මාමෙලි දයිතා සහ ඇගේ දරුවන් හත් දෙනා
මාමෙලි දයිතා ඇගේ දරුවන් හත් දෙනා එක්ක කොහේදෝ තිබ්බ දූපතක ඈත කොනේ ජීවත් වුනා. ඒ දූපත තිබුන තැන කවුරුවත් දැනගෙන හිටියෙ නෑ. ඇයට දූවරු හතර දෙනෙක් සහ පුත්තු තුන් දෙනෙක් හිටියා.
එක දවසක් උදේ පාන්දරම ළමයි හත් දෙනා කෑම හොයාගෙන කැලේට ගියා. ඔවුන් ආපහු ආවෙ දෙල් ගෙඩිය බැගින් අරගෙන. ඔවුන් දෙල් ගෙඩි හත මාමෙලි දයිතාට දීලා මෙහෙම කිව්වා.
"අම්මේ, මේ දෙල් එක්ක "හිති" (මාළු ඉස්ටුවක්) උයන්න. අපි ඉස්කෝලෙ ගිහින් ඇවිල්ලා ඒව කන්නම්."
ඊට පස්සෙ ඔවුන් තමන් ගෙ "ලියාෆිලා" (ගල් ලෑලි) අරගෙන ඉස්කෝලෙ ගියා.
මාමෙලි දයිතා දෙල් ගෙඩි සුද්ද කරල, මාළු කපලා, කුළුබඩු අඹරලා හිති හදන්න පටන් ගත්තා. භජනය ලිපේ තියලා හැඳි ගාමින් ඉන්නකොට ඇයට හිති පොඩ්ඩක් රස බලන්න හිතුනා. ඇය හැන්දට හිති ටිකක් අරගෙන දිව ගාල බැලුවා. හරිම රසයි. ඇය බැලුවා ළමයි ආපහු ගෙදර එනවද කියලා. ඒත් ඔවුන් පේන තෙක් මානයක හිටියේ නෑ. ඇය තව ටිකක් රහ බැලුවා. ආපහු ළමයි එනවද බැලුවා. ඔහොම ඔහොම ඇය මුළු භාජනයම කෑවා.
භාජනයේ තිබ්බ හිති සේරම ඉවර වෙලා කියල දැකපු ඇය පොල් කටු හතක් අරගෙන ලිප ළඟ තියලා ඒ අසලින් හිස් හැලිය තිබ්බා.
ටික වෙලාවකින් ළමයි හත් දෙනා ගෙදර ආවා.
"කෝ අම්මෙ හිති?"
වැඩිමල් දුව ඇහුවා.
"ලිප ළඟ බලපං දුවේ"
ළමයි හත් දෙනා ලිප ළඟ බැලුවත් පොල් කටු වල හිති තිබුනේ නෑ. ඔවුන් ගේ මූණු වල කනස්සල්ලක් ඇඳුනා.
මාමෙලි දයිතා ළමයින්ට මෙහෙම කිව්වා.
"මම හිති හදන්න කුළුබඩු මිරිස් ගලේ දාල අඹරද්දි මාගොල මාදුනි (විශාල කුරුල්ලෙක්) ආවා. ඌ මිරිස් ගල උඩ බෙට්ටක් දැම්මා. මම වතුර දාල අත් දෙනෙක් මිරිස් ගල හේදුවා. ඒත් පිරිසිදු වුනේ නෑ. ඊට පස්සෙ මම මගේ කොණ්ඩෙන් මිරිස්ගල හේදුවා. ඒත් පිරිසිදු වුනේ නෑ. ඒ නිසා මට හිති උයන්න බැරි වුනා. මම දෙල් විසි කලා."
ළමයින්ට බොහොම කේන්ති ගියා.
"අපි හෙට උදේම මාගොල මදුනි මරන්න යනවා. අම්මේ, අපිට දුණු සහ ඊතල හදල දෙන්න."
ළමයින් ගෙ හිත වෙනස් කරන්න මාමෙලි දයිතා බොහොම උත්සහ කලා. ඒත් බැරි වුනා. ඉතින් ඇය රෑ පුරාවටම දුණු හතක් සහ ඊතල හැදුවා.
පහුවදා උදේම ළමයි නැගිට්ටා. ඒ වෙද්දි මාමෙලි දයිතා තවමත් නිදි. ඔවුන් අම්මව ඇහැරවන්නෙ නැතුවම දුනු සහ ඊතල අරගෙන පිටත් වුනා.
ඔවුන් යද්දි දැක්කා මිනිස්සු පිරිසක් පොල් ගස් දෑතින් අල්ලල නවල කුරුම්බා කඩාගෙන බොන හැටි. මිනිස්සු ළමයින් පිළි අරගෙන මෙහෙම ඇහුවා.
"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"
"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"
ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.
"හ්ම්.... උඹලට පොල් ගහක් අත් දෙකෙන් නවල කුරුම්බ කඩන්න පුළුවන් නං උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්.
ළමයි හත් දෙනා කොයිතරම් උත්සහ කළත් එක පොල් ගහක් වත් නවාගන්න ඔවුන්ට බැරි වුනා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.
තවත් ටික දුරක් යද්දි ඔවුන් දැක්කා මිනිස්සු පිරිසක් ගල් වලින් බැඳපු ළිඳක් උස්සල අරගෙන කට තියාන වතුර බොනවා. මිනිස්සු ළමයි ටික දැක්කා.
"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"
"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"
ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.
"හ්ම්.... උඹලට මේ ගල් වලින් බැඳපු ළිඳ උස්සල අරගෙන කට තියල වතුර බොන්න පුළුවන් නං උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්."
ළමයි කොයිතරම් උත්සහ කළත් ඔවුන්ට ළිඳ උස්සන්න බැරි වුනා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.
තවත් ටික දුරක් යද්දි ඔවුන් දැක්කා මිනිස්සු වගයක් පල්ලියක වහළෙ හෙවිල්ලනවා. බිම ඉන්න මිනිස්සු "තොෂාලි" (වියපු පොල් අතු) හතළිස් දෙක බැගින් මිටි ගහපු විශාල මිටි වහළ උඩ ඉන්න මිනිස්සුන්ට විසි කරනවා. වහළ උඩ ඉන්න මිනිස්සු ඒව අල්ලල වහළය හෙවිල්ලනවා. මිනිස්සු ළමයින් ගෙන් මෙහෙම අහනවා.
"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"
"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"
ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.
"හ්ම්.... උඹලට මේ වියපු පොල් අතු හතළිස් දෙකේ මිටිය වහළ උඩ ඉන්න අයට විසි කරන්න පුළුවන් නං උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්."
ළමයි කොයිතරම් උත්සහ කළත් ඔවුන්ට පොල් අතු මිටිය උස්සන්න බැරි වුනා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.
ඔවුන් තවත් ටිකක් දුර යද්දි මුහුදු වෙරළකට ආවා. එතැන මිනිස්සු ටිකක් "රාබුලා" (කුඩා මාළුවෙක්) කනවා. මාළු කාලා ඇට සැකිල්ල ආපහු මුහුදට විසි කරාම ඒ ඇටසැකිලි පීනගෙන යනවා. මිනිස්සු ළමයි ටික දැකලා ඔවුන්ට කතා කලා.
"මාමෙලි දයිතා ගෙ ළමයි හත්දෙනා කොහෙද මේ යන්නේ?"
"අපි මාමෙලි දයිත ගෙ ළමයි කියල දන්නව නං අපි යන තැනත් දන්නව ඇති නෙ?"
ළමයි හත් දෙනා එක හඬින් පිළිතුරු දුන්නා.
"හ්ම්... උඹලට මේ රාබුලා එකෙක් ගෙ මස් කාල ඇටසැකිල්ල මූදට දාල ඒකට පීනන්න පුළුවන් කරොත් උඹලට මාගොල මාදූනි මරන්න පුළුවන්."
ළමයි රාබුලා ගෙ මස් කාල ඇටසැකිල්ල මුහුදට දැම්මා. ඒත් පීනගෙන යනව වෙනුවට ඒක හෙමීට මුහුදු පතුලට ඇදිලා ගියා. ඔවුන් ලැජ්ජාවට පත් වෙලා යන්න ගියා.
ඔවුන් දිගටම ඇවිදගෙන ගියා. දූපතේ ඈත කොනටම ගියාම ඔවුන් දැක්කා පාර දෙකට බෙදෙන තැනක්. එතන මහළු මිනිහෙක් ඉඳගෙන ඉන්නවා.
"බේබෙ (මාමා), උඹ දන්නවද මාගොල මාදූනි ඉන්නෙ කොහෙද කියලා?"
මහල්ලා ඔවුන්ට වම් පැත්තෙ පාර පෙන්නුවා.
ළමයි වම් පැත්තෙ පාර දිගේ ඇවිදගෙන ගියා. ඒ පාර දිගේ යද්දි ඔවුන්ට හරිම භයානක පැත්තක් හමුවුනා. මුළු ප්‍රදේශයේම තිබුනෙ ගුප්ත, අඳුරු නිසල බවක්. ඔවුන් දැක්කා විශාල "නිකබිලිස්ස" ගහක්. ඒ ගහේ දෙබලක මාගොල මාදූනි ඉඳගෙන හිටියා.
මාගොල මාදූනි ඉතාම විශාලයි. ඌට දැවැන්ත හොටක් සහ අළු පාට පිහාටු තිබුනා. ඌ ළමයි දැකල බය වුනේ නෑ. ඒ වෙනුවට ඌ බොහොම තරහෙන් ළමයි දිහා බැලුවා.
ළමයි බය වුනෙත් නෑ. ඔවුන් හැමෝම දුනු දියට ඊතලයක් තියා ගත්තා.
පළවෙනියට විද්දේ මාමෙලි දයිතා ගේ වැඩිමල් ම දුව. ඇය ගහ ළඟට ගිහින් එල්ලය බලලා ඊතලය විද්දා. ඒත් ඊතලය මාගොල මාදූනිට වැදුනේ නෑ. ඒක ගස් කඳේ වැදුනා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.
දෙවෙනියට විද්දේ මාමෙලි දයිතා ගෙ දෙවෙනි පුතා. ඊතලය වැදුනේ ගහේ වම් පැත්තෙ අත්තට. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.
තුන්වෙනියට විද්දේ මාමෙලි දයිතා ගේ තුන්වෙනි දුව. ඇගේ ඊතලය වැදුනේ ගහේ දකුණු පැත්තෙ අත්තට. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.
හතරවෙනියට විද්දේ ඊළඟ පුතා. ඒ ඊතලය ගහේ වම් පැත්තේ අත්තේ අග්ගිස්සෙ වැදුනා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.
පස් වෙනියට විද්දේ ඊළඟ දුව ඒ ඊතලය දකුණු පැත්තෙ අත්තෙ අග්ගිස්සේ වැදුනා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.
හය වෙනියට ඊළඟ පුතා ආවා. ඔහුගේ ඊතලය කුරුල්ලගෙ ඔළුවට උඩින් පියාඹලා ගියා. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.
අන්තිමට ආවෙ මාමෙලි දයිතා ගේ බාලම දූ. ඇගේ ඊතලය වැදුනේ ගහේ මුලට. මාගොල මාදූනි එක කටට ළමයව ගිලල දැම්මා.
ඉර බැහැල ගියා. එක ළමයෙක් වත් ඉතුරු වෙලා හිටියෙ නෑ. මාකොල මාදූනි විතරක් ගස් දෙබලේ වාඩි වෙලා අත් තටු පොරවගෙන හිටියා.
පහුවදා උදේම ගෙදර ඉස්තෝප්පුවේ හිටපු මාමෙලි දයිතාට සිද්ධිය ආරංචි වුනා. ඇය ලණු ඇඳ උඩ වැටිලා විලාප තියමින් ඇඬුවා. ගොඩාක් වෙලාවක් තිස්සේ ඇඬුවා. මුළු දවසම ඇඬුවා. අඳුර වැටෙනකං ඇඬුවා.
අඳුර වැටුනම මාමෙලි දයිතා නැගිටලා අඬමින් ම ගේ ඇතුලට ගියා. කුස්සියේ තිබුන අල කොළයකට ඇගේ කඳුළු බින්දුවක් වැටුනා. ඒක මුතු කැටයක් වගේ ලස්සනට අල කොළය උඩ රැඳිල තිබුනා. මාමෙලි දයිතා අල කොළය පරිස්සමෙන් ඔතලා රෙදි පටියකින් ගැට ගැහුවා.
ඇය අල කොළය දෙර යටින් තිබ්බා. එතකොට දොර හෙල්ලෙන්න පටන් ගත්තා. ඇය අල කොළය පැදුර යටින් තිබ්බා. එතකොට පැදුර වෙව්ලන්න පටන් ගත්තා.
අන්තිමේදී මාමෙලි දයිතා අල කොළය පහන ළඟට අරගෙන ගියා. ඇය පරිස්සමෙන් අල කොළය දිග ඇරල බැලුවා. අල කොළය ඇතුලේ පුංචි බබෙක් නිදාගෙන ඉන්නවා. මාමෙලි දයිතා ප්‍රීතියෙන් කෑගැහුවා.
ඇය ඔහුට පියයුරක් දුන්නා. දරුවා බොහොම ආශාවෙන් ඇගෙන් කිරි බිව්වා. කොච්චර බිව්වද කිව්වොත් ඔහු බලාගෙන ඉද්දි ලොකු වෙනවා ඇයට පෙනුනා. ඊට පස්සෙ ඇය දරුවට ඇගේ අනිත් පියයුරත් දුන්නා. කිරි සේරම ඉවර වෙනකං දරුවා කිරි බිව්වා.
ඇය හනිකට ගෙදර කෑම තියෙනවද කියල බැලුවා. තියෙන කෑම ජාති ඇය දරුවට දුන්නා. ඔහු ඒව සේරම කෑවා. කෑම කාල ඔහු බලාගෙන ඉද්දි ලොකු වුනා.
දරුවා නැගිට්ටා.
"අම්මේ මගේ නම මොකද්ද?"
"ඔයා මාමෙලි ගේ කඳුළු බින්දුව"
ඇය ආදරයෙන් කිව්වා.
"අම්මේ මට අයියල අක්කල නැද්ද?"
"ඔයාට අයියල අක්කල හත් දෙනෙක් හිටියා. ඒත් අර නපුරු කුරුල්ලා, මාගොල මාදූනි ඒ අය සේරම ගිල දැම්මා"
"මාමෙලි ගේ කඳුළු බින්දුවට" දුක හිතුනා.
"මෙච්චර කරුණාවන්ත අම්මට ඒ නපුරු කුරුල්ලා ඒ වගේ දෙයක් කරාද? මම ඌව මරල දාන්නම්!"
මාමෙලි දයිතා කලබල වුනා.
"ඔයා විතරයි මට දැන් ඉන්නේ. මට ඔයත් නැති වුනොත් මේ ලෝකෙ කවුරුවත් ම නෑ. ඒ නිසා ඔය කුරුල්ලව අමතක කරල දාන්න."
"අම්මේ! අම්මට ඒ වගේ දෙයක් කරපු කුරුල්ලෙක්ට මේ ලෝකෙ ඉන්න දෙන්න බෑ. මට දුන්නකුයි ඊතල හතකුයි හදන්න!"
මාමෙලි දයිතා රෑ තිස්සෙ දුන්නකුයි ඊතල හතකුයි හැදුවා.
පහුවදා උදේම "කඳුළු බින්දුව" දුන්නයි ඊතල හතයි අරගෙන පිටත් වුනා.
ඔහු ඇවිදගෙන යද්දි දැක්කා මිනිස්සු පිරිසක් පොල් ගස් දෑතින් අල්ලල නවල කුරුම්බා කඩාගෙන බොන හැටි. මිනිස්සු "කඳුළු බින්දුව" පිළි අරගෙන මෙහෙම ඇහුවා.
"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"
"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"
කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.
"හ්ම්.... උඹට පොල් ගහක් අත් දෙකෙන් නවල කුරුම්බ කඩන්න පුළුවන් නං උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."
කඳුළු බින්දුව ළඟම තිබ්බ පොල් ගහ ළඟට ගිහින් ඒක අත් දෙකෙන් අල්ලල නැව්වා. ඊට පස්සෙ ඔහු කුරුම්බා ගෙඩියක් කඩාගෙන ඒක බිව්වා.
"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"
මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.
තවත් ටික දුරක් යද්දි ඔහු දැක්කා මිනිස්සු පිරිසක් ගල් වලින් බැඳපු ළිඳක් උස්සල අරගෙන කට තියාන වතුර බොනවා. මිනිස්සු කඳුළු බින්දුව දැක්කා.
"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"
"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"
කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.
"හ්ම්.... උඹට මේ ගල් වලින් බැඳපු ළිඳ උස්සල අරගෙන කට තියල වතුර බොන්න පුළුවන් නං උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."
කඳුළු බින්දුව අත් දෙකෙන් අල්ලල භාජනයක් උස්සනව වගේ ළිඳ උස්සල අරගෙන කටේ තියාගෙන වතුර බිව්වා.
"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"
මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.
තවත් ටික දුරක් යද්දි ඔහු දැක්කා මිනිස්සු වගයක් පල්ලියක වහළෙ හෙවිල්ලනවා. බිම ඉන්න මිනිස්සු "තොෂාලි" (වියපු පොල් අතු) හතළිස් දෙක බැගින් මිටි ගහපු විශාල මිටි වහළ උඩ ඉන්න මිනිස්සුන්ට විසි කරනවා. වහළ උඩ ඉන්න මිනිස්සු ඒව අල්ලල වහළය හෙවිල්ලනවා. මිනිස්සු කඳුළු බින්දුවෙන් මෙහෙම අහනවා.
"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"
"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"
කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.
"හ්ම්.... උඹට මේ වියපු පොල් අතු හතළිස් දෙකේ මිටිය වහළ උඩ ඉන්න අයට විසි කරන්න පුළුවන් නං උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."
කඳුළු බින්දුව පොල් අතු හතළිස් දෙකේ මිටියක් අරගෙන රෙදි පාංකඩයක් විසි කරනව වගේ ලේසියෙන් වහල උඩට විසි කරා.
"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"
මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.
ඔහු තවත් ටිකක් දුර යද්දි මුහුදු වෙරළකට ආවා. එතැන මිනිස්සු ටිකක් "රාබුලා" (කුඩා මාළුවෙක්) කනවා. මාළු කාලා ඇට සැකිල්ල ආපහු මුහුදට විසි කරාම ඒ ඇටසැකිලි පීනගෙන යනවා. මිනිස්සු කඳුළු බින්දුව දැකලා ඔහුට කතා කලා.
"මාමෙලි ගෙ කඳුළු බින්දුව කොහෙද මේ යන්නේ?"
"මම මාමෙලි ගෙ කඳුළු බින්දුව කියල දන්නව නං මම යන තැනත් දන්නව ඇති නෙ?"
කඳුළු බින්දුව පිළිතුරු දුන්නා.
"හ්ම්...... උඹට මේ රාබුලා එකෙක් ගෙ මස් කාල ඇටසැකිල්ල මූදට දාල ඒකට පීනන්න පුළුවන් කරොත් උඹට මාගොල මාදූනි මරන්න පුළුවන්."
කඳුළු බින්දුව මාළුවෙක් අරගෙන පරිස්සමෙන් ඌව ගින්නෙන් පුළුස්සලා මස් ටික සේරම කෑවා. ඊට පස්සෙ ඔහු ඇට සැකිල්ල මුහුදට දැම්මා. ඇට සැකිල්ල වරල් සලමින් පීනලා ගියා.
"උඹට ඕන දෙයක් කරන්න පුළුවන්"
මිනිස්සු ඔහු ගැන ගෞරවයෙන් සහ පැහැදීමෙන් කිව්වා.
කදුළු බින්දුව දිගටම ඇවිදගෙන ගියා. ඔහුට පාර දෙකට බෙදෙන තැන සහ මහළු මිනිහා හමු වුනා.
"බේබෙ (මාමා), උඹ දන්නවද මාගොල මාදූනි ඉන්නෙ කොහෙද කියලා?"
මහල්ලා කතාවක් නැතුවම වම් පැත්තෙ පාර පෙන්නුවා.
කඳුළු බින්දුව වම් පැත්තෙ පාර දිගේ ඇවිදගෙන ගියා. ඔහු නිකබිලිස්ස ගහ ළඟට ආවා.
ගහේ රතු පාට මල් පිරිලා. ගස් දෙබල උඩ මාගොල මාදූනි ඉඳගෙන ඉන්නවා. උගේ අළු පාට පිහාටු හුළඟට සෙලවෙනවා. තරහෙන් පිරුන රතු පාට ඇස් වලින් ඌ කඳුළු බින්දුව දිහා බලාගෙන හිටියා.
කඳුළු බින්දුව දුනු දිය පොළලා ඊතලයක් විද්දා. ඒක කෙලින්ම වැදුනෙ කුරුල්ලගෙ දකුණු කකුලට. ඌ කොච්චර පුදුම වුනාද කිව්වොත් ඌට හෙල්ලෙන්නවත් බැරි වුනා.
දෙවෙනි ඊතලේ කුරුල්ලගෙ වම් කකුලට වැදුනා. දැන් ඌට නැගිටින්න බෑ. තුන් වෙනි ඊතලය කුරුල්ලා ගේ නළලට වැදුනා. මාගොල මාදූනි වේදනාවෙන් කෑගැහුවා. ඒත් ඌට කඳුළු බින්දුව ට ළං වෙන්න බෑ.
හතරවෙනි ඊතලය වැදුනේ කුරුල්ලගෙ බඩට. ඌ බිහිසුනු හඬින් කෑ ගහමින් වේදනාවෙන් ඇඹරුනා.
පස් වෙනි සහ හය වෙනි ඊතල කුරුල්ලා ගේ වම් සහ දකුණු අත් තටු වලට එල්ල වුනා.
හත් වෙනි ඊතලය මාගොල මාදූනි ගෙ උගුර පසාරු කරගෙන ගියා. හෙමින් දෙපැත්තට වැණුන කුරුල්ලා ගහ මුලට ඇදගෙන වැටුනා.
මාගොල මාදූනි මැරිලා.
කඳුළු බින්දුව යෝධ කුරුල්ලගෙ අත් තටුවකින් ඇදගෙන ඌගෙ මළ කඳ ගෙදර අරගෙන ආවා. මාමෙලි දයිතා දැක්කා ඈත තියාම කඳුළු බින්දුව කුරුල්ලවත් ඇදගෙන එන හැටි. ඇය ප්‍රීතියෙන් උදම් වෙමින් කුස්සියට ගිහින් ලොකු පිහියක් අරගෙන ආවා.
මාමෙලි දයිතා කුරුල්ලගෙ බඩ පැලුවා. ඇය දැක්කා බඩ ඇතුලෙ ඇගේ ළමයි හත් දෙනා රවුමට ඉඳගෙන ඉන්න හැටි. ඔවුන් ගේ ඇඟ පුරාම ලේ.
ඔවුන් හැමෝම ප්‍රීතියෙන් ඉපිලෙමින් වැවට ගියා නාන්න. හැමෝම වැවට බැහැල නෑවා.
එක පාරටම කඳුළු බින්දුව ඔවුන් ගේ ඇස් ඉදිරිපිටම දිය වෙලා ගිහින් වැවේ වතුරට එක් වුනා.
ඒ කඳුළු බින්දුවක් නොවැ෴
- කතාව කිව්වේ මුහම්මදු සාලිහු (දූන්දිගන්, ෆුවා මුලාකු දූපත)
අටුවාව
1. මාමෙලි දයිතා
මාමෙලි දයිතා කියන්නෙ දිවෙහි රාජ්ජේ ජනකතා වල එන චරිතයක්. ඇය නිරූපනය වෙන්නේ තරමක් වයසක කාන්තාවක් විදිහට. ඇය මනුෂ්‍යය කාන්තාවක් නෙවෙයි - නමුත් හන්ඩි හෙවත් යකින්නකුත් නෙවෙයි.
2. දයිතා
දයිතා කියන්නෙ තරමක් වැඩිහිටි කාන්තාවන් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "නැන්දා" නැතිනම් "අක්කා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.
3. හිති
මාළු, එළවළු සහ කුළුබඩු යොදාගෙන හදන ඉස්ටුවක්.
4. ලියාෆිලා
අතීතයේ මාලදිවයිනේ ළමයි අකුරු ලියන්න පාවිච්චි කළ පුවරුවක්. අපේ ගල් ලෑල්ලට සමානයි. මේ පුවරු හැදුවේ මැදපු ලෑලි වලින්.
5. මාගොල මාදුනි
දිවෙහි රාජ්ජේ ජනකතා වල එන විශාල කොකෙක් (මාකන). මේ කොකා ජීවත් වෙන්නෙ ඈත දූපතක තිබ්බ විශාල දෙබලක් සහිත "නිකබිලිස්ස" (දියරත්මල්) ගහක. මේ කුරුල්ලා උතුරු දිග අතොළු වල "මාගොල මදුනි" නමිනුත්, දකුණු දිග අතොළු වල "මාගලිමත්තෙ බොන්දො දීනි" නමිනුත් හැඳින්වෙනවා.
6. තොෂාලි
වියපු පොල් අතු දිවෙහි බසින් හැඳින්වෙන්නෙ "තොෂාලි" කියල. ගෙවල් හදන්න අමු ද්‍රව්‍යය හිඟ දිවෙහි රාජ්ජේ ගොඩක් දෙනා ගෙවල් වල වහළයට විතරක් නෙවෙයි බිත්ති වලටත් යොදා ගත්තෙ වියපු පොල් අතු. වඩා ස්ථිර ගොඩනැගිලි ලී වලින් නැත්තම් කොරල් ගල් වලින් හැදුවා.
7. රාබුලා
ඉංග්‍රීසියෙන් "Convict Surgeonfish" කියල හැඳින්වෙන මාළුවා දිවෙහි බසින් හැඳින්වෙන්නෙ රාබුලා කියලා. කොරල් පර වල ජීවත් වෙන මේ මාළුවා සෙන්ටි මීටර් 10 පමණ දිග කුඩා මාළුවෙක්.
8. බේබෙ
බේබෙ කියන්නෙ තරමක් වැඩිහිටි පිරිමියෙක් හඳුන්වන්න යොදන ගෞරවාර්ථ පදයක්. ඒක "මාමා" නැත්තම් "අයියා" කියල සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්.
9. නිකබිලිස්ස
සිංහලෙන් "දිය රත්මල්" කියල හැඳින්වෙන ගහ දිවෙහි බසින් හැඳින්වෙන්නෙ නිකබිලිස්ස කියලා.
10. වෙවු
දිවෙහි රාජ්ජේ වැසියෝ නාන්න පාවිච්චි කරපු ලොකු පොකුණු දිවෙහි බසින් හැඳින්වුනේ "වෙව්" කියල. ඒක එන්න ඇත්තේ සිංහල "වැව්" කියන එකෙන්. මේ වෙවු ගලෙන් බැඳල පැත්තකින් ගල් පඩිපෙලක් සහිතව ඉඳි කෙරුනා.
මේ කතාව නියමයි...
ReplyDeletehttps://gadyanohothkavi.blogspot.com/2018/05/42.html
ReplyDeleteමරු. මුල ඉඳන් ඔක්කොම කියවන්නෝනෙ.
ReplyDelete:D:D
ReplyDelete