දූපත කෙළවරේ ගහ
එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ උතුරු කොණේ දූපතක "කලේෆානු" කියල මනුස්සයෙක් වාසය කළා. කලේෆානු තමයි ඒ දූපතේ ප්‍රධානියා වගේම මුළු අතොළුවේම පෝසත්ම කෙනා. ඔහුට බෝට්ටු තුනක් සහ පොල් ගස් රාශියක් අයිති වුනා.
කලේෆානු ගේ ප්‍රියතම පුතාගෙ නම "තුත්තු කලේෆානු". තුත්තු කලේෆානු බොහොම කඩවසම් ඉලන්දාරියෙක්. ඔහුගේ තත්වයේ කෙනෙක්ට ගැලපෙන විදිහටම තුත්තු කලේෆානු ඉතාම විනීත සහ ආචාරශීලී ගති පැවතුම් තිබුනු කෙනෙක්.
එක උදෑසනක තේ බොන ගමන් කලේෆානු තුත්තු ට කතා කරල මෙහෙම කිව්වා.
"තුත්තු, මම අද උදේ දූපතේ දකුණු කෙළවරේ තියෙන අපේ පොල්ගස් බලන්න යන්න ඕනෙ. ඒත් මට "රාජ්ජෙබලි" (හන්දිපත් රුදාව) හැදිලා, වැඩි දුර ඇවිදින්න බෑ. උඹ ගිහිල්ල ගස් ටික බලල වරෙන්. පොල් ගෙඩි කඩන්න මිනිස්සු හවසට යවන්න ඕනෙ."
තුත්තු කලේෆානු පියාට බොහොම කීකරුයි. ඔහු තේ බීල ඉවරවුන හැටියෙම දූපතේ දකුණු පැත්තට යන්න පිටත් වුනා. පහුගිය දවස් කීපයේ ඔවුන් ගේ දූපතට තද සුළං හැමුවා. සුළඟෙන් පොල්ගස් වලට හානි වෙලාද කියල බලන එක තමයි ඔහුගේ ගමනේ අරමුණ වුනේ.
පාළුවට ගිය කැලෑ පාරවල් ඔස්සේ තුත්තු දූපතේ දකුණු කෙළවරට ළඟා වුනා. දූපතේ අන්තිම කෙළවරේ පොල් ගස් කීපයකට සුළඟෙන් හානි වෙලා තිබුනත්, බොහොමයක් පොල්ගස් හොඳින් තිබුනා. මේ සතුටුදායක පුවත කලේෆානුට කියනකං තුත්තු ට ඉවසිල්ලක් තිබුනේ නෑ.
දූපතේ දකුණුම කෙළවර බොහොම පටුයි. එතැන සිහින් දිග වැලි තීරයක් මුහුද දිහාවට විහිදිලා තිබුනා. තුත්තු ඒ වැලි තීරය මතට වෙලා කොරල් පරය දිහා බැළුවා. එදා වළාකුළු පිරිච්ච දවසක්. මද්දහනට කිට්ටු වෙලා තිබුනත් රස්නයක් තිබුනේ නෑ. වළාකුළු තිබුනත්, වැස්සක ලකුණක් තිබ්බෙ නෑ. ඉතාම සනීපදායක සුළඟක් මුහුද පැත්තෙ ඉඳන් හමමින් තිබුනා.
තුත්තු හිටපු තැනට අසල්වැසි දූපත හොඳින් පෙනුනා. ඒ දූපත පිහිටලා තිබුනෙත් තුත්තු ගෙ දූපත තිබුන කොරල් පරයේ මයි. අසල්වැසි දූපත බොහොම දුප්පත්, වරායක්වත් නැති කුඩා දූපතක්. තුත්තු කවදාවත් ඒ දූපතට ගිහිල්ල තිබුනෙ නෑ. ඒ දූපත වටේටම තිබුන නොගැඹුරු කලපුව නිසා බෝට්ටුවක් දියත් කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. එහෙම පුළුවන් වුනත්, ඒ දූපතේ කාටවත් බෝට්ටුවක් හදන්නවත්, මිලදී ගන්නවත් වත්කමක් තිබුනේ නෑ. ඒ නිසා ඒ දූපතේ වැසියන් මුහුදු ගියේ නෑ. ඔවුන් කොරල් පරයේ ඉන්න කුඩා මාළු කීපදෙනක් අල්ලගෙන කෑමට ගත්තා. ඔවුන් ජීවත් වුනේ කුඩා පැල් කොට වල. කොටින්ම ඒ දූපතේ ගහක්වත් හරියට හැදුනේ නෑ.
එකපාරටම තුත්තුට ඒ දූපතට යන්න ආසාවක් ඇති වුනා. ඔහු නොගැඹුරු මුහුදට බැහැල ඒ දූපත පැත්තට ඇවිදින්න පටන් ගත්තා.
හැතැම්මක විතර ගමනකින් පස්සෙ තුත්තු කලේෆානු අනෙක් දූපතේ වෙරළට ආවා. මුළු වෙරළ පුරාම තිබුනේ "මගූ" පඳුරු විතරයි. ඒ පඳුරු අස්සෙ පුංචි කකුළුවෝ හිටියා.
තුත්තු වෙරළට ගොඩ වෙලා දූපත ඇතුළට ගියා. ඔහුට ශබ්ධයක් ඇහුනා. මගූ පඳුරු අතරින් සද්දෙ ඇහෙන පැත්තට ඇවිදගෙන ගියා. ඔහු දැක්කා වේලුණු ගස් මුලක් ළඟ ඉඳගත්ත තරුණියක් ඒක දරට ගන්න කපන හැටි.
තරුණිය ඔහුව දැක්ක විතරයි බිරාන්ත වෙලා පැනල දුවන්න හැදුවා. ඒත් තුත්තු ඇයව සන්සුන් කලා.
"බයවෙන්න එපා. මම එහා දූපතේ ඉන්නෙ. මේ දූපතේ හැටි බලන්න ආවෙ."
තරුණිය තුත්තු දිහා හොඳට බැලුවා. ඔහුගේ කඩවසම් මුහුණ දැකපු ඇයට හිතුනා ඔහු අවංක කෙනෙක් වෙන්න ඇති කියලා.
"අපි වාඩිවෙමු"
තුත්තු බිම වාඩි වෙලා තමන් ගෙ මඩිස්සලෙන් බුලත් විටක් අරගත්තා. ඔහු තමාට විටක් හදාගෙන තරුණියටත් විටක් හදල දුන්නා. ඇය ඒක පිළිගත්තා.
"ඔයාගෙ නම මොකද්ද?"
"හව්වාෆුලු"
ඔවුන් බුලත් හපමින් කතාබහ කළා. ඇය ඔහුට ඇයගේ දූපතේ දුෂ්කර ජීවිතය ගැන විස්තර කළා.
"අපිට ළිං වල බොන වතුර නෑ. ඒ නිසා මම හැමදාම උදේට පොල් කටුවකින් වලක් හාරල වතුර හොයාගන්නවා. වතුර ගත්තට පස්සෙ ඒ වල වහල දානව. පහුවදා උදේට ආපහු වෙන වලක් හාරන්න ඕනෙ."
ඇය බොහොම චතුර විදිහට කතා කලා. කතාවෙන් පෙණුනේ ඇය ඉතාම බුද්ධිමත් බව. ඒක තුත්තුට පුදුමයක් වුනා. ඔහු හිතාගෙන හිටියේ දුප්පත් මිනිස්සු ඔහුගේ පියාගේ පොල් වතු වැඩ කරපු මිනිස්සු සහ ඔවුන් ගේ ගෙදර කුස්සියේ වැඩ කරපු කාන්තාව වගේ නීරස, උදාසීන මිනිස්සු කියලා. ඒත් මේ තරුණිය බොහොම සිත්ගන්නා සුළුයි.
ඔවුන් සෑහෙන වෙලාවක් කතාබහ කරමින් හිටියා. සීතල මුහුදු හුළං ඔවුන් ගේ සිරුරු හරහා හමා ගියා.
"මම දැන් යන්න ඕනෙ. අපිට මේ මගූ පඳුරු අස්සෙ දර හම්බවෙන්න බොහොම ටිකයි. තව පරක්කු වුනොත් අම්ම කලබල වෙයි."
හව්වාෆුලු ඈත පේන තුත්තු ගෙ දූපත දිහාවට ඇඟිල්ල දික් කලා.
"අර දූපතේ නම් ගොඩක් ගස් තියෙනවා. ගොඩක් දර තියෙනවා."
"ඔයා ඒ දූපතට ගිහිල්ල තියෙනවද?"
"නෑ. ඒත් මට කියන්න පුළුවන්"
හව්වාෆුලු මද සිනා පාමින් කිව්වා.
තුත්තු ගෙ හදවතේ ගැස්ම ටිකක් වැඩි වුනා වගේ ඔහුට දැනුනා.
"අපි ආයෙ හමුවෙමුද?"
"සමහර විට. මට ගොඩක් වැඩ තියෙනවා. "
තුත්තු ටිකක් වෙලා කල්පනා කළා.
"හරි මට හොඳ අදහසක් ආවා. ඔයා අපේ දූපතට එන්න. එහෙදි ඔයාට ඕන තරම් දර හොයාගන්න පුළුවන්. දර හොයන අතරෙ අපිට කතා කරන්න පුළුවන්."
"එහෙ ඉන්න ගෑණු ළමයි මට දර හොයන්න ඉඩ දෙයි ද?"
තුත්තුට හිනා ගියා.
"එහෙ ගෑණු ළමයි කවුරුත් නෑ. ඔය පේන හරිය අයිති මගේ තාත්තට. එයා කාටවත් එහෙ එන්න දෙන්නෙ නෑ."
හව්වාෆුලු එකපාරටම ඔහුදිහා පරික්‍ෂාවෙන් බැලුවා. ඇගේ ඇස් දෙක ලොකු වුනා.
"ඔයා කලේෆානු ගෙ පුතා ද?"
"ඔයා එයාව දන්නවද?"
හව්වෆුලු අමනාපෙන් ඇස් හකුළුවාගත්තා.
"හැමෝම එයාව දන්නවා. ඔයා මොනවද මෙහෙ කරන්නෙ? මම හිතුවෙ ඔයා සාමාන්‍යය කෙනෙක් කියල. ඔයා මාව විහිළුවකට ගන්නවද?"
"මම ඔයාව විහිළුවකට ගත්තෙ නෑ. මම ඔයාට කැමතියි."
හව්වාෆුලු හුස්ම ඉහළට ඇදගත්තා.
"මම බොහොම දුප්පත්. කෙට්ටුයි. කළුයි. ඔයා ලස්සනයි. උගත්. පෝසත්. මම හිතන්නෙ ඔයා මාව රවට්ටන්න හදනවා."
ඇය නැගිටලා යන්න පිටත් වුනා.
තුත්තු ඇය පස්සෙන් යමින් ඔහු කරන්නෙ බොරුවක් නොවෙන බව ඇයට ඒත්තු ගන්වන්න ගොඩක් උත්සහ කළා. ගොඩාක් වෙලාවකට පස්සෙ ඇය ඔහුගේ දූපතට එන්න කැමති වුනා.
"මම දවල්ට ආවොත් මිනිස්සු දකීවි. ඒ නිසා මම ඉර බැහැල් ගියාට පස්සෙ එන්නම්. අපේ අම්මට හොඳටම නින්ද යනවා."
පහුවදා හවස හව්වාෆුලු සීතල මුහුදු වතුරට බැහැල තුත්තු ගෙ දූපත දිහාවට ඇවිදගෙන ගියා. මුහුද බොහොම නොගැඹුරුයි. වතුර තිබුනේ යන්තම් ඇගේ ඉණ ගාවට විතරයි. අඳුර වැටිල තිබුන නිසා ඇයට බයක් දැනුනත්, තුත්තු හමුවෙන්න තිබුනු ආසාව නිසා ඇය හිත දැඩි කරගෙන දිගටම ඇවිදගෙන ගියා.
තුත්තු මුළු හවස් වරුවෙම පොල් වත්ත පුරා ඇවිදිමින් දර එකතු කරල මිටිය බැඳල තිබුනා. ඔහු දර මිටියත් එක්ක දූපත කෙළවරේ තිබුන තනි ගහ යට ඉඳගෙන හව්වාෆුලු එනතුරු බලාගෙන හිටියා. ඇය එයි ද නැද්ද කියල ඔහුගේ හිතේ තිබුනේ දෙගිඩියාවක්.
එක පාරටම ඔහු දැක්කා අඳුර මැදින් මුහුද දිහාවෙන් ඡායාවක් ඔහු දිහාට එන හැටි. ඔහු රහසින් ඇයට කතා කළා.
"හව්වාෆුලු..."
ඇය එකපාරටම තිගැස්සුනත්, හෙමිහිට වෙරළට ගොඩ වෙලා ඔහුගේ ගහ ළඟට ඇවිත් ඔහු ළඟින් වාඩි වුනා.
ඔවුන් බොහෝ වෙලාවක් තිස්සේ කතා කරමින් හිටියා.
ඔවුන්ට ඇහුනා කොහා කෑගහන සද්දෙ.
"උදේ වෙලා. මම දැන් යන්න ඕනෙ."
ඇය නැගිට්ටා. තුත්තු දර මිටිය ඇගේ හිස මත සමබර කරල දුන්නා.
"මම හෙටත් මේ වෙලාවට එන්නම්"
ඇය වතුරට බැහැල ඈතට ඇවිදගෙන ගියා.
ඇගේ අඳුරු ඡායාව නොපෙනී යනතුරු තුත්තු බලාගෙන හිටියා. ඊට පස්සෙ ඔහු ගෙදර දිහාවට ඇවිදගෙන ගියා. ඔහුගේ හදවත උණුසුම් බවකින් පිරිල තිබුනා.
ඊළඟ දවස් කීපය ගතවුනේ හීනෙන් වගේ. ඔවුන් හැමදාම දූපත කෙළවර තිබුනු තනි ගහ යටදී හමුවුනා. ඒ ගහ බොහොම පරණ, මහළු ගහක්. කුණාටු වලට අහුවෙලා බැට කාපු එකක්. ගහේ කඳ ඒ මේ අත ඇඹරිලා තිබුනා. ගහේ අතු ගොඩක් මැරිල ගිහින්. ඒත් රාත්‍රි කාලෙට ඔවුන්ට හෙවණක් ඕන වුනේ නෑ. අතු තිබුනෙ නැති නිසා රෑ අහසේ තරු වඩා හොඳින් දකින්න ඔවුන්ට පුළුවන් වුනා.
එක දවසක් තුතතු ගහ යටට ආවෙ බොහොම දුකෙන්.
"මම අපේ තාත්ත එක්ක කතා කළා. තාත්ත මගෙන් ඇහුව මම දැන් කෙල්ලො ගැන උනන්දුවක් නැත්තෙ ඇයි කියල. මම කිව්වා කසාද බඳින්න නියම කාලෙ ආවම මම බඳින්නම් කියලා. ඊට පස්සෙ මම විහිළුවට වගේ ඇහුවා තාත්තෙ මම දුප්පත් කෙල්ලක් කසාද බඳින්න ද කියලා. ඒත් තාත්ත ඒ විහිළුවට කැමති වුනේ නෑ. එයාගෙ මූණ අඳුරු වුනා. එයා කිව්ව මම මෝඩ වැඩක් කරන්නෙ නැති වෙයි කියල එයා විශ්වාස කරනව කියල. මම ජීවිතේ තෝර ගන්න දේවල් ගැන පරිස්සම් වෙන්න කියලත් කිව්වා."
හව්වාෆුලු දිග සුසුමක් හෙළුවා. ඇය ගොඩක් වෙලා යනතුරු කතා කලේ නෑ.
තුත්තු ආපහු කතා කළා.
"මම ඔයාට මුලදිම කිව්වා මම ඔයාව අතාරින්නෙ නෑ කියල. ඒත් දැන් වැඩේ ටිකක් අමාරුයි වගේ. අපේ තාත්ත මට ගොඩක් ආදරෙයි. ඒ නිසා මම හිතුවෙ එයාව ලේසියෙන් නම්ම ගන්න පුළුවන් වෙයි කියල. ඒත් ඒක එච්චර ලේසි නෑ වගේ."
හව්වාෆුලු හෙමීට කතා කලා.
"මම පොඩි කාලෙ ඉඳලම ජීවත් වුනේ බොහොම අමාරුවෙන්. ඔයාව මුණගැහුනම මම හිතුව ඒක වෙනස් වෙයි කියල. ඒත් එහෙම වෙන්නෙ නැති වෙයි වගේ."
ඇය ගහ යටින් නැගිටලා යන්න පිටත් වුනා. දර මිටිය වත් අරගත්තෙ නෑ.
ඇගේ අඳුරු ඡායාව හෙමින් හෙමින් රාත්‍රී අඳුරට මුහු වෙලා යන හැටි තුත්තු කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් බලාගෙන හිටියා.
පහුවදා හවස තුත්තු ගහ යටට ආව. කවදාවත් නැතුව එදා හව්වාෆුලු ඔහු එන්නත් කලින්ම ගහ යටට ඇවිල්ල හිටියා. තරු එළියෙන් ඔහුට ඇගේ ඡායාව පෙනුනා.
ඇය ඉන්නව දැක්කම ඔහුගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා. ඔහු හෙමින් හෙමින් ඇය ළඟට කිට්ටු කලා.
"හව්වාෆුලු, ඔයා ආපු එක ගැන මට හරිම සතුටුයි. ඔයා ඊයෙ ගියේ ගොඩක් දුකෙන් නිසා මම හිතුවෙ ඔයා ආයෙ කවදාවත් එන එකක් නෑ කියල."
හව්වාෆුලු කතා කලේ නෑ.
තුත්තු ඇයට ළංවෙලා ඇගේ උරහිසට අත තිබ්බා. ඇය හෙමීට ඔහු පැත්තට හැරිලා ඇගේ කට ඇරියා.
තුත්තු කලේෆානු භීතියෙන් ගල් ගැහුනා. ඔහු ඉදිරියේ හිටියේ හව්වාෆුලු නෙවෙයි. කටපුරා උල්දත් වැවුනු යකින්නක්. අඳුර අතරින් යකින්නගේ විශාල කට සහ සුදුපාට දත් ඔහුට පෙනුනා. යකින්න ටික ටික ලොකු වෙලා පොල් ගහක් තරමට උස වුනා.
තුත්තුට පැනල දුවන්න ඕන වුනත්, බය නිසාම අඩියක් වත් උස්සන්න පුළුවන් වුනේ නෑ. ඔහු භීතියෙන් බිම වැටිල යකින්න දිහා බලාගෙන හිටියා.
යකින්න හෙමිහිට තුත්තු දිහාවට පහත් වුනා.
පහුවදා උදේ කලේෆානු දැක්කා තුත්තු ඇඳේ නැති බව. ඔහු කොහෙද කියල කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.
මිනිස්සු මුළු දූපත පුරාම තුත්තු ව හෙව්වා. ඒත් ඔවුන්ට හමුවුනේ දූපතේ දකුණු කෙලවරේ තිබුන මහළු ගහ යට තිබ්බ ලේ පැල්ලම් කීපයක් විතරයි.
- කතාව කිව්වේ හුසෙයින් කොයිබේ (හොලුදූ දූපත, දකුණු මිලදුන්මදුළු අතොළුව)
අටුවාව
1. ධනවත් කම
ඉස්සර දිවෙහි රාජ්ජේ මිනිස්සුන් ගෙ ධනවත් කම මැන්නේ කාරණා දෙකකින්. ඒ බෝට්ටු සහ පොල් ගස්. දිවෙහි රාජ්ජේ තිබුනු දූපත් බොහොම පොඩි නිසා විශාල ඉඩම් හිමියන් හෝ ගොවියන් හිටියෙ නෑ. ඒ වගේම හරක බාන ඇති කරන්න සුදුසු බිම් තිබුනෙත් නෑ. ඒ නිසා මිනිස්සුන් ගෙ ප්‍රධාන ජීවනෝපාය වුනේ ධීවර කර්මාන්තය සහ පොල් ගහ ආශ්‍රිත කර්මාන්ත.
2. රාජ්ජෙබලි
"රාජ්ජෙබලි" කියන දිවෙහි වචනයේ තේරුම "දේශීය රෝගය" කියන එක (රාජ්ජෙ = දේශීය, බලි = රෝගය). රාජ්ජෙබලි කියල හැඳින්වුනේ හන්දිපත් රුදාව. දිවෙහි රාජ්ජෙ එළවළු පළතුරු වැවෙන්නෙ බොහෝම අඩුවෙන් නිසා දිවෙහි රාජ්ජෙ වැසියන්ට සමබල ආහාර වේලක් ගන්න අවස්ථාව ලැබුනෙ අඩුවෙන්. මේ නිසා ඔවුන් අතර හන්දිපත් රුදාව ඉතාම සුලබ රෝගයක්. ඒ නිසාම තමයි ඒක "දේශීය රෝගය" කියල හඳුන්වන්න ඔවුන් පෙළඹුනේ.
3. මගූ
"මගූ" කියල දිවෙහි බසින් හැඳින්වෙන්නේ "තක්කඩ" කියල සිංහලෙන් හඳුන්වන පඳුරු විශේෂය. මේ පඳුරු මීටර් 4 විතර උසට වැඩෙනවා. වැලි සහ ලුණු සහිත පසේ වැවෙන ශුෂ්ක ගස් වර්ගයක් වන මගූ සාගත කාලෙට දිවෙහි රාජ්ජෙ වැසියන් කෑමට අරගෙන තියෙනවා.
No comments:
Post a Comment