හොල්ලවයි
(සත්‍ය කතාවකි. 17 වෙනි සියවසේ අග භාගයේ සිදුවූ සිද්ධියක්.)
බොහොම ඉස්සර කාලෙ දවසක ඉරුවායි කාලයේදී (ඊශාන දිග මෝසම් කාලය) ෆුවා මුලාකු දූපතේ ඉඳල හබල් දෙළහක දෝනියක් (ලොකු බෝට්ටුවක්) වෙළඳාමට හුවදූ අතොළුව බලා පිටත් වුනා.
මේ දෝනියේ පිරිමි දාහතර දෙනෙක් සහ කාන්තාවන් දෙන්නෙක් හිටියා. අවාසනාවකට දෝනිය කුණාටුවකට අහුවුනා. දවස් පහක් එකදිගට ඔවුන් වැසි සහ දරුණු සුළං වලින් පීඩා වින්දා. ඔවුන් යාත්‍රා කරන්න ඕන වුනේ උතුරට වුනත්, තද සුළඟට අහුවෙලා ඔවුන්ව දකුණු දිශාවට ගහගෙන ගියා.
හයවෙනි දවසෙ වැස්ස පායලා ඉර පෑව්වා. මුහුද ආපහු නිසල වුනා. ඔවුන්ට ඈතින් දූපත් පෙළක් පෙනුනා. මේ දූපත් මාලදිවයිනේ දූපත් වලට බොහොම සමානයි. ඒත් දවස් පහක් තිස්සෙ දකුණට ගහගෙන ආපු නිසා ඒවා මාලදිවයිනට අයිති දූපත් වෙන්නෙ කොහෙත්ම විදිහක් නෑ කියල ඔවුන්ට තේරුනා. ඔවුන් දැනගත්තා ඒ හොල්ලවයි දූපත් කියල.
හොල්ලවයි දූපත් තියෙන්නෙ දිවෙහි රාජ්ජෙන් බොහෝම ඈත. ඒක මිනිස් වාසයෙන් තොර, අඳුරු, පාළු තැනක්. ඒත් දවස් පහක් තිස්සේ කුණාටුවෙන් බැටකාපු නැවියන්ට දූපත් පෙනුනේ සුරපුරක් වගේ.
ඔවුන් ගොඩබහින්න් සුදුසු තැනක් හොයමින් ඉතාම පරිස්සමෙන් දූපත් වටේ යාත්‍රා කලා. අන්තිමේදී ඉර මුහුදේ ගිලෙන්න ළං වෙද්දිත් ඔවුන්ට සුදුසු තැනක් හොයා ගන්න බැරි වුනා. නාවියකන් අතරෙ උණුසුම් වාද විවාද ඇති වුනා ගොඩ බහිනවද නැද්ද යන කරුණ ගැන. අන්තිමේදී රාත්‍රිය මුහුදේ ගත කරල ගොඩබිමෙන් ඈතට ගහගෙන යාමේ අවදානම නොගෙන ළඟම තියෙන ගොඩබිමට දෝනිය පදවන්න ඔවුන් තීරණය කරා.
හබල් කරුවන් ඉතාම පරිස්සමෙන් කොරල් පර අතරින් ගොඩබිම දිහාවට දෝනිය පදවාගෙන ගියා. ඒත් අන්තිම මොහොතේදී ලොකු රළයක් දෝනිය කොරල් පරයක් දෙසට තල්ලු කරා. කොරල් පරයේ හැපුන දෝනියේ පැත්තක් හිල් වුනා. වේගයෙන් වතුර දෝනිය ඇතුලට ගලන්න පටන් ගත්තා. ඔවුන් හැමෝම දෝනිය අතහැරල මුහුදට පැන්නා. වාසනාවකට ඒ නොගැඹුරු මුහුද. හැමෝම වැඩි කරදරයක් නැතුව ගොඩබිමට ආව.
මුළු දූපතම ඝනව වැඩුනු අඳුරු කැලයකින් වැහිල තිබුනා. ඉර බැහැගෙන යනවත් එක්කම මුළු දූපතම අඳුරේ ගිලෙන්න පටන් ගත්තා. පිරිසේ හිටපු පිරිමි හනි හනිකට වතුර ලබා ගන්න වලක් හෑරුවා. වාසනාවකට ඔවුන්ට පිරිසිදු වතුර ලැබුනා. හැමෝම වතුර බීල, ඇඟ හෝද ගත්ත.
රෑ බෝ වෙනවත් එක්කම ඔවුන් කවදාවත් නොදැකපු විශාල කකුළු වර්ගයක් පොළවෙන් මතු වුනා. ඒ කකුළුවෝ බිම හැම තැනම නිදහසේ ඇවිදින්න පටන් ගත්තා. මේ කකුළුවෝ දැකපු පිරිස භීතියට පත් වුනා. කිසි කෙනෙක් බිම නිදාගන්න කැමති වුනේ නෑ.
පහුවදා උදේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදුනා. එක පිරිසක් මාළු අල්ලන්න ගියා. අනෙක් අය මූදුබත් වුන දෝනියෙන් ඔවුන්ට පුළුවන් තරම් බඩු වෙරළට ඇද ගත්තා. ඊට පස්සෙ ඔවුන් දූපත ඇතුල පරීක්‍ෂා කරල බැලුවා. ඔවුන්ට වැටකෙයියා ගස් හමුවුනා. ඔවුන් වැටකෙයියා කොල වලින් ඔවුන් ගේ අෂි වල වහල සෙවිලි කර ගත්තා.
දෝනිය සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙලා තිබ්බෙ. ඔවුන්ට දෝනිය අළුත්වැඩියා කරන්න ආයුධ තිබුනෙ නැති නිසා දෝනිය හදාගෙන ආපහු සියරට යන අදහස අතහරින්න සිද්ධ වුනා. මේ පාළු දූපතේ තමන් කොටුවුන බව ඔවුන්ට තේරුම් ගියා.
දෝනියේ කෑම ගොඩක් තිබ්බෙ නෑ. ෆුවාමුලාකු ඉඳල හුවදු වලට ගමන් කරන්න සාමාන්‍යයෙන් දවසකට වඩා යන්නෙ නෑ. ඒ නිසා ඔවුන් කෑම විදිහට ගෙනල්ල තිබ්බෙ හුවදු වල ඉන්න නෑදෑ හිත මිතුරන්ට තෑගි දෙන්න බොන්ඩි අළුවා සහ ආරොස් (රස කැවිලි වර්ග) විතරයි. ඒවයින් වැඩි පංගුව කුණාටුවට අහුවුන දවස් වල කාල ඉවර වෙලා තිබුනා. මේ නිසා කෑම සඳහා ඔවුන්ට දූපත ඇතුලෙ හොයල බලන්න සිද්ධ වුනා. දූපත පුරාම ඇවිදල පොල් ගස් කීපයක්, මිදිලි (කොට්ටම්බා) ගහක්, බෝෂි සහ ලොහො (සාමාන්‍යයෙන් ආහාර විදිහට නොගන්නා, නමුත් ආහාර හිඟ අවස්ථා වලදි කෑමට ගන්න පුළුවන් පැලෑටි වර්ග දෙකක්) පැලෑටි හොයාගන්න ඔවුන්ට පුළුවන් වුනා. මින් ඉදිරියට ඔවුන් ගේ ආහාර වෙන්නෙ මේවා.
මුහුදු ගිය පිරිසට ඊට වඩා හොඳ වාසනාවක් තිබුනා. ඔවුන් ගස් කඳන් කීපයකින් කන්දොෆති (පහුරක්) හදලා අවට මුහුද සහ යාබද දූපත් පරික්‍ෂා කරා. මුහුදේ මාළු පිරිලා. වෙරළ පුරාම මුහුදු පක්‍ෂීන් සහ කැස්බෑවන් බිත්තර දාන කූඩු. ඒ නිසා ඔවුන්ට මාළු, බිත්තර සහ මස් වලින් අඩුවක් වුනේ නෑ.
ඔවුන් ගත කලේ ඉතාම දුෂ්කර ජීවිතයක්. ඔවුන් ගේ එකම බලාපොරොත්තුව වුනේ ඔවුන් ගේ දූපතේ ඉඳල ඔවුන් හොයාගෙන කවුරුහරි එයි කියන එක විතරයි. ඒත් ඒක සිද්ධ වෙන්න තිබුනෙ බොහොම අඩු අවස්ථාවක්. දින සති වලටත්, සති මාස වලටත් පෙරලෙද්දි ඒ බලාපොරොත්තුව ක්‍රමයෙන් හීන වුනා. කවුරුත් නැති මේ පාළු දූපතේ ජීවත් වෙන්න ඔවුන් ටික ටික පුරුදු වුනා.
කල් ගත වෙද්දි ඔවුන්ට ගම් රටවල් දැක ගැනීමේ ආසාවත්, දරු පවුල් දැක ගැනීමේ ආසාවත් එන්න එන්නම වැඩි වුනා. විශේෂයෙන්ම කාන්තාවන් දෙන්නා තමාගේ දරුවන් නැතුව කල් ගත කලේ ඉතාම සාංකාවෙන්.
එක හවසක මුහුදු වෙරළේ ඉඳගෙන මුහුද දිහා බලාගෙන ඉද්දි එක මනුස්සයෙක් දැක්කා අසල තිබුන කුඩා දූපතක වෙරළ පුරාම මුහුදු ලිහිණි රංචු ඉන්න හැටි. ඔහුට එක පාරටම කල්පනා වුනා ෆුවාමුලාකු දූපතෙත් මේ වගේම මුහුදු ලිහිණි ඉන්න බව. ෆුවාමුලාකු වැසියන් මුහුදු ලිහිණි කෑමට ගන්න බවත් ඔහුට කල්පනා වුනා. ඒ මුහුදු ලිහිණි ෆුවාමුලාකු දූපතට එන්නෙ දකුණු දිශාවේ ඉඳල. සමහර විට ඒ එන්නෙ මේ මුහුදු ලිහිණින් වෙන්න ඇති!
මේ "සොයා ගැනීමෙන්" උද්දාමයට පත් වුන ඔහු පිරිසේ අනෙක් අය රැස් කරා. ඔහුගේ අදහස ඔහු පිරිසට පැහැදිලි කරා. මුහුදු ලිහිණියෙක් අල්ලගෙන උගේ කකුලේ පණිවිඩයක් ගැට ගැහුවොත් සමහර විට ඌ ෆුවාමුලාකු දූපතට යයි. සමහර විට දූපත් වැසියෙක් ඌව අල්ලගනියි. පණිවිඩය දකියි. ඔවුන්ව බේර ගන්න බෝට්ටුවක් එවයි.
මේක සිද්ධ වෙන්න තිබුනෙ ඉතාම සුළු ඉඩක් බව ඔවුන්ට නොතේරුනා නෙවෙයි. ඒත් නිකම්ම ඉන්නවට වඩා ඒකත් හොඳයි. ඔවුන් ලහි ලහියේ වැඩට බැස්සා.
කාන්තාවන් දෙන්නා පොල් කොල කපාගෙන පිහිතුඩකින් හැමෝගෙම නම් පොල් කොළ වල පැහැදිලිව කෙටුවා. යටින්ම හොල්ලවයි කියලත් ලිව්වා. රෑ බෝවුනාම පිරිමි මුහුදු ලිහිණි නිදාගන්න දූපතට පීනගෙන ගිහින් ඔවුන්ට පුළුවන් තරම් ලිහිණින් අල්ලගත්තා. ඒ හැම ලිහිණියාගෙම කකුලේ නම් කොටපු පොල් කොලය බැගින් ගැට ගැහුවා.
සති දෙක තුනක් ගත වෙද්දි ඔවුන් දැක්කා මුහුදු ලිහිණි ඉන්න දූපතේ විශාල කලබලයක්. ලිහිණියන් උතුර බලා පියාසර කරන්න සූදානම් වෙනවා. ලිහිණින් එක එකා අහසට නැග්ගා. ටික වෙලාවකින් මුළු අහසම ලිහිණින් ගෙන් පිරුනා. හුළං පාරත් එක්ක ලිහිණි රංචුව උතුරු දිසාවට පියාඹන හැටි ඔවුන් වෙරළේ ඉඳන් බලාගෙන හිටියා.
ෆුවාමුලාකු දූපතේ ළමයෙක් දවසක් මුහුදු ලිහිණියෙක් අල්ලගෙන ඌව උයන්න හිතාගෙන උගේ පිහාටු ගලවන්න පටන් ගත්තා. එතකොට ඔහු දැක්කා උගේ කකුලෙ පොල් කොළයක් ගැට ගහල තියෙනවා. ඔහු ඒක ඔහුගේ පියාට පෙන්නුවා. පියා ඒක දූපතේ ප්‍රධානියාට පෙන්නුවා. දූපත් ප්‍රධානිය හනි හනික බෝට්ටු තුනක් සූදානම් කලා හොල්ලවයි බලා යන්න.
දින කීපයක මුහුදු ගමනකින් පස්සෙ ඔවුන් හොල්ලවයි දූපත් වලට ආවා. දූපත් එකින් එක පරික්‍ෂා කරගෙන යද්දි ඔවුන්ට අතරමං වුන පිරිස හමුවුනා.
දෙවියන්ට ස්තූති කරමින් ඔවුන් සියළු දෙනාම නැවත නිවෙස් බලා යාත්‍රා කලා෴
- කතාව කිව්වේ කතීබුගේ ඊබ්‍රහිම් සයීදු (දිගුවන්දෝ, ෆුවාමුලාකු දූපත)
අටුවාව
1. දිවෙහි රාජ්ජේ දින දර්ශකය
දිවෙහි රාජ්ජේ වැසියන් ගෙ ජීවිතය එකට ගැටගැහිල තියෙන්නෙ මෝසම් සුළං සහ මෝසම් වැහි එක්ක. ඒ නිසා ඔවුන් ගේ සාම්ප්‍රදායික දින දර්ශකය හැදිල තියෙන්නෙ මෝසම් සුළඟේ වෙනස්කම් අනුව.
ඔවුන් මුලින්ම අවුරුද්ද කොටස් දෙකකට බෙදුවා. ඒ ඉරුවයි සහ හුළංගු කියල. ඉරුවයි කියන වචනයේ තේරුම "ඊශාන".ඉරුවයි අයිති වෙන්නෙ ඊශාන දිග මෝසමට. හුළංගු කියන වචනයේ තේරුම "බටහිර". හුළංගු අයිති වෙන්නෙ නිරිත දිග මෝසමට.
2. හොල්ලවායි
"හොල්ලවයි" කියල දකුණු දිවෙහි බසිනුත් "ෆෝලවාහි" කියල උතුරු දිවෙහි බසිනුත් හැඳින්වෙන්නේ චාගෝස් දූපත්. චාගෝස් දූපත් කියන්නෙ මාලදිවයිනේ දකුණු කෙලවරට කිලෝමීටර් 500 ක් පමණ දුරින් තියෙන දූපත් සමූහයක්. ඉන්දියන් සාගරය මැද්දෙ තියෙන මේ කුඩා දූපත් ඈත අතීතයේ ඉඳල මිනිස් වාසයෙන් තොර දූපත් වුනා.
1793 දී ප්‍රංශ ජාතිකයන් අප්‍රිකාණු වහල්ලු කම්කරුවන් විදිහට යොදාගෙන මේ දූපත් වල පොල් වගාවක් ඇති කරා. පසුව මේ වහල්ලු නිදහස ලබලා මේ දූපත් සමූහයේ විශාලතම දූපත වුන දියේගෝ ගාර්‍ෂියා දූපතේ පදිංචි වුනා.
1973 දී ඇමරිකාව දියේගෝ ගාර්‍ෂියා දූපතේ නාවික හමුදා කඳවුරක් පිහිටෙව්වා. ඒ සඳහා දූපතේ සම්පූර්න ජනගහනය වුන 3000 ක පිරිසක් බලහත්කාරයෙන් මුරුසියට රැගෙන ගියා.
අද නැවතත් දූපත් සමූහය ජනාවාස වලින් තොරයි (හමුදා කඳවුරු ඇරෙන්න).
3. පොල් කකුළුවෝ
Coconut Crab නමින් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන පොල් කකුළුවෝ තමයි ලෝකයේ විශාලම කකුළු වර්ගය. හොඳින් වැඩුනු පොල් කකුළුවෙක් අඩි 3 ක් විතර දිගයි. චාගෝස් දූපත් වල හමුවෙන මේ කකුළුවන් මාලදිවයිනේ වාසය කරන්නෙ නෑ.
4. බෙලිපට්ට
මුහුද ආශ්‍රිතව වැවෙන රතු සහ කහ පාට මල් පිපෙන මේ ගහ වද කුලයට අයත් ගහක්. මේක විද්‍යාත්මකව Hibiscus tiliaceus නමින් හැඳින්වෙනවා. මේ ගහේ පට්ට ඉතාම ශක්තිමත් නිසා ලණු වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්.
5. අෂි
අෂි කියල දිවෙහි බසින් හැඳින්වෙන්නෙ ලීයෙන් හදන උස වේදිකාවකට. මේවා සමහර විට වහලයකුත් සහිතව හැදුවා. මේ වේදිකා නිදාගන්න සහ විවේක ගන්න පාවිච්චි කරනවා.
6. බොන්ඩි
පැනි සහ පොල් මිශ්‍ර කරල ගින්නේ රත් කර ගැනීමෙන් හදන පැණිරස කැවිලි වර්ගයක්. බොන්ඩි සඳහා ගොඩක් ප්‍රසිද්ධ දිවෙහි රාජ්ජේ දකුණුදිග අතොළු. ලංකාවෙත් කලකට ඉහතදී බොන්ඩි ගොඩක් ජනප්‍රිය කෑමක්. සිංහලයො මේක හැඳින්නුවේ බොන්ඩි අළුවා කියල.
++++++++
ReplyDelete+++++++++
ReplyDelete++++++++++
ReplyDelete