Saturday, September 27, 2014

සුන්නි - ෂියා - 3 (සුන්නි මුස්ලිම් වරුන් ගේ සහ ෂීයා මුස්ලිම් වරුන් ගේ ආගමික වෙනස්කම්)



කලින් සඳහන් වූ ලෙස සුන්නි - ෂියා බෙදීමට මුල් වූයේ දේශපාලන හේතු මිස ආගමික හේතු නොවේ. එනමුත් සුන්නි මුස්ලිම් වරුන් ගේ සහ ෂියා මුස්ලිම් වරුන් ගේ ආගමික ඇදහීම් වල වෙනස් කම් ද දකින්නට ලැබේ. මෙයට හේතු ද සුන්නි - ෂියා බෙදීමේ මුල් ඉතිහාසය දක්වා දිව යයි.

සුන්නාහ් සහ හදීස​

සියළුම මුස්ලිම් වරුන් ගේ ප්‍රධාන ආගමික ග්‍රන්ථය වන්නේ කුරානයයි. එහි දැක්වෙන්නේ අල්ලහ් දෙවියන් විසින් මුහම්මද් තුමාට එවන ලද දිව්‍යමය පණිවිඩයි. සියළුම මුස්ලිම් වරු කුරානය දේව වාක්‍යයක් ලෙස පිළිගන්නා අතර එය පිළිපැදීමට බැඳී සිටිති.

කුරානයට අමතරව මුස්ලිම් වරයෙක් ගේ ජීවිතය හැඩ ගස්වන අනෙකුත් ආගමික ලියවිලි "හදීසයන්" (සම්ප්‍රදායන්) ලෙස හැඳින්වේ. හදීසයන් ගේ අඩංගු වන්නේ මුහම්මද් තුමා ගේ ජීවිත කාලය තුල එතුමන් මුහුණ දුන් සිද්ධි, එතුමන් ගේ හැසිරීම්, පුරුදු ආදිය පිළිබඳ එතුමාගේ සමීපතම සහචරයන් විසින් පවසන ලද කතාන්දරයි. එම හදීසයන් මුඛ පරම්පරාගතව පැමිණ පසු කලෙකදී ලේඛන ගන කර ඇත​. මුස්ලිම් වරුන් ගේ ජීවිතයේ විවිධ අවස්ථා සඳහා උපදේශන වශයෙන් හදීසයන් නොයෙක් විට යොදා ගනු ලැබේ.

එලෙස හදීසයන් ඇසුරෙන් මුහම්මද් තුමාගේ ජීවිතය ආදර්ශයක් කර ගනිමින් ජීවත් වීම "සුන්නාහ්" (යහපත් මාර්ගය​) ලෙස හැඳින්වේ.

කලින් දැක්වුනු ලෙස උමර් ගෙන් පසු කාලිෆ් වරයා තේරීමේ දී අලී විසින් කරන ලද "මා අනුගමනය කරන්නේ කුරානය සහ මුහම්මද් තුමාගේ ක්‍රියා මාර්ග පමණි" යන ප්‍රකාශය මෙහිදී විශේෂ වැදගත් කමක් දරයි. මේ ප්‍රකාශය නිසා ෂියා මුස්ලිම් වරු අබු බකර්, උමර්, උත්මන් වැනි මුහම්මද් තුමාගේ සමහර සහචරයන් ගේ ක්‍රියාවනට වැඩි වැදගත් කමක් නොදෙති. එබැවින් ඔවුන් සහ විශේෂයෙන් මුහම්මද් තුමාගේ ප්‍රියතම බිරිඳ වූ අයිෂා විසින් පවසන ලද හදීසයන් ෂියා මුස්ලිම් වරු පිළිනොගනිති. එබැවින් සුන්නි මුස්ලිම් වරු සහ ෂියා මුස්ලිම් වරු අතර වත් පිළිවෙත් වල යම් වෙනස්කම් ඇත​.

සුන්නි - ෂියා වෙනස්කම්

සුන්නි වරු සහ ෂියා වරු අතර ප්‍රධාන වෙනස වන්නේ පළමු කාලිෆ් වරු සතර දෙනා ගැන දරන ආකල්පයයි. සුන්නි වරු පළමු කාලිෆ් වරු හතර දෙනාම (අබු බකර්, උමර්, උත්මන්, අලී) නීත්‍යානුකූල සහ නිවැරදි කාලිෆ් වරු වශයෙන් පිළිගනිති. නමුත් ෂියා වරු පළමු නීත්‍යානුකූල කාලිෆ් වරයා ලෙස පිළිගන්නේ අලී වන අතර​, අනිත් තිදෙනා නියම කාලිෆ් වරු වශයෙන් පිළිනොගනිති.


ඉමාම් වරු

තවත් ප්‍රධාන වෙනසක් වන්නේ ෂියා වරුන් අතර ඇති "ඉමාම්" සංකල්පයයි. ෂියා වරු පිළිගන්නා අන්දමට ඉමාම් වරු යනු යම්කිසි දිව්‍යමය තත්වයක් හිමි සුවිශේෂී පුද්ගලයන් ය. ඔවුන් සැමවිටම නිවැරදි ලෙස පිළිගැනෙන අතර මෙය කතෝලිකයන් ගේ ශාන්තුවර සංකල්පයට සමාන කළ හැක​.

ෂියා වරුන් ගේ පළමු ඉමාම් වරයා අලී වන අතර ඉන් පසු පිළිවෙලින් අලී ගේ පුතුන් වූ හසන් සහ හුසේන් ද ඉමාම් වරු වශයෙන් සැලකේ. පිළිගන්නා ඉමම් වරුන් ගේ සංඛ්‍යාව අනුව ෂියා වරු නිකායන් තුනකට අයත් වන අතර ඒ ඉමාම් වරු 12ක් පිළිගන්නා (ඉත්නාෂරියා), ඉමාම්වරු 7ක් පිළිගන්නා (ඉස්මයිලි) සහ ඉමාම්වරු 5ක් පිළිගන්නා (සයිදි) වශයෙනි.

මේ ඉමාම් වරු සියල්ලන්ම අලී සහ ෆාතිමා ගෙන් පැවත එන්නන් වන අතර ඒ නිසා මුහම්මද් තුමාගේ ඍජු පරපුර වෙති. ඒ නිසාම මොවුන්ට මුස්ලිම් වරුන් ගේ නායකත්වය ලැබිය යුතු බව ෂියා වරුන් ගේ විශ්වාසයයි.

සුන්නි වරු ඉමාම් සංකල්පයක් පිළිනොගන්නා අතර​, කිසිම පුද්ගලයෙක් ට දිව්‍යමය තත්වයක් ලබා නොදෙති. මුස්ලිම් වරුන් ගේ නායකත්වය ලැබිය යුත්තේ මුස්ලිම් සමාජයේ ඉතාමත් සුදුසු පුද්ගලයාට බවත්, එම තෝරා ගැනීම මුස්ලිම් සමාජයේ වැඩිහිටියන් සහ විද්වතුන් එක්වී කළ යුතු බවත් ඔවුහු විශ්වාස කරති.


ෂහදා

ෂහදා යනුවෙන් හැඳින්වෙන්නේ මුස්ලිම් වරයෙක් තමා ගේ විශ්වාසය වෙනුවෙන් කරනා ප්‍රකාශයයි. මෙය සුන්නි වරු සහ ෂියා වරු පවසන ආකාරය වෙනස් වේ.

සුන්නි ෂහදාව​:
ලා ඉලාහා ඉල්ලා - ලාහ් මුහම්මදුන් රසූලු - ඉල්ලාහ්
(අල්ලහ් හැර වෙන දෙවියෙක් නොමැත​. මුහම්මද් අල්ලහ් ගේ දූතයා වේ)

ෂියා ෂහදාව​:
ලා ඉලාහා ඉල්ලා - ලාහ් මුහම්මදුන් රසූලු - ඉල්ලාහ් වා අලීයියුන් වලියියු - ඉල්ලාහ්
(අල්ලහ් හැර වෙන දෙවියෙක් නොමැත​. මුහම්මද් අල්ලහ් ගේ දූතයා වේ. අලී දෙවියන් ගේ ආරක්‍ෂකයා වේ)


1 comment:

  1. ලිපි 3ම එක හුස්මට කියෙව්වා.. රචනා ශෙල්‍යය සිත් ඇදගන්න සුලුයි. ඉතාම වැදගත් අපක්ෂපාතී විස්තරයක්.. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. ( මීට කලින් චම්පික රනවකගේ "අල් ජිහාඩ් - අල් කයිඩා" පොත කියවලා තියනවා. මේක ඊටවඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා.. ඔබ මුලාශ්‍ර කරගත් දේවල් මොනවද?

    ReplyDelete