රාජාභිෂේකය
පුත සාලිය,
යන්න කොත්මලයට.
ඇමතියන් රැස්ව
අද රාජ සභාවේ
ඔබට රජකම
දිය නොහැකි බව
පැවසූහ
එක හඬින්,
සැඩොල් ලියකට
පෙම් කල
වරදට.
පුත සාලිය,
යන්න කොත්මලයට.
මා බිසව,
ඔබ මව
කතී ද
ගොවි ලියක් මිස
රජ ලියක් නොවන බව
උන්ට අමතක වීද?
නැත
එළාරට බියෙන්
බියගුළුව නිවටව
මුළු ගැන්ව
සිටි උන්ට
මා සිහසුන දැරීමට
එරෙහි වීමට
දිරි වඩනු නොහැකි විය.
ගොවි පුතුන් පිරිවරා
මා එදා
විජිත පුරය
බිඳ හෙලද්දී
නොපෙනෙන තරම්
දුරින් හිඳ
ඔල්වර නැගූ බව උන්
නොදිටිම් ද මම.
පුත සාලිය,
යන්න කොත්මලයට.
උතුරින් පරසතුරන්ට ද,
දකුණින් ගොළු මුහුදට ද,
පමණක් නොව
නැගෙනහිරින් සහ බටහිරින්
හිස් ඔළු ගෙඩි සහ
පිරුණු බඩ ගෙඩි සහිත
හිස් මිනිසුන්ට ද
මැදිව
මාගම රජ මාළිගයේ
අත පය හකුළා
නිදා උන් මා
මුල් වරට
සිත් සේ නිදා ගත්තේ
කොත්මලයේ
පැල් කොටයක
ඔබ මව් එළා දුන්
පැදුර මතය.
පුත සාලිය,
යන්න කොත්මලයට.
මේ කිරුළ අපට
බර වැඩිය.
ඔබ කුඩා කළ
දුව පැන සෙල්ලම් කළ
වෙල් ඉපනැලි ද,
දිය නෑ දිය කඳුරු ද,
දහ සය වසක්
සෙනෙහසින් අප රැකි
අප නෑයින් ද,
අදත් අප
සෙනෙහසින් පිළි ගනු ඇත.
පුත සාලිය,
යන්න කොත්මලයට.
No comments:
Post a Comment