Monday, October 23, 2017

යාකොව් සහ​ ඇන්‍ යි


මේ ඉන්නෙ යාකොව් යුගාෂ්විලි.



මෙයාගෙ තාත්ත තමයි ඒ කාලෙ සෝවියට් දේශයේ අසහාය නායක​, ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයේ නියමු ජෝශප් ස්ටාලින්.

දෙවෙනි ලෝක යුද්ධය පටන් ගන්නවත් එක්කම යාකොව් රතු හමුදාවට බැඳනවා. ඒ කාලතුවක්කු බල ඇණියක ලුතිනන් වරයෙක් හැටියට​.

සෝවියට් දේශය ආක්‍රමනය කරන ජර්මන් හමුදා වලට එරෙහිව ස්මොලෙන්ස්ක් නගරය අසල දී රතු හමුදාව සටන් වදිනවා. යාකොව් ගෙ බල ඇණියත් මේ සටනට සහභාගී වෙනවා. සටනෙන් රතු හමුදාව දරුණු පරාජයක් ලබනවා. යාකොව් ජර්මන් අත් අඩංගුවට පත් වෙනවා.

යාකොව් මරණය තෙක් සටන් නොවැදුන එක ගැන ස්ටාලින් අමනාපයට පත් වෙනවා.

අවුරුදු දෙකකට ආසන්න කාලයක් යාකොව් ජර්මන් සිර කඳවුරු වල අපා දුක් විඳිනවා. නමුත් 1943 පෙබරවාරි මාසෙදි යාකොව් ගෙ වාසනාව පෑදෙනවා. ස්ටාලින්ග්‍රාද් සටනෙන් ජර්මන් හමුදා පරාජයට පත් වෙනවා. එහිදී ඔවුන් ගේ ෆීල්ඩ් මාෂල් වරයෙක් සෝවියට් අත් අඩංගුවට පත් වෙනවා. ජර්මනිය ස්ටාලින් ට යෝජනාවක් කරනවා ෆීල්ඩ් මාෂල් වරයා සහ යාකොව් ව හුවමාරු කර ගන්න​.

ස්ටාලින් කියන්නෙ සෝවියට් දේශයේ අසහාය නායකයා. ඔහුගේ වචනය තමයි ඒ කාලෙ සෝවියට් දේශයේ නීතිය​. යාකොව් ඔහුගේ පුතා. ස්ටාලින් ට තියෙන්නෙ අණ දෙන්න විතරයි. යාකොව් ට නිදහස ලැබෙනවා.

ඒත් ස්ටාලින් ජර්මන් යෝජනාව අවඥාවට ලක් කරනවා.

"ෆීල්ඩ් මාෂල් කෙනෙක් එක්ක ලුතිනන් වරයෙක් මාරු කර ගන්න මට පිස්සුද​?"

යාකොව් රඳවලා ඉන්නෙ ජර්මනියේ සැෂෙන්හෝසන් සිර කඳවුරේ. 1943 අප්‍රේල් 14 වෙනිදා යාකොව් එළිමහනේ ඇවිදිමින් ඉන්නවා. මුර සෙබළෙක් ඔහුට බැරැක්කයට යන ලෙස නියෝග කරනවා. යාකොව් ඒක ප්‍රතික්‍ෂේප කරනවා. මුර සෙබළා ඔහුට වෙඩි තබන බවට තර්ජනය කරනවා.

"ඉතින් වෙඩි තියපන්"

ඔළුවට එල්ල වන වෙඩි පහරින් යාකොව් එතැනම මිය යනවා.




 මේ ඉන්නෙ මාඕ ඇන්‍ යිං.



 
මෙයාගෙ තාත්තා තමයි රතු චීනයේ නායක​, චීන විප්ලවයේ නියමු මාඕ සේදොං.

1941 දි ජර්මනිය සෝවියට් දේශය ආක්‍රමනය කරද්දි ඇන් යිං සෝවියට් දේශයේ උසස් අධ්‍යාපනය ලබනවා. ඔහු රතු හමුදාවට බැඳිලා සටන් පෙරමුණට යනවා. ඒ කාලතුවක්කු බල ඇණියක ලුතිනන් වරයෙක් හැටියට​. එතකොට ඔහුට වයස 19 යි.

ඔහු ජර්මන් හමුදා වලට එරෙහිව පෝලන්ත පෙරමුණේ සටන් කරනවා.

1946 චීන විප්ලවය ඇරඹුනාම ඇන් යිං චීනයට ඇවිත් මහජන විමුක්ති හමුදාවට බැඳිලා සටන් කරනවා.

චීන විප්ලවය දිනලා කොමියුනිස්ට් වාදීන් චීනයේ බලය අල්ලගන්නවා. ඇන් යිං ගෙ පියා මාඕ තමයි චීනයේ නායකයා වෙන්නෙ.

1950 දි කොරියානු යුද්ධය ඇවිලෙනවා. උතුරු කොරියාවට උදව්වට ලක්‍ෂ තුනක චීන හමුදාවක් කොරියාවට යනවා. ඒකෙ අණදෙන නිලධාරියා වෙන්නෙ ඒ කාලෙ චීනයේ අසහාය යුධ වීරයා වුන මාෂල් පෙං ඩෙහුවායි.

ඔහුගේ රුසියානු භාෂා පරිවර්තකයා විදිහට ඇන් යිං ත් කොරියාවට යනවා.

මාෂල් පෙං තමාගෙ මූලස්ථානය පිහිටුවා ගන්නෙ පියොංයැං නගරයට උතුරෙන් තිබ්බ අත් හැර දාපු රත්තරන් පතලක​. ඒ ඇමරිකන් ගුවන් ප්‍රහාර වලින් ආරක්‍ෂා වෙන්න​.

1950 නොවැම්බර් 25 වෙනිදා මාඕ ඇන් යිං සහ ඔහුගේ මිතුරෙක් පතල ආසන්නයේ තියෙන අත් හැර දැමූ පොඩි පැලක දහවල් ආහාරය පිළියෙල කරමින් ඉන්නවා. නමුත් ලිපෙන් දුම අහසට නගින බව ඔවුන්ට අමතක වෙනවා.

එක පාරටම කොහෙන්දෝ ආපු සතුරු අහස් යානාවක් පැලට නාපාම් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා.

දැවී අඟුරු වී ගිය ඇන් යිං ගෙ මළ සිරුර පියොංයැං නගරය අසල වළ දානවා.

No comments:

Post a Comment