Friday, April 27, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 40 - (සන්දර කටුවේ පුරාවෘතය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

සන්දර කටුවේ පුරාවෘතය​


හඳේ තිබුනු රාජධානියක රජතුමා බොහෝම ධනවත් රජකෙනෙක්. ඒ වගේම ඔහුගේ බිසව ඉතාම ලස්සනයි. ඒ තරම් ලස්සන කාන්තාවක් කොහෙවත් හිටියෙ නෑ. ලස්සන තරමටම ඇය බුද්ධිමත්. බුද්ධිමත් තරමටම නිර්භීතයි. රජතුමා බිසවත් එක්ක ඔහුගේ මාළිගාවේ ඉතාම සන්තෝසෙන් කාලය ගත කළා.

එක දවසක් මුහුදෙන් මතුවුන ඉතාම අවලක්‍ෂන රාක්‍ෂයෙක් රජතුමාගේ රත්තරං මුතු මැණික් සියල්ලම පැහැරගෙන මුහුදු පතුලේ උගේ වාස භවනට අරගෙන ගියා.

මේ ඇබැද්දියෙන් ශෝකයට පත් වුන රජතුමා බොහොම සිත් තැවුලට පත් වුනා. ඒ ගැන හිතලම ඔහු ලෙඩ වුනා. ඔහුව බේරගන්න රාජකීය වෛද්‍යවරයටත් බැරි වුනා. හැමෝම දැනගත්තා රජතුමා මිය යන්නයි යන්නෙ කියල​.

බිසව කල් ගත කළෙත් ඉතාම ශෝකයෙන්. ඇයට රජතුමා බේරගන්න මුහුදු පතුලට ගිහින් රත්තරං මුතු මැණික් ආපහු ගේන්න ඕන වුනත්, ඇය දැනගෙන හිටියෙ නෑ ඒක කරන විදිහ​.

ඒ මුහුදු පතුලට යන්න ක්‍රමයක් කල්පනා කරමින් රෑ ගණනාවක් නිදි නැතුව කල්පනා කරා.

අන්තිමේදී ඇය තීරණය කළා මුහුදු පතුලට පීනන්න​. එක රැයකදි ඇය තනිවම මුහුදු වෙරළට ගිහින්, අඳුරු වතුරට බැහැල මුහුදු පතුල දිහාවට වේගයෙන් පීනගෙන ගියා.


ඇයට මුන ගැහුනා මාරොන්ඩු (මාළු වර්ගයක්). මාරොන්ඩු ඇය ළඟට පීනාගෙන ඇවිත් උගේ කටේ රඳවාගෙන හිටපු යමක් ඇගේ දකුණු අතට දුන්නා. ඒ සන්දර කටුවක්.

"ඔබතුමිය තවදුරටත් ඉදිරියට යන එක අනතුරුදායකයි රැජිණියනී. මුහුදු රාක්‍ෂයාට ඔබ තුමිය අහුවුනොත් කෑලි වලට ඉරල දාවි"

මාරොන්ඩු ඇයට අනතුරු ඇඟෙව්වා.

"එත් මම කොහොමහරි මුහුදු රාක්‍ෂයාගෙන් වස්තුව ලබා ගන්න ඕනෙ. එහෙම නොකළොත් මගේ සැමියා මැරෙයි."

"රැජිණියනී මම ඔබතුමියගේ නිර්භීතකම අගය කරනවා. මේ සන්දර කටුව රජතුමාට දෙන්න​. එතුමා මේක පැළඳගත්තම ඔහුට රාක්‍ෂයා සමඟ සටන් කරන්න ශක්තිය ලැබේවි."

"එත් රජතුමා බොහොම දුර්වලයි. ඔහුට රාක්‍ෂයා එක්ක සටන් කරන්න බෑ."

"එතුමා මේක පැළඳගත්තම ශක්තිය ලැබෙයි"


මාරොන්ඩු ගැඹුරු මුහුදේ ඈතට පීනල ගියා. රැජිණ සන්දර කටුවත් අරගෙන ආපහු ගොඩබිම බලා පීනුවා. වෙරළට ආපු විගස ඇය පුළුවන් තරම් ඉක්මනින් මාළිගයට දුවගෙන ගියා. ඊට පස්සෙ ඇය හනිකට සන්දර කටුවෙන් මාලයක් හැදුවා. ඊට පස්සෙ නාලා පිරිසිදු වෙලා, රජතුමා හමුවෙන්න ගියා.

රජතුමා බොහොම දුර්වලයි. ඔහු ඒ වෙලාවේ නිදාගෙනයි හිටියේ. ඒත් රැජිණ කුටියට ඇතුල් වුනාම ඔහු ඇහැරුනා.

"ඔයා කොච්චර ලස්සනද​? ඒත් මම ඉක්මනින්ම මැරෙන්නයි යන්නේ"

ඔහු දුර්වල හඬින් කෙඳිරිගෑවා.

රැජිණ මාලය රජතුමාගේ අතේ තිබ්බා.

"මේක පළඳින්න​"

මාලය පැළඳගත්තා විතරයි තමාගේ සිරුරට නව ජීවයක් ලැබුනා වගේ රජතුමාට දැනුනා. ටික වේලාවකින්ම ඔහු ඇඳෙන් බැහැල කාමරයේ ඒ මේ අත සක්මන් කලා.

"මට දැන් ශක්තිය තියෙනවා. මුහුදු පතුලෙන් මගේ රන් මුතු මැණික් ආපහු ගේන්න තරම් මට දැන් ශක්තිය තියෙනවා."

රජතුමා මුහුදු වෙරළට ගියා. ඔහු හෙමින් මුහුද දිහාවට ඇවිදගෙන ගියා. මුහුදු වතුර ඔහුගේ ඇඟ වහ ගන්නවත් එක්කම ඔහු ඉතාම ශක්තිමත්, විශාල උල් දත් තියෙන මාළුවෙක් බවට පත් වුනා.

මාළුවා කෙලින්ම පීනගෙන ගියේ රාක්‍ෂයාගේ වාස භවනට​. ඌ රාක්‍ෂයා එක්ක සටන් කරලා රාක්‍ෂයාව මරා දැම්මා. ඊට පස්සෙ රත්තරං මුතු මැණික් ඔක්කොම අරගෙන නැවත ගොඩබිමට ආවා. මාළුවා වෙරළේ වැලි වෙල ගෑවෙනවත් එක්කම ආපහු රජතුමා බවට පත් වුනා.

රජතුමා එනතුරු වෙරළේ බලාගෙන හිටපු සේවකයෝ රත්තරං මුතු මැණික් මාළිගාවට නැවත අරගෙන ගියා. රජතුමා ඔවුන් පසු පසින් ඇවිදගෙන ආවා.

රජතුමා මාළිගයට එද්දි මග දෙපස රැස්වුන ජනතාව ප්‍රීතිඝෝෂා කලා.

"සඳේ රජතුමා දිගුකල් දිනේවා!"

හැමෝම රජතුමාගේ නිර්භීත කම සහ වීරත්වය අගය කලා.

ඒත් රජතුමා රැජිණ දිහාවට හැරිලා මෙහෙම කිව්වා.

"මේ සන්දර කටුව ඔයාගේ. ඔයා මට මේක දුන්නෙ නැත්තම් මට කවදාවත් රාක්‍ෂයා එක්ක සටන් කරන්න බැරි වෙනවා. මුහුද බොහොම ගැඹුරුයි. රාක්‍ෂයා බොහොම බලගතුයි."

අදටත් අඩ්ඩු අතොළුවේ ළමයි සන්දර කටුවක් දැක්කම කියන්නේ "මේක සඳේ රජතුමාගේ රැජිණ ගේ කටුව​" කියල​෴


- කතාව කිව්වේ මාගිදුරුගේ ඊබ්‍රහිම් ඩීඩී (ෆනදූ, ෆුවාමුලාකු දූපත​)

අටුවාව

1. මාරොන්ඩු

ඉංග්‍රීසියෙන් "Titan Triggerfish" ලෙසත්, සිංහලෙන් "මහ පොතුබරා" ලෙසත් හැඳින්වෙන මාළුවා දිවෙහි බසින් හැඳින්වෙන්නේ "මාරොන්ඩු" කියල​. මාරොන්ඩු අඩි 2.5 පමණ දිගට වැඩෙන විශාල මාළුවෙක්. ඌ ජීවත් වෙන්නේ කොරල් පර ආශ්‍රිතව​.

2. සන්දර කටු

දිවෙහි බසින් "සන්දර" ලෙසත් ඉංග්‍රීසියෙන් "Mermaid's Toenail" ලෙසත් හැඳින්වෙන්නේ මුහුදු ගොළුබෙල්ලෙක් කටුව තුලට රිංගාගත් පසු කටුවේ විවරය වසාගැනීමට පාවිච්චි කරන කටුවක්. මේක ඇත්තෙන්ම බෙලිකටුවක් නෙවෙයි. ඉතා තද ද්‍රව්‍යයකින් හැදිල තියෙන සන්දර​, දිවෙහි රාජ්ජේ වැසියන් විසින් ඔප දමාගෙන ගෙලේ පළඳින ආභරනයක් විදිහට පාවිච්චි කරනවා. ඒක ලෙඩ රෝග වලින් ආරක්‍ෂාව ලබා දෙන බවට ඔවුන් අතර විශ්වාසයක් තියෙනවා. සමහර අවස්ථාවලදී එය අඹරා ගැනීමෙන් ලැබෙන කුඩු බෙහෙත් වශයෙන් පාවිච්චි කරනවා. 




No comments:

Post a Comment