බොර වතුර
එකෝමත් එක කාලෙක අඩ්ඩු අතොළුවේ දූපතකට වෙළඳ බෝට්ටුවක් ආවා. ඒ බෝට්ටුවේ හිටියා ඉතාම කඩවසම් මැදි වියෙ මනුස්සයෙක්. ඔහු වෙළඳාමට දූපතේ සති කීපයක් නැවතිලා හිටියා. ඒ කාලයේදී ඔහු නැවතිලා හිටියේ දූපත් වාසියෙක් ගෙ ගෙදරක. ඒ සති කීපයට ගෙදර මිනිස්සු එක්ක ඔහු බොහොම සුහද වුනා.
ඒ ගෙදර හිටියා ලස්සන ගෑණු ළමයෙක්. ඇගේ නම "එළ ෆාතුමා". ෆාතුමා ඒ ගෙදර පවුලේ කෙනෙක් නෙවෙයි. ඒ දූපතේම දුප්පත් පවුලක තරුණියක්. ඇය පුංචි කාලෙ ඉඳලම ඒ ගෙදර වැඩපළ කරගෙන ඒ ගෙදරම හැදුනු කෙනෙක්. ගෙදර අය ෆාතුමාට බොහොම හොඳින් සැලකුවා. ඒ නිසා ඇය හිටියෙ බොහොම සතුටින්.
අමුත්තා ආවට පස්සෙ ෆාතුමා ගෙදර දොරේ වැඩ පොළ කරේ වෙනදටත් වඩා සතුටින්. ඇය හැම වෙලේම හිටියෙ මද සිනාවක් මුහුණේ රඳවාගෙන. ඇය හැම වෙලේම සින්දුවක් මිමිනුවා. අමුත්තට දිනපතා කෑම, බීම, බුලත් විට දෙන්න නියම වෙලා තිබුනෙ ඇයට. එක දවසක් ඔහුට බුලත් විටක් දෙද්දි ඔවුන් ගේ දෑස් මුණගැහුනා. ඇය කෝල විදිහට හිනා වුනා. එදා ඉඳල ඇය ඔහුට වතුර වීදුරුවක් දෙන හැම වෙලේම ඔහු සෙල්ලමට වගේ ඇගේ ඇඟිලි තුඩු ස්පර්ශ කලා.
ටික දවසකින්ම ඔවුන් දෙන්නා ආදරයෙන් වෙළුනා.
අමුත්තා ඇයට විවාහ යෝජනා කළා. ඒත් ඔහු කිව්වා ඔහු තමාගෙ දූපතට ආපහු යන්නම ඕනෙ බව. ඇය දුර ඈත දූපතක ජීවත් වෙන්න කැමතිද කියලත් ඔහු ඇහුවා. ෆාතුමා ඔහුට බොහොම ආදරය කළ නිසා ඒකට කැමත් වුනා. ටික දවසකින් ඔවුන් දෙන්නා විවාහ වුනා.
විවාහ උත්සවයෙන් පස්සෙ ඔවුන් බෝට්ටුවක නැගල ඔහුගේ දූපත බලා පිටත් වුනා. ඈත උතුරු දිග දූපත් බලා බෝට්ටුව යත්‍රා කරද්දි ඇගේ හිත පුරාම තිබුනේ ඔහුත් එක්ක ගෙවන අළුත් සුන්දර දිවිය ගැන. ඇයට නිතර හිතුනා ඇය කොයිතරම් වාසනාවන්තද කියල.
ඒත්, ඔවුන් ඔහුගේ දූපතට ඇවිල්ල බෝට්ටුවෙන් ගොඩ බැස්ස විතරයි ඔහුව පිළිගන්න තරුණ ගෑණු ළමයි දෙන්නෙක් දුවගෙන ආවා. ෆාතුමා ගේ හිත කඩා වැටුනා. ඇගේ සැමියා වැන්දඹු මිනිහෙක්. ගෑණු ළමයි දෙන්නා ඔහුගේ දුවලා. ඔවුන් දෙන්නා බොහොම ආඩම්බර පාටයි. ෆාතුමාට වඩා ඔවුන් ලාබාල වුනේ අවුරුදු පහක්-හයක් විතරයි.
ෆාතුමා ලැජ්ජාවෙන් සහ දුකෙන් නොමැරුණා විතරයි. ඇගේ ලෝකය එක පාරටම බොහොම අඳුරු වුනා. ඇය ඉතාම අමාරුවෙන් ඇගේ හැඟීම් යටපත් කරගෙන සැමියාගෙ ගෙදර හැමෝටම හිනා මූණක් පෙන්නුවා.
දවස් දෙක තුනක් ගතවුනා. ඇය තමාගේ ලැජ්ජාව, කේන්තිය සහ දුක පිටතට නොපෙන්වා ඉන්න පරිස්සම් වුනා. ඒත් ඇගේ සැමියාට ඇගේ වෙනස තේරුනා.
"මම දන්නවා ඔයා තරහෙන් ඉන්නෙ ඇයි කියල"
"මම ඉන්නෙ තරහෙන් නෙවෙයි"
ඒත් ඇය ඉන්නෙ තරහින් කියල ඔහුට තේරුනා. ඇගේ ලස්සන හිනාව අතුරුදහන් වෙලා. ඇගේ තොරතෝංචියක් නැති කතාව නිහඬ වෙලා.
"මම දුවල ගැන ඔයාට කිව්වෙ නැත්තෙ ඔයා මාව කසාද බඳින්න අකැමැති වෙයි කියල බය හිතුන නිසා. බය වෙන්න එපා. ඒගොල්ලො ඔයාට ගෙදර වැඩට උදව් කරයි. ඔයාට ලේසි වෙයි."
ෆාතුමා දුක යටපත් කරගෙන ඉන්න උත්සහ කළා. ඇය කෙල්ලො දෙන්න එක්ක යාළු වෙන්න උත්සහ කළා. ඒත් ඔවුන් ඇයව මායිම් කලේ නෑ. ඔවුන් ගේ පියාගේ සැලකිල්ල සහ ආදරය මේ ඈත දූපතකින් ආපු ගෑණිට යොමු වෙලා තියෙන එක ගැන ඔවුන් සතුටු වුනේ නෑ.
මාස කීපයක් ගතවුනා. කෙල්ලො දෙන්නගෙ වෙනස්කම් එන්න එන්නම වැඩි වුනා. ෆාතුමාට ඒවා තනියම විඳ දරාගන්නව ඇරෙන්නෙ වෙන කරන්න දෙයක් තිබුනේ නෑ. ඇගේ හදවතේ තුවාලය බොහොම ගැඹුරට විහිදුනා. ඇයට ලොකු පාළුවක්, තනිකමක් දැනුනා. ඇයට දැනුනේ ඇය හිර වෙලා වගේ. ඇය කලින් ගත කරපු නිදහස් ජීවිතය ගැන ඇයට නිතරම සිහි වුනා. ඒ හැම සැරේම ඇගේ ඇස් දෙක කඳුළෙන් තෙත් වුනා.
ෆාතුමාට ආදරයක් පෙන්නුවේ ඇගේ සැමියා විතරයි. ඒත් ඔහුගේ හිතත් බිරිඳ සහ දූවරු දෙන්නා අතර බෙදිලා තිබුනා. ෆාතුමා තමාට කෙල්ලො දෙන්නගෙන් වෙන වෙනස් කම් ගැන සැමියට කිව්වෙ නෑ. ඔහු තමාගේ දූවරුන්ට බොහෝම ආදරෙයි.
තනිවුන හැම වෙලාවකම ෆාතුමා අඳුරු මුල්ලක් ගුලි වෙලා ඉඳගෙන හොඳටම ඇඬුවා.
මාළු අල්ලන කාලය ආව. දූපත් වාසීන් මාළු වලින් උම්බලකඩ හදන්න ලෑස්ති වුනා. හැමෝම මාළු තම්බන්න දර හොයන්න හැමෝම අවට මිනිස් වාසයෙන් තොර දූපත වලට ගියා.
එක දවසක් උදේ පාන්දරම ෆාතුමා ගේ සැමියත් ෆාතුමා සහ දූවරු දෙන්න එක්ක ඔවුන් ගේ දූපත ළඟ තිබුන මිනිස් වාසයෙන් තොර දූපතකට ආව. ඔවුන් ගියේ කුඩා රුවල් ඔරුවක. ඔවුන් දවල්ට කෑම හදන්න වළං දෙක තුනක්, හාල්, එළවළු සහ දර කපන්න කතිවලි (ලොකු පිහියක්) අරගෙන ගියා.
දූපතට ගොඩබැස්සම ඔවුන් වෙරළේ තිබුන පොඩි පැල් කොටයක් අස පස් කරල ගත්තා. ඒ ඔවුන් ගෙ වාඩිය. ඊට පස්සෙ සැමියා ආපහු ඔරුවෙ නැගල ගියේ ඔවුන්ට කෑමට මාළු දෙතුන් දෙනෙක් අල්ලගන්න. ඔහු යන්න කලින් කිව්ව ඉර බහින්න කලින් ආපහු එනව කියලා.
ෆාතුමා බාල දුවට කිව්වා වාඩියට වෙලා බතක් උයන්න කියල. ඇය වැඩිමල් දුවත් එක්ක කැලයට ගියා දර කපන්න.
ඔවුන් දෙන්නා කැලය ඇතුලටම ගියා. ඉදිරියෙන් ගියේ ෆාතුමා. ඇය බොහොම වේගෙන් ඇවිදගෙන ගියා. ගෑණු ළමයා ඇය පසුපස ආවෙ බොහොම අමාරුවෙන්. ටික වෙලාවකින්ම ගෑණු ළමයගෙ ඇඟ දාඩියෙන් වැහුනා.
"ඇයි අපි මේ තරම් ඈතට යන්නෙ? අපිට මේ හරියෙන් දර කපාගන්න පුළුවන්. මේ හරියෙ කොච්චර ගස් තියෙනවද?"
ඇය හති දමමින් ෆාතුමාට කිව්වා.
ඒත් ෆාතුමා ඇයට උත්තර දුන්නෙවත් නැවතුනේවත් නෑ. ඇය දිගටම කැලේ ඇතුලටම ගියා. ගෑණු ළමයට නවතින්න හිතුනත්, ඒ ගණ කැලේ තනියම ඉන්න ඇයට බය හිතුනා. ඒ නිසා ඇය අමාරුවෙන් ෆාතුමා එක්කම කැලේ ඇතුලට ගියා.
කැලේ එන්න එන්නම ගණ වුනා. ඔවුන්ට තමාගෙ කතිවලි වලින් අතු කපාගෙන පාර හදා ගන්න සිද්ධ වුනා. ඒත් ෆාතුමා ගමන නැවැත්තුවෙ නෑ.
ඔවුන් පොඩි එළිමහනකට ආවා. එතැනදි එක පාරටම ෆාතුමා නැවතුනා. ඇය ආපහු හැරුනා. ගෑණු ළමයට හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. ෆාතුමා කතිවලියෙන් ගෑණු ළමයගෙ බෙල්ලට බොහොම වේගයෙන් කෙටුවා. පිහිපාර කොයිතරම් වේගවත් ද කිව්වොත් ගෑණු ළමයගෙ බෙල්ල එක පාරින්ම කඳින් වෙන් වෙලා ගිහින් ළඟ තිබුන පඳුරක් අස්සට විසි වුනා. ඇගේ ලේ විදින කඳ අප්‍රාණික වෙලා එතැනම වැටුනා.
ෆාතුමා කෙලින්ම මුහුදු වෙරළට ගියා. ඇය ඇගේ ඇඳුම් වල සහ පිහියෙ තිබුන ලේ හෝද ගත්තා. වෙරළේ ටිකක් වෙලා මහන්සි ඇරපු ඇය හෙමින් හෙමින් වාඩිය පැත්තට ඇවිදගෙන ගියා.
බල දුව වාඩිය ඇතුලෙ ගල් තුනකින් ලිපක් හදල, ගහක් යට හෙවනේ වාඩි වෙලා ලිපේ ගිනි මෙළවමින් හිටියා. ලිප උඩ බත් හැළියක් ඉදෙමින් තිබුනා. ෆාතුමා එන සද්දය ඇයට ඇහුනත් ඇය හැරිල බැලුවෙ නෑ. ෆාතුමා කතිවලිය තද කරල අල්ලගෙන ඇය ළඟටම ආවා. කෙල්ල යන්තම් හැරිල බැලුවා.
"කෝ අක්කා?"
ෆාතුමා ඇය පිටිපස්සෙ හිට ගත්තා.
"එයා දූපත අනික් පැත්තෙන් මුහුදට ගියා නාන්න."
කෙල්ල ලිපට පිඹින්න පහත් වුනා විතරයි ෆාතුමා ගේ කතිවලිය වේගයෙන් ඇගේ බෙල්ල පිටිපස්සට වැදුනා. ඇගේ කඳෙන් වෙන් වෙලා ගිය හිස බත් හැලියත් පෙරළගෙන ලිපට වැටුනා. ඇගේ දිග කොණ්ඩය ලිපට වැටිල "චිරි-චිරි" ගාල පිච්චිල ගියා. ඒ එක්කම බත් හැළියේ වතුරෙන් ලිප නිවිල ගියා.
ෆාතුමා ගහකට හේත්තු වෙලා ටිකක් විවේක ගත්තා. ඊට පස්සෙ ඇය ආපහු කැලයට ගිහින් වැඩිමල් ගෑණු ළමයහෙ හිස අරගෙන ආවා. ඊට පස්සෙ ඇය පොල් අතු දෙකක් කපාගෙන පොල් කොල වලින් "මුදෙයිසි" දෙකක් (පොල්කොල වියල හදන ලොකු පෙට්ටි) වියුවා.
ෆාතුමා ගෑණු ළමයි දෙන්න ගෙ හිස් පරිස්සමෙන් පෙට්ටි අස්සෙන් තිබ්බා. ඊට පස්සෙ ඇය අත් දෙකට පෙට්ටි දෙකත් අරගෙන නොගැඹුරු මුහුදට ඇවිදගෙන ගියා. වතුර ඇගේ ඉනක් දක්වා එනතුරු ඇය මුහුදට ඇවිදගෙන ගියා. ඊට පස්සෙ පෙට්ටි දෙක මුහුදු වතුරේ පා කරල ඇරියා. මුහුදු රළ වලින් පෙට්ටි දෙක ඈතට අරගෙන යන හැටිත්, පෙට්ටි දෙක පිටුපස්සෙ රතු පාටින් ඇඳිල ගිය ලේ පාරවල් දෙක ක්‍රමයෙන් මැකිල යන හැටිත් ඇය බොහෝ වෙලාවක් තිස්සේ බලාගෙන හිටියා.
පෙට්ටි දෙක නොපෙනී ගියාට පස්සෙ ෆාතුමා ඇඟේ සහ ඇඳුම් වල තිබුන ලේ හේදිලා යනතුරු හොඳට නෑවා. ඊට පස්සෙ ඇය වෙරළේ තිබුන ගහක හෙවනේ වාඩි වෙලා ඇගේ සැමියා ආපහු එනතුරු බලාගෙන හිටියා.
පැය ගාණක් ගත වුනා. දීප්තිමත් හිරු රැස් නිසා ඇගේ ඇස් රිදෙන්න පටන් ගත්තා. මහන්සියට ඇගේ ඇස් නිදිමතෙන් පියවෙන්න හැදුවා. ඒත් ඇය දිගටම ඈත ක්‍ෂිතිජය දිහා බලාගෙන හිටියේ සැමියගෙ ඔරුවේ රුවළ පේන තුරු.
හවස් වෙද්දි ඇයට රළ ගෙඩි අස්සෙන් කුඩා රුවලක් පේන්න පටන් ගත්තා. ඇය ඔරුව ළඟට එනතුරු නොසෙල්වී බලාගෙන හිටියා. ඔරුව ටික ටික ලොකු වෙමින් පේන්න පටන් ගත්තා. ඔරුව සෑහෙන තරම් ළං වුනාම ඇය අත් දෙකට කතිවලි දෙකක් අරගෙන මුහුදු රැල්ලට වැල්ල තෙමෙන හරියට ඇවිදගෙන ගියා.
ඔරුව වෙරළට ගොඩ ගහද්දිම ෆාතුමා ගේ සැමියා ඔරුවෙන් එළියට පැන්නා. ෆාතුමා ඔහුට පියවර කීපයක් ඈතින් හිටගෙන කෙලින්ම ඔහුගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඇගේ ඇස් වල බිය උපදවන වන සුළු දීප්තියක්. යන්තම් ඇරුණු තොල් අතරින් ඇය වේගයෙන් හුස්ම ගත්තා. මුහුදු හුළඟට ඇගේ කෙස් වැටිය විසිරිලා ගියා.
මුළු දූපතම බියකරු නිහඬතාවයක ගිලිලා තිබුනා. ෆාතුමා ගේ සැමියට ඇහුනේ මුහුදු රළ බිඳෙන සද්දෙ සහ ෆාතුමා හුස්ම හෙළන සද්දෙ විතරයි.
"කෝ කෙල්ලො දෙන්නා?"
වෙව්ලන කටහඬකින් ඔහු ඇහුවා.
ඒත් ෆාතුමා උත්තර දුන්නෙ නෑ. ඇය මුවහත් තලය ඇතුල් පැත්තට තියෙන විදිහට කතිවලි දෙක ඇගේ බෙල්ල ඉදිරියෙන් තියා ගත්තා. ඊට පස්සෙ හෙමිහිට ඇගේ බෙල්ල පිහි තල දෙකට මැදි කලා.
ඇගේ සැමියට වචනයක් වත් කියන්න ඉඩ ලැබුනේ නෑ. ෆාතුමා වේගයෙන් අත් දෙක දෙපැත්තට ඇද්දේ තමාගේ හිස කඳෙන් වෙන් වෙලා යන විදිහට. වටයක් දෙකක් කැරකුණු හිස ඇගේ සැමියාගේ දෙපා මුල මුහුදට වැටුනා. ලේ උතුරන කඳ සෙමින් මුහුදු වතුරේ පාවෙලා ගියා.
තමාගේ දෙපා මුල මුහුදු වතුර ෆාතුමා ගේ උණු ලෙයින් බොර වෙලා යන හැටි සැමියා බලාගෙන හිටියෙ භීතියෙන්෴
කතාව කිව්වේ මාගිදුරුගේ ඊබ්‍රහිම් ඩිඩී (ෆුවාමුලාකු දූපත)
අටුවාව
1. කතිවලි
අපේ වක් පිහියට ඉතා සමාන ලොකු පිහියක්. මේ පිහියෙන් දර කැපීමේ ඉඳලා මාළි කැපීම දක්වා ගෙදර දොර වැඩ රාශියක් දිවෙහි රාජ්ජෙ වැසියො කර ගන්නවා.
2. මුදෙයිසි
ආහාර අසුර ගන්න පාවිච්චි කරන පොල් කොල වලින් වියපු ලොකු පෙට්ටි
එල ෆාතිමා කියන තැන එල කියන එකේ තේරුම මොකද්ද? ලස්සන කියන එකද?
ReplyDeletesuper...
ReplyDelete