ඉස්ලාම් ධර්මයේ මූලික හරය අඩංගු වන කරුණු පහ හැඳින්වෙන්නේ "ඉස්ලාමයේ කුළුණු පහ" (Five Pillars of Islam) කියලා. මේක අරාබි බසින් "අර්කාන් අල්-ඉස්ලාම්" කියලා හැඳින්වෙනවා.
මේ කරුණු පහ සියළුම මුස්ලිම් වරු විසින් පිළිපැදිය යුතු වන අතර, මුස්ලිම් ජීවන ක්‍රමය ඒ මතින් හැඩ ගස්වාගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේක බෞද්ධයන් ගේ තිසරණ පන්සිල් වලට සමාන කරන්න පුළුවන්.
(මෙතැන දක්වලා තියෙන්නෙ සුන්නි මුස්ලිම් වරුන් ගේ කුළුණු පහ. ෂියා මුස්ලිම් වරු මේ පහට අමතරව තවත් කරුණු කීපයක් අනුගමනය කරනවා.)
ඉස්ලාමයේ කුළුණු පහ
1. ෂහදා (ශ්‍රද්ධාව)
2. සලාහ් (නැමදීම)
3. සකාත් (දානය)
4. සව්ම් (උපවාසය)
5. හජ් (වන්දනාව)
පස් වැනි කුළුණ - හජ් (වන්දනාව)
හජ් ලෙස හැඳින්වෙන්නේ සියළුම යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුතු මුස්ලිම් වරු මෙකා නගරයට යා යුතු වන්දනා ගමන.
හජ් මගින් මුස්ලිම් වරයෙක් ගේ දෙවියන්ට ඇති පක්‍ෂපාතීත්වය නිරූපනය වෙනවා.
හජ් වන්දනාවට වෙනත් දේශපාලන හේතුවකුත් තියෙනවා. මුහම්මද් නබි තුමාට දේව පණිවුඩය ලැබීමට පෙර සිට මෙකා නගරයට වන්දනා ගමන් පැමිණීම අරාබීන් අතර පැවති සිරිතක්. මේ වන්දනාකරුවන් මෙකා නගරයට ආදායම ගෙන ආ ප්‍රධාන මාර්ගයක් වුනා. නබි තුමා නව ඉස්ලාම් දහම ප්‍රචාරනය කරන්න පටන් ගත්තම මෙකා වැසියන් බියපත් වුනා අළුත් ආගම මගින් වන්දනා ගමන් නැති වෙලා ඔවුන් ගේ ආදායම් මාර්ගය අඩු වෙයි කියලා. ඒ නිසා මෙකා නගරයේ වැසියන් නබි තුමාට දැඩි විරෝධයක් එල්ල කලා. නමුත් නබි තුමා ඉතාම උපක්‍රමශීලීව වන්දනා ගමන ඉස්ලාමය තුළට ඇතුල් කර ගැනීම මගින් මෙකා වැසියන් ගේ පක්‍ෂපාතීත්වය දිනා ගන්න සමත් වුනා.
හජ් කාල සීමාව පටන් ගන්නේ ඉස්ලාමීය කැලැන්ඩරයේ අවසන් මාසය වන "දූ අල්-හිජා" මාසයේ 8 වැනිදා. එය දවස් පහක කාලසීමාවක් පුරා පැවැත්වී ඒ මාසයේම 12 වැනිදා අවසන් වෙනවා.
හජ් වන්දනාවේ සිරිත් - විරිත්
හජ් වන්දනාව ඇරඹෙන්නේ වන්දනා කරුවන් "මිකට්" නමින් හැඳින්වෙන විශේෂ ස්ථාන කීපයකින් එකකට පැමිනි පසු. එතැනදී ඔවුන් වන්දනාව වෙනුවෙන් පේ වෙනවා. මේ පේ වීම හඳුන්වන්නේ "ඉහ්.රාම්" කියලා. විශේෂයෙන්ම ඔවුන් තමාගේ සාමාන්‍යය ඇඳුම් ඉවත් කරලා සුදු රෙදි දෙකකින් සමන්විත විශේෂ ඇඳුමක් අඳින්න ඕනෙ.
ඊට අමතරව හිස කෙස් කැපීම, දඩයම් කිරීම, සජීවී තත්වයේ ඇති ගහක් හෝ පැලෑටියක් කැපීම හෝ උදුරා දැමීම සහ වෙනත් වන්දනා කරුවෙක් විසින් දමා ගිය දෙයක් අහුලා ගැනීම තහනම් වෙනවා.
ඊළඟට වන්දනා කරුවන් මෙකා නගරයේ ඇති විශාලම පල්ලිය වන "අල්-මස්ජිද් අල්-හරම්" වෙත පැමිණෙනවා. ඔවුන් එහිදී "තවාෆ්" නමින් හැඳින්වෙන වෘතයේ යෙදෙනවා. මෙහිදී කෙරෙන්නේ පල්ලිය මැද ඇති "කබාහ්" නමින් හැඳින්වෙන කළු පැහැති හතරැස් ගොඩනැගිල්ල වටා වාමාවර්තව වට හතක් ගමන් කිරීම.
ඉන් පසුව වන්දනා කරුවන් "ඊබ්‍රහිම් ගේ මාළිගය" නමින් හැඳින්වෙන ස්ථානයක්දී විශේෂ නැමදීමකට සහභාගී වෙනවා. නැමදීමෙන් පසු ඔවුන් "සම්සම්" නමින් හැඳින්වෙන ළිඳකින් වතුර පානය කරනවා.
ඊළඟට තියෙන්නේ "සායි" නමින් හැඳින්වෙන වෘතය. මෙහිදී වන්දනා කරුවන් කබාවට නුදුරින් ඇති "අල්-සෆා" සහ "අල්-මර්වහ්" නමින් හැඳින්වෙන කුඩා කඳුගැට දෙකක් අතර හත් වරක් ගමන් කරනවා.
සායි වෘතයෙන් සමරන්නේ දෙවියන් විසින් ඊබ්‍රහිම් ගේ දේව භක්තිය පරික්‍ෂා කිරීමේ සිද්ධිය. මෙය දෙවියන් කෙරෙහි ඇති අචල විශ්වාසය ප්‍රකාශ කිරීමක්.
මේ සියල්ල සිද්ධ වෙන්නෙ හිමිදිරි පාන්දර. උදෑසන නැමදුමෙන් පස්සෙ වන්දනා කරුවන් සියල්ලම "මිනා" නම් ස්ථානයට එනවා. මිනා පිහිටල තියෙන්නෙ මෙකා නගරයේ සිට කිලෝ මීටර් 5 ක් දුරින්. එතැන ඔවුන් වෙනුවෙන් විශේෂ කූඩාරම් සූදානම් කරල තියෙනවා. ඔවුන් එතැන මුළු දවසම ගත කරනවා.
දෙවැනි දවසේ වන්දනා කරුවන් මෙකා නගරයෙන් කිලෝමීටර් 20 ක් දුරින් පිහිටි "අරෆත්" නම් ස්ථානයට පැමිණෙනවා. එතැන කාන්තාරය මැද පිහිටි විශාල ගල් කන්දක්. බොහොම දුෂ්කර තැනක් වෙන අරෆත් හිදී වන්දනා කරුවන් මද්දහනේ සිට හිරු බැස යන තුරු තමාගේ පසුගිය පාපයන් ගැන සිහි කරමින් පසුතැවිලි වෙමින් දෙවියන් ගෙන් සමාව අයැදිනවා. ඒ අතර අසල පිහිටි "ජබාල් අල් - රහ්මා" නම් කඳු ගැටයේ සිට ඉස්ලාමීය විද්වතුන් ගේ දේශනා විකාශය කෙරෙනවා. මේ වෘතය හැඳින්වෙන්නේ "වුකුෆ්" හෙවත් "දෙවියන් ඉදිරියේ සිටගැනීම" නමින්.
මද්දහන සහ සවස් නැමදීම් අරෆත් හිදී සිදු කරන බැතිමතුන් බටහිර සහ රාත්‍රී නැමදීම් සඳහා "මුසදලිෆාහ්" නම් ස්ථානයට පැමිණෙනවා. එහිදී ඔවුන් පසුදින වෘතය සඳහා කුඩා ගල් කැට එකතු කරමින් රාත්‍රිය එළිමහනේ ගත කරනවා. නිදාගන්නේත් එළිමහනේදීමයි.
පසුදා උදෑසන වන්දනාකරුවන් නැවතත් මිනා වෙත එනවා. මිනා හි තියෙන යක්‍ෂයා නිරූපනය කෙරෙන විශාල ගල් කුළුණු තුන වෙත පෙරදා අහුලාගත් ගල් කැටවලින් දමා ගැසීම එහිදී සිදු කෙරෙනවා. මෙය හැඳින්වෙන්නේ "රමි අල් - ජමරත්" හෙවත් යක්‍ෂයාට ගල් ගැසීම නමින්. මෙයින් සංකේතවත් කෙරෙන්නේ යක්‍ෂයා විසින් නපුරට පොළඹවා ගැනීම සිත දමනය කර ගැනීම මගින් වැලැක්වීම.
ඊට පස්සෙ දෙවියන් වෙනුවෙන් සතෙක් බිලි දීම කෙරෙනවා. සාම්ප්‍රදායිකව මෙම බිලිදීම වන් දනාකරුවා විසින් හෝ ඔහුගේ/ඇයගේ ඉදිරිපිටදී වෙනත් අයෙක් විසින් සිදු කළත් වර්තමානයේදී බොහෝ විට සිදු කෙරෙන්නේ මුදලට සතෙක් මිලදී ගැනීම පමණයි. මුදල් ගනුදෙනුව පමණක් වන්දනා කරුවා සිදු කරන අතර ඒ මුදලට සරිලන සතෙක් වෙනත් ස්ථානයකදී බිලි දීම සිදු කෙරෙනවා. බිලි දෙන සතුන් ගේ මස් ලොව පුරා දුප්පතුන් සහ සාගතයෙන් පෙළෙන්නන් අතර බෙදා හැරෙනවා.
ඉන් පසු "හලක්" නමින් හැඳින්වෙන හිස මුඩු කිරීම සිදු කෙරෙනවා. සියළුම පිරිමි වන්දනා කරුවන් හිස සම්පූර්නයෙන්ම මුඩු කරන අතර කාන්තාවන් හිසකෙස් අග කපා දැමීම කරනවා.
හිස මුඩු කළ පසු වන්දනා කරුවන් නැවතත් මෙකා නගරය වෙත ගොස් තවත් වරක් කබාහ් ගොඩනැගිල්ල වටා ගමන් කරමින් තවාෆ් වෘතයක නියැලෙනවා. ඉන්පසු නැවත රාත්‍රිය ගත කිරීම සඳහා මිනා වෙත පැමිණෙනවා.
ඊළඟ දින දෙක වන්දනා කරුවන් මිනා හි ගත කරමින් යක්‍ෂයාට ගල් ගැසීමේ නිරත වෙනවා.
අවසාන දිනයේදී නැවතත් මෙකාව වෙත යන වන්දනා කරුවන් අවසාන තවාෆ් වෘතය සිදු කරනවා. මෙය හැඳින්වෙන්නේ "තවාෆ් අල් - වදා" හෙවත් "සමුගැනීමේ තවාෆය" නමින්. මෙහිදී ඉඩක් ලදහොත් කබාලාව ස්පර්ශ කිරීම හෝ සිප ගැනීම සිදු කෙරෙනවා.
හජ් වන් දනාව අවසන් වෙන්නේ වන්දනා කරුවන් මදීනා නගරයේ ඇති "අල් - මස්ජිද් අන් - නබාවි" හෙවත් නබි තුමාගේ මස්ජීදය නමින් හැඳින්වෙන පල්ලිය වෙත පැමිනීමෙන්. මෙය නබි තුමාගේ සොහොන් ගැබ පිහිටා ඇති ඉතාමත් වැදගත් ස්ථානයක්.
වන්දනාවට සහභාගී වීම
හජ් වන්දනාව සිදු කෙරෙන මෙකා නගරය අයත් වන්නේ සවුදි අරාබියට නිසා එය පාලනය කිරීමේ සම්පූර්න බලය ඔවුන් සතු වෙනවා. ඒ ඒ රටින් කොපමන වන්දනා කරුවන් ගණනකට වීසා නිකුත් කරන්නේද යන්න තීරණය කරන්නේ සවුදි අරාබිය විසින්.
ඒ ඒ රටට කොපමණ වීසා ප්‍රමානයක් හිමි වන්නේද යන්න තීරණය වෙන්නේ ඒ රටේ මුස්ලිම් ජනගහණය අනුව.
2016 වසරේ හජ් වන්දනාව සඳහා සවුදි අරාබි ජාතිකයන් මිලියන 0.5 ක් සහ විදේශිකයන් මිලියන 1.3 ක් සහභාගී වුනා. ඉතිහාසයේ වැඩිම පිරිසක් හජ් වන්දනාවේ යෙදුනේ 2012 වසරේ. ඒ සවුදි අරාබි ජාතිකයන් මිලියන 1.4 සහ විදේශිකයන් මිලියන 1.8 ක්.
No comments:
Post a Comment