දෙලිකොළු සහ අළිකොළු (අඟුරු කෙල්ල සහ අළු කෙල්ල)
එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක ගෑණු ළමයි දෙන්නෙක් ජීවත් වුනා. එක්කෙනෙක් ගෙ නම දෙලිකොළු (අඟුරු කෙල්ල). අනිත් එක්කෙනා අළිකොළු (අළු කෙල්ල).
එක දවසක් මේ දෙන්න කලගෙඩිත් අරගෙන මුහුදට ගියේ මාළු උයන්න මුහුදු වතුර අරගෙන එන්න. එදා වඩදිය දවසක්. මුහුද බොහොම සැරයි. කෙල්ලො දෙන්න මුහුදට බහින්න බය වුනා.
"ඔයා ඉස්සෙල්ල බහින්න"
දෙලිකොළු අළිකොළුට කිව්වා.
"නෑ ඔයා බහින්න"
"ඔයා ඉස්සෙල්ල බහින්න"
"නෑ නෑ ඔයා ඉස්සෙල්ල බහින්න. බය වෙන්න එපා. එක පාරටම පනින්න."
"නෑ ඉස්සෙල්ල බහින්න ඕනෙ ඔයා"
"නෑ ඔයා ඉස්සෙල්ල බහින්න. මම ඊට පස්සෙ බහින්නම්."
අන්තිමේදි දෙලිකොළු මෙහෙම යෝජනා කළා.
"හොඳයි. අපි දෙන්නම එක සැරේ බහිමු."
ඔවුන් දෙන්න අත් අල්ලගෙන වතුරට බැස්සා.
ඒත් වතුරට බැස්ස විතරයි අළිකොළු වතුරෙ දිය වෙලා ගියා. දෙලිකොළු වතුරෙ පාවෙලා ගියා.
මුහුදු වතුරෙ පාවෙලා පාවෙලා දෙලිකොළු ගහගෙන ගියේ මාමෙලිෆන්නු කියන තැනට. මාමෙලිෆන්නු වලදි තමයි මාමෙලි දයිතා (දිවෙහි රාජ්ජෙ ජනකතා වල එන චරිතයක්) ගෙ ගෙදර ඉඳල එන පාර මුහුදු වෙරළට වැටෙන්නෙ. මාමෙලි දයිතා ජීවත් වුනේ එයාගෙ දරුවො හත් දෙනත් එක්ක.
මාමෙලි දයිතගෙ වැඩිමල් දුව එළිබහින්න මුහුදු වෙරළට ගිය වෙලාවෙ ඇය දැක්කා දෙලිකොළු වෙරළට ගොඩ ගහල ඉන්න හැටි. ඇය පරිස්සමෙන් දෙලිකොළු අතට ගත්තා. දෙලිකොළු කොයිතරම් පුංචිද කිව්වොත් මාමෙලි දයිතා ගෙ දුවගෙ අල්ල උඩ ඇයට සම්පූර්නයෙන්ම ඉන්න පුළුවන් වුනා.
මාමෙලි දයිතා ගෙ දුව බොහොම පරිස්සමෙන් දෙලිකොළු ගෙ ඔළුව අතගාල බැලුව. ඒත් දෙලිකොළු හෙලවුනේවත් නෑ. ඇය මැරිලා!
මාමෙලි දයිතාගෙ දුව දෙලිකොළු ව අතේ තියාගෙන ගොඩාක් වෙලා ඇඬුවා. ඊට පස්සෙ ඇය මුහුදු වෙරළේ පඳුරු අතර තිබුනු පුංචි ඉඩක අත් දෙකෙන් වලක් හාරලා දෙලිකොළු ව වල දැම්මා.
වල වැහුවට පස්සෙ මාමෙලි දයිත ගෙ දුව තුන් පාරක් හඬ නගල මෙහෙම කිව්වා.
"ඉක්මනට පැල වෙන්න"
එතකොටම දෙලිකොළු ව වල දාපු තැනින් පුංචි කෙහෙල් පැලයක් පොළවෙන් මතුවෙලා උඩට ආව.
මාමෙලි දයිතා ගෙ දුවට හරිම සතුටුයි. ඇය සිනා සෙමින් තුන් පාරක් මෙහෙම කිව්වා.
"ඉක්මනට වැවෙන්න"
බලාගෙන ඉඳිද්දි කොහෙල් පැලේ උස ගිහින් ලොකු කෙහෙල් ගහක් බවට පත් වුනා.
මාමෙලි දයිත ගෙ දුව අත්පුඩි ගහමින් තුන් පාරක් මෙහෙම කිව්වා.
"හලිහා ෆෝවා" (ඉක්මනට ගෙඩි හැදෙන්න)
කොහෙල් ගහේ මුදුනෙන් නයෙක් වගේ දම් පාට කෙහෙල් මලක් එළියට ආව.
ඒකෙ පෙති එකින් එක දිගහැරිල ගහ මුල වැටුනා. කෙහෙල් කැනේ නැට්ට දිගට කොල පාට කෙහෙල් ගෙඩි පේලි පේලි පෙනෙන්න තිබුනා.
සතුටින් උඩ පනිමින් මාමෙලි දයිත ගෙ දුව තුන් පාරක් මෙහෙම කිව්ව.
"ඉක්මනට ඉදෙන්න"
එක පාරටම කොළ පාට කෙහෙල් ගෙඩි ලොකු වෙලා කහ පාට වුනා.
ඒත් කෙහෙල් කැන තිබුනෙ ගොඩක් උසින්. ඇයට ඒව කඩාගන්න අත දිග මදි. ඇය උඩ පනිමින් කෙහෙල් ගෙඩි කඩාගන්න උත්සහ කලා. ඒත් බැරිවුනා.
ඒ වෙලෙ එතැනින් පොඩි පිරිමි ළමයෙක් ආව. මාමෙලි දයිත ගෙ දුවට හොඳ උපායක් කල්පනා වුනා. ඇය පිරිමි ළමයෙක් කතා කරල මෙහෙම කිව්ව.
"ඔයාට පුළුවන් ද මේ කෙහෙල් ගහ දිගේ නැගල මේ කැනෙන් කෙහෙල් ගෙඩි එකින් එක කඩල බිමට දාන්න?"
ඒත් පිරිමි ළමයට කෙහෙල් ගෙඩි දෙන්න ඇයට ලෝබයි. ඒ නිසා හනිකට මෙහෙමත් කිව්වා.
"බැරි වෙලාවත් කන්න එහෙම එපා. මේ ගෙඩි කන්න බෑ. මේක බෙහෙත් ගහක්."
පිරිමි ළමය කෙහෙල් ගහ දිගේ නැගල කෙහෙල් ගෙඩියක් කඩල මාමෙලි දයිත ගෙ දුවට දැම්මා. ඇයට ඉවසගෙන ඉන්න බැරුව කෙහෙල් ගෙඩියෙ ලෙලි ඇරල ඒක කෑවා. ඇය කෙහෙල් ගෙඩිය කනව පිරිමි ළමය දැක්කා.
"ඔයාට කන්න පුළුවන් නම් මටත් කන්න පුළුවන්"
ඔහුත් කෙහෙල් ගෙඩියක් කඩාගෙන කෑවා.
ඊළඟට ඔහු තවත් ගෙඩියක් කඩල මාමෙලි දයිත ගෙ දුවට දැම්මා.
"ඔයාට එකයි මට එකයි"
එහෙම කියල ඔහු තවත් ගෙඩියක් කඩාගෙන කෑවා.
ඔහොම ඔහොම මාමෙලි දයිත ගෙ දුවයි පුංචි පිරිමි ළමයයි කෙහෙල් කැනම කෑවා෴
- කතාව කිව්වේ වඩිගේ අමිනාත් දීදී (ෆුවා මුලාකු දූපත)
අටුවාව
1. මාමෙලි දයිතා
මාමෙලි දයිතා කියන්නෙ දිවෙහි රාජ්ජේ ජනකතා වල එන චරිතයක්. ඇය නිරූපනය වෙන්නේ තරමක් වයසක කාන්තාවක් විදිහට. ඇය මනුෂ්‍යය කාන්තාවක් නෙවෙයි - නමුත් හන්ඩි හෙවත් යකින්නකුත් නෙවෙයි. ඇගේ නම දකුණු දිග දූපත් වලදී "මේලියගෙෆන්නො", "මේලියගෙ දයිතා" සහ "මේලියගෙ දියේ" කියල ව්‍යවහාර කෙරෙනවා.
2. දයිතා
දයිතා කියන්නෙ තරමක් වැඩිහිටි කාන්තාවන් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "නැන්දා" නැතිනම් "අක්කා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.
No comments:
Post a Comment