Monday, September 10, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 62 (තල්මහ පිටේ යන මිනිහා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


තල්මහ පිටේ යන මිනිහා

දිවෙහි රාජ්ජේ වැසියෝ කියන විදිහට මහ මුහුද මැද ජීවත් වෙන මිනිහෙක් ඉන්නවා. ඔහුට රටක් හෝ ගෙදරක් නෑ. මේ මනුස්සයා බොහොම දීර්ඝ කාලයක් තිස්සේ තල්මහෙක් ගෙ පිටේ නැගල මුහුදේ එහෙ මෙහෙ සංචාරය කරමින් ඉන්නවා.

තල්මහයි මේ මනුස්සයයි බොහොම හොඳ යාළුවෝ. ඔවුන් කවදාවත් වෙන් වෙන්නෙ නෑ. මුහුද සැර වෙලාවට මේ මනුස්සයා තල්මහ ගෙ පිටේ වරල තදින් අල්ලගෙන ඉන්නව දකින්න පුළුවන්. ඒ වගේම තල්මහ කවදාවත් මුහුදේ ගැඹුරට කිමිදෙන්නෙ නෑ. මනුස්සයට වතුරෙන් උඩ ඉන්න පුළුවන් විදිහට වතුර මතුපිටට බොහොම ළඟින් තමයි පීනන්නෙ. අනතුරක් දැනුනු සමහර වෙලාවට ඌ ගිලුනත් ආයෙත් ඉක්මනටම ගොඩ එනවා.


මේ මිනිහා කන්නෙ අමු මාළු විතරයි. ඔහුට අත් දෙකෙන් ටූනා මාළු අල්ලන්න පුළුවන්. මුහුදු ලිහිණි රංචු පියාසර කරන දිහා බලල ඔහුට ටූනා මාළු අහිනක් ඉන්න තැන හොයාගන්න පුළුවන්. මාළු අහිනක් හම්බවුනාම තල්මහ ඒ දිහාවට පීනල වරලෙන් ටූනා මාළුන්ට පහර දෙනවා. බය වෙන මාළුන්ව මනුස්සයා අත් දෙකෙන් අල්ල ගන්නවා. ඔහුට දිග නියපොතු තියෙනවා. ඒ නියපොතු වලින් මාළුන් ගෙ බඩ පලල එවෙලෙම කෑමට ගන්න ඔහුට පුළුවන්.

ඔහු කොයිතරම් කාලයක් මුහුදෙ ජීවත් වෙලා තියෙනවද කිව්වොත් ඔහුගේ ඉනෙන් පහල සම පේන්නෙ නෑ. ඒ සම ඉතාම ලා පාටයි. මුහුදු පැලෑටි සහ මුහුදු බෙල්ලන් ගෙන් වැහිලා. හරියට ගොඩාක් කාලයක් මුහුදෙ තිබුන බෝට්ටුවක බඳ වගේ.

දිවෙහි රාජ්ජේ විවිධ පැති වල ධීවරයෝ මේ මනුස්සයව දැකල තියෙනවා. ඒත් ඔහුව දැක්ක කියල ඔහුට තේරුන හැටියෙම තල්මහ බොහොම වේගයෙන් පීනල ඈතට යනවා෴

- කතාව කිව්වේ සයීද් අබ්දුල්ලා

2 comments: