Tuesday, July 10, 2018

බ්‍රසීලයේ පාපන්දු නිල ඇඳුම​


ලෝකයේ වඩාත්ම හුරුපුරුදු පාපන්දු නිල ඇඳුම හිමි රට මොකද්ද කියල ඇහුවොත් උත්තරය බ්‍රසීලය. කහ පාට කමිසය, නිල් පාට කලිසම සහ සුදු පාට මේස් දුටු පමණින්ම ඕනම කෙනෙක් දන්නවා ඒ බ්‍රසීල කණ්ඩායම කියලා.

ඒත් බ්‍රසීලය හැමදාම ඇන්දෙ මේ පාට නෙවෙයි.

1919 ඉඳල 1950 වෙනතුරු බ්‍රසීල පිලේ ඇඳුම වුනේ තනි සුදු පාට ඇඳුමක්. කමිසයේ කොලරය සහ අත් කෙලවර පමණක් නිල් පාට සිහින් ඉරක් තිබුනා.

1950 ලෝක කුසලානය පැවැත්වුනේ බ්‍රසීලයේ. ඒ වෙනුවෙන්ම බ්‍රසීල රජය අළුත් ක්‍රීඩාංගනයක් ඉඳි කළා. ඒ තමයි ලෝක ප්‍රසිද්ධ "මරකනා" ක්‍රීඩා පිටිය​.

පළමු වටයේ තරග පැවැත්වුනේ කාණ්ඩ හතරකට​. අර්ධ අවසන් පූර්ව​, අවසන් පූර්ව හෝ අවසන් තරගයක් පැවැත්වුනේ නෑ. ඒ වෙනුවට කාණ්ඩ හතරේ මුල් තැන ආපු රටවල් හතර සහභාගී වුන ලීගයක් පැවැත්වුනා. ලීගයේ වැඩිම ලකුණු ලබාගන්න කණ්ඩායම තමයි ජයග්‍රාහකයා වුනේ.

කාණ්ඩ හතරෙන් අවසන් වටයට සුදුසුකම් ලැබුනේ බ්‍රසීලය, ස්පාඤ්ඤය​, ස්වීඩනය සහ උරුගුවේ.

අවසන් වටයේ බ්‍රසීලය සහභාගී වුන පළමු තරගයෙන්ම ඔවුන් ස්වීඩනය 7-1 ලෙස පරාජය කිරීමත් එක්කම ලෝක කුසලානය පිළිබඳ බ්‍රසීල ජනතාව තුල උණුසුම් බලාපොරොත්තු ඇති වුනා. මේ වෙන තුරු බ්‍රසීලය ලෝක කුසලානයක් දිනල තිබුනේ නෑ.

ඒ බලාපොරොත්තු ඉහළ නංවමින් ස්පාඤ්ඤය සමඟ ඊළඟ තරගය ඔවුන් දිනුවේ 6-1 විදිහට​.

මේ අතර උරුගුවේ ස්පාඤ්ඤය තරගය ජය පරාජයෙන් තොරව නිමා වුනා. ස්වීඩන් උරුගුවේ තරගයෙන් උරුගුවේත්, ස්පාඤ්ඤය ස්වීඩන් තරගයෙන් ස්වීඩනයත් ජය ලැබුවා.

මේ නිසා අවසන් තරගය වුන උරුගුවේ - බ්‍රසීල තරගයේ දී ලෝක කුසලානය ජය ගැනීම සඳහා බ්‍රසීලයට අවශ්‍යය වුනේ තරගය ජය පැරදුමෙන් තොරව නිම කිරීම පමණයි.

දකුණු ඇමරිකානු පාපන්දු දැවැන්තයන් දෙදෙනා අතර තරගය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත්තා.

47 වැනි විනාඩියේදී බ්‍රසීලය ගෝලයක් ලබාගෙන ඉදිරියට ආවත් 66 වෙනි සහ 79 වෙනි විනාඩි වලදී ගෝල දෙකක් ලබාගනිමින් උරුගුවේ කවුරුත් නොසිතූ විදිහට තරගයත්, ලෝක කුසලානයත් ජයග්‍රහනය කලා.


මේ පරාජයෙන් මුළු බ්‍රසීල ජාතියම කම්පා වුනා. බ්‍රසීල පිලේ ක්‍රීඩකයන් මානසික කඩා වැටීමකට ලක් වුනා. මානසික පීඩනය නිසා ඔවුන්ට තවදුරටත් පාපන්දු ක්‍රීඩා කරන්න නොහැකි වුනා.

මේ නිසා බ්‍රසීල ක්‍රීඩා කොන්ෆෙඩරේෂනය "සුවපත් වීමේ" වැඩසටහනක් හඳුන්වා දුන්නා. ඒ වැඩසටහනේ එක අංගයක් විදිහට කණ්ඩායමේ නිල ඇඳුම වෙනස් කරන්න ඔවුන් තීරණය කලා.

අළුත් නිල ඇඳුම සඳහා ඔවුන් තරගයක් පැවැත්වුවා. ඕනෑම කෙනෙක්ට තරගය වෙනුවෙන් සැලසුම් එවන්න ආරාධනා කළා.

තරගයෙන් ජය ගත්තේ බ්‍රසීලයේ දකුණු කෙලවරේ ඈත කුඩා නගරය වාසය කළ 19 හැවිරිදි ගැටවරයෙක්. ඔහු "අල්ඩයීර් ෂ්ලී".

 අල්ඩයීර් නිර්මානය කළ ඇඳුම තමයි අද බ්‍රසීල කණ්ඩායමේ කවුරුත් දන්න කහ - නිල් - සුදු ඇඳුම​.


ඇඳුමේ යම් කිසි වාසනාවක් තියෙනවා කියල හිතන්න පුළුවන්. මොකද ඇඳුම මාරු කරලා අවුරුදු 8 කින් 1958 දී බ්‍රසීලය තමාගේ පළමු ලෝක කුසලානය දිනා ගත්තා. එදා ඉඳල අද දක්වා ඔවුන් ලෝක කුසලාන පහක් දිනල තියෙනවා.

මේ කතාවේ උත්ප්‍රාසය මේකයි.

බ්‍රසීල ජාතිකයෙක් වුනත් අල්ඩයීර් එදා ඉඳල අද දක්වාම පාපන් දු තරග වලදී සහය දක්වන්නේ උරුගුවේ කණ්ඩායමට​. මෙවර ලෝක කුසලානයේදීත් ඔහු සහය දුන්නේ උරුගුවේ පිලට​.

1 comment:

  1. බ්‍රසීලයට ලෝකයම ආදරය කරන්නේ ඔවුන්ගේ ලොකු ලයින් නැති නිසා. ෆවුල් ගහනවා අඩු නිසා. මේ ඇඳුමම තමයි ස්වීඩනය අඳින්නෙත්. ඒ වුණාට ඔවුන්ට ඒ ආදරය නෑ. ඒ නිසා හිතා ගන්න පුළුවන් ආදරය හිමි වන්නේ නිහතමානී කම සහ අහිංසක කමට බව.

    ReplyDelete