Monday, October 23, 2017

රුසියාවේ ප්‍රථම මැතිවරණය​


රුසියාවේ ප්‍රථම නිදහස් සර්වජන ඡන්දය සහිත මැතිවරණය පැවැත්වුනේ කවද්ද කියල දන්නවද​? ගොඩක් දෙනෙක් හිතයි සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පස්සෙ කියල​.

නමුත් ඇත්තෙන්ම රුසියාවේ ප්‍රථම නිදහස් සර්වජන ඡන්දය සහිත මැතිවරණය පැවැත්වුනේ 1917 නොවැම්බර් 25 වෙනිදා. ඒ රුසියානු විප්ලවයෙන් ලෙනින් ගේ බොල්‍.ෂෙවික් පක්‍ෂය බලය අල්ලගෙන සති දෙකකට පස්සේ.

බොහෝ දෙනෙක් හිතනවා වගේ රුසියන් විප්ලවයේදී සිද්ධ වුනේ ලෙනින් ගේ බොල්.ෂෙවික් පක්‍ෂය රුසියාවේ බලය අල්ලා ගැනීම නෙවෙයි. එහිදී ලෙනින් ගේ ප්‍රධානත්වයෙන් විවිධ දේශපාලන සංවිධාන ගණනාවක් විප්ලවයට සහභාගී වුනා. විප්ලවයෙන් පස්සෙ පිහිටුවා ගත්ත විවිධ පාලන යාන්ත්‍රන වල මේ සංවිධාන විවිධ ආකාරයට නියෝජනය වුනා.

රුසියන් විප්ලවය වෙනකොට රුසියාවේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ සහ කණ්ඩායම් වුනේ මේවා.

1. රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්‍ෂය - බොල්.ෂෙවික් කණ්ඩායම​

නායකයා : ව්ලැදිමීර් ලෙනින්
ප්‍රධාන සාමාජිකයන් : ලියොන් ට්‍රොට්ස්කි, ජෝශප් ස්ටාලින්, ලෙව් කමනෙව්, ග්‍රිගෝරි සිනොවිව්, නිකොලායි බුකාරින්

රුසියානු සමාජ ප්‍රජාතත්‍රවාදී කම්කරු පක්‍ෂය 1903 දි මතවාදීමය හේතු මත දෙකට කැඩෙනවා. ඒකෙන් ලෙනින් නායකත්වය දුන්න කණ්ඩායම තමයි බොල්.ෂෙවික් පක්‍ෂය විදිහට හැඳින්වුනේ. මාක්ස්වාදී සහ දැඩි විප්ලවවාදී ස්ථාවරයක හිටපු ඔවුන් තමයි 1917 රුසියානු විප්ලවයට නායකත්වය දෙන්නෙ.

2. රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්‍ෂය - මෙන්.ෂෙවික් කණ්ඩායම

නායකයා : ජුලියස් මාර්තොව්
ප්‍රධාන සාමාජිකයන්: පාවෙල් ඇක්සෙල්‍.රොඩ්, ඇලෙක්සැන්ඩර් මාටිනොව්, ඉරාක්ලි ත්සෙරෙතෙලි

රුසියානු සමාජ ප්‍රජාතත්‍රවාදී කම්කරු පක්‍ෂයේ ජුලියස් මාර්තොව් ගෙ නායකත්වයෙන් යුත් කණ්ඩායම තමයි මෙන්.ෂෙවික් පක්‍ෂය විදිහට හැඳින්වුනේ. මෙන්‍.ෂෙවික් වරුත් මාක්ස්වාදී ස්ථාවරයක හිටියත්, සමාජවාදී විප්ලවයක් කරන්න තරම් රුසියානු කම්කරු පන්තිය දියුණු නොවන නිසා වහාම සිදු වන විප්ලවයකට ඔවුන් විරුද්ධ වුනා. 1917 පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුල කම්කරු සභා (සෝවියට්) වල වැඩි බලය හිමිවුනේ ඔවුන්ට​.

3. සමාජවාදී විප්ලවවාදී පක්‍ෂය (එස්.ආර්.)

නායකයා : වික්ටර් චෙර්නොව්
ප්‍රධාන සාමාජිකයන් : මාරියා ස්පිරිදොනෝවා

සමාජවාදී විප්ලවවාදී පක්‍ෂය ගෙවත් එස්.ආර්. වරු රුසියාවේදී නරෝද්නික්වාදය ලෙස හැඳින්වුන ගොවි-සමාජවාදී ස්ථාවරක හිටියේ. ඔවුන් ගේ අරමුණ වුනේ ගොවි ජනතාව ප්‍රමුඛ කරගත් සමාජවාදී පාලනයක්. 1917 පෙබරවාරි මාසයේදී රාජාණ්ඩුව පෙරලල ඇති කරගන්න සභාග රජයට එස්.ආර්. වරු සම්බන්ධ වෙනවා.

නමුත් සභාග රජය පළවෙනි ලෝක යුද්ධයෙන් ඉවත් නොවීම සහ ගොවියන්ට ඉඩම් අයිතිය ලබා නොදීම මත පක්‍ෂයේ වාමාංශය සමාජවාදී විප්ලවවාදී (වාමාංශික​) නමින් මාරියා ස්පිරිදොනෝවා ගේ නායකත්වයෙන් කැඩෙනවා. අනෙක් කොටස හැඳින්වුනේ සමාජවාදී විප්ලවවාදී (දක්‍ෂිනාංශික​) විදිහට​.

මැතිවරණය වෙද්දි පක්‍ෂය දෙකඩ වෙලා අවසන් වුනත්, මැතිවරණයට ඔවුන් ඉදිරිපත් වෙන්නෙ එකට​.

4. ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය (කැඩේට්)

නායකයා : පාවෙල් මිල්‍.යුකොව්

කැඩේට් පක්‍ෂය ලිබරල් ධනවාදී පක්‍ෂයක්. ප්‍රජාතන්‍ත්‍රවාදී සහ ලිබරල් ප්‍රතිසංස්කරණ මත පදනම් වුන ධනවාදී රුසියාවක් ඔවුන් ගේ ඉලක්කය වුනා. උගතුන් සහ වෘත්තිකයන් අතර පක්‍ෂයට පදනමක් තිබ්බා.

5. යුක්‍රේනියානු සමාජවාදී විප්ලවවාදී පක්‍ෂය​

නායකයා : ව්සෙවොලොද් හොලුබෝවිච්

යුක්‍රේනියානු ජාතිකවාදය මුසු වුන නරෝද්නික්වාදී පක්‍ෂයක්. ඔවුන් ගොවියන්ට ඉඩම් අයිතිය ලබා දීම වෙනුවෙන් පෙනී සිටියත්, රුසියානු ප්‍රධාන පක්‍ෂ යුක්‍රේනියාවේ දේශපාලනයට අත පෙවීමට විරුද්ධ වුනා.

මීට අමතරව ප්‍රාදේශීය පක්‍ෂ ගණනාවක් මැතිවරණයට ඉදිරිපත් වුනා.

1917 ඔක්තෝබර් විප්ලවයෙන් බලය අල්ලා ගත් ලෙනින් රුසියාවේ පාලනය සඳහා "සමස්ත රුසියානු මධ්‍යම විධායක කොමිටිය​" නම් යාන්ත්‍රනයක් හැදුවා. මේ කොමිටිය සමන්විත වුනේ බොල්.ෂෙවික් නියෝජිතයන් 62 ක්, වාමාංශික එස්.ආර්. නියෝජිතයන් 29 ක් සහ මෙන්.ෂෙවික් නියෝජිතයන් 10 ක ගෙන්. දක්‍ෂිනාංශික එස්.ආර්. වරු මේ කොමිටිය වර්ජනය කරා. මේ කොමිටිය තීරණ ගත්තේ බහුතර ඡන්දයෙන්.

1917 මැතිවරණය පැවැත්වුනේ ව්‍යවස්ථාදායක සභාවක් වෙනුවෙන්. මේ සභාව මගින් රුසියාවේ අනාගත ආණ්ඩු ක්‍රමය සහ නීති සම්පාදනය කරනු ඇතැයි බලාපොරොත්තු වුනා.

මැතිවරණ ප්‍රතිඵල ආවේ මේ විදිහට :

සමාජවාදී විප්ලවවාදී පක්‍ෂය - නියෝජිතයන් 380
බොල්.ෂෙවික් පක්‍ෂය - නියෝජිතයන් 168
මෙන්.ෂෙවික් පක්‍ෂය - නියෝජිතයන් 18
කැඩේට් පක්‍ෂය - නියෝජිතයන් 17
අනෙකුත් - නියෝජිතයන් 120

සම්පූර්න ඡන්ද වලින් එස්.ආර්. වරු 40% සහ බොල්.ෂෙවික් වරු 25% ක් ලබා ගත්තා.

නාගරික කම්කරුවන් සහ යුධ සෙබළුන් ගෙන් තුනෙන් දෙකක් ම සහය පල කරේ බොල්.ෂෙවික් වරුන්ට​. නමුත් ගම් බද ප්‍රදේශ වලදී එස්.ආර්. වරු ගොවියන් ගේ සහය සම්පූර්නයෙන්ම වාගේ ලබා ගත්තා. වොල්ගා ප්‍රදේශයේදී සහ සයිබීරියාවේදී ඔවුන් සම්පූර්න ඡන්ද වලින් හතරෙන් තුනක් ලබා ගත්තා.

මෙතැන තවත් ප්‍රශ්නයක් ඇති වුනා. එස්.ආර්. පක්‍ෂය තනි පක්‍ෂයක් විදිහට ඡන්දයට ඉදිරිපත් වුනත් ඔවුන් ඇත්තෙන්ම මේ වන විට දෙකට බෙදිල හිටියේ. ඒත් පක්‍ෂයේ මන්ත්‍රී ලැයිස්තු හැදීමේ වැඩි බලය තිබ්බේ දක්‍ෂිනාංශයට නිසා දක්‍ෂිනාංශික එස්.ආර්. වරු වැඩි ප්‍රමානයක් පත් කරගන්න ඔවුන්ට පුළුවන් වුනා. වාමාංශික එස්.ආර්. වරු පත්වුනේ 40 දෙනෙක් පමණයි. නමුත් මහපොළවේ වාමාංශික එස්.ආර්. වරුන්ට ඊට වඩා බලයක් තිබ්බා.

වාමාංශික එස්.ආර්. වරු ලෙනින් ට සහය පළ කලත්, බහුතරය හිමිවුනේ දක්‍ෂිනාංශික එස්.ආර්. වරුන්ට​. ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම යෙදිලා තිබ්බෙ 1918 ජනවාරි 18 වෙනිදට​.

දෙසැම්බර් මාසයේදී ඇති කළ බොල්.ෂෙවික් වරුන් ගේ ඉඩම් ප්‍රතිසංස්කරණ මගින් බොල්.ෂෙවික් වරුන්ට ගොවි ජනතාව අතර සහය වැඩි කරගන්න පුළුවන් වුනා. ඒ නිසා ලෙනින් පක්‍ෂයට යෝජනා කළා නැවතත් මැතිවරණයක් පවත්වන්න​. නමුත් බොල්.ෂෙවික් පක්‍ෂයේ බහුතරය ඊට කැමති වෙන්නෙ නෑ.

ජනවාරි 18 වෙනිදා ව්‍යවස්ථාදායක සභාව රැස් වෙනවා. එහි සභාපති කමට තරග කරන්නේ වික්ටර් චෙර්නොව් සහ මාරියා ස්පිරිදොනෝවා. බොල්.ෂෙවික් වරු සහය දෙන්නෙ මාරියා ස්පිරිදොනෝවා ට​. නමුත් 244 ට 153 වශයෙන් ඡන්ද ගන්න චෙර්නොව් දිනනවා.

බොල්.ෂෙවික් වරු බලාපොරොත්තු වෙන්නේ රුසියාවේ ප්‍රාදේශීය පාලනය ගොවි, කම්කරු නියෝජිතයන් ගෙන් සමන්විත වෙන සෝවියට් සභා වලට පවරන්න​. ඔවුන් මේ යෝජනාව ව්‍යවස්ථාදායක සභාව ඉදිරියේ තියනවා. නමුත් ඒ යෝජනාවත් පරාජයට පත් වෙනවා.

රහසිගත රැස්වීමක් පවත්වන බොල්.ෂෙවික් වරු සහ වාමාංශික එස්.ආර්. වරු ව්‍යවස්ථාදායක සභාව විසුරුවා හරින්න තීරණය කරනවා. එහි ව්‍යවස්ථා සම්පාදක බලය "සමස්ත රුසියානු සෝවියට් කොංග්‍රසයට​" ලබා දෙනවා. එය සම්න්විත වෙන්නෙ සෝවියට් සභා වලින් තෝරා ගැනුනු නියෝජිතයන් ගෙන්.

ලෙනින් ගේ දෙසැම්බර් යෝජනාවට බොල්.ෂෙවික් පක්‍ෂය එකඟ වුනා නම් බොල්.ෂෙවික් සහ වාමාංශික එස්.ආර්. වරුන් ගෙන් සමන්විත සභාගයකට බලය ලැබෙන ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන්න ඉඩ තිබුනා. එහෙම වුනා නම් රුසියාවේ (සෝවියට් සංගමයේ) අනාගතය මීට වඩා සෑහෙන වෙනසක් වෙන්න තිබ්බා. නමුත් බොල්.ෂෙවික් පක්‍ෂය වඩා ප්‍රජාතන්‍ත්‍රවාදී මාර්ගය තෝරා ගැනීම නිසා අවසාන ප්‍රතිඵලය වුනේ තිබුන ප්‍රජාතන්ත්‍රවාදයත් නැතිවීම​.

No comments:

Post a Comment