Wednesday, October 21, 2015

කවියා සහ මහවැලි ගඟ​

කවියා සහ මහවැලි ගඟ

ගංගාව ගංගාව​
කඳු මැදින් ගලා යන​
සුන්දර වු හන්තාන​
සරසවිය පිස ගලන​

ගංගාව ගංගාව​
පවසන්න මා සමඟ​
සොඳුරු දේ ඔබ දුටුව​
පන් හිඳෙන් ගලපන්න​

නැහැ සබඳ මම නුඹට​
කියන්නම් මා දුටුව​
සරසවියෙ බිම වසා
ගලා ගිය කඳුළු ගැන​

ගංගාව ගංගාව​
පවසන්න මා සමඟ​
උනුන් අත් පෙමින් ගෙන​
ඇවිද ගිය යුවල ගැන​

නැහැ සබඳ මම නුඹට​
කියන්නම් මරුන් ගැන​
රකුසු දත් විලිස්සා
වියරුවෙන් හඹා ගිය​

ගංගාව ගංගාව​
පවසන්න මා සමඟ​
පෙම්වතුන් මග ඇසෙන​
සොඳුරු පෙම් මුණු මුණුව​

නැහැ සබඳ මම නුඹට
කියන්නම් මට ඇසුන​
රුදුරු රැය විනිවිදින​
මරණයේ විලාපය​

ගංගාව ගංගාව​
පවසන්න මා සමඟ​
උදෑසන තණ පලස​
පිණි වැටී දිලෙන 'යුර​

නැහැ සබඳ මම නුඹට​
කියන්නම් මා දුටුව​
ලේ කැටිති තණ මතින්
ගල් ගැසුන සීතලට​

ගංගාව ගංගාව​
පවසන්න මා සමඟ​
ඔබේ දිය මත වැටී
පාව ගිය කුසුම් ගැන​

නැහැ සබඳ මම නුඹට​
කියන්නම් මගේ දිය​
කඳ සමඟ ඇදී ගිය​
නිසල මළ සිරුරු ගැන​

ගංගාව ගංගාව​
පවසන්න මා සමඟ​
සොඳුරු ගං ඉවුර වැසි
සුසුදු වැලි තලය මත​

ක්‍රිෂ්ණ ලා එනතුරා
රාධ ලා ඉන්නවද​
නො ඉවසිල්ලෙන් බලා
තත්පරත් ගණිනවද​

නැහැ සබඳ මම නුඹට​
කියන්නම් මේ වගද​
මයිකල් ල රැක ගන්න​
ගෲෂ ලට නොහැකි විය​

යකඩයන් පිරිවරා
කස්බෙක් ල සරන විට
සැඟව ගිය අසඩක් ල​
තවම පැමිණියේ නැත​

No comments:

Post a Comment