Monday, September 17, 2018

ජපානය ගැන ඔබ නොදත් කරුණු


1. ජපන් බසින් ජපානය හැඳින්වෙන නම "නිහොං" වේ. එහි තේරුම "උදාවන හිරුගේ රට" යනුයි.

2. ජපානය ලෝකයේ ආයු අපේක්‍ෂාව ඉහළම රට වේ. ජපන් පිරිමියෙක් ගේ ආයු අපේක්‍ෂාව 86 වන අතර ජපන් කාන්තාවකගේ එය 90වේ.


3. ජපානය දූපත් 6,800 කින් සමන්විත වේ.

4. තෝකියෝ - යොකොහමා නාගරික ප්‍රදේශයේ ජනගහණය මිලියන 37.8 වන අතර එය ලෝකයේ විශාලම නාගරික ප්‍රදේශය​ (metropolitan area) වේ.

5. ජපානයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 3,000 ඇති අතර​, ඇමරිකාව හැරුණු විට ලෝකයේ වැඩිම මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ගණනක් ඇති රට ජපානයයි.



6. ජපන් චිත්‍රපට අධ්‍යක්‍ෂක අකිර කුරොසව ගේ චිත්‍රපට තුනක් ලෝක ප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපට තුනකට පාදක කරගෙන ඇත​. ඒ, යෝජිම්බෝ (A Fist Full of Dollars), ෂිචිනින් නෝ සමුරායි (The Magnificent Seven) සහ කකුෂි තොරිදෙ නො සන් අකුනින් (Star Wars) වේ.



7. ජපානයේ වාර්‍ෂිකව පැවැත්වෙන "කනමරා මත්සුරි" සැනකෙළියේදී සමරනු ලබන්නේ ශිෂ්නයන් ය​.



8. ජපානයේ වයස්ගත (අවුරුදු 65 ට වැඩි) ජනගහණය එහි ළමා ජනගහණය ඉක්මවයි. ජපානයේ වැඩිහිටි ජනගහණය මුළු ජනගහණයෙන් 21% කි.

9. ලෝකයේ වැඩිම මාළු පරිභෝජනය කරන රට ජපානයයි. එහි වාර්‍ෂික මාළු පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 17 කි. ලෝකයේ වැඩිම මුහුදු කෑම ආනයනය කරන රටත් ජපානයයි. එහි වාර්‍ෂික මුහුදු කෑම ආනයනය මෙට්‍රික් ටොන් මිලියන 12 කි. ඉන් තුනෙන් එකක්ම ඉස්සන් ය​.



10. "මංගා" හෙවත් ජපන් කාටූන් පොත් අලෙවිය වසරකට බිලියන 2 ඉක්මවයි.



11. ජපානයේ වාර්‍ෂික ක්‍ෂනික රාමෙන් නූඩ්ල්ස් පරිභෝජනය කෝප්ප බිලියන 5 කි. ජපානයේ ක්‍ෂනික නූඩ්ල්ස් නිෂ්පාදනය ඇරඹුනේ දෙවන ලෝක යුද්ධයෙන් පසු අවතැන් වූ අයට ලබා දිය හැකි පහසුවෙන් සකස් කළ හැකි ලාබදායී ආහාරයක් වශයෙනි.



12. වර්තමාන සුෂී (අමු මාළු සමඟ බත්) පිළියෙල කිරීමේ ක්‍රමය ඇරඹුනේ 17 වෙනි සියවසේදී ය​. ජපානයෙන් පිටතදී "සුෂී" යන්නෙන් වැඩිපුර අදහස් කෙරෙන්නේ අමු මාළු වුවත්, ජපානයේ සුෂී හිදී වැඩි ප්‍රමුඛත්වය ලැබෙන්නේ බත් වලටයි. සුෂී යන්නෙහි අරුත "විනාකිරි, ලුණු සහ සීනි යොදා පිළියෙල කළ බත්" යනුයි. අමු මාළු පෙති ජපානයේ ජනප්‍රිය ආහාරයක් වන අතර එය හැඳින්වෙන්නේ "සෂිමි" නමිනි.



13. රසයෙන් ලෝක ප්‍රසිද්ධ කෝබේ හරක් මස් පිළියෙල කරන්නේ ජපානයේ කෝබේ නගරය ආශ්‍රිතවයි. මේ මස් සඳහා යොදා ගන්නා හරකුන් දෛනික සම්බාහන වලට ලක් කෙරෙන අතර සකේ සහ බියර් අඩංගු ආහාර වේලක් ලබයි. නියම කෝබේ හරක් මස් නිපදවන්නේ කෝබේ නගරය අවට පිහිටි ගොවිපළ 262 ක පමණි. එක ගොවිපළක එක වරකට ඇති කරන්නේ හරකුන් 5 දෙනෙක් පමණි.



14. ජපානයේ වෙන්ඩිං යන්ත්‍ර මිලියන 5.5. ක් ඇති අතර​, ඒවා ජපානයේ සෑම අස්සක් මුල්ලක් නෑර සවි කොට ඇත​. මේ වෙන්ඩිං යන්ත්‍ර වලින් බියර්, සිසිල්බීම​, කෝපි, සිගරට්, වයින්, කොන්ඩම්, කාටූන් පොත්, විදුලි බුබුළු, සහල්, කුඩ​, ටොයිලට් පේපර්, බිත්තර සහ වැඩිහිටි සඟරා ආදී බොහෝ දේ මිලදී ගත හැක​.



15. ජපානය ලෝකයේ මිනීමැරුම් ප්‍රතිශතය දෙවැනියට අඩුම රටයි. එහෙත් ජපානයේ සිය දිවි නසා ගැනීම් ප්‍රතිශතය ඉහළ වන අතර​, ෆුජී කඳු පාමුල ඇති අඔකිගහරා වනය ලෝකයේ දෙවැනියට වැඩිම සිය දිවි නසාගැනීම් සිදු වන ස්ථානයයි.


16. ජපානයේ දරු උපත් ප්‍රමානය කොතරම් අඩුද යත්, එහි ළාදරු ඩයිපර් වලට වඩා වැඩිහිටි ඩයිපර් විකුණුම ඉහළ වේ.

17. සකුරා (චෙරි මල්) ජපානයේ ජාතික පුෂ්පය වේ. නමුත් ජපානයේ අධිරාජ්‍යයාගේ සංකේතය වන්නේ කපුරු මලයි.



18. ජපානයේ 1990 දශකයේ ප්‍රචලිත වූ "ගංගුරෝ" රූප ලාවණ්‍යය ක්‍රමය අනුව තරුණියන් සම හැකිතාක් අඳුරු කිරීමටත්, හිසකෙස් ලා පැහැයෙන් වර්ණ ගැන්වීමටත් පටන් ගත් අතර එය කාන්තාවන් ගේ ලස්සන පිළිබඳ සාම්ප්‍රදායික​ ජපන් අදහස වන සුදු පැහැ සම සහ කළු පැහැ හිසකෙස් වලට සම්පූර්නයෙන්ම විරුද්ධව යාමකි.



19. ලෝකයේ කෙටිම විදුලි සෝපානය ඇත්තේ කවසකි නගරයේ වෙළඳසැලකයි. එහි උස පඩිපෙල් පහක් (සෙන්ටිමීටර් 83.3) පමණකි.

20. "යඑබා" හෙවත් ඇද වුනු දත් ජපානයේ ලස්සනේ අංගයක් ලෙස සලකන අතර​, ජපන් තරුණියන් දත් ඇද කිරීමේ වෛද්‍ය ක්‍රම වලට යොමු වෙති.



21. ජපානයේ හයිකු කවි ලෝකයේ කෙටිම පද්‍ය සම්ප්‍රදායක් වන අතර, හයිකු කවි පෙළ තුනකින් සමන්විත වේ.

22. "ඔහගුරෝ" නමින් හැඳින්වුනු රූප ලාවණ්‍යය සම්ප්‍රදායක් අනුව ජපන් කාන්තාවවෝ තමාගේ දත් කළු පැහැයෙන් වර්ණ ගැන්වූහ​. මේ සම්ප්‍රදාය 19 වැනි සියවසේ අග දක්වා පැවැතුනි.



23. ලෝකයේ කාර්‍ය බහුලම දුම්.රිය පොළ වන තෝකියෝ හි ෂින්ජුකු දුම්.රිය පොළ දිනකට මගීන් මිලියන 2 කට සේවා සපයයි.

24. ලෝකයේ කාටූන් චිත්‍රපට වලින් 60% ක් ම නිපදවන්නේ ජපානයේය​. ජපන් කාටූන් චිත්‍රපට "අනිමේ" නමින් හැඳින්වෙන අතර​, ඒවාට හඬ කැවීම් පුහුණු කෙරෙන හඬ කැවීම් පාසල් 130 ක් ජපානයේ ඇත​.



25. ජපානයේ නිපදවෙන ජංගම දුරකථන වලින් 90% ක් ම ජලවාරක වේ. ඊට හේතුව ජපන් තරුණියන් නාන කාමරයේදී ජංගම දුරකථන භාවිතා කිරීමයි.

26. ජපානයේ දරුකමට හදාගැනීම් වලින් 98% ක් ම තරුණ පිරිමින් වේ. ඒ පවුලේ ව්‍යාපාර පවුල තුල තබා ගැනීම සඳහා ය​.

27. ටයිටැනික් අනතුරෙන් දිවි ගලවාගත් එකම ජපන් ජාතිකයා වුන මසබුමි හොසොනො ජපානයේ දී බියගුල්ලෙක් ලෙස සලකා අපහාස කිරීමට ලක් වුනු අතර​, ඒ අනෙක් මගීන් සමඟ මරණයට පත් වීම තෝරා නොගත් හෙයිනි.

28. ජපානයේ කාර්‍යාල වල සේවා කාලය අතරතුර කෙටි නින්දක් ගැනීම "ඉනෙමුරි" ලෙස හැඳින්වෙන අතර එය මහන්සි වී වැඩ කිරීමේ ලකුණක් ලෙස සලකා අගය කිරීමට ලක් කරනු ලබයි.



29. ජපන් ජාතිකයන් අතට අත දීම සහ ස්තූති කිරීම වෙනුවට අනුගමනය කරන්නේ නැවී ආචාර කිරීමේ ක්‍රමයයි. නැවෙන ප්‍රමානය වැඩි වත්ම​, ගරු කිරීමේ ප්‍රමානය ද වැඩි වේ.



30. දෙවැනි ලෝක යුධ සමයේදී ජපානය විසින් චීනයට මහාමාරිය වාහක මැක්කන් අඩංගු බෝම්බ හෙලන ලදී.

31. කුරිල් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ඇති මතබේදය නිසා ජපානය සහ සෝවියට් දේශය (රුසියාව) දෙවැනි ලීක යුද්ධයෙන් පසු සාම ගිවිසුමක් අත්සන් කර නැත​.

32. ජපානයේ කිට් කැට් චොකලට් විවිධ රසයන් ගෙන් යුක්ත වන අතර​, බඩ ඉරිඟු, චීස්, තේ, මිදි සහ වසබි ඉන් කිහිපයකි. කිට් කැට් ජපන් බසින් හඳුන්වන්නේ "කිත්තො කත්සු" නමින් වන අතර එය "ඔබ අනිවාර්‍යෙන් ම සමත් වේවි" යන වාක්‍යය ජපන් බසින් පැවසීමේ ශබ්ධයට ඉතා සමාන වේ. මේ නිසා විභාගයකට සූදානම් වන සිසුවන්ට කිට් කැට් චොකලට් දීම ජපානයේ ජනප්‍රිය සම්ප්‍රදායකි.



33. ජපානයේ වාර්‍ෂික වරක් පාවිච්චි කර ඉවත දමන "වරිබෂි" (කෑම කෑමට භාවිතා කරන කෝටු) භාවිතය බිලියන 25 කි. එම ලී ප්‍රමානය නිවාස 17,000 සෑදීමට ප්‍රමානවත් වේ.



34. ජපානයේ සංස්කෘතිය අනුව කළු පූසන් වාසනාවේ සංකේතයක් වේ.



35. ජපානයේ KFC කුකුළු මස් නත්තල් සමයේ ජනප්‍රිය කෑමකි.



36. ජපානයේ පොදු උණු වතුර උල්පත් වල ස්නානය කරන්නේ සම්පූර්න නිරුවතිනි. සමහර උල්පත් වල කාන්තාවන් සහ පිරිමින් එකට ස්නානය කරති. නමුත් ඇඟේ පච්ච කෙටූ අයට ඒවාට ඇතුල් වීමට නොහැක​. ඒ ජපානයේ පච්ච කෙටීම සංවිධානාත්මක අපරාධ කල්ලි (යකුසා) වල සම්ප්‍රදායක් වන බැවිනි.



37. ජපානයේ කාටූන් කලාව ඇරඹෙන්නේ 12 වන සියවසේය​. අද එරට කාටූන් පොත් සඳහා පාවිච්චි වන කඩදාසි ප්‍රමානය ටොයිලට් පේපර් සඳහා යොදාගන්නා කඩදාසි ප්‍රමානයට වඩා වැඩිය​.

38. ජපානයේ ඔකුනොෂිමා නම් දූපත සම්පූර්නයෙන්ම හාවුන් ගෙන් පිරී පවතී. එම දූපතට හාවුන් ගෙන එන ලද්දේ දෙවන ලෝක යුධ සමයේ විෂ වායු සම්බන්ධ අත්හදා බැලීම් සඳහාය​.



39. ජපානයෙන් පිටත වැඩිම ජපන් ජාතිකයන් පිරිසක් වාසය කරන්නේ බ්‍රසීලයේයි.

40. අමු අශ්ව මස් ජපානයේ ජනප්‍රිය කෑමකි. සිහින්ව කපන ලද අමු අශ්ව මස් තීරු ජපන් බසින් හැඳින්වෙන්නේ බසාෂි නමිනි. ජපානයේ වාර්‍ෂික අශ්ව මස් පරිභෝජනය ටොන් 7400 කි.



41. සුමෝ මල්ලව පොර ක්‍රීඩාවට අවුරුදු 1500 ක පමණ ඉතිහාසයක් ඇත​. සුමෝ ක්‍රීඩකයන් රාත්තල් 300 කට වඩා බර වැඩි අතර​, ආධුනික ක්‍රීඩකයන් තමා සමඟ පුහුණු වන පලපුරුදු ක්‍රීඩකයන් ව නෑවීම කළ යුතුය​.



42. ලෝක ප්‍රසිද්ධ "හෙලෝ කිටී" කාටූන් චරිතය 1974 දී ජපානයේ බිහි වන්නේ ගැහැණු ළමුන් සඳහා වූ මුදල් පසුම්බියක් ලෙසිනි. ජපන් බසින් හෙලෝ කිටී හැඳින්වෙනේ "කිටී චං" (පූස් බබා) නමිනි.



43. ජපානයේ "ආදර හෝටල්" (love hotels) ආදරවන්තයන්ට පැය කීපයකට "නවාතැන්" දීම සඳහාම සැකසුනු හෝටල විශේෂයකි. ඒවා නාමපුවරුවේ ඇති හදවත් සලකුණෙන් හඳුනාගත හැකි අතර​, කාමර වෙන්කිරීම සහ මුදල් ගෙවීම සම්පූර්නයෙන්ම පරිගණක යන්ත්‍ර හරහා සිදු කළ හැක​.



44. ජපන් වඳුරා හෝ හිම වඳුරා ලෙස හැඳින්වෙන වඳුරු විශේෂය ජපානයේ සිටින එකම වඳුරු විශේෂය වන අතර ලෝකයේ උතුරින්ම ජීවත් වන වඳුරු විශේෂය ද ඔවුන් වේ.



45. ජපානයේ ආහාර ගැනීමේ සිරිත් විරිත් අනුව නූඩ්ල්ස් කෑමේදී ශබ්ධ නැගෙන ලෙස නූඩ්ල්ස් කටට ඉරීම අනුමත ක්‍රියාවකි. එය නූඩ්ල්ස් කෝප්පයේ රසවත් බව හැඟවීමේ සලකුණක් ද වේ.



46. ලෝකයේ තුන්වෙනියට​ වැඩිම වාහන නිෂ්පාදනය කරන රට ජපානය වේ. ජපානයේ විශාලතම වාහන නිෂ්පාදකයා ටොයොටා සමාගම වන අතර එය ලොව තෙවැනි විශාලම වාහන නිෂ්පාදකයා වේ. ටොයොටා සමාගම ආරම් භ කරනු ලැබුවේ 1937 දී කීචිරෝ තොයොදා විසින්. සමාගමේ නම ඉංග්‍රීසි කතා කරන්නන් ගේ පහසුව සඳහා ටොයොටා ලෙස වෙනස් කරන ලදී.



47. ෆුජියම (ෆුජි කන්ද​) ජපානයේ ශුද්ධ වූ ස්ථානයක් කොට සලකනු ලබන අතර සෑම වසරකම ජූලි සහ අගෝස්තු මාස වල මිලියනයකට අධික පිරිසක් ෆුජි කන්ද තරණය කරති. එය ජපානයේ ඇති "ශුද්ධ වූ කඳු තුනෙන්" වඩාත්ම ගෞරවයට පාත්‍ර වන කන්දයි.



48. තෝකියෝ හි ත්සුකිජි මාළු වෙළඳපල ලෝකයේ විශාලම මාළු වෙළඳපලයි. එහි දිනකට මාළු ටොන් 2000 ක් අලෙවි වේ.



49. "හදක මත්සුරි" නමින් හැඳින්වෙන වාර්‍ෂික සැනකෙළියේදී "ෆුන්දොෂි" නමින් හැඳින්වෙන අමුඩ වලින් පමණක් සැරසුනු ජපන් පිරිමි වීදි සරති. එයින් බලාපොරොත්තු වන්නේ පරිසරයේ සිටින නපුරු භූතාත්ම පළවා හැරීමයි.



50. කර​ඔකේ (කැරොකේ) සංගීතය ලොවට හඳුන්වා දෙනු ලැබුයේ ජපන් ගායක දයිසුකේ ඉනොඒ විසින් 1970 දශකයේදී ය. නමුත් ඒ සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබා නොගත් හෙයින් ඔහුට ඉන් කිසිදු මුදලක් ඉපයීමට නොහැකි විය​. කර​ඔකේ යන ජපන් වචනයේ අරුත "නිහඬ වාදන වෘන්දය" (silent orchestra) යනුයි.

51. කොළ පැහැති මාර්ග සංඥා ලාම්පු ජපානයේදි හැඳින්වෙන්නේ ෂිංගෝ හෙවත් "නිල්" යනුවෙනි. එයට හේතුව පැරණි ජපන් භාෂාවේ කොළ පැහැය සඳහා වෙනම වචනයක් නොතිබීමයි.

52. ජපානයේ සිරිත් විරිත් අනුව තෑග්ගක් ඔතන කඩදාසිය ඉරා දැමීම අසංවර ක්‍රියාවකි.

53. ජපානයේ ළමුන් සිටින නිවාස ගණනට වඩා සුරතල් සතුන් සිටින නිවාස ගණන වැඩිය​.

54. ජපානයේ ජනප්‍රියම ක්‍රීඩාව වන්නේ ජපන් බසින් යක්‍යූ නමින් හැඳින්වෙන බේස්බෝල් ක්‍රීඩාවයි. එය ජපානයට හඳුන්වාදෙන ලද්දේ 1873 දී ඇමරිකානු ජාතික ගුරුවරයෙක් වූ හොරේස් විල්සන් විසිනි. අද ජපානයේ බේස්බෝල් කොතරම් ජනප්‍රිය ද යත්, පාසැල් ක්‍රීඩා පවා රූපවාහිණියෙන් විකාශය කරනු ලබයි.



55. ලිංගික ක්‍රියාවක් ලෙස ගැටගැසීම සහ බැඳ දැමීම ජපානයේ හැඳින්වෙන්නේ "ෂිබාරි" යනුවෙන් වන අතර​, එය පැවත එන්නේ සමුරායි වරු විසින් සතුරන් බැඳ දැමීමට භාවිතා කළ සටන් කලා උපක්‍රම වලිනි.



56. 11 වන සියවසේදී ලියන ලද "ගෙංජි මොනොතගරි" (ගෙංජි ගේ කතාව​) ලොව ප්‍රථම නවකතාව ලෙස සැලකේ.

57. සාම්ප්‍රදායික ජපන් විවාහ උත්සවයකදී මනාලිය ත්සුනොකකුෂි ලෙස හැඳින්වෙන විශේෂ හිස්වැස්මක් පළඳියි. ත්සුනොකකුෂි යන වචනයේ තේරුම "අං වැස්ම​" වන අතර, එය පළඳින්නේ මනාලිය තුල මනාලයා කෙරෙහි ඇති "ඊර්‍ෂ්‍යාවේ අං" වසා ගැනීම පිණිසය​.



58. "බන්සායි" යන ජපන් වචනයේ තේරුම "අවුරුදු දස දහසක්" යනුයි. එය මුලින්ම යොදාගනු ලැබුවේ අධිරාජ්‍යාට දීර්ඝායුෂ පැතීම සඳහාය​. දෙවන ලෝක යුධ සමයේදී එය ජපන් සෙබළුන් විසින් යුධ බිමේ දිරි ගැන්වීමේ කෑගැසීමක් ලෙස යොදාගත් අතර​, වර්තමානයේදී එය සමුදීමේ ආචාරයක් ලෙස යොදාගැනේ.

59. ජපාන් බසින් හතර සහ මරණය යන වචන දෙකම හැඳින්වෙන්නේ "ෂී" යන ශබ්ධයෙනි. එම නිසා ජපන්නු හතරේ ඉලක්කම අශුභ කොට සලකති. හෝටල් කාමර නම් කිරීමේදී හතරවැනි කාමරය හෝ හතරවැනි තට්ටුව පහ ලෙස නම් කරන අතර​, තේ කෝප්ප විකුණන්නේ පහේ කට්ටල ලෙසිනි. තේ උත්සවයකට සහභාගී වන අමුත්තන් ගණන තුනක් හෝ පහක් වේ. සාමාන්‍යයෙන් ජපානයේ ඔත්තේ සංඛ්‍යයා ඉරට්ටේ සංඛ්‍යා වලට වඩා ශුභ ලෙස සලකයි.

60. බටහිර සංස්කෘතියේ හැඟීම් වල උප්පත්ති ස්ථානය ලෙස හදවත සැලකුවත්, ජපන් සංස්කෘතියේ හැඟීම් වල උප්පත්ති ස්ථානය ලෙස සැලකෙන්නේ බඩයි. වචන වලින් තොරව කෙරෙන කතාබහ ජපන් බසින් හැඳින්වෙන්නේ "හරගෙයි" හෙවත් "බඩෙන් කතාකිරීම​" ලෙසිනි.

61. ජපන් බසින් නිවිති හැඳින්වෙන්නේ "හොරෙන්සො" ලෙසින් වන අතර අප්‍රකාශිත ආදරය හැඳින්වෙන්නේ "හොරෙරු" ලෙසිනි. මේ වචන දෙකේ සමානකම නිසා වචනයෙන් තොරව ආදරය ප්‍රකාශ කිරීමට නිවිති කොළයේ පැහැය ජපන් සංස්කෘතියේ යොදා ගැනේ. නිවිති කොළ පැහැයෙන් ඔතන ලද තෑග්ගක් දීම නිහඬව ආදරය ප්‍රකාශ කිරීමකි.

62. ෆුගු නමින් හැඳින්වෙන මාළුවාගෙන් පිළියෙල කරන ලබන කෑම ජපානයේ ප්‍රසිද්ධ කෑමකි. නමුත් මේ මාළුවා අධික විෂ සහිත වන නිසා නිසි ආකාරයෙන් පිළියෙල නොකළ ෆුගු පිඟානක් යනු මරුට අත වැනීමකි. එම නිසා ෆුගු පිළියෙල කිරීමට හැක්කේ විශේෂ පුහුණුවක් ලද බලපත්‍ර ලත් කෝකියන්ට පමණක් වන අතර අධිරාජ්‍යාට සහ ඔහුගේ පවුලේ අයට ෆුගු ආහාරයට ගැනීම නීතියෙන් තහනම් වේ.



63. සෑම වසරකම නව වසර උදාවන දින රාත්‍රී දොළහට ජපානයේ බෞද්ධ පන්සල් වල ගාන්ඨාර 108 වතාවක් හැඬවේ. ඒ මිනිසා තුල ඇති 108 ක් වන තණ්හාවන් වෙනුවෙනි. මෙම වතාවත ජපන් බසින් "ජොයා නො කනෙ" ලෙස හැඳින්වෙන අතර ජපන් ගුවන් විදුලියෙන් විකාශය කරනු ලබයි.



64. හත්වන සියවසේදී චීනයෙන් හඳුවාදුන් "ගගකු" සංගීත සම්ප්‍රදාය සහ "බුගකු" නර්තන සම්ප්‍රදාය අදටත් ජපන් අධිරාජ්‍යයා ගේ මාළිගයේ උත්සව සඳහා යොදා ගන්නා අතර ඒවා සැලකෙන්නේ ලෝකයේ අඛන්ඩව පැවත එන පැරණිම සංගීත සහ නර්තන සම්ප්‍රදායන් ලෙසිනි.



65. පළමු ගේෂාවන් "තයිකොමොචි" ලෙස හැඳින්වුනු අතර ඔවුහු පිරිමි වූහ​. ඔවුන් ගේ රාජකාරිය වූයේ අධිරාජ්‍යාගේ සහ සමුරායි වරුන් ගේ මාළිගා වල කවටයන් ලෙස කටයුතු කිරීමයි.



66. ගේෂා යන ජපන් වචනයේ තේරුම "කලාකරුවා" යනුයි. ගේෂාවන් විවිධ කලා ශිල්පයන් ගේ නිපුනයන් වන අතර ලිංගික සේවා සැපයීම ඔවුන් ගේ වෘත්තියේ එක කොටසක් පමණි.



67. 14 වන සියවසේ සිට පැවත එන "නෝ" නාට්‍යය සම්ප්‍රදාය ලොව පැරණිම නාට්‍යය සම්ප්‍රදාය වේ. නෝ නාට්‍යය වල කාන්තා චරිත වෙස්මුහුණු පළඳින අතර පිරිමි චරිත වෙස්මුහුණු පළඳින්නේ නැත​.



68. ජපානයේ ජනප්‍රියම සටන් කලාව වන්නේ කරාතේ සටන් කලාවයි. කරාතේ යන ජපන් වචනයේ තේරුම "හිස් අත්" යනුයි. කරාතේ කලාව චීනයේ සිට ඔකිනවා දූපත් හරහා ජපානයට පැමිණා ඇත​.



69. 1993 දී ජපන් ලේඛක හොතාරු යුමේ විසින් ලියන ලද "මහෝ නො ඉරන්දෝ" (මායා දිවයින​) ජංගම දුරකථනයක් භාවිතයෙන් ලියන ලද ලොව ප්‍රථම නවකතාවයි.

70. ඉතා ජනප්‍රිය චිත්‍රපට චරිතයක් වන ගොඩ්සිලා මුල් වරට සිනමාවට නැගෙන්නේ 1954 දී වන අතර​, උගේ නම ජපන් බසින් කියැවෙන්නේ "ගොජිරා" යෙනුවෙනි.



71. ජපානයේ මුල් පදිංචිකරුවන් වන අයිනු ජාතිකයන් ජපන් ජාතිකයන් සමඟ මිශ්‍ර වීම නිසා වඳවී යමින් සිටින අතර​, වර්තමානයේ අමිශ්‍ර අයිනු ජාතිකයන් සිටින්නේ 200 ක් තරම් සුළු පිරිසකි.


4 comments:

  1. මම දුකෙන් තනිකමේ ඉන්දැද්දී (මගේ තාත්ත අවු 3 ක් වෙනවා මිය ගිහින් මගේ දේවතාවියක් වගේ අහිංසක අම්ම මාව හිතුවෙවත් නැති විදිහට එක පාරටම හාර්ට් අත්ටක් එකකින් මිය ගියේ මේ අව්රුද්දෙ ජනවාරි 16) දැන් මන් තනියම ගෙදර ඉන්දැද්දී දුකෙන් කිසි දෙයක් හරියට බලන්න කියලා බ්ලොග් සින්ඩ් kottu එකේ බලද්දී තෙරුමක් නැති හුගක් බ්ලොග් අතරේ දවසේ සම්පුර්ණයෙන් වගේ mula ඉඳල අගට wenakan හිතට අලුත් දෙයක් කියලා දැනිච්ච හැම ලිපියක්ම kiyewwa. මන් කාලයක් තිස්සේ බ්ලොග් බලපු කෙනෙක් නමුත් වෙන අයගේ බ්ලොග් රෝල් වල වත් ඔයාගේ watina බ්ලොග් එක dakke නැහැ බොහොම ස්තුතී මේ ලිපි වලට හුගක් වටිනවා මේ වෙලාවේ ඔයාගේ බ්ලොග් එක දැක්ක එක ගැන. කව්රු comment කලේ නැතත් මන් වගේ තවත් හිතේ දුකක් නැත්නම් ප්‍රශ්නයක් thiyena කෙනෙක්ට මේ බ්ලොග් එක ගොඩක් වටිනවා දිගටම ලියන්න. සුබ දවසක්.

    ReplyDelete
  2. ජපාන කාටුන් වල මායාව සහ විද්‍යාව එකට මුසුකිරීම දැකිය හැකියි.
    බටහිර කාටුන් වල මායාය නම් මායාව, විද්‍යාව නම් විද්‍යාව.

    ReplyDelete