පල්ලිය ගිනි තැබූ මිනිසා
එකෝමත් එක කාලෙක, එකෝමත් එක දූපතක, මනුස්සයෙක් වාසය කරා. ඔහු දූපතේ වැසියන් අතර ප්‍රසිද්ධ වෙලා හිටියෙ කුකුල් කේන්තිකාරයෙක් විදිහට.
එක දවසක් පොල් ගස් කීපයක අයිතිය වෙනුවෙන් මේ මනුස්සයා දූපතේ එහා කොනේ පදිංචි වෙලා හිටපු මිනිස්සු කීප දෙනෙක් එක්ක ආරවුලක් ඇති කර ගත්තා. ඔහු මේ ගැන දූපතේ ප්‍රධානියාට පැමිණිලි කරා. නමුත් නඩුව අහපු දූපත් ප්‍රධානියා තීන්දුව දුන්නෙ අනිත් පාර්ශවයට වාසි වෙන විදිහට.
ඒ ගැන මේ මනුස්සයා ඉතාම කෝපයට පත් වුනා.
ඒත් ඔහු තරහව පිටට පෙන්නුවෙ නෑ. තරහව් හිතේ තද කරගෙන රෑ බෝ වෙනකං බලාගෙන උන්නා. හොඳටම කළුවර වැටිලා හැමෝම නින්දට ගියාට පස්සෙ ඔහු හොරෙන්ම දූපතේ එහා කොණට ගියා. කළුවරේම පාළුවට ගිය පාරවල් ඔස්සේ ඇවිදිමින් ඔහු කෙලින්ම ගියේ ගමේ "මිස්කි" (පල්ලිය) දිහාවට. පල්ලියේ කවුරුත් හිටියෙ නෑ.
ඔහු පල්ලියේ පොල් අතු හෙවිල්ලපු වහලයට ගිනි තිබ්බා.
වහලයට ගිනි ඇවිළුනාට පස්සෙ ඔහු ඉක්මනින්ම ආපහු ගෙදර දුවගෙන ආව. කවුරුත් ඔහුව දකින්න කලින් ගෙදරට එන්න ඔහුට පුළුවන් වුනා. තමාගේ වැඩේ සාර්ථක වීම ගැන සතුටින් ඔහු නින්දට ගියා.
ඒ පායන කාලෙ. පල්ලියේ වහලට හෙවිලි කරල තිබ්බ පොල් අතු හොඳටම වේලිලා තිබුනේ. ටික වෙලාවකින්ම පල්ලියේ වහල ගිනි ජාලාවක් බවට පත් වුනා. ගිනිගන්න සද්දෙ ඇහිල මිනිස්සු දුවගෙන එනකොට පල්ලිය ගිනි අරගෙන ඉවරයි. මිනිස්සුන්ට පුළුවන් වුනේ පල්ලිය අළු වෙලා යන හැටි වටේට ඉඳගෙන බලාගෙන ඉන්න විතරයි.
පහුවදා උදේ පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ඇහැරිලා එළියට බැස්සා. පාරට බැහැල ඇවිදගෙන යන ඔහුට ගෑණු පිරිසක් දූපතේ එහා කොනේ පල්ලිය ගිනි ගත්ත හැටි කතාවෙනවා ඇහුනා. ඔහු ගේ හදවත ප්‍රීතියෙන් සහ බියෙන් සැලෙන්න පටන් ගත්තා. ඔහු දිගටම මිනිස්සු කතා වෙන දේට ඇහුම්කන් දෙමින් දූපත පුරාම ඇවිද්දා.
හැමෝම කතා වුනේ පල්ලිය ගිනි ගත්ත එක ගැන. ඒත් කවුරුවත් ඒක කෙනෙක් හිතාමතා කර දෙයක් බවට සැක කරන බවක් ඔහුට ඇහුනේ නෑ. හැමෝම හිතුවේ අනතුරකින් පල්ලිය ගිනි ගන්න ඇති කියල. ගමේ පල්ලිය ගිනි තියන්න තරම් දරුණු මනුස්සයෙක් ඉඳියි කියල ඔවුන් විශ්වාස කලේ නෑ.
ඒත් පල්ලිය ගිනි තිබ්බ මනුස්සය නොසන්සුන් වුනා. ඔහු හිතුවේ හැමෝම පල්ලිය ගිනි තිබ්බේ තමා බව දන්න නමුත් ඒ බව තමාගෙන් වසන් කරනවා ඇති කියල. කොයි මොහොතේ හරි දූපත් ප්‍රධානියා ඇවිත් තමාව අත් අඩංගුවට ගනියි කියල ඔහුගේ හිත බයෙන් සැලුනා.
එදා රෑ ඔහුට හරියට නින්ද ගියේ නෑ.
පහුවදා උදේ ඔහු ඇහැරිලා එළියට බැහැල බැලුවා. ඔහු දැක්කා ගෑණු පිරිසක් වතුර ගේන්න යන හැටි. ඔහු හෙමින් හෙමින් ඒ අයට කිට්ටු කරා. ඔවුන් වෙනත් දේවල් ගැන කතා කරමින් උන්නා.
පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ටික වෙලාවක් ඔවුන් ගේ කතාබහට ඇහුම්කන් දීගෙන උන්නා. ඔවුන් වෙනත් දේවල් ගැන කතා කරන්න කරන්න ඔහුගේ හිතේ නොසන්සුන් කම තවත් වැඩිවුනා.
ටික වෙලාවක් යද්දි ඔහුට තව දුරටත් ඉවසගෙන ඉන්න බැරි වුනා.
"මිනිස්සු කියනවද පල්ලියෙ ගිනි තිබ්බෙ මම කියල?"
ගහෙන් ගෙඩි එන්නා වගේ අහපු ඒ ප්‍රශ්නයෙන් ගෑණු පිරිස පුදුමයට පත් වුනා. ඔවුන් දැක්කා පල්ලිය ගිනි තිබ්බ මනුස්සයගෙ හිතේ තියෙන නොසන්සුන්කම.
"නෑ. කවුරුත් එහෙම දෙයක් කියන්නෙ නෑ"
පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ගේ හිතට සුවයක් දැනුනා. ඒත් ටික වෙලාවකින්ම ඒක ආපහු නැති වෙලා ගියා.
"ගෑණු ටික මට බොරු කිව්ව වෙන්න පුළුවන්"
ඔහු දූපත පුරා ඇවිමින් ඔහුට හමුවෙන හැම කෙනෙක්ගෙන්ම එකම ප්‍රශ්නය අහමින් දවසම ගත කලා. හැමෝම ඔහුට දුන්නෙ එකම උත්තරයක්.
"නෑ. කවුරුත් එහෙම දෙයක් කියන්නෙ නෑ"
පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා ගේ හිතට සැනසීමක් ලැබුනේ නෑ. එදා රෑ ඔහු නිදාගත්තේ කලින් දවසටත් වඩා නොසන්සුන් කමින්.
ඒ අතරෙ දූපත් වැසියෝ මේ මනුස්සයාගේ පුදුම සහගත හැසිරීම ගැන කතා බහ වුනා. හැමෝම විපරම් කරල බැලුවා කවුරු හරි ඔහුට පල්ලිය ගිනි තිබ්බ කියල චෝදනා කරා ද කියල. ඒත් එහෙම දෙයක් හොයා ගන්න ඔවුන්ට බැරි වුනා.
සිද්ධිය ගැන සාකච්ඡා කරපු මිනිස්සු ඒක සැක කටයුතු තත්වයක් කියල තීරණය කරලා දූපත් ප්‍රධානියාට ඒ බව දැනුම් දුන්නා. දූපත් ප්‍රධානියා කරුණු සලකලා බලල පල්ලිය ගිනි තිබ්බ මනුස්සව අත් අඩංගුවට ගන්න නියම කළා.
මිනිස්සු පල්ලිය ගිනි තිබ්බ මනුස්සයව දූපත් ප්‍රධානියා ළඟට අරගෙන ආවා.
"කවුද පල්ලිය ගිනි තිබ්බේ?"
මුලදි පල්ලිය ගිනි තිබ්බ මනුස්සයා චෝදනාව ප්‍රතික්‍ෂේප කරා. ඒත් දූපත් ප්‍රධානියා ඔහුගෙන් දිගටම ප්‍රශ්න කරා. ටික වෙලාවක් යද්දි ඔහු ගේ හිතේ නොසන්සුන් කම ඔහුට දරා ගන්න බැරි තරම් වැඩි වුනා. අන්තිමේදී ඔහු පල්ලිය ගිනි තිබ්බෙ තමා කියල පිළිගත්තා.
දූපත් ප්‍රධානියා ඔහුට කසපාර සීයක් නියම කරලා ඔහුව වෙනත් දූපතකට පිටුවහල් කරා෴
- කතාව කිව්වේ දඩිමගො රාෆිගු (ෆුවා මුලාකු දූපත)
++++++++++++++++++++++++++
ReplyDelete