Monday, April 9, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා -36 (වේරෙහුලි)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

වේරෙහුලි (කුඹලා)


එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක බොහොම උගත්, බුද්ධිමත් ඒ වගේම විනීත ගති පැවතුම් ඇති මනුස්සයෙක් ජීවත් වුනා. ඔහුට බිරින්දෑ වරු හය දෙනෙක් හිටියා.

එක දවසක් ඔහු පළවෙනි බිරිඳ ගේ ගෙදරට ගියා. ඇය ඔහුත් එක්ක බොහෝ වෙලා කතා කරමින් හිටියා. ඇය ඔහුට අළුත් ආරංචි, ඕපාදූප ගොඩක් කිව්වත්, ඔහු කාල ඉන්නව කියල හිතපු නිසා කෑමට ආරාධනා කලේ නෑ. ඔහුත් බොහොම විනීත පුද්ගලයෙක් නිසා බිරිඳගෙන් කෑම ඉල්ලන්න ලැජ්ජා වුනා. ඇය හිතුවොත් ඔහු කෑදරයෙක් කියල​!

ඊළඟට ඔහු දෙවෙනි බිරිඳගේ ගෙදරට ගියේ ඇය ඔහුට කෑමට ආරාධනා කරයි කියල හිතාගෙන​. ඔහු ආවම ඇය ගොඩාක් සතුටට පත් වෙලා ඔහුගේ ඇඳුම් සියල්ලම පිරිසිදු කරල දුන්න​. ඒත් ඇය හිතුවේ ඔහු පළවෙනි බිරිඳගේ ගෙදර ඉඳන් ආපු නිසා ඔහු කෑම කාල ඇති කියල​. ඒ නිසා ඇය ඔහුට කෑමට ආරාධනා කලේ නෑ. ඔහුත් ඇයගෙන කෑම ඉල්ලුවෙ නෑ. එහෙම කරොත් පළවෙනි බිරිඳ ඔහුට කෑම ටිකක් වත් දුන්නෙ නෑ කියල ඇය පළවෙනි බිරිඳ ගැන තරහක් ඇති කර ගනියි කියල ඔහු බය වුනා.

ඔහු දෙවෙනි බිරිඳගේ ගෙදරින් එනකොට ඔහුගේ බඩ ටිකක් ඇකිලිලා. ඒ නිසා ඔහු ඉණ පටිය තරමක් තදට බැඳ ගත්තා.

ඊළඟට ඔහු ගියේ තුන්වෙනි බිරිඳ ගේ ගෙදරට​. ඇය ඔහුගෙන් ඇහුවම කොහෙ ඉඳලද ආවෙ කියල ඔහු කිව්වා පළවෙනි සහ දෙවෙනි බිරිඳ ගේ ගෙදර ඉඳල කියල​. ඇය ඔහුට කෑමට ආරාධනා කරන්න හිතුවත්, එහෙම කරොත් ඇය පළවෙනි සහ දෙවෙනි බිරිඳ ගැන නරක විදිහට හිතනවා කියල ඔහු හිතයි කියල ඇය බය වුනා. ඒ නිසා ඔහුත් එක්ක බොහෝ දේවල් ගැන කතා කර කර හිටියත්, ඇය ඔහුට කෑමට ආරාධනා කලේ නෑ.

තුන්වෙනි බිරිඳගේ ගෙදරින් එළියට බහිද්දි ඔහුට බොහෝම බඩගිනියි. බඩත් ඇකිලිලා. ඔහු ආයෙත් ඉණ පටිය තද කරල බැඳ ගත්තා.

ඊළඟට ඔහු ගියේ හතරවෙනි බිරිඳගේ ගෙදරට​. ඒ වෙද්දි ඉර හැරිල​. හතරවෙනි බිරිඳ කාල ඉවර වෙලා හිටියෙ. පළවෙනි, දෙවෙනි සහ තුන්වෙනි බිරින් දෑ වරු ඔහුට කන්න දෙන්න ඇති කියල හිතපු නිසා ඇය ඔහුට කෑමට ආරාධනා කලේ නෑ.

පස් වෙනි බිරිඳගේ ගෙදරට යන්න කලින් ඔහු ආයෙත් ඉණ පටිය තද කරල බැඳ ගත්තා. දැන් ඔහුට හොඳටම බඩගිනියි. ඔහුගේ මූණ දැකපු ගමන් පස් වෙනි බිරිඳ ඔහුට කෑමට ආරාධනා කරයි කියල ඔහු හිතුවා.

ඔහුව දැකපු ගමන් පස් වෙනි බිරිඳ දැන ගත්තා ඔහු ඉන්නෙ අපහසුවෙන් බව​. ඒත් ඇය හිතුවේ ඔහුට අසනීපයක් කියලා. ඒ නිසා ඇය ඔහුට උන්දෝලියේ (එල්ලෙන ලණු ඇඳක්) ඉඳගෙන විවේක ගන්න කිව්වා. ඊට පස්සෙ ඇය උන්දෝලිය ළඟ බිම ඉඳගෙන ඔහුට රසවත් කතන්දර සහ කවි කිව්වා.

ඇය කෑමට ආරාධනා කරන පාටක් නැති නිසා ඔහු එතැනින් එළියට ආවා. ඒ වෙද්දි ඔහුගේ බඩ පිටටම ඇලිලා. ඔහු ආයෙත් ඉණ පටිය තද කරලා බැඳ ගත්තා.

ඔහුව දැකපු ගමන් හයවෙනි බිරිඳ බොහෝම කලබලයට පත් වුනා. ඇය ඔහුව ඇඳේ හාන්සි කරවලා පවන් සැලුවා. ඔහුට ඉතාම ආදරයෙන් කතා කලා. ඔහු ආවේ අනික් බිරින්දෑ වරුන් පස් දෙනාගෙ ගෙවල් වල ඉඳල කියල දැනගත්තම ඇය බොහොම කෝප වෙලා ඔවුන්ට බැණ වැදුනා. මේ වගේ තත්වයකින් ඔහුව එළියට යැවීම ගැන​. "මම විතරයි දන්නෙ අසනීප වෙච්ච කෙනෙක්ට සාත්තු කරන්න​". ඇය කෑම ගැන කිසි දෙයක් කිව්වෙ නෑ.

ඔහුට තේරුනා හයවෙනි බිරිඳත් ඔහුට කෑමට ආරාධනා නොකරන බව​.ඔහු තීරණය කලා හොඳම දේ ආපහු පළවෙනි බිරිඳගේ ගෙදරට ගිහින් කෙලින්ම ඇයගෙන් කෑමට යමක් ඉල්ලන එක කියලා.

ඔහු එළියට බැහැල ආපහු ඉණ පටිය තද කර ගත්තා.

ඇවිදගෙන යද්දි ඔහු එන්න එන්නම සැහැල්ලු වුනා. ඔහුට පියාඹන්න පුළුවන් වුනා. ටිකෙන් ටික ඔහු පියාඹන්න පටන් ගත්තා.

පළවෙනි බිරිඳගේ ගෙදරට එනවිට ඔහු වේරෙහුලි (කුඹලෙක්) බවට පත් වෙලා. පළවෙනි බිරිඳ ඔහුව ඇඳින ගත්තෙ නෑ.

එදා ඉඳල තමයි වේරෙහුලි ගෙ බඳ මේ තරම් සිහින් වෙලා තියෙන්නෙ෴


- කතාව කිව්වේ රෆිගු (දඩිමගො, ෆුවා මුලාකු දූපත​)

No comments:

Post a Comment