යාහුම්බරාහ
(සත්‍ය කතාවකි)
1940 ගණන් වල මාලදිවයිනේ වෙළඳ නැවක් තිබ්බා. ඒකෙ නම "යාහුම්බරාහ". අඩ්ඩු අතොළුවේ හදපු මේ නැව තමයි මාලදිවයින් ඉතිහාසයේම තිබුන ලොකුම සහ හොඳම නැව වුනේ. මේ නැව අඩ්ඩු අතොළුවේ අභිමානයේ සලකුණ වුනා. වෙන කිසිම අතොළුවක ඊට ළඟින් වත් යන නැවක් තිබුනේ නෑ. යාහුම්බරාහ හැම අවුරුද්දෙම මාලදිවයිනේ දකුණු කෙළවරේ තිබුන අඩ්ඩු අතොළුවේ ඉඳලා ශ්‍රී ලංකාව බලා වෙළඳ ගමනක නිරත වුනා.
1940 ගණන් කියන්නෙ දෙවෙනි ලෝක යුද්ධ සමය. මාලදිවයින ඒ කාලෙ බ්‍රිතාන්‍යය ආරක්‍ෂිත ප්‍රදේශයක්. බ්‍රිතාන්‍යය ගුවන් හමුදාව අඩ්ඩු අතොළුවේ රහසිගත ගුවන් හමුදා කඳවුරකුත් පවත්වාගෙන ගියා. ඒ ශ්‍රී ලංකාව ජපනුන්ට යටත් වුනොත් ඉන්දියන් සාගරයේ ගුවන් බලය තියා ගැනීමේ විකල්පයක් විදිහට. මේ නිසා මාලදිවයින හිටියේ මිත්‍ර බලවතුන් ගේ පැත්තෙ. ඒත් මාලදිවයින් වැසියන්ට මේ යුද්ධය ගැන ගානක් තිබුනේ නෑ. ඔවුන්ට බ්‍රිතාන්‍යය හෝ ජපානය එක්ක විශේෂ බැඳීමක් හෝ විශේෂ එදිරිවාදි කමක් තිබුනේ නෑ. ඔවුන් සාමාන්‍යය විදිහට ඔවුන් ගේ එදිනෙදා කටයුතු කරගෙන ගියා.
1943 අවුරුද්දෙත් යාහුම්බරාහ ශ්‍රී ලංකාව බලා කෙරෙන සුපුරුදු වාර්‍ෂික වෙළඳ ගමනට සූදානම් වුනා. නැව පිරෙන්න උම්බලකඩ සහ වෙනත් වෙළඳ බඩු පුරව ගත්තු වෙළෙන්දෝ ගාල්ල වරාය බලා ගමන් ඇරඹුවා.
නැවේ පළපුරුදු නියමුවන්ට නිරිත දිග මෝසම් සුළං සහ සුපුරුදු දියවැල් ඔස්සේ නැව ලංකාව දිහාවට පදවන එක අපහසු වුනේ නෑ. ඒත් ඔවුන් පිටත් වෙලා දින කීපයකින් ජපන් සබ්මැරීනයක් යාහුම්බරාහ නැව දැක්කා. ජපන්නු සබ්මැරීනය මුහුද මතුපිටට අරගෙන වෙළඳ නැව ඔවුන් යටතට ගත්තා. ඔවුන් නැවේ කප්පි (කපිතාන්) සහ ඔහුගේ සහයක නිලධාරියා ඇතුළු කීප දෙනෙක්ව සිර භාරයට අරගෙන සබ්මැරීනයට අරගෙන ගියා. අනිත් නාවිකයන්ට වෙඩි තියලා මරා දැම්මා.
පහුවදා ලංකාව බලා යාත්‍රා කරන අඩ්ඩු අතොළුවේම වෙනත් වෙළඳ නැවක් වුන "ගන්දුවරි" නැවට අත හැර දමා තිබුනු යාහුම්බරාහ නැව හමුවුනා. නැව ඔහේ පාවෙමින් තිබුනා. ඒක වටේට මුහුදු ලිහිණි රංචු පියාඹමින් හිටියා. නැවේ සමබරතාවය ගිලිහිලා එක පැත්තකට ඇළ වෙලා තිබුනා. නැව දැකපු හැටියේම ගන්දුවරි නැවේ කප්පි අනතුරක් කියල දැන ගත්තා. ඔහු තමාගේ නැව යාහුම්බරාහ නැව ළඟට පදවාගෙන ගියා.
යාහුම්බරාහ නැවට ළං වෙද්දිම ගන්දුවරි නැවේ නැවියන් දැක්කා නැවේ තට්ටුව මත තියෙන මළ සිරුරක්. මුහුදු ලිහිණියන් ඒ මළ සිරුරේ කොටස් කමින් හිටියා. නැව් තට්ටුව පුරාම මස් කෑලි විසිරිලා තිබුනා. ඒක දැකපු හැටියේ ගන්දුවරි නැවේ නැවියන් යාහුම්බරාහ නැවට ගොඩවෙන්න අකැමති වුනා.
"ඒකත් එකටම මේ නැවේ යක්‍ෂයෙක් ඇති. ඌ අපිට අනතුරක් කරන්න කලින් හනිකට මෙතනින් යමු"
ඒත් නිර්භීත නැවියන් දෙතුන් දෙනෙක් මේ යක්‍ෂ කතාව පිළිගත්තෙ නෑ. ඔවුන් "බොක්කුරා" (කුඩා ඩිංගියක්) නැගලා යාහුම්බරාහ නැවට ගොඩ වැදුනා. නැවට ගොඩ වැදුන හැටියේම ඔවුන් දැක්කේ නැවේ ලෑලි හැම තැනම මිදුනු ලේ කැටි සහ වෙඩි පහර නිසා නැවේ හැදුනු හිල්. ඒත් යක්‍ෂයක් හිටියෙ නෑ.
ඔවුන් ආපහු තමාගේ නැවට ගිහිල්ලා ඒ නැවේ ඇති යක්‍ෂයෙක් නැති බව කිව්වා.
"එහෙනං කෝ ඒ නැවේ ආපු මිනිස්සු?"
"අපි පණපිටින් ඉන්න කාව වත් දැක්කෙ නෑ. මළ සිරුරු තිබ්බෙ එකක් විතරයි. අනිත් අයට වෙච්ච දෙයක් නෑ. ඒත් නැවේ තිබුන වෙළඳ බඩු කිසි දෙයක් නැති වෙලා නෑ."
වෙළඳ බඩු ගැන ඇහුව විතරයි ගන්දුවරි නැවේ නැවියන් ගෙ ඇස් දිලිසෙන්න පටන් ගත්තා.
ඔවුන් හනි හනිකට යාහුම්බරාහ නැවට ගොඩ වදින්න කණ්ඩායමක් හැදුවා. මේ පිරිසේ ඉලක්කය වුනේ ඔවුන්ට පුළුවන් තරම් වෙළඳ බඩු පැහැර ගැනීම. ඔවුන් යාහුම්බරාහ නැවට යන්න කලින් ගන්දුවරි නැවේ කප්පි ඔවුන්ට අනතුරු ඇඟෙව්වා.
"පස්සෙ හඳුනාගන්න පුළුවන් කිසි දෙයක් ගන්න එපා"
බොක්කුරාව කීප වතාවක්ම නැව් දෙක අතරේ එහා මෙහා ගියා. වැඩි වෙලාවක් යන්න කලින් ඔවුන්ට යාහුම්බරාහ නැවේ තිබුන වෙළඳ ද්‍රව්‍යය සෑහෙන ප්‍රමානයක් ගන්දුවරි නැවට ඇද ගන්න පුළුවන් වුනා. ගන්දුවරි නැව යාහුම්බරාහ නැවට වඩා ගොඩක් පොඩියි. ඒ නිසා ඔවුන් ගත්තේ වටිනාම දේ විතරයි. නැවට පටවන්න පුළුවන් උපරිම බඩු ප්‍රමානය පටව ගත්තට පස්සෙ ඔවුන් යාහුම්බරාහ නැව අත ඇරල දාල යන්න පිටත් වුනා.
ගන්දුවරි නැවේ නැවියන්ට එදා රැය හරිම අපහසු රැයක් වුනා. එක පැත්තකින් ඔවුන් දැන් ගොඩක් පොහොසත්. අනික් පැත්තෙන් ඔවුන් මැරිච්ච මිනිස්සුන් ගෙ වස්තුව කොල්ල කාල. ඒ මදිවට නැව් තට්ටුව පුරා විසිරී තිබුන ලේ කැටි සහ මස් කෑලි ඔවුන් ගේ මතකයේ හොල්මන් කලා. ගොඩක් දෙනෙක්ට රෑට නපුරු හීන පෙනුනා.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
අවුරුද්දකට පස්සෙ අඩ්ඩු අතොළුවේ දූපතක කාන්තාවක් ඇගේ ගෙදර ඉස්සර පාරේ පැදුරක් එළලා කොට්ට ටිකක් වේලෙන්න දැම්මා.
ඒ ළඟින් ගිය මහළු කාන්තාවක් කොට්ට ටික දැක්කා. ඒව දැකල හුරු පුරුදුයි වගේ හැඟීමක් ඇයට දැනුනා. ඇය කොට්ටයක් අතට අරගෙන ඒ දිහා හොඳින් බැලුවා.
එකපාරටම ඇය මහා හඬින් විලාප තියමින් අඬන්න පටන් ගත්තා.
"මට මේ කොට්ට උරේ මතකයි. මේක මැහුවෙ මම. මගේම අත් දෙකෙන් මහපු මැහුම් මට අඳුනගන්න බැරිද?"
කොට්ට වේලෙන්න දාපු කාන්තාව මේක ඇහිල දුවගෙන ආවා.
"මොන කතාවක් ද මේ කියන්නෙ? මේක අපේ කොට්ටෙ"
"අල්ලාහ් දෙවියන් ගේ නාමයෙන් මම දිවුරල කියන්නෙ. මේ කොට්ටෙ මගේ මනුස්සයගෙ"
මහළු කාන්තාව කිව්වා.
මේ මහළු කාන්තාවගේ සැමියා යාහුම්බරාහ නැවේ ලංකාවට වෙළඳාමේ ගිහින් අතුරුදහන් වුන කෙනෙක්.
මේ වෙද්දි අහල පහල මිනිස්සු එතැනට රැස් වෙලා ඉවරයි. ඔවුන් පොදි කමින් මේ රණ්ඩුව දිහා බලන් හිටියා.
"උඹට පිස්සු"
මහළු කාන්තාව අනෙක් කාන්තාවගේ ඇස් දෙක දිහා කෙලින්ම බලලා බැරෑරුම් හඬකින් මෙහෙම කිව්වා.
"නෑ මට පිස්සු නෑ. මගේ මනුස්සයට මොනා හරි වුනා කියල මට සහතිකයි. මම අතොළු ප්‍රධානියා ට මේක පැමිණිලි කරනවා."
මහළු කාන්තාවගේ කතාවට සවන් දීපු අතොළු ප්‍රධානියා අනෙක් කාන්තාව කැඳවලා ඇයට කොට්ට උරය ලැබුනු හැටි ඇහුවා.
"මේක මගේ මනුස්සය ලංකාවෙන් ගෙනත් දුන්නෙ"
"උඹේ මනුස්සය වෙළඳාමෙ යන්නෙ මොන නැවේ ද?"
"ගන්දුවරි"
අතොළු ප්‍රධානියා ඔළුව වැනුවා. ගන්දුවරි නැවේ ලංකාවට වෙළඳාමේ ගිය හැම දෙනාම තමාගෙ කාර්‍යාලයට කැඳෙව්වා.
ඒ අය එකා බැගින් කාර්‍යාලයේ ඇතුල් කාමරයකට ගත්තු අතොළු ප්‍රධානියා ඔවුන් ගෙන් ප්‍රශ්න කලා. ගන්දුවරි නැවේ නැවියෝ සිද්ධිය ගැන කිසි දෙයක් කිසි කෙනෙකුට නොකියන බවට පොරොන්දු වෙලා හිටියෙ. ඒත් පැය ගාණක් ප්‍රශ්න කරද්දි එක් නැවියෙක් සිද්ධිය ගැන හෙළි කලා. ඔහු වරද පිළිගත්ත බව කිව්වම අනෙක් නැවියොත් වරද පිළිගත්තා.
අතොළු ප්‍රධානියා ඔවුන් සියළු දෙනාම අධිකරණයට පැමිණෙව්වා. අධිකරණයෙන් ඔවුන්ට දැඩි දඬුවම් ලබා දුන්නා.
අවුරුදු ගානකට පස්සෙ දෙවෙනි ලෝක යුද්ධය අවසන් වුනාම සිංගප්පූරුවෙ ජපන් හිර කඳවුරක හිර ගත කරල හිටපු යාහුම්බරාහ නැවේ නැවියො ආපහු ගම රට බලා ආවා෴
යාහුම්බරාහ නැව 1941 හුවදු අතොළුවේ දී |
- කතාව කිව්වේ කතීබුගේ ඊබ්‍රහිම් සයීදු (දිගුවාන්දෝ, ෆුවා මුලාකු දූපත)
මේ කතාව 1970 දශකයේ දී මාලදිවයිනේ "මූන්ලයිට්" සඟරාවේ පළවුනා.
යක්ෂ බූත කතා ඈක්කා බං .............. මෙව්වා චෝයි
ReplyDeleteයක්ෂ භූත පෙරේත කතා ඔක්කොම එකතු කරලා පොතක් ගැහුවනම් හොඳ නැද්ද...
ReplyDelete+++++++
ReplyDeleteඅපිත් කතාවුනා.. කෘතියක් කරන්න...
ReplyDeleteමේ කතා පෙළ එකතු කරලා පොතක් විදියට එලියට දැම්මා නම් ගොඩක් වටිනවා.ජය ඔබට
ReplyDelete