Thursday, April 26, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 39 - (නාලාෆුෂි දූපතේ දුප්පතා සහ ඔහුගේ එළදෙන​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

නාලාෆුෂි දූපතේ දුප්පතා සහ ඔහුගේ එළදෙන​


එක දවසක් මුලාකු අතොළුවේ නාලාෆුෂි දූපතේ ඉඳල දුප්පත් මනුස්සයෙක් මාලේ දූපතට ආවා. ඔහු මාලේ නගරයේ ඇවිදිමින් ඉද්දි පොහොසත් ගෙදරක ගැටගහල හිටපු එළදෙනුන් කීප දෙනෙක් දැක්කා. ඔහු කවදාවත් එළදෙනක් දැකල තිබ්බේ නෑ. ඒ කාලේ මාලදිවයිනේ හරක් වැඩිය හිටියෙ නෑ. මාලේ නගරයේ ධනවතුන් කීප දෙනෙක් ළඟ විතරයි හරක් හිටියේ. ඉතින් මේ දුප්පත් මනුස්සයා පුදුම වෙලා එළදෙනුන් දිහා බලාගෙන හිටියා.

මේ අතරේ එළදෙනුන් අයිතිකාර ධනවතා මේ දුප්පත් මනුස්සයා එක්ක කතාවට වැටුනා. දුප්පතා ධනවතාට ඔහුගේ කතාව කිව්වා. දුප්පත් වෙලා ජීවත් වෙන්න සිදු වීම කොයිතරම් අභාග්‍යයක් ද කියල ඔහු ධනවතාට විස්තර කලා.

දුප්පතා ගේ කතාව ඇහුවම ධනවතාට දුක හිතුනා. ඔහුට ත්‍යාගශීලී හිතක් පහල වුනා.

"මේ අහපං. මම උඹට මගේ එළදෙනක් තෑගි කරන්නම්. එළදෙනක් හිටියොත් උඹට වැඩි කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හැමදාම කිරි බොන්න පුළුවන්. කිරි විකුණල කීයක් හරි හොයාගන්න පුළුවන්."

දුප්පතාට තමන් ගෙ කන් අදහගන්න බැරි වුනා. ඔහු දණින් වැටිලා ධනවතාට ස්තූති කලා.

"එහෙනං උන්නැහේ මම මෙයින් එළදෙනක් අරගෙන යන්නද​?"

එක පාරටම ධනවතාගේ හිත වෙනස් වුනා. "මම ඉක්මන් වුනා වැඩි වත් ද​? මම මේ නොදන්න මිනිහෙක්ට මගේ එළදෙනක් දෙන්නෙ මොකටද​?"

ඒත් ඔහු තමාගේ හිත වෙනස් වුන බව දුප්පතාට පෙන්නුවෙ නෑ.

"දැන්ම අරං යන්න එපා. එළදෙනක් බොහොම වටිනවා. තමුසෙ එළදෙන ආරක්‍ෂා කරන්න ඕනෙ. ඉස්සෙල්ල හොඳ ලී කණු ටිකක් හොයාගන්නව හරක් කොටුවක් හදන්න​."

දුප්පතා ගේ හිත බර වුනා. ඔහු අතේ සල්ලි නෑ. මාලේ දූපතේ ඔහුට නෑදෑ හිත මිත්‍රයො නෑ. ඔහු කෑමට යමක් හොයා ගත්තෙත් බොහොම අමාරුවෙන්. ලී කණු හොයන්නෙ කොහෙන් ද​?

ඔහු බොහොම මහන්සි වෙලා කුලී වැඩ කරමින් සල්ලි ටිකක් ඉතුරු කරන්න පටන් ගත්තා. සෑහෙන දවසක් ගියාම ඔහුට ලී කණු ටිකක් මිලදී ගන්න පුළුවන් වුනා.

ඔහු ලී කණු ටිකත් අරගෙන ධනවතා හමු වෙන්න ගියා. ධනවතා ඔහුගේ ලී කණු පරික්‍ෂා කරල බැලුවා.

"චහ්! මේ කණු හරියන්නෙ නෑ. මේවා බාල ලී වර්ගයක්. මේවා පොළවෙ හිටවපු ගමන් දිරල යයි."

දුප්පතා ආයෙමත් කුලී වැඩ කරමින් සල්ලි ඉතුරු කරන්න පටන් ගත්තා. සෑහෙන කාලයකට පස්සෙ ඔහුට ඉස්තරම් ලීයෙන් කළ කණු කීපයක් මිලදී ගන්න පුළුවන් වුනා.

ඔහු ආයෙත් ධනවතා ගෙ ගෙදරට ගියා.

"මේ කණු ටිකෙන් කොහොමද හරක් කොටුවක් හදන්නෙ? තව කණු ඕනෙ."

දුප්පතා ආයෙත් මාස ගානක් තිස්සෙ ඉතාම මහන්සියෙන් කුලී වැඩ කරමින් සල්ලි ඉතුරු කලා. ඔහු ලී කණු ඇති තරම් ගත්තට පස්සෙ ධනවතා හොයාගෙන ගියා.

"දැන් නම් කොටුවක් හදන්න කණු ඇති. මම එළදෙන ගන්නද උන්නැහේ?"

"එළදෙනක් කියන්නෙ ලොකු සතෙක්. ඌට නිදහසේ ඉන්න ලොකු කොටුවක් ඕනෙ. තමුසෙ තව කණු ටිකක් හොයා ගන්නව. බය වෙන්න කාරි නෑ. මම එතකං එළදෙන හොඳට බලාගන්නම්."

ඔය විදිහට අවුරුදු ගානක් තිස්සෙ නාලාෆුෂි දූපතේ දුප්පත් මනුස්සයා මාලේ දූපතේ කුලී වැඩ කරමින් ලී කණු ගන්න සල්ලි හෙව්වා.  ඒත් ධනවතා මොකක් හරි හේතුවක් කියමින් ඔහුට එළදෙන දෙන එක ප්‍රමාද කළා.

එක දවසක් දුප්පතා මැරුණා. ඔහුට කවදාවත් එළදෙන ගන්න බැරි වුනා.

කවුරු හරි බොරුවට පොරොන් දුවක් වෙලා ඒක ඉටු කරන එක මග හරිනව නං දිවෙහි රාජ්ජෙ වැසියො කියන්නෙ "නාලාෆුෂි ෆගීරා ගෙරි දින් හෙන්" (නාලාෆුෂි දූපතේ දුප්පත් මිනිහට දීපු එළදෙන වගේ) කියල​෴


- කතාව කිව්වේ මුහම්මදු රෂීදු (මාලේ දූපත​)

4 comments:

  1. හොඳ උපහැරණයක් එක්ක කතාවක්

    ReplyDelete
  2. වෙනදා දාන ග්ලොසරිය නෑනෙ. විශේෂ්යයින් සිංහලෙන් ආපු වචන
    ගෙරි = හරක්
    දින් = දුන්නා

    ReplyDelete