Friday, September 7, 2018

දන්තුරේ හටන​

දන්තුරේ කියන්නේ කොළඹ - නුවර පාරේ ඇති පිළිමතලාව නගරයට කිලෝමීටර් 3 ක් පමණ නුදුරින් ඇති කුඩා ගමක්. අද මේ ගම කිසිම විශේෂත්වයක් ඇති තැනක් නෙවෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන තවත් එක කුඩා ගමක් විතරයි - දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ යම්කිසි ප්‍රසිද්ධියක් හැරුණු විට​.

ඒත් දන්තුරේ කියන්නෙ පින් බිමක්. සිංහල බෞද්ධ රාජ්‍යය සදහටම විනාශ වෙලා යන්න ඔන්න මෙන්න තියෙද්දි, සිංහල බෞද්ධ රාජ්‍යය ඉතිහාසයේ අවදානම්ම තැනකට පත් වෙලා තියෙද්දි, නැවතත් පිහිටුවන්නේ දන්තුරේ දී. අවුරුදු 2000 ක උරුමය සදහටම මියැදීමේ අවදානමක් තියෙද්දි, නැවතත් පණ පොවන්නේ දන්තුරේ දී.

ඒ 1594 දන්තුරේ හටනෙන්.

පසුබිම​

1581 දී පළවෙනි රාජසිංහ රජතුමා සීතාවක රජකමට පත් වෙද්දි ලංකාවේ පාලන ප්‍රදේශ හතරක් තියෙනවා.

1. දොන් ජොආඕ ධර්මපාල රජු ගේ පාලනය යටතේ තිබුනු කෝට්ටේ රාජධාණිය​
2. රාජසිංහ රජුගේ පාලනය යටතේ තිබුනු සීතාවක රාජධාණිය​
3. කරල්ලියද්දේ බණ්ඩාර රජු ගේ පාලනය යටතේ තිබුණු මහනුවර රාජධාණිය​
4. පුවිරාජ පණ්ඩරම් රජු ගේ පාලනය යටතේ තිබුණු යාපනය රාජධාණිය​


කෝට්ටේ රාජධාණිය සම්පූර්ණයෙන්ම පෘතුගීසින් ගේ ග්‍රහනය යටතේ තියෙන්නේ. කතෝලික ආගම වැළඳ ගත්ත දොන් ජොආඕ ධර්මපාල රජු පෘතුගීසින් ගේ රූකඩයකට වඩා වැඩි දෙයක් වුනේ නෑ. හැබැයි නිරන්තර සීතාවක ප්‍රහාරයන් හමුවේ ඔවුන්ට මේ වෙද්දි ඉතුරු වෙලා තිබුනේ බටහිර වෙරළ තීරය විතරයි.

සීතාවක රාජධාණිය තමයි සිංහලයන් ප්‍රධාන රාජ්‍යය විදිහට සැලකුවේ. එයට පහතරට භූමියෙන් වැඩි කොටස අයත් වුනා.

මහනුවර සහ යාපනය රාජධාණි කෝට්ටේ රජුට (පෘතුගීසින්ට​) කප්පම් ගෙවන අවනත රාජ්‍යයන් දෙකක් විදිහට පැවතුනා. කරල්ලියද්දේ බණ් ඩාර රජුගේ වැඩිමල් දියණිය තමයි ධර්මපාල රජු ගේ බිසව වෙන්නෙ.

රජ වුනාට පස්සෙ රාජසිංහ රජතුමාගේ අවධානය මුලින්ම යොමු වෙන්නේ මහනුවර රාජධාණියට​. ඔහු 1582 දී මහනුවර ආක්‍රමනය කරනවා. එහිදී ඔහුට පේරාදෙණියේ සිටි ප්‍රභූ වරයෙක් වුන වීරසුන්දර මුදියන්සේ ගේ අධාර ලැබෙනවා. බලන දුර්ගයේ සිදු වෙන සටනකින් මහනුවර හමුදාව පරාජය වුනාට පස්සෙ මහනුවර රජ පවුල මන්නාරම පෘතුගීසි බලකොටුවේ ආරක්‍ෂාව පතා පැනලා යනවා. රාජසිංහ රජු මහනුවර සීතාවකට ඈඳා ගන්නවා. ඔහු එහි ප්‍රාදේශීය පාලකයා විදිහට වීරසුන්දර මුදියන්සේ පත් කරනවා.

1587 දී කෝට්ටේ රාජධාණියේ ප්‍රදේශ වලින් විශාල පංගුවක් අත් කරගන්න රාජසිංහ රජතුමා සමත් වෙනවා. ඒ අනුව ලංකාවේ බලවත්ම දේශපාලන ඒකකය විදිහට සීතාවක පත්වෙනවා. පෘතුගීසින් ගේ තත්වය පත් වෙන්නෙ අවදානම් අඩියකට​.


මේ අතරේ කරල්ලියද්දේ බන්ඩාර රජු, ඔහුගේ බිසව සහ ඔහුගේ පුතා වසූරිය වැළඳීමෙන් මන්නාරමේදී මිය යනවා. මිය යාමට පෙර ඔහු තමාගේ අනුප්‍රාප්තිකයා විදිහට තමාගේ බෑණා වන යමසිංහ බණ්ඩාර නම් කරනවා. ඒ වගේම තම දියණිය වන කුසුමාසන දේවිය වැඩිවිය පැමිණි පසු ඇයව යමසිංහ බණ්ඩාරට විවාහ කර දෙන ලෙස පෘතුගීසින් ගෙන් ඉල්ලා සිටිනවා. පෘතුගීසින් මේකට එකඟ වෙනවා එක කොන්දේසියක් මත - යමසිංහ බණ්ඩාර සහ කුසුමාසන දේවිය කතෝලික ආගම වැළඳ ගත යුතුයි. ඒ අනුව ඔවුන් දෙදෙනා දොන් ෆිලිපේ සහ දෝන කැතරිනා නමින් බෞතීස්ම කෙරෙනවා.

නමුත් මේ තත්වය සම්පූර්නයෙන්ම කණපිට හැරෙන්නෙ ගතවෙන්නෙ ඉතාම කෙටි කාලයයි.

රාජසිංහ රජතුමා හින්දු ආගම වැළඳගෙන බුද්ධාගමට අඩන්තේට්ටම් කරන නිසා සිංහලයන් අතර ඔහුගේ ජනප්‍රියත්වය අඩු වෙනවා. ඉන්දියාවේ ඉඳල එන අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල් ඔහුගේ ප්‍රධාන උපදේශක තනතුරේ ලා කටයුතු කිරීම සිංහල ප්‍රභූන් ගේ දැඩි අප්‍රසාදයට හේතු වෙනවා.

මේ තත්වය පුපුරා යන්නේ මහනුවර රාජසිංහ රජුට විරුද්ධව කැරැල්ලක් ඇති වීමෙන්. කැරැල්ලේ නායකත්වය දරන්නේ වීරසූරිය මුදියන්සේ. රාජසිංහ රජු සාම සාකච්ඡාවකට වීරසුන්දර මුදියන්සේට සීතාවකට ආරාධනා කරලා ඔහු පැමිණි පසු රහසේම ඔහුව ඝාතනය කරනවා. ඒ බොරු වලක වැටෙන්නට සැලැස්වීමෙන්. ඊට පස්සෙ හමුදාවකුත් සමඟ මහනුවරට යන රාජසිංහ රජු දරුණු ආකාරයට කැරැල්ල මැඩපවත්වනවා.

වීරසුන්දර මුදියන්සේ ගේ තරුණ පුතා වන කොනප්පු බණ්ඩාර ආරක්‍ෂාව පතා පෘතුගීසින් වෙත පැනල යනවා. එහිදී ඔහු ඕස්ට්‍රියාවේ දොන් ජොආඕ නමින් බෞතීස්ම කෙරෙනවා. ඔහු පෘතුගීසින් ගේ ලැස්කොරින් හමුදාවේ මුළාදෑණියෙක් විදිහට සේවයට බැඳෙනවා. කෙටි කාලයකින්ම තම රණ ශූරත්වය නිසා පෘතුගීසින් ගේ සිත් දිනාගන්න මේ තරුණයා ලැස්කොරින් හමුදාවේ නායක තනතුරට පත් වෙනවා.

1592 දී කතෝලික භක්තික මුදලි වරයෙක් වන දොන් ෆ්‍රැන්සිස්කෝ යටතේ මහනුවර තවත් කැරැල්ලක් ඇති වෙනවා. කැරලි කරුවන් රාජසිංහ රජුගේ හමුදාව මහනුවරින් පළවා හැරල සිහසුන භාර ගන්න දොන් ෆිලිපේ ට ආරාධනා කරනවා. මහනුවර තමාගේ ග්‍රහනයට ගන්න ලැබුනු මේ කදිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න බලන පෘතුගීසීන් කපිතන් ජොආඕ ඩි මේලෝ යටතේ 400 ක පෘතුගීසි බලඇණියක් සහ දොන් ජොආඕ යටතේ ලැස්කොරින් බල​ඇණියක් සමඟ දොන් ෆිලිපේ කුමරුවා මහනුවරට යනවා.

මහනුවරට එන දොන් ෆිලිපේ මහනුවර රජු විදිහට අභිෂේක ලබනවා.

ඒත් ටික දවසකට පස්සේ තදබල විදිහට රෝගාතුර වීමෙන් දොන් ෆිලිපේ මිය යනවා. පෘතුගීසින් චෝදනා කරන්නේ දොන් ජොආඕ ඔහුට වස දී මරා දැමූ බවට​. දොන් ජොආඕ පෘතුගීසින් ඔහුට වස දුන් බවට පෙරළා චෝදනා කරනවා. මේ ගැටුම ඉක්මනින්ම පෘතුගීසින්ට එරෙහිව කැරැල්ලක් බවට පත් වෙනවා. උඩරට ප්‍රභූන් දොන් ජොආඕ ට සහය පළ කරනවා. තත්වයේ බැරෑරුම් කම වටහා ගන්න පෘතුගීසින් ඉක්මනින්ම මන්නාරම බලා පසු බසිනවා.

ඒ එක්කම නැවතත් බුද්ධාගම වැළඳ ගන්න දොන් ජොආඕ, විමලධර්මසූරිය නමින් මහනුවර රජ වෙනවා.


1593 දී රාජසිංහ රජතුමා මහනුවර ආක්‍රමනය කරනවා. නමුත් බලනේදී ඔහුගේ හමුදාවට දරුණු පරාජයක් අත් කර දෙන්න විමලධර්මසූරිය සමත් වෙනවා. පරාජය වෙලා ආපහු යද්දි රාජසිංහ රජතුමා කකුලේ උණ කටුවක් ඇනීමෙන් ලේ විෂ වෙලා රෝගාතුර වීමෙන් මරණයට පත් වෙනවා.

මේ ජයග්‍රහනයත් එක්ක විමලධර්මසූරිය මහනුවර රජු වශයෙන් තහවුරු වෙනවා. නමුත් රජ වුනත්, විමලධර්මසූරිය රාජවංශිකයෙක් නෙවෙයි. මේ නිසා මහනුවර ප්‍රභූන් ගෙන් ඔහුට ලැබෙන්නේ ඇල් මැරුණු සහයෝගයක්.

රාජසිංහ රජතුමාගේ මරණයෙන් පසුව අනුප්‍රාප්තිකයෙක් නොමැති වීම නිසා සීතාවක රාජධාණිය අභාවයට යනවා. එයට අයත්ව තිබුණු ප්‍රදේශයන් කෝට්ටේ රාජධාණියට ඈඳා ගන්න පෘතුගීසින් සමත් වෙනවා.

රාජසිංහ රජතුමාගේ ප්‍රභල හමුදාව පෘතුගීසින් යටතේ ලැස්කොරින් බලකායක් විදිහට ඈඳා ගැනෙනවා. එහි නායකත්වය ගන්නේ අරිට්ඨ කීවෙන්ඩු පෙරුමාල්. නමුත් ඔහු මේ වෙද්දි ජයවීර බණ්ඩාර මුදලි විදිහට නම වෙනස් කරගෙන​. රාජසිංහ රජුගේ භාණ්ඩාගාරයෙන් විශාල වස්තු සම්භාරයක් කොල්ල කෑමෙන් ඔහු සෑහෙන ධනයක් එක් රැස් කරගන්නත් සමත් වෙලා. මේ ධනය නොමසුරුව බෙදාදීමෙන් ඔහු තමාට ලැදි සැලකිය යුතු පිරිසක් හදාගන්න සමත් වෙනවා. මේ ධනය සහ බලය පාවිච්චි කරල ඔහු පෘතුගීසින් අතර තැනක් හදාගන්න සමත් වෙනවා.


සැලැසුම​


මේ කාලයේදී ලංකාවේ පෘතුගීසි ආණ්ඩුකාරයෙක් හිටියේ නෑ. ඒ වෙනුවට ලංකාවේ පෘතුගීසි හමුදාවල අණදෙන නිලධාරියා වුනේ කපිතන්-මේජර් වරයෙක්. 1594 දී මේ තනතුර දැරුවේ පේද්‍රෝ හොමේම් පෙරෙයිරා විසින්.

කපිතන්-මේජර් වරයා යටතේ කපිතන් වරු ගණනාවක් සේවය කළා. මේ අතරින් ජේෂ්ඨ කපිතන් වරු කොළඹ​, මන්නාරම​, ගාල්ල​, මීගමුව​, හලාවත ආදී බලකොටු බාරව හිටියා. මේ අය අතරින් ප්‍රධාන වුනේ ප්‍රධාන පෘතුගීසි බලකොටුව වුනු කොළඹ බාර කපිතන් වරයා. 1594 දී මේ තනතුර දැරුවේ ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා විසින්.

1594 දී වංශවත් පෘතුගීසි ජාතිකයෙක් - ෆිඩල්ගෝ වරයෙක් - මොලුක්කා හි පෘතුගීසි කොලනි වල ඉඳලා ගෝව බලා යද්දි දින කීපයකට කොළඹ නතර වෙනවා. ඔහු පේද්‍රෝ ලෝපෙස් ඩි සූසා.

පේඩ්‍රෝ ලෝපේස් ඩි සූසා ඉතාමත් කඩවසම් ආරෝහ පරිණාහ දේශයකින් සහ ඊටම ගැලපෙන තඹවන් රැවුලකින් යුක්ත බොහොම ප්‍රතාපවත් පුද්ගලයෙක් කියලයි විස්තර කෙරෙන්නේ. ඔහු පෙරදිග පෘතුගීසි යටත් විජිත වල සේවය කළ පළපුරුදු සොල්දාදුවෙක්.

ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා තමාගේ හිතේ ඇඳුනු සැලසුමක් ගැන මේ ගමනේදී සූසා ට කියනවා. ඒ ලංකාව සම්පූර්නයෙන්ම පෘතුගීසි ග්‍රහනයට ගැනීම සඳහා සකස් කෙරුනු බොහොම සූක්‍ෂම උපායක්.

සිල්වා ගේ සැලසුම අනුව එවකට දොළොස් හැවිරිදි දෝන කැතරිනා කුමරිය - මහනුවර රජ පවුලේ ජීවතුන් අතර සිටි එකම කෙනා - පෙරටු කරගත්ත පෘතුගීසි හමුදාවක් මහනුවර ආක්‍රමනය කරනවා. තමාගේ රාජ වංශික කුමරිය සමඟ එන මේ හමුදාවට උඩරැටියෝ එරෙහි වෙන්නේ නෑ. පෘතුගීසින් කුමරිය සිහසුනේ තබනවා. ඒ පෘතුගාලයේ රජුගේ යටත් පාලකයෙක් විදිහට​. ඊට පස්සේ ඇයව වංශවත් පෘතුගීසි ජාතිකයෙක්ට විවාහ කරල දෙනවා. කුමරිය දැනටමත් කතෝලික ආගම වැළඳගෙන ඇති නිසා මේ විවාහය කිරීම අපහසු වෙන්නේ නෑ. එමගින් පෘතුගීසි ලෙය ඇති කුමාරයෙක් මහනුවර සිහසුනට පත් කෙරෙනවා. කෝට්ටේ දැනටමත් පෘතුගාලයේ යටත් රාජ්‍යයක් විදිහට පවතින නිසා මේ උපායෙන් මුළු ලංකාවම පෘතුගීසි ග්‍රහනයට ගැනීමට ඔවුන්ට හැකි වෙනවා.

සූසා මේ උපාය ගැන ගෝවේ දී පෘතුගීසි පාලන අධිකාරියට කියනවා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් ඒ සැලසුම පිළිගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නවා.

මේ මෙහෙයුමේ ප්‍රධාන අණදෙන නිලධාරියා විදිහට ඔවුන් පත් කරන්නේ පේද්‍රෝ ලෝපේස් ඩි සූසාව මයි. දෝන කැතරිනා කුමරියට විවාහ කරදෙන්න අපේක්‍ෂා කරන පෘතුගීසි ජාතිකයා කවුද කියන එක හරියටම පැහැදිලි නෑ. සමහර තැන් වලදී කියැවෙන්නේ ඒ කොළඹ කොටුවේ කපිතන් ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා කියලා. සමහර තැන් වලදී කියැවෙන විදිහට ඒ සූසා ගේ පුතා. සිල්වා වංශවත් ෆිඩල්ගෝ වරයෙක් නොවුනු නිසාත්, සූසා ෆිඩල්ගෝ වරයෙක් වුනු නිසාත්, දෝන කැතරිනාට විවාහ කරදෙන්න යෝජනා වුනේ සූසා ගේ පුතා කියල හිතන එක වඩා සාධාරනයි.

මෙහෙයුම සඳහාම අළුත්ම නිලයක් හඳුන්වා දීලා පේද්‍රෝ ලෝපේස් ඩි සූසා ඒ නිලයට පත් කරන්න ගෝවේ පාලනාධිකාරිය කටයුතු කරනවා. ඒ ලංකාවේ පෘතුගීසි බලප්‍රදේශ වල ආණ්ඩුකාර තනතුර​. ඒක හැඳින්වෙන්නේ "විජයග්‍රාහී සෙන්පතියා" (General Conquistador) නමින්.

නමුත් සූසා ලංකාවේ සේවය නොකළ සොල්දාදුවෙක් නිසා ඔහුට සිංහලයන් ගේ සටන් ක්‍රම හෝ ලංකාවේ භූගෝලීය පිහිටීම් ගැන අවබෝධයක් තිබුනේ නෑ. ඒ එක්කම තමාට ඉහළින් නිලධාරියෙක් පත් කිරීම ගැන කපිතන්-මේජර් පේද්‍රෝ හොමේම් පෙරෙයිරා දැඩි නොසතුටට පත් වෙනවා. ඒ නිසා ඔහු මෙහෙයුමට දක්වන්නේ ඇල් මැරුණු සහයක්.


ආක්‍රමනය​


1594 අප්‍රේල් මාසයේදී පේද්‍රෝ ලෝපේස් ඩි සූසා නැව් 18 ක් සහ පෘතුගීසි සෙබළු 600 ක් සමඟ ගෝවෙන් පිටත් වෙනවා. නමුත් මීගමුව අසල මුහුදේදී ඔවුන් ගේ සැපයුම් නැව මුහුදු බත් වීම නිසා ඔවුන් මහත් කරදරයට පත් වෙනවා. මේ හේතුවෙන් මුළු මෙහෙයුම පුරාම ඔවුන්ට සටන් කරන්න සිද්ධ වෙන්නේ ප්‍රමානවත් තරම් සැපයුම් නොමැතිව​.

රළු මුහුද නිසා කොළඹට යාත්‍රා කිරීම අපහසු බව තීරණය කරන සූසා මීගමුවෙන් ගොඩ බැහැලා කොළඹ දක්වා පාගමනින් එනවා. කොළඹදී විවේක ගන්න හමුදාව සීතාවක දක්වා ගමන් කරනවා. සීතාවකදී ඔවුන්ට ජයවීර බණ්ඩාර මුදලි 15,000 ක ලැස්කොරින් හමුදාවක් එක්ක එකතු වෙනවා. ආක්‍රමනික හමුදාවේ ලැස්කොරින් සෙබළුන්ට අණ දෙන්නේ ඔහු. මේ ලැස්කොරින් හමුදාවෙන් වැඩි පිරිස රාජසිංහ රජතුමා ගේ හමුදාවේ සේවය කළ අය​. මේ ලැස්කොරින් හමුදාවට අලි ඇතුන් 47 දෙනෙක් ගෙන් සමන්විත ඇත් පන්තියකුත් ඇතුළත්.

මේ අතර මන්නාරමේ ඉඳලා කපිතන් ෆ්‍රැන්සිස්කෝ ඩා සිල්වා පෘතුගීසි සෙබළු 200 ක් සහ දෝන කැතරිනා කුමරිය සමඟ ඇවිත් ප්‍රධාන හමුදාවට එක් වෙනවා.

ලංකාවේ යුධ කටයුතු ගැන අවබෝධයක් තියෙන සෙබළුන් ගේ අවවාද නොතකා සූසා උඩරට බලා තමාගේ ප්‍රභල හමුදාවත් එක්ක ගමන් අරඹනවා. ඒත් මේ වෙද්දි නිරිතදිග මෝසම පටන් අරගෙන නිසා ඔවුන්ට හමුවන හැම ගංගාවක්ම පිරී ඉතිරී ගිහිල්ලා. මේ නිසා ඔවුන්ට ඉදිරියට යන්න වෙන්නේ බොහොම හෙමින්.

ප්‍රමාද වුනත් වැඩි කරදරයකින් තොරව ඔවුන් බලන දුර්ගය පාමුලට එනවා. එතැන ඉඳලා කඩුගන්නාව දක්වා ඔවුන්ට යන්න තියෙන්නෙ ඉතාමත් දුෂ්කර වගේම ඉතාමත් භයානක කඳුකර මාර්ගයක් ඔස්සේ. උඩරැටියෝ ගස් කපා හෙලීමෙන් ඔවුන් ගේ මග අවහිර කරලා, ආරක්‍ෂිත ස්ථාන වල ඉඳල ඔවුන්ට පහර දෙනවා. ඒත් හෙල්ල ගත් සෙබළුන් විසින් එල්ල කරන ප්‍රහාර වලින් පහසුවෙන්ම උඩරැටියන්ව පළවා හරින්න පෘතුගීසින්ට පුළුවන් වෙනවා.

නොසිතූ තරම් පහසුවෙන් ආක්‍රමනික හමුදාවේ පෙරමුණු බල​ඇණිය උඩරැටියන් ගේ ප්‍රහාර වළක්වමින් බලන දුර්ගය තරණය කරනවා. ඔවුන් එදා හවස් වෙද්දී ගන්නෝරුව දක්වා ඇවිත් මහවැලි ගඟ අසල කඳවුරු ලාගෙන හමුදාවේ ඉතිරිය පැමිණෙන තුරු ඉන්නවා.

පහුවදා, 1594 ජූලි 5 වැනිදා, පෘතුගීසින් සටනකින් තොරවම මහනුවරට ඇතුල් වෙනවා.

විමලධර්මසූරිය රජතුමා තමාගේ සේනාවත් එක්ක වෙල්ලස්සට පැනලා යනවා. සටනකින් තොරවම ඔහු මේ විදිහට පැනල යන හේතුව අපැහැදිලියි. සමහරවිට වඩා වාසිසහගත අවස්ථාවක් එනතුරු කල් මරන්න සංග්‍රෝමපායන් ගේ කෙළ පැමිණි සෙන්පතියෙක් වන ඔහු තීරණය කරන්න ඇති. නැතිනම් රාජ වංශික කුමාරිකාවක් එක්ක එන හමුදාවට එරෙහි වීම උඩරැටියන් ප්‍රතික්‍ෂේප කරන්න ඇති.


මහනුවර


සාර්ථක විදිහට මහනුවර අල්ලා ගත්තට පස්සේ සූසා තමාගේ සැලසුම ක්‍රියාත්මක කරනවා. දින තුනකට පස්සේ දෝන කැතරිනා කුමරිය උත්සවාකාරයෙන් මහනුවර රැජිණ විදිහට ඔටුනු පළඳිනවා. මහනුවර වැසියෝ ඉතාම උත්සවාකාරයෙන් ඒක සමරනවා. පෘතුගීසින් ගේ සැලසුම සාර්ථක වෙන්න ඉතාම ආසන්න බව පේන්න තියෙනවා. මේ අවුරුදු 2000 ක සිංහල බෞද්ධ රාජ්‍යයේ අවසානය.



ඒත් පෘතුගීසින් මෙතැනදී වැරදි දෙකක් කරනවා.

පළමුවැන්න​, දෝන කැතරිනා කුමරිය බැහැ දැකීමට මහනුවර ප්‍රභූන්ට අවසර නොදී ඇයව පෘතුගීසි කාන්තාවක් සහ කතෝලික පියතුමෙක් ගේ ආරක්‍ෂාව යටතේ තැබීම​. මේ හේතුවෙන් මහනුවර ප්‍රභූන් දැඩි කනස්සල්ලට පත් වෙනවා. ඒ එක්කම ඇයව පෘතුගීසියෙක්ට විවාහ කරදීමේ සැලසුම ගැන ආරංචි වෙද්දි ඔවුන් ආක්‍රමනයට සහය පලකරන තැන ඉඳලා ආක්‍රමනයට සතුරු තැනක් දක්වා වෙනස් වෙනවා.

දෙවැන්න, පෘතුගීසි සෙබළු තමාගේ සුපුරුදු හැසිරීම දක්වමින් අවට ගම් කොල්ල කන්නත්, කාන්තාවන් දූෂනය කරන්නත් පටන් ගැනීම​. මේ හේතුවෙන් මහනුවර අවට සාමාන්‍යය වැසියන් පෘතුගීසින් ගැන දැඩි අප්‍රසාදයක් ඇති කර ගන්නවා.

මේ විදිහට මහනුවර ප්‍රභූන් සහ සාමාන්‍යය වැසියන් යන දෙපිරිසම පෘතුගීසින්ට විරුද්ධ වෙනවා.

විමලධර්මසූරිය ක්‍රියාත්මක වෙන්නේ හරියටම මේ වෙලාවේ.


ගරිල්ලා සටන්


සූසා මේ මොහොතේ දරුණු ප්‍රශ්නයකට මුහුණ පානවා. ඒ 15,000 කට අධික තමාගේ හමුදාවට අවශ්‍යය කෑම බීම සැපයීම​. කෑම සොයා ගැනීමේ අරමුණෙන් ඔහු කුඩා හමුදා කණ්ඩායම් අවට ගම් වලට යවනවා. මේ හමුදා කණ්ඩායම් ගම්වාසීන් බිය වද්දමින් ඔවුන් සතු ආහාර මංකොල්ල කනවා. ඒ අතරේ විමලධර්මසූරිය රජතුමාගේ හමුදාව මේ හමුදා කණ්ඩායම් වලට ගරිල්ලා ප්‍රහාර එල්ල කරනවා. මේ ප්‍රහාර කොයිතරම් දරුණු වෙනවද කිව්වොත් ටික දවසකින්ම සූසා ගේ හමුදාවට අවශ්‍යය තරම් ආහාර නොලැබී යනවා.

ගරිල්ලා ප්‍රහාර වලින් පීඩා විඳගනිමින් මහනුවර දීර්ඝ කාලයක් රැඳී ඉන්න අපහසු බව වටහා ගන්න සූසා ජයවීර බණ්ඩාර යටතේ ලැස්කොරින් සේනාංකයක් වෙල්ලස්සට පිටත් කර යවනවා. ඒ සැඟවී සිටින විමලධර්මසූරිය රජතුමා අල්ලා ගැනීමේ අරමුණෙන්. ඒත් ඔවුන්ට හැකි වෙන්නේ ඔහුගේ මහළු මාමා කෙනෙක් අත් අඩංගුවට ගන්න විතරයි. මහනුවරට රැගෙන එන මේ සිරකරුවාව හිස ගසා දමා මරණයට පත් කරන්න සූසා අණ දෙනවා. මේ සිද්ධියෙන් මහනුවර ජනතාව අතර පෘතුගීසින් තවත් අප්‍රසාදයට පත් වෙනවා.

කතෝලික ආගම වැළඳ ගත් සිංහල මුදලි වරයෙක් වූ ලුයිස් මොරෝ 3000 ක ලැස්කොරින් සේනාංකයක් එක්ක ඌවට යන්නේ විමලධර්මසූරිය අල්ලා ගන්නා අදහසින්. ඒත් විමලධර්මසූරිය රජු මේ ලැස්කොරින් හමුදාවට පහර දීලා සම්පූර්නයෙන්ම විනාශ කරනවා. අත් අඩංගුවට පත් වෙන ලුයිස් මොරෝ ගේ හිස ගසා දමනවා. ඒ සූසා කළ අපරාධයට පළි ගැනීමක් විදිහට​.

මේ අතර නිරිත දිග මෝසම් වැසි තදින්ම ඇද හැලෙනවා. මහවැලි ගඟ උතුරලා යනවා. සූසා ගේ හමුදාවේ බොහෝ දෙනෙක් වැස්සත් එක්ක එන උණ රෝගයෙන් පීඩා විඳිනවා.


කුමන්ත්‍රනය​


මේ අතරේ ඉතාම රහසිගතව විමලධර්මසූරිය රජතුමා ජයවීර බණ්ඩාර සමඟ කුමන්ත්‍රනයක් පටන් ගන්නවා. ජයවීර බණ්ඩාර පෘතුගීසින්ට විරුද්ධව තමාට සහය දුන්නොත්, කෝට්ටේ සහ සීතාවක ඔහුට පවරා දෙන බවට විමලධර්මසූරිය රජතුමා පොරොන්දු වෙනවා. මේ සියළු කතාබහ වෙන්නේ රහස් ලියුම් ඔස්සේ.

ජයවීර මේ යෝජනාවට එකඟ වුනාට පස්සේ, ඒ එකඟතාවය පළ කල ලියුම ඇතුළු තවත් ලියුම් කීපයක් සමඟ විමලධර්මසූරිය රජු ගේ පණිවුඩ කරුවෙක් පෘතුගීසින්ට අහුවෙනවා. ඒත් ඒක වෙන්නෙ විමලධර්මසූරිය රජුගේ උපදෙස් පරිදි. ලියුම් එක්ක පණිවුඩ කරුවා පෘතුගීසින්ට එකතු වෙන්නේ විමලධර්මසූරිය රජු ගේ උපදෙස් පරිදි.

ජයවීර බණ්ඩාර ගේ කුමන්ත්‍රනය ගැන දැනගන්න පෘතුගීසින් වියරු වැටෙනවා.

සූසා සහ පෘතුගීසි කපිතන් වරු කීප දෙනෙක් ජයවීර ගේ වාසස්ථානයට ගිහින් ඔහුගෙන් මේ ගැන ප්‍රශ්න කරනවා. ඔහුගේ පිළිතුරු වලින් පෘතුගීසින් සෑහීමකට පත් වෙන්නෙ නෑ. පෘතුගීසි කපිතන් වරු තුන් දෙනෙක් -අන්තෝනියෝ බාබෝසා, ෆ්‍රැන්සිස්කෝ ඩි බ්‍රිටෝ, ෆ්‍රැන්සිස්කෝ ඩැලියුම්- ජයවීරට කිණිසි වලින් ඇනලා මරනවා.


මේ සිද්ධිය සාමාන්‍යය සෙබළුන්ට ආරංචි වුනාට පස්සේ දරුණු කලකෝලහල ඇති වෙනවා. බියෙන් හා කෝපයෙන් වියරු වැටුනු පෘතුගීසි සෙබළු ලැස්කොරින් සෙබළුන්ට පහර දෙනවා. ලැස්කොරින් සෙබළු පණස් දෙනෙක් පමණ මිය යනවා.

ඒ අතර පෘතුගීසි සෙබළු ජයවීර රැස් කරගෙන සිටි රාජසිංහ රජතුමාටායත්ව තිබුණු වස්තු සම්භාරය කොල්ල කනවා. ඔහු සතුව රන්කාසි බුසල් 9 ක් තිබුණු බව කියැවෙනවා.

ලැස්කොරින් සෙබළු කඳවුර අත හැරලා තමාගේ ආයුධත් එක්ක විමලධර්මසූරිය රජු වෙත පලා යනවා. පහුවදා උදේ වෙද්දි පෘතුගීසින්ට ඉතුරු වෙන්නෙ කොළඹින් සහ මන්නාරමෙන් ආපු ලැස්කොරින් සෙබළු විතරයි. 15,000 පමණ වුන සීතාවක බල​ඇණිය උඩරැටියන්ට එකතු වෙලා.

තමා පත් වෙලා ඉන්න තත්වය ගැන පෘතුගීසි සෙබළු මහත් කනස්සල්ලට පත් වෙනවා. ඔවුන්ට හරිහැටි කෑම බීම වත් සපයා ගන්න බෑ. කොළඹ ගොඩක් දුරයි. උතුරා යන ගංගා සහ බලන දුර්ගය ඔස්සේ පසුබසින එකත් ලේසි පාසු වැඩක් නෙවෙයි.

ඉතුරු වුන ලැස්කොරින් සෙබළුන් ගේ පක්‍ෂපාතීත්වය තියා ගන්න සූසා ඔවුන්ට සතියක් ඇතුළත දෙපාරක් වැටුප් ගෙවනවා. ඒත් දෙවැනි වැටුප ගත්තට පස්සෙ ඔවුනුත් උඩරැටියන්ට එකතු වෙනවා.


පසුබැසීම​


තමාගේ සැලසුම ව්‍යර්ථ වුන බව වටහා ගන්න සූසා කොළඹ බලා පසුබසින්න තීරණය කරනවා. ඔහු දෝන කැතරිනා කුමරියත් සමඟ ආපසු යෑමට තමාගේ හමුදාව සූදානම් කරනවා.

1594 ඔක්තෝබර් 5 වෙනිදා පෘතුගීසි හමුදාව මහනුවරින් පිටත් වෙන්වා. සූසා තමාගේ හමුදාව සකස් කරන්නෙ කොටස් තුනකට​. කපිතන් ගැස්ටාඕ කුටිඤ්ඤෝ ගේ නායකත්වයෙන් යුත් පෙරමුණු බල​ඇණිය ඉදිරියෙන්ම යනවා. ඊළඟට යන්නෙ ඇතුන් පිට පැටවූ වෙඩි බෙහෙත්, ආහාරපාන​, දෝන කැතරිනා කුමරිය සහ සූසා ගේ පුතා වන දියේගෝ ලෝපේස් ද සූසා සමඟ යන ප්‍රධාන බල​ඇණිය​. ජනරාල් සූසා ගේ නායකත්වයෙන් යුතු පසු බල​ඇණිය අන්තිමට එනවා. ලුහුබැඳ පහර දෙන උඩරැටියන් ගේ ප්‍රහාර මැඩපැවැත්වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

එදා හවස් වෙද්දි ඔවුන් ගැටඹේ දක්වා ඇවිත්, මහවැලි ගඟ තරණය කරලා ගන්නෝරුවේ කඳවුරු ලනවා. එදා දවසේ උඩරැටියන් ඔවුන්ට පහර දෙන්නේ නෑ. තමාට වඩා වාසි සහගත තත්වයක් එනතුරු විමලධර්මසූරිය කල් මරනවා.

මේ වෙද්දි පෘතුගීසින් ගේ ආහාර සියල්ලම පාහේ ඉවර වෙලා. මේ නිසා පහුවෙනිදා සූසා තීරණය කරනවා ගන්නෝරුවේ රැඳී ඉඳලා අවට ගම් වලින් ආහාර ලබා ගැනීමට​. ඔවුන් මේ සඳහා පෘතුගීසි සෙබළු 150 ක් සහ ලැස්කොරින් සෙබළු කීපදෙනෙක් ගෙන් සමන්විත පිරිසක් සූදානම් කරනවා. මේ පිරිසට නායකත්වය දෙන්නේ කපිතන් වරු වන අන්තෝනියෝ බාබෝසා, ෆ්‍රැන්සිස්කෝ කොරේරා සහ අයිවාරෝ ඩි සූසා. ලැස්කොරින් සෙබළුන් ගේ නායකත්වය පේද්‍රෝ අෆොන්සෝ සහ මිගුවෙල් මොන්ටේරෝ මුදලි වරු දෙන්නට පැවරෙනවා.

මේ පිරිස කෑම හොයාගන්න එන්නෙ හල්ලොළුව ගම්මානය වෙත​. ඔවුන් එහිදී ගම්වාසීන් සතු වී සහ සහල් විශාල ප්‍රමානයක් කොල්ල කන්න සමත් වෙනවා. ඒත් ආපහු කඳවුරට යනවා වෙනුවට ඔවුන් ගමේ පන්සල සහ ගෙවල් ගිනිබත් කරන්න පටන් ගන්නවා.

මේ මොහොතේදී 7000 ක හමුදාවක් එක්ක විමලධර්මසූරිය ඔවුන් වෙත කඩා වදිනවා. ප්‍රහාරයේ ඉදිරියෙන්ම ඉන්නෙ සීතාවකින් ඇවිත් උඩරැටියන්ට එක් වුන ලැස්කොරින් සෙබළු. පෘතුගීසින් වී ගෝනි අතහැරලා කඳවුර වෙත පසුබසින්න උත්සහ කළත්, උඩරැටියන් කල් තියාම ඔවුන් ගේ මාර්ගය ගස් කපා දැමීමෙන් අවහිර කරලා. ආපහු කඳවුරට එන්න පුළුවන් වෙන්නෙ කපිතන් අල්වාරෝ ඩි සූසා සහ පෘතුගීසි සෙබළු අතළොස්සකට විතරයි.

ඔක්තෝබර් 8 වෙනිදා කුසගින්නේම නැවතත් පසු බැසීම පටන් ගන්න සූසා අණ දෙනවා. කතෝලික පියතුමෙක් විසින් පවත්වන දේව මෙහෙයක් සහ සූසා ගේ කෙටි කතාවකට පස්සෙ ඉතුරු වෙලා ඉන්න පෘතුගීසි සෙබළු 386 දෙනා බලන දුර්ගය දක්වා ගමන් අරඹනවා.


දන්තුරේ සටන​


පෘතුගීසි හමුදාව පසුබසින් මාර්ගය දෙපස ඇති කඳුගැට කරා විමලධර්මසූරිය තමාගේ හමුදාව මෙහෙයවනවා. ඔවුන් පහර දීම සඳහා සුදුසු තැනක් එනතුරු පෘතුගීසින් එක්කම ගමන් කරනවා. තමාව ලුහුබඳින මේ බියකරු සතුරාව පෘතුගීසි සෙබළෙක් විස්තර කරන්නෙ මෙහෙමයි.

"කැරලිකාර [උඩරට​] හමුදාව කොයිතරම් විශාලද කිව්වොත් අවට කඳුගැට සහ නිම්න සම්පූර්නයෙන්ම ඔවුන් ගෙන් වැහිලා ගියා. මේ රටේ සේවය කරල පලපුරුදු [පෘතුගීසි] සෙබළුන්ට මේ රටේ මේ තරම් මිනිස්සු ඉන්නවද කියල අදහ ගන්න බැරි වුනා."

විමලධර්මසූරිය රජතුමා කල්මරන්නේ පෘතුගීසින් ගන්නෝරුව තැන්න පහු කරන තුරු. ඔහු ඒකනායක මුදලි යටතේ හමුදාවක් බලන ද්ක්වා යවනවා පෘතුගීසින් ගේ පසුබැසීමේ මාර්ගය අවහිර කරන්න​. පෘතුගීසි හමුදාව ගන්නෝරුව තැන්න පහු කරලා සූරියගොඩ හරහා දන්තුරේට පිවිසෙනවාත් එක්කම ඔහු පෘතුගීසින්ව වට කරනවා.

සටන ඇරඹෙනවා.

උඩරැටියන් මුලින්ම පහර දෙන්නේ පෙරමුණු බලඇණියට​. සටන දිගැහැරෙන්නේ එකම අනුපිළිවෙලකට​. උඩරැටියන් පෘතුගීසින් ව වට කරලා ඔවුන් ගේ ගමන අවහිර කරනවා. උඩරැටියන් තමාගේ තුවක්කු වල සීමාව දක්වා එනතුරු ඉන්න පෘතුගීසින් වෙඩිමුරයක් තියනවා. ඊට පස්සෙ හෙල්ල ගත්ත සෙබළුන් එක පෙළට හිටගෙන උඩරැටියන්ට ප්‍රහාරයක් එල්ල කරනවා. උඩරැටියන් නැවතත් කඳුගැට දක්වා පසු බැහැල පෘතුගීසින්ට ඊතළ වලින් පහර දෙනවා. පෘතුගීසින් ඊතළ ප්‍රහාර මැද්දේ නැවතත් ඉදිරියට යනවා. උඩරැටියන් නැවතත් පෘතුගීසින්ව වට කරනවා.

එල්ල වන දරුණු ප්‍රහාරයන් මැද්දේ පෙරමුණු බල​ඇණිය ඉතාමත් අපහසුවෙන් ඉදිරියට ඇදෙනවා. ඔවුන් ගේ කපිතන් වරු තුන් දෙනෙක් -ගැස්ටාඕ කුටිඤ්ඤෝ, සිමාඕ පෙරෙයිරා, ෆ්‍රැන්සිස්කෝ ඩි බ්‍රීටෝ- මරනයට පත් වෙනවා.

උඩරැටියන් තමාගේ ප්‍රහාරයන් එල්ල කරන්නේ පෘතුගීසි හමුදාව දන්තුරේ අසල ඇති විශාල වෙල් යායකට යොමු වෙන විදිහට​. මේ උපක්‍රමය සාර්ථක වෙනවා. පෙරමුණු බල​ඇණිය වෙල් යායට ආවට පස්සෙ ඔවුන් එතැන කොටු වෙනවා. මඩ සහිත භූමියේ එරෙමින් ඉතා අපහසුවෙන් සටන් වදින ඔවුන් සුළු මොහොතකින් සම්පූර්නයෙන්ම විනාශ වෙනවා.

මේ වෙද්දි පෙරමුණු බල​ඇණිය පසුපස එන ප්‍රධාන බලැණියත් දන්තුරේ වෙලට ඇතුල් වෙනවා. පැය තුනක දරුණු සටනකින් පස්සෙ ඔවුන්ටත් අත් වෙන්නේ ඒ ඉරණමමයි. සටන මැද්දේ බිය වෙන අලි ඇතුන් සී සී කඩ පලා යන නිසා පෘතුගීසින්ට තමාගේ වෙඩි බෙහෙත් සහ කෑම අහිමි වෙනවා. දැන් ඔවුන්ට සටන් කරන්න වෙන්නෙ හිස් අතින් සහ හිස් කුසයකින්.

ඊටත් වඩා දරුණු ප්‍රශ්නයකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ දෝන කැතරිනා කුමරිය පිට නංවා ගත් අලියා බිය වී පළා යද්දී උඩරැටියන් විසින් ඌ අල්ලා ගැනීමට සමත් වීම නිසා කුමරිය උඩරැටියන් අතට පත් වීම​.

දැන් පෘතුගීසි හමුදාවෙන් ඉතුරු වෙලා ඉන්නෙ ජනරාල් පේද්‍රෝ ලෝපේස් ඩි සූසා ගේ නායකත්වයෙන් යුතු පසු බල​ඇණිය විතරයි.

සූසා තමාගේ බල​ඇණිය වෙල් යාය මගහැරලා මෙහෙයවන්න සමත් වෙනවා. ඔවුන් කුඩා කඳුගැටයක් උඩට යනවා. කඳු ගැටය මත ස්ථානගත වෙන පෘතුගීසින් මුළු දවස පුරාම උඩරැටියන් ගේ ප්‍රහාර වලට මුහුණ දෙමින් ඉතාමත් නිර්භීතව සටන් කරනවා. ඔවුන් සතු වෙඩි බෙහෙත් ඉක්මනින්ම ඉවර වෙන්වා. වෙඩි බෙහෙත් අවසන් වුනු පසු ඔවුන් සටන් කරන්නේ කඩු සහ හෙල්ල වලින්.

රෑ බෝවන තුරු උඩරැටියන් ගේ ප්‍රහාර සාර්ථකව මැඩ පවත්වන්න ඔවුන් සමත් වෙනවා. ඒත් ඔවුන් ගේ තත්වය ඉතාමත් දුක්ඛිතයි. එදා උදේ ඉඳල ඔවුන් කිසිම කෑමක් අරගෙන නෑ. ඔවුන් ගේ වෙඩි බෙහෙත් ඉවර වෙලා. ඔවුන් සියළුම දෙනා පාහේ තුවාල ලබලා. ජනරාල් වරයා ඉන්නෙත් තුවාල අටක් ලබලා ඉතාම අසීරු තත්වයේ.

රාත්‍රිය උදාවත් එක්කම උඩරැටියන් තමාගේ ප්‍රහාර නවත්වනවා. ඒ වෙනුවට ඔවුන් අවට කඳුවල ඉඳල මුළු රෑම බෙර වයමින්, හූ කියමින්, පෘතුගීසින් ගේ නින්දට බාධා කරනවා.

මේ වෙද්දි ඉතුරු වෙලා ඉන්නෙ පෘතුගීසි සෙබළු 93 දෙනෙක් විතරයි.


යටත් වීම​


ඔක්තෝබර් 9 වෙනිදා උදේ පෘතුගීසින් යටත් වෙනවා.

දෝන කැතරිනා කුමරිය සහ දියේගෝ ලෝපේස් ද සූසා උඩරැටියන් විසින් අල්ලා ගන්න සමත් වෙනවා. තුවාල ලැබූ සුසාට ප්‍රතිකාර කරන්න විමලධර්මසූරිය තමාගේ වෛද්‍යවරුන්ට නියම කරනවා.

නමුත් අනෙක් පෘතුගීසින් ගේ ඉරණම ඒ තරම් යහපත් වෙන්නේ නෑ. අත් අඩංගුවට ගන්නා පෘතුගීසි සෙබළුන්ට ඔවුන් පසුගිය මාස කීපයේ උඩරැටියන්ට කළ නොපනත් කම් වලට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඔවුන් කෙරෙහි දැඩි කෝපයෙන් පසු වෙන උඩරැටියන් ඔවුන්ව දරුණු වධ බන්ධන වලට ලක් කරනවා. බොහෝ දෙනාගේ ඇස් උගුල්ලා දමන අතර​, කන්, නාසා සහ ලිංගික අවයව කපා දැමෙනවා.

අත් අඩංගුවට පත් වෙන පෘතුගීසින් ගෙන් කොටසක් නැවතත් කොළඹ බලා යැවෙන්නේ කොළඹ ඉන්න පෘතුගීසින්ට නැවතත් මහනුව ආක්‍රමනය නොකිරීමට කෙරෙන අනතුරු ඇඟවීමක් විදිහට​. අනෙක් සිරකරුවන් බලන කොටුව හදන්න සහ මහනුවර දළදා මාළිගාව හදන්න යොදා ගන්නවා.

ජනරාල් සූසා තුවාල හේතුවෙන් දින තුනකට පස්සේ මරණයට පත් වෙනවා. ඔහු මිය යන්න කලින් විමලධර්මසූරිය රජුගෙන් කරන එකම ඉල්ලීම තමාගේ පුතාට අනතුරක් නොකරන ලෙස​. ඒ ඉල්ලීම අකුරටම ඉටු කරමින් විමලධර්මසූරිය රජතුමා දියේගෝ ලෝපේස් ද සූසා නිරුපද්‍රිතව කොළඹට යවනවා. පසුව ගෝවට යන ඔහු වසර කීපයකට පසුව අසු පිටින් වැටීමෙන් මිය යනවා.

දෝන කැතරිනා කුමරිය විවාහ කරගැනීමෙන් තමාගේ රාජ්‍යයත්වය තහවුරු කරගන්න විමලධර්මසූරිය රජතුමා සමත් වෙනවා. එතැනින් ඇරඹෙන මහනුවර රාජධාණිය සිංහල බෞද්ධ රාජ්‍යයේ ස්වාධීනත්වය තවත් අවුරුදු 200 ක් පුරාවට රැකගන්න සමත් වෙනවා.

පෘතුගීසින් ගේ ව්‍යර්ථ වුනු මහනුවර ආක්‍රමනය ගැන පෘතුගීසි ඉතිහාසඥ ක්වේරොස් කියන්නෙ මෙහෙම​.

"ඒ තරම් විශිෂ්ඨ සහ සියල්ලන් විසින් අත් කරගැනීමට ප්‍රයත්න දැරූ දූපතක සම්පූර්න බලය අල්ලා ගැනීමට ඔවුන් [පෘතුගීසින්] සමත් වුනා නම්......... එහි තහවුරු කර ගන්නා බලය සහ පෘතුගීසි ලෙය ස්වදේශිකයා සමඟ මිශ්‍ර වී පැතිරවීම මගින් මුළු මහත් පෙරදිගම ස්වාමීත්වය තහවුරු කර ගැනීමට තිබිණි........ පෘතුගීසි ජාතිය පෙරදිග මුල් බැස ගැනීමට තිබිණි. එහි දේශගුණයේ සොබාවය ජනගහණ වර්ධනයට ඉතා හිතකර වන නිසා සහ රටේ ධනස්කන්ධය නිසා අවුරුදු කීපයකින්ම ඉන්දියාවේ [පෙරදිග​] සතුරු ආක්‍රමන වලින් මිදුනු නව පෘතුගාලයක් බිහි කිරීමට තිබිණි."

සිතුවම : ප්‍රසන්න වීරක්කොඩි

(ප්‍රධාන මූලාශ්‍රය : Kandy Fights the Portuguese by Gaston Perera)

1 comment:

  1. https://www.facebook.com/profile.php?id=100008270919785&ref=br_rsnks for the wonderful article

    ReplyDelete