Monday, July 9, 2018

මැග්යාර් මායාකාරයෝ - 3


යුරෝපයේ දේශපාලන තත්වය​


මේ වෙද්දිත් යුරෝපය දෙවැනි ලෝක යුද්ධයේ විනාශයෙන් සම්පූර්නයෙන්ම මිදිල තිබුනේ නෑ. ඒ වගේම සීතල යුද්ධයේ බලපෑම ඉතාම තදින් මුළු යුරෝපයම වසාගෙන හිටියා.

මුළු නැගෙනහිර යුරෝපයම සෝවියට් දේශයේ හිතවාදී කඳවුරේ සාමාජිකයන් වෙලා හිටියා. මුළු බටහිර යුරෝපයම ඇමරිකානු හිතවාදී කඳවුරේ සාමාජිකයන් වෙලා හිටියා. යුගොස්ලාවියාව ස්වාධීන කොමියුනිස්ට් රටක් වශයෙන් කටයුතු කළා.

ජර්මනිය යුද්ධයෙන් සම්පුර්නයෙන්ම විනාශ වෙලා තිබුනේ. යුද්ධයෙන් පස්සෙ සෝවියට්, බ්‍රිතාන්‍යය​, ඇමරිකානු සහ ප්‍රංශ හමුදා ජර්මනිය හතරට බෙදාගෙන පාලය කළා. 1949 දී සෝවියට් කොටස නැගෙනහිර ජර්මනිය නමිනුත් ඇමරිකානු සහ බ්‍රිතාන්‍යය කොටස් බටහිර ජර්මනිය නමිනුත් වෙනම රටවල් දෙකක් විදිහට නිදහස ලැබුවා. ප්‍රංශ කොටස "සාර් ආරක්‍ෂිත ප්‍රදේශය" නමින් දිගටම ප්‍රංශය යටතේ පාලනය වුනා.

මේ දේශපාලන තත්වය ක්‍රීඩාවටත් තදින්ම බලපෑවා. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සෙ බිහිවුන නව ලෝක රටාවේ බලවතා වෙන්න ඇමරිකාව සහ සෝවියට් දේශය පොර කෑවා. වඩා දියුණු සමාජය තමාගේ යැයි කියාගන්න මේ දෙරටම උත්සහ කළා. දෙපිලම ඒ සඳහා ක්‍රීඩාව යොදාගත්තා.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු කාලයේ කොමියුනිස්ට් රටවල් ක්‍රීඩාවේ දියුණුව සඳහා විශාල ආයෝජනයක් කලා. ඒ අනුව 1950 දශකයේ මැද භාගයේ සිට ලෝකයේ ක්‍රීඩාව අතින් අංක එක තැනට එන්න සෝවියට් දේශයට හැකි වුනා.

ඒ වැඩ පිළිවෙලේම කොටසක් විදිහට තමයි හන්ගේරියාව ලෝක පාපන්දු බලවතා බවට පත් වෙන්නේ.

මේ තත්වය බටහිර යුරෝපයේ උභතෝකෝටිකයක් ඇති කලා. එක අතකින් හන්ගේරියාව ප්‍රේක්‍ෂකයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලබාගෙන හිටියා. ඔවුන් ගේ තරග බලන්න විශාල ප්‍රේක්‍ෂක පිරිසක් ආවා. එමගින් සංවිධායකයන්ට විශාල මුදලක් උපයාගන්න හැකි වුනා. ඒත් අනික් අතින් හන්ගේරියානු පිලේ සාර්ථකත්වය කියාපෑවේ ධනවාදී සමාජයට වඩා කොමියුනිස්ට් සමාජයේ සාර්ථකත්වය​.

1954 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ මේ වගේ පසුබිමක​.



තෝරාගැනීමේ තරග​

 


තරගාවලිය පැවැත්වුනේ මධ්‍යස්ථ රටක් වුන ස්විට්සර්ලන්තයේ.

තෝරාගැනීමේ තරග පැවැත්වුනේ ස්ථාන 14 ක් වෙනුවෙන්. මේ ස්ථාන 16 යුරෝපයට සහ මැදපෙරදිගට 11 ක්, දකුණු ඇමරිකාවට 1ක්,  උතුරු ඇමරිකාවට 1ක් සහ ආසියාවට 1ක් වශයෙන් වෙන් වුනා.

කලින් වතාවේ ශූරයන් විදිහට උරුගුවේ සහ සත්කාරක රට විදිහට ස්විට්සර්ලන්තය කෙලින්ම සුදුසුකම් ලැබුවා.

සෝවියට් දේශය තරගාවලියට ඉදිරිපත් වුනේ නෑ.

නැගෙනහිර ජර්මනියත් ඉදිරිපත් වුනේ නෑ. බටහිර ජර්මනිය සහ සාර් ආරක්‍ෂිත ප්‍රදේශය කණ්ඩායම් දෙකක් වෙන වෙනම ඉදිරිපත් කලා. ඒත් සුදුසුකම් ලැබුවේ බටහිර ජර්මනිය පමණයි.

අවසානයේ තරගාවලියට සුදුකම් ලැබුව කණ්ඩායම් 16 වුනේ ස්විට්සර්ලන්තය​, උරුගුවේ, ඔස්ට්‍රියාව​, බෙල්ජියම​, චෙකොස්ලොවැකියාව​, එංගලන්තය​, ප්‍රංශය​, හන්ගේරියාව​, ඉතාලිය​, ස්කොට්ලන්තය​, බටහිර ජර්මනිය​, යුගොස්ලාවියාව​, මෙක්සිකෝව​, බ්‍රසීලය, තුර්කිය සහ දකුණු කොරියාව​.

මේ කණ්ඩායම් 16 ශ්‍රේණිගත කිරීම් අනුව "ප්‍රධාන​" 8 ක් සහ "සුළු" 8 ක් විදිහට කොටස් දෙකකට බෙදුනා. ඒ අනුව බ්‍රසීලය​, ප්‍රංශය​, හන්ගේරියාව​, තුර්කිය​, උරුගුවේ, ඔස්ට්‍රියාව​, එංගලන්තය සහ ඉතාලිය ප්‍රධාන කණ්ඩායම් විදිහටත් අනෙක් කණ් ඩායම් සුළු කණ්ඩායම් විදිහටත් වර්ග කෙරුනා.


මූලික වටය​


මූලික වටයේ තරග පැවැත්වුනේ කණ්ඩායම් හතර බැගින් වුනු කාණ්ඩ 4 කට​. හැම කාණ්ඩයටකම ප්‍රධාන කණ්ඩායම් දෙකක් සහ සුළු කණ්ඩායම් දෙකක් අඩංගු වුනා. කාණ්ඩය ඇතුලේ තරග පැවැත්වුනේ ප්‍රධාන කණ්ඩායම් සහ සුළු කණ්ඩායම් අතර පමණයි. වැඩිම ලකුණු ලබා ගත්ත කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

හන්ගේරියාව අයත් වුනේ දෙවැනි කාණ්ඩයට​. එයට අයිති වුන අනෙක් කණ්ඩායම් වුනේ තුර්කිය​, බටහිර ජර්මනිය සහ දකුණු කොරියාව​. මේ කාණ්ඩය සැලකුනේ පහසු කාණ්ඩයක් විදිහට​. කොරියානු යුද්ධයෙන් සහ දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනියත් දකුණු කොරියාවත් සම්පූර්නයෙන්ම විනාශ වෙලා තිබුන නිසා ඒ රටවල පාපන් දු ක්‍රීඩාව තිබුනේ දුර්වල අඩියක​. ප්‍රධාන කණ්ඩායම් දෙක වුන හන්ගේරියාව සහ තුර්කිය පහසුවෙන්ම ඊළඟ වටයට සුදුසුකම් ලබයි කියල කවුරුත් බලාපොරොත්තු වුනා.

කාණ්ඩයේ පළමු තරගය පැවැත්වුනේ බටහිර ජර්මනිය සහ තුර්කිය අතර​. බටහිර ජර්මනියේ වෘත්තීය පාපන්දු සමාජ මේ වනවිටත් හරිහැටි ආරම්භ වෙලා තිබුනේ නෑ. ඒ නිසා ඔවුන් ගේ පිලේ වැඩි දෙනා ආධුනික ක්‍රීඩකයන් වුනා. නමුත් කවුරුවත් නොසිතූ විදිහට ඔවුන් 4-1 විදිහට තරගය ජයග්‍රහනය කලා.

දකුණු කොරියාව සහ හන්ගේරියාව අතර පැවැත්වුන ඊළඟ තරගයේදී හන්ගේරියාව තමාගේ සුපුරුදු දක්‍ෂකම් පෙන්වමින් 9-0 විදිහට තරගය ජයග්‍රහනය කලා. එහිදී කොචිස් ගෝල ත්‍රිත්වයක් ලබා ගත් අතර පුස්කාස් සහ පලොටාස් ගෝල දෙක බැගින් ලබා ගත්තා.

දකුණු කොරියාවට එරෙහිව කොචික් ගේ ගෝලයක්
බටහිර ජර්මනිය එක්ක තිබුන ඊළඟ තරගයත් 8-3 වශයෙන් පහසුවෙන් ජය ගන්න හන්ගේරියාවට හැකි වුනා. එහිදී කොචික් ගෝල හතරක් සහ හිඩෙග්කුටි ගෝල දෙකක් ලබා ගත්තා. නමුත් අවාසනාවකට පුස්කාස් මේ තරගයේදී ජර්මානු ආරක්‍ෂකයන් ගේ රළු ක්‍රීඩා විලාශයකට ඉලක්ක වුනා. එහි ප්‍රතිඵල වුනේ ඔහුගේ වම් පාදයේ සුළු අස්ථි බිඳීමක් ඇති වීම​. මේ නිසා ඔහුට ඉදිරි තරග වලට සහභාගී වෙන්න බැරි වුනා.

මේ අතර තුර්කිය 7-0 වශයෙන් දකුණු කොරියාව පරාජය කිරීම නිසා බටහිර ජර්මනිය සහ තුර්කිය ලකුණු සම තත්වයට පැමිනියා. ඒනිසා ඒ දෙරට අතර තවත් තරගයක් පැවැත්වුනා. එයින් 7-2 වශයෙන් ජය අරගෙන ඊළඟ වටයට යන්න බටහිර ජර්මනිය සමත් වුනා.


බර්න් හි සටන​


අර්ධ අවසන් පූර්ව තරගය සඳහා හන්ගේරියාව සමඟ තරග වැදුනේ බ්‍රසීලය​. කණ්ඩායම් දෙකම ඉතාමත් දක්‍ෂ සහ ආක්‍රමනශීලී ක්‍රීඩකයන් ගෙන් පිරුණු තමාටම ආවේනික තරග රටාවන් අනුගමනය කරන කණ්ඩායම් දෙකක් වුනු නිසා කවුරුත් විශිෂ්ඨ තරගයක් බලාපොරොත්තු වුනා.

ඒත් තරගය ඉවර වුනාට පස්සේ තරගයේ විනිසුරුවරයා තරගය ගැන කිව්වේ මේ වගේ:

"මම හිතුවේ ඒක මම ජීවිතේට දකින හොඳම තරගය වෙයි කියලා. මම හිටියෙ ඉතාම සතුටින්. මම දන්නෙ නෑ ඒකට හේතු වුනේ දේශපාලනයද ආගමද නැත්තං වෙන මොකක් හරි ද කියල​. ඒත් ඔවුන් හැසිරුනේ වල් සත්තු වගේ. ඒක අවමානයක්. ඒක ඉතාම නරක තරගයක්."


තරගය පැවැත්වුනේ මහ වැස්සකින් මඩ ගොඩක් බවට පත් වුනු ක්‍රීඩා පිටියක​. මඩ නිසා කණ්ඩායම් දෙකටම තමාගේ නිදහස් ක්‍රීඩා විලාශයට අවතීර්න වෙන්න අපහසු වුනා. මේ නිසා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් හිටියෙ නොරිස්සුමෙන්.

තරගයේ තුන්වැනි සහ හත්වැනි විනාඩි වලදී හිඩෙග්කුටි සහ කොචිස් විසින් ලබා ගත් ගෝල දෙකක් හරහා හන්ගේරියාව 2-0 ලෙස ඉදිරියට ආවා. ඒත් වැඩි වෙලාවක් නොගිහින් සපත්තු වලින් තුවාල වුන ක්‍රීඩාපිටිය මඩ ගොඩක් බවට පත් වුනා.

මඩ නිසා ක්‍රීඩකයන්ට පන්දුව පාලනය කරගන්න අපහසු වුනා. වේගවත් ධාවනයන්ට ඉඩක් ලැබුනෙත් නෑ. මේ නිසා කණ්ඩායම් දෙකම වඩාත් රළු ක්‍රීඩා රටාවකට පෙළඹුනා. 18 වැනි විනාඩියේදී හන් ගේරියාවට එරෙහිව ලැබුනු දඬුවම් පහරකින් ලකුණු පුවරුව 2-1 බවට පත් කරන්න ජල්මා සැන්ටෝස් සමත් වුනා.

60 වෙනි විනාඩියේදී බ්‍රසීලයට එරෙහිව ලැබුනු දඬුවම් පහරක් මගින් තුන්වැනි හන්ගේරියානු ගෝලය ලබා ගන්න ලැන්ටෝස් සමත් වුනා. නමුත් ඒ එක්කම බ්‍රසීල පුහුණුකරු සහ මාධ්‍යවේදීන් පිරිසක් පිටියට කඩා වැදුනා. පිටියේ ඇති වුන මහා කලබගෑණිය නවතන්න පොලිසියට මැදිහත් වෙන්න සිදු වුනා.


සුළු වේලාවකට පස්සේ බ්‍රසීල ප්‍රහාරක ජුලීඤෝ ලබාගත්ත ඉතාම අලංකාර ගෝලයක් හරහා ලකුණු පුවරුව 3-2 බවට පත් කරන්න බ්‍රසීලය සමත් වුනා.

හැත්තෑ එක් වෙනි විනාඩියේදී බ්‍රසීල ආරක්‍ෂක නිල්ටන් සැන්ටෝස් ගේ ඉතාමත් රළු ටැකල් කිරීමක් නිසා ජෝෂෙෆ් බොෂික් බිම ඇද වැටුනා. නැවතත් නැගී සිටිය බොෂික් සැන්ටෝස් ට පහර දුන්නා. ක්‍රීඩකයන් දෙන්නා අතර ඇතිවුන ගුටි කෙළිය නවතන්න විනිසුරුවාට මැදිහත් වෙන්න වුනා. ඔහු දෙදෙනාටම රතු කාඩ්පත් පෙන්වා පිටියෙන් ඉවත් කළා.


නමුත් ගැටුම අනෙක් ක්‍රීඩකයන් අතරටත් පැතිර ගියා. ජල්මා සැන්ටෝස් කෙළ ගසමින්, කුණුහරුපයෙන් ශාප කරමින් සහ වියරු අභිනයන් දක්වමින් සොල්තාන් සීබොර් පසු පස හඹා ගියා.

කාලය කෙමෙන් ගත වෙද්දී බ්‍රසීලය සියළුම ක්‍රීඩකයන් යොදාගනිමින් හන්ගේරියානු ගෝලයට දැඩි ප්‍රහාරයක් එල්ල කරා. ඔවුන් ගෝලය වෙත ප්‍රහාර කීපයක්ම යොමු කළත්, ඒවා ගෝල බවට පත් කරගන්න වාසනාව තිබුනේ නෑ. මේ ප්‍රහාරය අස්සේ බ්‍රසීල ආරක්‍ෂක පෙළේ ඇති වුනු සිදුරකින් රිංගා ගිය කොචිස් 88 වැනි විනාඩියේදී තවත් ගෝලයක් වාර්තා කලා. ලකුණු පුවරුව 4-2.

තරගය අවසාන වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී බ්‍රසීල ප්‍රහාරක උම්බෙර්ටෝ ටොසී හන්ගේරියානු මැදපෙළ ක්‍රීඩක ගියුලා ලෝරන්ට් ට පයින් ගැහුවා. ලෝරන්ට් වේදනාවෙන් මිරිකෙමින් බිම ඇද වැටෙද්දී ටොසීට හිමිවුනේ රතු කාඩ් පත​.


තරගය අවසන් වුනේ හන්ගේරියාව 4-2 වශයෙන් ජය ගැනීමෙන්.

තරගය අවසන් වුනත් ගුටිබැට හුවමාරුව අවසන් වුනේ නෑ. ක්‍රීඩාගාරය වෙත යාමෙන් අනතුරුව ගැටුම දිග් ගැස්සුනා. සමහර සාක්‍ෂි කරුවන්ට අනුව පුස්කාස් බෝතලයකින් බ්‍රසීල ක්‍රීඩකයෙක්ට පහර දුන්නා. බ්‍රසීල ක්‍රීඩකයන් හන්ගේරියානු කාමරයට කඩා වැදුනා. ඇති වුනු ගුටි කෙලියේදී ක්‍රීඩකයන් කීපදෙනෙක්ම තුවාල ලැබුවා. හන් ගේරියානු පුහුණුකරුගේ මුහුණට මැහුම් හතරක් දාන්න සිදු වුනා.

මේ තරගය "බර්න් හි සටන​" විදිහට පාපන්දු ඉතිහාසයට එක් වුනා.

අවසන් පූර්ව තරගය​


අවසන් පූර්ව තරගයේදී බ්‍රසීලයට මුණ ගැහුනේ ලෝක ශූරයන් වුන උරුගුවේ කණ්ඩායම​. බොහෝ විචාරකයන් ගේ මතය අනුව තරගාවලියේ හොඳම කණ්ඩායම් දෙක වුනේ හන්ගේරියාව සහ උරුගුවේ. ඒ වගේම ඉතාම විශිෂ්ඨ තරගයක් කාටත් දැකගන්න පුළුවන් වුනා.

තරගය පටන් ගත්ත මොහොතේ ඉඳලම හන්ගේරියාව ක්‍රීඩා කලේ ඉතාම ආක්‍රමනශීලී විදිහට​. උරුගුවේ ආරක්‍ෂක ක්‍රීඩකයන් ඔවුන් ගේ ප්‍රහාරයන් කීපයක්ම වළක්වන්න සමත් වුනා. ඒත් 13 වැනි විනාඩියේදී සීබොර් පළමු ගෝලය වාර්තා කළා.

පළමු භාගය පුරාවටම දෙපිලම ඉතාම ආක්‍රමනශීලි විදිහට ක්‍රීඩා කළත් දෙපිලේම දැල රකින ක්‍රීඩකයන් ගේ දක්‍ෂතා නිසා පළමු භාගය අවසන් වුනේ ලකුණු පුවරුව 1-0 විදිහට​.


46 වැනි විනාඩියේදී හිඩෙග්කුටි හන්ගේරියාවේ දෙවැනි ගෝලයත් ලබා ගත්තා. කණ්ඩායම් දෙකම දිගටම ආක්‍රමන්ශීලී ක්‍රීඩාවක නිරත වුනා.

තරගය අවසන් වෙන්න විනාඩි 15 ක වගේ කාලයක් ඉතිරිව තිබියදීත් ලකුණු පුවරුව කියැවුනේ 2-0 විදිහට​. ඒ මොහොතේදී තමයි උරුගුවේ මැදපෙළ ක්‍රීඩක ජුවාන් ෂියාෆිනෝ සහ ප්‍රහාරක ජුවාන් හෝබර්ග් ක්‍රියාත්මක වුනේ. 75 වෙනි සහ 86 වෙනි විනාඩි වලදී ෂියාෆිනෝ ගේ පන් දු යොමු කිරීම් හන්ගේරියානු ගෝලය තුළට යොමු කරන්න හෝබර්ග් සමත් වෙනවා.

තරගය අවසන් වෙන්නේ 2-2- විදිහට​.

අතිරේක කාලය පටන් අරන් සුළු මොහොතකින් නැවතත් ෂියාෆිනෝ සහ හෝබර්ග් ක්‍රියාත්මක වෙනවා. ඒත් මෙවර උරුගුවේ පිළට වාසනාව නෑ. බෝලය ගෝලයට අඟල් කීපයක් ඈතින් යනවා.

තරගය නිමාවෙන්න විනාඩි 9 ක් තිබියදී බුදායි ගේ පන්දු යොමු කිරීමක් හිසෙන් උරුගුවේ ගෝලය තුළට යවන්න කොචිස් සමත් වෙනවා. ඊට විනාඩි පහකට පස්සෙ බොෂික් ගේ පන්දු යොමු කිරීමක් නැවතත් හිසෙන් පහරදී හතරවැනි හන්ගේරියානු ගෝලය ලබා ගන්න කොචිස් සමත් වෙනවා.


තරගය අවසන් වෙන්නේ 4-2 ලෙසට හන් ගේරියාව ජයග්‍රහණය කිරීමෙන්.

මේ තරගය අදටත් සැලකෙන්නේ පාපන්දු ඉතිහාසයේ විශිෂ්ඨතම තරගයක් විදිහට​.


බර්න් හි ආශ්චර්‍යය​


අවසාන තරගයට කවුරුත් නොසිතූ විදිහට හන්ගේරියාවේ ප්‍රතිවාදියා වෙන්නේ බටහිර ජර්මනිය​. අත්දැකීම් විරල ආධුනික ක්‍රීඩකයන් ගෙන් සමන්විත වුනු බටහිර ජර්මනි කණ්ඩායම ඉතා දැඩි අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාශයක් සහ තරග සංවිධානයේ තිබුණු අඩුපාඩුවක් නිසා ඉදිරියට එන්න සමත් වුනා.

මූලික වටයෙන් කාණ්ඩයෙන් දෙදෙනා බැගින් ඊළාඟ වටයට තේරුනත්, ඊළඟ වටයේදී තරග පැවැත්වුනේ හැම කාණ්ඩයේම පළමු ස්ථානය ගත් කණ්ඩායම් එක පසෙකත් දෙවැනි ස්ථාන ගත් කණ්ඩායම් එක පසෙකත් තියෙන විදිහට​. ඒ නිසා හන්ගේරියාවට බ්‍රසීලය, උරුගුවේ වැනි ඉතා අසීරු ප්‍රතිවාදීන් හමුවෙද්දී බටහිර ජර්මනියට හමුවෙන්නේ යුගොස්ලාවියාව, ඔස්ට්‍රියාව වැනි සාපේක්‍ෂව පහසු ප්‍රතිවාදීන්.


ආයෙත් තරගය පැවැත්වුනේ වැස්සෙන් තෙතබරි වුන ක්‍රීඩා පිටියක​. මේ තත්වය හන්ගේරියාවේ වේගවත්, කෙටි යොමු කිරීම් සහිත ක්‍රීඩාවට විශාල බාධකයක් වුනත් ජර්මනියේ ක්‍රීඩා විලාශයට එතරම් බලපෑමක් වුනේ නෑ.

ඒ වගේම අවසන් තරගයට පුස්කාස් නැවත් කණ්ඩායමට එක් වුනා. ඒත් ඔහුගේ කකුල හොඳටම සුවපත් වෙලා තිබුනේ නෑ.

තරගය පටන් ගත්ත විගසම හන්ගේරියාව තමාගේ සුපුරුදු ආක්‍රමනශීලී ක්‍රීඩා විලාශයට යොමු වුනා. 6 වැනි විනාඩියේදී පුස්කාස් සහ 8 වැනි විනාඩියේදී සීබොර් ලබා ගත් ගෝල හරහා හන්ගේරියාව 2-0 විදිහට ඉදිරියට ආවා.

ඒත් වැඩි වෙලා නොගිහින් ජර්මනිය ප්‍රතිප්‍රහාර එල්ල කලා. 10 වැනි විනාඩියේදී මොර්ලොක් ජර්මනිය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තා. 18 වැනි විනාඩියේදී රාන් ජර්මනියේ දෙවැනි ගෝලයත් ලබා ගනිමින් ලකුණු 2-2 ලෙස සම කළා.

මේ දෙවැනි ගෝලය ඉමහත් මතබේදයට තුඩු දුන්න ගෝලයක්. ජර්මන් පිලේ කොන් පහර අල්ලගන්න හන් ගේරියානු දැල රකින්නා ඉදිරියට ආවත් ජර්මන් ක්‍රීඩකයෙක් ඔහුට බාධා කළා. මේ නිසා රාන් ගෝලය ලබාගත්තේ ප්‍රතිරෝධයකින් තොරව​. නමුත් විනිසුරුවා මේ බාධා කිරීම දකින්නේ නෑ.


එතැන ඉඳල පැවතුනේ ඉතා තියුණු තරගයක්. එන්න එන්නම මඩ වෙන පිටියේ දෙපිලම ක්‍රීඩා කලේ ඉතා අපහසුවෙන්. ඒත් "අඩිඩාස්" සමාගමෙන් ලබා දුන් විශේෂ සපත්තු නිසා ජර්මන් කණ්ඩායමට මඩ ප්‍රශ්නයක් වුනේ අඩුවෙන්. හන්ගේරියානුවන් මේ මඩ ගොහොරුව මත දැඩි අසීරුවෙන් තමාගේ සුපුරුදු ක්‍රීඩා රටාවට එළැඹෙන්න උත්සහ කළා.


ජර්මන් දැල රකින ක්‍රීඩක ටුරෙක් ගේ දක්‍ෂතාවය සහ අවාසනාව නිසා හන්ගේරියාවට ගෝල ලබා ගැනීමේ අවස්ථා කීපයක්ම ගිලිහිලා ගියා. කොචිස් ගේ පහරක් ඉතා දක්‍ෂ ලෙස ටුරෙක් රැකගත්ත අතර හිඩෙග්කුටි ගේ පහරක් ගෝලයේ හරස් පොල්ලේ වැදුනා.

තරගයේ අවසාන මොහොත දක්වා ලකුණු පුවරුව කියැවුනේ 2-2 විදිහට​.

ඒත් 84 වැනි විනාඩියේදී හන් ගේරියානු ආරක්‍ෂක පෙලේ සුළු අතපසු වීමකින් ප්‍රයෝජන ගත්ත රාන් තමාගේ දෙවැනි සහ ජර්මනියේ තුන්වැනි ගෝලය ලබා ගත්තේ කවුරුත් විශ්මයට පත් කරමින්. දැන් ජර්මනිය 3-2 ව්දිහට ඉදිරියෙන්. තරගය නිමා වෙන්න තියෙන්නේ විනාඩි 10 කට අඩු කාලයක්.


විනාඩි දෙකකට පස්සෙ ටොත් ගේ ස්ථාන ගත කිරීමක් යන්තම් ජර්මන් ගෝලය තුළට යවන්න පුස්කාස් සමත් වුනා. දැන් ආයෙත් ලකුණු සම වෙලා.


ඒත් පැති විනිසුරු පුස්කාස් ඕෆ් සයිඩ් බවට තීරණය කළා. ගෝලය ලබා දුන්නේ නෑ. ලකුණු පුවරුව කියැවුනේ 3-2 විදිහට​.

නමුත් පසුව රූපවාහිනී දර්ශන වලින් පෙනුනේ පුස්කාස් ඕෆ් සයිඩ් නොවන බව​. මේ තීරණය අදටත් ලෝක කුසලාන ඉතිහාසයේ ඉතාමත් මතබේධාත්මක තීරණයක්.

නොබෝ වේලාවකින් තරගය අවසන් වුනා. බටහිර ජර්මනිය ක්‍රීඩා ඉතිහාසයේ දැවැන්තම පෙරළියක් සිදු කරමින් 3-2 විදිහට 1954 ලෝක කුසලානය ජය ගන්න සමත් වුනා. ඔවුන් අතින් පරාජය වුනේ පාපන්දු ලොව දැවන්තයක් වුන මැග්යාර් මායාකාරයෝ.


තරගාවලිය අවසන් වුනත් මතබේද අවසන් වුනේ නෑ. ටික දවසකින් බටහිර ජර්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම අසනීප වුනා. ඔවුන් තහනම් උතේජක ලබා ගත් බවට කටකතා පැතිර ගියා. බටහිර ජර්මනිය මේ චෝදනා ප්‍රතික්‍ෂේප කළත්, පසු කාලීන සොයා බැලීම් වලින් ඉඟි කෙරුනේ මේ චෝදනා ඇත්ත බව.

කොහොම නමුත් මුළු ලෝකයම තමා අබියස දණ ගැස්වූ මායාකාරයන්ට ගෙදර යන්න වුනේ හිස් අතින්.


No comments:

Post a Comment