Tuesday, June 12, 2018

දිවෙහි රාජ්ජේ රජකතා - 50 (හක්ගෙඩියේ ගෞරවය​)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

හක්ගෙඩියේ ගෞරවය​


දිවෙහි රාජ්ජේ උතුරු දිග අතොළුවක තිබුන දූපතක ළමයෙක් ජීවත් වුනා.  ඔහුගේ දෙමාපියන් ඉතාම දුප්පත්. ඒ නිසා ඔහුට හරිහමන් අධ්‍යාපනයක් ලැබුනේ නෑ.

එක දවසක් උදේ අතොළු ප්‍රධානියා තවත් වැදගත් පෙනුම තියෙන මිනිස්සු කීප දෙනෙක් එක්ක දූපතට ආවා. ඔවුන් ආපු සුදු පාට ලොකු බෝට්ටුව ජැටියේ නැංගුරම් දාලා තියෙන හැටි ළමයා දැක්කා. ඔහු වෙරළට ගියා බෝට්ටුව බලන්න​. බෝට්ටුවෙ ඉඳල අමුත්තෝ ගොඩබහින හැටි ළමයා බලාගෙන හිටියා. ඔවුන් මොනාදෝ උපකරණ වගයක් උස්සගෙන ආවා. ඒ උපකරණ ළමයා කවදාවත් දැකල තිබුනේ නෑ. ඔහු ඒවා වඩා හොඳින් දැක ගන්න බෝට්ටුව ළඟටම ගියා.

පිරිසේ එක අයෙක් සුද්දෙක්. ඔහු දැක්කා ළමයා බෝට්ටුව ළඟ ඉන්නවා. සුද්දා තමන් අතේ තිබුන  උපකරණයක් ළමයට දීල ඔවුන් එක්ක එන්න කිව්වා.

ළමයගෙ ජීවිතේට වැදගත් මනුස්සයෙක් ඔහු දිහා බලල වත් නෑ. ඒත් අද සුදු මහත්තයෙක් ඔහුත් එක්ක කතා කළා! ඔහුගේ උපකරණයක් අල්ලගන්න දුන්නා. ඔවුන් එක්ක එන්න කිව්වා. ළමයාගෙ හිත ප්‍රීතියෙන් පිම්බුනා.

ඔවුන් දූපතේ විවිධ තැන් වලට ගියා. ඒ තැන් වලදී ඉරි කෑලි ඇඳපු දිග පොල්ලක් පොළවේ ඇණලා අර උපකරණ වලට ඇහැ තබමින් මොනවදෝ බැලුවා. ඒ බලන දේවල් පොත් වල සටහන් කර ගත්තා. ළමයට පැවරුන රාජකාරිය වුනේ මේ උපකරණයක් ඔසවාගෙන යාම​. ඔවුන් ඔහුට බොහොම හොඳින් කතා කරා. විටින් විට උපදෙස් දුන්නා. "මේක අතනින් තියන්න​". "දැන් ඕක උස්සගෙන අපිත් එක්ක යමු". ඔවුන් එක්ක ටිකක් මිතුරු වුනාට පස්සෙ ළමය ඇහුවා ඔවුන් මොකද කරන්නෙ කියල​. ඔවුන් කිව්වා ඔවුන් දූපතේ සිතියමක් අඳිනවා කියල​.


දවල් වුනාම ඔවුන් හැමෝම දූපත් ප්‍රධානියා ගෙ ගෙදරට ගියා. එහෙ ඔවුන් වෙනුවෙන් ඉතාම ප්‍රනීත දවල් කෑමක් සකස් වෙලා තිබුනා. බත් එක්ක කුකුළු මස්. ළමයා ජීවිතේට නොදැකපු තවත් දේවල්.

පිරිසේ අය දැන් ළමයගෙ නමත් දන්නවා. ඔවුන් ඔහු එක්ක විහිළු තහළු පවා කලා. මේ වගේ වැදගත් පිරිසක්, සුදු මහත්තයෙකුත් එක්ක​, ඔහුත් එක්ක මේ වගේ මිතුරු වීම ගැන ළමය ගෙ හිත ආඩම්බරෙන් පිරුනා.

හවස වැඩේ අහවර වෙලා පිරිස ආපහු බෝට්ටුවට යන්න ගියා. ළමයා උපකරණ බෝට්ටුවට ගෙනිහින් දුන්නා. ඔහුට බෝට්ටුවට නගින්න අවස්ථාව ලැබුනම ළමයට ඒක අදහ ගන්න බැරි වුනා. ඒ ඔහු බෝට්ටුවකට නැගපු පළවෙනි අවස්ථාව​. බෝට්ටුව ඇතුලෙ ඉතාම පිරිසිදුයි. හැම දේම ඉතාම පිළිවෙලයි. ඔවුන්ට තේ පිළියෙල කරල තිබුනා. ළමයා සිහින ලෝකයක කිමිදෙමින් තේ බිව්වා.

ඔවුන් පිටත් වෙන වෙලාව ආවම ළමයා ආපහු ගොඩට ආවා. ඔහු වෙරළට වෙලා බෝට්ටුව නොපෙනී යනකං බලාගෙන හිටියා.

 ඊළඟ දවස් කීපය ළමයා ගත කලේ ඉතාම ආඩම්බරෙන්. ඔහු තමාගේ සහෝදර සහෝදරියන්ව සහ දූපතේ අනෙක් ළමයින්ව වැඩිය ගණන් ගත්තෙ නෑ. ඔහු කතා කරේ බොහොම ලොකු කතන්දර​. හැම වෙලේම ඔහු කිව්වා ඔහු ඉක්මනින්ම දූපත හැරදාල ගිහින් උගත්, පොහොසත් කෙනෙක් වෙනව කියලා. ටික දවසකින් ම හැමෝටම ළමයව එපා වුනා. ඔවුන් ඔහුව මග ඇරියා.

එක දවසක් ඔහුගේ සහෝදරයන් ඔහුව සෙල්ලමට ගත්තෙ නෑ කියල ළමයා අඬාගෙන අම්ම ළඟට ගියා.

"අම්මේ, ඇයි හැමෝම මාත් එක්ක තරහ​?"

"පුතේ, කවුරුත් ඔයා එක්ක තරහ නෑ. අර මහත්තුරු ආවට පස්සෙ ඔයා ඔවුන්ට සලකපු හැටි ගැන ඔවුන් කැමති නෑ."

"ඒත් ඒ මහත්තුරු මට වැදගත් තැනක් දුන්නා. අනික් ළමයි මට ගරු කරන්න ඕනෙ."

"මගෙ පුතේ, ඔයා ඒගොල්ලන්ව ගණන් ගන්නෙ නැතුව හිටියොත් ඒගොල්ලො ඔයාට තිබ්බ ගෞරවය වත් දෙන එකක් නෑ. අපි හැමෝම එකම දූපතේ මිනිස්සු. අපි හැමෝම එකම අය​. ඔයා ලොකු මනුස්සයෙක් නෙවෙයි. ඉතින් අනික් ළමයි ඔයාට අමුතුවෙන් ගරු කරන්න ඕනෙ ඇයි?"

"හොඳට අහගන්න මගෙ පුතේ, ඔයා ලබපු ගෞරවය "ෆෙන් කක්කා බොලි" (හක්ගෙඩියේ) ගෞරවය​. ඔයා දන්නවනෙ අපේ වත්තෙ මුල්ලෙ විසි කරල තියෙන ලොකු හක්ගෙඩිය​? කවුරුත් ඒක ගණන් ගන්නෙ නෑ. ඒක තියෙන්නෙ වැලි ගොඩේ. මිනිස්සු විතරක් නෙවෙයි කුකුල්ලුත් ඒක පාගනවා.


"ඒත් කාටහරි ලෙඩක් හැදුනම අපිට ඒක ඕන වෙනව​. අපි ඒක අරගෙන හොඳට සුද්ද කරල ඒක තම්බනවා. ඒ වතුර බොනවා."

"ඒත් ලෙඩේ අනීප වුනාම ආයෙත් හක්ගෙඩිය තියෙන්නෙ වැලි ගොඩේ. කවුරුත් ඒ ගැන ලොකුවට හිතන්නෙ නෑ."

ළමයා ආයෙ යාළුවන්ට ආඩම් බරකම් පෙන්නුවෙ නෑ. ඔහු යාළුවොත් එක්ක සතුටින් හිටියා.

කවුරු හරි කෙටි කාලයකට ලොකු ගෞරවයක් ලබා ගත්තම දිවෙහි රාජ්ජෙ වැසියො ඒකට කියන්නෙ "ෆෙන් කක්කා බොලි ඉස්සායි" (ලොකු හක්ගෙඩියේ ගෞරවය​) කියල​෴


- කතාව කිව්වේ ඊබ්‍රහිම්, (හලවෙලි දූපත​)

අටුවාව​

1. ෆෙන් කක්කා බොලි

ලොකු මුහුදු ගොළු බෙල්ලෙක් ගෙ කටුව දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "ෆෙන් කක්කා බොලි" කියල. සමහර අසනීප වලදි දිවෙහි රාජ්ජේ වැසියෝ මේ කටුව තම්බල ඒ වතුර බොනවා.

2 comments: