Tuesday, May 1, 2018

දිවෙහි රාජ්ජේ ජනකතා 41 - (කුස්සියට ආ කක්කුට්ටා)

(උපුටා ගැනීම ක්සේවියර් රොමේරෝ ෆ්‍රියාස් ගේ "Folk Tales of the Maldives" පොතෙන්)

කුස්සියට ආ කක්කුට්ටා


මාලදිවයිනේ කක්කුට්ටො බොහොම සුලබයි. උං හරිම කුතුහලයක් තියෙන​, ඒ නිසාම හැම අහු මුල්ලකම රිංගන සත්තු ජාතියක්. උං කකුළුවො වගේ මුහුදේ නෙවෙයි ජීවත් වෙන්නෙ. බිත්තරයෙන් බිහිවෙලා කුඩා කාලය මුහුදේ ගත කළත්, වැඩිහිටි කක්කුට්ටො ජීවත් වෙන්නෙ ගොඩබිම​. උං ජීවත් වෙන්නෙ වැඩි කලබලයක් නැති හෙවන තියෙන අඳුරු ශීතල තැන් වල හාරපු ගුල් වල​. ඇඳන් අස්සෙ, අල්මාරි පිටිපස්සෙ කකුට්ටු ගුල් නිතර හමුවෙනවා.

අද කාලෙ මාලදිවයිනේ ඉන්න කක්කුට්ටන් ගෙ ඇඟ රතු පාට වුනත්, පිට කළු පාටයි. ඒත් බොහොම ඉස්සර කක්කුට්ටගෙ මුළු ඇඟම රතු පාටයි.



එකෝමත් එක දවසක කුතුහලය ටිකක් වැඩිපුර තිබ්බ කක්කුට්ටෙක් කුස්සියකටා ඇතුල් වුනා. ඒ කුස්සියේ කාන්තාවක් "රා හියානි" (පොල් ගහේ තෙලිජ්ජ​) වලින් පැණි උණු කරමින් හිටියා.

හැබැයි මේ හිටියෙ නිකම්ම නිකං කාන්තාවක් නෙවෙයි. ඒ දෝගි ආයිහා කාංලෙගේ. ඉතාම ලස්සන කාන්තාවක්. ඒ වගේම ඉතාම බලවත් ෆන්ඩිත කෙනෙක්. දෝගි ආයිහා කාලෙංගේ විවාහ වෙලා හිටියේ ඔඩිතාන් කලේගේ එක්ක​. ඔඩිතාන් කලේගේ තමයි මුළු දිවෙහි රාජ්ජෙම හිටපු ප්‍රසිද්ධම​, බලවත ෆන්ඩිත​.

දෝගි ආයිහා ලිප පත්තු කලේ සාමාන්‍යය කාන්තාවක් වගේ දර දාල නෙවෙයි. ඇය තමාගෙ දෙපා ලිප අස්සට ඔබාගෙන හිටියා. කකුල් වලින් මතුවුන ගිනි දළු වලින් තෙල්ලිජ්ජ මුට්ටිය රත් වෙමින් තිබ්බා. තමන් කුස්සියෙ ඉන්න වෙලාවට කිසි කෙනෙක්ට කුස්සියට ඇතුල් වීම ඇය තහනම් කරල තිබ්බෙ. ඔඩිතාන් කලේගේ ට පවා. දෝගි ආයිහා ඉතාම ඉක්මනින් කේන්ති යන​, කේන්ති ගියාම බොහොම දරුණු කාන්තාවක්.


කක්කුට්ට මේ කිසි දෙයක් දැනගෙන හිටියෙ නෑ. ඌ තමාගේ පා තුඩු මත ඇවිදිමින් කුස්සියට ඇතුල් වුනා.

කක්කුට්ටා කුස්සියෙ දොරෙන් ඇතුල් වෙද්දිම දෝගි ආයිහා ඇස් කොණෙන් ඒ බව දැක්කා. ඇයට එසැනින් කේන්ති ගියා.

දෝගි ආයිහා එකපාරටම නැගිට්ටා. නැගිට්ට ගමන් ඇගේ වම් පයින් කක්කුට්ටව පෑගුවා. ඒ වෙද්දිත් ඇගේ පයෙන් ගිනි දළු විහිදෙමින් තිබ්බෙ. කක්කුට්ටට හැරෙන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ. උගේ පිට හොඳටම පිච්චුනා.

කක්කුට්ට පිච්චුනා කියල දැක්කට පස්සෙ දෝගි ආයිහා කකුල උස්සල කක්කුට්ටට යන්න දුන්නා.

එළියේ තදින් වහිමින් තිබ්බා. ඒ නිසා කක්කුට්ටගෙ පිටේ පිළිස්සීම ඉක්මනින්ම නිවිල ගියා. ඒත් උගේ පිටේ කළු පාට ලොකු කැලලක් ඉතුරු වුනා.

එදා ඉඳල තමයි කක්කුට්ටන් ගෙ පිටේ කලු පැල්ලමක් තියෙන්නෙ.



- කතාව කිව්වේ මාගීදුරුගේ ඊබ්‍රහිම් ඩීඩී (ෆුවාමුලාකු දූපත​)

1 comment: