Wednesday, October 21, 2015

එකෝමත් එක කාලෙක​.......


එකෝමත් එක කාලෙක​.......


එකෝමත් එක කාලෙක​
මම හිටියා
මීයෙක් වෙලා
පොහොසත් ගෙදරක.
ජීවිතය සාදයක්
චීස් වලින් පිරුණ​.
මම හිතුවා
සාදය
තියෙයි කියා
හැමදාම​.
ඒත්
ඒ ගෙදර හිටියා
බළලෙක්.
බළල්ලු මොනවද දන්නෙ චීස් ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
ගෙම්බෙක් වෙලා
ප්‍රංශයේ මඩ වගුරක​.
ජීවිතය පුෂ්ටිමත්.
මැස්සො රැළක් වගේ.
මම හිතුවා
මම කුමාරයෙක් කියා
මඩ වගුරට.
ඒත්
ප්‍රංශ කාරයෝ
මාව අල්ලගෙන
කෑමට ගත්තා
මගේ කකුල්.
ප්‍රංශ කාරයෝ මොනවද  දන්නෙ මැස්සො ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
කටුස්සෙක් වෙලා
ලඳු කැලෑවක​.
ජීවිතය වර්ණවත්
දේදුන්නක් වගේ.
මම හිතුවා 
මම ජීවත් වෙයි කියා
අවුරුදු සීයක්.
ඒත්
හදිසියෙම ආව​
ලැව් ගින්නක්.
ලැව් ගිනි මොනවද දන්නෙ පාට ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
මාළුවෙක් වෙලා
ලොකු විලක​.
ජීවිතය අනන්තයි.
නිල් අහස වගේ.
මම හිතුව 
කවද හරි
පීනනවා කියල
අහස කෙළවරට​.
ඒත්
ඒ විලේ හිටියා
පිළිහුඩුවෙක්.
පිළිහුඩුවො මොනවද දන්නෙ අහස ගැන.

එකෝමත් එක කාලෙක​
මම හිටියා
කොල්ලෙක් වෙලා
ලස්සන දූපතක​
නිල් මැණික් කැට වලින් හැදුනු.
මම ආදරය කලා
කෙල්ලෙකුට​
ලස්සන ඇස් තියෙන​
නිල් මැණික් කැට වලින් හැදුනු.
ජීවිතය ලස්සන හීනයක්.
මම හිතුවා 
අවදිවෙන එකක් නෑ කියා
කවදාවත් ම​.
ඒත්
අවදි වෙලා මම .

No comments:

Post a Comment