ඔඩිතාන් කලේගේ සහ ඔහුගේ බිරිඳ
එකෝමත් එක කාලෙක මාලදිවයිනේ දකුණු දිග අතොළුවක් වුන හද්දුන්මති අතොළුවේ දූපතක ඉතාම බලවත් ෆන්ඩිත කෙනෙක් (යැකැදුරෙක්) වාසය කලා. ඔහුගේ නම "ඔඩිතාන් කලේගේ". ඔහු ජීවත් වුනේ ඔහුගේ බිරිඳ, "දෝගි අයීහා කාංලේගේ" එක්ක. අයීහා තරුණයි. ලස්සනයි. ඒ වගේම ඇයත් ඉතාම බලවත් ෆන්ඩිත කෙනෙක්.
ඔඩිතාන් කලේගේ කරුණාවන්ත මනුස්සයෙක්. ඔහු හැම වෙලේම අනුන්ට උපකාර කරන්න ලෑස්ති පිට හිටපු කෙනෙක්. නොයෙකුත් දූපත් වල ඉඳල මිනිස්සු ඔහුගේ උදව් ඉල්ලගෙන ආවා. ඔහු ඒ හැමෝටම උදව් කලා.
එක පාරටම ඔඩිතාන් කලේගේ ජීවත් වුන දූපත අවට තිබුන දූපත් වල මිනිස්සු අහේතුකව මැරෙන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි, රෑ කාලෙට කවුදෝ සොහොන් හාරලා ඒ මිනී ගොඩ අරගෙන කාල තිබුනා. අමනුස්සයෙක් ගැවසෙන බවට කටකතා පැතිරුනා. මිනිස්සු ජීවත් වුනේ බයෙන්.
දවසක් අසල්වැසි දූපතක මිනිහෙක් ඔඩිතාන් කලේගේ හොයාගෙන ආවා. ඔහු ආවෙ ඉතාමත් බයෙන් සහ පැකිලීමෙන්.
"උන්නැහේ මොකද මේ පැත්තෙ?"
ඔඩිතාන් කලේගේ මිනිහව පිළිගනිමින් ඇහුවා.
මනුස්සයා කතා කලේ රහසින්. ඔහු වෙව්ලමින් කිව්වා ඔවුන් ගේ දූපතේ මිනිස්සු මිය යන්න සහ සොහොන් හාරලා මිනී කන්න වග කියන්න ඕනෙ අයීහා බව ඔවුන් විශ්වාස කරනවා කියලා.
ඔඩිතාන් කලේගේ ට හොඳටම තරහා ගියා. ඔහු අමුත්තාට බැණ වැදුනා.
"උන්නැහේ කේන්ති ගන්න එපා. මම කියනවට අමාවක දවස් වලට අයීහා කරන්නෙ මොනවද කියල ටිකක් හොයල බලන්න."
අමුත්තා බයාදු කමෙන් කිව්වා.
ඔඩිතාන් කලේගේ අමුත්තාව එළව ගත්තා.
එදා හවස ඔහු නිකමට වගේ අයීහාට අමුත්තා කියපු දේ කිව්වා.
"මොන විකාරද? ඔයා දන්නව නෙ මම හැමවෙලේම ඉන්නෙ ඔයත් එක්කමයි කියලා. ඉතින් ඔයාට හොරෙන් වැඩක් කරන්නෙ කොහොමද?"
ඇය හිනාවෙමින් කිව්වා.
"එතකොට ඔයා රෑට මේ දූපතෙන් පිට යන්නෙම නැද්ද?"
අයීහා ඇයගේ ලස්සන ඇස් දෙකෙන් ඔඩිතාන් කලේගේ දිහා ආදරණීය විදිහට බැලුවා.
"මම රෑට මේ දූපතෙන් පිටතට අඩියක් වත් තියන්නෙ නෑ කියල මම දිවුරනවා"
මිහිරි හඬකින් එහෙම කිව්ව අයීහා බොරු තරහක් පෙන්වමින් ඇගේ ඇස් පොඩි කරල තොල් උල් කරලා ඔඩිතාන් කලේගේ දිහා බැලුවා. ඔඩිතාන් කලේගේ ඒ පිළිතුරෙන් සෑහීමකට පත් වුනා.
මාස කීපයක් ගත වුනා. අසල්වැසි දූපත් වල මිනිස්සු මැරෙන එක දිගටම සිද්ධ වුනා. දවසක් අතොළු ප්‍රධානියා ඔඩිතාන් කලේගේ හොයාගෙන ආවා. අසල්වැසි දූපත් වල මිනිස්සු තවමත් අයීහා ව සැක කරන බව ඔහු ඔඩිතාන් කලේගේට කිව්වා. අයීහා ගැන තව දුරටත් හොයල බලන්න අකැමැත්තෙන් වුනත් ඔඩිතාන් කලේගේ ට සිද්ධ වුනා.
ඊළඟට ආපු අමාවක දවසෙ ඔඩිතාන් කලේගේ රෑට බොරුවට නිදාගෙන වගේ ඇස් දෙක පියාගෙන ඉඳිමින් අයීහා කරන දේ ගැන සැලකිල්ලෙන් හිටියා. මැදියම් රැය ළං වෙනකොට අයීහා ඉතාම සීරුවෙන් බළල් සෙයියාවෙන් ඇඳෙන් නැගිටලා කිසිම හඬක් නොනැගෙන විදිහට කාමරෙන් පිට වුනා. ඇය පිට වුන හැටි දැකපු ඔඩිතාන් කලේගේ ගේ හිතට පොඩි සැකයක් ඇති වුනා. ඔහුත් ඉතාම හොරෙන් ඇය පිටිපස්සෙ ගියා.
දූපතේ එක කොනක මුහුද දිහාවට නෙරෙල ගිය වැලි වලින් හැදුනු තුඩුවක් තිබුනා. දිවෙහි බසින් මේ වගේ තුඩුවක් හැඳින්වෙන්නෙ "තුන්ඩි" කියලා. අයීහා කෙලින්ම ගියේ මේ තුන්ඩිය ට. මුහුද අද්දරටම ගිය ඇය හොඳට හරි බරි ගැහිලා හිට ගත්තා. ඊට පස්සෙ ඇය අහස දිහා බලාගෙන දෑත් අහසට දිගු කරා. ඒ විදිහට ටික වෙලාවක් හිටපු ඇය මන්තර මතුරන ගමන් ඉනෙන් පැද්දෙන්න පටන් ගත්තා. මුලින් මුලින් ඇය පැද්දුනේ ඉතාම හෙමින්. ඒත් එන්න එන්නම ඇගේ පැද්දීම වේගවත් වුනා. ටික වෙලාවකින්ම ඇය වියරුවෙන් වගේ ඒ මේ අත පැද්දෙන්න පටන් ගත්තා. ඔඩිතාන් කලේගේ අසල තිබුන පඳුරකට මුවා වෙලා මේ දිහා බලාගෙන හිටියා.
එක පාරටම ඇගේ කඳ ටික ටික දික් වෙන්න පටන් ගත්තා. කඳ අහස දිහාවට ඇදෙද්දි අයීහා හෙමින් හෙමින් තමාගේ කඳ අසල තිබුන දූපතක් දිහාවට පහත් කරා. ටික වෙලාවකින්ම ඇගේ දෙපය මේ දූපතේ තියෙද්දි හිස සහ දෑත අසල්වැසි දූපතට යවන්න අයීහාට පුළුවන් වුනා. ඇගේ කඳ මුහුදට උඩින් ආරුක්කුවක් වගේ ඇදිලා තිබුනා.
ඔඩිතාන් කලේගේ විශ්මයෙන් ඇය දිහා බලාගෙන හිටියා. ඇය ෆන්ඩිත කෙනෙක් බව ඔහු දැනගෙන හිටියත්, මේ තරම් බලගතු මන්තර ඇය දන්න බව ඔහු දැනන් හිටියේ නෑ. ඒ තරම් බලගතු මන්තර ඔහුවත් දැනගෙන හිටියේ නෑ. දෝගී අයීහා කාලෙංගේ තමාටත් වඩා බලවත් ෆන්ඩිත කෙනෙක් බවත්, ඇය තමාගේ දැණුම යොදාගන්නේ මිනිස්සුන්ට විපත් ගෙන දෙන්න බවත් ඔහු වටහා ගත්තා.
ඒ එක්කම ඔහු දැක්කා අයීහා ඔහුව ඉතාම දක්‍ෂ විදිහට රවට්ටපු බව. ඇය එදා ඔහු ඉදිරියේ දිවුරලා කිව්වේ මේ දූපතෙන් පිට අඩියක් වත් නොතියන බව. ඇත්තෙන්ම ඇගේ දෙපය මේ දූපතෙන් පිටට අඩියක් වත් තියල නෑ. ඒත් ඇගේ හිස සහ දෑත් අසල්වැසි දූපත් වල මිනිස්සු මරමින්, ඔවුන් ගේ ලේ බොමින්, මස් කමින්, සොහොන් හාරමින් ඉතාම දරුණු විදිහට හැසිරෙනවා.
තමාගේ බිරිඳගේ විනාශය ඒ මොහොතේම නැවතිය යුතු බව ඔඩිතාන් කලේගේ වටහා ගත්තා. ඔහු අවට තිබුන දර කෑලි ටිකක් එකතු කරලා අයීහා හිට ගෙන හිටපු තැන ගිනි මැලයක් ගැහුවා. ඊට පස්සේ ඇගේ දෙපය ගිනි මැලයට ඇදලා දැම්මා.
වේදනාවෙන් කෑගහමින් අයීහා ඇගේ කඳ ආපහු ඇදලා ගත්තා. ඇය දිහා බලන්න බයයි. ඇගේ කටින් ලේ වැගිරෙනවා. ඇය කෝපයෙන් දැවෙමින් ඔඩිතාන් කලේගේ දිහා බැලුවා. ඇගේ ඇස් දෙක ගිනි අඟුරු කැට දෙකක් වගේ දිලිසුනා. ඒ බැල්ම දැකපු විගස, අයීහා තමාව මරන්න යන බව ඔඩිතාන් කලේගේ ට වැටහුනා.
අයීහා ඔහු දිහාවට අත් දිගු කරමින් මන්තර මතුරන්න පටන් ගත්තා. ඔඩිතාන් කලේගේත් මන්තර මතුරමින් අයීහා ගේ මන්තර වලින් ගැලවෙන්න උත්සහ කලා. ඒත් ටික වෙලාවකින්ම ඔහුට අයීහා ගේ මන්තර එක්ක තමාට හැප්පෙන්න බැරි බව වැටහුනා. ඔහු ආපහු හැරිලා ගෙදර දිහාවට දිව්වෙ තමාගේ බෝට්ටුවෙ නැගල පැනල යන්න හිතාගෙන.
අයීහා ඔහු පස්සෙ ලුහුබැඳගෙන ආවා. ඔඩිතාන් කලේගේ බෝට්ටුවට නගිද්දිම අයීහා වියරුවෙන් කෑගහමින් ගිනි ජාලාවක් මවලා ඒකෙන් ඔහුට පහර දුන්නා. ගිනි ජාලාවට මැදි වුන බෝට්ටුව වියළි පඬරැලක් වගේ පිච්චිල ගියා. ඔඩිතාන් කලේගේ මුහුදට පැනල පන බේරගත්තා. අයීහා ඔවුන් ගේ ගෙදරටත් ගිනි තිබ්බා. මොහොතකින් මුළු ගෙදරම අඟුරු ගොඩක් බවට පත් වුනා.
ඔඩිතාන් කලේගේ ගිනි ගෙන දැවෙන අඟුරු ගොඩේ ඒ මේ අත දුවමින් බේරෙන්න විදිහක් හෙව්වා. එක පාරටම ඔහු දැක්කා මිරිස් ගල. ඔහු මිරිස් ගල උස්සගෙන මුහුද දිහාවට දිව්වා. මිරිස් ගල මුහුදට දාපු ඔඩිතාන් කලේගේ මන්තරයක් මැතිරුවාම මිරිස් ගල පාවෙන්න පටන් ගත්තා. ඔහු වටපිට බලලා ලොකු තණකොලයක් කඩා ගත්තා. ඊට පස්සෙ මිරිස් ගල උඩට නැගලා තණකොලය ඇඟිලි දෙකකින් උඩට කරල අල්ල ගත්තා. දැන් තණකොලය රුවලක් වගේ. ඔහු මේ "රුවල් ඔරුවේ" නැගල වේගයෙන් පලා යන්න පටන් ගත්තා.
අයීහා ඔහු පස්සෙ පන්නගෙන ආවා. නොගැඹුරු මුහුදේ හිටගෙන ඇය ඔඩිතාන් කලේගේ පැනල යන හැටි බලාගෙන හිටියා. ඇගේ ඇඟ කෝපයෙන් වෙව්ලනවා. ඇය තමාගේ සියළු ශක්තිය සහ බලය එක් තැන් කරලා ඉතාම බලගතු මන්තරයක් ජප කරා. එක පාරටම ඇය දකුණු අත වේගයෙන් දිරියට දික් කරා. එතකොටම මුහුදෙන් විශාල ගිනි දළු තුනක් මතු වුනා. ඒ ගිනි දළු තුන වේගයෙන් ඔඩිතාන් කලේගේ පිටුපස්සෙන් ලුහුබැඳගෙන ආවා.
ඔඩිතාන් කලේගේ දැක්කා තමාගේ මරණය යෝධ ගිනිදළු තුනක් විදිහට තමා පසුපස එන හැටි. ඔහු හනිකට තමාගේ "රුවල් ඔරුව" ළඟම තිබුනකුඩා දූපතක් දිහාවට යොමු කරා. ඔහු කුඩා දූපතට පැන ගන්නවත් එක්කම අයීහා ගේ බලය තියෙන සීමාවෙන් ඔහු පිට වුනා. ඒ එක්කම ගිනි දළු තුන මුහුදු රළ තුනක් බවට පත් වුනා.
ඒ අතරේ ඒ මතුරපු අවසාන මන්තරයට අයීහා ගේ සියළුම ශක්තිය යොදා ගත්ත නිසා ඇය ක්‍ෂනිකවම මැරිල වැටුනා. ඇගේ සිරුර නොගැඹුරු මුහුදේ අඩක් ගිලෙමින් වැටිල තියෙන හැටි ඔඩිතාන් කලේගේ ඈත ඉඳගෙන බලාගෙන හිටියා.
අදටත් හද්දුන්මති අතොළුවේ "ගොලා කොනා" නමින් හැඳින්වෙන මුහුදු වෙරළ අසල නිතරම මුහුද රළ ගෙඩි තුනක් විදිහට බිඳෙනවා. ඒ අවට දූපත් වාසීන් කියන්නේ එතැන තියෙන්නෙ දෝගී අයීහා කාංලේගේ ගෙ මන්තරයෙන් මැවුන රළ ගෙඩි තුන කියලා.
- කතාව කිව්වේ අබ්දුල් හමීදු (දුන්ඩිගන්, ෆුවා මුලාකු දූපත)
අටුවාව
1. ෆන්ඩිත
"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත" වචනයෙන් කියල හිතන්න පුළුවන්.
++++++++++
ReplyDelete+++++++++
ReplyDeleteයක්කු ගැනම ලියන්ඩ එපා බොල මං යක්කුන්ට බයයි
ReplyDelete