Sunday, August 12, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 55 (කුල්ලවා ෆලු රාණි)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

කුල්ලවා ෆලු රාණි (කිරල​ කැලේ රැජිණ​)


එකෝමත් එක කාලෙක දිවෙහි රාජ්ජේ උතුරු කොනේ අතොළුවක තිබුන විශාල දූපතක දුප්පත් තරුණ යුවලක් වාසය කළා. මේ දූපතේ භූමිය වගුරු සහිත එකක්. දූපතෙන් බාගයක් විතර වහගෙන විශාල කිරල​ කැලයක් මේ වගුරු සහිත බිමේ සරුවට වැවිලා තිබුනා. වගුරු බිමේ මැසි මදුරුවන් යහමින් වාසය කළ නිසා දූපත් වාසීන් කිරල​ කැලය සැලකුවේ මිනිස් වාසයට නුසුදුසු බිමක් විදිහට​. ඒත් තරුණ යුවල ජීවත් වුනේ කඩොල් කැලය මැද හදාගත්ත පුංචි පැලක​.

ඔවුන් බොහෝම දුප්පත් නිසා එදාවේල හම්බ කරගත්තේ බොහොම අමාරුවෙන්. ගොඩක් දවස් වලට ඔවුන් ගේ ආහාරය වුනේ කිරල ගෙඩි. කලාතුරකින් පොල් ගෙඩියක් කඩාගන්නත්, නොගැඹුරු දියේ ඉන්න කුඩා මාළුවෙක් අල්ලගන්නත් ඔවුන්ට හැකි වුනා. ඒත් ඔවුන් ගේ ප්‍රධාන ආහාරය වුනේ කිරල ගෙඩි.

ඔවුන් දුප්පත් වුනත්, බොහොම අමාරුවෙන් ජීවත් වුනත්, සතුටින් ජීවත් වුනා. දූපතේ එහා කෙළවර තිබුන ගමට ඔවුන් ගියේ බොහොම කලාතුරකින්. ඔවුන් ජීවත් වුන මැසි මදුරුවන් පිරුන වගුරට දූපත් වාසීන් කවදාවත් ආවෙ නෑ.

තරුණිය ගැබ් ගත්තා. ඔවුන් හොඳ දරුවෙක් ලබාදෙන්න කියල දෙවියන්ට කන්නලව් කළා. දේව කරුණාවෙන් ඔවුන්ට ඉතාම ලස්සන දියණියක් ලැබුනා. දියණිය තමයි එදා පටන් ඔවුන්ගෙ ජීවිතයේ සතුට වුනේ.

මේ දියණියගේ මුළු ජීවිතයම කිරල කැලයත් එක්ක බැඳිල තිබුනා. ඇගේ දෙමාපියන් කිරල ගෙඩි කඩද්දි ඇය කිරල ගහක් යට හෙවනේ නිදා ගත්තා. නැතිනම් කිරල ගහක් යටට වෙලා තනියම සෙල්ලම් කළා. ඇය මව්කිරි හැර වෙනත් කෑම ගන්න වයසට ආවම ඇගේ මව ඉදුනු කිරල ගෙඩි අතින් පොඩි කරල ඒ යුෂ ඇයට පෙව්වා.

ඇය දුවපැන ඇවිදින වයසට ආවම දෙමාපියන් ඇයට කිරල කැලේ නිදහසේ සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. කිරල කැලේ භයානක සත්තු හිටියෙ නැති නිසා ඇයට බයක් වෙන්න හේතුවක් තිබ්බෙ නෑ. ඇය මඩේ බැහැගෙන සහ කිරල ගස් උඩ නැගගෙන කිරල ගෙඩි කමින් මුළු දවසම ගත කළා. ඉර බැහැගෙන යද්දි ගෙදර ඇවිත් කිරල ගෙඩිවලින් ඇගේ මව හදල තිබුන මොකක් හෝ කෑමක් කාල නින් දටගියා.

කාලය ගත වුනා. දැරිය දැන් කදිම තරුණියක්. ඇය ඉතාමත් ලස්සනයි. ඒ වගේම කිරල කැලේ හැම අස්සක් මුල්ලක් නෑරම ඇයට හුරු පුරුදුයි. ඇයට ඕනම කිරල ගහකට නගින්නත්, අතු නොබිඳෙන විදිහට අතු අගට ගිහින් කිරල ගෙඩි කඩන්නත් පුළුවන් වුනා. හොඳම ගෙඩි හැදෙන ගස් ඇය කටපාඩමින් දැනගෙන හිටියා. ගෙඩි වල හැඩයෙන් ඒවායේ රස වෙනස් වෙන හැටි කියන්න ඇයට පුළුවන් වුනා.

තරුණිය මුළු දවසම ගත කලේ කිරල කැලේට වෙලා. ඇය ගෙදර ගියේ නිදාගන්න විතරයි. ඇයට ලියන්න කියවන්න පුළුවන් කමක් තිබුනේ නෑ. ජීවිතේ බලාපොරොත්තු තිබුනේ නෑ. ඇයට ඕන කරපු එකම දේ මුළු ජීවිත කාලෙම කිරල කැලේට වෙලා ජීවත් වෙන්නත්, හවසට ගෙදර ඇවිත් නින්ද යන තුරු දෙමාපියන් එක්ක සින්දු කියන්නත්, විහිළු කතා කියන්නත්.

එක දවසක් විශාල නැවක් දූපත අසල නැංගුරම් දැම්මා. ඒ රදුන් (රජතුමා) ගේ නැව​. තමාගේ රාජධාණියේ උතුරු දිග දූපත් වල සංචාරයක නිරත වෙමින් සිටි රදුන් ආපහු මාලේ බලා යමින් හිටියා. ඔහු නැවේ තට්ටුවට වෙලා සරුවට වැවුනු කැලෑව දිහා බැලුවා.

"මොනවද අර ගස් ජාතිය​"

"ඒ කිරල ගස් රජතුමණි. මේ දූපත බොහොම දුප්පත්. ඒත් මුළු රාජධාණියේම විශාලම කිරල කැලෑව තියෙන්නෙ මේ දූපතේ."

තමාගේ රාජධාණියේ විශාලම කිරල කැලෑව බලන්න රදුන්ට ආසාවක් ඇති වුනා.

"අපි පොඩ්ඩකට දූපතට ගොඩ බහිමු. මට මේ කැලෑවේ ඇවිදින්න ඕනෙ."

ඔවුන් කුඩා බෝට්ටුවකින් ගොඩබිමට ආවා. දූපත් ප්‍රධානියාව හමු වෙලා ඔහුගේ පිළිගැනීම භුක්ති වින්දට පස්සෙ රදුන් කිරල කැලය බලන්න යන්න සූදානම් වුනා.

රදුන් තරුණයෙක්. ඔහු ත්‍රාසජනක ක්‍රීඩා වලට ආසයි. ඒ නිසා ඔහු කැලයට පිටත් වුනේ තනිවම​. පිරිවර සෙනඟ කොයිතරම් විරුද්ධ වුනත් ඔහු ඒවා තුට්ටුවකට මායිම් කලේ නෑ.

නුපුරුදු වගුරු බිමේ රදුන් ඉතාම අමාරුවෙන් ඉදිරියට ගමන් කළා. ඔහු එකපාරටම කැලයේ ඈත අපැහැදිලි ඡායාවක් දැක්කා. ඉතාම පරිස්සමෙන් සද්දයක් නොනැගෙන විදිහට ඔහු ඒ පැත්තට කිට්ටු කලා.

ඔහු දැක්කේ තමාගේ ජීවිතේටම දැකපු ඉතාම ලස්සනම තරුණිය​. ඇය ඔහුට පිටුපාලා බිම ඉඳගෙන කුඩා වට්ටියකට කිරල ගෙඩි එකතු කරමින් හිටියා. රදුන් හිටිතැනම ගල් ගැහිලා බලාගෙන හිටියේ ඇගේ ලස්සනෙන් වශී වෙලා.

එකපාරටම ඔහුට කල්පනා වුනා මේ යක්‍ෂනියක් වෙන්න පුළුවන් කියල. ඔහු ඒ සිතුවිල්ලෙන් තිගැස්සුනා. තිගැස්සුනු පාර ඔහුට පෑගුනු දිරාගිය අත්තක් බිඳිල ගියා. ඒ සද්දෙන් තරුණිය හැරිල බැලුවා. ඇය දැක්කා කවුදෝ අමුත්තෙක් ඇය දිහා බලාගෙන ඉන්න හැටි. ඇය සැනෙකින් කිරල කැලය ඇතුලට අතුරුදහන් වුනා.

රදුන් ආපහු ගමට ගිහින් තමා දැකපු දේ කිව්වා. ගම් වාසීන් ඔහුට කැලය මැද ජීවත් වෙන පවුල ගැනත්, ඒ පවුලේ ඉතාම ලස්සන දියණිය ගැනත් විස්තර කිව්වා. මග පෙන්වන්න ගම් වාසියෙකුත් එක්ක රදුන් තමාගේ පිරිවර සමඟ කැලය මැද තිබුණු පැල හොයාගෙන පිටත් වුනා.

ඔවුන් එනවා දැකපු තරුණිය මහා හඬින් විලාප තියාගෙන පැල ඇතුළට ගිහින් හැංගුවා. රදුන් ගේ පිරිවරට සහ ඇගේ දෙමාපියන්ට ඇයව සන්සුන් කරන්න සෑහෙන උත්සහයක් දරන්න සිද්ධ වුනා. අන්තිමේදී ඇය සන්සුන් වුනාට පස්සෙ රදුන් ඇයව විවාහ කරගන්න කැමති බව ඇගේ දෙමාපියන්ට කිව්වා.

ඇගේ දෙමාපියන්ට විරුද්ධ වෙන්න පුළුවන් කමක් තිබුනේ නෑ. රදුන් ඇයව තමාගෙ නැවට කැඳවාගෙන යන හැටි ඔවුන් කඳුළු පිරුනු දෙනෙතින් බලාගෙන හිටියා.

ජීවිතයේ පළමු වතාවට තරුණිය කිරල කැලයෙන් එළියට අඩිය තිබ්බා.

මාලේ දක්වා නැව් ගමන ඇයට ඉතාම අසීරු වුනා. ඇයට හැම දෙයක්ම නුපුරුදුයි. මිනිස්සු ළඟට එනවට ඇය කැමති වුනේ නෑ. කවුරුහරි ඇය අසලට ආවම ඇය මහා හඬින් විලාප තියා හඬා වැටුනා. නැවේ තිබුනු කිසිම දෙයක් ඇය කෑමට ගත්තේ නෑ. ඇයට ඕන වුනේ කිරල ගෙඩි. යන්තම කැඳ ටිකක් ඇයට පොවන්න සේවකයන්ට අමාරුවෙන් පුළුවන් වුනා. නැවේ මුල්ලකට වෙලා භීතියෙන් වෙව්ලමින් හඬා වැටෙන ඇය දිහා රදුන් බැලුවේ අනුකම්පාවෙන්.

මාලේ දූපතට ඇවිත්, මාළිගයට ආවට පස්සෙ මාළිගාවේ සේවිකාවෝ ඇය සෝදල පවිත්‍ර කරලා වටිනා සළු පිළි ඇන්දුවා. රසවත් ආහාර කෑමට දුන්නා. සුවඳ විලවුන් ඇඟ ගැල්වුවා. ඇගේ ලස්සන දැකපු හැමෝම විශ්මයට පත් වුනා.

හෙමින් හෙමින් ඇය මාළිගාවේ ජීවිතයට පුරුදු වුනා. රදුන් ගේ සේවිකාවෝ ඇයට ලියන්න කියවන්නත්, ප්‍රභූන් එක්ක කතාබහ කරන්නත්, උත්සව අවස්ථාවලදී හැසිරෙන්න ඕන විදිහත් කියල දුන්නා. රැජිණක් ඇවිදින්න ඕන විදිහ සහ කතාබහ කරන්න ඕන විදිහ ඇය ටිකෙන් ටික ඉගෙන ගත්තා.

ඔය විදිහට ටික කාලයක් ගතවුනා.

ඇගේ දූපතේ වෙළඳ කණ්ඩායමක් මාලේ දූපතට වෙළඳාමේ ආවා. ඔවුන්ට ආසාවක් ඇති වුනා තමාගේ දූපතේ උපත ලබපු, දැන් මුළු දිවෙහි රාජ්ජේම අග රැජිණිය බැහැ දකින්න​.

ඔවුන් දැනගෙන හිටියා ඇය කිරල ගෙඩි කන්න කොයිතරම් ආසද කියලා. ඒ නිසා ඔවුන් ඇයට තෑගි විදිහට පොල්කොළ වලින් වියපු විශාල පෙට්ටියක් පුරවල කිරල ගෙඩි අරගෙන ගියා.

මාළිගයේදී මුරකාරයො ඔවුන්ව රැජිණිය ඉදිරිපිටට අරගෙන ගියා. ඉතාම වටිනා සළු පිළි වලින් සැරසුන රැජිණිය ඔවුන් ඉදිරියේ පෙනී සිටියා. ඇය කියන්න බැරි තරම් ලස්සනයි.

ඔවුන් ඇයට කියා හිටියා ඔවුන් ඇගේ දූපතේ ඉඳල ආපු බවත්, ඇයට තෑගි ගෙනාපු බවත්. ඇය ඔවුන් අතින් පෙට්ටිය අරගෙන පියන ඉවත් කරල බැලුවා.

"අපි හිතුවා ඔබතුමිය කිරල ගෙඩි කන්න ආස වෙයි කියල​. ඒවා මාලෙ දූපතේ වැවෙන්නෙ නෑ නොවැ."

රැජිණිය ඇගේ ලස්සන ඇඟිලිතුඩු වලින් කිරල ගෙඩියක් අරගෙන ඒ දිහා හොඳින් බැලුවා. ඇගේ ලස්සන ඇස් විස්මයෙන් ලොකු වුනා. ඇය කිරල ගෙඩිය ඒ මේ අත හරවමින් හොඳට ඒ දිහා බැලුවා.

"මේක හරිම අපූරු ගෙඩියක් නෙ. මේ ගෙඩියෙ නැට්ට තියෙන්නෙ මේ පැත්තෙද අනික් පැත්තෙ ද​?"


කවුරුහරි කෙනෙක් පොහොසත් වුනාට පස්සෙ තමාගෙ මුල අමතක කරනව නම්, තමාගේ දුප්පත් නෑදෑයන් ගැන ලැජ්ජා වෙනව නම් දිවෙහි රාජ්ජේ වැසියො කියන්නෙ "එයා හරියට කිරල කැලේ රැජිණ වගේ" කියල.෴

- කතාව කිව්වේ ගාගේ අයීෂා නාස්නීන් (මාලේ දූපත​)

 

අටුවාව​

1. කිරල​

දිවෙහි බසින් "කුල්ලවා" කියල හැඳින්වෙන්නේ සිංහලෙන් කිරල කියල හැඳින්වෙන ගහ​. කඩොලාන ශාකයක් වන මේ ගහ නොගැඹුරු කලපු වල සහ වගුරු බිම් ආශ්‍රිතව හැදෙන ගහක්. කිරල ගහේ ගෙඩිය දිවෙහි රාජ්ජේ වගේම ලංකාවේත් ආහාරයට ගන්නවා.




1 comment: