Friday, September 14, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා - 63 (ෆන්ඩියාරු කකුනි)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)


ෆන්ඩියාරු කකුනි (නඩුකාර කකුළුවා)


එකෝමත් එක කාලෙක එකෝමත් එක දූපතක කකුළුවෝ මහ ගොඩක් ජීවත් වුනා. උං හිටියෙ වෙරළේ රැල්ලට නොතෙමෙන හරියෙ ගුල් හාරගෙන​. ඒත් අවාසනාවන්ත විදිහට රෑට රෑට කකුළුවෝ බුරුතු පිටින් අතුරුදහන් වෙන්න පටන් ගත්තා.

මේ විදිහට තමාගෙ වර්ගයා අතුරුදහන් වීම ගැන ගොඩක් කකුළුවො බොහොම වද වුනා. ඒ නිසා හැමෝම ගිහිල්ල ෆන්ඩියාරු කකුනි (නඩුකාර කකුළුවා) ව හමු වෙලා මේකට විසඳුමක් දෙන්න කියල ඉල්ලා හිටියා.

පහුවදා උදේම බාදිය ඇවිල්ල රැල්ල අඩු වුනාම ෆන්ඩියාරු කකුනි වෙරෙළ කෙලවර පොඩි වැලි පරයකට නැගල සේරම කකුළුවන් ව එතැනට කැඳෙව්වා. වැල්ල වැහෙන තරම් මහා කකුළු ජනකායක් එක් රැස් වුනා. පෙනෙනතෙක් මානෙ වෙරළේ සහ කොරල් ගල් උඩ හිටියෙ කකුළුවො විතරයි.

ෆන්ඩියාරු කකුනි උගුර පාදල එහෙම රැස්ව සිටි පිරිස ඇමතුවා.

"කකුළුවනේ, මේ අහපල්ල​. හැමදාම රෑට අපි ගුල් වල නිදාගෙන ඉන්නකොට අපේ නෑයො දහස් ගාණක් මැරෙනවා. හැමදාම දාහක් හමාරක් මැරෙනවා. මේක මහ නස්පැත්තිය​."

ෆන්ඩියාරු කකුනි කතාව පොඩ්ඩකට නවත්තල කකුළුවන් ගෙ ප්‍රතිචාරය දිහා බැලුවා. ඉඳිකටුවක් බිම වැටුනත් ඇහෙන තරම් නිශ්ශබ්ධයි. හැමෝම ඇසිපිය නොගහ ෆන්ඩියාරු කකුනි දිහා බලාගෙන ඉන්නවා.

"කකුළුවනේ, අද රෑට මම නිදාගන්නෙ නැතුව ඇහැරගෙන ඉඳල මොකද්ද මේ වෙන්නෙ කියල හොයල බලනවා."

කකුළුවෝ උංගෙ අඬු වලින් 'ක්ලික්' 'ක්ලික්' ශබ්ධ නගමින් ෆන්ඩියාරු කකුනි ගෙ කතාව අනුමත කළා. ෆන්ඩියාරු කකුනි බොහොම ආඩම්බරෙන් වැලි පරයෙන් බැස්සා.


එදා රෑ ෆන්ඩියාරු කකුනි නිදා ගත්තෙ නෑ. උගේ ගුලේ කට ළඟට වෙලා බලාගෙන හිටියා. එක පාරටම ඌ දැක්කා මහා කළු වළාකුලක් වගේ දෙයක් තමා දිහාවට එනවා. ඒ "බුලිතුම්බි" කුරුල්ලෙක්.

බුලිතුම්බිව දැක්ක විතරයි ෆන්ඩියාරු කකුනි කොච්චර බය වුනාද කිව්වොත් හදවත පැලිල එතැනම මැරුනා෴


- කතාව කිව්වෙ කාරංගේ අහමදු දීදි (හුවදූ අතොළුව​)

අටුවාව​

1. ෆන්ඩියාරු

ෆන්ඩියාරු කියන්නෙ දිවෙහි බසින් "අග විනිසුරුවරයා" හඳුන්වන නම​. දිවෙහි රාජ්ජේ රජතුමා ළඟට උසස්ම සහ වැදගත්ම නිලධාරියා වුනේ ෆන්ඩියාරු.


2. බුලිතුම්බි

දිවෙහි බසින් බුලිතුම්බි කියල හැඳින්වෙන්නෙ ඉංග්‍රීසියෙන් "whimbrel" නමිනුත්, සිංහලෙන් "විරම්බුලියා" නමිනුත් හැඳින්වෙන කුරුල්ලා.මේ කුරුල්ලා වෙරළබඩව ජීවත් වෙන කුරුල්ලෙක්. පහතට නැවුනු දිග හොටයෙන් වැලි අස්සෙ හැංගිල ඉන්න කුඩා කකුළුවො ඇදල කන්න බුලිතුම්බි රුසියෙක්.


2 comments: