Friday, December 26, 2014

ජාතිය​, ජනවර්ගය සහ ගෝත්‍රය​



ජාතිය (nation), ජනවර්ගය (ethnic group) සහ ගෝත්‍රය (tribe) යනු අපැහැදිලි අර්ථකතන සහිතව පොදුවේ පාවිච්චි කෙරෙන​ වචන තුනකි.

Ethnic Group විකිපීඩියාවේ අරුත් නංවා ඇත්තේ මෙසේය​:
ජනවර්ගයක් යනු තමාගේ ආරම්භය පිළිබඳ පොදු ජනප්‍රවාදයක්, පොදු ඉතිහාසයක්, පොදු සංස්කෘතියක්, පොදු නිශ්චිත භූමියක්, සහ පොදු හැඟීමක් සහිත මිනිස් සමූහයකි.

Nation යනු ඊට වඩා දේශපාලන අර්ථගැන්වීමක් වඩා වියුක්ත සංකල්පයක් ලෙස විකීපීඩියාව දක්වන අතර Tribe යනු නොදියුණු මානව සමාජයන් හැඳින්වීමට යෙදෙනබව විකීපීඩියාව දක්වයි.

කෙසේ නමුත් මේවා 100% සමපාත වන ලෙස සිංහලට පරිවර්තනය කළ නොහැක​. සිංහල ජාතිය​, ජනවර්ගය සහ ගෝත්‍රය ඉංග්‍රීසි Nation, Ethnic Group සහ Tribe ගෙන් මදක් වෙනස් වේ.

මෙවැනි මානව බෙදීම් අර්ථ දැක්වීමේදී එක් එක් සංස්කෘතිය ඒවා වෙනස් අකාර වලින් කර ඇති බව දකින්නට හැක​. උදාහරණ දැක්වුවොත්:

1. රුවන්ඩාවේ හුටු සහ ටුට්සි යන ජනවර්ග අතර බෙදීමට ආර්ථික සාධයක් තිබේ. සාම්ප්‍රදායිකව ටුට්සි වරු එඬේරන් වන අතර හුටු වරු ගොවීහු වෙති. යම් කිසි හරකුන් සංඛ්‍යාවක් අත්  කර ගැනීමෙන් පසු හුටු ජාතිකයෙක්ට ටුට්සි ජාතිකයෙක් වීමට හැක​.

2. ජර්මන් සංස්කෘතියේ ජනවර්ගයට ඇත්තේ මුළුමනින්ම ප්‍රවේනිය සම්බන්ධ අර්ථ දැක්වීමකි. ජර්මන් ජාතිකයෙක් සහ යුදෙව්වෙක් අතර විවාහයෙන් ඇතිවන දරුවෙක් ජර්මන් ජාතිකයෙක් ලෙස සැලකුනේ නැත​. ජර්මන් සංස්කෘතියේ තරම් තදින් නොවුනත් පොදුවේ යුරෝපීයන් අතර ජනවර්ගය අර්ථ දැක්වීමේදී ප්‍රවේනි සාධකය ප්‍රභල වේ.

3. අරාබීන් අතර ජනවර්ගය අර්ථ දැක්වීමේදී භාෂාවට විශාල බරක් ලැබේ. ඉස්ලාම්, ක්‍රිස්තියානි ආදී විවිධ ආගම් අදහන අරාබීන් බැඳ තබන පොදු සාධකය අරාබි භාෂාවයි. සමහර අර්ථ දැක්වීම් වලදී අරාබි බස වහරන අප්‍රිකානුවන් පවා අරාබීන් ලෙස සැලකීමට තරම් මෙය ප්‍රභලය​. සෝමාලියාව අරාබි ලීගයේ සාමාජිකයෙකි.

4. සිංහලයන් අතර ජනවර්ගය අර්ථ දැක්වීමේ මූලික සාධකය වූයේ සංස්කෘතියයි. විවිධ සංක්‍රමනික ජන කණ්ඩායම් වල මිශ්‍රනයක් වන සිංහල ජනවර්ගය සිංහල සංස්කෘතිය මගින් අර්ථ නැංවිනි. ඕනෑම සංක්‍රමනිකයෙක්ට සිංහල සංස්කෘතිය වැළඳගැනීමෙන් සිංහලයෙක් වීමට හැකි විය​. සිංහල වාසගම් වල දකුණු ඉන්දියානු සම්භවය සැලකා බැලුවහොත් මෙය මනාව පෙනී යනු ඇත​.

බටහිර යටත් විජිතවාදයේ සහ එහිම අංගයක් වන සංස්කෘතික ආක්‍රමනයේ ප්‍රතිඵලයක් ලෙස අද සියළුම සංස්කෘතීන් වල ජනවර්ගය අර්ථදැක්වීමේදී ප්‍රවේනි සාධකයට වැඩි බරක් දෙනු දැකිය හැක​. රුවන්ඩාවේ හුටු-ටුට්සි ගැටුමට එක් මූලික හේතුවක් වන්නේ මෙයයි.

මම මේ වචන වලට දෙන්නේ මෙවැනි අරුතකි.

ගෝත්‍රය​:
පොදු ප්‍රවේනික පසුබිමක් සහිත මානව සමූහයක්

ජනවර්ගය​:
ගෝත්‍ර එකක් හෝ වැඩි ගණනකින් සමන්විත, තමාගේ ආරම්භය පිළිබඳ පොදු ජනප්‍රවාදයක්, පොදු ඉතිහාසයක්, පොදු සංස්කෘතියක් සහ පොදු හැඟීමක් සහිත මිනිස් සමූහයක්

ජාතිය​:
ජනවර්ග එකක් හෝ වැඩි ගණනකින් සමන්විත පොදු සංස්කෘතියකින් සහ ඉතිහාසයකින් බැඳුනු, යම්කිසි නිශ්චිත භූමි ප්‍රදේශයක දීර්ඝකාලයක් වාසය කළ​, ඒ භූමියේ දේශපාලන​, ආර්ථික සහ සංස්කෘතික ඉතිහාසය හැඩගස්වපු මිනිස් සමූහයක්.

ගෝත්‍රයකට උදාහරණයක් ලෙස අතීතයේ සිටි යක්‍ෂ​, නාග දේව ගෝත්‍ර දැක්විය හැක​. ඔවුහු සියල්ලෝම පොදු සිංහල සංස්කෘතිය තුල මුහු වී සිටියද තමාගේ ප්‍රවේනික මූල අනුව උපකුලක ලෙස වෙන්වී උන්හ​. කාලයාගේ ඇවෑමෙන් මේ බෙදීම් දියවී යන ලදී. මෑත ඉතිහාසයෙන් උදාහරණයක් ලෙස සිංහලයන් තුළ ඇති විවිධ කුල දැක්විය හැක​. මෙම ගෝත්‍රික බෙදීමද දැන් දියවෙමින් පවතී.

ජනවර්ගයකට උදාහරණයක් ලෙස දෙමළ ජනවර්ගය දැක්විය හැක​​. තමිල්නාඩුවෙ, මැලේසියාවේ හෝ ලංකාවේ සිටියද ඔවුහු පොදු ප්‍රවේනික මූලයකින් පැවත එති. පොදු භාෂාවකින් සංස්කෘතියකින් බැඳී සිටිති.

ජාතියකට උදාහරණයක් ලෙස ඇමරිකන් ජාතිය දැක්විය හැක​. ඒ තුල සුදු, කළු, හිස්පැනික් ආදී විවිධ ජනවර්ග සිටිති. නමුත් සියල්ලෝම පොදුවේ ඇමරිකන් ජාතිය නම් දේශපාලන ඒකකයට අයත් වෙති.

විවිධ ජාතීන් තුල මේ සංකල්ප ඓතිහාසිකව පරිනාමය වී ඇත්තේ විවිධ අයුරිනි.

ජපන් ජනවර්ගය සහ ජාතිය එකක් ම වෙයි. නමුත් ඔකිනාවා වරු ජපන් ජනවර්ගය තුල සිටින ගෝත්‍රයකි.

ඇන්ගල් වරු, සැක්සන් වරු, බ්‍රිටන් වරු සහ නෝර්මන් වරු යනාදී විවිධ ජනවර්ග එක් වීමෙන් ඉංග්‍රීසි ජාතිය නිර්මානය විය​. නමුත් දැන් ඒ එකම ජනවර්ගයකි. අද ස්කොට් සහ වේල්ස් ජනවර්ග ඉංග්‍රීසි ජාතිය තුල උපකුලක වෙති.

සිංහල ජනවර්ගය අතීතයේ සැදුනේ යක්‍ෂ නාග දේව ආදී ගෝත්‍ර එක් වීමෙනි. පසුව එය දුටුගැමුණු රජු ගේ කල ජාතියක් විය​. දකුණු ඉන්දියාවෙන් පැමිනි දෙමළ​, මලයාලම් ආදී විවිධ ජනවර්ග සිංහල ජාතියට එක් වී, ක්‍රමයෙන් ඒ තුලම දියවී සිංහල ජනවර්ගයටම මුහු වූහ​.

යටත් විජිත සමයත් සමඟම මේ මුහු වීම් නිසියාකාරව සිදු නොවුනු බැවින් අද දෙමළ​, මුස්ලිම්, ජා ආදී විවිධ ජනවර්ග ලංකාවේ සිටිති. නමුත් ඔවුන් සිංහල ජාතියට එක් වී නොමැත​. ශ්‍රී ලාංකික ජාතියක් ගැන කතා කෙරුනද එය මහපොළවේ ඇති යථාර්තයක් නොවේ. හුදු සංකල්පයක් පමණි. අද අප හමුවේ ඇති අභියෝගය මේ විවිධ ජනවර්ග සිංහල ජාතිය තුලට අවශෝෂනය කරගැනීමේ ක්‍රියාවලිය කෙසේ සිදුවිය යුතුද යන්නයි.

No comments:

Post a Comment