Thursday, June 14, 2018

ඉස්ලාමයේ කුළුණු පහ - 2 (සලාහ්)


ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ​" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.

මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර​, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.

(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ​. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)


ඉස්ලාමයේ කුළුණු පහ​


1. ෂහදා (ශ්‍රද්ධාව​)
2. සලාහ් (නැමදීම​)
3. සකාත් (දානය​)
4. සව්ම් (උපවාසය​)
5. හජ් (වන්දනාව​)


දෙවැනි කුළුණ - සලාහ් (නැමදීම​)



දෙවැනි කුළුණ හෙවත් සලාහ් මගින් ප්‍රකාශ වෙන්නේ මුස්ලිම් වරයෙක් ගේ දේව භක්තිය​.

"සලාහ්" හෙවත් දෙවියන් නැමදීම බොහෝ විට ඉංග්‍රීසියෙන් "pray" කියල හැඳින්වෙන අතර ඒක "යාඥාව​" කියල සිංහලට පරිවර්තනය කෙරෙනවා. නමුත් ඒකෙන් දෙන්නෙ වැරදි අදහසක්. ඉස්ලාමයේ එන සලාහ් හෙවත් දෙවියන් නැමදීම ක්‍රිස්තියානි දේව යාඥාවට වඩා සම්පූර්නයෙන්ම වෙනස්. ක්‍රිස්තියානි දේව යාඥාවක් දෙවියන් ගෙන් යමක් ඉල්ලීමක් හෝ ලබාදුන් දෙයකට ස්තූති කිරීමක් වුනත්, ඉස්ලාමයේ එන සලාහ් මගින් කෙරෙන්නේ දෙවියන් කෙරෙහි ඇති භක්තිය ප්‍රකාශ කිරීම පමණයි. එහිදී යම් කිසි එක් කරුණක් වෙනුවෙන් යාඥා කිරීමකට වඩා නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට මග පෙන්වීම සහ දෙවියන්ට ප්‍රසංශා කිරීම පමණක් සිදු වෙනවා. ක්‍රිස්තියානි දේව යාඥාවට සමාන දේව කන්නලව්වක් ඉස්ලාමයේත් තියෙනවා. ඒක හැඳින්වෙන්නේ "දුවා" නමින්.

"සලාහ්" යන යෙදුමට සමාන යෙදුම් විදිහට "සලාත්", "නමාස්" සහ "ලමස්" යන වචනත් පාවිච්චි කෙරෙනවා.

සලාහ් මගින් බලාපොරොත්තු වෙන්නේ මුස්ලිම් වරයෙක්ට දෙවියන් සහ දේව පණිවුඩය පිළිබඳව නිරන්තර සිහි කැඳවීමක් කිරීම​. එමගින් නිවැරදි මාර්ගයෙන් ඉවතට යන එක වලක්වා ගැනීම බලාපොරොත්තු වෙනවා.

නීති - රීති


පහත සඳහන් කරුණු සියල්ල සම්පූර්න කරන අය සලාහ් හෙවත් නැමදීම සිදු කළ යුතුයි.

1. මුස්ලිම් වරයෙක් වීම​
2. යහපත් මානසික තත්වයෙන් සිටීම​
3. ලාබාල විය පසු කර තිබීම (සාමාන්‍යයෙන් මෙහි සීමාව ලෙස ගන්නෙ අවුරුදු 7)

නැමදීම වලංගු වීමට නම් පහත කරුණු සම්පූර්න විය යුතුයි.

1. නියමිත වේලාව පිළිබඳ පැහැදිලි විශ්වාසය​
2. මක්කම දිශාවට මුහුණ ලෑම​
3. නියමිත පරිදි විළි වසාගෙන සිටීම​
4. සිරුර, ඇඳුම් සහ වටපිටාව පිරිසිදුව තිබීම​
5. නැමදීමට පෙර චාරිත්‍රානුකූල පිරිසිදු වීම් සිදු කර තිබීම​


නැමදීම් වර්ග​


සලාහ් වර්ග හතරක් තියෙනවා.

1. ෆර්ද් සලාහ් - මුස්ලිම් වරයෙක් විසින් අනිවාර්‍යයෙන් සිදු කළ යුතු නැමදීම්
2. වජිබ් සලාහ් - මුස්ලිම් වරයෙක් විසින් සිදු කළ යුතු, නමුත් අනිවාර්‍යය නොවන නැමදීම්
3. සුන්නාහ් සලාහ් - අනිවාර්‍යය නොවන​, නමුත් නබි තුමන් විසින් සිදු කළ නැමදීම්
4. නෆ්ල් සලාහ් - අනිවාර්‍යය නොවන​, තමාට කැමති විටෙක සිදු කළ හැකි නැමදීම්

1. ෆර්ද් සලාහ්


ෆර්ද් සලාහ් ලෙස ගැනෙන්නේ සෑම මුස්ලිම් වරයෙක්ම දිනකට පස් වතාවක් කළ යුතු නැමදීම්. මේ නැමදීම් සිදු කිරීමට අපොහොසත් වන අයෙක් මුස්ලිම් වරයෙක් ලෙස සැලකෙන්නේ නෑ.

මේ නැමදීම් සිදු කරන්නේ දිනයේ නියමිත වේලාවකට​

1. ෆජ්.ර් (හිමිදිරි නැමදීම​) - හිරු නැගීමට විනාඩි 15 කට පමණ පෙර​
2. සුහ්‍.ර් (මද්දහන් නැමදීම​) - ඉර මද්දහන පසු වුනු පසු
3. අස්.ර් (සවස් නැමදීම​) - සවස් කාලයේ ඉර බැස යාමට පසු
4. මග්‍රිබ් (බටහිර නැමදීම​) - ඉර බැස ගිය වහාම​
5. ඉෂා (රාත්‍රී නැමදීම​) - රාත්‍රී කාලයේ

ජුම්මා නැමදීම​


සිකුරාදා දිනය සැලකෙන්නේ මුස්ලිම් වරුන්ගේ ශුද්ධ වු දිනය වශයෙන් (ක්‍රිස්තියානින් ගේ ඉරිදා දිනය වගේ). එදාට කෙරෙන මද්දහන් නැමදීම සුවිශේෂයි. එය හැඳින්වෙන්නේ "ජුමුආහ්" නමින් (ලංකාවේදී මේක "ජුම්මා" කියල හැඳින්වෙනවා).

මුස්ලිම් පිරිමි ජුම්මා නැමදීම අනිවාර්‍යයෙන්ම සාමූහිකව කළ යුතුයි. කාන්තාවන්ට කැමතිනම් සාමූහිකව කළ හැකි අතර, කැමතිනම් තනිවම කළ හැකියි. මේ නිසා මුස්ලිම් පිරිමි ජුම්මා නැමදීම සඳහා පල්ලියට යාම සිරිතක්. ජුම්මා නැමදීම වලංගු වෙන්න නම් අවම වශයෙන් හත් දෙනෙක් වත් සහභාගී විය යුතුයි. ඒ වගේම ඉස්ලාමය පිළිබඳ විද්වතෙක් නැමදීමට පෙර දේශනාවක් කළ යුතුයි. ජුම්මා නැමදීමට සහභාගී වන පිරිස වැඩිවන තරමට එහි සාර්ථකත්වය වැඩි බව මුස්ලිම් වරු සලකනවා. ඒ නිසා ජුම්මා නැමදීම සඳහා ප්‍රදේශයේ සියළුම මුස්ලිම් පිරිමින් ප්‍රදේශයේ ඇති ප්‍රධාන පල්ලිය වෙත පැමිනෙනවා. ඒ පල්ලිය හැඳින්වෙන්නේ "ජුම්මා මස්ජීදය​" නමින්.


2. වජිබ් සලාහ්


වජිබ් සලාහ් ලෙස ගැනෙන්නේ මුස්ලිම් වරයෙක් සිදුකළ යුතු නැමදීම් ලෙස දක්වා ඇති නමුත්, ෆර්ද් නැමදීම් වගේ අනිවාර්‍යය නොකළ නැමදීම්.

වජීබ් ගණයට වැටෙන්නේ එක නැමදීමක් පමණයි. එය "විත්‍.ර්" ලෙස හැඳින්වෙනවා. එම නැදමදීම සිදු කරන්නේ රාත්‍රී නැමදීමට පසු, නමුත් පසුදින හිමිදිරි නැමදීමට පෙර​.


3. සුන්නාහ් සලාහ්


සුන්නාහ් සලාහ් ගණයට වැටෙන්නේ අනිවාර්‍යය නොවන නමුත් නබි තුමා විසින් කළ නැමදීම්. නබි තුමා අනුගමනය කිරීම උසස් දෙයක් ලෙස සැලකෙන නිසා සමහර මුස්ලිම් වරු සුන්නාහ් නැමදීම් සිදු කරනවා.

සුන්නාහ් සලාහ් කීපයක් ඉස්ලාම් සම්ප්‍රදායේ එනවා

1. තහජ්ජුද් - රාත්‍රිය මැදදී නින්දෙන් අවදි වී සිදු කරන නැමදීමක්
2. තරවිහ් - රමදාන් මාසයේ රාත්‍රී නැමදීමෙන් පස් සිදු කරන සාමූහික නැමදීමක්
3. ඉස්තිස්කා - නියං සමයේ වැසි බලාපොරොත්තුවෙන් සිදු කරන සාමූහික නැමදීමක්
4. කුසුෆ් - සූර්‍යග්‍රහනයක් සිදු වන වෙලාවේදී කරන සාමූහික නැමදීමක්
5. ඛුසුෆ් - චන්.ද්‍රග්‍රහනයක් සිදු වන වෙලාවේදී කරන සාමූහික නැමදීමක්


4. නෆ්ල් සලාහ්


නෆ්ල් සලාහ් නමින් හැඳින්වෙන්නේ තමාට කැමති අවස්ථාවක සිදු කළ හැකි නැමදීම්.


නැමදීමේ අංග​

 


සලාහ් හෙවත් නැමදීමක් සිදු කරන නියමිත ආකාරයක් තියෙනවා. සෑම නැමදීමක් ම "රකත්" නමින් හැඳින්වෙන ක්‍රියා මාලාවකින් සමන්විතයි. ඒ ඒ නැමදීමට සිදුකළ යුතු රකත් ගණන ඉස්ලාමයේ දක්වා තියෙනවා.

රකත් චක්‍රයක් මේ ක්‍රියාවන් ගෙන් සමන්විතයි.

1. "තක්බිර්" හෙවත් දෑත් ඉදිරියට හරවා මුහුණ දෙපසින් තබා ගෙන "අල්ලාහු අක්බර්" (දෙවියන් ශ්‍රේෂ්ඨයි) යනුවෙන් පැවසීම​

2. "ක්වියාම්" හෙවත් දෑත් පපුව මත හෝ පෙකණියට ඉහලින් බඩ මත තබාගෙන සිට ගෙන සිටින ඉරියව්වෙන් සිටගෙන නැමදීම කෙරෙහි සිත යොමු කිරීම​

3. දෙවියන්ට ප්‍රශංසා කිරීම​ (පළමු රකතයේදී පමණක්)

4. "සුරාහ් අල්-ෆතිහා" හෙවත් කුරානයේ පළමු පරිච්ඡේදය හඬනගා කීම​

5. තවත් කුරාන පරිච්ඡේදයක් හඬනගා කීම​

6. තක්බිර්

7. "රුකු" හෙවත් අත්ල දනිස් මත තබා ඉරිදියට නැමී දෙවියන්ට ප්‍රශංසා කිරීමේ පාඨ හඬනගා කීම​

8. රුකු ඉරියව්වෙන් මිදී නැවතත් කඳ කෙලින් කොට දෙවියන්ට ප්‍රශංසා කිරීමේ පාඨ හඬනගා කීම​

9. තක්බිර්

10."සුජුද්" හෙවත් බිම දණ ගැසීම​. මෙහිදී නළල​, නාසය​, අත්ල​, දනහිස් සහ පා ඇඟිලි බිම ස්පර්ශ විය යුතුයි. මෙම ඉරියව්වේදී දෙවියන්ට ප්‍රශංසා කිරීමේ පාඨ හඬනගා කීම කළ යුතුයි.

11. බිම දණගසාගෙන සිටියදීම කඳ කෙලින් කිරීම​.

12. තක්බිර්

13. සුජුද්

14. බිම දණගසාගෙන සිටියදීම කඳ කෙලින් කිරීම​.

15. තක්බිර්

16. "තෂ්හහ්හුද්" හෙවත් දෙවියන්ට ස්තූති කිරීම​

මෙතැනින් එක රකතයක් අවසාන වෙනවා. ඒ ඒ නැමදීමේදී සිදු කළයුතු රකතයන් ගණන අනුව මේ ක්‍රියාමාලාව නැවත නැවත සිදු කෙරෙනවා.

නැම්දීම අවසන් වන්නේ  "තස්ලිම්" කියැවීමෙන්. මෙහිදී දණ ගසාගෙන සිටියදීම දකුණු පැත්ත බලා එක් වරකුත් වම් පැත්ත බලා එක් වරකුත් "අස් - සලාමු අලෙයිකුම් වා - රහ්මතු ඉල්ලාහ්" (ඔබට සාමය සහ දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා) යනුවෙන් පැවසීම් සිදු කෙරෙනවා.


ඒ ඒ සලාහ් සඳහා සිදු කළ යුතු රකත් ගණන මේ වගේ

1. ෆජ්.ර් (හිමිදිරි) නැමදීම - 2
2. සුහ්.ර් (මද්දහන්) නැමදීම - 4
3. අස්.ර් (සවස්) නැමදීම - 4
4. මග්‍රිබ් (බටහිර​) නැමදීම - 3
5. ඉෂා (රාත්‍රී) නැමදීම - 4
6. ජුම්මා නැමදීම - 2
7. විත්.ර් නැමදීම - 3
8. ඉස්තිස්කා නැමදීම - 2
9. කුසුෆ් නැමදීම - 2
10. ඛුසුෆ් නැමදීම - 2

මේ රකත් ගණන පිළිබඳ වෙනස් ඉස්ලාමීය සම්ප්‍රදායන් ගේ වෙනස් මත තියෙනවා. ඒ නිසා සමහර මුස්ලිම්වරු මේවාට මදක් වෙනස් රකත් ගණනක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම සමහරු අමතර භක්තිය දැක්වීමක් විදිහට අනිවාර්‍යය අවම රකත් ගණනට වඩා අමතර රකත් කීපයක් සිදු කරනවා.

No comments:

Post a Comment