Thursday, August 23, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 57 (මාකුඹේ)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

මාකුඹේ


එකෝමත් එක කාලෙක මාලේ දූපතේ "මාකුඹේ" කියල මනුස්සයෙක් වාසය කළා. ඔහු බොහොම මහතයි. ඒ වගේම කෑමට හරිම කෑදරයි. හැමවෙලේම ඔහු කල්පනා කළේ කෑම ගැන​.

මාකුඹේට දූවරු තුන් දෙනෙකුයි පුත්තු හතර දෙනෙකුයි හිටියා. හත්වෙනි ළමයා ඉපදුනාට පස්සෙ ඔහුගේ බිරිඳ මිය ගියා. ළමයි හත් දෙනාගෙ වැඩපළ තනියම කරන්න වුනේ මාකුඹේට​. ඒ නිසා ඔහු ආයෙත් විවාහ වුනා. ඔහුගේ දෙවැනි බිරිඳ තරුණයි. ඇයට සිහින් සිරුරක් සහ ඉදිරියට නෙරාගිය අවලස්සන දත් තිබුනා. ඒ වගේම ඇය ඉතාම නපුරුයි. ඇය නිතරම මාකුඹේගෙ ළමයින්ට සැරවැර කරා.

එක දවසක් මාකුඹේ බිරිඳට කතා කළා.

"මට හරිම බඩගිනියි. මට "බෝෆොලි" (වෙල්ලවැහුම් වලට සමාන කෑමක්) කන්න ඕනෙ. මම කඩේට ගිහිල්ල ඕනෙ බඩු ගේන්නම්. ඔයා මට බෝෆොලි හදල දෙන්න​."


මාකුඹේ ගෙ බිරිඳ මෙහෙම උත්තර දුන්නා.

"මේ ගෙදර බෝෆොලි නෙවෙයි මොනව හැදුවත් ඔයාට හරියට කන්න ලැබෙන්නෙ නෑ නෙ. ඔයාගෙ ළමයි ටික ඔක්කොම කාල දාවි. ඒගොල්ලො කිසිම දෙයක් අනික් අයට ඉතුරු කරන්නෙ නෑ."

මාකුඹේ ඇයත් එක්ක එකඟ වුනා.

"අපි ළමයින්ට නොකිය ඉමු. මම හොරෙන්ම බඩු ටික කුස්සියට ගේන්නම්. අපි ඒව හංගල තියමු."

කුඩම්මා ළමයි එක්කගෙන දර ඇහිඳින්න ගිය අතරෙ මාකුඹේ කඩේට ගිහිල්ල ලොකු හකුරු බෝතලයක්, හාල්පිටි මුට්ටයක් සහ පොල්ගෙඩි අරගෙන ආවා. ඔහු හති දමමින් ඒවා කුස්සියේ හැංගුවා.

ඉර බැහැල ගියාට පස්සෙ මාකුඹේ ළමයින්ව නිදාගන්න යැව්වා. ඔවුන්ට නින්ද යන තුරු මාකුඹේ සහ බිරිඳ ටිකක් වෙලා බලාගෙන හිටියා. ඊට පස්සෙ කුඩම්මා කුස්සියට ගිහින් පුළුවන් තරම් සද්ද බද්ද එන්නෙ නැති විදිහට බෝෆොලි හදන්න පටන් ගත්තා. මාකුඹේ ඇයට උදව් කලා. ඔවුන් බෝෆොලි මහ ගොඩක් හැදුවා.

රෑ මැද බාලම පිරිමි ළමයා ඇහැරුනා. ඔහුට එළිබහින්න ඕන වුනා. එළිබහින්න පිළිකන්නට ආවම ඔහු දැක්කා කුස්සියෙ පහන් පත්තු වෙන හැටි. කුස්සියෙ බාගෙට වැහුන දොර අතරින් ඉතාමත් මිහිරි සුවඳක් හමමින් තිබුනා. ඔහු නිදිමතේම කුස්සියට කඩාවැදිලා කෑගැහුවා.

"මටත් බෝෆොලි එකක් දෙන්න​. මට හොඳටම බඩගිනියි."

මකුඹේ ගැස්සිලා ගියා. ඔහු ළමයට බෝෆොලි එකක් දුන්නා.

"අනිත් අයට කියන්නෙ එහෙම නෑ"

කුඩම්මා ඔහුට තරවටු කළා.

ළමයා කුස්සිය මුල්ලෙ ඉඳගෙන බෝෆොලි එක කෑවා. ඊට පස්සෙ ඔහු නිදාගන්න පිටත් වුනා. ඒත් ඔහු නිදාගත්තෙ නෑ. තමන් ළඟම නිදාගෙන හිටපු පොඩි අක්කව කොනිත්තල ඇහැරෙව්වා. ගෑණු ළමය වේදනාවෙන් කෑගහමින් නැගිට්ටා.

"බය වෙන්න එපා මම​"

"ඇයි මාව කෙනිත්තුවෙ?"

"තාත්තයි කුඩම්මයි කුස්සියෙ බෝෆොලි හදනවා. ඒ ගොල්ලො අපිට හොරෙන් ඔක්කොම කන්නයි යන්නෙ."

"ඔයා කෑවද​?"

"ඔව්. මම එකක් කෑවා. හරිම රසයි. ඔයත් කුස්සියට ගිහිල්ල අඬන්න. එතකොට ඔයාටත් එකක් දෙයි. එළිබහින්න ආව වගේ යන්න​."

ගෑණු ළමය කියපු විදිහටම කරා. ඇයටත් බෝෆොලි එකක් ලැබුනා. ඇයත් ආපහු ඇවිල්ලා ඇය ළඟ නිදාගෙන හිටපු සොහොයුරාව ඇහැරෙව්වා. මේ විදිහට එකා ගානෙ හත් දෙනාම කුස්සියට ගිහින් බෝෆොලි කෑවා.

මාකුඹේ තරහෙන් පිපිරෙන්න ගත්තා.

"මේ ළමයි නං හරිම කරදරයක්. දැන් හත් දෙනාම දන්නව අපි බෝෆොලි හදපු බව​. උදේට හත් දෙනාම ආපහු ඉල්ලයි. මට කන්න ඉතුරු වෙන එකක් නෑ."

ඔහු බෝෆොලි ගොඩ දිහා බලාගෙන දුකෙන් සුසුම් හෙළුවා.

"එහෙනං ඒගොල්ලො වැඩි දවසක් මෙහෙ ඉන්න එකක් නෑ. අනිද්ද උදේ වෙද්දි ඒගොල්ලො මෙහෙන් ගිහිල්ල ඉඳියි."

කුඩම්මා නපුරු හඬින් කිව්වා.

මාකුඹේ ගොඩක් වෙලා කුඩම්මා ගෙ වචන ගැන කල්පනා කරා. අන්තිමේදී ඔහුත් ඒකට එකඟ වුනා.

ඔවුන් මුළු රෑ පුරාම මහන්සි වෙලා බෝෆොලි හැදුවා. උදේ වෙද්දි බෝෆොලි මහ ගොඩක් හදල තිබුනා. ඔවුන් ඒ සියල්ලම "මලාෆයි" (ලාක්‍ෂය වැඩ දාපු ලී භාජනයක්) අසුරලා වහලයේ පොල් අතු අස්සෙ හැංගුවා.

ඊට පස්සෙ ඔවුන් දෙන්නා නින්දට ගියා.

මාකුඹේ ඇහැරුනේ පහුවදා මද්දහන් වෙද්දි. ඔහු ළමයි හත් දෙනාටම කතා කළා. ඔහු ඔවුන්ට ළඟ තිබුනු දූපතක දර කපන්න යන්න ලෑස්ති වෙන්න කිව්වා. ඔවුන් වෙරළට ගිහින් "කන්දු" ගහක් කපල ලණුවකින් බැඳල පහුරක් හැදුවා. ඔවුන් පහුරේ නැගලා හබල් ගහමින් ටිකෙන් ටික ගැඹුරු මුහුදට ගියා. ටික වෙලාවකින් ළමයින්ට තේරුනා මේ යන්නේ දර කපන්න යන ගමනක් නොවෙන බව​. ඔවුන් මාකුඹේගෙන් මේ යන්නෙ කොහෙද කියල ඇහුවත් මාකුඹේ ඔවුන්ට උත්තරයක් දුන්නේ නෑ. ඔහුගේ ඇස් ඈත මුහුද දිහාවට යොමු වෙලා තිබුනා.

ඔවුන් විලිංගිලි දූපත පහු කළා. ටික වෙලාවකින් මාලේ දූපත ක්‍ෂිතිජයෙන් එහා වැහිල ගියා. එක පාරටම මාකුඹේ වතුරට පැනල ආපහු ගොඩබිමට පීනගෙන ආව​. ඔහු ආපහු හැරිලවත් බැලුවෙ නෑ.

තෙතබරියම් වුන මාකුඹේ ආපහු ගෙදර ආවෙ හවස් වෙද්දි.

"ළමයි අපිට ආපහු කරදර කරන එකක් නෑ. මම උංව පහුරක පාකරල යැව්වා. පහුර මුහුදට පාවෙලා ගියා. එක්කො උං ගිලෙයි, නැත්තං බඩගින්නෙ මැරිල යයි."

"යසයි යසයි"

කුඩම්මා බොල්ලෑ දත් විළිස්සමින් නපුරු හඬින් හිනා වෙමින් කිව්වා.


මේ අතරෙ ළමයි හත් දෙනා පහුර උඩ පාවෙමින් හිටියා. ඔවුන් රළ පහරින් තෙමිලා. හොඳටම බය වෙලා. හැමෝම වැඩිමහල් පිරිමි ළමය දිහාව බැලුව​.

"අයියේ අපිට බඩගිනියි"

කඳුළු වැල් ඔවුන් ගේ කම්මුල් දිගේ ගලාගෙන ගියා.

"බය වෙන්න එපා. අඬන්න එපා. ඉවසගෙන ඉන්න​. ඉක්මනින්ම අපිව ගොඩබිමකට යාවි. අපි තාම පණපිටින් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕනෙ."

ඉර බැහැල ගියා. හඳ නැගල ආව​. හඳ එළියේ මහ මුහුද වඩාත් බියකරු පෙනුමක් ගත්තා. අඳුර නිසා ඔවුන්ට තමා ගහගෙන යන පැත්තවත් පෙනුනේ නෑ. තරු දිහා බලල මඟ හොයාගන්න ඔවුන් දැනගෙන හිටියෙ නෑ. මුහුද එන්න එන්නම රළු වුනා. කුඩා පහුර 'කිරි කිරි" හඬින් ඇඹරුනා. කොයි මොහොතේ පහුර කැඩිල යාවිද කියල බියෙන් ඔවුන් රාත්‍රිය ගත කළා.

ඔවුන්ට තිබුන එකම බලාපොරොත්තුව පහුරේ පාවෙමින් සිටීම විතරයි. ඒ නිසා හැමෝම එක අතකින් පහුරත්, අනෙක් අතින් තවත් ළමයෙක්වත් පුළුවන් තරම් හයියෙන් අල්ලගෙන හිටියා.

උදේ වෙද්දි හැමෝම තෙතබරි වෙලා. බඩගින්නෙන් හැමෝම දුර්වල වෙලා. ඒත් පහුර කැඩුනේ නෑ. ඔවුන් දිගටම රළු මුහුදේ පාවෙමින් හිටියා. දෙවියන්ගේ පිහිටෙන් වැඩි වෙලා නොගිහින් ඔවුන් දූපතකට ගහගෙන ආව​.

ළමයින්ට කියාගන්න බැරි තරම් සතුටුයි. හැමෝම වෙරළේ දිගාවෙලා මහන්සි නිවාගත්තා. පැය කීපයක්ට පස්සෙ ඔවුන් නැගිටලා දූපත පරික්‍ෂා කරල බැලුව​. දූපතක් කිව්වට ඒක ලොකු වැලි පරයක්. මුළු දූපතටම තිබුනේ වැලි විතරයි. අඩුම ගානෙ පඳුරක් වත් තිබුනේ නෑ. ඈත දූපත් කීපයක් පෙනුනත්, පීනල යන්න බැරි තරම් ඒවා ඈතයි.

බාලම පිරිමි ළමයට තවත් ඉවසගෙන ඉන්න බැරි වුනා.

"අයියේ මට හොඳටම බඩගිනියි"

ඊළඟ ළමයත් අඬන්න පටන් ගත්තා. ටිකකින් හය දෙනාම වැඩිමලා වටේ ඉඳගෙන අඬන්න පටන් ගත්තා.

"ඉවසල ඉන්න​. අපි බේරුන එක ගැන සන්තෝස වෙන්න​. මේ දූපත හමුවුනේ නැත්තම් අපි තාම මුහුදෙ පාවෙනවා. අපි දූපතේ ඇවිදල බලමු කන්න මොනවහරි තියෙයිද කියල​."

දෙවියන් ගේ පිහිටෙන් ඔවුන්ට වෙරළේ තිබිල ඉදුනු පැපොල් ගෙඩියක් හමුවුනා. ඒක අවට දූපතකින් ගහගෙන ආපු එකක්. වැඩිමලා පැපොල් ගෙඩිය තියුණු දාරයක් සහිත සිප්පි කටුවකින් සමාන කෑලි හතකට කැපුවා.

"ඇට ටික විසිකරන්න එපා. අපි ඒව දූපත මැද පැල කරමු."

හැමෝම දූපත මැද සමාන පරතරයක් තියෙන විදිහට පැපොල් ඇට පැළ කරා.

මේ විදිහට ටික කාලයක් ගතවුනා. ඔවුන් ජීවත් වුනේ වෙරළට පාවෙලා ආපු දෙයක් කාල​. පැපොල් ගස් ක්‍රමයෙන් ලොකු වුනා. ඒවගෙ සුදු පාට මල් පිපෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ පුංචි ගෙඩි ගස් කඳන් වල හට ගත්තා.

පොඩිම ළමයට පැපොල් ගෙඩි කන්න උවමනා වුනා. හැමෝම ඒක අනුමත කළා. ඒත් වැඩිමලා ඒකට එකඟ වුනේ නෑ.

"ඉවසන්න​. අපි එනකොට දූපත තිබුන හැටි මතකද​? වල් පැලයක් වත් තිබුනේ නෑ. ඒත් දැන් ඒක පැපොල් ගස් වලින් පිරිලා. අඩුම ගානෙ අපිට හෙවනක් වත් තියෙනවා."

එක දවසක් අසල්වැසි දූපතකින් යන රුවල් ඔරුවක් පාළු දූපතක ළමයි ටිකක් ඉන්නව දැකල දූපත ළඟ නැංගුරම් දැම්මා. බෝට්ටුවෙ ආපු අය ගොඩබිමට ගියා. ළමයි හඬා වැලපෙමින් අමුත්තන්ට කිව්වේ ඔවුන්ට ගොඩාක් බඩගිනි බව​. ඔවුන් ගේ තත්වය දැකල ඔරුවේ නියමුවාට දුක හිතුනා. ඔහු යන්න කලින් තමාගෙ ඔරුවෙ තිබ්බ කරවල සහ පොල් ගෙඩි ගොඩක් දූපතෙන් බෑවා. ඒ විදිහට ළමයින්ට ටික කාලයක් කෑම ඇති තරම් ලැබුනා. ඒත් ඉක්මනින්ම ඒ කෑම ඉවර වුනා. කෑම ඉවරවෙද්දිම පැපොල් ගෙඩි ඉදිල. ඔවුන් පැපොල් ගෙඩි කඩාගෙන කෑවා. ඒ තරම් රස පැපොල් ගෙඩි ඔවුන් කවදාවත් කාල තිබුනෙ නෑ.

ඔවුන්ට කන්න බැරි තරම් පැපොල් ගෙඩි හැදිල තිබුනා. ඒ නිසා ඔවුන් පහුර අළුත්වැඩියා කරගෙන පැපොල් ගෙඩි පහුරෙ පටවගෙන අසල්වැසි දූපතකට ගියා. එහිදී ඔවුන්ට පැපොල් දීලා පොල් අතු, ලොකු ලී දඬු සහ කොහුලණු ගන්න පුළුවන් වුනා.

ඒවායින් ඔවුන් ඔවුන් ගේ පුංචි දූපතේ පුංචි ගෙවල් හතක් හැදුවා. ඔවුන් ටිකෙන් ටික දූපතේ පොල් ගස් සහ වෙනත් ගස් වර්ග පැළ කලා. ඒවායින් ඔවුන් ගේ පැපොල් වගාවට හෙවන ලැබුනු නිසා පැපොල් වගාව තවත් සරු වුනා.

ටික කාලයක් යද්දි ඔවුන් ගේ පැපොල් මුළු අතොලුවේම ප්‍රසිද්ධ වුනා. ඒ තරම් රස පැපොල් කිසිම කෙනක් කවදාවත් කාල තිබුනෙ නෑ. ඔවුන්ට පැපොල් විකුනල ලොකු මුදලක් එක් රැස් කරගන්න පුළුවන් වුනා. ඔවුන් ඒ මුදලින් බෝට්ටුවක් ගත්තා. ඊට පස්සෙ පොල් අතු ගෙවල් වෙනුවට ගල් වලින් ගෙවල් හතක් හදාගත්තා. ඔවුන් දැන් ගජ පොහොසත්තු.


එක දවසක් ඔවුන් පැපොල් විකුණන්න අසල්වැසි දූපතකට ගියා. එහිදී ඔවුන්ට දැනගන්න ලැබුනා ඔවුන් ගේ පියා, මාකුඹේ, මිය ගිහිල්ල කියල​. ඔවුන් ලහි ලහියේ ෆාතිහා කියවීමට (මළවුන් සඳහා පැවැත්වෙන වතාවතක්) ලෑස්ති වුනා.

ඒත් මාකුඹේ ඇත්තටම මිය ගිහිල්ල නෑ. ඔහුත් හරියට එදාම ළමයි වෙළඳාමේ ආපු දූපතේමයි හිටියෙ. ඔහුට දැනගන්න ලැබුනම ඔහුගේ ළමයි මිය ගිහින් නැති බවත්, ඔවුන් දැන් ධනවත් වෙළෙන්දන් බවත්, ඔහු මනුස්සයෙක්ට සල්ලි දීල බොරුවට තමා මියගිය බව ළමයින්ට කියන්න කියල කිව්වා. ඔහුට උවමනා වුනා මේකෙන් මොකක් හරි වාසියක් ලබා ගන්න​.

එදා රෑ ඔහු කුඩා රුවල් ඔරුවක නැගල ළමයින් ගේ දූපතට ගියා. දූපතට ගොඩබැස්සම ඔහු ගල් වලින් හදපු ලස්සන ගෙවල් සහ සරුවට වැවුනු පැපොල් වගාව දැකල පුදුමයට පත් වුනා.

ළමයි ඒ වෙලාවෙ ෆාතිහා උත්සවයට එන අමුත්තන්ට කෑම උයමින් හිටියේ. කෑම සුවඳ ආව හැටියෙ මාකුඹේ ගෙ කටින් කෙළ බේරෙන්න පටන් ගත්තා. ඔහුට ඉවසගෙන ඉන්න බැරි වුනා. ඔහු හෙමින් හෙමින් පළවෙනි ගෙදරට ලං වෙලා දොරට තට්ටු කලා.

"කවුද​?"

"මම මාකුඹේ, උඹලගෙ තාත්තා"

මාකුඹේ ගෙ පුතාට සතුට උහුලගන්න බෑ. මියගියා කිව්ව තාත්තා පණපිටින් ඇවිල්ල ඉන්නව​. ඔහු හනිකට මාකුඹේව ගෙට ගත්තා.

"තාත්තේ, මට හරිම සතුටුයි. අපි මේ හෙට අවමගුලට කෑම හදනව​."

මාකුඹේ කුස්සිය පුරා තිබ්බ කෑම වර්ග දිහා කෑදරකමින් බැලුවා.

"මගෙ මළගෙදරට තාම කල් වැඩියි. ඒත් කෑම ලෑස්තියි නම් මම ටිකක් කන්නං. අහකදාන එක අපරාදෙ නෙ."

කෑම හරිම රසයි. මාකුඹේ කෑම ටික ඔක්කොම කෑවා.

මේ විදිහට මාකුඹේ ගෙවල් හතටම ගිහින් කෑම කෑවා.

වැඩිමල් පුතාගෙ ගෙදරින් එළියට එද්දි ඔහුට බඩ උස්සගෙන ඇවිදින්න බැරි ගානයි. ඔහුගෙ ඉහින් කනින් දාඩිය වැක්කෙරෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔහු කල්පනා කලා මුහුදු වෙරළට යන්න​. අමාරුවෙන් ඔහු වෙරළ පැත්තට ඇවිද්දා.

වෙරළේ කොනක ලෙලි ගහන්න සූදානම් කරපු පොල්ගෙඩි ගොඩ ගහල තිබුනා. මාකුඹේ ඒ පැත්තට ගියා. ඔහුගේ බඩ කොයිතරම් ලොකුද කිව්වොත් ඔහුට පොල් ලෙලි ගහන්න පාවිච්චි කරන ලී පොල් උල හිටවල තියෙනව පෙනුනෙ නෑ.

පොල් උල් මාකුඹේ ගෙ බඩේ ඇණුන විතරයි ඔහුගේ බඩවැල් සේරම එළියට පැන්නා. වේදානවෙන් සිහි විකල් වෙමින් මාකුඹේ පොල් ලෙලි ගොඩ උඩට වැටුනා. ඔහු අවසන් හුස්ම හෙළුවේ බඩවැල් වලින් එලියට ඇවිත් තිබුනු රසවත් කෑම වලට මැදි වෙලා.

පහුවදා උදේ ළමයින්ට මාකුඹේගෙ මළ සිරුර හමු වුනා. ඔවුන්ට ඒ පාර ඇත්තටම ෆාතිහා උත්සවය පවත්වන්න සිද්ධ වුනා෴


- කතාව කිව්වේ ගාගේ අයිෂාත් නාස්නීන් (මාලේ දූපත​)


අටුවාව

1. බෝෆොලි

"බෝෆොලි" කියන්නෙ පොල්, හකුරු සහ හාල්පිටි යොදාගෙන හදන වෙල්ලවැහුම් වලට සමාන කෑමක්. දිවෙහි රාජ්ජේ සමහර ආගමික උත්සව වලට බෝෆොලි හදනවා. ඒ දවස් හැඳින්වෙන්නේ "බෝෆොලි දුවස්" කියල​.


2. මලාෆයි

ලී වලින් හදපු ලොකු භාජනයක්. මේ භාජන ලාක්‍ෂය වැඩ වලින් අලංකාර කරල තිබුනා. මේවා පාවිච්චි කලේ කෑම අසුරල තියන්න​.


3. කන්දු

තරමක් උසට වැවෙන පලාටු ගහට නෑකම් කියන ගහක්.


4. පැපොල්

දිවෙහි බසින් පැපොල් හැඳින්වෙන්නෙ "ෆලු" කියල​. දිවෙහි රාජ්ජේ කටුක දේශගුණය සහ වැලි සහිත පස නිසා පළතුරු වර්ග හැදෙන්නෙ බොහොම අඩුවෙන්. පැපොල් ඒ අතළොස්සෙන් එකක්. මේ නිසා පැපොල් කියන්නෙ දිවෙහි රාජ්ජේ වැසියන්ට දිව්‍ය භෝජනයක්. ඔවුන් ගේ ජනකතා වලට අනුව දිවෙහි රාජ්ජේ එක්සත් කරපු පළවෙනි රජතුමා වන කොයිමාල කාලෝ මාලේ දූපතේ පළවෙනියටම හදන්නෙ පැපොල් ගහක්. මේ කතාවෙත් ඊට සමාන දෙයක් දකින්න පුළුවන්.


5. ෆතිහා කියවීම​

කෙනෙකුගේ මරණයක සංවත්සරයක් වෙනුවෙන් (අවුරුද්දක්, අවුරුදු තුනක් වැනි) ගෙදරට නෑදෑ හිත මිතුරන් රැස් කරලා ඔවුන්ට ආහාරා පාන වලින් සංග්‍රහ කරලා කුරානයේ පාඨ හඬ නගා කියැවීමේ සිරිතක් දිවෙහි රාජ්ජේ තියෙනවා. මේ උත්සව වලදී කියවන්නේ කුරානයේ පළවෙනි පරිච්ඡේදය වන අල්-ෆතිහා පරිච්ඡේදය නිසා මේ උත්සවය හැඳින්වෙන්නේ ෆතිහා කියවීම කියලා. මේ උත්සවය දූපත් වාසීන් ගේ වැදගත්ම සංස්කෘතික උත්සවයක්. මේක අපේ දානෙ ගෙදරකට ඉතා සමානයි.

3 comments: