සුදු පාට තැටිය
එකෝමත් එක කාලෙක ලොකු පවුලක් ඒ ගොල්ලන් ගෙදර වාසය කළා. ඒ පවුලේ තරුණ ගෑණු ළමයෙක් හිටියා. ඇගේ නම "සන්ෆා". සන්ෆා හැමදාම හවසට අඬනවා. අඳුර වැටෙනවත් එක්කම සන්ෆා එක්කෝ ලාම්පුව ළඟ ඉඳගෙන, නැත්තම් ඇඳේ හාන්සි වෙලා කිසිම හේතුවක් නැතුව අඬනවා. මේ ගෑණු ළමයට කිසිම රෝගාබාධයක් තිබුනෙ නෑ. ඒ වගේම ඒ ගෙදර මොකුත් ප්‍රශ්නයක් තිබුනෙත් නෑ. ඒත්, ගෙදර මිනිස්සු හිටියත්, ඇය තනියම හිටියත් සන්ෆා හැම හවසකම ඇඬුවා.
ගෙදර හැමෝම මේ නිසා බොහොම කනස්සල්ලට පත් වුනා. ගෙදර එක්කෙනෙක් හැමදාම අඬනකොට ඒ ගෙදර අනිත් මිනිස්සු සන්තෝසෙන් ඉන්නෙ කොහොමද? හවස් වරුවෙ ගෙදරට ආපු අමුත්තො ලොකු අපහසුතාවයකට ලක් වුනා. ගෙදර කොහෙ හිටියත් ගෑණු ළමයගෙ ඇඬිල්ල අමතක කරන්න බෑ. ඒ නිසාම ගෙදර ඉන්න එකත් අපහසු තැනට ආව. ටික දවසක් යද්දි ඒ ගෙදරට අමුත්තෙක් ආවත් ඉක්මනටම ආපහු යන්න පුරුදු වුනා. ටික ටික හැමෝම පුළුවන් තරම් ඒ ගෙදර මගඇරල ඉන්න පුරුදු වුනා.
තරුණියගේ දෙමාපියෝ ප්‍රසිද්ධ ෆන්ඩිත කෙනෙක් ගෙන්වලා "මයිතිරි" (ශාන්තිකර්මයක්) කරල බැලුවා ඇයව සුවපත් කරන්න. ඒත් කිසිම ප්‍රතිඵලයක් අත් වුනේ නෑ. සන්ෆා හැමදාම හවසට ඇඬුවා. මන්තර ගුරුකම් වැරදුන තැන ඔවුන් සන්ෆා ව සන්තෝසෙන් තියන්න උත්සහ කළා. ඇයත් එක්ක නිතරම කතා බහ කළා. විහිළු තහළු කළා. සෙල්ලම් කළා. සින්දු කිව්වා. ඒත් දවල්ට කොයිතරම් සන්තෝසෙන් හිටියත් සන්ෆා හවස් වෙද්දි ඇඬුවා. අන්තිමේදි සන්ෆා ගේ පියාගෙ ඉවසීම නැතිවෙලා ඔහු සන්ෆාට හොඳටම බැන්නා. ඒකෙන් වුනේ තත්වය තවත් නරක් වුන එක. ගෙදර මිනිස්සු හැමෝටම දරුණු මානසික පීඩනයකින් කල් ගෙවන්න සිදු වුනා.
එක දවසක් හවස සන්ෆා සුපුරුදු පරිදි ඇඳේ හාන්සි වෙලා කළුවරේම අඬමින් උන්නා. ඇගේ අක්කා, අමීනා, කාමරයට පොල්තෙල් පහනක් අරගෙන ආවා. ඇය පහන වහලේ එල්ලන්න හදනකොටම හදිසියේ ආව හුළං පාරකින් පහන නිවිල ගියා. කාමරේ කට්ට කළුවරයි. අමීනා ගේ හදවත භීතියෙන් සැලෙන්න වුනා. ඇය සන්ෆා දිහාවට හැරුනා. එතකොට දැකපු දෙයින් ඇය ගල් ගැහුනා.
සන්ෆාට ඉහළින් සුදුපාට තැටියක් පාවෙමින් තිබුනා. කමරේ අඳුරුයි. ඒත් සුදුපාට තැටියෙන් යාන්තමට ආලෝකයක් නිකුත් වුනා.
අමීනා බියෙන් පැකිලෙමින් වුනත් තැටිය ළඟට කිට්ටු කලා. එතකොට ඇය දැක්කා තැටියේ මුහුණත ඉතාම ලස්සන මද සිනා පාන මුහුණක් තියෙන බව. ඒ මූණේ ඇස්, තොල් සහ නහය ලස්සන තරුණියකගේ වගේ. තැටිය වටේට තද රතුපාට රැස් වලල්ලක් යන්තම් දිලිසෙමින් තිබුනා. තැටිය අහසේ පාවෙමින් තිබුනේ කිසිම ආධාරකයක් නැතුව.
අමීනා ගෙ බිය වසාගෙන කුතුහලය නැගගෙන ආවා. ඇය තැටිය ළඟට ගිහින් ඒ ඉදිරියෙන් සහ වටේට අත වැනුවා. ඇයට උවමනා කලේ ඒක ප්‍රතිබිම්බයක් හෝ එළියෙන් ආපු ආලෝක කදම්බයක් ද කියල දැනගන්න. ඒත් කොච්චර අත වැනුවත් තැටියේ කිසිම වෙනසක් වුනේ නෑ. තැටියේ මුහුණේ හිනාවෙ කිසිම වෙන්සක් වුනේ නෑ. තැටිය යටට වෙලා සන්ෆා අඬමින් උන්නා.
අමීනා ආයෙත් බියෙන් තැති ගත්තා. මේ තැටිය මොකක් හරි නපුරු ආත්මයක් වෙන්න ඇති. ඇය නිහඬවම පියා ළඟට ගිහින් රහසින් ඔහුට මේ බව කිව්වේ ගෙදර අනිත් එය බය වෙන එක වලක්වන්න.
"තාත්තේ, දැන්ම ඇවිත් සන්ෆා ගේ ඇඳ ළඟ බලන්න."
අමීනා ගේ පියා ඒ වෙලාවෙ ඉස්තෝප්පුවේ ලණු ඇඳට වෙලා විවේක ගනිමින් හිටියේ. ඔහුට නැගිටින්න කම්මැලි හිතුනා.
"ඇයි මොකද්ද?"
"එතැන මොනවදෝ තියෙනවා. සමහර විට නපුරු ආත්මයක් වෙන්න ඇති."
අමීනාගේ පියා අමනාපයෙන් තොල් මතුරමින් සන්ෆාගේ ඇඳ තිබුන කාමරයට ගියා.
"මට දැන් මොළේ නරක් වෙච්ච කෙල්ලො දෙන්නෙක්ම ඉන්නවද? කෝ මට මොකවත් පේන්නෙ නෑ නෙ? ඔයා පහන තිබ්බෙ කොහෙද?"
ඒත් අමීනා ඔහුගේ අමනාපය ගනන් ගත්තෙ නෑ.
"කාමරය ඇතුලට ගිහින් සන්ෆා ගේ ඇඳට උඩින් හොඳට බලන්න. තාත්තෙ ඔයාට ඒක පේනවද?"
ඒත් පියා උත්තර දුන්නේ නෑ. ඔහු සුදුපාට තැටිය සහ එහි තිබුන හිනාවෙන මුහුණ දිහා භීතියෙන් වෙව්ලමින් බලාගෙන හිටියා.
ඔහු හනිකට ඔහුගේ කාමරයට දුවල ගිහින් පහනක් සහ කුරානයක් අරගෙන ආවා. ඔහු පහන පත්තු කරලා සන්ෆා ගේ ඇඳ ලඟ බිමින් තිබ්බා. ඊට පස්සෙ කුරානය තියන ලී රඳවනය එතැනම බිමින් තියලා, ඒ උඩින් කුරානය තියලා බිම වාඩි වුනා. ඊට පස්සෙ ඔහු හොඳට දැනගෙන හිටපු පරිච්ඡේද හඬ නගා කියවන්න පටන් ගත්තා.
අමීනාත් පියා ළඟින්ම වාඩි වෙලා හිටියා. ඇය සුදු පාට තැටිය දිහා හොඳින් බලාගෙන හිටියේ. පහනේ ආලෝකය නිසා තැටියෙන් එන එළිය ටිකක් අඩු වෙලා තිබුනත් වෙන කිසිම වෙනසක් වුනේ නෑ.
රෑ වෙද්දි ඇයට නින්ද ගියා.
මැදියම් රැය එළඹුනා. පියා කුරාන පාඨ කියවන ගමන්ම තැටිය දිහා බැලුවා. තැටිය මදක් වෙව්ලමින් තිබුනත්, මුහුණේ කිසිම වෙනසක් තිබ්බෙ නෑ. කලින් වගේම එය මද සිනා පාමින් හිටියා. තැටියට යටින් සන්ෆා අඬමින් හිටියා.
ඔහුගේ භීතිය ඔහුගේ ඉවසීම යටපත් කරගෙන ඉහළට මතු වුනා. ඔහු අත් දෙකෙන්ම තැටියට පහර දුන්නා. ඒත් ඒක නිකම්ම හුළඟට ගැහුවා වගේ. තැටියට කිසිම වෙනසක් වුනේ නෑ. ඔහුගේ සිහිය භීතියෙන් විකල් වුනා. ඔහු සන්ෆා ගේ කොට්ටයක් අරගෙන වියරුවෙන් වගේ තැටියට පහර දුන්නා. කොට්ටය ඉරිලා පුළුන් හැම තැනම පියාඹලා ගියා. ඔහුගේ පයක වැදිලා පහන පෙරළිලා නිවිල ගියා. කාමරය සම්පූර්නයෙන්ම අඳුරේ ගිලිලා ගියා.
ඔහු හති දමමින් තැටිය දිහා බැලුවා. ඒත් තැටියේ කිසිම වෙනසක් තිබුනේ නෑ. ඒක සුපුරුදු පරිදි මද සිනා පාමින් තිබුනා. ඒ හිනාව ඔහුට පෙනුනේ ඔහුට කරන සරදමක් වගේ. සන්ෆා පෙරටත් වඩා හයියෙන් අඬමින් හිටියා.
ඔහු ඉතාම මාරුවෙන් සිහි එළවා ගත්තා. කළුවරේම ඉඳගෙන ශබ්ධ නගලා "තක්බීර්" (අල්ලාහ්-හු-අක්බර් හෙවත් දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි) නැවත නැවත කියන්න පටන් ගත්තා.
ටික වේලාවකට පස්සෙ ඔහු තැටිය දිහා බැලුවා. ඔහු දැක්කා ඒක පොඩ්ඩක් පොඩි වෙලා තියෙනවා. ඒකෙන් හිතට දිරිය වඩාගත්ත ඔහු වඩාත් උනන්දුවෙන් නැවත නැවත තක්බීර් කිව්වා. ටික වෙලාවක් යද්දි තැටිය කාසියක ප්‍රමානයට පොඩි වුනා. ඔහුගේ උගුර වේලිලා ලේ රහ වුනා. කටහඬ බැරෑඩි වුනා. ඒත් ඔහු නොනවත්වාම තක්බීර් කිව්වා.
සුදු පාට තැටිය ක්‍රමයෙන් අතුරුදහන් වෙලා ගියා.
මුළු ගෙදරම අඳුරේ සහ නිහඬතාවයේ ගිලිලා තිබුනා. ඔහු කළුවරේම ඇහුම්කන් දීගෙන හිටියා. ඔහුට තේරුනා සන්ෆා ගේ ඇඬීම නැවතිලා කියල. ඔහු ගින්දර ටිකක් අරගෙන එන්න ගියා.
ඇවිත් පහන පත්තු කළාම ඔහු දැක්කා සන්ෆා ඇඳ උඩ ඉඳගෙන ඉන්න හැටි. ඇයගේ මුහුණ ශාන්තයි. ඇය ඔහුට මද සිනාවක් පෑවා. ඔහු ඇයගේ හිස කරුණාවෙන් අතගාලා ඇයව නින්දට යැව්වා.
ඔහු එළියට ගිහින් බීඩීයක් පත්තු කරා. දැන් එළිය වැටෙන්න ළඟයි. ඔහුගේ ඇඟට පුදුම වෙහෙසක් දැනුනත් හිත ප්‍රීතියෙන් පිරිලා තිබුනා.
සන්ෆා ආයෙ කවදාවත් ඇඬුවෙ නෑ෴
- කතාව කිව්වේ වයිජෙහේගේ අලි දීදී (ෆුවා මුලාකු දූපත)
අටුවාව
1. ෆන්ඩිත
"ෆන්ඩිත" කියන්නෙ මාලදිවයිනේ වැදගත් චරිතයක්. බොහෝ දූපත් වල ෆන්ඩිත කෙනෙක් හිටියා. මොහුගේ කාර්‍ය භාරය වුනේ දූපත් වාසීන් ගේ සෞඛ්‍යය රැක බලා ගැනීම. ඒක වෙදා සහ යකැදුරා යන දෙකේ සංකලනයක්. "ෆන්ඩිත" කියන වචනය හැදිල තියෙන්නෙ සිංහල "පණ්ඩිත" වචනයෙන් කියල හිතන්න පුළුවන්.
2. මයිතිරි
මයිතිරි කියල හැඳින්වෙන්නෙ නරක ආත්ම වල බලපෑම නැති කරන්න කරන ශාන්ති කර්මයක්. මෙහිදී කරන්නෙ කුරාන පාඨ කියැවීම. මේ සිරිත ඉස්ලාමයට පෙර ඉඳල පැවත එන බවත්, ඉස්ලාමය දිවෙහි රාජ්ජෙට ආවට පස්සෙ මන්ත්‍ර වෙනුවට කුරාන පාඨ ආදේශ වුන බවත් හිතන්න පුළුවන්.
No comments:
Post a Comment