"කනමරා මත්සුරි" කියන්නෙ ජපානයේ කවසාකි නගරයේ පැවැත්වෙන උත්සවයක්. මේ උත්සවය පැවැත්වෙන්නේ හැම අවුරුද්දෙම අප්‍රේල් මාසෙ පළවෙනි ඉරිදා දවසේ. උත්සවයේ තේමාව වෙන්නෙ ශිෂ්ණයන්.
මේ උත්සවයේ ඡායාරූප අපි හැමෝම දැකල තියෙනවා. වීදි දිගේ ඇදගෙන යන යෝධ ශිෂ්ණයන්, ශිෂ්ණයන් ගේ හැඩය ගත්ත අයිස් පලම් අතින් ගත්ත ගෑණු ළමයි, ලී ශිෂ්ණයන් උඩ නැගපු කාන්තාවන් මේ උත්සවයේ දකින්න පුළුවන් දසුන්. බොහෝ විට මේ උත්සවය විස්තර කෙරෙන්නෙ ජපානයේ තවත් එක් "අමුතු" ආතල් එකක් විදිහට.
ඒත් ඇත්තෙන්ම මේ උත්සවයේ පසුබිම අවුරුදු සිය ගාණක් පැරණි ජනකතාවක් සහ ෂින්ටෝ ආගමික සම්ප්‍රදායක් එක්ක බැඳිල තියෙනවා.
ජනකතාව
බොහොම ඉස්සර කාලයේ ජපානයේ ඉතාම ලස්සන තරුණ ගෑණු ළමයෙක් වාසය කලා. අවාසනාවට මේ ගෑණු ළමයට උල් දත් වලින් පිරුන කටක් සහිත අවලස්සන අමනුෂ්‍යයෙක් ගෙ බැල්ම වැටුනා. මේ අමනුෂ්‍යයා ගෑණු ළමයා එක්ක පෙමින් බැඳුනත්, ගෑණු ළමයා අමනුෂ්‍යයා ව පිළිකෙව් කරා.
ඒ නිසා ඒකට පළිගැනීමක් වශයෙන් අමනුෂ්‍යයා කරේ මොකද්ද? ගෑණු ළමය ගෙ යෝනි මාර්ගයට ඇතුල් වෙලා ඒක ඇතුලෙ බින්න බැසීම.
ගෑණු ළමයා තරුණයෙක් එක්ක විවාහ වුනා. මංගල රාත්‍රියේ දී ඔවුන් සංසර්ගයේ යෙදෙන්නෙ සැරසිලා තරුණයා තමාගෙ ශිෂ්ණය ගෑණු ළමයගෙ යෝනියට ඇතුල් කලා. ඒත් යෝනිය ඇතුලෙ හිටපු අමනුෂ්‍යයා තරුණයා ගෙ ශිෂ්ණය වෙන් වෙලා යන පරිදි හපා කෑවා.
ගෑණු ළමය ගෙ අත පතාගෙන ආව ඊළඟ මනමාලයටත් අත් වුනේ ඒ ඉරණම මයි.
අමනුෂ්‍යයා ගෙන් මිදෙන්න උපායක් කල්පනා කළ තරුණිය ගමේ කම්මල් කාරයා හමුවෙන්න ගිහින් ඔහුට කියලා ඉස්තරම්ම වානේ වලින් ශිෂ්ණයක් හදා ගත්තා.
ඊට පස්සෙ ඇය මේ වානේ ශිෂ්ණය තමාගේ යෝනියට ඇතුල් කලා.
අමනුෂ්‍යයා සුපුරුදු පරිදි ශිෂ්ණය හපා කෑවා. ඒත් සිද්ධ වුනේ අමනුෂ්‍යයාගේ දත් කැඩිල යන එක. දත් ටික අහිමි වුන අමනුෂ්‍යයා ගෑණු ළමයා අතහැරල පැනලා ගියා.
ගෑණු ළමයා නැවතත් විවාහ වෙලා දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වුනා.
උත්සවයේ පසුබිම
මේ ජනකතාවෙන් ව්‍යංගයෙන් කියැවෙන්නෙ මොකද්ද? ලිංගිකව බෝවෙන රෝගයක් වැළඳුන තරුණියක් සහ ඇය එම රෝගයෙන් මිදෙන හැටි ගැන.
කවසාකි නගරය පිහිටලා තියෙන්නෙ පැරණි ජපානයේ ප්‍රධාන නගර දෙක වුන කියෝතෝ සහ එදෝ (වර්තමාන තෝකියෝ) නගර අතර මාර්ගයේ. මේ නගර දෙක අතර ගමන් කළ මගියන් රාත්‍රියට නවාතැන් ගත්ත නැවතුම් පොළක් වුනේ කවසාකි නගරය.
ඒ නිසා කවසාකි නගරය අතීතයේ ඉඳල ගණිකාවන් සඳහා ප්‍රසිද්ධ නගරයක් වුනා.
කවසාකි නගරයේ පිහිටල තියෙන ප්‍රධානම ෂින්ටෝ දේව් මැදුරක් වුනේ "වකමියා හචිමංගු" දෙව් මැදුර. මේ දෙව් මැදුර දේවාල ගණනාවකින් සමන්විත විශාල දෙව් මැදුරක්.
වකමියා හචිමංගු දෙව් මැදුරේ පිහිටල තියෙන එක දේවාලයක් වන "කනයාමා" දේවොල වෙන් කෙරුනේ "කනයාමාහිකෝ" සහ "කනයමාෂිමෙ" කියන භූතාත්ම දෙක වෙනුවෙන්. ෂින්ටෝ ආගමේ එන මේ භූතාත්ම හැඳින්වෙන්නේ "කමි" කියලා. කනයමාහිකෝ සහ කනයමාෂිමෙ යකඩ කර්මාන්තය සහ පතල් කර්මාන්තය සම්බන්ධ භූතාත්ම.
කවසාකි නගරයේ ගණිකාවන් ලිංගිකව බෝවෙන රෝග වලින් ආරක්‍ෂාව පතා කමි භූතාත්ම වලට කන්නලව් කරන්න ආවම අර ජනකතාව අනුව ඔවුන් තෝරාගත්තේ කම්මල් කරුවන්ට සම්බන්ධ කනයාමා දෙවොල. ජනකතාවේ කම්මල් කරුවා තරුණිය බේරාගත් විදිහට කම්මල් කරුවන්ට සම්බන්ධ කමි භූතාත්ම තමාව ලිංගිකව බෝවෙන රෝග වලින් ආරක්‍ෂා කරයි කියල ඔවුන් බලාපොරොත්තු වුනා.
මේ සිරිත පටන් අරන් තියෙන්නෙ 17 වෙනි සියවසේ මුල් භාගයේදී. අවුරුදු සිය ගානක් පුරාවට කවසාකි නගරයේ ගණිකාවන් කනයාමා දෙවොලේ තමාගේ ආරක්‍ෂාව පතා භූතාත්ම වලට කන්නලව් කලා. ඔවුන් විශාල ශිෂ්ණයක වානේ අනුරුවක් දෙවොලේ පිහිටෙව්වා.
ක්‍රමයෙන් මේ සම්ප්‍රදායට ලිංගික සරු බව සහ කරදරයකින් තොරව දරු උපත් ලබා දීමත් එකතු වුනා. ගණිකාවන් නොවන කාන්තාවනුත් කනයාමා දෙවොලට එන්න පටන් ගත්තා. මේ කාන්තාවන් වෙනුවෙන් දෙවොලේ උත්සවයක් ආරම්භ කෙරුනා.
නමුත් 19 වෙනි සියවසේ අග භාගයේ දී ජපානයේ නවීකරණය වීමේ වැඩසටහනත් එක්ක මේ සම්ප්‍රදාය අභාවයට ගියා.
වර්තමාන උත්සවය
නැවතත් මේ සම්‍ප්‍රදාය ආරම්භ වෙන්නෙ 1969 දී. කනයාමා දෙවොලේ ප්‍රධාන කපු තැන වුන හිරොහිකෝ නකමුරා නැවතත් මේ උත්සවය පටන් අරන් තියෙනවා. ඒ රාත්‍රී කාලයේ තරමක් රහසිගතව පැවැත්වුන උත්සවයක් විදිහට. මුල් කාලීන උත්සව වලට සහභාගී වෙලා තියෙන්නෙ විස්සක පමණ කුඩා පිරිසක්. ඒ අයගෙන් බහුතරය ගණිකාවන්.
නමුත් ක්‍රමයෙන් මේ උත්සවය වර්ධනය වෙලා අද ඒක 50,000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් දිවා කාලයේදී ප්‍රසිද්ධියේ කෙරෙන දැවැන්ත සැනකෙලියක් බවට පත් වෙලා තියෙනවා. මේ උත්සවය කවසාකි නගරයට විශාල ආදායමක් ගෙන එන මාර්ගයක් බවටත් පත් වෙලා තියෙනවා.
"කනමරා මත්සුරි" කියන එකේ තේරුම "වානේ ශිෂ්ණයේ උත්සවය" කියන එක.
මේ උත්සවයේ ප්‍රධාන අංගය වෙන්නෙ විශාල ශිෂ්ණ අනුරූ තුනක් නගරයේ වීදි පුරා පෙරහැරින් ගෙන යාම. මේවා "මිකෝෂි" නමින් හැඳින්වෙන දෝලා මත තියලා බැතිමතුන් විසින් නගරය පුරා ඔසවාගෙන යනවා.
පළවෙනි අනුරුව කළු පාට වානේ වලින් කළ අඩි හතරක් පමණ උස අනුරුවක්. උත්සවයේ ප්‍රධාන සහ වඩාත්ම පූජනීය අංගය මේක.
දෙවැන්න අඩි දෙකක් පමණ උස ලීයෙන් කල අනුරුවක්. මේක ඉතාම පැරණි එකක්.
තුන්වැන්න තමයි වඩාත්ම ප්‍රසිද්ධ. මේක අඩි හයක් පමණ උස රෝස පාට විශාල අනුරුවක්. තෝකියෝ නගරයේ "එළිසබෙත් කයිකන්" නම් සංක්‍රාන්ති ලිංගිකයන් ගේ සමාජ ශාලාවක් තමයි මේ අනුරුව පරිත්‍යාග කරල තියෙන්නෙ. එය හැඳින්වෙන්නේ "එළිසබෙත්" යන සුරතල් නාමයෙන්. මේ අනුරුව ඔසවාගෙන යන්නේ එළිසබෙත් කයිකන් සමාජ ශාලාවේ සාමාජිකයන් විසින්..
මීට අමතරව තවත් අංග රාශියක් උත්සවයට ඇතුලත් වෙනවා.
ප්‍රධානම අංගය වෙන්නෙ ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ කෑම. විශේෂයෙන්ම ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ අයිස් පලම්, ලොලිපොප් සහ ලොසින්ජර අතැතිව ඒවා උරමින් උත්සවය නරඹන තරුණියන් සුලබ දසුනක්.
තරුණියන් ලීයෙන් තැනූ විශාල ශිෂ්ණයන් මත නැගී ඡායාරූප ගැනීමත් ජනප්‍රිය අංගයක්.
ශිෂ්ණයන් ගේ හැඩයට තැනූ ඉටිපන්දමුත් දකින්න පුළුවන්.
ඊට අමතරව ශිෂ්ණයන් ගේ හැඩයට කපන ලද එළවළු,
සහ "ශිෂ්ණ වෙස්මුහුණු" ත් දකින්න පුළුවන්.
මේවා ඉතා අධික මිලෙන් යුක්තයි. කවසාකි නගරයට මේ උත්සවය හොඳ ආදායම් මාර්ගයක්.
මේ උත්සවයේ දී ආරක්‍ෂිත ලිංගික උපක්‍රම සහ ලිංගිකව බෝවෙන රෝග පිළිබඳව දැනුවත් කිරීමක් කෙරෙනවා. ඒ වගේම උත්සවයේ ආදායමෙන් කොටසක් ඒඩ්ස් රෝගයට එරෙහිව කෙරෙන පර්‍යේෂන කටයුතු සඳහා පරිත්‍යාග කරනවා.
ඒ වගේම විශේෂයෙන්ම මෑත කාලයේදී මේ උත්සවය ලිංගික සමානාත්මතාවය සඳහා වේදිකාවක් වෙලා තියෙනවා. සාමාන්‍යෙයෙන් දැඩි ලෙස සාම්ප්‍රදායික ජපන් සමාජයේ සමලිංගිකත්වය සහ සංක්‍රාන්ති ලිංගිකයන් සඳහා ඒතරම් පිළිගැනීමක් නැතත්, මේ උත්සවයේදී ඔවුන් ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා. මෙය ඔවුන්ට තමාගේ ලිංගිකත්වය ප්‍රදර්ශයන කිරීමේ වේදිකාවක්.
උත්සවය සඳහා වාර්‍ෂිකව සහභාගී වෙන 50,000 ක පමණ පිරිසෙන් වැඩි පිරිස විදේශීය සංචාරකයන් කියලයි කියැවෙන්නේ. ඔවුන්ට නම් මේක තවත් විනෝදාත්මක සැනකෙළියක්.
ඒත් සරළ විනෝදයට එහා ගිය යමක් සහ අවුරුදු සිය ගානක් පැරණි සම්ප්‍රදායක් මේ උත්සවය පිටුපස තියෙනවා.
No comments:
Post a Comment