Wednesday, September 17, 2014

වීදුරු පළිඟු


වීදුරු පළිඟු


මුළු මහත් දඹදිවම පසිඳු
මාහැඟි පළිඟු බඳුනකි
එහි හිමිකරු වීම​
ඉල්ලීස සිටු වරයා ගේ
එකම අරමුණ විය​.

පළිඟු බඳුන හිමිකර ගැනීමට​
සූ සැටක් ප්‍රයෝග ද​
අසූ කෙළක් ධනය ද​
යෙදීමට​
ඔහුගේ මුළු දිවියම කැපවිය​.

ධනය වැය වේ යැයි ලොබින්
නිසි අහරක් නොලද​
ඔහුගේ ගත​
ඉරටු කූරු මෙන්
සිහින් විය​.

පළිඟු බඳුන ගැනම සිතා
නිදි වැරීමෙන්
ඔහුගේ දෙනෙත්
විළිකුන් ඵල මෙන්
රත් පැහැ විය​.

දොළොස් වසක ඇවෑමෙන්
ඉල්ලීස සිටු තෙමේ
පළිඟු බඳුන හිමි කර ගත් දින​
ඉල්ලීස සිටු මැදුරේ
මහත් සාදයක් විය​.

දොළොස් වසක් පුරා
සිටු මැදුරට ආගන්තුක වූ
නෙක රස මසවුළු ද​
නෙක සුරා පානයන් ද​
නොමසුරුව පිළියෙල කෙරිනි.

මැදුම් යාමය නිමාවත්ම​
අමුත්තන් නික්ම ගිය පසු
ඉල්ලීස සිටු තෙමේ
පළිඟු බඳුන දෑතින් ගෙන​
සිත් සේ විඳින්නට විය​.

සුරාවෙන් මත් වූ
ඔහුගේ දෑත​
ඔහුට අකීකරු වූයෙන්
මද ප්‍රමාදයක් බැලූ
පළිඟු බඳුන​
ඔහු අතින් බිමට පැන​
මියුරු සංගීතය රාවයක් මවමින්
කැබලි සියයක් ව​
කාමරය පුරා
විසිරී ගියේය​.

වීදුරු කැබලි දෙස​
දෙනෙත් දල්වා බලා උන්
ඉල්ලීස සිටු තෙමේ
මද සිනා පා
සයනය වෙත ගොස්
දොළොස් වසකට පසු
සිත් සේ නිදා ගත්තේය​.

No comments:

Post a Comment