක්. මේක ඇත්තෙන්ම බෙලිකටුවක් නෙවෙයි. ඉතා තද ද්‍රව්‍යයකින් හැදිල තියෙන සන්දර​, දිවෙහි රාජ්ජේ වැසියන් විසින් ඔප දමාගෙන ගෙලේ පළඳින ආභරනයක් විදිහට පාවිච්චි කරනවා. ඒක ලෙඩ රෝග වලින් ආරක්‍ෂාව ලබා දෙන බවට ඔවුන් අතර විශ්වාසයක් තියෙනවා. සමහර අවස්ථාවලදී එය අඹරා ගැනීමෙන් ලැබෙන කුඩු බෙහෙත් වශයෙන් පාවිච්චි කරනවා. 




Thursday, April 26, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 39 - (නාලාෆුෂි දූපතේ දුප්පතා සහ ඔහුගේ එළදෙන​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

නාලාෆුෂි දූපතේ දුප්පතා සහ ඔහුගේ එළදෙන​


එක දවසක් මුලාකු අතොළුවේ නාලාෆුෂි දූපතේ ඉඳල දුප්පත් මනුස්සයෙක් මාලේ දූපතට ආවා. ඔහු මාලේ නගරයේ ඇවිදිමින් ඉද්දි පොහොසත් ගෙදරක ගැටගහල හිටපු එළදෙනුන් කීප දෙනෙක් දැක්කා. ඔහු කවදාවත් එළදෙනක් දැකල තිබ්බේ නෑ. ඒ කාලේ මාලදිවයිනේ හරක් වැඩිය හිටියෙ නෑ. මාලේ නගරයේ ධනවතුන් කීප දෙනෙක් ළඟ විතරයි හරක් හිටියේ. ඉතින් මේ දුප්පත් මනුස්සයා පුදුම වෙලා එළදෙනුන් දිහා බලාගෙන හිටියා.

මේ අතරේ එළදෙනුන් අයිතිකාර ධනවතා මේ දුප්පත් මනුස්සයා එක්ක කතාවට වැටුනා. දුප්පතා ධනවතාට ඔහුගේ කතාව කිව්වා. දුප්පත් වෙලා ජීවත් වෙන්න සිදු වීම කොයිතරම් අභාග්‍යයක් ද කියල ඔහු ධනවතාට විස්තර කලා.

දුප්පතා ගේ කතාව ඇහුවම ධනවතාට දුක හිතුනා. ඔහුට ත්‍යාගශීලී හිතක් පහල වුනා.

"මේ අහපං. මම උඹට මගේ එළදෙනක් තෑගි කරන්නම්. එළදෙනක් හිටියොත් උඹට වැඩි කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හැමදාම කිරි බොන්න පුළුවන්. කිරි විකුණල කීයක් හරි හොයාගන්න පුළුවන්."

දුප්පතාට තමන් ගෙ කන් අදහගන්න බැරි වුනා. ඔහු දණින් වැටිලා ධනවතාට ස්තූති කලා.

"එහෙනං උන්නැහේ මම මෙයින් එළදෙනක් අරගෙන යන්නද​?"

එක පාරටම ධනවතාගේ හිත වෙනස් වුනා. "මම ඉක්මන් වුනා වැඩි වත් ද​? මම මේ නොදන්න මිනිහෙක්ට මගේ එළදෙනක් දෙන්නෙ මොකටද​?"

ඒත් ඔහු තමාගේ හිත වෙනස් වුන බව දුප්පතාට පෙන්නුවෙ නෑ.

"දැන්ම අරං යන්න එපා. එළදෙනක් බොහොම වටිනවා. තමුසෙ එළදෙන ආරක්‍ෂා කරන්න ඕනෙ. ඉස්සෙල්ල හොඳ ලී කණු ටිකක් හොයාගන්නව හරක් කොටුවක් හදන්න​."

දුප්පතා ගේ හිත බර වුනා. ඔහු අතේ සල්ලි නෑ. මාලේ දූපතේ ඔහුට නෑදෑ හිත මිත්‍රයො නෑ. ඔහු කෑමට යමක් හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. ලී කණු හොයන්නෙ කොහෙන් ද​?

ඔහු බොහොම මහන්සි වෙලා කුලී වැඩ කරමින් සල්ලි ටිකක් ඉතුරු කරන්න පටන් ගත්තා. සෑහෙන දවසක් ගියාම ඔහුට ලී කණු ටිකක් මිලදී ගන්න පුළුවන් වුනා.

ඔහු ලී කණු ටිකත් අරගෙන ධනවතා හමු වෙන්න ගියා. ධනවතා ඔහුගේ ලී කණු පරික්‍ෂා කරල බැලුවා.

"චහ්! මේ කණු හරියන්නෙ නෑ. මේවා බාල ලී වර්ගයක්. මේවා පොළවෙ හිටවපු ගමන් දිරල යයි."

දුප්පතා ආයෙමත් කුලී වැඩ කරමින් සල්ලි ඉතුරු කරන්න පටන් ගත්තා. සෑහෙන කාලයකට පස්සෙ ඔහුට ඉස්තරම් ලීයෙන් කළ කණු කීපයක් මිලදී ගන්න පුළුවන් වුනා.

ඔහු ආයෙත් ධනවතා ගෙ ගෙදරට ගියා.

"මේ කණු ටිකෙන් කොහොමද හරක් කොටුවක් හදන්නෙ? තව කණු ඕනෙ."

දුප්පතා ආයෙත් මාස ගානක් තිස්සෙ ඉතාම මහන්සියෙන් කුලී වැඩ කරමින් සල්ලි ඉතුරු කලා. ඔහු ලී කණු ඇති තරම් ගත්තට පස්සෙ ධනවතා හොයාගෙන ගියා.

"දැන් නම් කොටුවක් හදන්න කණු ඇති. මම එළදෙන ගන්නද උන්නැහේ?"

"එළදෙනක් කියන්නෙ ලොකු සතෙක්. ඌට නිදහසේ ඉන්න ලොකු කොටුවක් ඕනෙ. තමුසෙ තව කණු ටිකක් හොයා ගන්නව. බය වෙන්න කාරි නෑ. මම එතකං එළදෙන හොඳට බලාගන්නම්."

ඔය විදිහට අවුරුදු ගානක් තිස්සෙ නාලාෆුෂි දූපතේ දුප්පත් මනුස්සයා මාලේ දූපතේ කුලී වැඩ කරමින් ලී කණු ගන්න සල්ලි හෙව්වා.  ඒත් ධනවතා මොකක් හරි හේතුවක් කියමින් ඔහුට එළදෙන දෙන එක ප්‍රමාද කළා.

එක දවසක් දුප්පතා මැරුණා. ඔහුට කවදාවත් එළදෙන ගන්න බැරි වුනා.

කවුරු හරි බොරුවට පොරොන් දුවක් වෙලා ඒක ඉටු කරන එක මග හරිනව නං දිවෙහි රාජ්ජෙ වැසියො කියන්නෙ "නාලාෆුෂි ෆගීරා ගෙරි දින් හෙන්" (නාලාෆුෂි දූපතේ දුප්පත් මිනිහට දීපු එළදෙන වගේ) කියල​෴


- කතාව කිව්වේ මුහම්මදු රෂීදු (මාලේ දූපත​)

Thursday, April 19, 2018

ජාතිකවාදී අපේක්‍ෂකයෙක්ට ජය ගත හැකිද​


ලංකාවේ ඡන්ද දායකයන් සංඛ්‍යාව ජන වර්ග අනුව බෙදපු දත්ත කොහෙවත් නෑ. ඒ නිසා උපකල්පනයක් කරනවා ඒ අනුපාතයන් ලංකාවේ සමස්ත ජනවාර්ගික අනුපාත වලට සමානයි කියල​.

ලංකාවෙ ජනවාර්ගික අනුපාතයන් තියෙන්නෙ මේ වගේ




අපි හිතමු දෙමළ සහ මුස්ලිම් ඡන්ද එකක් වත් ජාතිකවාදී අපේක්‍ෂකයට වැටෙන්නෙ නෑ කියල​.

සිංහල ක්‍රිස්තියානි ඡන්ද බහුතරයක් සාම්ප්‍රදායිකව වැටෙන්නෙ යූඑන්පියට​. නමුත් මෑත කාලීනව මේ තත්වයේ යම්කිසි වෙනසක් තියෙනවා. අපි හිතමු සිංහල ක්‍රිස්තියානි ඡන්ද වලින් 1.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකට වැටුන කියල​.

එතකොට ජාතිකවාදී අපේක්‍ෂකයට දිනන්න තවත් ඡන්ද 48.2% ක් අවශ්‍යය වෙනවා. මේ සියල්ලම ගන්න වෙන්නෙ සිංහල​-බෞද්ධ ගොඩෙන්.

ඒ කියන්නෙ සමස්තයෙන් 48.2% ක්. එතකොට ඒක සිංහල​-බෞද්ධ ඡන්ද වලින් නම් 68.8% ක්. ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද දායකයන් ගෙන් 68.8% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ඡන්දෙ දෙන්න ඕනෙ.

හැබැයි වැඩේ මෙච්චර සරළ නෑ. අපි මෙතනදි උපකල්පනයක් කරා හැම දිස්ත්‍රික්කයකම ඡන්දය දීමේ අනුපාතය සමානයි කියල​. නමුත් ඒක එහෙම නෙවෙයි. 2015 ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ දී පැහැදිලිවම පේනවා උතුරු නැගෙනහිර පළාත් වල ඡන්දය පාවිච්චි කිරීමේ අනුපාතය රටේ අනෙකුත් පළාත් වලට වඩා පැහැදිලිවම අඩු බව​.


මේ නිසා අපිට පේනවා ඇත්තෙන්ම සුළු ජාතික ඡන්ද වල බර ඔවුන් ගේ ජන අනුපාතයේ බරට වඩා අඩු බව​.

ඒ එක්කම සිංහලයන් අධිකව ඉන්න දකුණු උතුරුමැද සබරගමුව පළාත් වල ඡන්දය පාවිච්චි කිරීම රටේ සමස්තයට වඩා පැහැදිලිවම වැඩියි.

මේ නිසා අපි ගමු සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අනුපාතය 83% කුත් සුළු ජාතිකයන් ගේ 70% කුත් කියලා.

එතකොට අපේ ඡන්ද දායක අනුපාතයන් ලැබෙන්නෙ මේ විදිහට​.


දැන් අපි ආයෙත් ගණනය කිරීම කරොත්, අපි හිතනවා සිංහල ක්‍රිස්තියානි ඡන්ද 1.5% ක් ජාතිකවාදී අපේක්‍ෂකයට ලැබෙනවා කියල​. එතකොට ඔහු ඉතිරිය වන 48.5% සිංහල බෞද්ධ ඡන්ද වලින් ගන්න ඕනෙ.

ඒ කියන්නෙ සිංහල බෞද්ධ ඡන්ද වලින් 66% ක්.

මේක කරන්න පුළුවන් ද​?

2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහත්තය 90% ට වඩා සිංහල බෞද්ධ ජනගහණයක් තියෙන දිස්ත්‍රික්ක වල ගත්ත ඡන්ද ප්‍රතිශත සලකල බලමු.

ගම්පහ - 61.66%
ගාල්ල - 63.69%
මාතර - 65.53%
හම්බන්තොට - 67.21%
කුරුණෑගල - 63.08%
අනුරාධපුර - 66.32%
පොළොන්නරුව - 64.92%
මොණරාගල - 69.01%

වැඩේ හිතන තරම් අමාරු නෑ කියල පැහැදිලියි.

මේ ගණනය කිරීම කරේ ඉතාම නරක තත්වය සලකා බලලා. ඒ කියන්නෙ දෙමළ මුස්ලිම් ඡන්ද 0 යි කියල හිතල​. නමුත් ඒක එහෙම වෙන්නෙ නෑ කියල පැහැදිලියි නෙ.

ඒ වගේම 2015 දී දෙමළ සහ විශේෂයෙන්ම මුස්ලිම් ඡන්ද දායකයන් අතර ඡන්දය දෙන්න විශාල උනන් දුවක් තිබ්බා. නමුත් ඉදිරි මැතිවරණයකදී ඒක එහෙමම වෙයි කියල හිතන්න බෑ.

තෙල්දෙණිය සිදුවීමේදී ආණ්ඩුවේ ඇල්මැරුණු ක්‍රියා කලාපය සහ ආර්ථිකයේ අඩාල වීම නිසා වෙළඳාම් පාඩූ වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා මේ රජයට දක්වන සහයෝගය අඩු වෙයි කියල හිතන්න පුළුවන්. ඒ වගේම බොදුබල සේනාව සහ ජාතිකවාදී කඳවුර ඈත් වීම නිසා මුස්ලිම් ඡන්ද දායකයා තුල තිබ්බ ජාතිකවාදී විරෝධයත් අඩු වෙලා කියල හිතන්න පුළුවන්.

මේ රජය ඉදිරි අවුරුදු 2 ඇතුලත ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න අපොහොසත් වුනොත් ඔවුන්ට තමාගේ ජනාධිපති අපේක්‍ෂකයව උතුරේ දෙමළ ජනතාව ඉදිරියේ මාකට් කිරීම අපහසු දෙයක් වෙන්න පුළුවන්.

මේ සියළු තත්වයන් සලකා බැලුවම 2020 දී ජාතිකවාදී අපේක්‍ෂකයෙක් ගෙ ජය ගැනීමේ ඉඩ ප්‍රස්ථාව සැලකිය යුතු තරම් විශාලයි කියල පැහැදිලියි.

Monday, April 16, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 38 - (හොල්ලවයි)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හොල්ලවයි


(සත්‍ය කතාවකි. 17 වෙනි සියවසේ අග භාගයේ සිදුවූ සිද්ධියක්.)

 බොහොම ඉස්සර කාලෙ දවසක ඉරුවායි කාලයේදී (ඊශාන දිග මෝසම් කාලය​) ෆුවා මුලාකු දූපතේ ඉඳල හබල් දෙළහක දෝනියක් (ලොකු බෝට්ටුවක්) වෙළඳාමට හුවදූ අතොළුව බලා පිටත් වුනා.

මේ දෝනියේ පිරිමි දාහතර දෙනෙක් සහ කාන්තාවන් දෙන්නෙක් හිටියා. අවාසනාවකට දෝනිය කුණාටුවකට අහුවුනා. දවස් පහක් එකදිගට ඔවුන් වැසි සහ දරුණු සුළං වලින් පීඩා වින්දා. ඔවුන් යාත්‍රා කරන්න ඕන වුනේ උතුරට වුනත්, තද සුළඟට අහුවෙලා ඔවුන්ව දකුණු දිශාවට ගහගෙන ගියා.

හයවෙනි දවසෙ වැස්ස පායලා ඉර පෑව්වා. මුහුද ආපහු නිසල වුනා. ඔවුන්ට ඈතින් දූපත් පෙළක් පෙනුනා. මේ දූපත් මාලදිවයිනේ දූපත් වලට බොහොම සමානයි. ඒත් දවස් පහක් තිස්සෙ දකුණට ගහගෙන ආපු නිසා ඒවා මාලදිවයිනට අයිති දූපත් වෙන්නෙ කොහෙත්ම විදිහක් නෑ කියල ඔවුන්ට තේරුනා. ඔවුන් දැනගත්තා ඒ හොල්ලවයි දූපත් කියල​.

හොල්ලවයි දූපත් තියෙන්නෙ දිවෙහි රාජ්ජෙන් බොහෝම ඈත​.  ඒක මිනිස් වාසයෙන් තොර​, අඳුරු, පාළු තැනක්. ඒත් දවස් පහක් තිස්සේ කුණාටුවෙන් බැටකාපු නැවියන්ට දූපත් පෙනුනේ සුරපුරක් වගේ.


ඔවුන් ගොඩබහින්න් සුදුසු තැනක් හොයමින් ඉතාම පරිස්සමෙන් දූපත් වටේ යාත්‍රා කලා. අන්තිමේදී ඉර මුහුදේ ගිලෙන්න ළං වෙද්දිත් ඔවුන්ට සුදුසු තැනක් හොයා ගන්න බැරි වුනා. නාවියකන් අතරෙ උණුසුම් වාද විවාද ඇති වුනා ගොඩ බහිනවද නැද්ද යන කරුණ ගැන​. අන්තිමේදී රාත්‍රිය මුහුදේ ගත කරල ගොඩබිමෙන් ඈතට ගහගෙන යාමේ අවදානම නොගෙන ළඟම තියෙන ගොඩබිමට දෝනිය පදවන්න ඔවුන් තීරණය කරා.

හබල් කරුවන් ඉතාම පරිස්සමෙන් කොරල් පර අතරින් ගොඩබිම දිහාවට දෝනිය පදවාගෙන ගියා. ඒත් අන්තිම මොහොතේදී ලොකු රළයක් දෝනිය කොරල් පරයක් දෙසට තල්ලු කරා. කොරල් පරයේ හැපුන දෝනියේ පැත්තක් හිල් වුනා. වේගයෙන් වතුර දෝනිය ඇතුලට ගලන්න පටන් ගත්තා. ඔවුන් හැමෝම දෝනිය අතහැරල මුහුදට පැන්නා. වාසනාවකට ඒ නොගැඹුරු මුහුද​. හැමෝම වැඩි කරදරයක් නැතුව ගොඩබිමට ආව.

මුළු දූපතම ඝනව වැඩුනු අඳුරු කැලයකින් වැහිල තිබුනා. ඉර බැහැගෙන යනවත් එක්කම මුළු දූපතම අඳුරේ ගිලෙන්න පටන් ගත්තා. පිරිසේ හිටපු පිරිමි හනි හනිකට වතුර ලබා ගන්න වලක් හෑරුවා. වාසනාවකට ඔවුන්ට පිරිසිදු වතුර ලැබුනා. හැමෝම වතුර බීල, ඇඟ හෝද ගත්ත​.

රෑ බෝ වෙනවත් එක්කම ඔවුන් කවදාවත් නොදැකපු විශාල කකුළු වර්ගයක් පොළවෙන් මතු වුනා. ඒ කකුළුවෝ බිම හැම තැනම නිදහසේ ඇවිදින්න පටන් ගත්තා. මේ කකුළුවෝ දැකපු පිරිස භීතියට පත් වුනා. කිසි කෙනෙක් බිම නිදාගන්න කැමති වුනේ නෑ.

ඔවුන් මහන්සි නොබලා කැලයෙන් ලී කපාගෙන, බෙලිපට්ට ගස් වල පොතු වලින් බැඳල අෂි (නිදාගන්න පාවිච්චි කරන උස ලී වේදිකාවක්) හැදුවා. මුලින්ම හැදුවෙ කාන්තාවන් ගෙ අෂි. ඊට පස්සෙ පිරිමින්ටත් අෂි තුනක් හැදුවා.

පහුවදා උදේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදුනා. එක පිරිසක් මාළු අල්ලන්න ගියා. අනෙක් අය මූදුබත් වුන දෝනියෙන් ඔවුන්ට පුළුවන් තරම් බඩු වෙරළට ඇද ගත්තා. ඊට පස්සෙ ඔවුන් දූපත ඇතුල පරීක්‍ෂා කරල බැලුවා. ඔවුන්ට වැටකෙයියා ගස් හමුවුනා. ඔවුන් වැටකෙයියා කොල වලින් ඔවුන් ගේ අෂි වල වහල සෙවිලි කර ගත්තා.

දෝනිය සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙලා තිබ්බෙ. ඔවුන්ට දෝනිය අළුත්වැඩියා කරන්න ආයුධ තිබුනෙ නැති නිසා දෝනිය හදාගෙන ආපහු සියරට යන අදහස අතහරින්න සිද්ධ වුනා. මේ පාළු දූපතේ තමන් කොටුවුන බව ඔවුන්ට තේරුම් ගියා.

දෝනියේ කෑම ගොඩක් තිබ්බෙ නෑ. ෆුවාමුලාකු ඉඳල හුවදු වලට ගමන් කරන්න සාමාන්‍යයෙන් දවසකට වඩා යන්නෙ නෑ. ඒ නිසා ඔවුන් කෑම විදිහට ගෙනල්ල තිබ්බෙ හුවදු වල ඉන්න නෑදෑ හිත මිතුරන්ට තෑගි දෙන්න බොන්ඩි අළුවා සහ ආරොස් (රස කැවිලි වර්ග​) විතරයි. ඒවයින් වැඩි පංගුව කුණාටුවට අහුවුන දවස් වල කාල ඉවර වෙලා තිබුනා. මේ නිසා කෑම සඳහා ඔවුන්ට දූපත ඇතුලෙ හොයල බලන්න සිද්ධ වුනා. දූපත පුරාම ඇවිදල පොල් ගස් කීපයක්, මිදිලි (කොට්ටම්බා) ගහක්, බෝෂි සහ ලොහො (සාමාන්‍යයෙන් ආහාර විදිහට නොගන්නා, නමුත් ආහාර හිඟ අවස්ථා වලදි කෑමට ගන්න පුළුවන් පැලෑටි වර්ග දෙකක්) පැලෑටි හොයාගන්න ඔවුන්ට පුළුවන් වුනා. මින් ඉදිරියට ඔවුන් ගේ ආහාර වෙන්නෙ මේවා.

මුහුදු ගිය පිරිසට ඊට වඩා හොඳ වාසනාවක් තිබුනා. ඔවුන් ගස් කඳන් කීපයකින් කන්දොෆති (පහුරක්) හදලා අවට මුහුද සහ යාබද දූපත් පරික්‍ෂා කරා. මුහුදේ මාළු පිරිලා. වෙරළ පුරාම මුහුදු පක්‍ෂීන් සහ කැස්බෑවන් බිත්තර දාන කූඩු. ඒ නිසා ඔවුන්ට මාළු, බිත්තර සහ මස් වලින් අඩුවක් වුනේ නෑ.

ඔවුන් ගත කලේ ඉතාම දුෂ්කර ජීවිතයක්. ඔවුන් ගේ එකම බලාපොරොත්තුව වුනේ ඔවුන් ගේ දූපතේ ඉඳල ඔවුන් හොයාගෙන කවුරුහරි එයි කියන එක විතරයි. ඒත් ඒක සිද්ධ වෙන්න තිබුනෙ බොහොම අඩු අවස්ථාවක්. දින සති වලටත්, සති මාස වලටත් පෙරලෙද්දි ඒ බලාපොරොත්තුව ක්‍රමයෙන් හීන වුනා. කවුරුත් නැති මේ පාළු දූපතේ ජීවත් වෙන්න ඔවුන් ටික ටික පුරුදු වුනා.

කල් ගත වෙද්දි ඔවුන්ට ගම් රටවල් දැක ගැනීමේ ආසාවත්, දරු පවුල් දැක ගැනීමේ ආසාවත් එන්න එන්නම වැඩි වුනා. විශේෂයෙන්ම කාන්තාවන් දෙන්නා තමාගේ දරුවන් නැතුව කල් ගත කලේ ඉතාම සාංකාවෙන්.

එක හවසක මුහුදු වෙරළේ ඉඳගෙන මුහුද දිහා බලාගෙන ඉද්දි එක මනුස්සයෙක් දැක්කා අසල තිබුන කුඩා දූපතක​ වෙරළ පුරාම මුහුදු ලිහිණි රංචු ඉන්න හැටි. ඔහුට එක පාරටම කල්පනා වුනා ෆුවාමුලාකු දූපතෙත් මේ වගේම මුහුදු ලිහිණි ඉන්න බව​.  ෆුවාමුලාකු වැසියන් මුහුදු ලිහිණි කෑමට ගන්න බවත් ඔහුට කල්පනා වුනා. ඒ මුහුදු ලිහිණි ෆුවාමුලාකු දූපතට එන්නෙ දකුණු දිශාවේ ඉඳල​. සමහර විට ඒ එන්නෙ මේ මුහුදු ලිහිණින් වෙන්න ඇති!


මේ "සොයා ගැනීමෙන්" උද්දාමයට පත් වුන ඔහු පිරිසේ අනෙක් අය රැස් කරා. ඔහුගේ අදහස ඔහු පිරිසට පැහැදිලි කරා. මුහුදු ලිහිණියෙක් අල්ලගෙන උගේ කකුලේ පණිවිඩයක් ගැට ගැහුවොත් සමහර විට ඌ ෆුවාමුලාකු දූපතට යයි. සමහර විට දූපත් වැසියෙක් ඌව අල්ලගනියි. පණිවිඩය දකියි. ඔවුන්ව බේර ගන්න බෝට්ටුවක් එවයි.

මේක සිද්ධ වෙන්න තිබුනෙ ඉතාම සුළු ඉඩක් බව ඔවුන්ට නොතේරුනා නෙවෙයි. ඒත් නිකම්ම ඉන්නවට වඩා ඒකත් හොඳයි. ඔවුන් ලහි ලහියේ වැඩට බැස්සා.

කාන්තාවන් දෙන්නා පොල් කොල කපාගෙන පිහිතුඩකින් හැමෝගෙම නම් පොල් කොළ වල පැහැදිලිව කෙටුවා. යටින්ම හොල්ලවයි කියලත් ලිව්වා. රෑ බෝවුනාම පිරිමි මුහුදු ලිහිණි නිදාගන්න දූපතට පීනගෙන ගිහින් ඔවුන්ට පුළුවන් තරම් ලිහිණින් අල්ලගත්තා. ඒ හැම ලිහිණියාගෙම කකුලේ නම් කොටපු පොල් කොලය බැගින් ගැට ගැහුවා.

සති දෙක තුනක් ගත වෙද්දි ඔවුන් දැක්කා මුහුදු ලිහිණි ඉන්න දූපතේ විශාල කලබලයක්. ලිහිණියන් උතුර බලා පියාසර කරන්න සූදානම් වෙනවා. ලිහිණින් එක එකා අහසට නැග්ගා. ටික වෙලාවකින් මුළු අහසම ලිහිණින් ගෙන් පිරුනා. හුළං පාරත් එක්ක ලිහිණි රංචුව උතුරු දිසාවට පියාඹන හැටි ඔවුන් වෙරළේ ඉඳන් බලාගෙන හිටියා.

ෆුවාමුලාකු දූපතේ ළමයෙක් දවසක් මුහුදු ලිහිණියෙක් අල්ලගෙන ඌව උයන්න හිතාගෙන උගේ පිහාටු ගලවන්න පටන් ගත්තා. එතකොට ඔහු දැක්කා උගේ කකුලෙ පොල් කොළයක් ගැට ගහල තියෙනවා. ඔහු ඒක ඔහුගේ පියාට පෙන්නුවා. පියා ඒක දූපතේ ප්‍රධානියාට පෙන්නුවා. දූපත් ප්‍රධානිය හනි හනික බෝට්ටු තුනක් සූදානම් කලා හොල්ලවයි බලා යන්න​.

දින කීපයක මුහුදු ගමනකින් පස්සෙ ඔවුන් හොල්ලවයි දූපත් වලට ආවා. දූපත් එකින් එක පරික්‍ෂා කරගෙන යද්දි ඔවුන්ට අතරමං වුන පිරිස හමුවුනා.

දෙවියන්ට ස්තූති කරමින් ඔවුන් සියළු දෙනාම නැවත නිවෙස් බලා යාත්‍රා කලා෴


- කතාව කිව්වේ කතීබුගේ ඊබ්‍රහිම් සයීදු (දිගුවන්දෝ, ෆුවාමුලාකු දූපත​)


අටුවාව​

1. දිවෙහි රාජ්ජේ දින දර්ශකය​

දිවෙහි රාජ්ජේ වැසියන් ගෙ ජීවිතය එකට ගැටගැහිල තියෙන්නෙ මෝසම් සුළං සහ මෝසම් වැහි එක්ක​. ඒ නිසා ඔවුන් ගේ සාම්ප්‍රදායික දින දර්ශකය හැදිල තියෙන්නෙ මෝසම් සුළඟේ වෙනස්කම් අනුව​.

ඔවුන් මුලින්ම අවුරුද්ද කොටස් දෙකකට බෙදුවා. ඒ ඉරුවයි සහ හුළංගු කියල​. ඉරුවයි කියන වචනයේ තේරුම "ඊශාන".ඉරුවයි අයිති වෙන්නෙ ඊශාන දිග මෝසමට​. හුළංගු කියන වචනයේ තේරුම "බටහිර​". හුළංගු අයිති වෙන්නෙ නිරිත දිග මෝසමට​.


2. හොල්ලවායි

"හොල්ලවයි" කියල දකුණු දිවෙහි බසිනුත් "ෆෝලවාහි" කියල උතුරු දිවෙහි බසිනුත් හැඳින්වෙන්නේ චාගෝස් දූපත්. චාගෝස් දූපත් කියන්නෙ මාලදිවයිනේ දකුණු කෙලවරට කිලෝමීටර් 500 ක් පමණ දුරින් තියෙන දූපත් සමූහයක්. ඉන්දියන් සාගරය මැද්දෙ තියෙන මේ කුඩා දූපත් ඈත අතීතයේ ඉඳල මිනිස් වාසයෙන් තොර දූපත් වුනා.

1793 දී ප්‍රංශ ජාතිකයන් අප්‍රිකාණු වහල්ලු කම්කරුවන් විදිහට යොදාගෙන මේ දූපත් වල පොල් වගාවක් ඇති කරා. පසුව මේ වහල්ලු නිදහස ලබලා මේ දූපත් සමූහයේ විශාලතම දූපත වුන දියේගෝ ගාර්‍ෂියා දූපතේ පදිංචි වුනා.

1973 දී ඇමරිකාව දියේගෝ ගාර්‍ෂියා දූපතේ නාවික හමුදා කඳවුරක් පිහිටෙව්වා. ඒ සඳහා දූපතේ සම්පූර්න ජනගහනය වුන 3000 ක පිරිසක් බලහත්කාරයෙන් මුරුසියට රැගෙන ගියා.

අද නැවතත් දූපත් සමූහය ජනාවාස වලින් තොරයි (හමුදා කඳවුරු ඇරෙන්න​).



3. පොල් කකුළුවෝ

Coconut Crab නමින් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන පොල් කකුළුවෝ තමයි ලෝකයේ විශාලම කකුළු වර්ගය​. හොඳින් වැඩුනු පොල් කකුළුවෙක් අඩි 3 ක් විතර දිගයි. චාගෝස් දූපත් වල හමුවෙන මේ කකුළුවන් මාලදිවයිනේ වාසය කරන්නෙ නෑ.


4. බෙලිපට්ට

මුහුද ආශ්‍රිතව වැවෙන රතු සහ කහ පාට මල් පිපෙන මේ ගහ වද කුලයට අයත් ගහක්. මේක විද්‍යාත්මකව Hibiscus tiliaceus නමින් හැඳින්වෙනවා. මේ ගහේ පට්ට ඉතාම ශක්තිමත් නිසා ලණු වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්.


5. අෂි

අෂි කියල දිවෙහි බසින් හැඳින්වෙන්නෙ ලීයෙන් හදන උස වේදිකාවකට​. මේවා සමහර විට වහලයකුත් සහිතව හැදුවා. මේ වේදිකා නිදාගන්න සහ විවේක ගන්න පාවිච්චි කරනවා.



6. බොන්ඩි

පැනි සහ පොල් මිශ්‍ර කරල ගින්නේ රත් කර ගැනීමෙන් හදන පැණිරස කැවිලි වර්ගයක්. බොන්ඩි සඳහා ගොඩක් ප්‍රසිද්ධ දිවෙහි රාජ්ජේ දකුණුදිග අතොළු. ලංකාවෙත් කලකට ඉහතදී බොන්ඩි ගොඩක් ජනප්‍රිය කෑමක්. සිංහලයො මේක හැඳින්නුවේ බොන්ඩි අළුවා කියල​.


Sunday, April 15, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 37 (මීයො දෙන්නෙක් පන්නපු පූසා )

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මීයො දෙන්නෙක් පන්නපු පූසා 


එකෝමත් එක දවසක හොඳටම බඩගිනි හැදිච්ච පූසෙක් පොල් රුප්පාවක් අස්සෙන් ඇවිදිමින් හිටියා. එකපාරටම ඌ දැක්කා මීයෙක් පොල් ගහකින් බිමට බහින හැටි. පූසා ඉවසිල්ලෙන් බලාගෙන හිටියා මීයා බිමටම බැහැල පොල් ගහෙන් ටිකක් ඈත් වෙනතුරු. ඊට පස්සේ මීයා පස්සෙ පන්නන්න පටන් ගත්තා.

පූසා දැක්කෙ නෑ එතැන පඳුරක් අස්සේ තවත් මීයෙක් හිටපු බව​. ඒ මීයා හිතුවේ පූසා දුවගෙන එන්නෙ තමා දිහාවට කියලා. ඌත් දුවන්න පටන් ගත්තා. දැන් මීයො දෙන්නෙක් පූසට ඉස්සරහින් දුවනවා.

"අද හොඳ වාසනාවන්ත දවසක්. අද මට මීයො දෙන්නෙක් ම කන්න පුළුවන්."

පූසා මීයෝ දෙන්න පස්සෙ පන්නන ගමන් කල්පනා කරනවා.

එක පාරටම මීයො දෙන්නා පාරවල් දෙකක දුවන්න ගත්තා. පූසා හනිකට කල්පනා කරා මොන මීය පස්සෙද පන්නන්නෙ කියලා.

"වමට දුවපු එකා පස්සෙ යනවා. ඌ දුවන්නෙ හෙමින්."

පූසා වම් පැත්තට දුවපු මීයා පස්සෙ පන්නන්න ගත්තා. ටික වෙලාවකින් පූසා ආපහු මෙහෙම හිතනවා.

"දකුණු පැත්තට දුවපු එකා හයියෙන් දිව්වා. ඌට දැන් මහන්සි ඇති. ඌ පස්සෙ පැන්නුවොත් ලේසියෙන් අල්ලගන්න පුළුවන් වෙයි."

පූසා ආපහු දුවන පාර වෙනස් කරලා දකුණු පැත්තට දිව්ව මීයා පස්සෙන් පන්නන්න පටන් ගත්තා.

ඒත් දකුණු පැත්තට දුවපු මීයා ඒ වෙද්දි ගොඩක් දුර දුවල ඉවරයි. ඌ දුවල දුවල ගිහින් පොල් ගහකට නැග්ගා. පූසාට ඌට කිට්ටු වෙන්නවත් බැරි වුනා.

"ආහ්, ඌ පැන්නා. දැන් අනිත් එකාව වත් අල්ල ගන්න ඕනෙ."

එහෙම හිතපු පූසා ආපහු වම් පැත්තට දුවපු මීයා පස්සෙන් පන්නන්න පටන් ගත්තා.

ඒත් ඒ වෙද්දි ඌත් ගොඩක් දුර දුවල ඉවරයි. ඌ දුවල දුවල ගිහින් පඳුරක් අස්සට රිංග ගත්තා. පූසට ඌ ගිය තැනක් හොයා ගන්න බැරි වුනා.

ලැජ්ජාවෙන්, මහන්සියෙන් සහ බඩගින්නෙන් ඔළුව පහතට දාගත්ත පූසා හෙමින් හෙමින් යන්න ගියා.

කවුරුහරි කෙනෙක් තන්හාව නිසා හිත හදා ගෙන තනි තීරණයක් ගන්න බැරුව ලතැවෙනකොට දිවෙහි රාජ්ජෙ වැසියො කියන්නෙ "දේ මීදා ෆෙහි බුලා" (මීයො දෙන්නෙක් පන්නපු පූසා වගේ) කියල​.


- කතාව කිව්වේ රෆීගු, (දඩිමගො, ෆුවාමුලාකු දූපත​)

Friday, April 13, 2018

නොහිතන කතා


අපි සමහර වෙලාවට ඔළුවට දාගෙන ඉන්න දේවල් ඇත්තටම වැරදියි. ඒ වගේම අපි හීනෙකින් වත් නොහිතන දේවල් ඇත්තටම බැලුවම සත්‍යය​.

මේ ඒ වගේ නොහිතන කතා.

1. ධර්මිෂ්ට​ එළාර රජතුමා



සාමාන්‍යයෙන් ජනප්‍රිය මතයක් තමයි මහාවංශයේ එළාර රජතුමා ධාර්මික රජ කෙනෙක් බව සඳහන් වන බව​. නමුත් මහාවංශයේ කොතැනකවත් එහෙම සඳහන් වෙන්නෙ නෑ. ඔහු නීතිය අකුරට ක්‍රියාත්මක කළ රජ කෙනෙක් බව නම් සඳහන්.


2. මාලදිවයින ලංකාවේ යටත් විජිතයක් ද​? ​



ඒ වගේම තවත් සමහර වෙලාවට කියැවෙන කතාවක් තමයි අතීතයේදී මාලදිවයින ලංකාවට අයත් ව තිබුනු ප්‍රදේශයක් බවත්, ඔවුන් 1965 වෙනකං ලංකාවට කප්පම් ගෙවූ බවත්, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඔවුන්ට නිදහස දුන් බවත්.

මාලදිවයින මීට අවුරුදු 2000 කට විතර කලින් ලංකාවෙන් ගිය සිංහල ජනතාව මගින් ජනාවාස වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් ක්‍රි.ව​. 1100 පමණ වෙනතුරු බෞද්ධයන්. නමුත් ඒ රටේ තිබිල තියෙන්නෙ ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන නෙවෙයි - වජ්‍රයාන බෞද්ධ සම්ප්‍රදාය​.

නමුත් කිසිම දවසක මාලදිවයින ලංකාවට අයිති වෙලා තිබිල නෑ.

මේ කතාවෙ මුල 1887 දී මාලදිවයින බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂිත ප්‍රදේශයක් වීම​. ඊට පස්සෙ ඔවුන් පාලනය වෙලා තියෙන්නෙ ලංකාවේ හිටපු බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයා යටතේ. ඒ සඳහා වාර්‍ෂික සංකේතාත්මක කප්පම් ගෙවීමක් කරල තියෙනවා. මේ සම්ප්‍රදාය ලංකාව නිදහස ලැබූ පසුත් දිගටම කරගෙන ගිහින් තියෙනවා. ඒත් 1965 දී මාලදිවයින ජනරජයක් වුනාට පස්සෙ ඒක නවත්තල තියෙනවා.


3. ජපානයේ නිරාගමිකයන්



බොහෝ දෙනා විශ්වාස කරන්නේ ජපානය නිරාගමිකයන් ගෙන් පිරි රටක් කියල​. ඒත් මේකත් අමු බොරුවක්.

මේ වැරදි විශ්වාසයට හේතු වෙලා තියෙන්නෙ ජපානයේ ප්‍රධාන ආගම වෙන ෂින්ටෝ ආගම "සංවිධානාත්මක ආගමක්" විදිහට ගැනෙන්නෙ නැති එක​. ඒකට හේතුව ෂින්ටෝ ආගමේ පූජකයන් නොමැති වීම​. ෂින්ටෝ ආගම අපේ දේව ඇදහිල්ල වගේ එකක්. ෂින්ටෝ දේවාල වල අපේ කපු මහත්තුරු වගේ දේවාල බලාගන්න පිරිසක් ඉන්නවා. නමුත් ඒ අය රාජකාරියක් කරන පිරිසක් මිස ආගමික පූජකයන් නෙවෙයි. ඒ නිසා ෂින්ටෝ ආගම සංවිධානාත්මක ආගමක් කියල සැලකෙන්නෙ නෑ.

මේ හේතුව නිසා සමහර සංගනණ වල ෂින්ටෝ ආගම අදහන පිරිස "ආගම් නොඅදහන​" කියල වර්ගීකරනය කෙරෙනවා. නමුත් ඒක නොමග යවන සුළුයි.

ජපානයේ ආගම් ඇදහීම මේ වගේ.

ෂින්ටෝ - 55%
බෞද්ධ සහ ෂින්ටෝ - 26%
බෞද්ධ - 10%
ක්‍රිස්තියානි - 2%
ආගම් නොඅදහන - 7%


4. ඉස්ලාමය සහ නිකාබය​




බොහෝ දෙනා විශ්වාස කරන පරිදි කුරානයේ මුස්ලිම් කාන්තාවන්ට මුහුණ වසාගැනීමට අනිවාර්‍යය කරල තියෙනවා.

ඇත්තෙන්ම කුරානයේ කිසිම තැනක මෙහෙම නීතියක් පනවලා නෑ. කුරානයේ සඳහන් වෙන එකම නීතිය කාන්තාවන් ගේ හිස සහ පපුව වසා ගැනීමට පමණයි. ඊට අමතරව පිරිමින් ගේ අවධානය ඇද ගැනීමේ අරමුනෙන් ඇඳුම් අඳින්න එපා කියලත් කියැවෙනවා.

මුහුණ වසා ගැනීමේ සම්ප්‍රදාය එන්නෙ ඉස්ලාමයේ තියෙන "සුන්නා" සංකල්පය හරහා. සුන්නා කියන්නෙ මුස්ලිම් පිරිමියෙක් නම් නබි තුමා සහ මුස්ලිම් කාන්තාවක් නම් නබි තුමාගේ බිරියන් තම ජීවිතයට ආදර්ශයක් කර ගැනීම​. එහිදී නබි තුමා සහ ඔවුන් ගේ බිරියන් එදිනෙදා ජීවිතයේ හැසිරුනු ආකාරය ආදර්ශයට ගැනීම කෙරෙනවා. මුස්ලිම් පිරිමි බොහෝ දෙනෙක් රැවුල වවන ක්‍රමය (උඩු රැවුල නොමැතිව යටි රැවුල පමණක්) මේකට උදාහරණයක්.

නබි තුමා තම බිරියන්ට ඔවුන් වෙනත් කාන්තාවන්ට වඩා ශීලයෙන් උසස් බව ඇඟවීමට ප්‍රසිද්ධ ස්ථාන වලදී මුහුණ වසා ගැනීමට උපදෙස් දුන්නා. අද මුස්ලිම් කාන්තාවන් සමහර දෙනා අනුගමනය කරන්නේ ඒ සුන්නාව​.


5. අරාබි ජාතික​යන් සහ මුස්ලිම් වරු




සියළු මුස්ලිම් වරු අරාබි ජාතිකයන් නෙවෙයි. ඒක හැමෝම දන්න දෙයක්. ඒත් බොහෝ දෙනා නොදන්න දෙය නම් අරාබි ජාතිකයන් කියන්නෙ ලෝක මුස්ලිම් ජනගහණයෙන් සුළුතරයක් බව​. ඇත්තෙන්ම ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත රටවල් පහම අරාබි නොවන රටවල්.

ඉන්දුනීසියාව - මිලියන 227
පාකිස්ථානය - මිලියන 204
ඉන්දියාව - මිලියන 189
බංගලාදේශය  - මිලියන 149
නයිජීරියාව - මිලියන 95

වැඩිම මුස්ලිම් ජනගහණයක් සහිත අරාබි රට ඊජිප්තුව​. ඒ මිලියන 87 ක්.


6. උතුරු කොරියාවේ සාගතය​



අපට ජාත්‍යන්තර පුවත් ආයතන වලින් නිතර කියන්නෙ උතුරු කොරියාව සාගතයෙන් පීඩා විඳින රටක් කියල​.

උතුරු කොරියාවේ 1993-98 සමයේ දරුණු සාගතයක් තිබුනා. ඒකෙන් විශාල මරණ සංක්‍යාවකුත් සිද්ධ වුනා. නමුත් දැන් උතුරු කොරියාවේ සාගතයක් නෑ. ඇත්ත​, උතුරු කොරියාව කියන්නෙ ලෝකයේ ආහාර සුලබම රට නෙවෙයි. ඒත් ඒ රටේ සාගතයක් නෑ.


7. නායක්කාර් වරු දෙමළ ද​?



මහනුවර යුගයේ අවසන් සමයේ රට පාලනය කළ නායක්කාර් වාංශික රජවරු බොහෝ දෙනා සිතන ආකාරයට දෙමළ ජාතිකයන් නෙවෙයි.

ඔවුන් පැවත එන්නේ විජයනගර් අධිරාජ්‍යයේ ප්‍රාදේශීය යුධ නායකයන් වුන "නායක්" වරුන් ගෙන්. මේ නායක් වරු තෙළිඟු භාෂාව කතා කළ අය​. විජයනගර් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමඟම ඔවුන් ස්වාධීන රාජ්‍යයන් රැසක් දකුණු ඉන්දියාවේ පිහිටුවා ගත්තා. මදුරෙයි නගරය මූලික කරගෙන පිහිටවූ මේ වගේ නායක් රාජ්‍යයක පාලකයන් හැඳින්වුනේ මදුරෙයි නායක් වරු නමින්.

ලංකාවේ සිහසුන උරුම වෙන්නේ මේ මදුරෙයි නායක් වරුන්ට​. ඔවුන් ලංකාවේදී හැඳින්වුනේ "නායක්කාර් වංශිකයන්" විදිහට​.

නායක්කාර් වරු උපතින් හින්දු ආගම ඇදහුවත්, ලංකාවේ සිහසුන දැරීම සඳහා බෞද්ධයන් බවට පත් වුනා.


8. අඩ සඳ සහ තරුව​, කොළ පාට සහ මුස්ලිම් වරු



අඩ සඳ සහ තරුව සහ කොළ පාට වර්තමානයේ මුළු ලෝකය පුරාම ඉස්ලාමය සහ මුස්ලිම් වරු හඳුන්වන සංකේත බවට පත් වෙලා තියෙනවා. නමුත් නබි තුමාගේ සමයේ මේවා භාවිතා වුනේ නෑ.

කොළ පාට ඉස්ලාමයත් එක්ක සම්බන්ධ වෙන්නෙ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 300 කට විතර පස්සෙ. ඒ ඉස්ලාමීය කලීෆාතයක් වන ෆතිමත් කලීෆාතය තමාගේ කොඩි සඳහා කොළ පාට යොදා ගැනීමෙන් පසු. නබි තුමා තම සලකුණ විදිහට පාවිච්චි කලේ අකුරු හෝ සංකේත කිසිවක් නැති තනි කළු පාට කොඩියක්.

අඩ සහ තරුව මැද පෙරදිග සංස්කෘතීන් වල යොදා ගැනුනේ අනාදිමත් කාලයක ඉඳලා. මිසරය​, මෙසපොතේමියාව සහ බයිසැන්තයින් අධිරාජ්‍යය මේ සංකේත භාවිතා කරල තියෙනවා. මුස්ලිම් වරු මුල් වරට අඩ සඳ සහ තරුව පාවිච්චි කරන්න පටන් ගත්තේ 13 වන සියවසේදී. ඒ නබි තුමාගේ මරණයෙන් අවුරුදු 600 කට විතර පසුව​.

අඩ සඳ සහ තරුව ලෝකය පුරා මුස්ලිම් වරු අතර ජනප්‍රිය වුනේ 1844 දී තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය තම කොඩියට අඩ සහ තරුව යොදාගත් පසු.

9. ක්ලියෝපැට්‍රා - නූතන රැජිණ​



මිසර පිරමීඩ, ක්ලියෝපැට්‍රා බිසව වගේ දේවල් ඉතා ඈත අතිතයේ සිදුවීම් කියලයි අපි හිතන්නෙ.

ඒත්, ක්ලියෝපැට්‍රා බිසව ජීවත් වුන කාලය ගීසා හි පිරමිඩ ඉඳිකිරීමට වඩා සමීප වෙන්නෙ ප්‍රංශයේ අයිෆල් කුළුණ ඉඳි කිරීමට​.

ගීසා හි පිරමිඩ ඉඳි කෙරෙන්නේ ක්‍රි.පූ. 2560 දි. ඒ ක්ලියෝපැට්‍රා බිසව ජීවත් වුන ක්‍රි.පූ. 50 ට වඩා අවුරුදු 2500 කට කලින්. අයිෆල් කුළුණ ඉඳිකෙරෙන්නෙ ක්‍රි.ව​. 1889 දී. ඒ ක්ලියෝපැට්‍රා බිසවට අවුරුදු 1950 කට පස්සෙ.

මිසර ශිෂ්ඨාචාරය කොයිතරම් දීර්ඝ කාලයක් තිස්සේ පැවතුන එකක් ද කියන එක වටහා ගන්න මේක කදිම දර්ශකයක්.



10. මහා පරාක්‍රමබාහු - නූතන රජතුමා



දුටුගැමුණු රජතුමා, මහා පරාක්‍රමබාහු රජතුමා අයිති වෙන්නෙ අපේ පුරාණ ඉතිහාසයට​, එහෙම තමයි අපිට හිතෙන්නෙ.

ඒත්, මහා පරාක්‍රමබාහු රජතුමා ජීවත් වුන කාලය විජිතපුර සටනට වඩා සමීප වෙන්නෙ නන්දිකඩාල් සටනට​.

විජිතපුර සටන සිද්ධ වෙන්නෙ ක්‍රි.පූ. 161 දි. ඒ මහා පරාක්‍රමබාහු රජතුමා හිටපු ක්‍රි.ව​. 1153 ට අවුරුදු 1300 කට විතර කලින්. ක්‍රි.ව​. 2009 දි සිද්ධ වෙන නන්දිකඩාල් සටන සහ මහා පරාක්‍රමබාහු රජතුමා අතර කාල අවුරුදු 850 විතරයි.

නැවතත් මේක අනුරාධපුර යුගයේ දීර්ඝකම ගැන හොඳ දර්ශකයක්.

ඇත්තෙන්ම අපේ ලිඛිත ඉතිහාසයෙන් 58% ක්ම අයිති වෙන්නෙ අනුරාධපුර යුගය ට​.


11. "අනුන්ගේ" අධිරාජ්‍යයෝ



ලෝක ඉතිහාසයේ ගොඩක් මහා අධිරාජ්‍යය ගොඩනංවපු අධිරාජ්‍යයෝ සහ පාලකයෝ ඒ රටේ හෝ ජාතියේ අය නෙවෙයි.

ග්‍රීක ශිෂ්ඨාචාරයේ දැවැන්තම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ මහා ඇලෙක්සැන්ඩර්. නමුත් ඔහු ග්‍රීකයෙක් නෙවෙයි මැසිඩෝනියානු ජාතිකයෙක්. මැසිඩෝනියාව විසින් ග්‍රීසිය යටත් කරගත් පසු ග්‍රීසියත් සමඟ එක්ව තමයි ඇලෙක්සැන්ඩර් ගේ මහා අධිරාජ්‍යය ගොඩ නංවන්නේ.

එංගලන්ත ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂයක් වගේම නූතන එංගලන්ත රාජ්‍යයයේ ආරම්භකයා විදිහට සැලකෙන්නේ පළමුවන විලියම්. නමුත් ඔහු ඉංග්‍රීසි ජාතිකයෙක් නෙවෙයි, නෝර්මන් ජාතිකයෙක්. නෝර්මන් වරු කියන්නේ ප්‍රංශයේ නෝර්මඩි ප්‍රදේශයේ පදිංචි වෙලා ප්‍රංශකරණය වුන වයිකිං වරු.

කුරුස යුධ සමයේ අරාබි (සැරසන්) වරුන් ගේ විශිෂ්ඨතම නායකයා වුනේ සලාහ්-උද්-දින් (සැලඩින්). නමුත් ඔහු අරාබි ජාතිකයෙක් නෙවෙයි. කුර්දි ජාතිකයෙක්.

චීන ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය කියල සැලකෙන්නෙ කුබ්ලායි ඛාන් ගේ අධිරාජ්‍යය​. නමුත් කුබ්ලායි ඛාන් චීන ජාතිකයෙක් නෙවෙයි. මොංගෝලියානු ජාතිකයෙක්. මොංගෝලියාව විසින් චීනය යටත් කරගෙන, පසුව චීන අධිරාජ්‍යයක් ගොඩනංවනවා.

ප්‍රංශය තමාගේ ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යය ගොඩ නංවන්නේ නැපෝලියන් බොනපාට් යටතේ. නමුත් නැපෝලියන් ප්‍රංශ ජාතිකයෙක් නෙවෙයි. ඔහු උපත ලබන්නේ කෝර්සිකාවේ ඉතාලි ජාතික පවුලක​. කෝර්සිකාව ප්‍රංශයට අයිති වෙන්නේ නැපෝලියන් උපත ලබපු වසරේදීමයි.

මෞර්‍යය අධිරාජ්‍යයට පස්සෙ ඉන්දියාවේ බිහි වුන මහා අධිරාජ්‍යය වුනේ මෝගල් අධිරාජ්‍යය​. මෝගල් අධිරාජ්‍යයේ විශ්‍ෂ්ඨතම පාලකයා වුන මහා අක්බාර් රජු ඉන්දියානු ඉතිහාසයේ සුවිශේෂී චරිතයක්. නමුත් අක්බාර් රජතුමා අනෙක් සියළුම මෝගල් පාලකයන් වගේම ඉන්දියානුවෙක් නෙවෙයි. මෝගල් වරු පැවත එන්නේ පර්සියානු සංස්කෘතිය වැළඳ ගත් තුර්කි-මොංගොල් ගෝත්‍රයක් වුන තිමුරිද් වරුන් ගෙන්.

රුසියාව ඉතිහාසයේ බලවත්ම රටක්ව පවතින්නේ ජෝශප් ස්ටාලින් සෝවියට් දේශයේ නායකයාව හිටපු සමයේ. ඒත් ස්ටාලින් රුසියන් ජාතිකයෙක් නෙවෙයි. ඔහු ජෝර්ජියන් ජාතිකයෙක්. එවකට ජෝර්ජියාව රුසියාවේ (සෝවියට් දේශයේ) කොටසක්.

ජර්මනිය මුළු යුරෝපයම පාහේ අල්ලාගෙන දැවැන්ත අධිරාජ්‍යයක් ගොඩ නංවනවා ඇඩොල්ෆ් හිට්ලර් යටතේ. නමුත් හිට්ලර් ජර්මන් ජාතිකයෙක් වුනත් උපත ලැබුවේ ජර්මනියේ නෙවෙයි - ඔස්ට්‍රියාවේ.


12. "අනුන්ගේ" දේශ ගවේෂකයෝ



මේ තත්වය අධිරාජ්‍යයන්ට විතරක් සීමාවුන එකක් නෙවෙයි. දේශ ගවේෂකයන්ටත් පොදු තත්වයක්.

ලෝක ඉතිහාසයේ බලවත්ම අධිරාජ්‍යයක් ගොඩ නංවපු රටක් තමයි ස්පාඤ්ඤය​. ස්පාඤ්ඤය අධිරාජ්‍යයේ පදනම වුනේ දේශ ගවේෂකයන් දෙදෙනෙක් ගේ මුහුදු ගමන්. ඒ ක්‍රිස්ටෝපර් කොලම්බස් සහ ෆර්ඩිනන්ඩ් මැගලන්. නමුත් මේ දෙන්නම ස්පාඤ්ඤය ජාතිකයන් නෙවෙයි.

කොලම්බස් ඉතාලි ජාතිකයෙක්. ඔහු උපත ලබන්නේ ජිනීවා හි. ඔහු තමාගේ බටහිරට යාත්‍රා කිරීමෙන් ආසියාවට ළඟා වීමේ අදහස සඳහා මුදල් සහ නැව් ලබාගැනීමේ අදහසින් රටවල් කීපයකටම යනවා. පෘතුගාලය සහ එංගලන්තය ඔහුගේ අදහස් ප්‍රතික්‍ෂේප කරනවා. අවසානයේ ඔහුව පිළිගන්නේ ස්පාඤ්ඤය​.

මැගලන් පෘතුගීසි ජාතිකයෙක්. ඔහු පෘතුගාල නැව් කන්ඩායම් සමඟ ඉන්දියාවේ සහ මලක්කාවේ ආක්‍රමන වලට සහභාගී වූ අයෙක්. නමුත් පසු කාලීනව පෘතුගාල රාජ සභාව ඔහු සමඟ අමනාප වීම නිසා මැගලන් ස්පාඤ්ඤයට යනවා. ඔහුගේ පෙරදිග අත්දැකීම් නිසා ස්පාඤ්ඤය රාජසභාව බටහිරින් මලක්කාව සඳහා යන මුහුදු ගමනක නායකයා විදිහට ඔහුව පත් කරනවා.


13. කොකුරා - ලෝක ඉතිහාසයේ වාසනාවන්තම නගරය​



කොකුරා කියන්නෙ දකුණු ජපානයේ නගරයක්. දෙවෙනි ලෝක යුධ සමයේදී කොකුරා ඇමරිකානු යුධ සැලසුම් වල වැදගත් තැනක් ඉසිලුවා. ඒ හිරොෂිමා වෙන් පසු දෙවෙනි පරමාණු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වශයෙන්.

1945 අගෝස්තු 9 වෙනිදා ඇමරිකානු "බොක්ස්කාර්" බෝම්බ ප්‍රහාරක අහස් නැව "මහත මිනිහා" ප්ලූටෝනියම් බෝම්බයත් සමඟ පිටත් වෙන්නේ කොකුරා නගරයට බෝම්බය හෙලීමේ අරමුණෙන්. නමුත් ඔවුන් ගේ සැලසුම් වල ඇතිවෙන ප්‍රමාද දෝෂයක් නිසා ප්‍රහාරය පැය බාගයක් පරක්කු වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඊට කලින් දවසේ අසල්වැසි යහටා නගරයට එල්ල වුනු නාපාම් බෝම්බ ප්‍රහාරයන් ගෙන් ඇති වුන ගින්න නිසා ඇති වූ දුම කොකුරා නගරයට ඉහළින් අහස වසා ගන්නවා.

මේ දුම සහ අධික වළාකුළු වැස්ම නිසා බොක්ස්කාර් අහස් නැවේ ගුවන් නියමුවන්ට කොකුරා නගරය හරිහැටි දර්ශනය වෙන්නෙ නෑ. ඔවුන් කොකුරා නගරයට ඉහළින් තුන් වරක් පියාසර කරත් නිවැරදි ඉලක්කය ගන්න අසමත් වෙනවා.

මේ නිසා ඔවුන් තමාගේ දෙවැනි ඉලක්කය වෙත ගිහින් එතැනට පරමාණු බෝම්බය හෙලනවා. ඒ නගසකි නගරය.

ප්‍රහාරයෙන් මිය ගිය ගණන 80,000 ක්.