Sunday, April 15, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 37 (මීයො දෙන්නෙක් පන්නපු පූසා )

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මීයො දෙන්නෙක් පන්නපු පූසා 


එකෝමත් එක දවසක හොඳටම බඩගිනි හැදිච්ච පූසෙක් පොල් රුප්පාවක් අස්සෙන් ඇවිදිමින් හිටියා. එකපාරටම ඌ දැක්කා මීයෙක් පොල් ගහකින් බිමට බහින හැටි. පූසා ඉවසිල්ලෙන් බලාගෙන හිටියා මීයා බිමටම බැහැල පොල් ගහෙන් ටිකක් ඈත් වෙනතුරු. ඊට පස්සේ මීයා පස්සෙ පන්නන්න පටන් ගත්තා.

පූසා දැක්කෙ නෑ එතැන පඳුරක් අස්සේ තවත් මීයෙක් හිටපු බව​. ඒ මීයා හිතුවේ පූසා දුවගෙන එන්නෙ තමා දිහාවට කියලා. ඌත් දුවන්න පටන් ගත්තා. දැන් මීයො දෙන්නෙක් පූසට ඉස්සරහින් දුවනවා.

"අද හොඳ වාසනාවන්ත දවසක්. අද මට මීයො දෙන්නෙක් ම කන්න පුළුවන්."

පූසා මීයෝ දෙන්න පස්සෙ පන්නන ගමන් කල්පනා කරනවා.

එක පාරටම මීයො දෙන්නා පාරවල් දෙකක දුවන්න ගත්තා. පූසා හනිකට කල්පනා කරා මොන මීය පස්සෙද පන්නන්නෙ කියලා.

"වමට දුවපු එකා පස්සෙ යනවා. ඌ දුවන්නෙ හෙමින්."

පූසා වම් පැත්තට දුවපු මීයා පස්සෙ පන්නන්න ගත්තා. ටික වෙලාවකින් පූසා ආපහු මෙහෙම හිතනවා.

"දකුණු පැත්තට දුවපු එකා හයියෙන් දිව්වා. ඌට දැන් මහන්සි ඇති. ඌ පස්සෙ පැන්නුවොත් ලේසියෙන් අල්ලගන්න පුළුවන් වෙයි."

පූසා ආපහු දුවන පාර වෙනස් කරලා දකුණු පැත්තට දිව්ව මීයා පස්සෙන් පන්නන්න පටන් ගත්තා.

ඒත් දකුණු පැත්තට දුවපු මීයා ඒ වෙද්දි ගොඩක් දුර දුවල ඉවරයි. ඌ දුවල දුවල ගිහින් පොල් ගහකට නැග්ගා. පූසාට ඌට කිට්ටු වෙන්නවත් බැරි වුනා.

"ආහ්, ඌ පැන්නා. දැන් අනිත් එකාව වත් අල්ල ගන්න ඕනෙ."

එහෙම හිතපු පූසා ආපහු වම් පැත්තට දුවපු මීයා පස්සෙන් පන්නන්න පටන් ගත්තා.

ඒත් ඒ වෙද්දි ඌත් ගොඩක් දුර දුවල ඉවරයි. ඌ දුවල දුවල ගිහින් පඳුරක් අස්සට රිංග ගත්තා. පූසට ඌ ගිය තැනක් හොයා ගන්න බැරි වුනා.

ලැජ්ජාවෙන්, මහන්සියෙන් සහ බඩගින්නෙන් ඔළුව පහතට දාගත්ත පූසා හෙමින් හෙමින් යන්න ගියා.

කවුරුහරි කෙනෙක් තන්හාව නිසා හිත හදා ගෙන තනි තීරණයක් ගන්න බැරුව ලතැවෙනකොට දිවෙහි රාජ්ජෙ වැසියො කියන්නෙ "දේ මීදා ෆෙහි බුලා" (මීයො දෙන්නෙක් පන්නපු පූසා වගේ) කියල​.


- කතාව කිව්වේ රෆීගු, (දඩිමගො, ෆුවාමුලාකු දූපත​)

1 comment: