Monday, December 24, 2018

Jack the Ripper - 5























ජැක් ද රිපර් කියන්නෙ ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම (කුප්‍රකටම​) සීරියල් කිලර්. 1888 දි ලන්ඩන් නගරයම භීතියෙන් අලලවමින් මිනිස් ඝාතන පහක් කරන ජැක්, ඊට පස්සෙ සදහටම නිහඬ වෙනවා. ඔහු කවුද​? ඔහු මේ ඝාතන කරේ ඇයි? ඔහු හදිසියේම ඝාතන නැවැත්තුවෙ ඇයි? කියම ප්‍රශ්න අදටත් අභිරහසක්.

ඒත් මේ කතාව ජැක් ගැන​(ම​) නෙවෙයි. ජැක් සහ ඔහුගේ ඝාතන ගැන කියවද්දි ඒ කාලයේ එංගලන්තයේ අන්ත දුගී මිනිස්සුන් ගෙ ජීවිතය ගැන නියම අවබෝධයක් ගන්න පුළුවන්. මේ මිනිස්සු සමාජයෙන් කොන් වුන මිනිස් දූවිලි කිව්වොත් නිවැරදියි.

පටන් ගන්න හොඳම තැන තමයි ජැක් අතින් මිය ගිහ කාන්තාවන් පස් දෙනා. මේ පස් දෙනාම ගණිකාවන්. ඒ වගේම අන්ත දුගී අය​.

ජැක් ගෙ පස්වෙනි ගොදුර මේරි ජේන් කෙලී

මේරි ජේන් කෙලී
මේරි ජේන් කෙලී ගේ අතීතය ගැන වැඩි තොරොතුරක් දැනගන්න නෑ. ඇය උපත ලබන්නේ 1863 දී පමණ අයර්ලන්තයේ ලිමරික් හිදී. ඇයට සොහොයුරන් 6 හෝ 7 ක් සහ එක සොහොයුරියක් හිටියා. මේරි ජේන් කුඩා කාලයේදී ඇගේ පවුල වේල්සයට සංක්‍රමනය වෙනවා. එහිදී ඇගේ පියා කානවොන්‍ෂයර් හෝ කාමතන්‍ෂයර් හි යකඩ කම්හලක කම්කරුවෙක් විදිහට සේවය කරනවා. ඇගේ එක් සොයුරෙක් හමුදාවේ සේවය කළ බවත් සඳහන්.

1879 දී පමණ​, 16 හැවිරිදි මේරි ජේන් ඩේවිස් නම් අයෙක් සමඟ විවාහ වෙනවා. ඔහු රැකියාවෙන් ගල් අඟුරු පතලක කම්කරුවෙක්. නමුත් වසර දෙකකට හෝ තුනකට පසුව පතලේ සිදුවන අනතුරකින් ඔහු මිය යනවා.

සැමියා මියගිය පසු මේරි ජේන් කාර්ඩිෆ් නගරයේ වෙසෙන ඥාති සොහොයුරියක් සමඟ පදිංචියට යනවා. ඇය මුලින්ම ගණිකා වෘත්තියට යොමු වෙන්නේ කාර්ඩිෆ් හිදී.

ඇය 1884 දී ලන්ඩනයට එනවා.


මේරි ජේන් ලන්ඩනයේ සිටි මුල් කාලයේ ජීවත් වෙන්නේ නගරයේ ධනවතුන් වාසය කළ බටහිර ලන්ඩනයේ. එහිදී ඇය ධනවත් "මහත්වරුන්ට​" සේවා සපයන උසස් පෙළේ ගණිකාවක් විදිහට සේවය කරනවා. ඇගේ එක් සේවාදායකයෙක් සමඟ ඇය පැරිසියේ සති දෙකක සංචාරයකට පවා සහභාගී වෙනවා. මේ කාලයේ ඇගේ අතමිට සරු වුන අතර​, ඇය ධනවත් කාන්තාවකගේ ජීවිතයක් ගත කරනවා. මේ කාලයේ ඇගේ මිතුරිය වෙන්නේ ප්‍රංශ ජාතික කාන්තාවක්. මේරි ජේන් තමාගේ නම ප්‍රංශ ඌරුවට "මේරි ජෙනට්" ලෙස වෙනස් කර භාවිතා කරන්න හුරු වෙනවා.

නමුත් කෙටි කලකින්ම මේරි ජේන් "බුකී" නමින් හැඳින්වුනු කාන්තාවක් සමඟ දුප්පතුන් වෙසෙන නැගෙනහිර ලන්ඩනයට පැමිණෙනවා. මේකට හේතුව පැහැදිලි නෑ. නැගෙනහිර ලන්ඩනයේදී ඇය මුලින්ම ශාන්ත ජෝර්ජ් වීදියේ පදිංචි වෙන අතර​, පසුව බ්‍රීසර්ස් හිල් හි කැතී නම් කාන්තාවකගේ නිවසේත් කුලී කාමරයක පදිංචි වෙනවා. මේ කාලයේදී ඇය මත්පැන් පානයට හුරු වෙනවා.

1886 දී මේරි ජේන් මෝර්ගන්ස්ටෝන් නම් පුද්ගලයෙක් සමඟත්, ජෝශප් ෆ්ලෙමිං නම් පෙදරේරුවෙක් සමඟත් පෙම් සබඳතා ඇති කර ගන්නවා.


1886 දී ඇය ත්‍රෝල් වීදියේ කූලි ලැගුම් හලේ නවාතැන් ගන්න අතර එහිදී ඇයට අයිරිෂ් ජාතික කම්කරුවෙක් වුනු ජෝශප් බානට් මුණ ගැසෙනවා. ඔවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් ඇති වෙනවා. ඇය බානට් සමඟ මුලින් ජෝර්ජ් වීදියේත්, පසුව ඩෝසට් වීදියේත් ලැගුම්හල් වල වාසය කරනවා. අධික මත්පැන් පානය සහ කුලිය නොගෙවීම නිසා ඔවුන් දෙදෙනාව ඩෝසට් වීදියේ ලැගුම් හලෙන් පන්නා දමනවා. ඔවුන් බ්‍රික් වීදියේ ලැගුම් හලකට පැමිණෙනවා. 1888 මාර්තු වෙද්දි ඔවුන් ඩෝසට් වීදියේ මිලර්ස් කෝට් නමින් හැඳින්වුනු ගොඩනැගිල්ලක කාමරයක් කුලියට අරගෙන එහි වාසයට යනවා.


ඩෝසට් වීදිය
1888 සැප්තැම්බර් මාසයේදී බානට් ට ඔහුගේ රැකියාව අහිමි වෙනවා. ඔවුන් දෙදෙනා වෙන් වෙනවා.

1888 වෙද්දි මේරි ජේන් ගේ වයස අවුරුදු 25 ක් පමණ​. ඇය අඩි 5 අඟල් 7 ක් උස හොඳින් වැඩුනු සිරුරක් හිමි තරුණියක්. ඇයට රන්වන් පැහැති හිසකෙස්, නිල් පැහැති ඇස් සහ පැහැපත් සමක් තිබුණු බවත්, ඇය අතිශයන් රූමත් බවත් සඳහන්.

ඇය හිස්වැසුමක් නොපැලඳි අතර​, ඉතා පිරිසුදු සුදු පැහැති ඒප්‍රනයක් සහ රතු පැහැති සාළුවක් පැළැන්දා. නිඇය නිතරම ගමන් බිමන් ගියේ මිතුරියන් දෙතුන් දෙනෙක් පිරිවරාගෙන​.

ඇය මත්පැන් පානය නොකළ අවස්ථාවලදී සන්සුන් ගතිගුණ තිබුනු නිහඬ තරුණියක් බවත්, සියළු දෙනා ඇයව ප්‍රිය කළ බව කියැවෙනවා. ඇය වෙල්‍ෂ් භාෂාව හොඳින් කතා කළ අතර මත්පැන් පානය කළ විට අයිරිෂ් භාෂාවෙන් ගීත ගායනා කළා.


මේ වන විට ඇය වාසය කළේ මිලර්ස් කෝට් හි අංක 13 කාමරයේ. එය අඩි 12 x 12 ප්‍රමානයේ කුඩා කාමරයක්. එහි තිබුනේ ඇඳක්, මේස තුනක් සහ පුටුවක් පමණයි. කාමරයේ දොරේ යතුර නැති වී තිබූ නිසා මේරි ජේන් කාමරයට ඇතුල් වුනේ දොර අසල ජනේලයේ කැඩුනු වීදුරුවෙන් අත දමා අගුළු හැරීමෙන්.


මිලර්ස් කෝට්
ඔක්තෝබර් 30 වෙනිදා -

බානට් සහ මේරි ජේන් අතර ආරවුලක් ඇති වෙනවා. ආරවුලට හේතුව මේරි ජේන් ඇගේ මිතුරියක් සහ ගණිකාවක් වුනු ජුලියා නම් තරුණියක්ට ඇගේ කාමරයේ නවාතැන් දීම​.

නොවැම්බර් 5 සහ 6 - 

මරියා නම් කාන්තාවක් මේරි ජේන් ගේ කාමරයේ නැවතී සිටිනවා.

නොවැම්බර් 7 වෙනිදා -

මේරි ජේන් වෙළඳසැලකින් පැන්ස බාගයේ ඉටිපන්දමක් මිලදී ගන්නවා. එහිදී තෝමස් බෝයර් නම් හිටපු සොල්දාදුවෙක් ඇය සමඟ අමුත්තෙක් කතා කරනවා දකිනවා. හොඳින් ඇඳ පැළඳ ඉන්න අමුත්තා අතේ කිසිවක් නෑ.

නොවැම්බර් 8 වෙනිදා -

රාත්‍රී 7:30 -
බානට් මේරි ජේන් හමුවෙන්න එනවා. ඔහුට ඇය හමුවෙනකොට ඇය ඉන්නේ තවත් මිතුරියක් සමඟ​. ඒ ලිසී ඇල්බෲක්. මේරි ජේන් ලිසී ට ඇය වගේ ගණිකා වෘත්තියට යොමු නොවන ලෙස අවවාද කරනවා. "මම ඉන්නෙ ගොඩක් දුකෙන්. මට සල්ලි ටිකක් තිබුණ නම් මම අයර්ලන්තයේ මගේ නෑයොත් එක්ක ජීවත් වෙන්න යනවා."

රාත්‍රී 8:00 -
බානට් නැවත ඔහුගේ කාමරයට යනවා.

රාත්‍රී 11:00 -
මේරි ජේන් "බ්‍රිටානියා" අවන්හලේ තරුණයෙක් සමඟ මත්පැන් පානය කරමින් ඉන්නවා. තරුණයා කළු උඩු රැවුලක් සහිත හොඳින් ඇඳ පැළඳ ගත් අයෙක්. මේරි ජේන් ඉන්නේ අධිකව බීමතින්.

රාත්‍රී 11:45 -

මිලර්ස් කෝට් හි අංක 5 කාමරයේ වාසය කරන ගණිකාවක් වුනු මේරි ඈන් කොක්ස් කොමර්‍ෂල් වීදියේ ඉඳල ඩෝසට් වීදියට ඇතුල් වෙනවා. ඇය එන්නේ රාත්‍රිය ඉතාම ශීතල නිසා කාමරයට ගිහින් පොඩ්ඩක් උණුසුම් වෙන්න​. ඇය දකිනවා මේරි ජේන් ඇයට ඉදිරියෙන් තරබාරු මිනිහෙක් එක්ක ඇවිදගෙන යන හැටි. ඔහුට වයස 35 - 36 පමණ ඇති. උස අඩි 5 අඟල් 5 ක් පමණ​. අපිලිවෙලට හැඳ පැළඳ ඉන්න ඔහු දිග කබායක් සහ රවුම් බෝලර් තොප්පියක් පැළඳ ඉන්නවා. ඔහුගේ මුහුණ කැලල් වලින් සමන්විත වන අතර​, රතු පාට රැවුලක් තියෙනවා. ඔහුගේ එක අතක බියර් පිරවූ කුඩා බාල්දියක්.

මේරි ඈන් ඔවුන් පසු කර යද්දී ඔවුන්ට "ශුභ රාත්‍රියක්" කියනවා. මේරි ජේන් බීමතින් වචන පැටලෙමින් ඇයට උත්තර දෙනවා. "ශුභ රාත්‍රියක්. මම දැන් සින්දු කියන්නයි යන්නේ." මේරි ඈන් කාමරයට ගිය පසු ඇයට ඇහෙනවා මේරි ජේන් "අම්මාගේ සොහොනෙන් වයලට් මලක්" නම් සින්දුව ගායනා කරනවා. විනාඩි 15 කට පමණ පස්සෙ මේරි ඈන් නැවතත් එළියට යද්දිත් මේරි ජේන් ඒ සින්දුවම කියමින් ඉන්නවා.

රාත්‍රී 12:30 -

මේරි ජේන් ගේ අසල්වැසියෙක් වන කැතරින් පිකට් සහ ඇගේ සැමියා මේරි ජේන් ගේ ගීත ගායනය නිසා නින්දෙන් ඇහැරෙනවා. කැතරින් ගේ සැමියා මේරි ජේන්ට බැණ වැදීමට යන්න සූදානම් වුනත් කැතරින් එය වලක්වනවා. "අහිංසක ගෑණිට ඉන්න දෙන්න​".

රාත්‍රී 1:00 -
මේරි ඈන් කොක්ස් ආපසු කාමරයට එනවා. ඒ වෙද්දිත් මේරි ජේන් සින්දු කියනවා. ඇගේ කාමරයේ ආලෝකයක් දල්වා තියෙනවා.

රාත්‍රී 2:00 - 
කොමර්‍ෂල් වීදියේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි අයෙක් වන ජෝර්ජ් හචින්සන් රොම්ෆෝර්ඩ් පෙදෙසේ සිට නැවත එමින් සිටිනවා. කොමර්‍ෂල් වීදිය සහ ත්‍රෝල් වීදිහ හමුවන තැන මිනිහෙක් හිටගෙන ඉන්නවා ඔහු දකිනවා. ඒත් ඔහු ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ. ෆ්ලවර් සහ ඩීන් වීදිය අසලදී ඔහුට මේරි ජේන් හමුවෙනවා. ඇය ඔහුගෙන් මුදල් ඉල්ලනවා.

"හචින්සන් මහත්තයෝ මට පැන්ස හයක් ණයට දෙන්න පුළුවන් ද​?"
"මට බෑ. මම මගේ සල්ලි ඔක්කොම රම්ෆෝර්ඩ් වලදි වියදම් කරා"
"එහෙනං සුබ උදෑසනක්. මම කොහොමහරි සල්ලි ටිකක් හොයාගන්න ඕනෙ" 

ඇය ත්‍රෝල් වීදිය දිහාවට ගමන් කරනවා. ඇයට හචින්සන් පහුකරගෙන ආපු මිනිහා හමුවෙනවා. ඔහු ඇගේ කරට අත දාල යමක් කියනවා. ඔවුන් දෙදෙනාම හිනා වෙනවා.

"හා හොඳයි" (All right) මේරි ජේන් කියනවා.
"මම කියපු දේ කරොත් උඹට හොඳ වෙයි" (You will be all right for what I have told you)


මිනිහා ඇගේ කරට අත දාගන්නවා. ඔවුන් දෙදෙනා ඩෝසට් වීදිය දිහාවට ගමන් කරනවා. මිනිහාගේ අතේ කුඩා පාර්සලයක් තියෙන බව හචින්සන් දකිනවා.

ඔවුන් වීදි ලාම්පුවක් යටින් යද්දි හචින්සන් මිනිහාව හොඳට දකිනවා. ඔහු සුදුමැලි පාටයි. අගින් උඩට කරකවපු සිහින් උඩු රැවුලක් තියෙනවා. හිසකෙස් කළු පාටයි. ඇහිබැම ඝනයි. හචින්සන් කියන විදිහට ඔහුට තිබුනේ "යුදෙව්වෙක් ගේ පෙනුමක්". ඔහු ෆෙල්ට් තොප්පියක් ඇස් වැහෙන විදිහට දාගෙන ඉන්නවා. අඳුරුපාට දිග කබායක්, සුදු කමිසයක් කළු ටයි පටියක් සහ එළු සම් අත්මේස් පැළඳ ඉන්න ඔහු බූට්ස් සපත්තු වැහෙන විදිහට කළු සම් ආවරණ ඇඳලා ඉන්නවා. ඔහුට වයස අවුරුදු 35-36 පමණ ඇති. උස අඩි 5 අඟල් 7 ක් පමණ​.

කෙලී සහ මිනිහා කොමර්‍ෂල් වීදිය හරහා ගිහින් ඩෝසට් වීදියට ඇතුල් වෙනවා. හචින්සන් ඔවුන් පසුපසින් යනවා. දෙදෙනා මිලර්ස් කෝට් ඉදිරිපස නැවතිලා විනාඩි තුනක් පමණ කතා කරමින් ඉන්නවා. මේරි ජේන් මිනිහාට ඇතුලට කතා කරනවා.

"හොඳයි ඩියර්, ඇතුලට එන්න​. ඔයාට සුව පහසුව ලැබෙයි." (All right dear, come along, you will be comfortable)

මිනිහා මේරි ජේන් බදාගෙන සිප ගන්නවා.

"මගේ අත් ලේන්සුව නැති වෙලා"

මිනිහා ඇයට රතුපාට අත් ලේන්සුවක් දෙනවා. ඔවුන් දෙදෙනා මිලර්ස් කෝට් ගොඩනැගිල්ලට ඇතුල් වෙනවා. හචින්සන් තුනේ කනිසම වදින තුරු ඒ අවට රැඳී ඉන්නවා. තුනේ කනිසම වැදුනු පසු ඔහු එතැනින් ඉවත් වෙනවා.

රාත්‍රී 3:00 - 
බැහැර ගිහින් හිටපු මේරි ඈන් කොක්ස් ආපහු කාමරයට එනවා. ඒ වෙනකොට තද වැස්සක් වැටෙමින් තියෙනවා. ඒ වෙද්දි මේරි ජේන් ගෙ කාමරයේ එළියක් දැල්වෙන්නේ නෑ. මේරි ඈන් රැය පුරාම අවදියෙන් ඉන්නවා. පාන්දර වෙන තුරු විවිධ අය ගොඩනැගිල්ලට ඇතුල් වෙන සහ පිටවෙන හඬ ඇයට ඇහෙනවා.

පාන්දර 4:00 -
මිලර්ස් කෝට් හි නේවාසිකාවක් වන එළිසබෙත් ප්‍රැටර් හදිසියේ අවදි වෙන්නේ ඇගේ සුරතල් පූස් පැටියා ඇගේ ඇඟ උඩට පැනීම නිසා. කවුදෝ "මිනී මරනවෝ" (Oh, murder!) කියල කෑගහන හඬක් ඇයට යන්තම් ඇහෙනවා. ඒත් ඒ වගේ කෑගැසීම් ප්‍රදේශයේ සුලභ නිසා ඇය ඒ ගැන අවධානය යොමු කරන්නේ නෑ. මිලර්ස් කෝට් හි තවත් නේවාසිකාවක් වන සාරා ලුවිස්ටත් මේ කෑගැසීම ඇහෙනවා.

උදේ 10:45 -

මිලර්ස් කෝට් ගොඩනැගිල්ලේ අයිතිකාරයා වන ජෝන් මැකාර්ති මේරි ජේන් ගේ පරක්කු වී තිබුනු කාමර කුලිය අය කර ගන්න තෝමස් බෝයර් නම් අයෙක් ඇගේ කාමරයට පිටත් කර හරිනවා. කීප වරක් දොරට ගැහුවත් ප්‍රතිචාරයක් නැති නිසා බෝයර් ජනේලයෙන් එබී බලනවා. ඔහු දකින්නේ මේරි ජේන් ගේ මළ සිරුර ඇඳ උඩ තියෙන හැටි. ඔහු දුවගෙන ගිහින් ජෝන් මැකාර්ති කැඳවනවා. ඔවුන් දෙදෙනා පොලිසිය කැඳවනවා. පොලිස් අධිකාරි තෝමස් ආනෝල්ඩ් ගේ උපදෙස් අනුව දොර කඩලා ඔවුන් කාමරයට ඇතුල් වෙනවා.

මේරි ජේන් හැඳගෙන ඉන්නේ දුහුල් යට ගවුමක් (chemise) විතරයි. ඇගේ ඇඳුම් සියල්ලම ඉතා පිළිවෙලට නවලා පුටුවක් මත තියලා තියෙනවා. ඇගේ සපත්තු ගිනි උඳුන ඉදිරිපිට තියලා තියෙනවා.


Chemise යට ගවුමක්

ඇගේ සිරුර ඉතාමත් භයානක විදිහට විකෘති කරලා. 

ඇගේ සිරුර තියෙන්නේ ඇඳ මත හාන්සි වී සිටින ස්වරූපයෙන්, යන්තම් වම් පැත්තට ඇල වෙලා. හිස වම් පැත්තට හැරිලා. වම් අත වැලමිටෙන් නැවිලා බඩ උඩ​. දකුණු අත සිරුරෙන් මදක් ඈත් වෙලා ඇඳ උඩ වැතිරිලා තියෙනවා. එය වැලමිටෙන් මදක් නැවිලා, අත මිට මොළවලා. කකුල් ඈත් කරලා දණිස් වලින් නැවිලා, සිරුර දෙපැත්තෙන් ඇඳ මත වැතිරී තියෙන විදිහට තියෙනවා.

ඇගේ බඩේ සහ කලවා වල සම සහ මස් සූරා දමලා.  කලවා වල මස් ඉවත් කරද්දි ඇටකෝටුව මතුවෙන තුරු මස සූරා දමලා. මස් සහ හම් සමඟ ඇගේ ලිංගික අවයවත්, දකුණු තට්ටමේ කොටසකුත් කපා දමලා. බඩ කපලා ඇතුලේ තිබූ සියළුම අවයව පිටතට අරගෙන​. පියයුරු දෙකම කපා දමලා. ඇගේ පියයුරු කපා දැමීමේදී ඉළ​ඇට වලට සහ පෙනහළු වලටත් හානි වෙලා. අත් වලට ගැඹුරු පිහි ඇනුම් ගණනාවක් කරලා. මුහුණ හඳුනාගන්න බැරි විදිහට ඉතාමත් බිහිසුනු ආකාරයට පිහි ඇණුම් වලින් කපා දමලා. මුහුණේ සියළුම අවයව වෙන වෙනම කුඩා කැබලි වලට වෙන් වෙන විදිහට කපා දාලා. බෙල්ල වටේටම කශේරුකාව දක්වා විහිදෙන ගැඹුරු කැපුම් තුවාල.

පපු කුහරය පැල්මකින් විවර කරලා ඇගේ හදවත එළියට අරගෙන​.

ඇගේ සිරුරෙන් ඉවත් කළ අවයව සහ පියයුරු ඇගේ ඇඟ වටේට ඇඳ උඩ තියලා. බඩෙන් සහ කලවා වලින් සූරා දැමූ මස් අසල තිබුනු මේසයක් මත​. ඇඳ උඩ​, ඇඳ යට සහ අවට බිත්ති එකම ලේ විලක්. ඇඳ ඇතිරිලි ලෙයින් පෙඟිලා. 


ඇගේ ආමාශයේ සහ බඩවැල් වල ඇය ගත්ත අවසාන කෑම වේල වුනු මාළු සහ අර්තාපල් කොටස් දකින්න පුළුවන්.


මේරි ජේන් කෙලී ගේ මළ සිරුර​
සාක්‍ෂි කැඳවීමේදී ඉතාමත් අත්භූත සාක්‍ෂි දෙකක් ලැබෙනවා. පළමුවන සාක්‍ෂියෙක් කියවෙන්නේ කැරොලින් මැක්ස්වෙල් නම් කාන්තාවක් උදෑසන 8:30 ට පමණ මේරි ජේන් කෙලී දැක්ක බව කියනවා. ඩෝසට් වීදියේ ඇඳුම් මසන්නෙක් වන මොරිස් ලුවිස් උදෑසන 10:00 ට පමණ ඇයව දැක්ක බව කියනවා. මේ වෙලාවන් දෙකම ඇගේ මරණය සිදුවුනා යැයි සැක කෙරෙන පාන්දර 4:00 ට පැය ගණනාවකට පසු වෙලාවන්.

මේ නිසා සහ මේරි ජේන් කෙලී ගේ කාමරයේ තිබූ මල සිරුර හඳුනාගන්න බැරි තරම් විකෘති කරලා තිබුනු නිසා සමහරු අතර මතයක් තියෙනවා මිය ගියේ මේරි ජේන් නොවෙයි, ඇගේ කාමරයේ ලැගුම් ගත්ත ඇගේ මිතුරියක් කියලා.


1888 නොවැම්බර් 19 වෙනිදා ලැංත්‍රෝන් පාරේ ශාන්ත පැට්‍රික් රෝමානු කතෝලික සුසාන භූමියේදී ඇගේ සිරුර භූමිදානය කරනවා.



Saturday, December 22, 2018

එක්සත් සුවදීව් ජනරජය



පසුබිම​


මාලදිවයින සමන්විත වෙන්නෙ අතොළු කියල හැඳින්වෙන දූපත් පොකුරු 26 කින්. මේවා උතුරේ ඉඳන් දකුණට විසිරිලා තියෙනවා. දකුණේම පිහිටි අතොළු තුන වෙන්නේ හුවදු, ෆුවාමුලාකු සහ අඩ්ඩු.

මේ දකුණෙන්ම පිහිටි අතොළු තුන භූගෝලීය වශයෙන් අනෙක් අතොළු වලින් වෙන් වෙලා තියෙන්නෙ. දකුණු දිග අතොළු තුන සහ උතුරු දිග අතොළු අතර තරමක් විශාල ඕඩයක් තියෙනවා. මේක හැඳින්වෙන්නේ "සුවදීව් ඕඩය​" කියලා. සුවදිව් කියන්නෙ අතීතයේ හුවදු අතොළුව හඳුන්වපු නමක්.


මාලදිවයින ක්‍රි.පූ. 300 දී පමණ ලංකාවෙන් යන මිනිස්සුන් ගෙන් ජනාවාස වෙනවා. මේ අය හැඳින්වෙන්නේ "දිවෙහි" කියලා. ඔවුන් කතා කළ භාෂාව "දිවෙහි". ඔවුන් ගේ ආගම වුනේ වජ්‍රයානික බෞද්ධ​.

මාලදිවයිනේ මුල් කාලයේ ඒකීය මධ්‍යගත පාලනයක් තිබුනේ නෑ. ඒ ඒ අතොළුව ස්වාධීනව අතොළු ප්‍රධානියෙක් යටතේ පාලනය වුනා. නමුත් සියළුම අතොළු අතර පොදු සංස්කෘතියකින් බැඳුනු සහයෝගීතාවයක් තිබුනා.

ලංකාවට වඩාත්ම සමීපයෙන් තිබුනේ දකුණු දිග අතොළු නිසා දිවෙහි වරු මාලදිවයින ජනාවාස කිරීම ඇරඹුවේ දකුණේ ඉඳලා. මේ නිසා අතීතයේ පටන් දිවෙහි සංස්කෘතියේ මධ්‍යස්ථානය වුනේ දකුණු දිග අතොළු. අදටත් මාලදිවයිනේ බෞද්ධ නටබුන් වැඩිපුරම තියෙන්නෙ දකුණු දිග අතොළු වල​. විශේෂයෙන්ම හුවදු අතොළුවේ විශාල ආරාම සංකීර්ණයක නටබුන් හමුවෙනවා. මේ ආරාමයන් එදා දිවෙහි සංස්කෘතියේ අරටුව විදිහට පවතින්න ඇති.

 දකුණු දිග අතොළු වාසීන් අතර පොත් කියවීම සහ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම මුල්බැසගෙන තිබුනා. මේ නිසා දකුණු දිග අතොළු වල පදිංචිකරුවන් අතර තමා අනෙක් අතොළු වල පදිංචි කරුවන්ට වඩා සංස්කෘතිකව උසස් බව හැඟීමක් තිබුනා. ඔවුන් උතුරු දිග අතොළු සැලකුනේ "ග්‍රාමීය​" ප්‍රදේශ විදිහට​.

මාලදිවයින පළමු වරට එක්සත් වෙන්නේ ලංකාවෙන් ගිය කුමාරයෙක් යටතේ ක්‍රි.ව​. 1100 දී පමණ​. මේ කුමාරයා තමාගේ අගනුවර විදිහට තෝරා ගන්නේ උතුරු දිග අතොළුවක දූපතක් වුනු මාලේ දූපත​. ක්‍රි.ව​. 1153 දී මාලදිවයිනේ පාලකයා (රදුන්) ඉස්ලාම් ආගම වැළඳ ගන්නවා. ඒ එක්කම ඔහු තමාගේ සියළුම යටත් වැසියන් ඉස්ලාමය වැළඳගත යුතු බවට අණ කරනවා. කෙටි කලකින් මාලදිවයිනේ බෞද්ධ ආගම යටපත් වෙලා ඉස්ලාමය ඉස්මතු වෙනවා.

මේ වෙනස් කම් දෙක මාලදිවයින් ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් දෙකක්. මේ සිදුවීම් දෙකත් එක්ක මාලදිවයිනේ දේශපාලන ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානය වෙන්නෙ මාලේ සහ ඒ අවට පිහිටි අතොළු. දකුණු දිග අතොළු වලට මේ දක්වා තිබුනු වැදගත් කම නැති වෙලා යනවා. වෙළඳාම ගොඩ නැගෙන්නේ අළුත් අගනුවර වුනු මාලේ වටා. ඒ එක්කම ඉස්ලාමය මත පදනම් වෙන නව සංස්කෘතියේ මධ්‍යස්ථානය වෙන්නෙත් මාලේ.

කාලයත් එක්ක මාලදිවයින ක්‍රමයෙන් මධ්‍යගත පාලනයක් කරා යොමු වෙනවා. රදුන් තමාගේ බලය වැඩි වැඩියෙන් අතොළු ප්‍රධානීන් මත පනවනවා. අතොළු වලට තිබුනු ස්වාධීනත්වය නැති වෙනවා.

ඒත් දකුණු දිග අතොළු තුන අනෙක් අතොළු වලට වඩා වැඩි ස්වාධීනත්වයක් භුක්ති විඳපු බවක් තමයි පේන්නෙ. උදාහරණයක් වශයෙන් හුවදු අතොළුවේ වෙළඳ නැව් තමාගේ කොඩිය විදිහට භාවිතා කලේ රදුන් ගේ කොඩිය වුනු තනි රතු කොඩිය නෙවෙයි - තමාගේ අතොළු ප්‍රධානියාගේ කොඩිය.


ඒ වගේම දකුණු දිග අතොළු වල බුදු දහම ඇදහීම ඉතුරු වී තිබුනු බවත් පේනවා. 1600 තරම් මෑතකදී රදුන් දකුණු දිග අතොළු වල කරපු සංචාරයකදී හුවදු අතොළුවේ මිනිස්සු බුදු දහම ඇදහූ බව දැකලා ඔවුන්ට තදින් දඬුවම් කළ බව සඳහන්.

ඒ වගේම අනෙක් අතොළු වල වෙළඳාම ප්‍රධාන වශයෙන් රඳා පැවතුනේ මාලේ දූපත සමඟ​. ඒ අතොළු වල වෙළෙන්දෝ තමාගේ බඩු ගෙනාවේ මාලේ දූපතට​. නමුත් දකුණු දිග අතොළු වල වෙළඳාම ප්‍රධාන වශයෙන් රඳා පැවතුනේ ලංකාව සමඟ​. මේ නිසා ඔවුන් යම් කිසි ආර්ථික ස්වාධීනත්වයකුත් ලබාගෙන තිබුනා.

කාලයත් එක්ක දිවෙහි සංස්කෘතියේ ප්‍රධාන ධාරාව බවට මාලේ සංස්කෘතිය පත් වෙනවා. නමුත් දකුණු දිග අතොළු වැසියන් අතර තමා සංස්කෘතිකව අනෙක් අයට වඩා උසස් කියන හැඟීම නැති වෙන්නේ නෑ. ඒ වගේම ඔවුන් අතර අධ්‍යාපනයට තිබුණු නැඹුරුව අඩු වුනෙත් නෑ. අදටත් මාලදිවයිනේ වැඩිම උගතුන් බිහිවෙලා තියෙන්නෙ දකුණු දිග අතොළු වලින්.

දකුණු දිග අතොළු වල සංස්කෘතිය දිවෙහි සංස්කෘතියේ උප ධාරාවක් විදිහට දිගටම පවතිනවා. අදටත් දිවෙහි භාෂාවේ උප භාෂා අතර මේ වෙනස දකින්න පුළුවන්. දකුණු දිග අතොළු තුන හැරුණු විට අනෙක් සියළුම අතොළු වල භාවිතා වෙන්නේ "මාලේබස්" නමින් හැඳින්වෙන උපභාෂාව​. දකුණු දිග අතොළු තුනේ හුවදුබස්, මුලාකුබස් සහ අඩ්ඩු බස් නමින් හැඳින්වෙන උපභාෂා තුනක් භාවිතා වෙනවා. මේ දකුණු දිග උපභාෂා මාලේ උපභාෂාවෙන් තරමක් වෙනස්. මාලේබස් කතා කරන කෙනෙක්ට ඒවා හරිහැටි තේරුම් ගැනීම අපහසුයි. ඒ වගේම ඒවා සිංහල බසට වඩාත් සමීපයි.


මාලදිවයින සහ බ්‍රිතාන්‍යය බලපෑම​


මාලදිවයින ක්‍රි.ව​. 1100 පමණ ඉඳලා පාලනය වුනේ රජ කෙනෙක් යටතේ. ඔහු දිවෙහි සම්ප්‍රදාය අනුව "රදුන්" විදිහටත්, ඉස්ලාමීය සම්ප්‍රදාය අනුව "සුල්තාන්" විදිහටත් හැඳින්වුනා. ඔහුගේ අගනුවර පිහිටලා තිබුනේ උතුරු දිග දූපතක් වුනු මාලේ දූපතේ.

1860 විතර ඉඳලා බ්‍රිතාන්‍යය මාලදිවයින ගැන උනන්දු වුනා. ඔවුන් මුලින්ම මාලදිවයිනට අතපෙවීම පටන් ගන්නේ මාලදිවයිනේ පදිංචි වෙලා හිටපු ඉන්දියානු ජාතික වෙළඳ ප්‍රජාව ගේ ආරවුල් වලට මැදිහත් වීමෙන්. ඒ ඔවුන් බ්‍රිතාන්‍යය යටත් වැසියන් නිසා.

මේ අත පෙවීම් දුර දිග ගිහින් 1887 දී මාලදිවයින "බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක්" බවට පත් වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර කටයුතු වලදී රදුන්ට පූර්ණ ස්වාධීනත්වය හිමි වුනත්, අන්තරජාතික සබඳතා වලදී බ්‍රිතාන්‍යයට මැදිහත් වෙන්න පුළුවන් කියන එකඟතාවය​. මාලදිවයින පිළිබඳ වගකීම පැවරෙන්නේ ලංකාවේ බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරයාට​.

ඇත්තෙන්ම මාලදිවයිනේ අභ්‍යන්තර දේශපාලනය ගැන බ්‍රිතාන්‍යයන් උනන්දු වෙන්නෙ නෑ. ඒ කටයුතු මාලදිවයින් වැසියන්ට අවශ්‍යය විදිහට සිද්ධ වෙනවා.

මේ තත්වය වෙනස් වෙනවා දෙවැනි ලෝක යුද්ධයේ ආරම්භයත් එක්ක​. ඉන්දියානු සාගරයේ සතුරු නාවුක කටයුතු පාලනය කරන්නත්, තමාගේ ගුවන් බලය වර්ධනය කරන්නත් බ්‍රිතාන්‍යයන් අඩ්ඩු අතොළුවේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුරක් පිහිටුවනවා. මේ කඳවුර යුද්ධය අවසන් වීමත් සමඟම අතහැර දමනවා.



නමුත් මාලදිවයින  බ්‍රිතාන්‍යයන්ට අතිශය වැදගත් වෙනවා 1956 දී ලංකාවේ බණ් ඩාරනායක රජය ගන්නා පියවරක් නිසා. බණ් ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ ගුවන් හමුදා සහ නාවුක හමුදා කඳවුරු ඉවත් කරගන්න අණ කරනවා. මේ නිසා මැද පෙරදිග සහ අග්නිදිග ආසියාව අතර බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු අතර "අතරමැද නවාතැන් පොළක්" විදිහට ඉතුරු වෙන්නේ ගැන් දූපතේ ගුවන් හමුදා කඳවුර විතරයි.

මේ නිසා බ්‍රිතාන්‍යයන් 1957 දී ගැන් ගුවන් හමුදා කඳවුර නැවත පිහිටුවනවා.

මේ හමුදා කඳවුර නිසා අඩ්ඩු අතොළුවේ වැසියන් විශාල ප්‍රමානයකට රැකියා ලැබෙනවා. ඒ වගේම අඩ්ඩු වැසියන් සහ බ්‍රිතාන්‍යය හමුදා සෙබළු අතර ඉතාම වාසි දායක වෙළඳාමකුත් ගොඩ නැගෙනවා.


ප්‍රථම ජනරජය​ සහ එහි බිඳවැටීම​


මාලදිවයින 1953 වෙනතුරු හැඳින්වුනේ "මාලදිවයින් රාජධාණිය​" (Sultanate of the Maldives) කියලා. 1944 ඉඳලා 1952 වෙනතුරු මාලදිවයිනේ සුල්තාන් වෙන්නේ අබ්දුල් මජීද් දිදී.

ඔහු 1952 දී මිය යාමෙන් පසුව මාලදිවයිනේ රාජ සභාව ඔහුගේ අගමැති වරයා වුනු මුහම්මද් අමීන් දිදී සුල්තාන් විදිහට තෝරා ගන්නවා. ඒත් මුහම්මද් අමීන් දිදී සමාජවාදී අදහස් දැරූ ප්‍රතිසංස්කරණ වාදියෙක්. ඔහු ඒ වෙනුවට සුල්තාන් තනතුර අහෝසි කරලා 1953 ජනවාරි 1 වැනිදා මාලදිවයින ජනරජයක් විදිහට ප්‍රකාශයට පත් කරනවා.

මාලදිවයින් ජනරජයේ ප්‍රථම ජනාධිපති ධූරයට පත් වෙන්නේ මුහම්මද් අමීන් දිදී.

ජනාධිපති මුහම්මද් අමීන් දිදී
ජනාධිපති අමීන් දිදී කාන්තාවන්ට අධ්‍යාපනය ලබා දීම​, ධීවර කර්මාන්තය ජනසතු කිරීම​, ප්‍රසිද්ධියේ දුම් පානය තහනම් කිරීම ආදී ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දෙනවා. නමුත් මේ ප්‍රතිසංස්කරණ මාලදිවයිනේ සාම්ප්‍රදායික හරයන් සමඟ ගැටීම නිසා අමීන් දිදී ජනප්‍රියත්වයෙන් පිරිහෙනවා.

මේ නිසා 1953 දී ඔහු ලංකාවට ආව අවස්ථාවක කුමන්ත්‍රනයකින් ඔහුව බලයෙන් පහ කරලා ඔහුගේ උප ජනාධිපති ඊබ්‍රහිම් දිදී බලය අල්ලා ගන්නවා. නැවත ලංකාවට එන අමීන් දිදී වෙනත් දූපතකට පිටුවහල් කරනවා. මාස හතරකට පසු නැවත බලය අල්ලා ගැනීමේ අදහසින් මාලේ දූපතට එන අමීන් දිදී කුපිත වුනු ජන සමූහයක් විසින් පහර දීම නිසා දරුණු තුවාල ලබනවා. මේ තුවාල වලින් ඔහු මාසයකට පමණ පසු මිය යනවා.

මේ සිදුවීමෙන් මාස තුනකට පස්සේ හිටපු සුල්තාන් අබ්දුල් මජීද් දිදී ගේ පුතා වන මුහම්මද් ෆරීද් දිදී නැවත සුල්තාන් තනතුරට පත් කෙරෙනවා. මාලදිවයිනේ ප්‍රථම ජනරජය අවසාන වෙනවා.

සුල්තාන් මුහම්මද් ෆරීද් දිදී
සුල්තාන් ෆරීද් දිදී ගේ අගමැති වරයා විදිහට පත් වෙන්නේ රජ පෙළපත වුනු හුරා පෙළපතට නෑකම් තිබුනු තරුණ දේශපාලකයෙක් වුනු ඊබ්‍රහිම් නසීර්.

අගමැති ඊබ්‍රහිම් නසීර්
ඉතා හොඳ දේශපාලන ඉවක් තිබුණු ඊබ්‍රහිම් නසීර් සුල්තාන් වරයාගේ පාලනයේ එදිනෙදා කටයුතු සියල්ලම පාහේ තමාගේ අතට ගන්නවා. ඔහු නව ප්‍රතිසංස්කරණ රැසක් මාලදිවයිනට හඳුන්වා දෙනවා. මේ ප්‍රතිසංස්කරණ අතරින් කීපයක් දකුණු දිග අතොළු වැසියන්ට තදින් බලපානවා.

ඒ අතරින් ප්‍රධාන වෙන්නේ ලංකාව සමඟ පැවැත්වූ ඍජු වෙළඳාමට පැණවූ බාධක​. මාලදිවයින් ඉතිහාසයේ මුල් වරට ලංකාවට යාම සඳහා පාස්පෝට් සහ වීසා අනිවාර්‍යය කිරීමේ නීතියක් පැනවීමත් සමඟම දකුණු දිග වැසියන්ට පාස්පෝට් සහ වීසා ලබා ගැනීම සඳහා නිතර මාලේ නගරයට යාමට සිදු වෙනවා. ගමනාගමන පහසුකම් දුර්වල තත්වයක තිබූ ඒ දිනවල මෙය ඔවුන්ට වියදම් අධික කටයුත්තක් වුනා. මේ නිසා ඔවුන් ගේ ප්‍රධාන ආදායම් මාර්ගයට බලවත් පහරක් එල්ල වෙනවා.

මීට අමතරව සෑම අතොළුවකම මධ්‍යම රජයේ නිලධාරියෙක් රඳවනු ලැබූ අතර​, සියළුම වෙළඳ ගනුදෙනු සඳහා ඔහුගේ අවසරය ලබා ගැනීමටත්, ඒ සඳහා මධ්‍යම රජයට බදු ගෙවීමටත් සිදු වෙන අයුරින් තවත් නීතියක් පැනවෙනවා. අනෙකුත් අතොළු වලට මේ නීතිය තදින් බල නොපෑවත්, බ්‍රිතාන්‍යය හමුදා කඳවුර සමඟ ඉතා වාසි සහගත වෙළඳාමක නිරත වුනු දකුණු දිග අතොළු වැසියන්ට මෙය තදින් බලපානවා.

මේ නව නීති ගෙන ඒමේ අරමුණ වෙන්නේ මාලදිවයිනේ පාලනය වඩාත් මධ්‍යගත කිරීමට​. නමුත් දකුණුදිග අතොළු වල වැසියන් මෙය දකින්නේ ඈත අතීතයේ සිට ඔවුන් භුක්ති විඳි වරප්‍රසාද වලට​ මාලේ රජය ඇඟිලි ගැසීමක් විදිහට​. මේ නිසා දකුණු දිග අතොළු වාසීන් අතර මාලේ රජය සහ අගමැති ඊබ්‍රහිම් නසීර් පිළිබඳ දැඩි අප්‍රසාදයක් ගොඩ නැගෙනවා.

මෙහි උත්ප්‍රාසය වන්නේ අගමැති ඊබ්‍රහිම් නසීර් දකුණු දිග අතොළුවක් වුනු ෆුවාමුලාක් හි උපත ලැබූ අයෙක් වීම​.


උණුසුම​


මේ අතර තුර අර්බුධය පුපුරා යන සිද්ධියක් සිදු වෙනවා. 1958 දී අඩ්ඩු අතොළුවේ හිතදු දූපතේ ධනවත් ව්‍යාපාරිකයෙක් සහ වැදගත් පවුලක සාමාජිකයෙක් වුනු අහමද් දිදී මාලේ රජයේ නිලධාරීන් දෙදෙනෙක් විසින් අත් අඩංගුවට ගන්නවා. අත් අඩංගුවට ගැනීමට විරෝධය පෑමේදී නිලධාරීන් දෙදෙනා විසින් අහමද් දිදී ට පහර දෙනවා.

මේ නිලධාරීන් ගේ නොහික්මුණු සහ රළු හැසිරීම නිසා අඩ්ඩු වැසියන් ඔවුන් ගැන ඉන්නේ අප්‍රසාදයෙන්. ඔවුන් අතොළුවේ වැදගත් පවුලක සාමාජිකයෙක්ට පහර දීම නිසා හිතදූ දූපතේ දැඩි නොසන්සුන් කමක් හට ගන්නවා. මිනිසුන් සමූහයක් වශයෙන් එක් රැස් වෙලා නිලධාරීන්ට පහර දෙනවා. ඔවුන් පණ බේරා ගන්නේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුර තුළ සැඟවීමෙන්.

පසුව මේ පිළිබඳව සිදු කරන පරික්‍ෂනයේදී රාජ්‍යය නිලධාරීන්ට පහර දීමේ වරදට කීප දෙනෙක්ට ප්‍රසිද්දියේ කස පහර දීමෙන් දඬුවම් කෙරෙනවා. ප්‍රසිද්ධියේ කස පහර දීම දිවෙහි බසින් හැඳින්වෙන්නේ "බුරිහං නැගුන්" නමින්. එහි තේරුම "පිටේ හම ගලවනවා" යන්නයි. කස දෙකකින් මාරුවෙන් මාරුවට කරන පහර දීම අවසන් වෙන්නේ තුවාල වල මිරිස් කුඩු ඇතිල්ලීමෙන්. මේ දඬුවම් ක්‍රමය ඉතාම වේදනාකාරී මෙන්ම අතිශයින්ම අවමානය ගෙන දෙන එකක්.

දඬුවමට ලක් වුනු එක් අයෙක් වුනේ අහමද් දිදී ගේ පුතා වුනු 42 හැවිරිදි අබ්දුල්ලා අෆීෆ් දීදි. ඔහු අඩ්ඩු අතොළුවේ සිටි ඉතාම ජනප්‍රිය වගේම උගත් අයෙක් වුනා. ඉංග්‍රීසි සහ අරාබි භාෂාවන් චතුර ලෙස කථා කිරීමට හැකියාව තිබුනු අබ්දුල්ලා අෆීෆ් බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ භාෂා පරිවර්තකයෙක් සහ බ්‍රිතාන්‍යය සහ මාලදිවයින් රජය අතර සම්බන්ධීකාරක නිලධාරියා විදිහට සේවය කළා.

අබ්දුල්ලා අෆීෆ් දීදි
අබ්දුල්ලා අෆීෆ් ට ප්‍රසිද්ධියේ කස පහර දීමත් සමඟම මුළු මහත් අතොළුව පුරාම මාලේ රජයට විරෝධී හැඟීමක් පැතිර යනවා.


බ්‍රිතාන්‍යය මැදිහත් වීම​


අගමැති ඊබ්‍රහිම් නසීර් මාලදිවයින බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක් ලෙස පැවතීම සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු තිබීම අනුමත කරන්නේ නෑ. ඒත් ඔහුට බ්‍රිතාන්‍යයන්ට කෙලින්ම විරුද්ධ වෙන්න ශක්තියක් නෑ. මේ නිසා ඔහු බ්‍රිතාන්‍යය හමුදා කඳවුරු සම්බන්ධයෙන් විවිධ කෙනහිලිකම් කරනවා.

හමුදා කඳවුර පිහිටි භූමිය බදු දීමේ ගිවිසුම පරක්කු කිරීම සහ කඳවුරේ නව ඉඳි කිරීම් සිදු කිරීම තහනම් කිරීම මේ අතරින් ප්‍රධානයි. මේ කෙනහිලි කම් නිසා බ්‍රිතාන්‍යයන් මාලේ රජය ගැන අප්‍රසදායෙන් පසුවෙනවා. අඩ්ඩු අතොළුවේ අළුතෙන් ඇති වන තත්වය ඔවුන් දකින්නේ අළුත් අවස්ථාවක් විදිහට​.


කැරැල්ල​


1959 ජනවාරි 1 වැනි දා මාලේ රජය වෙළඳ සහ ධීවර බෝට්ටු සඳහා නව බද්දක් හඳුන්වා දෙනවා. ඒ එක්කම අඩ්ඩු අතොළුව පුරා කැරලි කෝලහාල පැතිර යනවා.

හිතදු දූපතෙන් ඇරඹෙන මේ කැරලි ඉක්මනින්ම මුලු අතොළුව පුරාම පැතිර යනවා. මිනිස්සු රජයේ ආයතන වලට පහර දීලා ඒවා ගිනිබත් කරනවා. රජයේ නිලධාරීන් පණ බේරාගන්න බ්‍රිතාන්‍යය හමුදා කඳවුරට පැනලා යනවා.


කැරලි නවත්වන්න බ්‍රිතාන්‍යයන් කිසිම දෙයක් කරන්නේ නෑ. ඔවුන් රහසිගතව කැරලිකරුවන්ට ආධාර කරනවා.

මේ කැරලි වලට අබ්දුල්ලා අෆීෆ් සහභාගී වෙන්නෙ නෑ.


එක්සත් සුවදිව් ජනරජය​


ජනවාරි 3 වැනිදා අඩ්ඩු අතොළුවේ නායකයන් එක් වෙලා මාලදිවයිනෙන් වෙන් වෙලා වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කරන්න තීරණය කරනවා. ඔවුන් බ්‍රිතාන්‍යය හමුදා කඳවුරට ඇවිත් බ්‍රිතාන්‍යයන් ගේ සහය ඉල්ලා සිටිනවා.

බ්‍රිතාන්‍යයන් කැරැල්ලට සහය දෙන්න එකඟ වෙනවා. නමුත් එක කොන්දේසියක් මත​. නව රාජ්‍යයයේ නායකත්වය කාටත් පිළිගත හැකි අයෙකුට ලබා දිය යුතුයි. සාකච්ඡා වලින් පස්සෙ සියල්ලෝම එකඟ වෙනවා නායකත්වය අබ්දුල්ලා අෆීෆ් ට ලබා දෙන්න​.

අබ්දුල්ලා අෆීෆ් මුලදී මේ යෝජනාවට විරුද්ධ වුනත්, කීප වරක්ම කෙරුනු ඉල්ලීම් වලින් පසු නායකත්වය පිළි ගන්න එකඟ වෙනවා.

කැරැල්ල ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලටත් පැතිර යනවා. කැරලි කරුවන් රාජ්‍යය නිලධාරීන්ට පහර දීලා ඔවුන් පළවා හරිනවා. අබ්දුල්ලා අෆීෆ් වහාම දූත කණ්ඩායම් ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලට පිටත් කර හරින්නේ ඔවුන් ගේ සහය ලබාගන්න​.

අඩ්ඩු අතොළුවේ සිට පැමිණෙන දූත පිරිසට ෆුවාමුලාකු සහ හුවදු අතොළු වලදී ලැබෙන්නේ උණුසුම් පිළිගැනීමක්. සියළුම දූපත් නව රාජ්‍යයට එක් වීමට කැමැත්ත පළ කරනවා. නමුත් හුවදු අතොළුවේ දෙවැනි ප්‍රධාන දූපත වන ගද්දු දූපතේ ප්‍රධානියා පමණක් කැරලිකරුවන්ට එක් වෙන්න කැමති වෙන්නේ නෑ.  ඔහු රහසින් මාලේ දූපතට පලා ගිහින් කැරැල්ල ගැන තතු හෙළි කරනවා.

අතොළු තුනේම නියෝජිතයන් සහභාගී වුනු සභාවක් මගින් 1959 මාර්තු 13 වැනිදා නව රාජ්‍යය ප්‍රකාශයට පත් කරනවා. ඔවුන් එය නම් කරන්නේ "එක්සත් සුවදිව් ජනරජය​" නමින්.

ජාතික ධජය සහ රාජ්‍යය ලාංඡනය​
නව රාජ්‍යය සංවිධානය වෙන්නේ පාර්ලිමේන්තුවක් සහිත ජනරජයක් විදිහට​. රාජ්‍යය නායකයා විදිහට ජනාධිපති අබ්දුල්ලා අෆීෆ් පත් වෙනවා. පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනෙන්නේ වැඩිහිටි පිරිමින් ගේ ඡන්දයෙන්. මැතිවරණයේ පළමු අදියර අඩ්ඩු අතොළුව සඳහා පැවැත්වෙනවා. මේ මාලදිවයින් ඉතිහාසයේ පුළුල් ජන සහභාගීත්වයෙන් යුතුව මැතිවරණයක් පැවැත්වුනු පළමු අවස්ථාව​.

එක්සත් සුවදිව් ජනරජයේ පාර්ලිමේන්තුව​

ඒ අනුව නියෝජිතයන් 52 ක් පළමු පාර්ලිමේන්තුව වෙනුවෙන් අඩ්ඩු අතොළුවෙන් පත් වෙනවා. ඔවුන් දූපත් අතර බෙදී යන්නේ පහත විදිහට​.

හිතදූ - 17
මීදූ - 7
හුළුදූ - 8
ගැන් ෆේදූ - 10
මරදූ ෆේදූ - 3
මරදූ - 6
ජනාධිපති විසින් පත් කළ - 1

සුවදිව් කොඩිය නංවාගත් ධීවර බෝට්ටු

පළමු ප්‍රහාරය​


අගමැති ඊබ්‍රහිම් නසීර් මේ කැරැල්ල ගැන දක්වන්නේ අතිශය සතුරු ආකල්පයක්. ඔහු වහාම බලය යොදා කැරැල්ල මැඩ පවත්වන්න අදහස් කරනවා.

මාලදිවයිනේ මේ කාලය වෙද්දි යුධ හමුදාවක් හෝ නාවුක හමුදාවක් නෑ. ජාතික ආරක්‍ෂක බල​ඇණිය නමින් හැඳින්වුනු කුඩා ආරක්‍ෂක හමුදාවක් පමණක් මාලේ රජය සතු වෙනවා. ඔවුන් සතුව දියුණු ආයුධ හෝ බෝට්ටු තිබුනේ නෑ. මේ නිසා කැරලි කරුවන්ට එරෙහිව බලය යෙදවීම ප්‍රශ්නයක් වෙනවා.

ඊබ්‍රහිම් නසීර් පළමු ප්‍රහාරය එල්ල කරන්න තෝරා ගන්නේ කැරලි කාර අතොළු තුනෙන් කුඩාම අතොළුව වුන ෆුවාමුලාකු අතොළුව​. ඔහු අවිගත් සෙබළු කුඩා බෝට්ටුවක් ෆුවමුලාකු අතොළුවට පිටත් කර හරිනවා.

නමුත් ඔහුගේ තෝරාගැනීම බුද්ධිමත් එකක් නෙවෙයි. ෆුවාමුලාකු අතොළුවේ පහසුවෙන් ගොඩ බැසිය හැකි වරායන් ඇත්තේ නෑ. දූපත් වැසියන් ගොඩබිමට කිට්ටු වන බෝට්ටුවට ගල් සහ පොළු වලින් පහර දෙනවා. ආරක්‍ෂක භටයන් පිළිතුරු ලෙස කැරලි කරුවන්ට වෙඩි තිබ්බත්, වෙරළේ උස් වැලි පරවලට මුවා වීමෙන් වෙඩි පහරෙන් ආරක්‍ෂා වෙන්න ඔවුන්ට හැකි වෙනවා. ප්‍රහාරය අසාර්ථක වෙන අතර ආරක්‍ෂක භටයන් පසු බසිනවා.

1959 ජූලි මාසයේ අගමැති වරයා නැවත වරක් පහර දෙනවා. මෙවර ඔහු තෝරා ගන්නේ හුවදු අතොළුව​. ප්‍රහාර මෙහෙයවීම සඳහා ඔහු පුද්ගලිකවම සහභාගී වෙනවා. ඔවුන් ප්‍රහාරය සඳහා පිටත් වෙන්නේ "මාලදිවයින් තරුව​" (Maldive Star) නමින් හැඳින්වුනු බෝට්ටුවකින්.


ඔවුන් ගේ පළමු ඉලක්කය වෙන්නේ ගද්දු දූපත​. ඔවුන් එනවිට ගද්දු දූපතේ සුවදිව් ධජය ඔසවා තියෙනවා. මෙගාෆෝනයකින් කතා කරමින් නසීර් ඔවුන්ට ධජය පහත හෙළන්න අණ කරනවා. දූපත් වාසීන් ධජය පහත දැමූ පසුව ආරක්‍ෂක භටයින් සමඟ නසීර් ගද්දු දූපතට ගොඩ බසිනවා. දූපතේ කැරලි නායකයන් අත් අඩංගුවට ගැනෙනවා.

ඊළඟට ඔවුන් හුවදු අතොළුවේ ප්‍රධාන දූපත වුනු තිනදු දූපත බලා යනවා.

ප්‍රහාරය ගැන තිනදු වැසියන්ට මුලින්ම ආරංචි වෙනවා. ඔවුන් ප්‍රහාරයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. මුහුදු වෙරළේ වැලි කොට්ට ගොඩ ගසන්නේ වෙඩි ප්‍රහාර වලින් ආරක්‍ෂා වෙන්න​.

ගද්දු දූපතේ වගේම නසීර් මෙගාෆෝනයකින් කතා කරමින් සුවදිව් ධජය පහත හෙළන්න අණ කරනවා. ඒත් දූපත් වාසීන් ඔහුගේ අණ නොතකා හරිනවා. ආරක්‍ෂකයන් දූපත් වාසීන්ට වෙඩි තියනවා. දෙදෙනෙක් මිය යනවා. ගැටුම් මධ්‍යයේම ආරක්‍ෂකයන් දූපතට ගොඩ බසිනවා. දූපත් වාසීන් ඔවුන්ට ගල්, පොළු, උල් කළ ලී හෙලි සහ හුණු ගල් වලින් පහර දෙනවා. නමුත් වෙඩි තැබීමෙන් කැරලි කරුවන් පළවා හරින්න ඔවුන් සමත් වෙනවා.

දූපතේ ප්‍රධාන වෙළඳුන් සහ නායකයන් ගේ ගෙවල් කීපයක් ගිනිබත් කරන්නත්, වරායේ නවතා තිබෙන බෝට්ටු ගිනිබත් කරන්නත් නසීර් අණ දෙනවා. ආරක්‍ෂක භටයන් ධනවත් වෙළෙන්දන් ගේ නිවෙස් මංකොල්ල කනවා. බොහෝ දෙනා අත් අඩංගුවට ගැනෙනවා.

අත් අඩංගුවට පත් කැරලි කරුවන්

දූපතේ ආරක්‍ෂක මුරපොළක් පිහිටුවන නසීර් සිරකරුවන් සමඟ මාලේ බලා ආපසු යනවා. මාලේ හිදී සිරකරුවන්ට දරුණු වධ හිංසා පමුණුනවනවා. ඔවුන් බොහෝ දෙනා සිර භාරයේදීම මිය යනවා. ඒ අතර තිනදු දූපතේ නවතා යන ආරක්‍ෂකයන් දූපත් වාසීන්ට නොයෙකුත් හිරිහැර කරනවා. ස්ත්‍රීන් කිහිප දෙනෙක් දූෂනය කෙරෙනවා.

වෙළඳාමට අවහිර වීම නිසා හුවදු අතොළුව පුරාම දැඩි ආහාර හිඟයක් ඇති වෙනවා.

නසීර් ඊළඟ ප්‍රහාරය අඩ්ඩු අතොළුවට එල්ල කරන්න ප්‍රථමයෙන් බ්‍රිතාන්‍යයන් වහාම මලයාවේ සිට හමුදා ඛණ්ඩයක් අඩ්ඩු අතොළුවට කැඳවනවා. බ්‍රිතාන්‍යය සෙබළුන් ගෙන් ආයුධ ලබා ගන්නා අඩ්ඩු වැසියන් ප්‍රහාරයට සූදානම් වෙනවා. මේ නිසා නසීර් අඩ්ඩු අතොළුවට පහර දීමේ අදහස අත් හැර දානවා.


අඩ්ඩු අතොළුව​


මේ අතර නව සුවදිව් රජය අඩ්ඩු අතොළුවේ සංවර්ධන වැඩ අරඹනවා. ඔවුන් ගේ ප්‍රධාන අවධානය යොමු වෙන්නේ අධ්‍යාපනයට​. මෙය අධ්‍යාපනය ගැන සාම්ප්‍රදායිකව දකුණු දිග වැසියන් ගේ තිබුණු උනන්දුව පිළිඹිබු කරනවා. අඩ්ඩු අතොළුවේ තිබුනු පාසල් කීපයක් ම ප්‍රතිසංස්කරණය කරන නව රජය ඒවායේ සේවය සඳහා ලංකාවෙන් ගුරුවරු ගෙන්වනවා.

ඒ අතර බ්‍රිතාන්‍යය හමුදා කඳවුර සමඟ සහ ලංකාව සමඟ වෙළඳාම පෙර නොවූ විරූ තරම් දියුණුවට පත් වෙනවා. වෙළඳාමෙන් අඩ්ඩු අතොළුවට විශාල ධනයක් ගලා එනවා. බ්‍රිතාන්‍යයන් සමඟ ගනුදෙනු කෙරුනේ සහ බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ සේවය කළ අඩ්ඩු වැසියන්ට පඩි ගෙවුනේ ස්ටර්ලිං පවුම් වලින්. අඩ්ඩු අතොළුව ඉතාමත් සමෘධිමත් කාලයක් ලබනවා.

ඒ අතර නව රජය කුඩා අරක්‍ෂක හමුදාවක් සංවිධානය කරනවා. මේ නව ආරක්‍ෂක හමුදාව සෙබළු 20 කින් සමන්විත වෙන අතර​, ඔවුන් ගේ නිළ ඇඳුම වෙන්නේ සුදු අත් කොට කමිසය සහ නිල් සරම​.

ඒත් බ්‍රිතාන්‍යයන් සුවදිව් ජනරජයට කොයිතරම් සහය දුන්නත්, අබ්දුල්ලා අෆීෆ් බලාපොරොත්තු වුනු විදිහට ඔවුන් නිළ වශයෙන් එක්සත් සුවදිව් ජනරජය පිළිගන්නේ නෑ.


මාලේ රජය සහ බ්‍රිතාන්‍යය අතර නව ගිවිසුම​


මේ අතර නසීර් තමාගේ තුරුම්පුව පාවිච්චි කරනවා. ඔහු බ්‍රිතාන්‍යයන් සමඟ හමුදා කඳවුර සම්බන්ධයෙන් නව ගිවිසුමකට එලැඹෙනවා. 1960 පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍යයන් සහ මාලේ රජය නව ගිවිසුම අත්සන් කරනවා. මේ ගිවිසුම අනුව බ්‍රිතාන්‍යයන්ට හමුදා කඳවුර කැමති ආකාරයකට පාවිච්චි කරන්න ඉඩ දෙන්න මාලේ රජය එකඟ වෙන අතර, හැකි තරම් ඉක්මනින් හමුදා කඳවුර ඉවත් කර ගැනීමට බ්‍රිතාන්‍යයන් එකඟ වෙනවා. හමුදා කඳවුර වෙනුවෙන් බ්‍රිතාන්‍යය රජය මාලේ රජයට පවුම් ලක්‍ෂයක මුදලක් ලබා දෙනවා. ඊට අමතරව දෙරටේ සුහදතාවය වර්ධනය කිරීම සඳහා නව සංවර්ධන ව්‍යාපෘති සඳහා පවුම් හත් ලක්‍ෂ පණස් දහසක ණය ආධාර බ්‍රිතාන්‍යයන් ලබා දෙනවා.

මේ නව ගිවිසුමත් සමඟම බ්‍රිතාන්‍යය නිල වශයෙන් එක්සත් සුවදිව් ජනරජයට තමා දැක්වූ සහය නතර කරන බවට ප්‍රකාශ කරනවා. ඒ එක්කම ඔවුන් මලයාවෙන් ගෙන්වූ හමුදා ඛන්ඩය ආපසු කැඳවනවා.

ඊට පසුව බ්‍රිතාන්‍යයන් අබ්දුල්ලා අෆීෆ් හමුවෙලා නව රජය විසුරුවා හරින්න ඔහුට බලපෑම් කරනවා. ඒත් ඔහු ඊට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. ඒ උත්සහය අසාර්ථක වන තැන බ්‍රිතාන්‍යයන් අළුත් යෝජනාවක් ගේනවා. ඒ යෝජනාව අනුව දකුණු දිග අතොළු වලට අභ්‍යන්තර කටයුතු වලදී  මාලේ රජයෙන් සම්පූර්නයෙන්ම වෙන් වූ ස්වාධීනත්වයක් ලැබෙන කවුන්සිලයක් පිහිටුවීමටත්, දකුණ සහ උතුර සුල්තාන් වරයා යටතේ එකම රටක් විදිහට පවතින විදිහටත් සැකැස්මක් ඔවුන් යෝජනා කරනවා. මේ යෝජනාවට සුවදිව් රජයෙන් යම්කිසි එකඟතාවයක් ලැබුනත්, නසීර් ඊට දැඩි ලෙස විරුද්ධ වෙනවා.


දෙවැනි කැරැල්ල


මේ විදිහට සාකච්ඡා අසාර්ථක වෙද්දි 1961 මැද භාගයේදී හුවදු අතොළුවේ ඉඳලා රහසිගත දූත පිරිසක් අබ්දුල්ලා අෆීෆ් හමුවෙන්න එනවා. ඔවුන් එන්නේ හුවදු අතොළුව නැවත එක්සත් සුවදිව් ජනරජයේ පාලනයට නතු කිරීම ගැන සාකච්ඡා කරන්න​. අබ්දුල්ලා අෆීෆ් වහාම "ආක්‍රමනික හමුදාවක්" සකස් කරනවා.

මේ "ආක්‍රමනික හමුදාව​" සමන්විත වෙන්නේ හුවදු අතොළුවේ සිට එන දූත පිරිසෙන්, බ්‍රිතාන්‍යය හමුදා කඳවුරේ සේවය කරන හුවදු වැසියන් ගෙන් සහ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අඩ්ඩු වැසියන් ගෙන්. පිරිස 150 දෙනෙක් ගෙන් සමන්විත වෙනවා. ඔවුන් සාගතයෙන් පෙළෙන හුවදු වැසියන්ට බෙදා දෙන්න ආහාර සහ ආයුධ ලෙස භාවිතා කරන්න යකඩ පොළු බෝට්ටු වල පටවාගෙන රහසින්ම හුවදු අතොළුව බලා යනවා.

රෑ බෝවුනු පසු හොරෙන්ම තිනදු දූපතට ගොඩ බහින කැරලි කරුවන් දූපතට විදුලිබලය සපයන ඩීසල් ජෙනරේටරයට වැලි දැමීමෙන් එය අක්‍රිය කරලා කළුවරේම නසීර් ගේ ආරක්‍ෂක භටයන්ට සහ රාජ්‍යය නිලධාරීන්ට පහර දෙනවා. පහුවදා උදේ වනවිට ඔවුන් තිනදු දූපතේ බලය අල්ලා ගන්නවා.

තිනදු දූපතේ බලය කැරලි කරුවන් යටතට පත් වුනු පසු එක් රැස් වී සිටින​ දූපත් වාසීන්

තිනදු දූපතේ බලය තහවුරු කර ගන්නා කැරලි කරුවන් අනෙකුත් දූපත් වලට ආහාර බෙදා දෙනවා. ඉක්මනින්ම මුළු අතොළුවම නැවතත් සුවදිව් ජනරජය යටතට පත් වෙනවා.


සමූලඝාතනය​


හුවදු අතොළුවේ ඇති වුනේ මේ දෙවැනි කැරැල්ල මැඩ පවත්වන්න ඊබ්‍රහිම් නසීර් කලබල වෙන්නේ නෑ. ඔහු පහර දෙන්නේ 1962 ජනවාරි 31 වැනිදා.

එදා තිනදු දූපතේ තද වැහි සහිත දවසක්. හවස් වෙද්දි වෙරළේ හිටපු දූපත් වැසියන් ඈත මුහුදේ බෝට්ටුවක් දකිනවා. ඒ "රිදී රළය​" (Silver Crest) නමින් හැඳින්වුනු අගමැති ඊබ්‍රහිම් නසීර් ගේ බෝට්ටුව​. දූපත් වාසීන් කලබලයට පත් වෙලා ආරක්‍ෂිත ස්ථාන කරා දුවනවා. බෝට්ටුව දූපතට ගොඩ බහින්නේ නෑ.  එය තිනදු දූපතට නුදුරු මුහුදේ නැංගුරම් දාලා තියෙනවා.

පහුවදා උදේම නසීර් මෙගාෆෝනයකින් දූපත් වාසීන් අමතලා සුවදිව් කොඩිය පහත හෙලන්න අණ කරනවා. ඒත් කිසි කෙනෙක් කොඩිය පහත හෙලන්නේ නෑ. කුඩා බෝට්ටුවකින් වෙරළට එන ආරක්‍ෂක භටයන් කීප දෙනෙක් වෙඩි තියන්න පටන් ගන්නවා. දූපත් වැසියෙක් හිසට වැදුනු වෙඩි පහරින් මිය යනවා.

මාලේ රජයේ ආරක්‍ෂක භටයන් රැගත් දෝනියක්

දූපතට ගොඩ බහින ආරක්‍ෂක භටයන් හතර අතට වෙඩි තබමින්, ගෙවල් ගිනි තියමින්, ධනවත් වෙළඳුන් ගේ ගෙවල් මංකොල්ල කමින් දැඩි භීෂනයක් ඇති කරනවා. දූපත් වැසියන් භීතියෙන් හැංගෙනවා.

තිනදු දූපතේ ධනවත් වෙළඳ නිවසක්

මේ අතරේ අගමැති නසීර් දූපතට ගොඩ බහිනවා. ඔහු කැරලි නායකයන් ගේ නම් ලැයිස්තුවක් කියවමින් ඔවුන්ට භාර වෙන ලෙසට අණ කරනවා. සමහර කැරලි නායකයන් රජයට භාර වෙනවා. එදා හවස් වෙද්දී මාලේ රජය යටතේ ජීවත් වෙන්න කැමති සියළුම දෙනාට තිනදු දූපතෙන් ඉවත් වෙලා අසල දූපත් වලට යන ලෙස නසීර් අණ කරනවා.

තිනදු දූපතට ගොඩ බසින නසීර්

භීතියෙන් ඇළලී ගිය දූපත් වාසීන් කුඩා බෝට්ටු වල නැගලා අවට තියෙන කුඩා, මිනිස් වාසයෙන් තොර දූපත් වලට පලා යනවා. බෝට්ටු වල නැග ගන්න අසමත් වෙන අය කරවටක් මුහුදු වතුරේ ගිලෙන තරම් දුරමුහුදට ගිහින් එහි රැඳී ඉන්නවා. නසීර් ගේ ආරක්‍ෂකයන් මුළු දූපතම ගිනිබත් කරනවා. දූපතේ රැඳී ඉන්න සියල්ලෝම මරා දානවා.

බෝට්ටු වල නැගී පලා යන තිනදු වාසීන්

මේ භීෂනය දවස් තුනක් පුරා තියෙනවා. අවට දූපත් වලට පලා ගිය අය ආහාර සහ වතුර හිඟ කමින් දැඩි දුෂ්කරතා වලට ලක් වෙනවා. පිපාසයෙන්, කුසගින්නෙන් සහ කම්පනයෙන් සමහර දෙනා මිය යනවා.

භාර වුනු කැරලි නායකයන්ව මාලේ දූපතට රැගෙන යනවා. ඒ අතර ඒ කාලයේ මුළු මාලදිවයිනේම ධනවත්ම ව්‍යාපාරිකයා වුනු අහමඩ් කලේෆාන් සහ ඔහුගේ පුතා වුනු අබ්දුල්ලා කතීබ් ඉන්නවා. මේ සියළුම කැරලි නායකයන් මාලේ හිදී අත් අඩංගුවේම දස වධ පැමිණවීමෙන් මරා දැමෙනවා.

අත් අඩංගුවට පත් කැරලි නායකයෙක්

නැවත තිනදු දූපතේ මිනිස්සු පදිංචි වීම තහනම් කෙරෙනවා. අවට දූපත් වලට පලා ගිය අය ක්‍රමයෙන් වෙනත් මිනිස්සු වාසය කරන දූපත් වලට සංක්‍රමනය වෙනවා. එහිදීත් ඔවුන්ට කුසගින්නෙන් සහ වෙනත් උවදුරු වලින් නොයෙක් පීඩා පැමිණෙනවා

මේ සංහාරයේදී මිය ගිය ගණන 2400 ක් පමණ වන බවට විශ්වාස කෙරෙනවා.

හුවදු අතොළුවේ විශාලම දූපත ඒ විදිහට මුළුමනින්ම විනාශ කර දැමෙන්නේ හුවදු අතොළුවේ දෙවැනි කැරැල්ල මර්ධනය කරමින්.


එක්සත් සුවදිව් ජනරජයේ අවසානය​


බ්‍රිතාන්‍යයන් මුහුණ දෙන්නේ අසීරු අවස්ථාවකට​. කැරලිකාර රජයකට සහය දීම නිසා ඔවුන් ජාත්‍යන්තරව අපකීර්තියට පත් වෙනවා. ඒනිසා ඔවුන් සුවදිව් ජනරජය අවසන් කර දැමීමට තීරණය කරනවා.

ඔවුන් නැවතත් අබ්දුල්ලා අෆීෆ් සමඟ සාකච්ඡා කරනවා. මේ සාකච්ඡා වලට අඩ්ඩු වැසියන් ගෙන් එල්ල වෙන්නෙ දැඩි විරෝධයක්. බ්‍රිතාන්‍යයන්ට එරෙහිව අඩ්ඩු අතොළුවේ උද්ඝෝෂන ඇති වෙනවා.

අඩ්ඩු අතොළුවේ බ්‍රිතාන්‍යයන්ට එරෙහිව උද්ඝෝෂනයක්

සාකච්ඡා අසාර්ථක වූ තැන බ්‍රිතාන්‍යයන් කෙලින්ම සුවදිව් රජයට විරුද්ධව වැඩ කරනවා. ඔවුන් අඩ්ඩු අතොළුවේ තැන තැන සුවදිව් රජයට එරෙහිව රැස්වීම් පවත්වනවා. මේ රැස්වීම් වලදී ඔවුන් වෙළඳුන් සහ දූපත් නායකයන් අමතා නැවත මාලේ රජය සමඟ එකතු වෙන ලෙස ඉල්ලා සිටිනවා.

මේ රැස්වීම් වලිනුත් යහපත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති තැන ඔවුන් කෙලින්ම බලය පාවිච්චි කරනවා. සුවදිව් ජනරජය අමතා කෙරෙන අණ කිරීමකින් පැවසෙන්නේ 1963 සැප්තැම්බර් 23 වෙනිදා වන විට සුවදිව් ජනරජය විසුරුවා හැරලා, සුවදිව් කොඩිය පහත හෙලලා මාලදිවයිනේ කොඩිය ඔසවන විදිහට​.

අබ්දුල්ලා අෆීෆ් ට මේ අණ කිරීමට එකඟ වෙනවා හැරෙන්න වෙන විකල්පයක් ඉතුරු වෙන්නේ නෑ. ඔහු ඊට කීකරු වෙලා සුවදිව් කොඩිය පහත හෙලලා මාලදිවයිනේ කොඩිය ඔසවනවා.

දින දෙකකට පස්සේ ෆුවාමුලාකු අතොළුවත් සුවදිව් කොඩිය පහත හෙලනවා.

එක්සත් සුවදිව් ජනරජය එතනින් නිමාවට පත් වෙනවා.


පසු කතාව​


සුවදිව් ජනරජයේ ජනාධිපති අබ්දුල්ලා අෆීෆ් බ්‍රිතාන්‍යයන් ගේ ආරක්‍ෂාව ඉල්ලා සිටිනවා. බ්‍රිතාන්‍යයන් ඔහුව සී ෂෙල්ස් දූපත් වලට රැගෙන යනවා. මාලදිවයින් රජය ඔහුට නැවත මාලදිවයිනට පැමිණීම තහනම් කරනවා. ඔහු 1993 දී මිය යන තුරු ජීවත් වෙන්නේ සී ෂෙල්ස් දිවයින් වල​. අදටත් ඔහු දකුණු දිග අතොළුවල ඉතාම ගෞරවයෙන් සිහිපත් කෙරෙනවා. ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ "අහරුමෙංගෙ අෆීෆු" (අපේ අෆීෆ්) කියලා.

අබ්දුල්ලා අෆීෆ් පවුල සමඟ​

1968 දී සුල්තාන් වරයා මිය ගිය පසු ඊබ්‍රහිම් නසීර් මාලදිවයින ජනරජයක් බවට ප්‍රකාශ කරලා එහි ජනාධිපති ධූරයට පත් වෙනවා. ඔහුගේ පාලනය යටතේ මාලදිවයින ආර්ථික දියුණුවක් සහ නවීකරනයක් ළඟා කරගන්නවා.

1978 දී ඔහුගේ රජයේ ඇතිවන අභ්‍යන්තර අර්බුධයකින් ඔහුගේ ප්‍රවාහන ඇමතිවරයා වන මුහම්මද් අබ්දුල් ගයූම් බලය අල්ලා ගන්නවා. නසීර් සිංගප්පූරුවට පලා යනවා. ගයූම් රජය රාජ්‍ය මුදල් වංචා කිරීමේ වරදට නසීර්ට සිර දඬුවම් නියම කරනවා. නසීර් නැවත මාලදිවයින්ට එන්නේ නෑ. ඔහු 2008 දී සිංගප්පූරුවේදී මිය යනවා.

තිනදු දූපතේ නැවත පදිංචි කිරීම් වෙන්නේ 1966 දී. අද තිනදු දූපත දකුණු හුවදු අතොළුවේ ප්‍රධාන දූපත​. එහි වර්තමාන ජනගහණය 5000 ක්.

දකුණු දිග අතොළු වැසියන් අදටත් සුවදිව් ජනරජය පිළිබඳ සිහි කරන්නේ ආශ්වාදයෙන්. අදටත් කැරැල්ල පිළිබඳ විවිධ සංකේත දකුණු දිග අතොළු වලදී දකින්න පුළුවන්. තිනදු දූපතේ පාපන්දු කණ්ඩායමේ කොඩිය සුවදිව් ජනරජයට ඉතාම සමීපයි. තිනදු දූපතේ ඇති ප්‍රසිද්ධ අවන්හලක නම "1962".

තිනදු පාපන්දු පිලේ කොඩිය ලෙලවන ක්‍රීඩා ලෝලීන්

Tuesday, December 11, 2018

ගන්නෝරුව හටන​


පසුබිම​


1630 අසාර්ථක වෙන කොන්ස්තන්තීනු ඩි සා ගේ උඩරට ආක්‍රමනයෙන් පස්සෙ ලංකාවේ පෘතුගීසි බලය දුර්වල වෙනවා. ඒත් උඩරට රජු වුනු සෙනරත් රජතුමා දුර්වල පාලකයෙක් නිසා මේ තතවයෙන් ප්‍රයෝජන ගන්න සිංහලයන්ට බැරි වෙනවා. ඒ නිසා පෘතුගීසින් නැවතත් ප්‍රතිසංවිධානය වෙලා උඩරටට එරෙහිව හිරිහැර කිරීම් පටන් ගන්නවා. මේ හිරිහැර කිරීම් වලින් පීඩාවට පත් වෙන සෙනරත් රජු පෘතුගීසින් එක්ක සාම ගිවිසුමක් අත්සන් කරනවා. ඒ අනුව වාර්‍ෂිකව ඇතුන් දෙදෙනෙක් පෘතුගීසින්ට ලබා දෙන්නත්, මඩකලපුව කොටුව පෘතුගීසින්ට බාර දෙන්නත් උඩරට එකඟ වෙනවා.

1635 දී සෙනරත් රජු මිය යාමත් එක්කම ඔහුගේ පුත් දෙවෙනි රාජසිංහ සිහසුනට පත් වෙනවා. රාජසිංහ රජතුමා සෙනරත් රජු ට වඩා යුධ කාමී සහ උපායශීලී අයෙක්. ඒ වගේම ඔහු පෘතුගීසින්ව ලංකාවෙන් එලවා දැමීමේ දැඩි අධිෂ්ඨානයෙන් පසු වුනා.

රාජසිංහ රජු වටහා ගන්නවා නාවුක බලයක් නැතුව පෘතුගීසින්ව එලවා දැමීම සිහිනයක් පමණයි කියලා. ඒ නිසා ඔහු පෘතුගීසින් එක්ක කරට කර සිටිය හැකි නාවුක බලයක් සහිත මිතුරෙක්ව හොයනවා. ඔහුට හමු වෙන්නේ ඕලන්දක්කාරයන්.

ලන්දේසි යුධ නැවක්

මේ වන විට ඕලන්දය වර්තමාන ඉන්දුනීසියාව පදනම් කරගත්ත වෙළඳ අධිරාජ්‍යයක් පෙරදිග ගොඩ නංවමින් ඉන්නවා. මේ නිසා ඔවුන්ට ලංකාවේ වරායක් අතිශයින් වැදගත් වුනා. රාජසිංහ රජතුමා 1636 දී ලන්දේසින් සමඟ සාකච්ඡා පටන් ගන්නවා. ඒ අනුව ලංකාවේ පෘතුගීසින්ට එරෙහිව කෙරෙන යුද්ධයකදී රජතුමාට උදව් දෙන්න ලන්දේසින් එකඟ වුනු අතර​, එහි හිලව්වට මඩකලපුව කොටුව ලන්දේසින්ට ලබා දෙන්න රාජසිංග රජතුමා එකඟ වෙනවා.

මේ ගැන පෘතුගීසින්ට දැන ගන්න ලැබුනු විට ඔවුන් අතිශයින් කලබලයට පත් වෙනවා. එවකට ලංකාවේ කපිතන් - ජනරාල් ධූරය දැරූ දියේගෝ ඩි මේලෝ ඩි කැස්ත්‍රෝ තීරණය කරන්නේ ගොඩබිමින් උඩරැටියන් සහ මුහුදෙන් ලන්දේසින් එක්ක කරන සටනකින් ජය ගැනීමට පෘතුගීසින්ට නොහැකි වන බව​. මේ නිසා ඔහු ගෝවට යෝජනා කරනවා ලන්දේසින් ලංකාවට එන්න කලින් උඩරටට පහර දීලා උඩරට අල්ලා ගැනීමට​. තත්වය සලකා බලන ගෝවේ ප්‍රතිරාජයා ඔහුගේ යෝජනාවට එකඟ වෙනවා.

නමුත් මේලෝ ඩි කැස්ත්‍රෝ කියන්නෙ පළපුරුදු සොල්දාදුවෙක්. මීට කලින් උඩරට ආක්‍රමනය කළ සියළුම පෘතුගීසි හමුදාවන්ට අත්වුනු ඉරණම ඔහු ඉතා හොඳින් දැන සිටියා. මේ නිසා ඔහු අළුත් උපායක් ගැන කල්පනා කළා.


කුමන්ත්‍රනය​


මේ සඳහා මේලෝ ඩි කැස්ත්‍රෝ උපයෝගී කරගන්න අදහස් කළේ උඩරට රජවාසලේ තිබුනු අභ්‍යන්තර ආරවුල්.

විමලධර්මසූරිය රජතුමා උඩරට සිහසුනට පත් වෙන්නේ දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය සරණපාවා ගෙන​. ඒ ඔහු රාජවංශිකයෙක් නොවුනු නිසා.කුසුමාසන දේවියට දාව ඔහුට දරුවන් පස් දෙනෙක් ලැබෙනවා. ඒ මහ අස්තාන බණ්ඩාර​, කුමාරසිංහ​, විජේපාල​, සූරිය දේවි සහ සාමා දේවි.

විමලධර්මසූරිය රජතුමා 1604 දී මියගිය පසු රජවෙන්නේ ඔහුගේ සොහොයුරා වූ සෙනරත්. ඒ ඔහුගේ දරුවන් කුඩා වියේ පසු වූ නිසා. රජ උරුමය තහවුරු කරගන්න සෙනරත් රජුත් කුසුමාසන දේවිය සරණපාවා ගන්නවා. ඔහුට දාව කුසුමාසන දේවියට ලැබෙන දරුවා මහ අස්තාන​. දෙවෙනි රාජසිංහ නමින් පසුව රජ වෙන්නේ ඔහු.

සිංහල සම්ප්‍රදාය අනුව සෙනරත් ගෙන් පසුව රජ වීමට නියමිත වෙන්නෙ මහ අස්තාන බණ් ඩාර කුමාරයා. නමුත් සෙනරත් රජුට ඕන වෙනවා තමාගේ පුතා වන මහ අස්තාන කුමාරයා සිහසුනේ තබන්න​. මහ අස්තාන බණ්ඩාර කුමාරයා 1612 දී මිය යනවා. බොහෝ දෙනා සැක කරන්නේ ඒ වස දීමෙන් කියලා.

මහ අස්තාන බණ්ඩාර කුමරා ගේ අවමගුල​

විජේපාල​, කුමාරසිංහ සහ මහ අස්තාන කුමාරවරු තුන් දෙනා තරුණ වයසට එළඹෙනවා. සෙනරත් රජු මහළු වියට එළඹෙද්දි ඔහු යෝජනා කරනවා උඩරට රාජ්‍යය තුනට මහනුවර​, ඌව සහ මාතලේ යනුවෙන් තුනට බෙදලා එක් කුමාරයක් මහනුවර අගරජු වෙන විදිහටත්, අනෙක් කුමාරවරු දෙදෙනා යුවරජුන් වන විදිහටත් රාජ්‍යය උරුම කරන්න​.

මේ සඳහා ඔහු යොදා ගන්නේ කුසපත් ඇදීමේ ක්‍රමයක්. කොහොම හරි කුසපත් ඇදීමෙන් මහ අස්තාන කුමාරයට මහනුවරත්, කුමාරසිංහ කුමාරයාට ඌවත්, විජේපාල කුමාරයාට මාතලේත් ලැබෙනවා. සිංහල සම්ප්‍රදායට සම්පූර්නයෙන්ම පටහැනි මේ රාජ්‍යය බෙදිල්ල ගැන කුමාරසිංහ සහ විජේපාල කුමාරවරු ප්‍රසාදයට පත් වෙන්නේ නෑ. සම්ප්‍රදාය අනුව අගරජු වෙන්න ඕනෙ කුමාරසිංහ කුමාරයා.

දෙවෙනි රාජසිංහ රජතුමා

සෙනරත් රජු 1635 දී මිය යාමත් එක්කම රාජ්‍යය තුනට බෙදලා කුමාරවරු තුන් දෙනාට හිමි වෙනවා. 1637 දී කුමාරසිංහ කුමරා හදිසියේ මිය යනවා. ඒ එක්කම රාජසිංහ රජු ඌවත් තමාගේ පාලනයට නතු කර ගන්නවා. කුමාරසිංහ කුමරා මිය ගිය ආකාරය ගැන උඩරැටියන් අතර නොයෙක් කට කතා පැතිර යනවා. ඒ එක්කම විජේපාල කුමාරයා වටහා ගන්නවා තමාගේ තත්වය ආරක්‍ෂා සහිත නොවන බව​.

පෘතුගීසින් මේ වෙලාවෙදි තමයි විජේපාල කුමාරයා එක්ක රහස් සාකච්ඡා පටන් ගන්නෙ. උඩරට ආක්‍රමනයකදී තමාට සහය දුන්නොත් උඩරටා සිහසුන ලබාදෙන බවට ඔවුන් විජේපාල කුමරාට පොරොන්දු වෙනවා. විජේපාල කුමාරයා ඒකට එකඟ වෙනවා.

ඩියේගෝ ඩි මේලෝ ඩි කැස්ත්‍රෝ තමාගේ ආක්‍රමනයේ සාර්ථකත්වය සම්පූර්නයෙන්ම වගේ රඳවන්නේ විජේපාල කුමාරයාගේ සහය මත​.


ආක්‍රමනයට සූදානම් වීම​


මේලෝ ඩි කැස්ත්‍රෝ ආක්‍රමනය පිළිබඳ අදහස තමාගේ යුධ කවුන්සිලය ඉදිරියේ තියනවා. ඒත් නොසිතූ විදිහට ඔහුට විශාල ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඔහුගේ ජේෂ්ඨ නිලධාරීන්, කපිතන් වරු, වැඩි දෙනෙක් සහ "කසාදෝස්" හෙවත් කොළඹ නගරයේ පදිංචි වුනු විවාහක යුධ සේවයේ නොයෙදුනු පෘතුගීසින් වැඩි දෙනෙක් ආක්‍රමනයට තරයේ විරුද්ධ වෙනවා. ඔවුන්ගේ අදහස වෙන්නේ ඒක සිය දිවි නසාගැනීමක් බව​.

නමුත් පෘතුගීසි හමුදාවේ දෙවැනි ජේෂ්ඨ නිලධාරියා වන කපිතන් - මේජර් දමියාඕ බොටාඩෝ යුධ කවුන්සිලය අමතා උද්වේගකර කතාවක් පවත්වනවා. ලන්දේසින් ගෙන් එල්ල විය හැකි අනතුර පිළිබඳව ඔහු කවුන්සිලයට කරුණු පැහැදිලි කරනවා. අවසානයේදී ආක්‍රමනය පිළිබඳ යෝජනාව සම්මත වෙනවා.

ආක්‍රමනයට පෙර සූදානම කෙරෙන්නේ ඉතාමත් රහසිගතව​. මොලුක්කාවේ සිට පෘතුගීසි සෙබළු 200 ක් කොළඹට එන්නේ ආක්‍රමනයට සහය වෙන්න​. මාතර​, සබරගමුව, හතර කෝරළේ සහ හත් කෝරළේ දිසාවේ වරුන්ට තමාගේ ලැස්කොරින් සෙබළු සමඟ මැණික්කඩවර බලකොටුවට එන්න අණ ලැබෙනවා. ඒ එක්කම ලංකාවේ ස්ථානගත කර සිටින සියළුම පෘතුගීසි සෙබළුන් ආක්‍රමනය සඳහා යොදා ගැනෙනවා. බලකොටු වල ආරක්‍ෂාව සඳහා රෝගී වුනු කිහිපදෙනෙක් පමණක් නවතනවා.

සිංහල ලැස්කොරින් සෙබළුන් මත රඳා පැවතීමේ අවදානම ගැන හොඳ අවබෝධයක් තිබුනු මේලෝ ඩි කැස්ත්‍රෝ විදේශික ලැස්කොරින් සෙබළුනුත් ආක්‍රමනික හමුදාවට එක් කර ගන්නවා. මේ විදේශික ලැස්කොරින් සෙබළුන් ගෙන් බහුතරය නැගෙනහිර අප්‍රිකාවේ (වර්තමාන මොසැම්බික්) සිට පැමිණි අප්‍රිකාණු ජාතිකයන්. ඊට අමතරව මැලේ සහ කන්නඩි සෙබළුන් ආක්‍රමනික හමුදාවට එක් කර ගැනෙනවා.

1600 - 1650 කාලයේ පෘතුගීසි සෙබළු සහ අප්‍රිකාණු ලැස්කොරින් සෙබළෙක්

කොළඹ​ බලකොටුවට ආහාර සහ වෙනත් දේ විශාල ප්‍රමානයක් රැස් කෙරෙනවා. ආහාර පාන වශයෙන් සහල්, බටර්, කුකුළන්, පාන්, බිස්කට්, රසකැවිලි, මත්පැන් වැනි දේත්, වෙඩි බෙහෙත් විශාල ප්‍රමානයකුත්, ආහාර පිසීම සඳහා තඹ භාජනත් මේ විදිහට එක් කර ගන්නවා.

1638 පෙබරවාරි 27 වෙනිදා පෘතුගීසින් සහ විදේශික ලැස්කොරින් සේනාවන් කොළඹ කොටුවෙන් පිටත් වෙනවා. ඔවුන් මැණික්කඩවරදී සිංහල ලැස්කොරින් සෙබළු එක්ක එකතු වෙනවා. මේ හමුදාව පෘතුගීසි සෙබළු 900 ක් සහ ලැස්කොරින් සෙබළු 5000 කින් සමන්විතයි.

1638 මාර්තු 19 වෙනිදා ආක්‍රමනික හමුදාව මැණික්කඩවරෙන් පිට වෙනවා.

ඒ එක්කම රාජසිංහ රජතුමා අතිශයින් කලබලයට පත් වෙනවා. ඔහුට අවශ්‍යය වෙන්නෙ ලන්දේසි සහය ලැබෙන තුරු පෘතුගීසින් සමඟ යුද්ධයකට එළඹෙන්නේ නැතුව ඉන්න​. මේ නිසා ඔහු ආක්‍රමනය අත් හිටුවන ලෙස ඉල්ලා මේලෝ ඩි කැස්ත්‍රෝ ට ලිපියක් ලියනවා. මේ ලිපිය ඉතාමත් බැගෑපත් බසින් ලියැවුනු එකක්. එහිදී ඔහු ලන්දේසින් සමඟ සාකච්ඡා කළ බවට පිළිගන්නා අතර ඉදිරියේදී එවැනි දේ නොකරන බවටත්, සාමය රකින බවටත් ප්‍රතිඥා දෙනවා. ඒත් පෘතුගීසින් ඔහුගේ අභිප්‍රාය වටහා ගන්නවා. ඔවුන් ලිපිය නොසලකා හරිනවා.

එයින් නොනවතින රජු තව ලිපි දෙකක් මහනුවර නැවතී සිටි කතෝලික පියතුමන් දෙදෙනෙක් අතේ මේලෝ ඩි කැස්ත්‍රෝ වෙත යවනවා. සාමාන්‍යයෙන් රණකාමියෙක් විදිහට පිළිගැනෙන රාජසිංහ රජතුමා මේ විදිහට බැගෑපත් වීම තරමක් ගැටළු සහගතයි. සමහරවිට විජේපාල කුමරාගේ පාවාදීම ගැන ඔහු දැනගෙන ඉන්න ඇති. ඒ නිසා පෘතුගීසි ආක්‍රමනය නවතන්න හැකි සෑම උත්සහයක්ම යොදාගන්න ඔහු උත්සහ කරන්න ඇති.

මේ ලිපි වලට පෘතුගීසින් පිළිතුරු දෙන්නේ අවඥා සහගතව​. කපිතන් - මේජර් දමියාඕ බොටාඩො යුධ කවුන්සිලය ඉදිරියේදී ප්‍රකාශ කරන්නේ "කල්ලා බය වෙලා. අපි ඌව කන් කෙටියෙන් කොළඹට ඇදගෙන එමු" කියලා. ඩි මේලෝ කැස්ත්‍රෝ ගේ පිළිතුරු ලිපියේදී ඔහු රාජසිංහ රජතුමාට කියන්නේ ඔහුගේ "අහංකාර හැසිරීම නිසා මහනුවරට ඇවිත් කස පහර දෙන" බව​.

මාර්තු 26 වෙනිදා පෘතුගීසින් අට්ටාපිටියට එනවා. මෙතැන ඉඳලා මහනුවරට තියෙන්නෙ සැතපුම් 9 ක් විතරයි.

රාජසිංහ රජතුමා මහනුවර අත හැරලා මැද මහනුවරට පලා යනවා.


පෘතුගීසින් මහනුවරට ඇතුල් වීම​


මාර්තු 27 වෙනිදා උදේ පෘතුගීසි හමුදාව අවහිරයකින් තොරවම බලන කපොල්ල තරණය කරලා මහනුවරට ඇතුල් වෙනවා. ඔවුන්ට හමුවෙන්නේ අත හැර දැමූ නගරයක්. පෘතුගීසින් නගරය මංකොල්ල කෑමේ සහ ගිනිබත් කිරීමේ නිරත වෙනවා. මාළිගාව සම්පූර්නයෙන්ම ගිනි බත් කරලා දේවාල වල ගෙරි සම් එල්ලූ බව ඔවුන් ගේ වාර්තා වල කියැවෙනවා. ඒ එක්කම විශාල වස්තුවකුත් ඔවුන් පැහැර ගන්නවා.

ඒත් විජේපාල කුමාරයා ඔවුන්ට එකතු වෙන්න එන්නෙ නෑ.

විජේපාල කුමරා අවසන් මොහොතේදී පෘතුගීසින්ට එක නොවීමේ හේතුව අපැහැදිලියි. හේතුව මොකක් වුනත් 27 වෙනිදා හවස් වෙද්දි මේලෝ ඩි කැස්ත්‍රෝට වැටාහෙනවා පෘතුගීසින් මහනුවර තනි වුනු බව​.

ඔහු වහාම බලන දක්වා පසු බසින්න තීරණය කරනවා.


පසු බැසීම​


27 වෙනිදා හවස ඔවුන් මහනුවර අත හැරලා කොල්ල කා ගත් ධනයත් සමඟ බලන දක්වා ගමන් අරඹනවා. ඔවුන් අදහස් කරන්නේ එදා රෑ වෙද්දි බලනට එන්න​.

නමුත් ඔවුන් ගමන් අරඹන වහාම විජේපාල තමාගේ මාතලේ සේනාංකයත් එක්ක මහනුවරට එනවා. ඒ පෘතුගීසින්ට එක් වෙන්නෙ නෙවෙයි - පසුබසින පෘතුගීසින්ට ලුහුබැඳ ගිහින් පහර දෙන්න​. සිංහල හමුදාවේ හිරිහැර කිරීම් නිසා පෘතුගීසි හමුදාවට ගමන් කරන්න වෙන්නෙ හෙමින්. ඒ නිසාම ගැටඹෙට එද්දි රෑ බෝ වෙලා ඉවරයි.

කළුවරේ මහවැලි ගඟ තරනය කිරීම නුවනට හුරු නැති බව තීරණය කරන මේලෝ ඩි කැස්ත්‍රෝ ගැටඹේ කඳවුරු ලා ගන්නවා.

ඒ එක්කම විජේපාල කුමරා ගේ සේනාව පෘතුගීසින්ව වට කරනවා. මේ වට කිරීම නිසා ඔවුන්ට ගඟෙන් වතුර ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. මුළු රාත්‍රිය පුරාම පෘතුගීසින්ට පිපාසයෙන් පීඩා විඳින්න සිද්ධ වෙනවා.

රාත්‍රියේදී රාජසිංහ රජතුමාත් තමාගේ සේනාවත් එක්ක ගැටඹේ තොට ට එනවා. එහිදී ඔවුන් විජේපාල කුමරාගේ සේනාවත් එක්ක එකතු වෙනවා.


සටන​


1638 මාර්තු 28 වැනිදා කියන්නෙ ක්‍රිස්තු භක්තිකයන් යේසු තුමා යෙරුසෙලමට ඇතුළු වීම සමරන "පාම් ඉරිදා" (Palm Sunday) දවස​. එදා උදේම පෘතුගීසි හමුදාව මහවැලි ගඟ තරණය කරන්න පටන් ගන්නවා. සිංහල හමුදාවේ ඊතල සහ වෙඩි ප්‍රහාර මැද විශාල හානි සිදු කරගනිමින් ඔවුන් මහවැලි ගඟ තරණය කරලා එහා ඉවුරේ තියෙන ගන්නෝරුව තැනිබිමට එනවා.

ගන්නෝරුව තැන්නේ දී පෘතුගීසි හමුදාව කොටස් දෙකකට බෙදෙනවා. පෙරමුණු බල ඇණිය සමන්විත වෙන්නෙ පෘතුගීසි සෙබළුන් ගෙන්. ඔවුන් ගේ කාර්‍යය වෙන්නෙ පසුබැසීමට ඉඩ සකස් කර දීම​. පසු බල​ඇණිය සමන්විත වෙන්නේ ලැස්කොරින් සෙබළුන් ගෙන්. කෑම සහ වෙඩි බෙහෙත් පිරවූ කරත්ත අයත් වුනේ මේ කොටසට​.

උඩරැටියෝ පෘතුගීසි හමුදාවේ පසු බල​ඇණියට පහර දෙනවා. ඔවුන් ගේ අදහස වෙන්නේ කෑම සහ වෙඩි බෙහෙත් කරත්ත විනාශ කිරීම​. දරුණු සටනකින් පසුව උඩරැටියන් පසු බසිනවා. ඒත් පෘතුගීසින් ගේ පසු බල ඇණියට දරුණු අලාභ හානි සිද්ධ වෙනවා.

නැවත ප්‍රතිසංවිධානය වීමේ අදහසින් මේලෝ ඩි කැස්ත්‍රෝ අසල පිහිටි ගන්නෝරුව කඳුගැටය කරා යන ලෙස අණ දෙනවා.

මේ අවස්ථාවේදී සිංහල ලැස්කොරින් සෙබළු පෘතුගීසින් හැරදාලා උඩරට හමුදාවට එක් වෙනවා. මෙහි විශේෂත්වය වෙන්නේ මේ සඳහා උඩරැටියන් ගෙන් කිසිම ආරාධනාවක් ඔවුන්ට නොලැබීම​. ඔවුන්ට එල්ල වුනු ප්‍රහාරයේ දරුණු කම මේ පළා යාමට හේතු වෙන්න ඇති.

පෘතුගීසින් සහ විදේශික ලැස්කොරින් සෙබළු ගන්නෝරුව කඳු පාමුල තනි වෙනවා. ඔවුන් හාත් පස ඉන්නෙ 20,000 ක පමණ උඩරට හමුදාවක්.

ගන්නෝරුව කඳු ගැටය ඝන කැලෑ ආවරණයක් සහ ගල් පර්වත වලින් සමන්විත, ආරක්‍ෂක සටනකට ඉතා සුදුසු තැනක්. ඒත් කඳු ගැටය උඩට නැගලා උඩරට හමුදාවට මුහුණ දෙනවා වෙනුවට මේලෝ ඩි කැස්ත්‍රෝ කරන්නේ සතුරා දෙසට කඩා වැදීම​.

මේ කඩා වැදීම සිද්ධ වෙන්නෙ මැදින් යන ප්‍රධාන බල ඇණියක් සහ දෙපසින් යන ආධාරක බල ඇණි දෙකක් විදිහට.

උඩරට හමුදාව මේ ප්‍රහාරයට මුහුණ දෙන්නේ ඉතාම ක්‍රමානුකූල විදිහට​. මුලින්ම තුවක්කු ගත් සෙබළු පෙලක් ඉදිරියට දුවගෙන එන පෘතුගීසින්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා (සිංහල හමුදාවක් තුවක්කු ගත් සෙබළු සමූහයක් වශයෙන් යොදා ගන්න ප්‍රථම අවස්ථාව මේක​). මේ වෙඩි ප්‍රහාරයෙන් පෘතුගීසින්ට දැඩි අලාභ හානි සිදු වූ බවත් හාත්පස දුමාරයෙන් වැසී ගිය බවත් සඳහන්.

ඊට පස්සෙ පෘතුගීසින්ට මුහුණ දෙන්න වෙන්නෙ දුනුවායන්ට​. මේ දුනුවායන් හෙලි ගත්ත සෙබළු පෙළක් පසු පසට වී ආරක්‍ෂා සහගතව පෘතුගීසින්ට ඊ ප්‍රහාරයක් එල්ල කරනවා.

පෘතුගීසි සෙබළු විශාල ප්‍රමානයක් මිය ගියත්, ඉතුරු වෙන සෙබළු උඩරැටියන් අතරට කඩා වදිනවා. ඉතාම දරුණු උරෙන් උර ගැටී කරන සටනක් ඇති වෙනවා. උඩරැටියන් පෘතුගීසින්ව සම්පූර්නයෙන්ම වට කරලා හැම පැත්තෙන්ම ප්‍රහාර එල්ල කරනවා.

ටික වෙලාවකින්ම පෘතුගීසි හමුදාව සම්පූර්නයෙන්ම වගේ විනාශ වෙනවා. සටනේ අවසාන හරියේදී පෘතුගීසි සෙබළෙක් තම තුවක්කුවෙන් කපිතන් - මේජර් දමියාඕ බොටාඩො හිසට වෙඩි තියලා මරා දාන්නේ "ද්‍රෝහියා, මේ විනාශයට වග කියන්න ඕනෙ උඹ​" කියමින්.

නොමැරී ඉතුරු වෙන පෘතුගීසින් කීප දෙනෙක් නැවත ගන්නෝරුව කඳු ගැටය උඩට දිව යන්නේ ආරක්‍ෂාව පතාගෙන​. ඒත් ඔවුන් පසු පස ලුහුබැඳ යන උඩරැටියන් ඔවුන් ව කඳු ගැටය උඩදී මරා දානවා.

මේලෝ ඩි කැස්ත්‍රෝ ගේ මළ සිරුර හමු වෙන්නේ නෑ. ඔහු සිරකරුවන් අතර ඉන්නෙත් නෑ. ඔහුට සිදු වුනු දෙය අභිරහසක්. බොහෝ විට ඔහු ගේ මළ සිරුර හඳුනාගන්න බැරි තරම් විකෘති වෙන්න ඇති. දරුණු තුවාල ලබලා සටන් බිමේ වැටී ඉන්න මේලෝ ඩි කැස්ත්‍රෝ ගේ බෑණා වන ෆෙර්නාඕ ඩි මෙඩොන්කා ෆුර්ටාඩෝ විජේපාල කුමාරයා යටතට පත් වෙනවා. විජේපාල කුමරා ඔහුට සාතු කරලා තමාගේ යටතට ගන්නවා.

තුවාල ලැබූ සහ සිරභාරයට පත් පෘතුගීසින්ට සහ විදේශික ලැස්කොරින් සෙබළුන්ට උඩරැටියන් සලකන්නේ ඉතාම කුරිරු විදිහට​. තුවාල ලබා වැටී ඉන්න පෘතුගීසින් බොහොමයක් දෙනා ඔවුන් ගේම තුවක්කු වලින් පහර දීලා මරා දැමෙනවා. සිරභාරයට ගත් අප්‍රිකාණු, මැලේ සහ කන්නඩි ලැස්කොරින් සෙබළු ගණනාවක් ම සටන් බිමේදීම හිස ගසා මරා දැමෙනවා. මරා දැමුණු සෙබළුන් ගේ ලෙයින් ගන්නෝරුව බිම ලේ පැහැ ගැන්වුනු බවත්, ලේ ගංගා මෙන් ගලා ගිය බවත්, කපා දැමුණු හිස් පොල් ගෙඩි මෙන් ගොඩ ගසා තිබුණු බවත් සඳහන්.

පණපිටින් සිරභාරයට ගැනෙන්නේ පෘතුගීසි සෙබළු 100 කටත් අඩු ප්‍රමානයක්.


අවසානය​


ගන්නෝරුව සටන පෘතුගීසින් ගේ රණකාමීත්වයේ අවසාන ජවනිකාව​. ඔවුන් ලංකාවේ රැඳී ඉන්නේ තව අවුරුදු 20 ක් පමණයි. 1640 දී ලන්දේසි හමුදා ලංකාවට ගොඩ බසිනවා. පෘතුගීසින් උඩරැටියන් සහ ලන්දේසින් ගේ ඒකාබද්ධ හමුදාවන් සමඟ වසර 18 ක ඉතාමත් දුෂ්කර යුද්ධයක ඉතාමත් නිර්භීත විදිහට නියැලුනත්, ලන් දේසින් ගේ යුධ බලය සමඟ ගැටෙන්න ඔවුන්ට හැකි වෙන්නේ නෑ. 1658 දී ලංකාවෙන් පෘතුගීසින් සම්පූර්නයෙන්ම අතුගා දැමෙනවා.

මන්නාරමේදී පෘතුගීසින් සහ ලන්දේසින් අතර ගැටුමක්

ඒ වගේම ගන්නෝරුව සටන උඩරට රාජ්‍යයයේ අවසාන යුධ වික්‍රමය​. ලන් දේසින් සහ ඉංග්‍රීසින් හමුවේ තම ස්වාධීනත්වය තවත් අවුරුදු 177 ක් පුරාවට රැකගන්න ඔවුන් සමත් වුනත්, සතුරු හමුදාවක් සම්පූර්නයෙන්ම විනාශ කර දමන විශිෂ්ඨ යුධ ජයග්‍රහනයක් ලබන්න ඔවුන්ට හැකි වෙන්නේ නෑ. මෙතැන් සිට එළැඹෙන්නේ උඩරට රාජ්‍යයේ ගරා වැටීම​.